IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රටේ ආර්ථිකය ඉස්සරහටද?පස්සටද?

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට යන්නේ තරමක් සංකීර්ණ කාරණයක්ය. රටේ ආර්ථිකයේ තත්ත්වය පිළිබඳව ලිවිය යුතු යැයි සිතුවේ හේතු කීපයක්ම නිසාය. එක් පැත්තකින් රටේ විදේශ මුදල් සංචිතවල බරපතළ හිඟවීමක් ඇති බවට හැම පැත්තෙන්ම අදහස් මතුවෙමින් තිබීමය. තවත් පැත්තකින් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම හේතුවෙන් සමාජයේ මතුවෙමින් තිබෙන සාකච්ඡාවය. තුන්වෙනුව විදේශ මුදල් හිඟවීම හේතුවෙන් ඩොලර් දී ගනු ලබන භාණ්ඩ (තෙල්, ගෑස්, තිරිඟු පිටි, කිරිපිටි, සිමෙන්ති) බරපතළ ආකාරයෙන් වෙළඳපොළේ එක්කෝ හිඟවී තිබීමය. නැත්නම් මිල අහස උසට ඉහළ යාමය. මේ හේතු ගණනාවක්ම නිසා අපේ රටේ ප්‍රධාන සංවාද මාතෘකාව බවට පත්වී තිබෙන්නේ ආර්ථික කාරණාය. කිවිදා දැක්මෙන් මේ සතියේ ආර්ථික කාරණය සාකච්ඡා කළ යුතු යැයි සිතුවේ ඒ නිසාය.

ආර්ථිකයේ දේශපාලන පදනම

රටක ආර්ථිකය පදනම් වෙන්නේ ඒ රටේ දේශපාලන ප්‍රතිපත්ති මත බව විශේෂයෙන් කිවයුතු කාරණයක් නොවේ. ඒ අනුව අපේ රටේ නිදහසින් පසු ගත වූ වසර 73 කාලය පුරාවට රට පාලනය කළ දේශපාලන පක්ෂ සහ ප්‍රතිපත්ති මෙරට ආර්ථිකයේ අද තිබෙන තත්ත්වයට වගකිව යුතු බව ඉතාමත් පැහැදිලිය. මගේ තේරුම් ගැනීම වන්නේ නිදහසින් පසු අපේ රට ආර්ථික වශයෙන් ප්‍රධාන ස්ථාවර 03ක් මත පදනම් වී ඇති බවය. මේ ස්ථාවර 03 එකිනෙකට ප්‍රතිවිරුද්ධ ඒවා වන අතර පසුගිය වසර 73 නිදහස් කාලය යැයි කියන්නේ මේ ආර්ථික මොඩල 03 අත්හදා බලන්නට ගත් උත්සාහය යැයි කීමේ වැරැද්දක් නැත.

මගේ තේරුම් ගැනීමට අනුව අපේ රටේ නිදහසින් පසු අත්හදා බැලූ පළමු ආර්ථික මොඩලය වන්නේ සම්භාව්‍ය ධනේශ්වර ආර්ථික ආකෘතිය සහ සමබර සුබසාධන යාන්ත්‍රණය සහිත ක්‍රමවේදයක්ය. (Classical Capitalistic Economy with balanced Social Welfare System). 1948 පත්වූ එ.ජා.ප. ආණ්ඩුවෙන් පටන්ගෙන 1970 වෙනතුරු පත්වූ ආණ්ඩු 05ක්ම ඒ අයගේ දේශපාලන පක්ෂ වෙනස් වුවත් ක්‍රියාත්මක කෙරුවේ යම් ආකාරයකින් සමාන ආර්ථික මොඩලයක්ය. මේ කාලය තුළ ආණ්ඩු බලය එ.ජා.ප.යටත් (1948, 1952 සහ 1965) එසේම ශ්‍රීලනිපයටත් (1956 සහ 1960) හිමි වූ අතර මේ පක්ෂ දෙකම අඩු වැඩි වශයෙන් පදනම් වූයේ මා ඉහතින් සඳහන් කළ ආර්ථික මොඩලයේය.

