රට මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය හේතුවෙන් රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීන්දුවක් ගෙන තිබේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට කරන ලද දැනුම්දීමකට අනුව මේ තීන්දුව ගෙන ඇතැයි වාර්තා විය. කොරෝනා වසංගතය හමුවේ මතු වූ බරපතළ ආර්ථික ගැටලු ද රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහත වැටීම ද මේ වසරේ පුනරාවර්තන වියදම් පියවා ගැනීමට පවා එය ප්‍රමාණවත් නොවීම ද මේ තීන්දුව ගැනීමට හේතු වශයෙන් සඳහන් වෙයි.
රජයේ මේ තීන්දුවට අනුව මෙතෙක් ආරම්භ කර නොමැති ව්‍යාපෘති, මිලදී ගැනීම්, ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් ආදිය අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය මගින් නියෝග පනවා තිබේ. බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදු කර ඇතත් මේ වනතෙක් පත්වීම් ලිපි නිකුත් නොකළ තනතුරු සඳහා බඳවා ගැනීම් ද මේ අනුව අත්හිටුවනු ඇත. වියදම් සීමා කිරීමට මෙවැනි පියවර ගැනීමෙන් පසුව ඉතිරි කරගත හැකි අරමුදල් ප්‍රමාණය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලේකම්වරුන්ගෙන් ලබාගැනීමට ද මුදල් අමාත්‍යාංශය අරමුණු කරගෙන සිටී.
රජයේ වියදම් සීමා කිරීමට ප්‍රමාද වී හෝ මෙවැනි දැඩි තීන්දුවක් ගැනීමට කටයුතු කිරීම යහපත් පියවරක් වශයෙන් අපි දකිමු. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබූ ආර්ථික කඩාවැටීම වළක්වා ගැනීමට රජය කල් තබාම නිශ්චිත සැලැස්මක් සකස් කර නොතිබීමෙන් මෙවැනි හදිසි තීන්දුවකට එළැඹීමට සිදුවන්නට ඇතැයි ද අපි සිතමු. කොරෝනා වසංගතය පාලනය කිරීමට රජයේ ඉහළම ප්‍රමුඛත්වය හිමිවනවිට ඊට අදාළ සෙසු අංශ නිසි පරිදි කළමනාකරණය කිරීමට කල් තබා සුදුසු පියවර ගැනීම ද රජයේ වගකීමකි. ජීවිත අහිමි වීම හැරුණුවිට කොරෝනා ව්‍යාප්තියේදී බරපතළම ප්‍රහාරයට ලක්වන්නේ ආර්ථිකය බව නොදැන සිටි කෙනකු නැත. කල් තබාම වියදම් සීමා කිරීමේ සැලැස්මක් සකස් කර තිබුණි නම් තත්ත්වය මේ තරම් දරුණු වීමට පෙර යම් තරමකට හෝ පාලනය කරගැනීමට හැකියාවක් තිබූ බව අපි විශ්වාස කරමු.
අප එසේ කියන්නේ මෙවැනි වසංගත අවස්ථාවක ප්‍රමුඛත්වය ලබා නොදිය යුතු ව්‍යාපෘතිවලට පවා රජය මුදල් වෙන් කර ඇති බව පෙනී යාම හේතුවෙනි. ඊට ආසන්නම උදාහරණයක් වන්නේ පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතියයි. එය පරාක්‍රම සමුද්‍රයට හානියක් ද නැද්ද යන්න වෙනම ප්‍රශ්නයකි. අප මෙහිදී ප්‍රශ්න කරන්නේ දේශපාලන වශයෙන් “සංදර්ශන” බවට පත් කරගත හැකි අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘතිවලට මෙසේ මුදල් වැය කරන්නේ ඇයි ද යන්නයි. නිසි සැලැස්මකට අනුව කොරෝනා අර්බුදය හමුවේ ආර්ථිකය කළමනාකරණය සිදු නොකිරීම මෙවැනි සිද්ධීන්වලට මූලික වෙයි. කෙසේ වුව ද දැන් මෙම ව්‍යාපෘතිය රජය විසින් අත්හිටුවා තිබේ.
