IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රතුපස්වල ගැටුමේ ”දෙවැනි ඉනිම”

ගම්පහ, රතුපස්වල ජල ගැටලූවට ස්ථිර විසඳුමක් දීමට සියලූ පාර්ශව අසමත්ව ඇති තත්ත්වයක් යටතේ අළුයට ඇති ගිනි පුපුරු මෙන් එය වරින් වර මතුවෙයි. ජල ගැටුමේ මුල්ම උද්ඝෝෂණයට මාස දෙකහමාරක් ඉක්ම ගොස් ඇතත් මෙතෙක් ස්ථිර විසඳුමක් ලැබී නැත. රතුපස්වල ජලයේ පී. එච්. අගය අඩු බව බොහෝ පාර්ශ්ව පිළිගත්තත් ඊට හේතුව වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවද, එසේත් නැතිනම් වෙනත් හේතුවක් දැයි මෙතෙක් හෙළි කිරීමට අපොහොසත්ව ඇති අතර කර්මාන්ත ශාලාවේ වරදක් නැතැයි කීමට හෝ කර්මාන්ත ශාලාවේ වරදක් ඇතැයි කීමට කිසිදු බලධාරියෙක් ඉදිරිපත්ව නැත.

ඒ අස්සේ පොලිසියත් මාධ්‍ය වාරණයක් දැමීය. මෙතෙක් රතුපස්වල ප‍්‍රශ්නයට තිබූ විනිවිද ස්වභාවය නැති කිරීමට කිසියම් බලවේගයක් සැරසෙතියි ගමේ තැන තැන ඇසෙන කතාවකි. පත්තර නැත්නම් අපි කවුරුත් අමාරුවේ යැයි ගැමියෝ කියති.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අගෝස්තු 22 වැනිදා කළ පරීක්ෂණ වාර්තාවකට අනුව රතුපස්වල කම්හලේ සිට මීටර 30ක් දුරින් පිහිටි නිවසක ජලයේ නයිටේ‍්‍රට් ප‍්‍රමාණය 44.4කි. උපරිම තිබිය යුතු නයිටේ‍්‍රට් ප‍්‍රමාණය 10ක් බවද එහි සඳහන්ය. කම්හල් භූමියේ එක් ස්ථානයක ජලයේ නයිටේ‍්‍රට් 191ක් ඇති බවත් උපරිම තිබිය යුතු ප‍්‍රමාණය 10ක් බවත් එහි සඳහන්ය. නියමිත ප‍්‍රමාණයට වඩා නයිටේ‍්‍රට් වැඩිවීමෙන් සිදුවන ප‍්‍රතිවිපාක ගැන එම වාර්තාවේ සඳහන්ව නැත.

රතුපස්වල ගැටලූවට ස්ථිර විසඳුමක් බව කියමින් පසුගියදා ගිවිසුමක් අත්සන් කළහ. ඒ ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයේ පැවැති පැය හයකට ආසන්න දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවය. කර්මාන්ත ශාලාව නියෝජනය කරමින් හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතාද, ගම්වාසීන් නියෝජනය කරමින් ගල්ඔළුව ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ද එම එකඟතා ඇතුළත් ගිවිසුමකට අස්සන් තැබූහ. සාක්ෂි වශයෙත් තවත් ගම් වාසියෙක් අත්සන් තැබීය.

ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඞී. කොමසාරු මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡුාවට ගම නියෝජනය කරමින් තෙරිපැහැ සිරිධම්ම හිමි,  නීතීඥ පාලිත සේනාරත්න සහ නීතීඥ පී. වික‍්‍රමආරච්චි මහත්වරු ඇතුළු දස දෙනෙක් සහභාගී වූහ. වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාව නියෝජනය කරමින් හේලීස්  සමූහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා, වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් රණසෝම මහතා ඇතුළු පිරිසක් ද  සහභාගී වූහ.

ඉතා වැදගත් බව කියන එම ගිවිසුම අස්සන් තබන තැනට මාධ්‍යයට යෑමට අවස්ථාව අහිමි විය.

ගැමියන් කියනුයේ තෙරිපැහැ හිමියන් හා  කර්මාන්ත ශාලාව අතර අත්සන් කළ ගිවිසුමේ කිසිදු නීත්‍යනුකුලභාවයක් නැති බවයි. එය කොළ කැබැල්ලකට තැබූ අස්සනක් පමණක් බව ගැමියෝ කියති.

රතුපස්වල දැන් පැටළුණු නූල් බෝලයකි. සැවොම නායකයෝ වීමට අර අදිති. කිසිදු නායකයකුගෙන් ස්ථිර විසඳුමක් ද තවම නැත.

තෙරිපැහැ සිරිධම්ම හිමියන්ගේ හදිසි වෙනස ගැනද කට කතා පැතිරෙයි. කෑලි කපා තමා මරා දමනු ලැබුවත් එක් දිනක් හෝ කර්මාන්ත ශාලාව විවෘත කිරීමට ඉඩ නොදෙන බව කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී පැවසූ තෙරිපැහැ සිරිධම්ම හිමියන්ට සිදුවූයේ කුමක් දැයි ගැමියෝ සොයති. ඒ හිමියෝ ද එය ප‍්‍රතික්ෂේප නොකරති.

