IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රට ගොඩගන්න කළ යුතු දේ නොකළ යුතු දේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහා බිල්ලකු සේ සලකමින් සිටි ආණ්ඩුව දැන් එහි පිහිට පතයි. අපේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මුදල් ඇමැති හා මහ බැංකු අධිපති ඇතුළු පිරිසක් දැන් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරති. මේ ඒ පිළිබඳව විමසා බලන ලිපියකි. මෙම ලිපිය සඳහා තොරතුරු සපයන්නේ ඇඩ්වකාටා ආර්ථික පර්යේෂණායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ධනනාත් ප්‍රනාන්දු මහතාය. මේ ඔහුගේ විග්‍රහයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමෙන් අපේ සියලු ප්‍රශ්න නොවිසඳෙයි. එහි ගිය පමණින් අපේ ආර්ථිකය දඩිබිඩියේ නොනැගිටියි. වැරදි ලෙස ආර්ථිකය කළමනාකරණය කිරීම හේතුවෙන් දැන් ලංකාව සිටින්නේ හුස්ම ගැනීමටවත් නොහැකි තත්ත්වයකය. දැන් රට තිබෙන්නේ තම ණය ගෙවා ගත නොහැකි තත්ත්වයකය. ඒ ණය ගෙවීම කල්දමාගෙන ප්‍රතිව්‍යුහගත කර ගැනීමට නම් ජාත්‍යන්තරයේ පිළිගත් ප්‍රතිරූපයක් තිබෙන පුද්ගලයකු හෝ ආයතනයක් සමග සම්බන්ධවීම අත්‍යවශ්‍යය. ඒ සඳහා ලොව පිළිගත් ප්‍රධානම ආයතනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලය.

ලංකාව මේ වන විට මූල්‍ය අරමුදලට 16 වතාවක් ගොස් තිබේ. ඒ එහි සාමාජිකත්වය ලබාගත් පසුවය. මෙවර අප එහි යන්නේ 17 වැනි වරටය. මූල්‍ය අරමුදල වෙත නිතර ගිය රටවල් අතර ලංකාව ද සිටියි. ගතවූ කාලයෙන් හරි අඩක්ම ලංකාව සිටියේ මූල්‍ය අරමුදලේ වැඩ සටහන් සමගය. ඉන් අනාවරණය වන්නේ ලංකාව නිතරම තම ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය කර නැති බවය. ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් අපට මූල්‍ය අරමුදලට යන්නට සිදු නොවෙයි. ශරීර සෞඛ්‍ය යහපත් පුද්ගලයෝ වෛද්‍යවරුන් හමුවට නොයති. එහෙත් ශරීර සෞඛ්‍ය පිරිහුණු පුද්ගලයන්ට නිතර වෛද්‍යවරුන් හමුවීමට යන්නට සිදුවෙයි. රටක් හැටියට ලංකාව ද එවැනි රෝගියෙකි.

ශරීර සෞඛ්‍ය පිරිහුණු අවස්ථාවේ වෛද්‍යවරයකු හමුවට යා යුතුමය. නොගොස් සිටියොත් තවත් අසාධ්‍ය වෙයි. ලංකා ආර්ථිකය අද පවතින්නේ එවැනි තත්ත්වයකය. ලංකාව මීට පෙර මූල්‍ය අරමුදලට 16 වතාවක් ගොස් ඇතත්, සම්පූර්ණ කර තිබෙන්නේ ඉන් වැඩසටහන් හයක් (6) පමණි. ගිවිසගත් වැඩසටහන් 10ක් ලංකාව විසින් සපුරා නැති බව ඉතිහාසයේ සඳහන් වෙයි.

