IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


රටේ තොරතුරු දැනගන්න විජේවීර මා එනතුරු බලා ඉන්නවා

 16_PAGE_7_T  

 

රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන් යුතු ජ.වි.පෙ දේශපාලන මණ්ඩලයේ අන්තිම රතු තරුව පසුගියදා නිවී ගියේය. සෝමවංශ අමරසිංහ සහෝදරයා හෙවත් 87-88-89 අවදියේ සිරි අයියා සමඟ මියගිය ඉතිහාසය යළි ඉපදවිය නොහැක. ඒ ඉතිහාසය තුළ බොහෝ කාරණා සිරි අයියා අපට කීවේ නැත. ඔහු කීවේ අල්පයකි. අවස්ථා ගණනකදී මේ ලියන ලේඛකයා සෝමවංශ අමරසිංහ සතු ඉතිහාසය ගොඩ ගැනීමේ උත්සාහයක නිරත විය. එක්තරා කොටසක් විස්තර කරන ඔහු ඉතිරිය කීවේ නැත. “දැනට ඇති’ සිනාසී, ඒ ඔහුගේ උත්තරයයි. ඒ නොකී කොටස සිරි අයියා සමඟ සීයට 80ක් මියගොස් ඇත. අපට දැන් ගොඩනගන්නට ඇත්තේ සීයට 20 ක් වැනි සිරි අයියා නොකී කතාවේ කොටසයි. ඒ කතාව හරහා සෝමවංශ අමරසිංහ යනු ජනතා විමුක්ති පෙරමුණේ කවුරුන්ද යන්න පැහැදිලි වේ. සිරි අයියා වැනි මිනිස්සු තුළ තිබුණු දර්ශනය, ඔවුන් පක්‍ෂය සඳහා කළ කැපවීම සමඟ රෝහණ සහෝදරයාගේ නොපළ කතා අද යළිත් කියවමු. 27 වසරකට පසු රෝහණ සහෝදරයාගේ දොස්තර වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සමඟ අදත් ලිපිය අරඹමු.

 

 

ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමතුන්ගේ කමිටුවේ නායකත්වය සිරි අයියා බාර ගැනීමෙන් පසු දොස්තර වසන්තට සෝමවංශගේ වැඩි ඇසුර ලැබිණි. ඔහු බණ්ඩාරවෙල රෝහලේ දන්ත වෛද්‍යවරයා ලෙස පත්වීම අලුත් කර ගත්තේ ජ.වි.පෙ හි උවමනාව අනුවය. නමුත් මේ ජ.වි.පෙ උවමනාවට සිදු වන්නක් බව ‘රජයට ඇස් වසා’ ඇත. එළිමහනේ ආණ්ඩු පාර්ශ්විකවද, රහසේ ආණ්ඩු විරෝධීවද රඟපෑම දොස්තර වසන්තට භාර වී ඇත. තමන්ගේ පමණක් නොව පක්‍ෂයේ ප්‍රතිපත්තියද, තවත් බොහෝ ආණ්ඩු විරෝධීන් අනුගමනය කළ ප්‍රතිපත්තියද එය විය. දොස්තර වසන්ත පක්‍ෂයේ ඉල්ලීමට බණ්ඩාරවෙල රෝහලට පත්වීම් ගත්තා මෙන් එදා ආණ්ඩු විරෝධී තවත් අය පක්‍ෂයේ උවමනාව අනුව ඒ ඒ රාජ්‍ය ආයතන භාරව ගිය වග ඇත්තකි.

