IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රංජිත් කුමාර පුංචි අවධියේ ‘‘පෝරිසාදයෙකි’’

එක දවසක් සෙල්ලමක් දුර දිග ගොස් රංජිත් ඥාති සහෝදරයකුට පොලු පහරක් දුන්නේය. ඔළුව පැළී ඉවරයක් නැතුව ලේ ගලන්නට විය. මොකක්දෝ වෙලාවකට එකල කොළඹ නගර සභාවේ සන්ත බස්තියම නාගරික මන්ත්‍රී ආර්. ප්‍රේමදාස රංජිත්ගේ තාත්තා හමු වීමට එහි ආයේය. ආපු වැඩේ පැත්තකට දමා ඔහුගේ මෝටර් රථයෙන් ලෙඩා වහාම සුලෙයිමන් රෝහලට අරන් යන්නට නාගරික මන්ත්‍රීවරයා උත්සුක විය. දොස්තර නළලට මැහුම් හතක් දැම්මේය.

රංජිත්ගේ තාත්තා ගෙදර පැත්තක අච්චු කන්තෝරුවක් පවත්වාගෙන ගිය බැවින් විවිධ මුද්‍රණ කටයුතු සඳහා එහි පැමිණෙන අය බහුලය. තමන්ට රුස්සන්නේ නැති අය පැමිණි විට රංජිත් කරන්නේ “පලයන් යකෝ... මම උඹලට ගහනවා...” කියමින් බැණ වැදීමය. සමහර අවස්ථාවල අහළ පහළ ළමයින් කියන ශුද්ධ සිංහල ද මේ බැණිල්ලට එක් වෙයි. රංජිත්ගේ කට කොනිත්තා උස්සාගෙන ගෙට වැදීමට අම්මාට සිදු වන්නීය.

එහෙම දවසක රංජිත් බැණ අඬගෑවේ කපිල සෙනෙවිරත්න කවියාටය. එදින තාත්තා සූදානම් වූයේ රංජිත්ට තැලීමටය.

“ගහන්න එපා අපේ පොඩි රාලහාමිට. ලොකු වෙනකොට ඔය දඟ නැති වෙලා යාවි.”

එතැන් පටන් රංජිත්ට ‘රාලහාමි’ යන නම පටබැඳිණි. අම්මා තාත්තා පමණක් නොව ඥාති මිත්‍රාදින් ද රංජිත්ව හුරතලයට හැඳින්වූයේ ‘රාලහාමි’ කියාය.

ඒ වගේම, සෙනෙවිරත්න කවියා කී අනාවැකිය ද සැබෑ විය. කරදඬු උස් මහත් වෙද්දී රංජිත් කනට ඇහෙන නෑහෙන ගාණට කතා කරන නිවුණු තැන්පත් යහපත් දරුවෙකි. එක්දාස් නවසිය හැත්තෑ ගණන්වල මා රංජිත්ව දැන හඳුනාගන්නා විට අපි ළමා පිටියේ දරුවන් වීමු. රංජිත් හිටියේ ගුවන්විදුලි වැඩසටහන් සඳහා සහභාගි වෙන යෞවන කල්ලියකය. ඒ කල්ලියේ වඩාත්ම ශාන්ත දාන්ත අයියා වූයේ රංජිත්ය. හැබැයි මේ අයියා ළමා පිටියේ අපේ කල්ලිය සමග වැඩි වැඩියෙන් ගැවැසුණේය. තේ බොන වේලාවට කැන්ටිමට පැමිණීමෙන් නොනැවතී වැඩසටහන් පටිගත කරන මැදිරියට ද රිංගුවේය. ටික දවසක් යද්දී අපට වැඩේ තේරිණි. ළමා පිටියේ කෙල්ලක් පිළිබඳව ඔහුට සිතක් පහළ වෙලාය. කෙල්ල, දමයන්ති ජයසූරියයි.

තමාගේ ප්‍රේම සිතැඟි දමයන්ති වෙත දන්වා සිටීමට රංජිත් දූතයන් දෙදෙනකු යොදා ගත්තේය. ඒ, එවක ළමා පිටියේ සිටි රෝහණ සිරිවර්ධන හා නිරංජලා සරෝජනීය. දූතයන් දෙදෙනා කෙතරම් ප්‍රශස්ථ ලෙස කාරිය කළෝ ද යත්, ළමා පිටිය කල්ලියෙන් මුලින්ම යුග දිවියට ඇතුළු වූ කෙනා හැටියට වාර්තාවක් තබන්නට දමයන්තිට හැකි විණි.

මේ විවාහය නිසා කලින්ටත් වඩා සමීපව රංජිත් ඇසුරු කිරීමේ අවකාශය අපට උදා විණි.

මහගම සේකරයන්ගේ වචනවලින් කිවහොත්, රංජිත් ‘සීග්ගර’ වැඩකාරයෙකි.

සරසවිය පත්තරේට ඔහු සම්බන්ධ වූ කාලයේ එහි රූ රටා සහ සිරස්තල කලාව වෙනස් කළේය. එකල අද වාගේ විවිධ අකුරු හැඩතල තිබුණේ නැත. ඒ නිසා රංජිත් සිරස්තල අතින් ඇන්දේය. පුවත්පත් කලාවේදියකු හැටියට සරසවියට ඔහු ලියූ සෑම ලිපියකම පාහේ හෙඩිම ඇන්දේ රංජිත්ය. ඔහු පොත් පිටකවර කලාවට නව හැඩයක් සහ වර්ණයක් එක් කළේය. මාර්ටින් වික්‍රමසිංහ ප්‍රමුඛ ලාංකේය ලේඛක ලේඛිකාවන් රැසකගේ පොත් සැරැසුණේ රංජිත්ගේ නිර්මාණවලිනි. සිය පොත් පිට කවර එක්කොට ගාලු මුවදොර සමුද්‍ර කලාගාරයේ ප්‍රදර්ශනයක් පැවැත්වීය. පොත් කවර ප්‍රදර්ශනයක් ලංකාවේ පැවැත්වූ මුල්ම අවස්ථාව එය ය. කංචුක යන වචනයට අප හුරු වූයේ රංජිත්ගේ මේ ප්‍රදර්ශනය නිසාය.