මූල්‍ය අරමුදලෙන් ණයක් ගැනීමට නම් අප කරන්නේ කුමන ආර්ථික ප්‍රතිසංස්කරණද කියා ඔවුන් සමග එකඟතාවකට පැමිණිය යුතුය. ඔවුන් අපට යම් මුදලක් වාරික වශයෙන් ලබා දෙන්නේ ඇතිකරගත් එකඟතා සම්පූර්ණ කරන අයුරු මතය. ඒ ණය දෙන්නේ කොටස් වශයෙන් මිස ගෙඩි පිටින් නොවේ.

අප මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එළඹිය යුත්තේ එමගින් වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ණය හෝ ආධාර ලබා ගැනීමට වඩාත් පහසු වන හෙයිනි. ජාත්‍යන්තරයෙන් ගන්නා ණයවලින් අප ගෙවීමට තිබෙන ජාත්‍යන්තර ණය ගෙව්වොත් රටේ ජනතාවට සහනයක් නොලැබෙයි. මූල්‍ය අරමුදල ණය ගෙවීම සඳහා ණය නොදෙයි. මූල්‍ය අරමුදලේ විවිධ වැඩසටහන් තිබේ. මාස 36කට වඩා වැඩි කාලයක් ඇදෙන වැඩසටහන් ඒ අතරින් විශේෂිතය. දැන් ලංකාව යන්නට සැරසෙන්නේ එවැනි වැඩසටහනකටය.

ලංකාව මීට පෙර එවැනි වැඩසටහන් හයකට  මූල්‍ය අරමුදල සමග ගිවිස ගත්තත් සම්පූර්ණ කර තිබෙන්නේ වැඩසටහන් දෙකකි. අනෙක් වැඩසටහන් හතරම අතරමග නවතා තිබේ.

මූල්‍ය අරමුදල සමග ගිවිස ගන්නා දිගුකාලීන වැඩසටහනකදී (Extended Fund Facility) ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් කළ යුතුය. මේ අවස්ථාවේදීත් අප  මූල්‍ය අරමුදලට යා යුත්තේ කීයක්හරි ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් නොවේ. අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කරගැනීම එහි යාමේ අරමුණ විය යුතුය.

ලංකා ආර්ථිකය නමැති නිවසේ ඉදිකිරීම් සියල්ල වැරැදිය. ඒ නිසා දැන් තීන්ත ගාලා හරියන්නේ නැත. අත්තිවාරමේ සිට සියල්ල නිවැරැදි කළ යුතුය. මේ වතාවේදීවත් වැරැදි සියල්ල නිවැරැදි කරගත යුතුය.

මූල්‍ය අරමුදල කිව්වත් නැතත් අප අපේ ආර්ථිකය සකසා ගත යුතුය. මූල්‍ය අරමුදලෙන් අපට ලැබෙන්නේ සහයෝගයක් පමණකි. ඒ නිසා  මූල්‍ය අරමුදලට ගිය පමණින් සියල්ල විසඳෙන්නේ නැත. ඔවුන් සමග එකඟ වන දේවල් නොකිරීමෙන් තව තවත් වළේ වැටෙන්නේ අප මිස ඔවුන් නොවේ.  මූල්‍ය අරමුදල කියන සීමාවලින් එහාට ගොස් අපේ ආර්ථිකය නිවැරැදි කර ගැනීම අපේ වගකීමකි.

මූල්‍ය අරමුදලට නොගොස් අපේ ආර්ථිකය නිවැරැදි කර ගැනීමේ හැකියාව අපට ද තිබිණි. එහෙත් දැන් අප සිටින්නේ රටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ටික ආනයනය කර ගැනීමට අවශ්‍ය ඩොලර් ටිකවත් නැති තත්ත්වයකය. ඒ නිසා දැන් වෙන විකල්පයක් නැත. තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට මූල්‍ය අරමුදල අත්‍යවශ්‍යය. අප කාට කොච්චර ණය ද ඒවා ගෙවිය යුත්තේ කොහොමද, කවදාද කියා වඩාත් පුළුල් තුලනාත්මක (Debt Sustainability Analysis) විග්‍රහයක් කළ හැක්කේ  මූල්‍ය අරමුදලට පමණකි. අනෙක් පැත්තෙන් මුල්‍ය අරමුදල හැර වෙනත් කිසිවකු මේ වෙලාවේ අපට ඩොලර් නොදෙයි. ඒ නිසා දැන්  මූල්‍ය අරමුදලට යන්නට සිදුවී තිබේ. එහි ගියත් ඉන් අපට ලැබෙන්නේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට උදව් පමණි. අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරගත යුත්තේ අප විසින්මය.

ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සේම ආර්ථික සංවර්ධනය ගැන ද ලංකාවේ පවතින්නේ වැරැදි කියවීමකි. පාරවල් හැදීම, ජනතාවට සල්ලි බෙදාදීම සංවර්ධනය ලෙස බොහෝ දෙනා සලකති. ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ ආර්ථිකයට මැනවින් ධාවනය කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමටය. ඒ සඳහා දෙස් විදෙස් පෞද්ගලික අංශය සම්බන්ධ කරගත යුතුමය.

සියලු දෙනාට සමාන තරගකාරී බිමක් සැකසීම ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ හා දැක්ම විය යුතුය. තරගයක් ආරම්භ කිරීමට සියලු දෙනාට තිබිය යුත්තේ සමාන අවස්ථාය. දක්ෂතම ව්‍යාපාරිකයන්ට ජයග්‍රහණය කළ හැක්කේ එවිට පමණය. තරගය ආරම්භ කිරීමට කාටත් තිබෙන්නේ එකම ස්ථානයක් නම් කවුරුත් තරගයට පිවිසෙති. ඒ ඒ අයට වෙන වෙන තැන්වලින් තරගය ආරම්භ කළ හැකි වුවහොත් ඒ තරගය තරගකාරී නොවෙයි. බොහෝ දෙනෙක් එවැනි තරගයකට නොපිවිසෙති. සියලු දෙනාට තරග කළ හැකි සමාන බිමක් ගොඩනැගීම ආර්ථික ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ විය යුත්තේ එහෙයිනි.

දැන් ලංකා රජය ව්‍යාපාර රැසක් කරයි. ඛනිජ තෙල්, ගෑස්, විදුලිය සේම ගොඩ බිම හා ගුවන් ප්‍රවාහන සේවා ඇතුළු ව්‍යාපාර රැසක රජය නිරත වෙයි. ඒ නිසා ඒ කිසිවක වගකීම කිසිවෙක් නොගනිති. ඒ නිසා මේ රාජ්‍ය ව්‍යාපාරවලට දෙස් විදෙස් පෞද්ගලික අංශය සම්බන්ධ කරගත යුතුමය.

රජයකට කළ නොහැකි ව්‍යාපාරවලින් රජය ඉවත් විය යුතුය. ඒ අවස්ථා දිය යුත්තේ පෞද්ගලික අංශයටය. ඇතැම් ඒවා රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර ලෙස පවත්වාගෙන යා හැකිය. ගොඩබිම මගී ප්‍රවාහනය, අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවා රාජ්‍ය කළමනාකාරිත්වය යටතේ පැවතීම සහේතුකය. එහෙත් ඒවායේ පවතින අකාර්යක්ෂම හා දූෂිත ක්‍රමවේද සම්පූර්ණයෙන්ම අකා මකා දැමිය යුතුය.

රජය ව්‍යාපාර නොකළ යුතු බවට හොඳම උදාහරණය ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. එහි වසරක පාඩුව රුපියල් බිලියන 45ක් පමණ වෙයි. එය සමෘද්ධි ව්‍යාපාරය වෙනුවෙන් කරන වියදමට සමානය. ඉතින් මේ ගමන තවදුරටත් යා හැකිද?

ඛනිජ තෙල් හා විදුලි වැනි සංස්ථා මණ්ඩලවල පාඩුද කිසිසේත් දරාගත හැකි ඒවා නොවේ. ඒවා පවත්වාගෙන යාමට බදු ගෙවන්නේ රටේ දුප්පත් මිනිසුන්ය.