1
බණ්ඩාරවෙල රෝහලේ ප්‍රධාන දන්ත වෛද්‍යවරයා හැටියට ඔහුට වල්හපුතැන්නේ පදිංචි රෝහණ සහෝදරයාගේ පවුලේ වෛද්‍යවරයා බවට පත් වීමේ වගකීම උරුම විය. ඊට අමතරව සමාජයේ මධ්‍යම පාන්තික අදහස්, රෝහණ සහෝදරයා සමඟ හුවමාරු කර ගනිමින් දවසට දෙකකට වතාවක් පැය ගණන් දේශපාලන සංවාද කිරීම දොස්තර වසන්තගේ දින චර්යාව බවට පෙරළී තිබිණ. වෛද්‍ය වෘත්තිය හා දේශපාලන දර්ශනය ඔහු මනා ලෙස සමබර කොටගෙන තිබිණ. මේ නිසා කිසිම තැනක දොස්තර වසන්ත යනු ජේ.වී.පී කාරයකු ලෙස හංවඩු ගැසුණේ නැත. ඒ සඳහා කිසිම ඉඩක් ඔහු ඉතිරි කළේ ද නැත. අපි දොස්තර වසන්ත බණ්ඩාරට ඉඩ දෙමු.


“රෝහණ සහෝදරයා ජාතික ගැටලු විසඳුම් පොත ලියන්නෙ වල්හපුතැන්න ගෙදර සිටිද්දීයි. ඒ පොත ලියද්දී මම ඊට අවශ්‍ය පොත පත ගොඩක් හොයල ගිහින් දුන්නා. ඒවගේම මාත් සමඟ දීර්ඝව එහි කරුණු කාරණා සාකච්ඡා කළා. මාස කීපයක් ලියපු ජාතික ගැටලු විසඳුම් පොතේ අත් පිටපත නැති වුණා. එය කොහොම වුණාද කියන එක අදටත් ප්‍රශ්නයක්. 1985 අග ඔය පොත පක්‍ෂයේ සාමාජිකයෙක් අතේ මුද්‍රණය සඳහා යැවුවා. ඊට පසු තොරතුරක් නෑ. නැවත 1986 දී ජාතික ගැටලු විසඳුම් පොත මුද්‍රණය සිදුවුණා. එය සිදුවුණේ නැති වුණු පොත ආපසු හම්බ වෙලා නෙවෙයි. රෝහණ සහෝදරයා නැවත මතකයෙන් එය මුල ඉඳන්ම ලිවුවා. ඒ තරම් විශිෂ්ට මතක ශක්තියක් ඔහුට තිබුණා. යමක් එක් වතාවක් කියැවුවොත් එය නැවත අංග සම්පූර්ණව දැකීමේ ලිවීමේ හැකියාවක් රෝහණ සහෝදරයා සතුව තිබුණා.” වසන්ත බණ්ඩාර මහතා කියයි.


“තව දෙයක්. එයා ලොකු දුවට ගොඩක් ආදරෙයි. ඇය ඇවිත් රෝහණ සහෝදරයාගේ ඇගේ දැවටෙනවා. ඉතින් ලොකු දුව එක් අතකින් අල්ලාගෙන තමයි ඔහු බොහෝ දේ ලිවුවේ.


ඔය වල්හපුතැන්න ගෙදර හිටපු අවදියේ රෝහණ සහෝදරයා මම එනකල් මඟ බලාගෙන ඉන්නවා. ඒකට හේතුවක් වුණේ, මම බාහිර සමාජය සමඟ සෘජුව මුසු වූ කෙනෙක්. ඊළඟට වෘත්තිය සමිති නියෝජනය කළා. දියතලාව ගුවන් හමුදා කඳවුරේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියෙක් හැටියට කටයුතු කළා. ඒ නිසා නිතර දියතලාව ගුවන් හමුදා කඳවුරට ගියා. නිලධාරින්ගේ සෞඛ්‍ය පරීක්‍ෂා සිදු කළා. දියතලා කඳවුරේ උසස් හමුදා නිලධාරින් සමීපව ඇසුරු කළා. ප්‍රදේශයේ දිසාපති, රෝහල් කාර්ය මණ්ඩල මේ සියලු දෙනා මාව දන්නවා... හමුදාව රෝහණ සහෝදරයා සොයන්න රටම පීරද්දී මම රාත්‍රියට රෝහණ සහෝදරයාගේ ගෙදර ඉඳලා පසුවදා දියතලාව ගුවන් හමුදා කඳවුරේ ඉහළ නිලධාරින් එක්කත් කතා කරනවා. දිසාපතිතුමා එක්කත් කතා කරනවා. ඉතාම සුවිශේෂ කාල පරිච්ඡේදයක්...” දොස්තර වසන්ත කියයි.

