IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න

(අංජුල මහික වීරරත්න)

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා" පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ "පුළුවන් ශ්‍රී ලංකා" සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙසේය.

• ථේරවාද වෙළෙඳ ආර්ථිකය

• ක්‍රියාන්විතය - 2025න් ඔබ්බට...

• ප්‍රභාස්වර සමාජයක් කරා

• මවුබිම දිනවමු

• එකමුතු ශ්‍රී ලංකා

-

බෑ කියල බෑ කියල බෑ! - පුළුවන්...!! මම ඒක කළා...!!

-

රටේ ආර්ථිකය පුපුරා සුන්නද්දූලි වෙලා ගිය වෙලාවේ කිසිදු දේශපාලන පක්ෂයක්, කිසිදු නායකයෙක් රට යළි ගොඩනැඟීමේ අභියෝගය භාර ගත්තෙ නැහැ. මම භාර ගත්තා. ඒ කතාව ඔබ සැවොම දන්නවා.

ඔබට මතකද වසර දෙකකට කලින් පැවති ඒ අරාජික යුගය? ගෑස් ටැංකි කර තියාගෙන පෝලිම්වල දවස් ගණන් හිටියා. අම්මා උදේ. දුව හැන්දෑවෙ. තාත්තා මහ රෑ. පුතා පාන්දර. ත්‍රීවීලරයට, වාහනයට පෙට්‍රල් ටික ගහගන්න රෑ තිස්සේ වාහන ඇතුළේ නිදිමැරුවා. තෙල් පෝලිම්වල ජීවිත හානි පවා සිද්ධ වුණා. කියන්න කෙනෙක් හිටියේ නැහැ. අහන්න කෙනෙක් හිටියෙ නැහැ. පීඩනය දරා ගන්න බැරිව ජනතාව පාරට බැස්සා. උද්ඝෝෂණ කළා. ගෙවල් ගිනි තිබ්බා. මන්ත්‍රීවරු මහ පාරේ මරා දැම්මා. අගමැතිතුමා ඉල්ලා අස් වුණා. ජනාධිපතිතුමා ඉවත් වුණා. පුරාජේරු කතා කියමින් සිටි සියලුම දේශපාලන නායකයින් බෑයි කියල, බෑයි කියල අහුමුළුල හැංගුණා.

මම යූඑන්පීයේ චිට් මන්ත්‍රීකමෙන් පාර්ලිමේන්තුවට ගිහින් උන් තනි මිනිහා. අන්තිමේදී මගේ ගෙටත් ගිනි තිව්වා. රටම ගිනි ගත්තා. ආයෙත් කවමකවදාවත් සාමකාමි රටක්, විඳවන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න පුළුවන් වෙයි කියලා කවුරුවත්ම හිතුවෙ නෑ. ඒක හීනයක්ම වුණා.

ඒත් හැමදාමත් අප්‍රමාණව රටට ආදරය කළ මට, මේ ගිනි ගන්නා රට දැක දැක හැංගෙන්න හිතුණෙ නෑ. මියෙම්වා, රැකෙම්වා කියා මං ගින්නට පැන්නා; ඒ ගින්න නිව්වා.

අද මේ රටේ මිනිස්සු හිනා වෙලා ඉන්න හැටි දකින කොට, අමාරුවෙන් හරි තුන් වේල කනවා දකින කොට, ත්‍රීවීල් යානවාහන පාරේ දුවනවා දකින කොට, කාලෙකට පස්සේ අවුරුදු උත්සව, තෛපොංගල් උත්සව, රාමසාන් උත්සව සතුටින් සමරනවා දකින කොට, වෙසක් සැරසිලි නත්තල් සැරසිලි පාර දෙපැත්තෙ ඉදි වෙන කොට, දන්සල් දහස් ගණන් රට පුරා සංවිධානය වෙන කොට මට දැනෙන්නෙ නිරාමිස සතුටක්.

එදා හැංගි හැංගි උන් දේශපාලනඥයන් අද කලඑළියට ඇවිත්, ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය බිලියන 10ක මුදල් ජාතික ආර්ථිකයට සොයා දුන් මට පස්පඩංගුවේ බැණවදින කොට මං බලා ඉන්නේ උපේක්ෂාවෙන්.

ඔව්... මං බාර ගත්තේ බංකොලොත් රටක්. දැන් අපි බංකොලොත් භාවයෙන් මිදෙමින්, ණය ප්‍රතිව්‍යූහගතකරණ කටයුතු අවසන් කරගෙන ඉදිරියට යනවා.

2019 අවුරුද්දේ මං අගමැති තනතුරෙන් ඉවත්ව ඉද්දී අපේ දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් බිලියන 89ක්. හැබැයි 2022 ජනාධිපති පදවිය භාර ගනිද්දී එය අමෙරිකානු ඩොලර් බිලියන 76.9ක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 12.1කින් පහත වැටිලා..! නමුත් 2023 අවසන් වෙද්දි අපට පුළුවන් වුණා එය ඩොලර් බිලියන 84.4ක් දක්වා ඉහළ නංවන්න.

මේ යන ගමන ඉදිරියටම ගියොත් 2025 අවසන් වෙද්දි එය ඩොලර් බිලියන 89 දක්වා ඉහළ නැංවෙනවා. එතැන් සිට දවසින් දවස එය ඉහළ නැංවෙනවා. දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යන්න යන්න අපේ ආදායම් වැඩි වෙනවා. මිල දී ගැනීමේ ශක්තිය ඉහළ නංවනවා. ජීවන තත්ත්වය උසස් වෙනවා.

මම දැන් අසීරු වැල්පාලමේ ගමන සෑහෙන දුර ඇවිත් තියෙනවා.

ඔබ දැන් කිසියම් සහනයක්, නිදහසක් ලබන්නේ පසුගිය කාලය පුරා ණය නොගෙවූ නිසා කියලා සමහරු කියනවා. ඒක ඇත්තම නෙවෙයි.