රටේ ආර්ථිකයේ දෙවැනි වැදගත් සුසමාදර්ශී වෙනසක් (Paradigmic Change) යෝජනා කරනු ලැබුවේ 1970 බලයට පත් වූ ශ්‍රීලනිප ආණ්ඩුව විසින්ය. මේ ආර්ථික ආකෘතිය මා මුලින් සඳහන් කළ ආර්ථිකයට සම්පූර්ණයෙන්ම වෙනස් වූ එකක් විය. එහි පදනම වූයේ මධ්‍යගත රාජ්‍යය කේන්ද්‍රීය ආර්ථිකයක් සහ සංවෘත වෙළඳපොළ ක්‍රමයක්ය. (State Centred economy and closed market system) මෙම ආර්ථික මොඩලය 70 දශකයට සාපේක්ෂව යම් ආකාරයක බලාපොරොත්තු සහගත ආර්ථික උත්සාහයක් බව ඒ යුගයේ පිළිගත් අදහස විය.

මේ ආර්ථික මොඩලය පසුපස ඒ කාලයට අයත් මෙරට සිටි හොඳම ආර්ථික විශේෂඥයන් සිටි බව ද සත්‍යයක්ය. ආචාර්ය එන්.එම්. පෙරේරා එවකට මුදල් ඇමතිය. ආචාර්ය එම්.ඒ.ද එස්. ගුණසේකර සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්ය. ආචාර්ය ජයන්ත කැලේගම වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්ය. මේ තිදෙනාම ඒ යුගයේ සිටි හොඳම ආර්ථික විද්‍යාඥයෝය. මේ ආර්ථික මොඩලය ක්‍රියාත්මක කිරීම පමණක් නොව 70 ආණ්ඩුව විසින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද ගෙනාවේය.

ජනසතුකරණය සහ පෞද්ගලික අංශයේ වෙළඳපොළ ප්‍රසාරණය අවම කිරීම ඒ ආර්ථික මොඩලයේ එක බරපතළ පදනමක් විය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත වැනි බරපතළ නීති ගෙනාවේ රාජ්‍යය ශක්තිමත් කිරීමත් පෞද්ගලික ව්‍යවසාය සහිත පන්ති පරතරය කඩා දැමීමත් අරමුණු කර ගනිමින්ය. මේ යුගයේ ආර්ථිකයේ වර්ධනය රාජ්‍ය පැත්තෙන් තිබුණු බව සංඛ්‍යාත්මක පෙන්නා දිය හැකි වුවත් ජනතාවගේ පැත්තෙන් ඒ වර්ධනය පිළිගත හැකි තත්ත්වයක් ඇති වූයේ නැත. සියල්ලටම රාජ්‍යය අත ගැසීම, දැඩි ලෙසින් වෙළඳපොළ පාලනය සහ පෝලිම් යුගය වැනි තත්ත්වය නිසා ඒ ආර්ථික මොඩලය සමාජය තුළ උත්තේජනයක් ඇති කළේ නැත.

අපේ අවධානයට ගත යුතු තුන්වන ආර්ථික මොඩලය වන්නේ 1977 ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව හඳුන්වා දුන් විවෘත වෙළඳපොළ ආර්ථිකය සහ රාජ්‍ය පෞද්ගලික ව්‍යවසායකත්ව සම ආකෘතියය. (Open Economy and balanced public – private market space). මෙම විවෘත ආර්ථික මොඩලය පසු කාලීනව විවිධ වෙනස්කම්වලට භාජන වූ බව සත්‍යයක්ය. වසර 73 නිදහස් ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් (වසර 40 අධික කාලයක්) පැවති ආර්ථික ආකෘතිය / මොඩලය ලෙසින් විවෘත අර්ථිකය මේ රටේ දේශපාලනයට සිදුකර ඇති බලපෑම ඉතාමත් විශාල බව පැහැදිලිය. එහෙත් මතවාදීව තවමත් මෙරට සමාජ – දේශපාලන – ආර්ථික කතිකාවේ ප්‍රධාන තැනක් ගන්නේ රාජ්‍යය කේන්ද්‍රියව පැවති සුබසාධන ආර්ථිකයේ බලපෑම බව මගේ අදහසය.

සියල්ල රජයෙන් ලැබිය යුතුය සහ රජය මැදිහත් වී පෞද්ගලික ව්‍යවසායකත්වය නියාමනය උපරිම ආකාරයෙන් සිදු කළ යුතුය යන මතවාදය තවමත් දේශපාලන සමාජයේ ප්‍රධාන මතවාදය වෙන්නේ ඒ කාරණය නිසාය. එපමණක් ද නොවේ. අධ්‍යාපනයට රජය වියදම් කළ යුතුවා පමණක් නොව උපාධියක් ලැබුවාට පසු ඒ අයට රැකියා ලබාදීමත් රජයම කළ යුතු බවට කිසිදු චකිතයක් නොමැතිව පාරට බැස සටන් කරන්නේත් ඒ මතවාදය නිසාය.