මෙලෙස පැතිරයන කට කතා ගැන අප තෙරිපැහැ සිරිධම්ම හිමියන්ගෙන් විමසීමක් කළෙමු. ඒ හිමියෝ ද දෙගිඩියාවය. එදා වීරයකු වූ තෙරිපැහැ හිමියනට සිදුවූයේ කුමක් ද?

 


ඔව් මං ගියා තමයි

තෙරිපැහැ සිරිධම්ම හිමි:-
 

 

ප‍්‍රශ්නය-: ගිවිසුමකට යන්න හේතුව මොකක්ද?
පිළිතුර:- දේපාර්ශ්වය විසින් තීරණයකට පැමිණීම.

ප‍්‍රශ්නය:- ඒ ගිවිසුම සාර්ථකද?
පිළිතුර:- දේපාර්ශ්වයක් කතා කර ගත්තු තීරණයක් නිසා සාර්ථකයි.

ප‍්‍රශ්නය-: මෙහෙම ගිවිසුමකට එන්න පොලිස් අධිකාරී කාර්යාලයයේ තිබුණු රැුස්වීමට කලින් ඔබවහන්සේ කා සමග හෝ කතා කර තිබුණාද?
පිළිතුර:- එහෙම කතා කර තිබුණා නම් පොලිස් අධිකාරී කාර්යාලයයේ පැය පහක් හයක් සාකච්ඡුා කරන්නෙ නැහැනේ.

ප‍්‍රශ්නය-: ඒ ගිවිසුම අත්සන් කරන තැන කවුද හිටියේ?
පිළිතුර:- නීතීඥවරු දෙන්නෙක් හිටියා. මහජන පාර්ශ්වයෙන් පිරිසක් හිටියා. ෆැක්ටරිය පැත්තෙන් සභාපතිතුමා, කළමනාකාර අධ්‍යක්ෂ ඇතුළු විද්වත් මණ්ඩලයක් තිබුණා.

ප‍්‍රශ්නය:- ඇයි පොලිස් අධිකාරී කාර්යාලයයේ ගිවිසුම අත්සන් කළේ?
පිළිතුර:- පොලිස් අධිකාරී කාර්යාලය කියන්නේ ගමේ බෝක්කුව නෙමේනේ. නීතිය හා සාමය ආරක්ෂා කරන තැනක්. මේක ඓතිහාසික    ගිවිසුමක්.

ප‍්‍රශ්නය:- වතුර ගන්න මූලික ගෙවීම්වලට දායක වෙනවා කියා තිබුණට ගාණක් දමා නැහැ. රුපියල් දහසක් දුන්නත් දායක වීමක් නේද?
පිළිතුර-: තර්ක විතරක් කරලා මේක විසඳන්න බැහැ. මා තක්ක හේතු කියා බුදුහාමුදුරුවො කියා තිබෙනවානේ.

ප‍්‍රශ්නය-:  දේශපාලන බලපෑමක් මේකට ආවේ නැද්ද?
පිළිතුර-: එදත් අදත් දේශපාලන බලපෑම් එන්න හැදුවට අපි ගත්තේ නැහැනේ.

ප‍්‍රශ්නය:- සරණ ගුණවර්ධන නියෝජ්‍ය ඇමැතිගේ නිවසට ගියේ ඇයි?
සිරිධම්ම හිමි:- ඔව් මං ගියා තමයි. ප‍්‍රශ්නය ගැන සාකච්ඡුා කරන්න ගියේ.

ප‍්‍රශ්නය:- ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන මහතාද ඒක සම්බන්ධීකරණය කළේ?
සිරිධම්ම හිමි:-  එතුමා පියෙක් වගේ අපි ආශ‍්‍රය කරන්නේ. මගේ හොදම දායකයෙක්. දේශපාලකයෙක් වගේ නෙමේ. ඊට වඩා ලෙංගතුව ආශ‍්‍රය කරන්නේ. එතුමා මට කිව්වා අපි සරණ ගුණවර්ධන මහත්මයා එක්කත් කතා කරමු කියා. එතුමා මාර්ගයෙන් තමයි සරණ ගුණවර්ධන මහත්තයා ගාවට ගියේ.

ප‍්‍රශ්නය:- ප‍්‍රාදේශීය සභාවේ පුද්ගලයකුගේ වාහනයක නේද ගියේ?
සිරිධම්ම හිමි:- ප‍්‍රාදේශීය සභාවේ වාහනයක නෙමේ, වෑන් රියකයි ගියේ. හැබැයි සාකච්ඡුා කරන තැන ප‍්‍රාදේශීය සභාවේ සභාපතිත් හිටියා.