මේ අසීරු ගමන් මග තුළ අපි ණය ගෙව්වා. 2022 වසරේ ඩොලර් බිලියන 2.5ක් පමණ. 2023 දී ඩොලර් බිලියන 2.6ක් පමණ.

ඉතින් අපට වැල්පාලම තරණය කරන්න යන්න තියෙන්නේ තව ටිකයි. ඒ ටිකත් පරිස්සමෙන් සහ අමාරුවෙන් ගිහින් යහපත් අනාගතයක් හදාගන්නවාද? එහෙමත් නැත් නම් බොරු පොරොන්දු හා එක එක තාලයේ අත්හදා බැලීම්වලට රැවටිලා අගාධයට වැටෙනවාද? හිතන්න...

තවත් දෙයක්.

මම මේ සියල්ල කළේ පාර්ලිමේන්තුවේ තනි ආසනයක් තියාගෙන. නමුත් මේ ගමන යන්න අවශ්‍ය අණපනත් වගේම සැලසුම් සකස් කරන්න පක්ෂ ගණනාවක සහය ලබාගන්න මට පුළුවන් වුණා. ඒ වගේම රටට ආදරය කරන, විවිධ දේශපාලන අදහස් දරන ඔබ සියලු දෙනා මට සහය ලබා දුන්නා. අන්න ඒ නිසයි මම ස්වාධීන අපේක්ෂකයෙක් විදියට මේ ඡන්දයට ඉදිරිපත් වෙන්නේ. මම ඉදිරිපත් වෙන්නේ පක්ෂයක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් නෙවෙයි; විවිධ දේශපාලන අදහස් දරන ඔබ වෙනුවෙන්; පැරණි පරම්පරාවේ සිට අලුත් පරම්පරාව දක්වා විතරක් නෙවෙයි, උපදින්න ඉන්න අනාගත පරම්පරාවත් වෙනුවෙන්; ඔබේ අනාගතය වෙනුවෙන්; අපේ මාතෘ භූමිය වෙනුවෙන්;

ඔව්. මම ඔබ වෙනුවෙන්, රට වෙනුවෙන් ඉදිරි වසර 5 තුළ ඉතිරි ටිකත් කරනවා; රට හදනවා; නිදහසින් වසර සියයක් පිරෙන 2048 වෙද්දී ණය බරින් නිදහස් අපේ මාතෘභූමිය ලෝකයේ සංවර්ධිත, දියුණු රාජ්‍යයක් බවට පත් කරනවා. ඒ වෙන කොට මම ජීවත් නොවේවි. නමුත් මම මේ කරන්නේ 2022දී වැටුණු රට අඛණ්ඩව ගොඩ ගෙන, අනාගතය සඳහා ශක්තිමත් පදනමක් දාන එකයි.

මේ,

ඔබේ හිතවත්

රනිල් වික්‍රමසිංහ.

---------------------------

වසර දෙකක් තුළ රටම වෙනස් කළ

පරිණතම අපේක්ෂකයා

---

රටක් හදන්න පුළුවන්, රටක් වෙනස් කරන්න පුළුවන් කතාවෙන් නෙවෙයි; ක්‍රියාවෙන්. පහුගිය අවුරුදු දෙකේ ඔහු ඒක පෙන්නුවා.

තෙල් පෝලිම්වල හිර වී පීඩා විඳිමින් සිටි ජනතාවක් ඉතා කෙටි කාලයකදී දන්සල් පෝලිම්වල සිනා වෙමින් සිටින තත්ත්වයට පත් කළා.

දෑවුරුද්දකට කලින් තත්ත්වය සහ අද තත්ත්වය සසඳා බලන්න.

අසීරු වැල්පාලමෙන් ලක් මාතාව එගොඩ කිරීමේ දැවැන්ත අභියෝගය ඔහු බාර ගත්තා. ඒ වගකීම අකුරටම ඉටු කළා.

මේ සියල්ල ඔහු කළේ සැලසුම්සහගතව; දුර දැක්මක් සහිතව.

ගෙවුණු දෑවුරුද්ද තුළ ඔහු මෙතෙක් කිසිදු ජනාධිපතිවරයකු සිදු නොකළ අන්දමට නව අණපනත් ගෙන ආවා. අලුත් නීති රීති සම්මත කළා.

රට නිවැරදි මාවතේ ඉදිරියට ගෙන යෑම උදෙසා ඔහු මෙතෙක් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් අණ පනත් සංඛ්‍යාව සියයකට ආසන්නයි. දූෂණ විරෝධි පනත, මහ බැංකු පනත, මැතිවරණ වියදම් රෙගුලාසි, රාජ්‍ය ණය කළමනාකරණ පනත, ජාතික සමගි සහ සංහිඳියා පනත, මාර්ගගත ආරක්ෂණ පනත, රාජ්‍ය ණය පනත, විදුලිබල පනත, කාන්තා සවිබලගැන්වීමේ පනත, රාජ්‍ය මුදල් කළමනාකරණ පනත, ආර්ථික පරිවර්න පනත ආදි අණ පනත් හා රෙගුලාසි ඒ අතරින් විශේෂයි.

මෙවර ජනාධිපතිවරණයට එක්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාම එක් එක් ආණ්ඩුවල මැති ඇමැතිකම් දරපු අය; විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ආදි තනතුරු දරපු අය.

ඒ අය අතරින් ඇමැතිවරයෙක් හැටියට රටට වැඩක් ඇති වැඩ ඔහු කළා. ඔහු යොවුන් ඇමැති කාලයේ තමයි යොවුන් පරපුරේ දීප්තිමත්ම යුගය. ඔහු අධ්‍යාපන ඇමැති කාලෙ තමයි මෙරට අධ්‍යාපන ක්ෂේත්‍ර‍යේ කීර්තිමත්ම යුගය. ඔහු කර්මාන්ත ඇමැති කාලෙ තමයි මේ රට පුරා නව කර්මාන්ත බිහි වුණු යුගය. ඔහු අගමැති හා ආර්ථික ප්‍රතිපත්ති ඇමැති කාලෙ තමයි, රටේ ආර්ථිකය වඩාත්ම දියුණු වූ යුගය. වෙන මොන ජනාධිපති අපේක්ෂකයටද ඒ වගේ විජයග්‍රාහි අතීතයක් තියෙන්නෙ?