43
තමන් පිළිබඳ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති විශ්වසනීයත්වය උඩ ඔහු සමඟ රෝහණ විජේවීර ගියත් එය සැකයට තුඩු දෙන කාරණයක් වෙන්නේ නැත. විශේෂයෙන් දියතලාව කඳවුරේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියකු වීම මත ඔහු හා කඳවුරු භූමියට යාමට පවා රෝහණ සහෝදරයාට හැකියාව නොපැවතුණා නොවේ. ඒ තරම් සූක්‍ෂම ක්‍රමවේදයක් ජ.වි.පෙ හි අභ්‍යන්තරය සියලු ඉසව් කරා ගලා ගොස් තිබිණි. වල්හපුතැන්නේ නිවසේ සිටියදී චිත්‍රාංගනී සහෝදරියට තවත් දරු උපතක ලකුණු පහළ විය. ඒ දරු උපත සිදු කෙරුණේ නුදුරු කුඩා රෝහලකදීය. ඒ අවස්ථාවේ රෝහල් සම්බන්ධීකාරකයා හැටියට දොස්තර වසන්ත පක්‍ෂයේ වගකීම කරට ගත්තේය. 


-ඒක වතු රෝහලක්. එහි වෛද්‍යවරයාව මා පුද්ගලිකව හමුවෙලා කතා කරලා උදවු ගත්තා චිත්‍රාංගනී මගේ සමීප පවුලක කෙනෙක් හැටියට.
රෝහණ සහෝදරයාට පක්‍ෂ අභ්‍යන්තරයෙන් එන සමහර ආරංචි වුණත් සීයට සීයක් විශ්වාසය තබා පිළිගත්තේ නෑ. ඒක ඉතින් නායකයකුගේ ස්වභාවයනෙ. එය සැකය නෙවෙයි. ඔහුට මා වැනි බාහිර සමාජය ගනුදෙනු කරන්නන්ගේ මතය වඩා වැදගත් වුණා. වෘත්තිය සමිතිවල සිටින හමුදා ඇසුරු කරන, මධ්‍යම පාන්තික සමාජයේ වෙසෙන මගේ අදහස රෝහණ සහෝදරයා බලාපොරොත්තු වුණා.


එයාට තිබුණා, යම් තොරතුරක් ලබාගැනීමේ අපූරු ඉවක්. ගුණාත්මක විශ්ලේෂණ පර්යේෂණය කියන නවීන ක්‍රමය තුළ භාවිතා වන උපක්‍රම රෝහණ සහෝදරයා එදා මනාව භාවිතා කළා. එයා යමක් දිගින් දිගටම ප්‍රශ්න කරනවා. ඊට පස්සේ මොකද වුණේ, ඊට පස්සෙ මොකද වුණේ... එක දිගටම අහනවා. කොහාටද ගියේ, කවුද හිටියේ, අම්මා මොනවද කිවුවේ. අහගෙන හිටියෙ කවුද, පාරෙ වාහන ගියාද මේ හැමදේම අහනවා. 


