රක්ෂිතයේ දැවැන්ත ගස් ඉරා ඇති අයුරු.
මහවැලියෙන් ආදී මුතුන්මිත්තන් තැනූ වැව් අමුණුවලින් පෝෂණය වූ රජරට වර්තමානයේ සිදුවන මහාපරිමාණ පාරිසරික විනාශයන් මෙන්ම පරිසර ජාවාරම සොයා අපි ගියෙමු.
පැවැති වියළි කාලගුණික තත්ත්වයත් සමඟ ජාවාරමුන් රිසි සේ තම කාර්ය නිම කරමින් අත මිට සරුකැරගෙන හමාරය.
සිසිලස මෙන්ම ජල උල්පත් ආරක්ෂා කරන කුඹුක් ගස් අමු අමුවේ මුලට ගිනි තබා හොර රහසේ වැලි ලොරිවලින් රක්ෂිතවලින් ඉවත් වන අසුන්දර දසුන් කලාවැව, මෙන්ම කහල්ල පල්ලේකැලේ රක්ෂිතවලින් අපට දැකගන්නට හැකි විය.
රජරට ප්‍රදේශයේ කැකිරාව, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මේ තත්ත්වය වඩාත් ඉහළ මට්ටමකින් පැවතිනි. විවිධ සංවර්ධන ක්‍රියා හමුවේ හොර රහසේ මෙන්ම තර්ජනාත්මකවද රජරට පරිසර විනාශය සිදුකෙරෙන ආකාරය අපට ගවේෂණය කරන්නට හැකිවිය. ප්‍රදේශයේ විශාල හා කුඩා වැව්වල පරිසර විනාශ රැසකි. ඒ අතරින් සිඳී ගිය වැව්වල මහා වළවල් හාරා වැලි ලබා ගැනීම, සංවිධානාත්මකව සිඳීගිය වැව් තාවලුවල පිහිටි ගස් කපා ගැනීම, වැව් තාවල්ලේ ඇති කැලෑ ගිනි තබා සතුන් දඩයම් කිරීම, දිය සොයා එන වන සතුන් දඩයම් කිරීම ආදී මහ පොළොවට උසුලා ගැනීමට නොහැකි තරම් ඉතා ප්‍රසිද්ධියේ ජාවාරම් කෙරේ. ගමේ ගොඬේ පදිංචි අයෙක් මේ පරිසර පද්ධතිය හෝ වැව් පද්ධතිය හෝ විනාශ නොකරති. එහෙත් විශාල ධනවත් ආයතන විසින් මෙම විනාශය කරනු ලබන්නේ රජරැටියන් ජීවත් කරවීම ගොවිතැන් තවත් සරු කරවීම නමැති මාතෘකා ඔස්සේ වීම කනගාටුවට කරුණකි.
ධාතුසේන රජ කරවූ කලාවැව සිඳීයමින් පවතින්නේ ඉතා ශීඝ්‍රයෙනි. දැන් මෙම වැව් ඉස්මත්ත වන රක්ෂිතයක් බවට පත්වී වනජීවි දෙපාර්තමේන්තුවට ධන උල්පතක් වී හමාරය. එසේ වන්නේ මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ආරම්භ කළ ජාතික උද්‍යානය කලාවැව් තාවුල්ල නිසාවෙනි. මුදල් ගෙවා තණ බුදින අලි බැලීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව අවසර ලබා දී ඇත.