මා මේ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දේවල් නොවේ. රටක් ලෙස අප කළ යුතු දේවල්ය. රටේ පොදු ජනතාව මත පැටවී තිබෙන බර ලිහිල් කිරීමට කළ යුතු දේවල්ය. වැරැදි පාරක යන රටේ ආර්ථිකය නිවැරැදි මාවතකට ගැනීමට කළ යුතු දෑය.

මූල්‍ය අරමුදල දැනට නිකුත් කර තිබෙන වාර්තාවේ ප්‍රධාන නිර්දේශ පහකි. රාජ්‍ය ආදායම වැඩිකරගත යුතු බව ඔවුන්ගේ පළමු වැනි නිර්දේශයයි. ඒ සඳහා ආදායම් බදු හා වැට් බදු ඉහළ නැංවිය යුතු බව ඔවුහු කියති. පෙට්‍රල්, ඩීසල්, විදුලිය වැනි බලශක්තිවල මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදිය යුතු බව  මූල්‍ය අරමුදල කියයි. එසේම රාජ්‍ය වියදම් අඩු කර ගත යුතු බවද මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

ණය ස්ථාවර කර ගැනීමට නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ඔවුන්ගේ දෙවැනි නිර්දේශයයි. ඉන් අදහස් කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම පිළිබඳවය.

විනිමය අනුපාතය වෙළෙඳපොළ සාධක මත ගෙවන ඉල්ලුම සැපයුම මත තීරණය වන්නට ඉඩ හරින්නැයි කීම ඔවුන්ගේ තෙවැනි නිර්දේශයයි. එය කළ යුත්තේ බදු හා පොලී අනුපාත වැඩි කිරීම සමග බව මූල්‍ය අරමුදල කියයි.

උද්ධමනය අවම කිරීම සඳහා පියවර ගත යුතු බව ඔවුන්ගේ හතරවැනි නිර්දේශයයි. මුදල් අච්චු ගැසීම නිසා මහා භාණ්ඩාගාරයේ රැස්වී තිබෙන බැඳුම්කර වෙළෙඳපොළට නිකුත් කර මුදල් ප්‍රමාණය අඩුකර ගත යුතු බව  මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

දුප්පත් මිනිසුන්ට සහන සලසන්නැයි කීම මූල්‍ය අරමුදලේ පස් වැනි නිර්දේශයයි. ඔවුන් කියන හැටියට රජය දැන් දුප්පතුන් වෙනුවෙන් වැය කරන්නේ අඩු මුදලකි. දුප්පතුන්ට සහන දෙන බව කියමින් පාන් පිටි, ගෑස්, කිරිපිටි, විදුලිය යනාදියට සහනාධාර නොදී නියම දුප්පතුන් හඳුනාගෙන ඔවුන්ගේ බැංකු ගිණුමකට මුදල් දීමේ ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බව මූල්‍ය අරමුදලේ යෝජනාවයි.

දුප්පතුන් සියල්ලන්ට සමාන මුදලක් නොදී අපහසුතාවේ මට්ටම අනුව දිය යුතු මුදල වෙනස් විය යුතු බව  මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. දුප්පතුන්ට එසේ සහන දිය යුතු බව කියනවා මිස දුප්පතුන් මත තව තවත් බර පැටවෙන ආර්ථික ප්‍රතිසංස්කරණ කළ යුතු බවක්  මූල්‍ය අරමුදල නොකියයි.