ඔහු කිහිප වරක් අගමැති පදවියේ හිටියා තමයි. ඒ හැම වෙලාවෙම ඔහුට ඉහළින් ජනාධිපති කෙනෙක් හිටියා. මීට දෑවුරුද්දකට කලින් ඔහු රටේ ජනාධිපති වුණේ ප්‍රථම වතාවට. නිදහසේ රටට වැඩක් කරන්න ලැබුණේ ප්‍රථම වතාවට. අන්ත දුක්ඛිත තත්ත්වයකට වැටිලා තිබුණු රට ඔහු දෑවුරුද්දෙන් ගොඩගත්තා, කාටවත් හිතා ගන්න බැරි විදිහට.

ඔහු විතරමයි, කයිවාරු නැතිව වැඩක් කරලා පෙන්නලා, ඔප්පු කරලා තියෙන්නෙ.

ඔහු ආ ඒ ගමන්මග ගැන බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ බණිනවා; අප්‍රසිද්ධියේ හොඳ කියනවා.

ජනාධිපතිවරයකු තෝරාගැනීම ගැන තවමත් ඔබ දෙගිඩියාවෙන් ඉන්නවා නම්, පහත දැක්වෙන අදහස් විවේක බුද්ධියෙන් කියවා බලන්න; කියවා බලා තීන්දුවක් ගන්න. රනිල්ගේ විශිෂ්ට කාර්යසාධනය ගැන මේ දේවල් කියන්නෙ අපි නෙවෙයි; ජාත්‍යන්තර දේශපාලන, ආර්ථික හා සමාජීය විෂයයන් පිළිබඳ පෘථුල අත්දැකීම් ඇති පිටරටවල්වල මහා විද්වතුන්:

“රටේ සමස්ත ආර්ථික වාතාවරණය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා රජය දක්වන කැප වීම පිළිබඳව අප සෑහීමකට පත් වෙනවා.”

- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියෝවා මහත්මිය, 2023 සැප්තැම්බර්.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෙන යන ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ සැලසුම සඳහා මගේ පූර්ණ සහාය හිමි වෙනවා. රටෙහි පවතින උග්‍ර ආර්ථික අර්බුදය සමනය කිරීම අරමුණු කරගත් එතුමාගේ මෙම වැඩපිළිවෙළට ප්‍රශංසා කරමින් එතුමාගේ කැපවීම මම අගය කරනවා.”

- දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්, 2023 සැප්තැම්බර් 19.

“ශ්‍රී ලංකාවේ වඩාත්ම අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් තුළ ජනාධිපතිතුමා අත් කරගෙන ඇති දේ වෙනුවෙන් මගේ ප්‍රණාමය පුද කිරීමට අවශ්‍යයි. වසර දෙකකට පෙර ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු රට තුළ ස්ථාවරත්වයක් ඇති කිරීමට එතුමා සමත් වී තිබෙනවා.”

- ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා, 2024 ජූලි 18.

“ආර්ථික සහ ක්‍රියාකාරි සැලැස්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති ස්ථාවර ප්‍රගතිය පිළිබඳව මම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කරනවා.”

- ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා, 2024 මැයි 5.

“ණය අර්බුදය විසඳීමට සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ඔබතුමා දක්වන නායකත්වය මම අගය කරනවා.”

- ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකො කමිකවා මහත්මිය, 2024 මැයි 4.

“මා සේවය කරන කලාපය තුළ ශ්‍රී ලංකාවේ කතාව තරම් වේගවත් යළි පිබිදීම පිළිබඳ කතාවක් තවත් නැහැ.”

- දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා, 2024 පෙබරවාරි 19.

දෑවුරුද්දක් තුළ මේ සා දැවැන්ත ප්‍රාතිහාර්යයක් පෑ විශ්වකර්ම මිනිසා රනිල්.

ජනාධිපති අපේක්ෂකයන් අතර එවැන්නෝ සිටිත්ද?

නැත්තටම නැත.

එසේ නම් ඔබගේ තේරීම විය යුත්තේ ඔහු නොවේද?

ඔව්.

රනිල්!

-------------------------

ථේරවාද වෙළෙඳ ආර්ථිකය

ථේරවාද වෙළෙඳ ආර්ථිකය යන්න ඔබට හුරුපුරුදු යෙදුමක් නොවිය හැකිය. අප අසා දැන උගෙන ඇත්තේ ලෝකයේ විවිධ රටවල් අතීතයේ සිට අනුගමනය කළ විවිධ ආර්ථික ක්‍රමයන්ය. ඒ සමහරක් ආර්ථික ක්‍රමයන් අසාර්ථකත්වය නිසා භාවිතයෙන් ඉවත් වූ ඒවාය.

අපි ථේරවාද වෙළෙඳ ආර්ථික ක්‍රමය යටතේ විවිධ ක්ෂේත්‍ර ඉහළට නංවමින් ආදායම් උපයන්නෙමු. ඒ පිළිබඳ තොරතුරු මෙහි දක්වන්නෙමු.

අතීත ලංකාවේ රජරට රාජධානිය ආඪ්‍යව පැවති සමයේ මෙරට ක්‍රියාත්මක වුණේ ථේරවාද සංකල්ප පදනම් කරගත් ආර්ථික ක්‍රමයක්. ඒ ආර්ථික ක්‍රමය යටතේ අප චීනයේ සිට පර්සියාව දක්වා රාජ්‍යයන් සමඟ වෙළෙඳ ගනුදෙනු කළා; ඉන්දීය සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානය ලෙස නම් දැරුවා. මුහුදු සේද මාවතේ කේන්ද්‍රස්ථානයක් ලෙස කීර්තියට පත් වුණා. විශේෂයෙන්ම මුළු පෙරදිගටම ධාන්‍ය බෙදාහැරීමේ යන්ත්‍රණය, පහසුකම් හා හැකියාව තිබුණේ අපටයි. ඒ නිසාම ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලී ලැබුවා.