ඒ නිසා මගේ තේරුම් ගැනීම වන්නේ ඉහතින් සඳහන් කළ ආර්ථික මොඩල 03න් පළමු ආකෘතිය (1948-1965 ආකෘතිය) දැන් සම්පූර්ණයෙන්ම නිමාවට පත්වී ඇති බවයි. එසේම මගේ නිරීක්ෂණය වන්නේ මේ වනවිට අප රටක් ලෙසින් භෞතිකව සිටින්නේ 1977 ආරම්භ වූ තුන්වැනි ආර්ථික මොඩලයේ නමුත් මානසිකව සිටින්නේ 1970 පැවති රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික මොඩලයේ බවයි. මේ නිරීක්ෂණය පිළිබඳව සිදු කළ යුතු සංවාදය ඉතාමත් සංකීර්ණ එකක් විය හැකි නිසා ඒ පිළිබඳව වැඩිදුර ලියන්නට මෙහි දී උත්සාහ ගන්නේ නැත.

ආර්ථිකයේ වර්තමාන තත්ත්වය

1977 පසු ආර්ථිකයේ ඉහළ නැගීම් සහ පහළ වැටීම් රාශියක් තිබෙන බව සත්‍යයක්ය. ඒ අතරින් මේ වන විට අප මුහුණ දෙමින් සිටින්නේ යම් ආකාරයක සංකීර්ණ හා බරපතළ ආර්ථික අර්බුදයකට බව ඉතාමත් පැහැදිලිය. මේ බරපතළ තත්ත්වය කොවිඩ් - 19 වසංගතයේ බලපෑම විසින් තවදුරටත් තීව්‍ර කර ඇත. මගේ තේරුම් ගැනීමට අනුව මේ අර්බුදය පිළිබඳව අපේ අවධානය ප්‍රධාන මානයන් 03කින් යුක්ත විය යුතු බවයි. එයින් පළමු කාරණය වන්නේ රටේ විදේශ මූල්‍ය තත්ත්වයට සම්බන්ධ ගැටලු විසඳා ගැනීමය. දෙවැනි කාරණය වන්නේ රාජ්‍යයේ වියදම් - ආදායම් සම්බන්ධ දේශීය මූල්‍ය තත්ත්වයට සම්බන්ධව ප්‍රතිපත්ති ගැටලු විසඳා ගැනීමය.

තුන්වැනි වැදගත් කාරණය වන්නේ රාජ්‍යය මූල්‍ය තත්ත්වයෙන් එරට තිබෙන රටේ පෞද්ගලික අංශයට ද සම්බන්ධ සමස්ත ආර්ථික ප්‍රතිපත්තිවල ගැටලු විසඳා ගැනීමය. කෙටියෙන් කිවහොත්, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය සහ පෞද්ගලික අංශයේ වර්ධනයට සම්බන්ධ සහ තුන් අංශයේම ප්‍රතිපත්ති සම්බන්ධ බරපතළ පසු විමසීමකට යෑමය. පළල් අර්ථයෙන් ගත්විට මේ අංශ 03 එකිනෙකට සම්බන්ධය.

විදේශ මූල්‍ය සංචිත ගැටලුව

මේ රටේ ආර්ථික අර්බුදයේ එක් ප්‍රධාන හේතුවක් වන්නේ අප සතුව තිබෙන විදේශ මූල්‍ය සංචිත බරපතළ ආකාරයෙන් සිඳී යාමය. සංචිත අඩුවීමට සාපේක්ෂව රට තුළට විදේශ මුදල් ගලා ඒමේ බරපතළ අඩුවක් ද කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් මතු වී ඇත.

රටේ විදේශ මූල්‍ය සංචිත පිළිබඳ ගැටලුව සාකච්ඡා කිරීමට පසුගිය සතියේ පැවති එක් වැදගත් සාකච්ඡාවකට සහභාගීවීමට මට ද අවස්ථාවක් ලැබිණි. පාර්ලිමේන්තුවේ ඒ ඒ පක්ෂවල මේ විෂය සම්බන්ධ කැමැත්තක් ඇති මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති එම සාකච්ඡාව සඳහා ඉදිරිපත් කිරීම් 03ක් සිදු කෙරුණි. ඒවා සිදු කරනු ලැබුයේ ආචාර්ය නිෂාන් ද මැල්, ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක වැනි ඒ ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින්ය.