ඒ තුළ ස්වභාවික චිත්‍රණයක් වෙනවා වගේම ස්වභාවික ඇත්ත පිළිතුර කියන්න වෙනවා. බොරු කියන්න බෑ. කෙනෙකුගේ ඇතුළේ තියන තොරතුරු හාර හාරා ලබාගෙන කියන්නාගේ මතකය අලුත් කරගෙන යම් මතයක් ගොඩනගා ගැනීමේ ශක්තිය ඔහුට තිබුණා. ඔහු මා එනතුරු මඟ බලාගෙන ඉන්නවා. මා හරහා තොරතුරු ගොඩාක් එයාට ලැබෙනව. හමුදාවේ උසස් නිලධාරීන් කතා වෙන්නෙ මොනවද දිසාපතිතුමා කියන්නෙ මොනවද, සාමාන්‍ය මිනිස්සුගෙ මතය, රජයේ නිලධාරින් දරන මතය මේ සියලු දේ එයාට දැනගන්න ලැබෙනවා.


ඔයා කොළඹ අසවල් රැස්වීමට ගියා නේද? ඒකෙ අසවලා නේද හිටියේ. තව කවුද ආවේ. ඒ අය මොකද කියන්නෙ. ඔයා තව කොහෙද ගියේ.. කවුද හම්බ වුණේ.. අපරාදෙ අහවලාත් හම්බ වෙන්න තිබුණෙ.. ඊළඟ සැරේ ගියාම අසවලා එක්කත් ටිකක් කතා කරල එන්න. මේ විදිහට මම ආපු ගමන් පැය භාගයක් විතර හුස්ම ගන්නත් බැරි විදිහට ප්‍රශ්න වැලක් අහගෙන අහගෙන යනවා. ඊට පසු තමයි රෝහණ සහෝදරයාට නිදහසක් ලැබෙන්නෙ..” 
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සිය මතකය අලුත් කරයි.


මේ කතාව තුළ රෝහණ විජේවීර සහෝදරයා රටේ ඇතැම් උසස් නිලධාරින්ගේ උගතුන්ගේ වෘත්තිය සමිති නායකයන්ගේ තොරතුරු හා මතවාදයන් දැන ගැනීමේ දැඩි පිපාසාවක සිටි බව අපට හැඟේ. වසන්ත හමුවූ සැණින් එක දිගට මේ ප්‍රශ්න කිරීම් ගලා ගියේ රටේ නිවැරදි තොරතුරු දැනගැනීමට රෝහණ සහෝදරයා තුළ වූ ඒ පිපාසාව නිසාය.


“මම බණ්ඩාරවෙල රෝහලේ හිටපු කාලෙ මගේ බිරිඳත් දියතලාවට මාරුවීම් ලබා ආවා. ඇයත් වෛද්‍යවරියක්. ඊට පසු දියතලාවේ වෛද්‍ය නිල නිවස අපේ නවාතැන බවට පත් වුණා. මේ කාලයේ මම රෝහණ සහෝදරයා බලන්න ගියේ දියතලාවේ සිටයි. මුල් අවදියේ රාත්‍රියට මෝටර් බයිසිකලයෙන් ගියත් පසුව මෝටර් රථයෙන් යන්න මා පුරුදු වුණා”


වල්හපුතැන්නේ රෝහණ සහෝදරයා සිටිද්දී දේශපාලන මණ්ඩලයේ හමුවීමක් තිබුණද?’ මම ප්‍රශ්නයක් යොමු කළෙමි. 


“මට මතක හැටියට සම්පූර්ණ දේශපාලන මණ්ඩලය වල්හපුතැන්නේදී හමු වුණේ නෑ. නමුත් දේශපාලන මණ්ඩලේ සාමාජිකයන් නිතර ආව ගියා. සෝමවංශ සහෝදරයා, රෝහණ සහෝදරයාට ළඟින්ම හිටපු කෙනෙක් විදිහට එහෙම නිතරම ආවා. මාවත් හමුවෙන්න ආවා. ඔහු ආවේ රෙජිනෝල්ඞ් කියන නමින් පෙනී සිටින ව්‍යාපාරිකයෙක් ලෙසයි. ඊට අමතරව එච්.බී. හේරත් සහෝදරයා, පියදාස රණසිංහ සහෝදරයා, උපතිස්ස ගමනායක, සහෝදරයා වගේ අය. සමන් පියසිරි එහෙම නම් ආවෙම නැති තරම්. නමුත් ඔහු බණ්ඩාරවෙලට ආවා”