13 වන ශතවර්ෂයේදී රජරට රාජධානිය කඩාවැටෙද්දී වර්තමාන තායිලන්තයේ අයෝධ්‍යා රාජධානිය ඒ වෙළෙඳ කේන්ද්‍රස්ථානය ග්‍රහණය කරගත්තා. ඒ රාජධානි දෙක ශතවර්ෂ 18ක් තිස්සේ කලාපීය වෙළෙඳපොළේ ආධිපත්‍යය දරා තියෙනවා.

මෑත ඉතිහාසයේ යළිත් ශ්‍රී ලංකාව සහ තායිලන්තය ආර්ථික ශක්තිය ඇතිකර ගැනීමට යළි වෙරදැරුවා. 1980 වසරේ අගභාගයේදී නවීන තායිලන්තය අපනයනය සහ සංචාරක කර්මාන්තය පදනම් කරගත් වෙළෙඳපොළ ආර්ථිකයකට පරිවර්තනය වුණා. ශ්‍රී ලංකාව දේශීය නිෂ්පාදනයට සීමා වී ආනයන ආදේශක ආර්ථිකයකට නැඹුරු වුණා.

-

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය

ශ්‍රී ලංකාව තායිලන්තය

 

1960 ඇ. ඩො. 144 ඇ. ඩො. 104

2023 ඇ. ඩො. 3828 ඇ. ඩො. 7172

 

පසුගිය කාලය තිස්සේ අපේ ආර්ථික ප්‍රතිපත්ති සඳහා මූලික වශයෙන් පදනම් කරගෙන ඇත්තේ දේශීය නිෂ්පාදනයයි. එදිනෙදා අවශ්‍යතා සඳහා දේශීය නිෂ්පාදනවලින් සෑහීමකට පත් වෙන්න බැරි නිසා, හිඟ පාඩුව ආනයනය කරනවා. අය වැය පරතරය පියවාගන්නේ දේශීය හා විදේශ ණයවලින්.

බුදුන් වහන්සේ සාමඤ්ඤඵල සූත්‍ර‍යෙන් පෙන්වා දී ඇත්තේ ණය ලබාගත යුත්තේ පරිභෝජනය සඳහා නොව, ආයෝජනය සඳහා බවයි. අප ඒ ආර්ථික සංකල්පය නොතකා හැරියා. 2022 වන විට ඩොලර් බිලියන 84ක පමණ ණය කන්දරාවක් අපේ පිට පැටවී තිබුණා. ඉන් වැඩි හරිය ගත්තේ පරිභෝජනයට. මේ නිසා අපි වසර දෙකකට කලින් ලෝකයා ඉදිරියේම නින්දාවට පත් වුණා; රට සම්පූර්ණයෙන්ම කඩාවැටුණා. 2022 වසර වෙද්දී ආර්ථිකය දරුණු හැකිළීමකට භාජනය වුණා; දළ දේශීය නිෂ්පාදිතය කඩාවැටුණා; ආර්ථිකයේ විදේශ අංශයත් බිඳ වැටුණා. මේ නිසා රුපියලේ අගය පහත වැටුණා. 2019 වසරේ රුපියල් 183.61ක්ව තිබූ ඩොලරයේ වටිනාකම 2022 වන විට රුපියල් 363.11ක් බවට පත් වුණා. 2019දී 3.53%ක්ව පැවැති උද්ධමනය 2022 වන විට 70% දක්වා ඉහළ නැග්ගා.

රට දියුණු වීමේ වේගය අඩු වෙද්දී රට පල්ලම් බැසීමේ වේගය වැඩි වුණා. ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් අප කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග දමා, රට දියුණු වීමේ වේගය වැඩි කිරීමයි.

-

අපි පටන් ගත්තා...

-

යළි නැඟී සිටීමේ අසීරු ව්‍යායාමය ආරම්භ කරමින් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පටන් ගත්තා. ඒ වෙද්දී රට තිබුණේ ඉතා දුර්වල තත්ත්වයක. සාකච්ඡා පවත්වද්දී එය අපට ලොකු අවාසියක් වුණා. නමුත් සියලු දුෂ්කරතාවන් විඳදරාගනිමින් රට යළිත් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට අප වෙහෙසුණා. යළිත් වරක් පුරවැසියන් පෝලිම්වල රස්තියාදු වෙමින්, දුක් විඳින යුගයක් උදා නොකිරීම අපේ අපේක්ෂාව වුණා. ඒ සඳහා අප අනුගමනය කළ ථේරවාද වෙළෙඳ ආර්ථික පිළිවෙත සාර්ථක බව දැන් ලෝකයම පිළිගෙන තියෙනවා.

-

සැහැල්ලු වෙන ජීවන බර

-

අප ජීවන බර සැහැල්ලු කරන්නේ ආර්ථිකය ශක්තිමත් කරලීමේ වැඩපිළිවෙළ අනුව; එහෙම නැතිව ජනප්‍රියත්වය බලාගෙන විදේශ ණය අරගෙන ඔබට සහන දීමෙන් නෙවෙයි. එහෙම සහන තාවකාලිකයි.

අපේ පිළිවෙත නිසා 2022දී 70%ක්ව තිබූ උද්ධමනය 2024 ජූලි මාසය වෙද්දී 2.81% දක්වා පහත වැටී තිබෙනවා. රුපියල් හාරසියයකට ඔන්න මෙන්න කියා තිබුණු ඩොලරයේ අගය රුපියල් 300ට වඩා අඩු මට්ටමකට දැන් පහත වැටී තිබෙනවා. 2022 වසරේ පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 470යි; දැන් 344යි. එදා ඔටෝ ඩීසල් මිල රුපියල් 460යි; අද 317යි. විදුලි බිල අඩු වෙමින් පවතිනවා. ජල ගාස්තු පහළ වැටෙමින් පවතිනවා.

මේ නිසා ජීවන වියදම දිනෙන් දින අඩු වෙනවා. අපේ රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වී තියෙනවා.