එහිදී පෙනී ගිය කාරණයක් වන්නේ අප සතු විදේශ සංචිත 1950 වර්ෂයෙන් මෙපිට ගණන් බැලූ විට දැන් අප සිටින්නේ ඉතාමත්ම පහළ අගයක බවයි. මෙම සංචිතවල ස්වභාවය වන්නේ එය යළිත් ඉහළ අගයක් කරා වර්ධනය කිරීමේ හැකියාවක් ඇති බව යැයි බොහෝ විට මහ බැංකුවේ මතයයි. එහෙත් එවැනි ස්වභාවික ඉහළ යාමකින් සමහන් කරන්නට නොහැකි තරම් පහළ අගයක් කරා සංචිත කඩා වැටී ඇති තත්ත්වයක දී සිදු කළ යුතු ප්‍රතිකර්ම පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව ඉහත සඳහන් ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි.

විශේෂයෙන්ම ණය සහ ගෙවීම් ප්‍රතිව්‍යුහගත කර ගැනීමේ උත්සාහයකට යාම රටක් ලෙසින් මේ අර්බුදයෙන් ගොඩ ඒමට ඇති එක ක්‍රමයක් බව සමහරුන් යෝජනා කරන්නේ මෙවැනි තත්ත්වයකය. මේ තත්ත්වයේ තවත් බරපතළ පැත්තක් වන්නේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳව ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙරට තත්ත්වය ඉතාමත් අඩු අගයක් කරා යටට දමා තිබීමය. එපමණක් ද නොව රාජ්‍ය හා රාජ්‍ය ආයතන විසින් ගෙවීමට ඇති ණය මේ රටේ දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට එකසිය විස්සක (120%) අගයක් දක්වා වර්ධනය වී ඇති තත්ත්වය සැලකිල්ලට ගත් විට තත්ත්වය තවත් සංකීර්ණ බව පැහැදිලිය.

මේ කාරණය පිළිබඳව මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය යන ආයතන දෙකම විශාල අවධානයක් ලබා දී ඇති බවත් පැහැදිලිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පිළිබඳව එම ආයතන දෙක තුළ සංවාදයක් මතුවී තිබීමෙන් පෙනී යන්නේ ද මේ කාරණය ගැන තිබෙන සංවේදීභාවයය. විදේශ මුල්‍ය සංචිත සම්බන්ධ ඉදිරියේ දී වඩාත් ප්‍රායෝගික තීරණ ගැනීමට සිදුවිය හැකි බව මෙහි දී පෙනී යන කාරණයය.

පසුගිය වසරේ විදේශ මූල්‍ය ක්‍රියාකාරීත්වය

මේ සියලු සංවාද මෙරට විදේශ සංචිත පිළිබඳව අභිමුඛ වී ඇති තත්ත්වයක පසුගිය පෙබරවාරි 11 වැනිදා මහ බැංකුව විසින් 2021 වසරේ විදේශ මුල්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව වාර්තාවක් නිකුත් කරනු ලැබීය. එහි තිබෙන සමහර ඉලක්කම් මෙවැනි අර්බුද ජනක කාලයක යම් ආකාරයක නොගැළපීමක් තිබෙන බවද පෙන්නා දිය හැකිය. ඒ කියන්නේ විදේශ මූල්‍ය තත්ත්වය අර්බුදයට ගොස් ඇති තත්ත්වයක ආනයන වියදම බරපතළ ආකාරයෙන් ඉහළ ගොස් තිබීම එවැනි ප්‍රශ්නකාරී ඉලක්කමක් බව මගේ අදහසය.

මහ බැංකු වාර්තාවට අනුව 2021 වර්ෂයේ අප රටක් ලෙසින් විදේශවලට අපනයනය කිරීමෙන් ලබා ඇති ආදායම ඩොලර් මිලියන 12,502 කි. (බිලියන 12 කි) එසේම ඒ වර්ෂයේ අප රටක් ලෙසින් වෙනත් රටවලින් ආනයනය කිරීමට ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 20,637 (බිලියන 20 කි). එහි වෙනස හෙවත් වෙළඳ ශේෂය ඩොලර් මිලියන 8,136 කි (ඩොලර් බිලියන 8 කි) මේ තත්ත්වය මගින් පෙන්වන්නේ ආනයනය සීමා කර ඇති අසීරුම තත්ත්වයක් හමුවේ වුවත් බරපතළ වෙළඳ ශේෂයක් ඇතිවන ආකාරයේ ආනයනයක් 2021 වර්ෂයේ සිදුවී ඇති බවය.

