විදුලිය යනු රටක දෛනික ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. රට තුළ විදුලි ඇණහිටීමක් සිදුවුවහොත් එයින් රටට සිදුවන පාඩුව අතිවිශාලය. ඒ මගින් රටේ කර්මාන්ත ක්ෂේත්‍රය එනම් ප්‍රධාන වශයෙන් රටේ ප්‍රධාන ආදායම් මාර්ග වන සංචාරක කර්මාන්තයට මෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයට විශාල අලාභයක් සිදු වේ.
ශ්‍රී ලංකාවේ විදුලිය උත්පාදනය පිළිබදව විමසා බැලීමේදී ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ජල විදුලි බලාගාර වේ. කොත්මලේ, වික්ටෝරියා, ඉහළ කොත්මලේ, රන්දෙණිගල, රන්ටැඹේ, නව ලක්ෂපාන, නෝටන්බ්‍රිජ්, කාසල්රී අප රට තුළ පිහිටා ඇති ජල විදුලි බලාගාරවලින් කිහිපයකි.
ගල් අඟුරුවලින් ක්‍රියා කරන නොරච්චෝලේ බලාගාරය මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක් එකතු කරනු ලබයි. යුගදනවි, ලක්දනවි, කැලණිතිස්ස, සපුගස්කන්ද ආදී ඩීසල් බලාගාර ඉන්ධන සහ ගෑස් භාවිතයෙන් ක්‍රියාත්මක වේ. ඊට අමතරව මන්නාරම, නිර්මලපුර, අඹේවෙල, මාම්පූරි යන ප්‍රදේශවල සූර්ය සහ සුළං බලාගාරද පිහිටා තිබේ. මේ අයුරින් විදුලි උත්පාදක බලාගාර කොතෙකුත් තිබුණද මෙරට විදුලි බිඳවැටීම් සහ විදුලි කප්පාදුවේ අඩුවක් නොමැත. එයට මෙරට ඉතිහාසය සාක්ෂි දරනු ලබයි. ශ්‍රී ලංකාවේ දිවයිනටම බලපෑ විදුලිය බිඳවැටීම් කිහිපයක් පසුගිය වසරවලදී සිදුව තිබේ. එනම් 2020 වසරේ අගෝස්තු 17 වැනිදා කෙරවළපිටිය සම්ප්‍රේෂණ පද්ධතියේ සිදුවූ තාක්ෂණික දෝෂයකින් දිවයින පුරා විදුලිය බිඳ වැටිණි.
2021 වසරේ දෙසැම්බර් 03 වැනිදා කොත්මලේ සිට බියගම දක්වා දිවෙන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදුවිය. 2023 වසරේ දෙසැම්බර් 09 වැනිදා ද කොත්මලේ සිට බියගම දක්වා දිවෙන සම්ප්‍රේෂණ මාර්ගයට අකුණු සැර වැදීමෙන් විදුලිය බිඳ වැටිණි.