ආර්ථිකය ශක්තිමත් වෙන්න වෙන්න ඔබේ ජීවන බර තවත් සැහැල්ලු කරන්න පියවර ගන්නවා. තව කෙටි කලකින් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ සඳහා සහන ලබාදීමටත් අපට ශක්තිය ලැබෙනවා.

-

බදු බරට සහනයක්

-

2015 සිට ක්‍රියාත්මක කෙරෙමින් තිබූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ 2019දී එවක රජය විසින් අත්හිටුවා දැම්මා. හිතුමතේ බදු කප්පාදු කළා. රජයේ ආදායම ලෝකයේ අඩුම මට්ටමට ඇදවැටුණා. අපේ රට ආර්ථික ගින්දරකට ඇදවැටීමට එයත් ප්‍රධාන හේතුවක්.

අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවන්ට එළැඹුණේ මේ ගින්දරෙන් රටක් ජනතාවත් මුදාගැනීමටයි. අප මෙවර ඔවුන් ඉදිරියට ගියේ 16 වතාවක් ඔවුන්ගේ එකඟතා කඩ කළ බංකොළොත් රටක් විදියටයි. ඒ වෙලාවේ හෙට්ටු කිරීමේ බලයක් හෝ ශක්තියක් අපට තිබුණේ නෑ. රට ඉදිරියට ගෙන යෑම සඳහා ඔවුන් යෝජනා කළ රාජ්‍ය ආදායම් පිළිබඳ ප්‍රතිපත්තිවලට එකඟ වීම ඒ අවස්ථාවේ රට බේරාගැනීම සඳහා කළ හැකි හොඳම පිළිවෙත වුණා.

ඒ නිසයි බදු පනවන්නට සිද්ධ වුණේ. එය අප කැමැත්තෙන් කළ දෙයක් නෙවෙයි. නමුත් ඒ අවස්ථාවේ වෙනත් විකල්පයක් තිබුණේම නෑ. මේ බදු නිසා විශේෂයෙන් ම වෛද්‍ය, ඉංජිනේරු, විශ්වවිද්‍යාල ආචාර්ය ආදි වෘත්තීය නිපුණයන්ට වැඩි පීඩාවක් විඳින්නට සිදු වුණා.

නමුත් අපේ ආර්ථිකය විනයානුකූලව හසුරුවමින් ශක්තිමත් තලයකට ගෙන ඒමට දැන් අප සමත්ව සිටින නිසා බදු කොන්දේසි යළි සලකා බැලීමට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟත්වය ලබාගත්තා.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වන බදු ස්තර අතර පරතරය පුළුල් කරලීමටත්, බදු ප්‍රතිශත සංශෝධනය කිරීමටත් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. තව නොබෝ දිනෙකින් ඒ යෝජනා ක්‍රියාත්මක කරලීමට අපට අවස්ථාව ලැබෙනවා.

මේ සහනයට අමතරව වෘත්තීය නිපුණයන්ට බද්දෙන් නිදහස් සේවා දිරි දීමනාවක් ගෙවීමටත් අප පියවර ගන්නවා; ඒ වගේම අතුරු බදු හේතුවෙන් බොහෝ දෙනෙක් පීඩාවට පත් වී සිටින නිසා, අප ක්‍රමානුකූලව අතුරු බදු අහෝසි කිරීමට පියවර ගන්නවා. ඉදිරි වසර දෙක තුළ මේ කාර්යයන් නිම කර බදු ගෙවන ජනතාවට සහන සලසනවා.

-

තායිලන්තයත් වියට්නාමයත් දෙස බලමු

-

මහායාන බෞද්ධ රටක් වන වියට්නාමය මෙහිදී අපට යහපත් උදාහරණයක් සපයනවා. 1990 වෙද්දී වියට්නාමය අනුගමනය කළේත්, අපේ ආර්ථික ප්‍රතිපත්තිමයි. නමුත් 1995දී වියට්නාමය තායිලන්ත ක්‍රමය ආදර්ශයට ගත්තා. එහි ප්‍රතිඵල දැන් පෙනෙන්න තියෙනවා.

-

දළ දේශීය නිෂ්පාදිතය

වර්ෂය ශ්‍රී ලංකාව වියට්නාමය

 

1990 ඇ. ඩො. බි. 8 ඇ. ඩො. බි. 6.5

2023 ඇ. ඩො. බි. 8.44 ඇ. ඩො. බි. 429

-

තායිලන්තය සහ වියට්නාමය වැල්පාලමේ ගමන සාර්ථක කරගත්තා. අපේ ගමන සාර්ථක කරගැනීම සඳහා දැන් අප මුල පුරා තියෙනවා. ඒ ගමන සාර්ථක වෙන්නේ පහත දැක්වෙන ඉලක්ක සපුරා ගත්තොත් පමණයි.

-

දර්ශකය වර්තමාන තත්ත්වය ඉලක්කය කාල රාමුව

 

ප්‍රාථමික අය වැය

 

අතිරික්තය ද.දේ.නි. 0.6% (2023) ද.දේ.නි. 2.3% 2025-2032

 

රාජ්‍ය ණය ද.දේ.නි. 111% (2023) ද.දේ.නි. 95% 2032

 

දළ මූල්‍ය අවශ්‍යතා ද.දේ.නි. 27.8% (2023) ද.දේ.නි. 13% 2027-2032

 

දළ වශයෙන්

 

විදේශ ණය සේවා ද.දේ.නි. 9.2% (2022) ද.දේ.නි.4.5% 2027-2032

 

වාර්ෂික සීමාව

 

දළ නිල විදේශීය

සංචිත අ.ඩො.බි. 5.6 අ.ඩො.බි. 15.1 2028

(2024 ජූලි)

උද්ධමනය 2.4% (2024 ජූලි) 5% අඛණ්ඩව

භාණ්ඩාගාර

 

ඇපකර ද.දේ.නි. 7% (2023) ද.දේ.නි. 7.5% අඛණ්ඩව

 

වඩා අඩු

-

ඒ වගේම මින් ඉදිරියට:

* රාජ්‍ය ගෙවීම්වල හිඟ මුදල් මාස තුනකට වඩා වැඩි කාලයක් රඳවාගෙන සිටීමට අවසර නෑ.