මූල්‍ය අරමුදල එසේ කිව්වාට රටේ යහපත සඳහා ඊට වඩා ප්‍රතිසංස්කරණ කළ යුතු බව මගේ විශ්වාසයයි.  මූල්‍ය අරමුදල කරන ඒ නිර්දේශ පහ ක්‍රියාත්මක කිරීමෙන් පමණක් අපට මේ අර්බුදයෙන් ගොඩට පැමිණිය නොහැකිය.  මූල්‍ය අරමුදලේ නිර්දේශ තාවකාලික විසඳුම් පමණකි. අපේ ආර්ථිකයේ ආනයන හා අපනයන අතර ප්‍රශ්න පවතී. එසේම අපේ ආර්ථිකය තරගකාරී ද නැත. ආර්ථිකය තරගකාරීවීමට නම් එයට නිසි පරිදි ධාවනය කළ හැකි පරිසරයක් සැකසිය යුතුය. දැනට එවැනි පරිසරයක් නොපවතී.

ව්‍යාපාර ලියාපදිංචි කර ගැනීමේදී සහ ව්‍යාපාරවලට ඉඩම් ලබාගැනීමේ දී ආයෝජකයන්ට මුහුණදීමට සිදුවන ප්‍රශ්න ඉතා බරපතළය. එහිදී පවතින බාධා සුවිශාලය. රටේ ඉඩම්වලින් 80%ක්ම අයිති රජයටයි. ඒ ඉඩම් රටේ ජනතාවට, ආයෝජකයන්ට බෙදා දිය යුතුය. භූමිය, ශ්‍රමය හා ප්‍රාග්ධනය ව්‍යවසායකත්වයේ ත්‍රිවිධ රත්නයයි. ව්‍යාපාරයක ප්‍රධාන මූලික සාධක ඒවාය. දැනට පවතින ඒ බාධක හිරිහැර තුරන් කළ යුතුය. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව වාණිජ ඉඩම් විශාල ප්‍රමාණයක් පවතී. එහෙත් ඒවායෙන් රටටවත් රජයටවත් නිසි ප්‍රතිඵලයක් ආදායමක් නොලැබෙයි.

අපනයන වැඩි කර ගැනීමට ගෝලීය සැපයුම්දාමවලට සම්බන්ධ විය යුතුය. ඒ සඳහා කළ යුතු ප්‍රතිසංස්කරණ ද රැසකි. ඒ සඳහා අපේ ආනයන නිසි පරිදි විය යුතුය.

ඒ සම්බන්ධ බදු ක්‍රමවත් හා විධිමත් විය යුතුය. දැන් පවතින්නේ එක රැයින් වෙනස් කරන ආයතන බදු ප්‍රතිපත්තියකි. අද තියෙන බද්ද හෙට වෙනස් කරයි. ඒවා එසේ නොවිය යුතුය. එවැනි පරිසරයක අපනයන වර්ධනය කර ගැනීමට නොහැකිය. එසේ නොවුණොත් අපේ අපනයන වර්ධනය නොවෙයි.

රජයට කළ නොහැකි හා රජය විසින් නොකළ යුතු ව්‍යාපාර පෞද්ගලික අංශයට බාර දිය යුතු ගමන් රාජ්‍ය සේවයෙහි ද විශාල වෙනස්කම් කළ යුතුය. රාජ්‍ය සේවකයෝ ලක්ෂ 15ක් සිටිති. රටේ මුළු ශ්‍රම බලකායම ලක්ෂ 80කි. ඉන් ලක්ෂ 15ක්ම රජයේ සේවකයෝය. ඒ අතරින් ද වැඩි පිරිස දේශපාලන පත්වීම් ලද පුද්ගලයෝය. ඔවුන්ට වැටුප්, විශ්‍රාම වැටුප් හා වෙනත් වරප්‍රසාද සහ දීමනා ලබාදීමට තරම් ආදායමක් හෝ වත්කම් රජය සතුව නොපවතී. ඒ නිසා රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කළ යුතුමය.

ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය සුරැකීම සඳහා ද පියවර රැසක් ගත යුතුය. ඒ සඳහා නව නීති රීති හා ක්‍රමවේද සකසාදීම අත්‍යවශ්‍ය කොන්දේසියකි.