විදුලිය බිඳවැටීම් මෙන්ම විදුලිය කප්පාදුව සම්බන්ධයෙන්ද දිගු ඉතිහාසයක් මෙරටට උරුම වේ. නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයේ 2 සහ 3 ජනන යන්ත්‍ර අක්‍රීය වීම නිසා 2016 වසරේ මාර්තු මස ද දින කීපයක් විදුලි සැපයුම කප්පාදු කෙරුණ අතර ඉන් පසුවද නොරොච්චෝලේ ජනන යන්ත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා අවස්ථා කීපයකදී විදුලි සැපයුම කප්පාදු කළේය. විදුලිය නිෂ්පාදනයට ඉන්ධන නොමැති වීම සහ ඉන්ධන ගන්නට ඩොලර් නොමැති වීම ඇතැම් අවස්ථාවල විදුලිය කපා දමන්නට හේතු විය. ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් තාප විදුලිය සඳහා ඉන්ධන නොමැති වීම සහ ජල විදුලියෙන් විදුලිය ජනනය සඳහා ජලය ප්‍රමාණවත් නොවීම ආදී ගැටලු හේතුවෙන් 2021 වසරේ සිට විදුලි සැපයුම කප්පාදු කළ අතර එම විදුලි කප්පාදුව ආරම්භයේදී පැය 12 ක් පමණ විය. ඉන් පසුව 2022 වසරේ සිට වසරකට ආසන්න කාලයක් රට තුළ කාණ්ඩ කීපයක් යටතේ විදුලිය කප්පාදු කළ අතර 2023 වසරේ පෙබරවාරි මස විදුලි කප්පාදුව අත්හිටුවීය. ශ්‍රී ලංකාවට විදුලිය බිඳවැටීම සහ විදුලි කප්පාදුව යනු නවමු අත්දැකීමක් නොවන බව මෙයින් පැහැදිලි වේ. එකල මෙරට පාලනය කළ ආණ්ඩු විවිධ වූ හේතු සාධක ඉදිරිපත් කරමින් ජනතාව නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නද විදුලිය බිඳවැටීමේ අර්බුදය තවම අවසන් නොමැති බවට පසුගිය ඉරුදින සාක්ෂි දරයි.
වඳුරකු හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදුලිය බිඳවැටීම විදේශ පුවත් සේවාවලද ප්‍රධාන සිරස්තලයක් බවට පත්විය. දිවයින පුරා විදුලිය ඇණහිටීම පෙ.ව. 11:30ට පමණ සිදු වූ අතර එමඟින් විදුලි පද්ධතියට බාධා ඇතිවිය. මෙම සිදුවීම ඇත්ත වශයෙන්ම වඳුරකු විසින් සිදුකරන ලද එකක් බව බලශක්ති අමාත්‍යවරයා තහවුරු කළේය. විදුලිය සැපයුම යථා තත්වයට පත් කිරීම සඳහා බලධාරීන් පැය 5 සිට 6 දක්වා කාලයක් ගතවූ අතර, ක්‍රමයෙන් විවිධ ප්‍රදේශවලට විදුලිය නැවත පැමිණියේය.
එහෙත් විදුලිය බිඳවැටීමෙන්, සිදුවුණු පාඩුව බිලියන ගණනකි. බලධාරීන් පවසන්නේ රටේ විදුලිබල පද්ධතියට මෙගාවොට් 900 ක විදුලි බලයක් ලබා දෙන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම නිසා විදුලිය බිඳවැටුණු බවය. ඉදිරි දින කීපයේදී නොරොච්වෝලේ තාප විදුලි බලාගාරය යථා තත්වයට පත් කිරීමට නියමිතය. ඉරුදින විදුලිය බිඳවැටීමෙන් පසු සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළද පැය එකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීම් සිදු කෙරුණේය. නොරොච්චෝල තාප විදුලි බලාගාරය යථා තත්වයට පත්වන තුරු 14 වැනිදා තෙක් විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිතය. මුලින් එය විනාඩි 30 කට සීමා වන අතර පසුව එම කාලසීමාව තවත් අඩු වීමටද නියමිතය. විදුලිය කප්පාදු කිරීමේ කාලසටහන විදුලිබල මණ්ඩලය මගින් ඉදිරිපත් කර තිබේ.
මේ පිළිබඳව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සංස්කාරක බුද්ධික විජේවර්ධන මහතා පැවසූයේ මෙවැන්නකි.