* අය වැය හිඟය පියවීම සඳහා මහ බැංකුව මඟින් මුදල් අච්චු ගැසීම සපුරා තහනම්.

* විදුලි සහ ඉන්ධන මිල, ඒ සඳහා වැය වන මුදල පදනම් කරගෙන තීරණය කළ යුතුයි. විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්නේ නම්, වහාම හා ඍජුවම මහා භාණ්ඩාගාරය විසින් ඒ සඳහා මුදල් ලබාදිය යුතුයි.

* සමාජ ආරක්ෂණය සඳහා වැය කරන මුදල නියමිත ප්‍රමාණයට වඩා අඩු නොකළ යුතුයි.

මේ ඉලක්ක හා සීමාවන් ස්ථාවරයි. ඒවා ගැන යළි සාකච්ඡා කිරීමට හෝ වෙනස් කර ගැනීමට හෝ ඉඩක් නෑ. අපේ නිල ණය හිමියන් සහ චීනය අපට සහන ලබා දුන්නේ ඉහත දැක්වෙන ඉලක්ක හා සීමාවන්ට යටත්වයි. ඒ ඉලක්ක හා සීමා සපුරාගන්න බැරි වුණොත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය විතරක් නෙවෙයි, ණය සහන සියල්ලත් අහිමි වෙනවා. එහෙම වුණොත් අපට සිදු වෙන්නේ වැල්පාලමෙන් යළිත් අගාධයට ඇද වැටෙන්නයි.

ඒ නිසා අප කළ යුත්තේ මේ ඉලක්ක හා සීමාවන් අනුව අපේ ආර්ථිකය ස්ථාවර කර ගනිමින් ඉහළ ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීමයි.

මැතිවරණ සමයේ බොහෝ දේශපාලන පක්ෂ මේ ඇත්ත වසං කර විවිධ පොරොන්දු ඔබට දේවි. නමුත් ඒ කිසිවක් ප්‍රායෝගික නැහැ. ඒවා රත්තරං බිත්තර දාන කිකිළිගේ බඩ කැපුවා වගේ වැඩ. ඒ නිසයි බොහෝ අයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ප්‍රසිද්ධ සාකච්ඡාවකට එන්න බැරි.

-

සැපතින් පිරි රටක් කරා...

-

අපේ සැලැස්ම අපනයනය කේන්ද්‍ර කරගත් නිෂ්පාදන හා සේවා මඟින් ආර්ථිකය ශක්තිමත් කිරීම. ආර්ථිකය ශක්තිමත් කර ගත්තේ නැත් නම්, රටේ අන් කිසිදු අංශයක් ඉහළ නංවාලන්න බෑ. බඩගිනි රටකට ආධ්‍යාත්මික දියුණුවක් ලබාගැනීමට කිසිදු අවකාශයක් නෑ. බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ කුසගින්නෙන් පෙළෙන අයකුට බණ දේශනා කිරීමෙන් පලක් නොවන බවයි.

මේ සැලැස්ම ඔස්සේ ඉදිරියට ගි‍යේ නැත් නම් ඉතාම කෙටි කාලයකින් අප දැවැන්ත ආර්ථික අර්බුදයකට යළිත් පත් වෙනවා. එය වළක්වාලිය හැක්කේ මේ මගම ඉදිරියට යෑමෙන් පමණයි.

හැමදාමත් ලෝකයට ණය වෙන්න අපට බැහැ. ණය ආර්ථිකයකින් රටක් ඉහළට ඔසවා තබන්නට බෑ. මේ මාවතේ ඉදිරියට ගියොත් 2048 වෙද්දී ණය නැති, සංවර්ධිත ආර්ථිකයක් අපට ගොඩනඟාගත හැකි වෙනවා.

-

අගහිඟකම් නැති පරපුරක්

-

කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා අපේ රටේ ජනතාවගෙන් 25%ක් විවිධ අගහිඟකම්වලට මුහුණ දෙනවා. හරිහමන් අධ්‍යාපනයක් ලබාගන්න පහසුකම් නෑ. පිරිසුදු වතුර නෑ. විදුලිබලය නෑ. රස්සාවල් නෑ. නිවාස දේපළ නෑ. ආවාහ විවාහ වෙලා දරු පවුල් ගොඩනඟන්න ඉඩක් කඩක් නැහැ.

අප මේ තත්ත්වය වෙනස් කිරීමට ප්‍රමුඛත්වය දෙනවා. ඉදිරි අවුරුදු 5ක කාලය තුළ මෙවැනි අනේකවිධ උවදුරුවලින් පීඩා විඳින අගහිඟ ඇති ජන අනුපාතය 10% දක්වා අඩු කරන්න අප ක්‍රියා කරනවා. ඊට පදනම සපයමින් සමාජ ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අප සකස් කර තියෙනවා.

දුගී දුප්පත්කමින් ජනතාව මුදාගැනීම සඳහා සමෘද්ධි ව්‍යාපාරයටත් වඩා පුළුල් හා දැවැන්ත වැඩපිළිවෙළක් වූ අස්වැසුම අප ආරම්භ කළා. මේ යටතේ ජීවනාධාර අවශ්‍ය පවුල් ලක්ෂ 24කට ප්‍රතිලාභ ලබා දෙනවා. දිළිඳු පවුල්වලට උපරිම 15,000ක් දක්වා දීමනා ලැබෙන අතර, ඒ පවුල්වල වකුගඩු රෝගීන්ට, ආබාධ සහිත පුද්ගලයන්ට සහ වැඩිහිටියන්ට වෙනම දීමනා ලබා දෙනවා. මෙය සමෘද්ධියට වඩා බෙහෙවින් වැඩි මුදලක්. මේ පිළිවෙත තවත් විධිමත් කරලීම සඳහා අස්වැසුම හා සමෘද්ධි ව්‍යාපාර ඒකාබද්ධ කරනවා.

අන්ත දුගීභාවයෙන් හා සමාජ පීඩාවන්ගෙන් දුක් විඳින ප්‍රජා කණ්ඩායම් ගණනාවක් අප හඳුනාගෙන තියෙනවා. ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන්වල නිත්‍ය කොටස්කරුවන් ලෙස මේ දිළිඳු පවුල් යොදවාගන්නවා. ප්‍රාදේශීය යටිතල පහසුකම් නංවන රාජ්‍ය කාර්යයන්වලට සේවක පිරිස් යොදවාගැනීමේදී මෙවැනි සමාජ කණ්ඩායම් වෙත ප්‍රමුඛතාව ලබා දෙනවා. එමඟින් ඔවුන්ගේ ආර්ථික ශක්තිය නංවාලනවා.

එවැනි ප්‍රජා කණ්ඩායම් සිටින ප්‍රදේශ හඳුනාගෙන දිළිඳුකම පිටුදැකීමේ සමස්ත වැඩසටහන්වලට අනුකූල වන පරිදි ඒ ප්‍රදේශවලට විශේෂ අවධානය යොමු කරනවා.

-

ලස්සන 2048කට...

-

අප නිර්මාණය කරන ථේරවාදි වෙළෙඳ ආර්ථිකය මඟින් රටේ සියලු පුරවැසියන්ට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් සහතික කරනවා. මේ ගමන්මග ඔස්සේ ඉහළ තරගකාරි, අපනයනය කේන්ද්‍ර කරගත් ඩිජිටල් හරිත ආර්ථික පදනමක් නිර්මාණය කරගැනීමට හැකි වන අතර 2048 වෙද්දී අපේ සියලු ආර්ථික ඉලක්ක සපුරාගත හැකි වෙනවා. මේ සංවර්ධිත අවධිය කරා යෑමට අවශ්‍ය පරිවර්තනය සඳහා පදනම් වෙන ප්‍රධාන අණපනත් අප මේ වන විටත් සම්මත කර, ක්‍රියාවට නංවා අවසන්.

මහබැංකු පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත සහ ආර්ථික පරිවර්තන පනත ඒ අතර විශේෂයි.

මේ මඟින්:

I. නව රැකියා නිර්මාණය කෙරෙන අතර, එමඟින් රැකියා වෙළෙඳපොළ පුළුල් වෙනවා; ආදායම් ඉපැයීමේ නව අවස්ථා බිහි වෙනවා.

II. ආදායම් උපයාගැනීම ඉහළ නගිනවා.

ලෝකයේ බොහෝ රටවල් දියුණුව ලබාගෙන ඇත්තේ ආර්ථිකයේ වැඩි බර පුද්ගලික අංශය වෙත තැබීමෙන්. අප නිර්මාණය කරන ථේරවාද වෙළෙඳ ආර්ථිකය ඊට වඩා පුළුල් පරාසයක් මත ස්ථාපිත කිරීමට අප සැලසුම් කරනවා.

ශක්තිමත් පුද්ගලික අංශයක් සමඟ කරට කර තරග කළ හැකි දෙවැදෑරුම් අංශ අප ආර්ථිකයට එක් කරනවා.

i. රාජ්‍ය අංශය

සමස්ත ආර්ථික ක්‍රමය පූර්ණ වශයෙන් නියාමනය කිරීමේ බලය රජය සතු වෙනවා. රජය සතු බැංකු, මූල්‍ය ආයතන සහ ව්‍යවසායන් මඟින් මෙම මෙහෙයවීම තරගකාරී පදනමකින් සිදු කරනවා.

ii. ජනතා අංශය

ජනතා අංශය යන නව සංකල්පය සඳහා පදනම් කරගන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 (2) (ඊ) වගන්තියයි.

“නිෂ්පාදනයේ, බෙදාහැරීමේ සහ හුවමාරු කිරීමේ මාර්ග රජයෙහි, රාජ්‍ය ආයතනයන්හි හෝ වරප්‍රසාදලත් අතළොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවී සහ මධ්‍යගත නොවී ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධර්මිෂ්ඨ සමාජ ක්‍රමයක් පිහිටුවීම.”

ජනතා අංශය ආර්ථිකයේ ශක්තිමත් පංගුකාරයකු කරලීම උදෙසා අප:

• හැම පුරවැසියෙකුටම ඉඩමක හෝ නිවෙසක අයිතිය හිමිකරලීමේ අවස්ථා උදා කරනවා.

• ජාතික ධනසම්පත (National Wealth Fund) ස්ථාපිත කරනවා.

• සමුපකාර ව්‍යාපාරය පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කරනවා.

-

දේපළ හිමිකම

-

පුරවැසියන්ට දේපළ අයිතිය ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රමවත් හා කඩිනම් කරලීම උදෙසා වෙනමම අධිකාරියක් ස්ථාපිත කරනවා. මෙමඟින් උරුමය වැඩසටහන ඔස්සේ මිලියන 2කට ඉඩම් අයිතිය ලබා දීම සහ කොළඹ නගරයේ රජය සතු අඩු ආදායම් නිවාස අයිතිය නිවැසියන්ටම පැවරීම වසර 4ක් තුළ අවසන් කරනවා.

මධ්‍යම පාන්තිකයන්ට නිවාස ඉදිකරලීම උදෙසා සහනදායි ණය ලබා දෙනවා. අඩු ආදායම්ලාභීන්ට මහල් නිවාස හිමි කරගැනීමේ අපහසුකම් සලසනවා.

වතු කම්කරු ජනතාව වෙනුවෙන් නව ගම්මාන ස්ථාපනය කෙරෙන අතර ලයින් කාමරවල වෙසෙන අයට ඉඩම් කැබැල්ලක අයිතිය ලබා දෙනවා.