දෙස් විදෙස් සංචාරකයන් එසේ අලි බලද්දී ජාතික උද්‍යානය රැක බලා ගැනීමට වනජීවි දෙපාර්තමේන්තුව විසින් පත්කෙරී සිටින වනජීවි නිලධාරින් සංචාරකයන් සමඟ මුදලට සතුටු වෙද්දී කලාවැව් ඉස්මත්තේ ඇති විශාල වටිනාකමක් ඇති දැවැන්ත ගස් ටික කපා කොටස් කර වැව් තාවල්ල දිගේම ලී මෝල්වලට රැගෙන යති. දැනටමත් කලාවැව් තාවල්ලේ මහජනතාවට පෙනෙන්නට වනජීවි බලධාරීන්ට නොපෙනෙන්නට මහා වනස්පතියෝ රැසක් මළ කඳන් බවට පත්වී වැව් පතුල සිපගෙන සිටියි. එමෙන්ම වටිනා ගස් රැසක් මියැදෙන්නට පණ අදිමින් සිටියි. එසේ පණ අදින්නේ වෙන කිසිවක් නිසා නොව මෙම ගස්වල පොත්ත ඉතා සූක්ෂම ලෙස ඉවත්කර ගස මැරීමට සලස්වා තිබීම නිසාය. මෙපමණ දෙයක් ඉතා ප්‍රසිද්ධියේ සිදුවෙද්දී කලාවැවට දියවර සපයන දඹුලු ඔය දිගේ වැලි ජාවාරමුන් ඉතා ප්‍රසිද්ධියේ බඩ පිනුම් ගසමින් ඉවුරු කපා වාහන ඊට බස්සවා වැලි ජාවාරම ජයටම සිදුකරගෙන යති. එහෙත් මේවා රැකබලා ගැනීම සඳහා ජනතා මුදලින් පත්කර සිටින වනජීවි නිලධාරින් සහ අනෙකුත් වගකිව යුතු බොහෝ දෙනෙක් කලාවැව ඉස්මත්තේ පිහිටි හේන් කීපයක ඇති වාඩිවලට (පැල්) වී මදුවිත තොල ගාමින් දඩමස්වල රසබලති.
කලාවැව එක් කෙළවරකින් අයත් වන්නේ ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයටය. තවත් පසෙකින් කෙළවර වන්නේ කැකිරාව පොලිස් බල ප්‍රදේශයටය. සියලු ප්‍රදේශ පාලනය වන්නේ ගල්කිරියාගම වනජීවි කාර්යාලය හරහාය. දැව ජාවාරම සිදුකර තිබෙන කැකිරාව පොලිස් බල ප්‍රදේශයක කලාවැව ඉස්මත්තේ පිහිටි විශාල මී ගසක් බිම හෙළා ඇති අයුරු අපි දුටුවෙමු. වනජීවි නිලධාරින් මුනිවත රකින නිසා පටවන්න සූදානම් කොට, කොටස්කර තිබූ මී ගස පිළිබඳව අප විසින් කැකිරාව පොලිසියට දැනුම් දෙනු ලැබුවේ කපා දැමූ දැව කඳ හෝ රජයට ලබාදීම අරමුණු කැරගෙනය. වහාම ක්‍රියාත්මක වූ කැකිරාව පොලිසිය එම ස්ථානයට පැමිණ එම ගසේ පරික්ෂණ ආරම්භ කිරීම ගැන අපි සතුටු වුණෙමු.
කලාවැව ජාතික උද්‍යානය භාරව කටයුතු කරන වනජීවි දෙපාර්තමේන්තුවේ ගල්කිරියාගම භාර ප්‍රධාන නිලධාරි සංජීව කුලතුංග මහතාගෙන් මෙම ජාවාරම් ගැන අපි විමසීමක් කළෙමු. ඒ මහතා කීවේ ගසක් කපා තිබුණද එම ගසේ බෙනයක් ඇති නිසා දමා ගොස් ඇති බවයි. එහෙත් කැපුවේ කවුරුන්ද යන්න නොදන්නා බවයි. එමගින් අපට වැටහී ගියේ ඔවුන් අවුරුදු 600 ක් 700 ක් පමණ කාලයක් වැව් තාවල්ලේ තිබුණු මෙම ගස් කැපීම කොටස් කිරීම ගැන දැන සිටි බවයි. එසේනම් එම දැවැන්ත දැව කුට්ටිවලට කළ යුතු ඉදිරි නීතිමය පියවර ගන්නේද යන්න සොයා බැලිය යුතු නොවේදැයි කලාවැව තාවල්ලේ සිට අපට පසක් වූ කරුණකි. කලාවැවට ඉහළින් පිහිටි කහල්ල පල්ලේකැලේ වනජීවි රක්ෂිතයේ පිහිටි “රත්මල්ගහවැවේදී” මේ වන විටත් මහා පරිමාණයෙන් වැලි කැණීම් සිදුකරති. පරවනාගම ග්‍රාම නිලධාරි කොටසේ පිහිටි පරවනාගම ගොවි සංවිධානයේ සාමාජිකයෝ වසර කීපයක සිට තම ජීවිත රැක දුන් මෙම වැවට සිදුවන විනාශය ගැන අපට දැනුම් දුන්හ.
මෙම වනජීවි කලාපයට හා එම වැවට ඇතුළුවීම තහනම් යැයි කැලෑව තුළ දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත්තේ එය රජයේ වැඩපිළිවෙළක් බව පවසමිනි.
