IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


රාජ්‍ය සේවය රටට බරක් කරගනු එපා

මහජනතාවට බරක් නොවන අයවැයක් සකස් කිරීමට පරෙස්සම් වූ බව තම මංගල අයවැය ප්‍රකාශයට පත්කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. එසේ වුවද අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව මුදල් අමාත්‍යාංශය මගින් කැඳවා තිබූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී රාජ්‍ය සේවය පිළිබඳ මුදල් අමාත්‍යවරයා කළ සඳහන රටේම අවධානය දිනාගෙන තිබේ. ඔහු එහිදී ප්‍රකාශ කළේ රාජ්‍ය සේවයේ බර රජයට තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට පත්ව තිබෙන බවය.

තවත් වසරක් සඳහා රාජ්‍ය සේවයට මහජන අරමුදල් වෙන් කිරීමට හැකි තත්ත්වයක රජය නොසිටින බව ද රජයේ සේවකයන්ට තවදුරටත් “ලොසින්ජර” ලබාදීම අවශ්‍ය නැති බව ද ඔහු වැඩිදුරටත් කියා තිබිණි.

මේ රටේ රාජ්‍ය සේවය දිගින් දිගටම අසීමිත ලෙස ප්‍රසාරණය වෙමින් පවතින බව බැලූ බැල්මටම පෙනෙන සාධකයකි. තත්ත්වය එසේ වනවිට රාජ්‍ය සේවයේ අධික වැටුප් බර ඉතා දුර්වල ආර්ථිකයක් පවතින මේ රටට තවදුරටත් දරාගත නොහැකිවීම බලාපොරොත්තු විය යුත්තකි. රාජ්‍ය සේවයට එකතුවන සේවක සංඛ්‍යාව පමණක් නොව රාජ්‍ය සේවයේ වැටුප් තල ද වාර්ෂිකව ඉහළ යමින් පවතී. ඒ අතරවාරයේ වෘත්තීය සමිති අරගල හරහා ද වැටුප් වැඩි කෙරේ. වැටුප් විෂමතා සකස් කිරීම් වශයෙන් ද සිදුවන්නේ වැටුප් තල ඉහළ යාමය. රාජ්‍ය බැංකු සහ රාජ්‍ය ආයතන සේවකයෝ සාමූහික ගිවිසුම් හරහා වසර තුනකට වරක් වැටුප් වැඩිකර ගනිති. මේ සියලු‍ වැඩිවීම් සිදුවන්නේ රජයේ ආදායම් තත්ත්වය දිගින් දිගටම පහළ යන තත්ත්වයකදී වීම ලොකුම ඛේදවාචකයයි.

රාජ්‍ය සේවයට ඇතුළු වීමට තරුණ තරුණියන් (රැකියා විරහිත උපාධිධාරීන් ද ඇතුළුව) දරන උත්සාහයේ ලොකුම “ලොසින්ජරය” විශ්‍රාම වැටුප බව රහසක් නොවේ. විශ්‍රාම වැටුපට ලොල් වී අතේ තිබෙන වටිනා පෞද්ගලික අංශ රැකියා පවා අතහැර රාජ්‍ය සේවයට එකතුවීමට වෙර දරන තරුණ පිරිස් ඕනෑ තරම් සිටිති. රාජ්‍ය සේවයේ රැකියා ලබාදෙන බවට සෑම ප්‍රධාන මැතිවරණයකදීම දේශපාලන නායකයන් විසින් තරුණ තරුණියන්ට ලබාදෙන පොරොන්දුව බලය ලබාගැනීමේ ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත. මේ වාතාවරණය යටතේ ඕනෑම මුදල් අමාත්‍යවරයකුට බජට් එක බැලන්ස් කර ගැනීම උභතෝකෝටිකයක් වීම වළක්වාගත නොහැක.

රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට දැරිය යුතු වියදම බජට් එකේ සාරය උරාබොන විට සෙසු අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සකල ලෝකයටම ණය වීමට සිදුවීම අරුමයක් නොවේ. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා රාජ්‍ය සේවය පිළිබඳව සිදුකළ ප්‍රකාශය රජයේ සේවයේ බොහෝ දෙනකුට දිරවා ගැනීම අසීරු විය හැකි වුවද ඔහු මේ ප්‍රකාශ කරන්නේ යථාර්ථය බව සියලු‍දෙනා විසින්ම අවබෝධ කරගත යුතුය. රාජ්‍ය සේවය තවදුරටත් රටේ ආර්ථිකයේ “බරවා කකුල” බවට පත්විය යුතු නැත. එහෙත් දේශපාලන නායකයන් තමන්ට අහිමි විය හැකි ඡන්දය හේතුවෙන් “බරවා කකුල” අතහරින්නට කැමැති නැත.