ප‍්‍රශ්නය-: නියෝජ්‍ය ඇමැතිතුමා එක්ක සාකච්ඡුාව මොකද වුණේ?
පිළිතුර-: මේ සම්බන්ධයෙන් වචන කිහිපයකින් හෝ එතුමා උදව් කරපු එක ගැන අප සතුටු වෙනවා.

ප‍්‍රශ්නය-: ඔබ වහන්සේ කලින් කිව්වේ ජනාධිපති ළඟටවත් යන්නේ නෑ. හැමෝම ඔබවහන්සේ ගාවට ඇවිත් සාකච්ඡුා කළ යුතුයි කියා. ඇයි සරණ ගුණවර්ධන මහත්මයා ගාවටම ගියේ.


 

ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව තෙරිපැහැ සිරිධම්ම හිමියන් සහ හේලීස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා සාකච්ඡාවක

 

පිළිතුර-: ම්... ම්... මෙහෙමයි. බුදුහාමුදුරුවොත් හොයාගෙන ගිහින් ධර්මය දේශනා කළානේ. අප ළඟට එන්නේ නැත්නම් අපි යන්න  ඕනෑ. සරණ විතරක් නෙමේ. මා රනිල් වික‍්‍රමසිංහ මහත්මයා එක්කත් සාකච්ඡුා කළා මේ ගැන.

ප‍්‍රශ්නය:- රනිල් වික‍්‍රමසිංහ මහත්මයා වැලිවේරියට ආව මිසක් ඔබවහන්සේ ගියේ     නැහැනේ?
පිළිතුර-: මම එතුමාගේ කාර්යාලයට ගිහින් තිබෙනවා.

ප‍්‍රශ්නය:- අපේ හාමුරුදුවන් කොළඹ තරු පන්තියේ හෝටලයක හිටියා නේද?
සිරිධම්ම හිමි:- ඇයි මට එහේ යන්න බැරිද? මම යන එන තැන් කතා කරලා මේ ප‍්‍රශ්නය විසඳන්න බැහැ. මා සුළුදිය දමන තැන් සොයන්නේ     මොකටද? මේ ප‍්‍රශ්නය ගැන කතා කරමු.

ප‍්‍රශ්නය:- ගිවිසුම අස්සන් කරන තැන ගම්පහ පොලිස් අධිකාරී සිටියා කියා ඔබවහන්සේ කිව්වාද?
සිරිධම්ම හිමි:- අස්සන් කරන තැන හිටියේ නැති වුණාට එතුමාගේ අධීක්ෂණයෙන් තමයි  අස්සන් කළේ.

ප‍්‍රශ්නය:- පොලිස් අධිකාරී කාර්යාලයේ පැය පහක පමණ සාකච්ඡුාවෙන් පස්සේ කෙළින්ම ගියේ සණස ශාලාවේ මාධ්‍ය සාකච්ඡුාවකට. එතැනදි මාධ්‍යයට පත‍්‍රිකාවක් බෙදුවා. නමුත් ඒ පත‍්‍රිකා මුද්‍රණය කරන්න තරම් වෙලාවක් තිබුණේ නෑ. මෙය ඔබහන්සේගේ දැනුම්වත් කමින් සැලසුම්සහගතව කළින් මුද්‍රණය කළ බවයි වැලිවේරියේ ජනතාව   දැන් කියන්නේ?
සිරිධම්ම හිමි:- මා දන්නේ නෑ.
 


 


තෙරිපැහැ සිරිධම්ම හිමියන් සම්බන්ධ සිද්ධියට ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන මහතාගේ නමද ඈඳී ඇති නිසා ඒ සම්බන්ධයෙන් කුමන් කියන්නේදැයි අපි ඔහුගෙන් ද විමසීමක් කළෙමු.

 

ඒ ගැන මට කියන්න දෙයක් නෑ

ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන

 

ප‍්‍රශ්නය-: තෙරිපැහැ සිරිධම්ම හාමුදුරුවන්ව ඔබ නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනගේ ගෙදරට එක්ක ගියා කියා කතාවක් තිබෙනවා.
පිළිතුර:- මා දන්නේ නැහැ.

ප‍්‍රශ්නය:- එතකොට ඔබ සරණ මහත්මයාගේ ගෙදරට හාමුදුරුවන් එක්ක ගියේ නැද්ද?
පිළිතුර:- නැහැ. මගදි හම්බවෙලා කතා කළා.

ප‍්‍රශ්නය:- හාමුදුරුවො සරණ මහත්මයා එක්ක සාකච්ඡුා කරද්දි ඔබතුමා හිටියේ නැද්ද?
පිළිතුර-: නෑ හිටියේ නෑ.

ප‍්‍රශ්නය-: ගම්පොළ තිබුණු සාකච්ඡාවකදි හාමුදුරුවන්ගෙන් අහපු ප‍්‍රශ්නයකට පිළිතුරක් විදියට කියලා තියනවා නියෝජ්‍ය ඇමැති එක්ක සාකච්ඡුා කරන තැන ඔබතුමා හිටියා කියා?