ගම්මුන්ගේ උදව්වෙන් අපි මහ වනය මැදින් ඉතා රහසිගතව “රත්මල්ගහවැව” ට ගියෙමු. එහිදී දැකගන්නට හැකි වූයේ මහා විනාශයක් පමණකි. නවීන යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් මේ මහා වනය මැද වැව හාරන රජයේ ව්‍යාපෘතියක් බව පවසමින් වැවේ තැන තැන විශාල වළවල් හාරා ලබාගන්නා පස් යන්ත්‍රවලින් සෝදා වැලි වෙන් කොට සේදී යන රොන් මඩ නැවත එම වැවට යොදා ඇති අයුරුත් තවත් ඉතිරිවන සුන්බුන් පස් කොටස් වනජීවි කලාපයේ කැලෑවේ තැන තැන විශාල වශයෙන් ගොඩ ගසා ඇති ආකාරයත් ය.
“රත්මල්ගහවැව” පිහිටා ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරවනාගම ග්‍රාමසේවා වසම තුළය. මෙම වැව පෝෂණය වන්නේ කහල්ල පල්ලෙකැලේ රක්ෂිතය තුළ පිහිටි කඳුවලින් එන දිය දහරාවලිනි. එම වැව පිරී ඉතිරී යන ජලයෙන් ගල්පොත්තේවැව, කුඹුක්උල්පත, මීගස්වැව, වම්බොටුවැව පෝෂණය වෙයි. එමෙන්ම ප්‍රදේශයේ ජනතාව අනාදිමත් කාලයක සිට මෙම වැව්වලින් ජීවිකාව සරිකැර ගත්හ.
පරවනාගම යනු අප ඉතිහාසයේ සඳහන් ගම්මානයකි. එනම් වීර කැප්පෙටිපොළ විරුවා සුදු පාලකයන් සමයේ සැඟවී සිට සුදු පාලකයන් විසින් අත්අඩංගුවට ගැනුණු ගමයි. අදටද එම වීරවරයාගේ පිළිරුව මෙම ගමේ වල්වැදී තිබේ. එවැනි ඉතිහාසයක් ඇති වැව්වලට අද සිදුවී ඇති විනාශය පිළිබඳව එම වැවේ සිටම අපට අදහස් දැක්වූ ගොවි සංවිධානයේ සභාපති පී.එම්. මුතුබණ්ඩා මහතා : “මීට අවුරුදු කීපයකට කලින් තමයි අපි දන්නා හඳුනන්නේ නැති කොන්ත්‍රාත් සමාගමක් අපේ රක්ෂිතයේ ඇති වැවට ආවේ. වැව හාරා හදන්න කියලා. ඩෝසර් ගෙනල්ලා අපි අනාදිමත් කාලයක සිට ආරක්ෂා කරගෙන සිටි මහා කැලෑව ඩෝසර් දාලා සුද්ද කරලා වාඩි ගහලා පදිංචි වුණා. අපිත් බලාගෙන හිටියා වැව හදනකල්. මේ අය ගමේ අයට එන්න තහනම් කරලා දැන්වීම් ගැහුවා. කැලෑව තුළින් මහා විශාල පාරවල් කැපුවා. ටික කාලයක් ගතවෙද්දී උදේ ඉඳන් රෑ වෙනකල් මහ කැලෑවට ටිපර් රථ එන්න ගත්තා. බැලින්නන් මේ අය මුළු වැවේම මහා වළවල් හාරලා වැලි අලෙවි කරනවා. අවුරුදු දෙකකට ආසන්නයි. තාම වැව හැදුවේ නැහැ. වැවේ අඩි තිහ හතළිහ තැන තැන වළවල් හාරලා පස් අරගෙන ඒවා හෝදලා වැලි වෙන් කරනවා. ඉවත් කරන රොන් මඩ වැවට දානවා. ඒ රොන් මඩ ඇවිල්ලා මේ හාරපු වළවල් පිරෙනවා. දැන් අඩුම තරමේ මාළුවෙක් අල්ලනවත් වැවට බහින්න බෑ රොන් මඬේ එරෙන නිසා. මේ වැවෙන් තමයි මේ රක්ෂිතයේ හිටපු සතා සිව්පාවෝ වතුර බිව්වේ. හරක් වතුර බිව්වේ. දැන් අලියෙක් ආවත් වතුර බීලා ආයේ යන්න බෑ. මේ රොන් මඬේ එරෙනවා. අපේ හරක් රැසක් බේරාගත්තේ බොහොම අමාරුවෙන්. ඒ වගේම තමයි මේ වැවේ තිබුණු වටිනා කියන ගස් දැන් නෑ. ඒවා මුලින්ම උගුලාගෙන කඳ වැලි ටිපර්වල යනවා. ගස්වල සුන්බුන් වැව ඇතුළු තැන තැන ගොඩ ගහලා. දැනටත් විශාල වැලි තොග මේ රක්ෂිතයේ තියෙනවා ගොඩගහලා. මේ පිරිස කියන්නේ උතුරුමැද පළාත් සභාවත් මහ ආණ්ඩුවත් කරන කොන්ත්‍රාත් එකක් කියලා. ඒත් අපිට මේක තේරෙන්නේ නැහැ ගස් ටික කපාගෙන යනවා. වැලි ටික පටවාගෙන යනවා. කැලෑව විනාශ කරනවා. වැව හාරනවා කියලා රොන් මඩින් ගොඩ කරනවා. දේශපාලනඥයෝ වගේම රාජ්‍ය නිලධාරින් කියනවා කළුගල්වල ඔළුව ගහගන්න බෑ කියලා. කවුද මේ විනාශය කරන්න අනුමැතිය දුන්නේ කියලා. මෙතනට ඇවිල්ල බලන ඕනෑම කෙනෙකුට තේරෙනවා මේ වැවද හාරන්නේ වැලිද හාරන්නේ කියලා.
රක්ෂිතය ඩෝසර් කැර ඇති අයුරු.
ඩබ්ලිව්.එම්. නිලන්ත මහතා : අපි හැමෝම ගොවිතැන් කරන්නේ. අද වැවේ වතුර ටික තනිකර චොක්ලට් දිය වුණා වගේ. සතෙකුට බොන්න බෑ. ගොවිතැනකට ගන්ඩ බෑ. මේ ක්‍රමයට වැව් හදන රටක් අපි නම් දැකලා නැහැ. කහල්ල පල්ලේකැලේ ඉන්න වනසතුන් ඔක්කොමලා අලියෝ ඇතුළුව මේ වැවෙන් තමයි වතුර බොන්නේ. අද මේ වනසතුන්ට පවා ජීවිත අවදානම තියෙන්නේ. මේකට කොහොම හරි විසඳුමක් දෙන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ.”
මේ වනාන්තරයට ඇතුළු වූ අපි මේ සියල්ල දෑසින් දැක මෙම වැලි ව්‍යාපෘතිය සිදුකරගෙන යන වනය මැද වාඩියක් සකසා පදිංචිව සිටින කොන්ත්‍රාත්කරු හමුවීමට ගියෙමු. ඒ වන විටත් අතිවිශාල වැලි කඳු සෝදා පිරිසිදුකර අලෙවිය සඳහා සූදානම් කර ඇති අයුරු දුටුවෙමු. එමෙන්ම වැහි කාලයට වැව පතුලේ ඇති වැලි නිධි ගොඩට ගන්නා නවීන යන්ත්‍ර සූත්‍ර මෙන්ම බෝට්ටු විශේෂය ද මෙහි දුටුවෙමු.
එම ස්ථානයට ගිය අපි එහි සිටි ස්ථාන භාර නිලධාරියා බව කියූ පුද්ගලයාගෙන් මෙම ව්‍යාපෘතිය පිළිබඳව විමසීමක් කළෙමු. ඔහු මෙසේ පැවසීය.
“මේක රජයේ ව්‍යාපෘතියක්. මහ ආණ්ඩුවත් පරිසර අමාත්‍යාංශයත් භූවිද්‍යා එකත් එක්ක තමයි මේක කරන්නේ. අපි පෞද්ගලික ආයතනයක් තමයි. අපි රජයත් එක්ක ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ මේ වැව හදලා දෙන්න. අපි වැලි ටික ගන්නවා. අවසානයේ අපි වැව හදලා දෙනවා. ඒ සඳහා සියලු අවසර අපිට දීලා තියෙන්නේ. මේක හොරෙන් කරන වැඩක් නොවෙයි. ගමේ අය හෝ කිසිම කෙනෙක් ඇවිල්ලා අපිට පරිසර විනාශයක් වුණා කියලා දැනුම් දීලා නැහැ. මන්ත්‍රීතුමත් ඇවිල්ලා ගියා. එයාවත් මොනවත් කිව්වේ නැහැනේ. උතුරුමැද පළාත් සභාවත් අවසරය දීලා තියෙනවා.