විදුලිය නිෂ්පාදනයේදී විදුලිබල මණඩලයෙන් ලබා දෙන සැපයුම වගේම සූර්ය පැනල මගිනුත් විදුලි සැපයුම් ලබා දෙනවා. පවතින කාලගුණය එක්ක සූර්ය පැනල මගින් ලබා දෙන සැපයුම වෙනස් වෙනවා. සූර්ය පැනල මගින් වැඩි සැපයුමක් ලබෙන විට විදුලිබල මණ්ඩලයෙන් ලබා දෙන සැපයුම අඩුවෙන නිසා විදුලිය සපයන බලාගාර ප්‍රමාණය, යන්ත්‍ර ප්‍රමාණය අඩු වෙනවා. එහෙම අවස්ථා පද්ධතියේ සමතුලිතතාවට බාධාවක් වෙන්න පුළුවන්. පද්ධතියේ ස්ථායිතා දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න අවශ්‍ය සැලසුම් අපි ළඟ නෑ. අපි ඒ සැලසුම් ඉක්මනට හදන්න ඕන.
අපි දිගුකාලීන ජනන සැලැස්ම නිර්මාණය කරද්දී සැලසුම් කළේ සූර්ය පැනල මගින් මෙගාවොට් 160 ක ධාරිතාවක් ලබා ගන්න. එලෙස ලබා දෙන ධාරිතාවට ගෙවීම් කරනවා. ඒ ගෙවීමේ අනුපාතය තීරණය කරන්නේ මුදල් අමාත්‍යංශය. 2022 වසරේ ආර්ථික අර්බුදය කාලේ ඩොලර් හුවමාරු අනුපාතිකය රුපියල් 365 වගේ ඉහළ ගියා. පොලී අනුපාතයත් සියයට 20 ක් වගේ ලොකු ගාණකින් වැඩි වුණා. ඒ කාලේ රුපියල් 37 ක මුදලක් ගෙවන්න අනුමත කළා. සූර්ය පැනල්වලට රුපියල් 37 ක් වගේ ලොකු මුදලක් ගෙවන නිසා නිවෙස්වල සූර්ය පැනල් සවි කිරීම ලාබ ලැබිය හැකි දෙයක් බවට පත් වුණා. ඒ නිසා සූර්ය පැනල් සවි කිරීම විශාල වශයෙන් සිදු කළා.
අපි මෙගාවොට් 160ක් බලාපොරොත්තු වුණාට අපිට මෙගාවොට් 600ක් ලැබුණා. එහෙත් ඊට පස්සේ රට යථා තත්වයට පත් වෙද්දී ඩොලර් අනුපාතය පොලී අනුපාතය අඩු වුණා. 2024 ජූලි තමයි නැවත සූර්ය පැනල් සඳහා කරන ගෙවීම රුපියල් 26 දක්වා අඩු වුණේ. අපි 2025 ටත් සැලසුම් කළේ අවශ්‍ය ධාරිතාව මෙගාවොට් 160 ක්. මේ ලැබෙන වැඩි ධාරිතාව පාලනය කරන්න අවශ්‍ය බැට්රි පද්ධතියක් නිර්මාණය කරන්න අපි සැලසුම් කළේ 2026 වසරේ. 2024 වසරේ ඔක්තෝබර් මාසය වෙද්දි අපිට තේරුණා පද්ධතියේ යම් අසමතුලිතතාවක් මේ වැඩි ධාරිතාව නිසා නිර්මාණය වෙන බව. එහෙත් ඒක හැම වෙලාවෙම නෙමෙයි සුවිශේෂ අවස්ථාවලදී. අපි ඒක අත්දැක්කා ජනාධිපතිවරණයේදී. ජනාධිපතිවරණයෙන් පසු දිනයේදී ඇඳිරි නීතිය එක්ක පද්ධතියේ මුළු ධාරිතාව මෙගාවොට් 870ක් වගේ අඩු වුණා. දවල් කාලයේ එච්චර අඩුවීමක් මෑත කාලයේදී වෙලාම නෑ. ලෝඩ් එක අඩු වුණාම පද්ධතියේ ස්ථායීභාවය අඩු වෙනවා. සාමාන්‍ය හොඳට හිරු රශ්මිය තියෙන දවසකට මෙගාවොට් 1400 ක් වගේ ප්‍රමාණයක් තමයි විදුලිබල මණඩලය මගින් සපයන්න ඕන. වලාකුළු බර දවසක් වුණොත් මෙගාවොට් 1800 ත් 2000 ත් ආසන්න ගණක් විදුලිබල මණ්ඩලයෙන් දෙන්න ඕන.