මේ ආනයන වියදම් අතරින් ඩොලර් මිලියන 3742ක්ම වැයවී ඇත්තේ ඛනිජ තෙල් ගෙන ඒමටය. එසේම ඩොලර් මිලියන 1.666 (ඩොලර් බිලියන 01) වැයවී ඇත්තේ මෙරටට ආහාරපාන ගෙන ඒමය. එළවළු ආනයනය සඳහා ඩොලර් මිලියන 384 වැයවී ඇති අතර මාළු ආනයනයට ඩොලර් මිලියන 112ක් වැය වී ඇත.

2021 වර්ෂයේ ශේෂ පත්‍රය දෙස බැලීමෙන් පෙනී යන කාරණයක් වන්නේ විවෘත වෙළඳපොළ ක්‍රමය තුළ නියාමනය ඉතාමත් අසීරු තත්ත්වයකට පත්වන නිසා සමහර අනවශ්‍ය ආනයන සඳහා සැලකිය යුතු විදේශ විනිමයක් වැය වී ඇති බවය.

2022 ආර්ථිකයේ ඇති ප්‍රධානම අභියෝගය ලෙසින් විදේශ මුල්‍ය කළමනාකරණය සහ සංචිත වර්ධන කර ගැනීම පවතින බව මේ අනුව ඉතාමත් පැහැදිලිය. ඒ අභියෝගය ජය ගැනීමට හැකිවේවායි මගේ කිවිදා දැක්මේ ප්‍රාර්ථනයයි.

මහාචාර්ය චරිත හේරත්



අදහස් (4)

රටේ ආර්ථිකය ඉස්සරහටද?පස්සටද?

NM Saturday, 19 February 2022 08:09 AM

රටක ආර්ථිකය පදනම් වෙන්නේ ඒ රටේ දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශය මත යන්නා වූ අදහස ලංකාව වැනි රටකට ගැලපේ. එයට හේතුව නම් ලංකාවේ දේශපාලකයා විසින් ගන්නා වූ සහ ඔවුන්ගේ දේශපාලන ප්‍රකාශයන් තුළ සඳහන් ඔවුන්ට නැවත බලයට පැමිණීම වෙනුවෙන් සකස් කරන ලද ප්‍රකාශනය සහ දේශපාලන බලපෑම් මත රටේ මහබැංකුව විසින් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රබලතම ගැටලුවකි. නමුත් ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිමය තීන්දු ගනු ලබනුයේ දේශපාලකයින් විසින් නොව ඒ සඳහා වූ පත්කර තිබෙන දේශපාලනයෙන් තොර ආර්ථිකය සම්බන්ධව හසල දැනුමක් තිබෙන්නා වූ බුද්ධිමත් විෂ්ලේශකයින්ගේ කණ්ඩායමකගේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳව පුර්ණ විස්ලේෂණයකින් පසුව ගන්නාවූ තීන්දු සහ තීරණ ඔවුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ විනිවිද බවකින් යුතු රජය මගින් ක්‍රියාත්මක කරන ක්‍රමයකි. අවාසනාවකට ලංකාවේ දේශපාලකයින් විසින් ලබාදෙන්නා වූ තීන්දු මත මහබැංකුවට ක්‍රියාත්මක වීමට සිදුව තිබේ. බලයට පැමිණි පසු ඔවුන් පත්කර ගනු ලබන්නේද ඔවුන්ගේ අවශ්‍යතා මත ක්‍රියාත්මක වන නිලධාරින් පිරිසකි.