පළාත් සභාවේ ඇමැතිතුමා සිද්ධිය දන්නේ නැහැලු.
මෙම මහා පරිසර විනාශය මෙන්ම රත්මල්ගහවැව සිදුවන වැලි කොන්ත්‍රාත්තුව පිළිබඳව වනජීවි දෙපාර්තමේන්තුවෙන් විමසීමේදී ගල්කිරියාගම භාර නිලධාරි සංජීව කුලතුංග මහතා කීවේ මෙම වැවේ වැලි කැණීම් සඳහා අවශ්‍ය අවසර පත් රජය මගින් ලබාදී තිබෙන නිසා වනජීවි දෙපාර්තමේන්තුවේ අවධානයක් යොමු නොකළ බවත් අභයභූමි ගැසට් පත්‍රයට මෙම වැව ඇතුළු වී තිබුණත් ගැසට් එකේ අවසන් පේළිවල වැව නිදහස් කර ඇති බව කීවේය.
කොන්ත්‍රාත්කරුවන් අප සමග කීවේ මෙම වැව පළාත් සභාවට අයත් බවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබී තිබෙන බවත්ය. ඒ නිසාම අප විෂය භාර ඇමැති එස්. බී. සේමසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු.
“නෑ... නෑ.. පළාත් සභාවේ වැව් වැලි අදින්න දීලා නැහැ. මම ඕක දන්නෙත් නෑ. හරි... හරි.. මම හොයලා බලන්නම්. කොහෙද ඔය වැව තියෙන්නේ.... අපි කාටවත් වැලි අදින්ඩ හෝ වැව හදන්න වැලිවලට දීලත් නැහැ. මම හොයා බලලා කියන්නම්. හරි.... හොඳයි.” මේක ගොවි සංවිධානයේ ඉල්ලීම මත දීලා තියෙන්නේ කියලයි ආරංචි ලැබිලා තියෙන්නේ.”
රත්මල්ගහවැවේ සිදුකරන ක්‍රියාවලිය පිළිබඳව එසේ වෙද්දී ප්‍රදේශයේ සිඳී ගිය වනාන්තරයේ සිට දිය සොයා එන වනසතුන් දඩයම ජයටම සිදුකෙරේ.
ගල්කිරියාගම හා ගලේවෙල ප්‍රදේශ වෙන්කෙරෙන හිනුක්ගල ප්‍රදේශයේ වනජීවි හා වනසංරක්ෂණ කැලෑව විවිධ ක්‍රම ඔස්සේ නන්නාඳුනන පුද්ගලයන්ට විවිධ බදු ක්‍රම ඔස්සේ බෙදාදීම සිදුවෙයි. බොහෝ ඉඩම් ලැබී ඇත්තේ දඩමස් ජාවාරම්කරුවන්ටය. පසුගියදා මෙම ජාවාරම්කරුවෝ දිය සොයා එන මුවන්ට මදු ගසා මරා දැමීම සිදුකරන අයුරු බලා සිටීමට නොහැකි තැන වනජීවි නිලධාරින්ගේ රාජකාරිය ප්‍රදේශයේ තරුණ පිරිසක් අතට පත්කර ගත්තා. මදු ගසා මැරූ ගැබ්බර මුව දෙනකගේ ගෙලසිරවූ සිරුරත් මස් වැද්දන් දෙන්නෙක් තරුණයෝ අල්ලා ගත්හ. වනජීවි නිලධාරින්ට මේ බව දැනුම් දුන්හ. පිළිතුර වූයේ එන්නට වාහනයක් නැති බවය. පසුව ගම්මු මේ ගැන ළඟම පොලිසිය වූ ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නලින් දිල්රුක් මහතාට දැනුම් දී මුව දෙන හා සැකකරුවන් දෙන්නා භාර දුන්හ.
රජරට වැව් බැඳි රටට අද සිදුව ඇත්තේ කුමක්දැයි අපට ද සිතා ගන්නට නොහැකි විය.