ඉරිදා දිනවලත් මේක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන්. මොකද ඉරිදා දවසට කර්මාන්ත ශාලා ආදී වාණිජ ක්ෂේත්‍රය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා රටට ඕන කරන විදුලි ධාරිතාව අඩුයි ඉරිදා දවසට. ඉරිදා දවස හොඳට අව්ව තියෙන දවසක් වුණොත් සූර්ය පැනල මගින් ලැබෙන ධාරිතාව වැඩි වෙනවා. එතකොට පද්ධතියේ ඉල්ලුම අඩුවෙලා ලැබෙන බලශක්තිය වැඩි වුණාම පද්ධතිය අස්ථාවර වෙනවා. මේ වගේ වෙලාවක මොනව හරි පොඩි සිදුවීමක් වුණොත් ඒක විදුලිය බිඳ වැටෙන්න බලපානවා. තදින් අකුණු ගහන එක වුණත් ඇති විදුලිය බිඳ වැටෙන්න.
ගතවූ ඉරිදා දිනයෙත් මේ ගැටලුව ආවා. එහෙත් ඒක පාලනය කරගන්න පුළුවන් වුණා. එහෙත් මේ ඉරිදා තත්වය පාලනය කරගන්න අපිට බැරි වුණා. මොකද පද්ධතියේ ස්ථායිභාවය හොඳටම දුර්වල වෙලා තිබ්බේ. පානදුර උපබලාගාරයේ වඳුරෙක් වැදීම සිදුවීමෙන් තමයි විදුලිය විසන්ධි වුණේ. ඉරිදා දවසක් නිසා තමයි එහෙම වුණේ. සතියේ දවසක් වුණා නම් විදුලිය බිඳ වැටෙන්නේ නෑ. එක සිදුවීමක් වුණාම ඒක සිදුවීම් දාමයක් වෙලා සම්පූර්ණ පද්ධතියට බලපානවා. මොකද මේ විදුලිය ලබා දීම එකම ජාලයක්. ඒ නිසා තමයි පානදුරේ සිදුවීමෙන් රටේම විදුලිය නැති වුණේ. මේ විදුලි බිඳ වැටීමෙන් සිදුවුණු පාඩුව අඩුයි ඉරිදා දවසක් නිසා. එහෙත් තවම නිසි ගණනයක් කරලා නෑ. සතියෙ දවසකට වඩා පාඩුව අඩුයි.
සාමාන්‍යයෙන් කෙළවරපිටිය, කැලණිතිස්ස, ලක්ෂපාණ වගේ විදුලිය ලබාදෙන බලාගාර ගොඩක් අපේ රටේ තියෙනවා. එහෙත් ඒවා කැඩුණා කියලා රටේ විදුලියට ගැටලුවක් වෙන්නේ නෑ. අපි ඒක අනිත් බලාගාරවලින් පියවනවා. නොරොච්චෝලෙත් එක ප්ලාන්ට් එකක් කැඩුණා කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. නොරොච්චෝලේ කියන්නේ මෙගා වොට් 300 බලාගාර 3 ක්. එක්කොම මෙගාවොට් 900ක්. මෙගාවොට් 300 කිව්වට 270 ක් වගේ තමයි සපයන්නේ. ඉතුරු 30 ප්ලාන්ට් එකේ ක්‍රියාකාරීත්වයට වැය වෙනවා. මේ දිනවල රටට මෙගාවොට් 810ක් වගේ අහිමි වෙලා තියෙනවා.