පිළිතුර:- මම උදේ හවස සරණ ගුණවර්ධන මැතිතුමාගේ ගෙදරට යනවා.
ප‍්‍රශ්නය:- දැන් රතුපස්වල තත්ත්වය කොහොම ද?

පිළිතුර:- දැන් ජල නළ එළීමේ කටයුතු බොහෝ දුරට ඉවරයි. ගැටලූව තිබෙනවා කියන ගම්මාන කිහිපයක ජල නළ එළුවා. තවටිකයි තියෙන්නේ. ඒකත් ඉක්මනින් අවසන් කරනවා.

ප‍්‍රශ්නය-: ජනතාව දවස් ගණනක් උද්ඝෝෂණ කළා.  කර්මාන්ත ශාලාව ළඟදි සත්‍යග‍්‍රහ කළා. ඒත් ඔබතුමා ජනතාව හමුවට ගියේ නැහැ නේද?
පිළිතුර:- යම් යම් බලවේග ක‍්‍රියාත්මක වන තැන්වලට යන්නේ නැහැ. සමහරු දේශපාලන වාසි ගන්න ක‍්‍රියා කරනවා.

ප‍්‍රශ්නය:- සිරිධම්ම හාමුදුරුවන්ගේ වෙනස් වීම ගැන ඔබතුමා මොකද කියන්නේ?
පිළිතුර-: ඒ ගැන මට කියන්න දෙයක් නෑ.
 


 

 

ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව සිරිධම්ම හිමියන් හා රතුපස්වල ජනතා නියෝජිතයන් පොලිස් අධිකාරි කාර්යාලය අසලදී විවාදයක පැටලී

 


ගිවිසුම නීත්‍යනුකූල නෑ

නීතිඥ පාලිත සේනාරත්න

 

රතුපස්වල ගැටලූවේ මුල සිටම සිටි නීතීඥ පාලිත සේනාරත්න මහතා කියනුයේ පොලිස් අධිකාරී කාර්යාලයයේ අස්සන් තැබූ ගිවිසුමේ නීත්‍යනුකූලභාවයක් නොමැති බවයි. ඔහු එසේ   පැවසුවෙන් එම සාකච්ඡාවට සේනාරත්න මහතාද සිටි බවට පැතිර යන කතා ගැන විමසීමක් කළෙමු.

ප‍්‍රශ්නය:- අත්සන් කළ ගිවිසුම ගැන මොකද කියන්නේ?
පිළිතුර:- ඒක සම්පූර්ණයෙන් අසාර්ථකයි. ඒක නීත්‍යනුකූල නෑ. එය තුන්ඩු කෑල්ලක් පමණයි.

ප‍්‍රශ්නය:- ඇයි එහෙම ගිවිසුමක් අත්සන් කරන්න අනුබල දුන්නේ?
පිළිතුර: - මා අනුබල දුන්නේ නැහැ. අපි සාකච්ඡා කළේ ඔයිට වඩා වෙනස් දෙයක්. පැය ගණනක් සාකච්ඡුා කළා. විනාඩි පහක් එළියට    ගිහින් තේ එකක් බීලා එද්දී  ඕක අත්සන් කරලත් ඉවරයි.

ප‍්‍රශ්නය:- ගිවිසුම අත්සන් කරන තැන ඔබතුමා හිටියේ නැද්ද?
පිළිතුර-: නෑ මා හිටියෙත් නෑ. කමිටුවේ බොහෝ දෙනෙක් හිටියේ නෑ. අපි ඇවිත් බලද්දී තුන්ඩු කෑල්ලක් විදියට සකස් කර අත්සන් කර තිබුණා. එය ගිවිසුමක් නෙමේ.

ප‍්‍රශ්නය:- ඇයි මෙය නීත්‍යනුකූල නෑ කියා කියන්නේ?
පිළිතුර:- මේක බලගන්වන්න බෑ. අපේ සංවිධානයක් නෑ. හාමුදුරුවෝ කිසියම් සංවිධානයක සභාපති හෝ ලේකම් නෙමේ. එක් පුද්ගලයකු සහ සමාගමේ සභාපති අතර අස්සන් කළ කොළයක් තමයි ඔය ගිවිසුම.

ප‍්‍රශ්නය-: ඔබ කිව්වාද ෆැක්ටරියේ ප‍්‍රශ්නයක් දැන් නෑ කියා?
පිළිතුර:- ඒක බොරු කතාවක්. මා එහෙම දෙයක් කියා නෑ.

ප‍්‍රශ්නය:- රතුපස්වල සිද්ධියට මැදිහත් වුණාට පස්සේ බලපෑම් ආවේ නැද්ද?
පිළිතුර:- කිසිම ඍජු බලපෑමක් ආවේ නෑ.