සිනමා සිරස්තල කලාවට ද රංජිත් නව මානයක් එක් කළේය. මේ සියල්ල සමගම සිනමාව, කලාව, සාහිත්‍යය ආදි විවිධ විෂයයන් පිළිබඳ දැනුමෙන් ඔහු සන්නන්ධ විය. මේ කාරියට අනුපාන සපයන පොත් සහ පැරැණි පත්තර දහස් ගණනකින් ඔහුගේ පුස්තකාලය සන්නද්ධ වී තිබිණි. එකී ක්ෂේත්‍ර පිළිබඳ ඓතිහාසික කරුණු විමසා සැක හැර ගැනීමට බොහෝ අය කතා කළේ රංජිත්ටය.

ඔහුගේ නිර්මාණවේදය ගැන බොහෝ දෙනෙක් ලියා කියා තිබුණු බැවින්, ඒ කරුණු යළි යළි සිහිපත් කළ යුතු නොවේ. ඒ සියල්ල මැද යටින් ඉරක් ගසා අවධාරණය කළ යුතු තවත් දෙයක් ගැන කියන්නට මේ අවස්ථාව සුදුසු බව හැඟෙයි.

රංජිත් අනුන්ගෙන් උදව් නොඉල්ලූ, එහෙත් අනුන්ට පැන පැන උදව් කළ කෙනෙකි. කාගේ හෝ කවර හෝ කාර්යයක් හෝ වෙනුවෙන් තමන්ට කිසියම්ම උදව්වක් උපකාරයක් කළ හැකි බව ඔහුට දැනුණොත්, සැළවුණොත් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී ඒ දෙය කර දෙන්නේය. මා කිසියම් පර්​ෙ ය්ෂණ කාරියක නිරත වී සිටින බව වරෙක ඔහු දැනගෙන ඇත්තේ ප්‍රේම් දිසානායක මිතුරාගෙනි. එක්වරම මට ඔහුගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි.

“මචං, අර උඹ වැඩේට අවශ්‍ය පරණ පත්තර වගයක් මං ළඟ තියෙනවා. මං ඒවා සේරම ෆොටෝ කොපි ගහලා තැපෑලට දැම්මා. හෙට අනිද්දා වෙනකොට උඹට ලැබෙයි...” ඔහු කීය.

මිතුරකුගෙන් ලද ආරංචියකට, පරණ පත්තර ගණනාවක් අවුස්සා, ෆොටෝ කොපි ගැසීමේ වියදම ද, තැපැල් ගාස්තුව ද තම අතින් ගෙවා, ‘අතින් කයිට්’ උදව් කරන්නට ඉදිරිපත් වන අය දුලබය.

ඔහුගේ ඒ අපූරු මිතුරු හිතකාමී ජීවිතය ගැන කොච්චර ලීවත් මදිය.

ඒත්, දැන් ලියන්නට සැරැසෙන්නේ ඒ ගැන නොවේ.ඔහුගේ මරණය ගැනය. අවසන් කටයුතු සිදු කෙරුණු ආකාරය ගැනය. අවසන් ගෞරව දැක්වීම සඳහා වෙන් කර තිබුණේ පැය දෙකකි.  ඒ කාලයේදීත් දේහය ප්‍රදර්ශනය කළේ නැත. ඒ පැය දෙක කෙළවර සිදු කෙරුණු ආගමික වතාවත්වලින් පසුව සිරුර කොතලාවල වෛද්‍ය පීඨයට බාර දෙන ලදී. මේ සියල්ල ජීවතුන් අතර සිටියදී රංජිත් දුන් උපදෙස්ය.

හැබැයි මෙහෙම දේකුත් තිබේ.

මියගියාට පසු තමන්ගේ අවසාන ඉල්ලීම ඉටු වී ද, නැද්ද යන්න මියගිය තැනැත්තා දන්නේ නැත. ඒ නිසා ජීවතුන් අතර සිටින අය, අවසන් ඉල්ලීම පසෙකලා තම තමන්ගේ රිස්ස ඉටු කරගත් හා ගන්නා අවස්ථා බොහෝය. එහෙත්, රංජිත්ගේ කැමැත්ත ඒ අයුරින්ම ඉටු කරලීමට දමයන්ති සහ නුවන් ක්‍රියා කළහ. ඔවුන් දෙදෙනාට ද අපේ ගෞරවය හිමි විය යුතුය.

රංජිත් ජීවත් වූයේ අප කාටත් ආදර්ශයක් වෙමිනි. රංජිත් වියෝ වූයේ ද අප කාටත් ආදර්ශයක් වෙමිනි. අප අතරින් කී දෙනකුට මේ ආදර්ශය උකහා ගත හැකි ද නැති ද යන්න වෙනම ප්‍රශ්නයකි.

 

(*** සමන් අතාවුදහෙට්ටි)



අදහස් (0)

රංජිත් කුමාර පුංචි අවධියේ ‘‘පෝරිසාදයෙකි’’

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1036 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4539 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 409 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1679 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site