රාත්‍රී කාලයේ 8 ත් 10 ත් අතර තමයි විදුලියට උපරිම ඉල්ලුම තියෙන්නේ. නොරොච්චෝලෙන් ලැබෙන මෙගාවොට් 810 නැතුව අපිට විදුලිය ලබා දෙන්න බෑ. ගිය සතියේ මෙගාවොට් 2600ක් 2700 අතර අවශ්‍යතාවක් තිබ්බා. අර මෙගාවොට් 810 අඩු වුණාම මෙගාවොට් 2600ක් 2700ක් දෙන්න අපිට බෑ. ඒ හේතුව නිසා තමයි විදුලිය කළමනාකරණය කරන්න යම් යම් ප්‍රදේශවලට විදුලිය කප්පාදු කරන්න වෙන්නේ. තව දවස් තුනක් වගේ විදුලිය කප්පාදු කරන්න වෙනවා.
මේ ප්‍රශ්නේ තදින්ම බලපාන්නේ ජනවාරි පෙබරවාරි මාසවලට තමයි. මොකද ඒ මාස දෙකේ සීතල වැඩි නිසා වායු සමීකරණ සහ විදුලි පංකා භාවිතය අඩුයි. ඉරිදා දවසට කොහොමත් අඩුයි. මාර්තු මාසේ වෙද්දි උෂ්ණත්වය වැඩිවෙන නිසා මේ ගැටලුව අඩු වෙනවා.
සූර්ය පැනල මගින් ලැබෙන විදුලිය අපි සැලසුම් කළාට වඩා ලැබෙන එක මේකට හේතුව වුණාට මේකට බලපාන ගැටලුව වුණේ වැඩි ධාරිතාව කළමනාකරණය කරන්න අවශ්‍ය දත්ත පද්ධතියක් නොමැති වීම. එම දත්ත පද්ධතිය අපි සැලසුම් කළේ 2026 වසරට. 2026 දත්ත පද්ධතිය හදන්න සැලසුම් කරාට මේ වෙද්දී ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ලබාගෙන 2026 ට පෙර එම දත්ත පද්ධතිය හදන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ගැටලුව විසඳෙයි.
රටම අඳුරු කළ විදුලි අර්බුදය සුළුපටු නොවේ. ඒ මගින් සිදු වූ හානියද සුළුපටු නොවේ. පෙර වසරවලදී මෙන් නැවත විදුලි කප්පාදුව ආරම්භ වී තිබේ. මෙය රටට බලපාන බරපතළ ගැටලුවකි. මෙම ගැටලුවට තාවකාලික පැලැස්තර නොදා ඉක්මන් විසඳුම් ලබාදීම බලධාරීන්ගේ වගකීමකි.
(*** ශෂිකා අබේරත්න)
විදුලිය යනු රටක දෛනික ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. රට තුළ විදුලි ඇණහිටීමක් සිදුවුවහොත් එයින් රටට සිදුවන පාඩුව අතිවිශාලය. ඒ මගින
මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ වී සහ සහල් පිළිබඳ ගැටලුවයි. එය වී සහල් සටනක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත. රටේ වී වගා කරන ගො
ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනයේ ඔප දැමූ කොරිඩෝව පිටුපස ඇත්තේ බලයේ සහ බලපෑමේ වංකගිරියකි. මෙම වංකගිරියේ වඩාත් කැපී පෙනෙන චරිතයක් වූයේ ජනාධිපති මහින්ද ර
ලබන වසරේ (2026) සිට සෞන්දර්ය සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට අදාළ විෂයන් ඉවත් නොකරන බවට පසුගිය සෙනසුරාදා අරලියගහ මන්දිරයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවති සා
කොළඹ ගංගාරාම මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහර 47 වැනි වරට (11-12) හෙට සහ අනිද්දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
පොල් යනු ඉතිහාසයේ සිට ලාංකිකයන්ගේ දෛනික කටයුතු හා බැදුණකි. එනම් සුබ කටයුත්කදී පොල් කිරි යොදා සකසන කිරිබත නැතිවම බැරිය, දෙවියන් පිදීමේදී වුවත් පොල් ගෙඩ
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
රටම අඳුරේ තැබූ විදුලියේ ජරමරේ