ප‍්‍රශ්නය: - ගිවිසුම අත්සන් කර කෙළින්ම ගියේ සණස ශාලාවේ මාධ්‍ය සාකච්ඡුාවකට නේද?
පිළිතුර:- එහෙම දෙයක් ගැන අපි දැනගෙන හිටියේ නෑ. අපි මේ ගැටලූවෙදි මෙච්චර කල් කළේ සාකච්ඡුාව ඉවර වෙලා එතැනම තිබුණු ගහක් යටට හරි ගිහින් මාධ්‍යයට අදහස් දැක්වූ එකයි. මෙතනදි අපි දන්නේ මාධ්‍ය සාකච්ඡුාවක් ලෑස්ති කරලා කියා. කර්මාන්ත ශාලාවේ අය හාමුදුරුවන්ව එක්කගෙන ගියා. අපි ඒත් එක්ක ගියා කොහෙද යන්නේ බලන්න. බලනකොට සරුවට මාධ්‍ය සාකච්ඡාවක් ලෑස්ති කර තිබුණා.

ප‍්‍රශ්නය:- ඒ සාකච්ඡාව අවස්ථාවේ මේ ගිවිසුම ගැනත්, තීරණ ගැනත් කියා මාධ්‍ය නිවේදනයක් බෙදුවා. එහෙම එකක් මුද්‍රණය කරන්න කාලයත් තිබුණේ නෑ නේද?
පිළිතුර:- මේක සම්පූර්ණයෙන්ම කළින් සැලසුම් කර තිබිලා තියෙන්නේ. සාකච්ඡුාව ඉවර වෙලා එද්දි තමයි මේ ප‍්‍රතිකාව දැක්කේ.

ප‍්‍රශ්නය:- ඇයි මේ පත‍්‍රිකාවට එතැනදි විරුද්ධ නොවුණේ?
පිළිතුර:- මේක වැඩක් නැති එකක් වුණත් සභාපති අස්සන් තබා තිබෙනවා. අධිකරණයේ නඩුවකදී එය ඉදිරිපත් කරන්න තමයි අප හිතුවේ. මොකද මේකට අස්සන් තැබුවා කියන්නේ ගැටලූවක් තිබෙන බව ආයතනය පිළිඅරගෙන තිබෙනවා.

 



 


උන්වහන්සේට මේ සංවිධානය විසුරුවා හරින්න බෑ.

ප‍්‍රා. සභා මන්තී‍්‍ර ප‍්‍රමිත හෙට්ටිආරච්චි

 

මහර ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයකු වන ප‍්‍රමිත හෙට්ටිආරච්චි මහතා රතුපස්වල ජල සටනේ මුල සිටම සිටි අයෙකි. පොලිසිය සහ වෙනත් පාර්ශ්ව කියනුයේ ඔහු දේශපාලන වාසි අරබයා ජනතාව අවුළුවන බවයි. සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානය කැඳවුම්කරු ලෙස කටයුතු කරන ඔහු පසුගියදා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ උසස් පොලිස් නිලධාරියකු තර්ජනය කළ බවද කියමිනි. තවත් ආන්දෝලනාත්මක කතා රැසක් පසුගිය සතියේ ඔහුගේ මුවින් පිට විය. ඒ ගැන ඔහුගෙන් ද  විමසීමක් කළෙමු.


ප‍්‍රශ්නය-: මොකක්ද මේ සියනෑ  ජලය සුරැුකීමේ  ජන නැගුම කියන්නේ?
පිළිතුර:-  ජල ප‍්‍රශ්නය මුල් කොටගෙන වැලිවේරිය රතුපස්වල අවට ජනතාවට ගැටලූ රැුසක් මතු වුණා. ඒ අයට සාධාරණයක් ඉටු කිරීමේ අරමුණින් පිහිටුවා ගත් සංවිධානයක් තමයි ඒ.

ප‍්‍රශ්නය:- තෙරිපැහැ හිමි කියනවා ඒ සංවිධානය   අහෝසි කළා කියා?
පිළිතුර-:  ස්වාමීන්    වහන්සේ දැරුවේ එහි     අනුශාසක තනතුරයි. උන්වහන්සේ දන්නේ නැතුව ඇති අනුශාසක කියන වචනයේ තේරුම. එයට විධායක බලයක් නැහැ. එය නාමික තනතුරක් පමණයි. ඒ නිසා එය       විසුරුවා හරින්න උන්වහන්සේට බැහැ.

ප‍්‍රශ්නය:- ඔබ මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවා තෙරිපැහැ හිමියන් අනුශාසක තනතුරින් ඉවත් කළ බව? ඇයි එහෙම ඉවත් කළේ?  
පිළිතුර-: සිරිධම්ම හිමියන් මේ වන විට     බස්නාහිර පළාත අතහැර මධ්‍යම පළාතට ගිහින්. අපි උන්වහන්සේගෙන් අනුශාසනාවක් ගන්න    මධ්‍යම පළාතට යන්න වෙනවා. ජනතාව චෝදනා කරනවා උන්වහන්සේගේ තනි තීරණයට කර්මාන්ත ශාලාව නැවත විවෘත කරන්න  ගිවිසුම අස්සන්  කළා කියා. මේ වෙනකොට උන්වහන්සේ පන්සලත් අතහැර ගොස් තිබෙනවා. මේ හේතු නිසා  අනුශාසක තනතුරෙන් ඉවත් කළා.