රජය තම වියදම් සීමා කිරීම රටේ සෙසු ජනතාවට ද ආදර්ශයක් ගෙන දෙන ආකාරයට සිදු කිරීම ද අවශ්‍යය. රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය මත රජයේ සේවකයන්ට ගෙවනු ලබන වැටුප් නොවන දීමනා සහ බිල්පත් පියවීම් යනාදිය නැවත සමාලෝචනය කර සේවයේ සැබෑ ලෙසම නිරත වන නිලධාරීන්ට පමණක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබෙන බව ද සඳහන් වෙයි. එසේ තිබියදීත් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීන්ට අධීක්ෂණ තනතුරු ලබාදීම වැනි පියවර ගැනීම කොතරම් සුදුසුදැයි රජය කල්පනා කළ යුතු බව ද පෙන්වා දීමට කැමැත්තෙමු. එවැනි අධීක්ෂණ තනතුරු නිකම්ම නාමමාත්‍රික ඒවා නොවන බව ද ඊට විශේෂ වරප්‍රසාද, දීමනා සහ වාහන ද ඇතුළත් බව ද අතීත ආදර්ශවලින් හැම ආණ්ඩුවක්ම පෙන්වා දී තිබේ. එසේම රජයේ ව්‍යාපෘති සඳහා යැයි පවසමින් හදිසියේම ඩබල් කැබ් රථ 150ක් ගෙන්වීම ද මේ අවස්ථාවේ හැටියට අනවශ්‍ය වියදමක් වශයෙන් රජය නොදැකීම ද අඩුපාඩුවකි.
මේ අතරවාරයේ කොරෝනා අර්බුදය කොතරම් දැඩි වුව ද තමන් සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘති නොනවත්වන බවට ඇතැම් ඇමැතිවරුන් පුන පුනා කරන ප්‍රකාශ ද මුදල් ඇමැතිවරයාගේ නියෝග සමඟ ඍජුව ගැටෙන බව ද කිව යුතුය. මේ ඇතැම් ව්‍යාපෘති රජයේ අත්‍යවශ්‍ය සංවර්ධන වැඩවලට වඩා එක් එක් දේශපාලනඥයාගේ මනදොළ පිරවීම සඳහා සිදු කෙරෙන අනවශ්‍ය වියදම් හැටියට වර්ග කළ හැකිය. එවැනි ව්‍යාපෘතිවලට මුදල් වැය කිරීම ද මේ අවස්ථාවේ හැටියට නාස්තියක් පමණි.
පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පටි තද කරගත යුතු බව ප්‍රකාශ කරනවාට වඩා රජය තම වියදම් පාලනය කරගැනීමට පියවර ගැනීම වැදගත් ඉදිරි පියවරක් බව පැවැසිය යුතුය. එහි වැදගත්කම වැඩි වන්නේ තම වැටුප පරිත්‍යාග කරන්නැයි මැති ඇමැතිවරුන්ගෙන් කළ ඉල්ලීමට ඇතැම් මැති ඇමැතීන් දැක්වූ ප්‍රතිචාර සලකා බැලීමේදීය. කෙසේ වුව ද ආණ්ඩුවට දරාගත නොහැකි බරක් වශයෙන් සැලකෙන රාජ්‍ය සේවය ගැන ද සමාජයෙන් කියැවෙන්නේ අප්‍රසාදයකි. රාජ්‍ය සේවකයන්ට නිවෙසේ සිටියදී වැටුප් ආදී දීමනා ලැබෙතත් සාමාන්‍ය ජනතාවට ඒ කිසිවක් නොලැබේ. ඔවුන් ආර්ථික දේහයට දක්වන දායකත්වය අවතක්සේරු නොකළ යුතුය.
(***)
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රජයේ වියදම් සීමාව යහපත් ආදර්ශයක්