මහ බැංකුවේ කටයුතු ඇමැතිවරයකුගේ පෞද්ගලික දැක්ම මත තීරණය වීම රටට ඉතා හානිකරය. මහ බැංකුවේ ස්වාධීනත්වයට හානි නොවන ප්‍රතිපත්ති රාමුවක් තිබිය යුතුය. ඒ ප්‍රතිපත්ති රාමුව වහා සකසා ගත යුතුය. එසේම රටේ දැනට පවතින බදු ක්‍රමය අසාධාරණය. අයුක්තිසහගතය. ආදායම් බදු සේම වක්‍ර බදු ද වෙනස් විය යුතුය. ආනයන හා අපනයන බදු රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට ඉවහල් වන අයුරින් වෙනස් කළ යුතුමය. ගැසට් මගින් එක රැයින් බදු වෙනස් කරන ප්‍රතිපත්ති වහාම හකුළාගත යුතුය. එසේම වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවා මිල වෙනස් වන ආකාරය මත තීරණය වන දුප්පතුන්ට සහන සැලසෙන මුදල් සහනාධාර ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. සහනාධාර දිය යුත්තේ ඒවා අත්‍යවශ්‍ය අයට පමණකි. මෙතෙක් කල් ක්‍රියාත්මක වූ සහනාධාර අනවශ්‍ය අයටත් ලැබිණි. කිරිපිටි හා ගෑස්වලට දුන් සහනාධාර උදාහරණය. ඒ සහනාධාර ඒවා අනවශ්‍ය ධනපතියන්ට ද ලැබිණි. අනවශ්‍ය අයට සහ නොදිය යුතු අයට සහනාධාර දීම ආර්ථික ප්‍රතිපත්තියක් නොවේ. එය අනාර්ථික ප්‍රතිපත්තියකි.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)



අදහස් (4)

රට ගොඩගන්න කළ යුතු දේ නොකළ යුතු දේ

මැක්ස් Thursday, 21 April 2022 03:57 PM

පවතින තත්වය පිළිබඳ දේශපාලන පාට කණ්ණාඩිවලින් තොර ප්‍රාමාණික විද්වතකුගේ අපක්ෂපාතී විග්‍රහයක්. බොහෝම ස්තුතියි...!

:       1       15

ABSaturday, 23 April 2022 07:02 PM

දේශපාලකයන් විසින් රට ගොඩගන්න කළයුතු දේ, නොකළ යුතු දේ කිරීම නිසා අද ශ්‍රී ලංකාව IMF ආයතනයේ පුර්ණකාලීන රටසවි ලාභියා හෝ සමෘද්ධි ලාභියා බවට පත්ව ඇත...!

:       0       1

NM Thursday, 21 April 2022 04:22 PM

ලංකා ආර්ථිකය නමැති නිවසේ ඉදිකිරීම් සියල්ල වැරැදියි. අත්තිවාරමේ සිට සියල්ල නිවැරැදි කළ යුතුය. මේ වතාවේදීවත් වැරැදි සියල්ල නිවැරැදි කරගත යුතුමය. ඒ සඳහා සුදුසුම අවස්ථාවද පැමිණ තිබේ. ඒ සඳහා විශ්වාසනීය, අවංක, උගත්, බුද්ධිමත් කණ්ඩායමක් අත්‍යාවශ්‍ය වේ.

:       1       14

Upul Attanayake Saturday, 23 April 2022 03:21 AM

මේ රජය පැත්තෙන් කරන යෝජනා හරිම අගය කරනවා. මිනිස්සුත් නිද්‍රාශීලී බවක් නැතිව රටට, තමන්ට දෙයක් කළ යුතුයි. නිදාගෙන අනුන්ට බැණ බැණ ඉඳලා මේ ගමන යන්න බෑ. ඉස්සරහ ගැන හිතලා වැඩ කරමු ... අපිට පුළුවන් එකට වැඩකළොත් මේ දේ කරන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2856 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12035 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 551 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 931 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1005 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 493 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site