රතුපස්වල කර්මාන්ත ශාලාවේ ගැටලූව මෙතරම් දුර දිග ගියේ රාජ්‍ය නිලධාරීන්ගේ මන්දගාමී පිළිවෙත නිසා යැයි බොහෝ දෙනා කියති.  ආයතනය හා සිරිධම්ම හිමියන් අතර ගිවිසුමේ සාක්කියට අත්සන් කළ සම්පත් සමරණායක මහතා කර්මාන්ත ශාලාවේ ගැටලූව ගැන දන්වා ජනපතිට ලිපියක් යවා ඇති අතර  ජනපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මේධා බෙම්මුල්ල මහත්මිය 2011 දෙසැම්බර 28 වැනිදා ඒ මහතාට ලිඛිතව දැනුම් දෙන්නේ ගැටලූව මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කළ බවයි.

ඒ කෙසේ වෙතත් පසුගිය ජූලි 27 වැනිදා       දැවැන්ත උද්ඝෝෂණයක් දක්වා ප‍්‍රශ්නය පැතිර යන තුරු කිසිම නිලධාරියකු ඒ ගැන නිසි අවධානය යොමු නොකළ බව ගම්වාසීහු කියති.

 


 


ගම්පහ විතරක් නෙවෙයි කළුතරත් පී.එච්.  අගය අඩුයි

ගම්පහ මහ දිසාපති

 

ජූලි 29 වැනිදා ගම්පහ දිසාපති කාර්යාලයේ පැවැති සාකච්ඡුාවකදී තීරණය වූයේ දෙසතියක් ඇතුළත ආයතන කිහිපයකින් වාර්තා කැඳවා තීරණයකට එළඹෙන බවයි. එම දෙසතිය ගෙවී ගොස් මාස දෙකකටත් වැඩි කාලයක් ගතව ඇතත් තවම විසඳුමක් ලැබී නැත. ඒ ගැන ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගෙන් විමසීමක් කළෙමු.


ප‍්‍රශ්නය:- රතුපස්වල ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සියලූ පරීක්ෂණ වාර්තා ඔබතුමාට ලැබී තිබෙනවාද?
පිළිතුර:- භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ වාර්තාව හැර සෙසු සියලූ වාර්තා මට ලැබිලා තියෙනවා.

ප‍්‍රශ්නය:- වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව නිසා ජලය අපිරිසුදු වී ඇති බව එම වාර්තාවලින් කියැවෙනවා ද?
පිළිතුර:- නැහැ. කර්මාන්ත ශාලාව නිසා ජලය අපරිසුදු වෙන බව වාර්තාවල දක්වා නැහැ.

ප‍්‍රශ්නය:- රතුපස්වල ජලයේ පී.එච් අගය අඩු බව එම වාර්තාවල සඳහන් වෙනවා ද?
පිළිතුර:- පීඑච් අගය අඩු රතුපස්වල විතරක් නොවෙයි. ගම්පහ පැත්තෙත් අඩුයි. කළුතරත් අඩුයි.

ප‍්‍රශ්නය:- පී.එච් අගය අඩුවීමට හේතු ලෙස මොනවගේ කරුණු ද තිබෙන්නේ?
පිළිතුර:- හේතු කිහිපයක් තිබෙනවා. කෘෂි  කර්මාන්තයේ දී යොදා ගන්නා පොහොර, මනුෂ්‍ය ජනාවාස වැඩිවීම, සතුන්ගේ මළ එකතු වීම සහ දේශගුණික විපර්යාසද ආදී හේතු තිබෙනවා.

ප‍්‍රශ්නය:- මේ වාර්තා සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියාමාර්ග කුමක් ද?
පිළිතුර:- ලබන සතියේ සියලූ වාර්තා ජනපතිට යොමු කරනවා.

ප‍්‍රශ්නය:- ඔබතුමා කියන්නේ මේ කර්මාන්ත ශාලාව මෙතැනම තිබිය යුතුයි කියාද?
පිළිතුර:- ඒක මට කියන්න බැහැ. මම කරන්නේ වාර්තා ටික එකතු කර ජනපතිට දෙන එක පමණයි.

 


 

රතුපස්වල ගැටළුව ඇති වුයේ කර්මාන්ත ශාලාව නිසාදැයි එහි කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් රණසෝම මහතාගෙන් විමසීමක් කළෙමු.

 


පී.එච්. අගය අඩුවන්න අපේ සම්බන්ධයක් නෑ

කම්හලේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් රණසෝම

 

ප‍්‍රශ්නය:- ඇයි මෙහෙම ගිවිසුමකට අත්සන් කරන්න හිතුවේ?
පිළිතුර:- අපි ගිවිසුමක් අත්සන් කරන්න කලින් හිතුවේ නෑ. පොලිස් අධිකාරී කාර්යාලයයේ පැවැති සාකච්ඡුාවේදී වුණු තීරණයක් අනුවයි එහෙම  අත්සන් කළේ. ජලය අපිරිසිදු වෙන්න අපේ සම්බන්ධයක් නෑ.