රාජ්‍ය සේවය රටට වැදගත් නොවන බවක් මෙයින් අර්ථ නොගැන්වෙයි. එහෙත් හුදෙක් දේශපාලන වාසි තකා රජයේ රැකියා ලබාදීමේ පිළිවෙතින් බැහැරවීමට දේශපාලනඥයන් දැන්වත් සිතට ගත යුතු බව පෙන්වා දීමට කැමැත්තෙමු. රැකියා ලබාදීමට මැති ඇමැත‌ීන්ට ඉඩ ලබා දී රාජ්‍ය සේවය රටට බරක් යැයි පැවසීම නන්දෙඩවීමක් පමණි. පවතින යථාර්ථය හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීම රජයක වගකීමය. ඇතැම් රාජ්‍ය ආයතනවල කරන්න රාජකාරියක් තබා හිඳ ගැනීමට පුටුවක් හෝ නොමැති පිරිස් ද සිටින බව වරින්වර වාර්තා වුවද රජයේ සේවයේ රැකියා ලබාදීම තාවකාලිකව හෝ නැවැත්වීමට කිසිදු රජයක් පියවර ගත්තේ නැත.

එපමණක් නොව රාජ්‍ය සංස්ථා සහ විවිධ ආයතන ලබන අධික පාඩුව ද රටේ අයවැයට ඇති කරන්නේ විශාල බරකි. මේ වනවිට එවැනි ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති තරමට තත්ත්වය බරපතළ වී තිබේ. රටේ ආර්ථිකයේ රීරිමාංස උරා බොමින් පවත්වාගෙන යන මේ ආයතනවල සේවකයන් වැටුප් ලබන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදලිනි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, තෙල් සංස්ථාව, පොදු ගමනාගමන සේවා, ලංවිම ඇතුළු බොහෝමයක් රාජ්‍ය ආයතනවල සැබෑ තත්ත්වය එයයි. මෙවැනි ආයතන සම්බන්ධයෙන් ඉදිරියේදී රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්දැයි අයවැය ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් නොවීම අඩුපාඩුවකි. රාජ්‍ය සේවයට ලබාදෙන පෙට්‍රල් ප්‍රමාණය ලීටර් කිහිපයකින් කප්පාදු කිරීම එයට පිළිතුරක් නොවේ.

රටේ ආර්ථික තත්ත්වය යළි පණගැන්වීමට පැලැස්තර විසඳුම් ප්‍රමාණවත් නැත. ඒ සඳහා ප්‍රබල ප්‍රතිපත්තිමය තීන්දු ගත යුතු තත්ත්වයකට රට තල්ලු‍ වී තිබේ. එහෙත් එවැනි බරපතළ වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය දේශපාලන ධෛර්ය වත්මන් රජය තුළ තිබේද යන්න ගැටලු‍වකි. අඩුම තරමින් තාවකාලික පියවරක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකතුවීමට හෝ රජය දක්වන අකැමැත්තෙන් එය පැහැදිලි වෙයි. ඔවුන්ගේ මූලිකම කොන්දේසියක් වනු ඇත්තේ රාජ්‍ය සේවය කප්පාදු කිරීම බැවිනි. රටේ පවතින බරපතළ ආර්ථික ගැටලු‍වලට විසඳුම් ඇත්තේ මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධි සහ පෝට් සිටියට එන ඩොලර් බිලියන 35 වැනි සිහින ලෝකවල නොව මහපොළොවේ යථාර්ථය මත බව හඳුනාගන්නා තුරු අපේ රටට ගැලවීමක් නම් නැත.

(***)



අදහස් (1)

රාජ්‍ය සේවය රටට බරක් කරගනු එපා

ජේ.ඒ අහෝකා රංජනි Wednesday, 15 November 2023 11:06 AM

රාජ්‍ය සේවකයා රටට හා ලෝකයට ණය නොවන රාජ්‍ය සේවකයකු විය යුතුයි. අද වනවිට රාජ්‍ය සේවකයා ගත්කළ ඔහුගේ ජීවිතයේ වටිනා කාලය 30-60 හා සජීවී පැය 8 රාජ්‍ය වෙනුවෙන් කැප කර ඇත. නමුත් එය නිසි ලෙස කාර්යයේ පිහිටුවාලීම හා වැඩ නිරිමාණය කිරීම රාජ්‍යෙය් කාර්යභාරයයි. නමුත් අදවන විට රටට බරක් රාජ්‍ය සේවකයකු නිර්මාණය කර ඇත්තේ ද වගකිවයුතු පාර්ශව විසිනි... නමුත් 2024 සිට එම සංකල්පය වෙනස් කිරීමට අදාල මග පෙන්වීම හා රටේ අවශ්‍යතාවය වන අයවැඩ හිදැස පිරවීමට යොදවා ගැනීම විශාල වගකීමකි. එය සිදුකිරීමට හැකියාව ඇත්තේ රජ්‍ය තුළින්වේ.. එසේ නම් මේ අවස්ථාවේ රාජ්‍ය මූල්‍ය පිරවිය යුතුයි. ඒ සඳහා රාජ්‍ය සේවකයා පෙළ ගැස්වීම මේ අවස්ථාවේ විශාල කාර්ය බාරයක්වේ. එසේ නොවුණහොත් රට විශාල ලෙස අගාධයට යාමක් සිදුවේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 133 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 473 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 137 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 133 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 314 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 602 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site