විෂය භාර ඇමැතිවරයා හෝ නොදැන ඔහුට අයත් අමාත්‍යාංශයේ වැව්වල වසර ගණනාවක සිට වැලි කැණීම් කර කෝටි ගණන් මුදල් උපයද්දී පළාත් සභාවේ අය නොදන්නා බව කියති. කොන්ත්‍රාත්කරු කියා සිටින්නේ මන්ත්‍රීවරු පවා එම ස්ථානයට පැමිණ වැලි ටික කවරදා හෝ ඇදගෙන වැව හදා දෙන ලෙස රජය හා පළාත් සභාවෙන් තමන්ට අනුමැතිය ලැබී තිබෙන බවය. කලා වැව් රක්ෂිතය මේ වන විට තනිකර පිට්ටනියක් වෙමින් පවතී. විශේෂයෙන් රක්ෂිතයේ ඇති දැවැන්ත ගස්වල මුල පොත්තෙන් ඉවත්කර මේ දිනවල ගිනි දමති. පවතින වියළි තත්ත්වයත් සමඟ මේ රක්ෂිතයේ ගස් දින කීපයක් යද්දී බිම පතිත වෙයි. දැව කඳන් ටික රහසිගතව මෙන්ම ප්‍රසිද්ධියේ ලී මෝල්වලට යයි. පසුව ඩෝසර් දමා එම රක්ෂිත හෙළිපෙහෙළි කරමින් අල්ලා ගනිති. ගල්කිරියාගම පොලිස් වසමට අයත් වනජීවි රක්ෂිතය අක්කර ගණනාවක් මේ දිනවල හෙළිපෙහෙළි කරමින් සිටිති. වසර ගණනක් තිස්සේ රක්ෂිතයේ තිබූ විශාල ගස්වල මුල් පුලුස්සා ඇද වැටීමට ඔන්න මෙන්න තත්ත්වයේ පසුවෙයි.
කලාවැව හා බළලු වැවට ජලය රැගෙන යන දඹුලුඔය දෙපස වැලි ජාවාරම්කරුවන්ගේ රජදහන් වී හමාරය. බලපත්‍ර හිමිකරුවන් යැයි එම ස්ථානවල ප්‍රදර්ශනය කර ඇත. එහෙත් ඉවුරු දෙපස කපා දමා වාහන ඔයට බස්සවා වැලි ලබාගන්නා බවට සාධක රැසක් තිබියදී මේවා රැකබලා ගන්නා නිලධාරීන්ට මේවා නොපෙනීම මවිතයට කරුණකි. නීති අණ පනත් පොතට පමණක් සීමා කර සියල්ලන්ගේ ඇස්වලට වැලි ගසා රජරට සිදුවන පරිසර ජාවාරම ගැන බලධාරින්ගේ අවධානය නොපමාව යොමුවිය යුතුව ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජරට වනපෙත් වනසන හැටි ඇස් ඇරලා බලපල්ලා
පතිරණ Wednesday, 02 November 2016 11:24 AM
රට බේරගන්න පෙළගැසෙමු. දේශපාලකයන් අපේ රට වනසනවා (නි)
ඇන්ජලෝ Wednesday, 09 November 2016 10:45 PM
දුක දනවන පුවතක්. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි මේ අමාරුව (නි)
රංග Thursday, 03 November 2016 03:16 AM
පතිරණ, මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු ඡන්දෙ දීලා මේ අයව අායෙත් පත්කරන එකනේ...!! (නි)
ධම්මසේන Saturday, 12 November 2016 06:41 AM
අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ! (නි)
දයානි Thursday, 03 November 2016 07:29 AM
මේවා දකිද්දී කියන්න දේවල් නැත. හිතට දැනෙන වේදනාවට කදුලු ගලනවා. ලංකාදිපයටත්, කාංචන මල්ලිටත් පින්සිද්ධ වෙනවා අපිට මෙහෙමවත් දකින්න සැළසුවාට. (නි)
නිමල් ලලිත Saturday, 12 November 2016 09:06 AM
මේ රටේ පාලකයන් මර නින්දේද?වැටුප් වැඩිකර නිලධාරීන් ලවා මේ වන විනාශය නවත්වාගත නොහැකි නම් නියම ජාති හිතෛෂීන්ගෙන් ස්වෙච්චා සංවිධානයක් හදන්න. ඔවුන් හොඳින් හෝ නරකින් වන විනාශය වළක්වයි. එදාට මේවාට උදව් දෙන දේශපාලුවන්ටත් වරදීවි. (නි)