ප‍්‍රශ්නය:- කවුද සාකච්ඡුාව සංවිධානය කළේ?
පිළිතුර:- පොලිස් අධිකාරී කාර්යාලයයෙන් තමයි අපිට ආරාධනා කළේ.

ප‍්‍රශ්නය:- රතුපස්වල ඇත්ත තත්ත්වය කුමක්ද?
පිළිතුර:- පැහැදිලිවම ජලයේ පීඑච් අගය අඩුවෙන්න අපේ සම්බන්ධයක් නෑ. වෝටර් බෝඞ් එකෙන් කිව්වා ළිංවල පීඑච් අගය බලලා අඩු නිසා ජලය බීමට හොඳ නෑ කියා. පී එච් අගය අඩු එක ගැන ලැබ් එකේ කෙනා දන්නේ නැතිව හරි ලිව්වා ජලය බීමට සුදුසු නෑ කියා. ගමේ අය ඒකට බය වුණා. ගමේ අයට කිව්වා ආම්ලිකයි බොන්න එපා කියා. වෙන තැන් තියනවා ඔයිටත් වඩා පී එච් අගය අඩු ඒවා බීමට සුදුසුයි කියා. වෝටර් බෝඞ් එකේ තියෙන්නේ පිරිපහදු කළ ජලය. ඒ ප‍්‍රමිතිය වෙනස්. දොඩම් යුෂ එකක් දුන්නොත් එයාලා බලලා කියයි බොන්න හොද නෑ කියා. එහෙම රිපෝට් එකක ආපුවාම හැමෝම බය වෙනවා. ඊට පස්සේ කියන්න ගත්තා ෆැක්ටරිය නිසයි මෙහෙම වුණේ කියා. අපි කියන දේ කවුරුවත් ඇහුවේ නෑ. මාධ්‍යය ඇහුවෙත් නෑ. මේ ප‍්‍රදේශයේම ජලයේ පී එච් අගය අඩුයි. ඒක දන්න කාරණයක්. අලූතින් හොයා ගත්ත දෙයක් නෙමේ.

ප‍්‍රශ්නය:- වෙන තැනකට යන්න ඇයි මාස හයක් ඉල්ලූවේ?
පිළිතුර:- වෙන කරන්න දෙයක් නැති නිසා අපි අවුරුදු 2ක්වත් ඉල්ලූවා වෙන තැනකට යන්න. ඒකට එකඟ වුණේ නෑ. අවසානයේ දෙපාර්ශ්වයම එකඟ වුණා මාය හයකින් යන්න.

ප‍්‍රශ්නය-: ගිවිසුමේ කොන්දේසියක් තියනවා  සමෘද්ධි පවුල් ඇතුළු දුප්පත් පවුල් 3000කට ජලය ගැනීමට මූලික ගෙවීම් වලට දායක වෙන බව. මූලික ගෙවීම කීයද? පවුල් තුන්දහසකට කෝටි  පහක් විතර යනවා නේද?
පිළිතුර:- ජලය ගන්න අපහසුතා තියන පවුල් තුන්දහසකට ජලය ගන්න මූලික ගෙවීමට දායක වෙන්න එකතු වුණා. දෙන ගානක් කියන්න බෑ. කෝටි පහක් දෙන්න බැහැනේ. අපි පුළුවන් විදියට දායක වෙන්න තීරණය කළා.

ප‍්‍රශ්නය:- ගිවිසුම අත්සන් කරන තැන කවුද හිටියේ?
පිළිතුර-: අප හිටියා, නීතීඥවරු දෙදෙනකු හිටියා. ගමේ කට්ටිය හිටියා.

ප‍්‍රශ්නය:- නීතීඥ පාලිත සේනාරත්න මහතා හිටියාද?
පිළිතුර:- ඔව්

ප‍්‍රශ්නය: - නීතීඥ පාලිත මහතා කියනවා එතුමා හිටියේ නෑ කියා?
පිළිතුර:- නමුත් ඊට පස්සේ තිබුණු මාධ්‍ය සාකච්ඡුාවේ එතුමා හිටියා.

ප‍්‍රශ්නය-: කොළඹ හෝටලයකදි ඔබතුමා තෙරිපැහැ හාමුදුරුවො හම්බුණා කියා කතාවක් තිබෙනවා.
පිළිතුර:- නෑ. මා හමුදුරුවන් මුලින්ම දැක්කේ රතුපස්වල පිට්ටනියේ උපවාස කරද්දී. ඊට පස්සේ දැක්කේ එදා පොලිස් අධිකාරී කාර්යාලයයේ දී. අවස්ථා දෙකකදි විතරයි මා හාමුදුරුවන් දැක තිබෙන්නේ.