:       0       3

NM Saturday, 19 February 2022 08:11 AM

ඒ අනුව අපේ රටේ නිදහසින් පසු ගත වූ වසර 73ක කාලය පුරාවට රට පාලනය කළ දේශපාලන පක්ෂ ආර්ථික වශයෙන් ප්‍රධාන ස්ථාවර 03ක් මත පදනම් වී ක්‍රියාකර එකිනෙකට වෙනස් වූ එම මොඩල 03ම මේ වනවිට අසාර්ථක වී තිබෙන්නේ නම් එයට ප්‍රධානතම හේතුව දේශපාලන මැදිහත්වීම වේ. බුද්ධිමත් විශ්ලේෂකයින්ගේ කණඩායමකගේ අධීක්ෂණය ආර්ථිකයට අත්‍යාවශ්‍ය වේ. ඔවුන් දැනට දශක 3කට පෙර තිබූ එම යුගයට අනුව සාර්ථක ආර්ථික ක්‍රමවේද වර්තමානයට නොගැලපේ නම් එම ප්‍රතිපත්තින් වෙනස්කර යුගයේ අවශ්‍යතාවයන් මත නව ප්‍රතිපත්තින් හඳුන්වා දී එම තීන්දු රජය ක්‍රියාත්මක වේ. ඒ සඳහා වර්තමාන දිනපතා සිදුවන ගෝලීය, ආර්ථික වෙනස්කම් පිළිබඳව පුළුල් විමර්ශනයක යෙදෙමින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවේ. වර්තමාන දේශපාලන සහ ආර්ථික ලෝකය තාක්ෂණය මගින් ඉතාම පහසුවෙන් අධ්‍යයනය කළ හැකිවේ. දැනට දශක 3කට පෙරතිබූ සාම්ප්‍රදායික දේශපාලන සහ ආර්ථික ලෝකය තාක්ෂණය නිසා මුළුමනින්ම වෙනස්ව තිබේ...

:       0       2

NM Saturday, 19 February 2022 08:26 AM

බලවත් රටවල් ගන්නා වූ දේශපාලන හෝ ආර්ථික තීන්දු මත ගෝලීය ආර්ථිකය ඉතාම සුළු මොහොතකදී වුවද වෙනස් විය හැකිවේ. ලෝකයේ දියුණු නොදියුණු සියලු රටවල් සියල්ල ඇමෙරිකානු තාක්ෂණය මත සහ ගෝලීය ආර්ථිකය මත රඳා පවතියි. එය කිසිවකුට වෙනස් කිරීමට හෝ කිසිදා වෙනස් නොවන ආකාරයට අතීතය, වර්තමානය සහ අනාගතය හොඳින් කියවන ලද විශ්ලේෂකයින් විසින් සමස්ත ලෝකයටම බලපාන පරිදි නිර්මාණය කර ක්‍රියාත්මක කර තිබේ. ලංකාව නිදහසින් පසු දේශපාලන යුග ගණනාවක් පසුකර පැමිණ තිබෙනුයේ රටක් වශයෙන් දශක 7ක මෙතෙක් ගමන්ගත් සාම්ප්‍රදායික මාර්ගය වෙනස් කර ලෝකයා සමඟ එක්ව ගමන් කරන්නේද? නොඑසේනම් ඉදිරියටත් මේ ආකාරයටම ගමන් කරනවාද කියන්නා වූ අපහසු නොවූ නමුත් බුද්ධියෙන් ගතයුතු තීරණයක් අභියස වේ. එසේ වෙනස් වීමක් කළහැකි නම් එයට දායක කර ගත යුතුවන්නේ විදේශ අත්දැකීම් සහිත අවංක කැපවීමක් කළහැකි සුද්දන් නොවන ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් සහ සැලසුමක් මගිනි...

:       0       2

Nilmini Dharmawardhana Saturday, 19 February 2022 09:05 AM

රටේ වංචා, දූෂණ මුළුමනින්ම අතුගා දමනතෙක්, විශේෂයෙන්ම අවංක, කාර්‍යක්‍ෂම, දක්‍ෂ​, රටට ආදරේ කරන​, රට වෙනුවෙන් තම වගකීම නිසි ලෙස අවබෝධ කරගත්, තීරණ ගැනීමේ බලය ඇති තනතුරුවලට පත් කරන, පත්වෙන දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් සැබවින්ම එම තනතුරුවලට සුදුස්සන් වනතාක්, රටේ ආර්ථිකය ඉස්සරහට නොයනු ඇත. දේශපාලකයින් ප්‍රතිපත්ති, තීරණ ගැනීමට පමණක් සීමාවිය යුතු අතර අනිසි ලෙස රාජ්‍ය ආයතනවල මෙහෙයුම් කටයුතුවලට අත නොපෙවිය යුතුයි​. රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි, වංචා, දූෂණවලට එරෙහිව නිසි පියවර ගැනීමට COPE, COPA කමිටු බලගැන්විය යුතුයි. එසේ නොවනතාක් රටේ ආර්ථිකය නොයනු ඇත..​.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3064 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12231 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 564 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 939 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1015 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 495 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site