 


ඔබව හමුවෙන්න රෝහලට ආව ගිය අය ඉන්නවද?’
“නෑ.... කවුරුවත්ම ආවේ නෑ. ඒක අපි රෝහලට එන්න පෙරදීම ගත්ත තීන්දුවක්. රෝහලට කිසිම පක්‍ෂ සාමාජිකයකුට ඇවිත් මාව හමුවෙන්න බෑ. පක්‍ෂයේ බණ්ඩාරවෙල දිසා ලේකම්වරයා මම පක්‍ෂයේ යම් ප්‍රමුඛතාවක් තියන කෙනෙක් බව දැන හිටියා. නමුත් ඔහුවත් මාව හමුවෙන්න ආවේ නෑ. ඒ වගේම ඔහු රෝහණ සහෝදරයා වල්හපුතැන්නේ ජීවත් වන බව දැන සිටියේත් නෑ. මේ හේතුව නිසා ඔහු මගේ වාහනයේ යද්දී මම බොරුවක් කියා ඔහුව මගින් බස්සවා, මා රෝහණ සහෝදරයාගේ ගෙදරට තනිවම ගිය අවස්ථා තියනවා.

 


ඔබ දිසාපතිවරයා ඇසුරු කළ බවත් මුලින් කීවා. ඔහු රජයේ උසස්ම නිලධාරියෙක්.. ඔහු ජ.වි.පෙ ගැන දැරුවෙ කවර මතයක්ද?
-ඇත්තටම ඔහු මා ජ.වි.පෙට සම්බන්ධ බව දන්නෙ නෑ. ඔහු දන්නෙ මා වෛද්‍යවරයකු බව පමණයි. නමුත් ඔහු හා කතා කරද්දී දිසාපතිතුමා ජ.වි.පෙ කෙරේ අනුකම්පාවක් දක්වන අයකු බව මට තේරුණා. බණ්ඩාරවෙල රෝහලේ ඇතැම් වෛද්‍යවරුත් ඒ මතයේම සිටි බව මට දැනුනා. ඉන් සමහර අය මා පක්‍ෂයේ මතයට යම් පක්‍ෂපාතී බවක් තියන බව දැනගෙන සිටියා.”


ඊට පසු සිදුවූ දේ ලබන සතියට.

m



අදහස් (0)

රටේ තොරතුරු දැනගන්න විජේවීර මා එනතුරු බලා ඉන්නවා

ධම්ම Wednesday, 20 July 2016 03:27 PM

එදා සිටි ප්‍රබලයන් සියල්ලෝම දැන් මළවුන් අතරය. අන්තිම ප්‍රබලයාවූ සිරි අයියාද පසුගිය අප්‍රේල් මාසයේදී සදහටම දෑස පියාගත්තා. මෙතෙක් නිහඬව සිටි දොස්තර වසන්ත බණ්ඩාර දැන් කතා කරන්න පටන් ගැනීම ගැටළු සහගතයි. (අ)

:       0       0

බණ්ඩාර Friday, 22 July 2016 07:17 AM

දොස්තර බණ්ඩාරට බොරු කියන්න ඕනේ නැහැ. අදටත් ඔහු ඇසුරු කළ බන්ඩාරවෙල උදවිය මෙන්ම විජේවීර පවුලේ උදවියද ජීවතුන් අතර සිටිනවා. පසු කලක හැමෝම දැනගත්තා වසන්ත කියන්නේ කවුද කියලා (බ)

:       0       0

මනෝජ් Friday, 22 July 2016 08:30 AM

හොද ලිපියක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 422 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 77 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 970 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 122 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 165 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 423 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 708 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 352 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 499 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site