ප‍්‍රශ්නය:- අවසන් වශයෙන් ජනතාවට කියන්න තියෙන්නේ කුමක්ද?
පිළිතුර:- අපේ කර්මාන්ත ශාලාව නිසා නෙමේ වතුර අපිරිසුදු වුණේ. අපට මේක වෙන තැනකට ගෙනියන්න හරි කාල සීමාවක් දෙන්න. කලබලකාරී ලෙස කලහකාරී ලෙස හැසිරෙන්න එපා.

මෙවැනි ගැටලූවක් පැන නැගි අවස්ථාවක විපත් අවම කරමින් කටයුතු කරන ආකාරය ගැන ඉගෙන ගැනීමට නම් රතුපස්වල සිද්ධිය හොඳ පාඩමකි. රතුපස්වල වෙනුවෙන් දිවි පිදුවනට නිගරු නොකිරීමට ගැමියන් වග බලා ගන්නා බව නම් පෙනේ.

 

 

 



අදහස් (0)

රතුපස්වල ගැටුමේ ”දෙවැනි ඉනිම”

ටිකිරි බණ්ඩා Sunday, 20 October 2013 11:51 PM

ඇමතිවරු එකසිය ගානක් ඉන්නවා. එක්කෙනෙක්වත් නැද්ද මේකට වගකීමක් ගන්න.කෝ අර ධර්ම රාජ්‍යයක් හදන්න පාර්ලිමේන්තු ගිය කටිටිය? (නි)

:       0       0

ක්.බ. සිරිවර්ධන Sunday, 20 October 2013 02:27 PM

එදා වගේ කුන්කුනාවේ හාමුදුරුවරු නැහැ. අද ඉන්නේ මුදල් වලින් නිවන් යන්න හදන සමහර හාමුදුරුවරු?(නදී)

:       0       0

ආරියසේන Monday, 21 October 2013 07:20 AM

මා හිතන්නේ මේක වතුර ප්‍රස්නයටත් වැඩිය ගමයි පන්සලයි ගමේ ඉන්න සොක්කෝ ටිකයි මාධ්‍යයෙන් රට පුරා ප්‍රසිද්දියට පත් වෙන්නයි හදන්නේ. ඔය කෑ ගහන අයට සමුළුවෙන් පස්සේ පිපාසය නිවෙන්න ආපසු එපා කියන්න වතුර ලැබෙයි නොවැම්බර් 16 පස්සේ. (නදී)

:       0       0

සුමනා මානවඩුව Sunday, 20 October 2013 05:00 PM

රජයත්,සමාගමත්,හාමුදුරුවොත් ඔක්කොම "අර මොකක්ද හංගගෙන මොකකින්ද කරනවා" කියන කතාව තමයි මෙතනට හරියන්නේ.(නදී)

:       0       0

සිරානි Monday, 21 October 2013 08:57 AM

මේ හාමුදුරුවන්ගේ කථා විලාශයෙන්ම පේනවා මොකක් හෝ ගැටලුවක් තිබෙන බව. එක්කෝ මේ හාමුදුරුවන්ව බය කරලා. එහෙම නැත්තනම් මුදල් හෝ වෙන වාසියකට කැමැත්තෙන්ම වෙනස් වෙලා. එක්කෝ කවුරු හරි ගුරුකමක් කරලද කොහොද?? (ස)

:       0       0

දෙවිඳු Sunday, 20 October 2013 08:03 PM

රටට, ජාතියට, මනුස්සකමට සළකන්න, කියලා දෙන්න ඕනෑ හාමුදුරුවරු. අපරාදේ! අහක හිටි ලමයින්ට වෙඩි තියපු අයට දඬුවම් නැත්තේ කොහොමද? වතුර දෙන එක රජයක වගකීම. මේ රට පිරිහෙන හැටි ගැන දුකයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 20 October 2013 08:20 PM

පන්සලට පහර දීල තියෙන විදිය හරියට දැක්කේ දැන්. කට්ටඩිය එලවන එක විතරක් විතරක් නෙමෙයි කට්ටිය කරලා තියෙන්නේ..මේක සීමාව ඉක්මවා ගිය දරුණු ක්‍රියාවක්..කොහොමත් රතුපස්වල දැන් ගැමියෝ නැති බව දන්නවා..රටේ නීතිය වලංගු නැති නීතිය අතට ගත් මදාවි රස්තියාදුකාර මැරයන් පිරිසක් එහෙමත් නැත්නම් ත්‍රස්තවාදීන් පිරිසක් තමයි රතුපස්වල පාලනය ගෙනියන්නේ..ආයෙත් මොනවා කලත් හමුදාවෙන් ඇවිත් ගහන් නැහැ කියල හිතාගෙන කට්ටිය දැන් රතුපස්වල වෙනම රාජ්‍යයක් ගොඩ නගා ගෙන පොලිසියටත් අභියෝග කරනවා....රජයේ මේ නිවට වීම නම් අනුමත කරන්න බැහැ..(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5408 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 764 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1333 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 118 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 205 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 273 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site