ඉදිරි වසර දෙක තුළ දේශීය හා විදේශ ආයෝජන යටතේ නව නිවාස යෝජනා ක්‍රම ගණනාවක් රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් ඉදි කෙරෙන අතර දිවයිනේ සියලුම ප්‍රධාන නගර ආවරණය වන පරිදි මහල් ගණනාවකින් යුතු පොකුරු නිවාස ඉදිකිරීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයන් දිරිමත් කරනවා. මේ නිසා වර්තමානයේ ඇදවැටී ඇති ඉදිකිරීම් කර්මාන්තය වසර දෙකක පමණ කාලයක් තුළ යළිත් ශක්තිමත් කරලීමට මග විවර වෙනවා.

-

මූල්‍ය හිමිකම

-

සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් මණ්ඩල සාමාජිකත්වයට දැනට වඩා ශක්තිමත් වෘත්තීය සමිති නියෝජනයක් ලබා දෙනවා. වාණිජ මණ්ඩල නියෝජිතයන්ද ඊට එක් කරනවා. එමඟින් වඩාත් යහපත් මූල්‍ය පරිපාලනයක් සහතික කරනවා.

මේ අරමුදල් දැන් යෙදවෙන්නේ රජයේ අවශ්‍යතා සඳහා. රජයට මුදල් හිඟ වන සෑම අවස්ථාවකම භාණ්ඩාගාර සුරැකුම්පත් සඳහා මෙම අරමුදල් ලබා ගන්නවා. අප ඒ තත්ත්වය වෙනස් කරනවා. ආර්ථිකය ශක්තිමත් වෙද්දී, රජයේ කටයුතු සඳහා අරමුදල් උපයෝගී කරගැනීම අවම මට්ටමකට ගෙන එනවා.

එවිට අරමුදල් වැඩි ආදායම් උපයාගත හැකි දේශීය හා ජාත්‍යන්තර සුරක්ෂිත මූල්‍ය ආයතනවල ආයෝජනය කිරීමට අවකාශය සැලසෙනවා. 2030 වෙද්දී සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් අපේ රටේ විශාලතම ආයෝජන අරමුදල බවට පත් කරනවා. මෙමඟින් අරමුදලේ සාමාජිකයන්ට වැඩි ප්‍රතිලාභ හිමි කර ගැනීමේ අවස්ථාව හිමි වෙනවා.

-

• ජාතික ධන සම්පත (National Wealth Fund)

අය වැය අතිරික්තය සහ රාජ්‍ය ආයතනයන්ගේ ලාභ එක්කොට ජාතික ධන සම්පත් පිහිටුවනවා. දේශීය සහ ජාත්‍යන්තර කොටස් වෙළෙඳපොළවල මේ මුදල් ආයෝජනය කරනවා.

-

• සමුපකාර

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව හා තරගකාරි අභියෝගයන්ට මුහුණ දිය හැකි වන පරිදි සමුපකාර ව්‍යාපාරය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරනවා. සමුපකාර කළමනාකරණයට දේශපාලන සහ රාජ්‍ය මැදිහත්වීම් සිදු කළ නොහැකි ආකාරයට නව නීති හඳුන්වා දෙනවා. ස්කැන්ඩිනේවියානු රටවල ක්‍රියාත්මක සමුපකාර මොඩලයට අනුකූලව නව සමුපකාර නීතිරීති මාලාවක් සම්මතකොට සමුපකාර ව්‍යාපාරය වර්තමාන තරගකාරිත්වයට මුහුණ දිය හැකි ශක්තිමත් තලයකට ඔසවා තබනවා.

----------------------------

ක්‍රියාන්විතය - 2025 න් ඔබ්බට...

-

මේ ක්‍රියාන්විතය 100%ක්ම ප්‍රායෝගිකය. රටේ ඉදිරි සංවර්ධන වේගය සහ රාජ්‍ය ආදායම සම්බන්ධ විද්‍යාත්මක නිශ්චිත අදහසක් පාදක කරගෙන, රජයට මධ්‍ය කාලීන වශයෙන් වැය කළ හැකි - සංචලනය කළ හැකි - සම්පත් ප්‍රමාණය කොපමණද යන්න මත පිහිටා සකස් කළ එකකි. සියලු කාර්යයන් දින වකවානු සහිතව පෙන්වා දී ඇත්තේ එහෙයිනි.

-

දේශගුණයේ ගුණ අගුණ

-

නිවර්තන කලාපයේ රටක් ලෙස විවිධ දේශගුණික විපර්යාසයන් ගණනාවක් අනාගතයේ අප ඉදිරියේ තියෙනවා. උණුසුම ඉහළ යෑම, වර්ෂාපතනයේ වෙනස්වීම්, මුහුදු මට්ටම ඉහළ යෑම ඒ අතරින් කීපයක්. නිරන්තරයෙන් ස්වාභාවික විපත්වලට ලක් වන දිස්ත්‍රික්කවල විපත් ප්‍රත්‍යස්ථිති නගර ඉදි කරනවා.

මේ ගැටලු කල් තියා දැක අප පසුගිය අවුරුදු දෙක තුළ ඒ වෙනුවෙන් පියවර ගත්තා. ඒ ඔස්සේ හරිත රාජ්‍යයක් සඳහා අප වෙහෙසුණේ ගෝලීය දේශගුණ විපර්යාසයන්වල අගුණ අපේ රටට ගුණදායක කර ගැනීමටයි.

දේශගුණ විපර්යාස පිළිබඳ ලෝක වැඩපිළිවෙළෙහි ප්‍රමුඛත්වයක් මේ වන විට අප දිනාගෙන තියෙනවා. දේශගුණ සාධාරණීකරණ සංසදය, දේශගුණ සමෘද්ධි සැලැස්ම, දේශගුණික විපර්යාස ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ආදී වැඩසටහන් ගණනාවකට අප මුල පුරා තියෙනවා.

ගෝලීය උතුරේ සහ දකුණේ රටවල් එකතුව ලෝක දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා ප්‍රංශයේ මූලිකත්වයෙන් ඇති කරගත් ගෝලීය ගිවිසුමෙහි අප ප්‍රධාන කොටස්කරුවෙක්. ඒ වගේම දකුණු ගෝලීය රටවල් පදනම් කරගෙන ඉන්දුනීසියාව විසින් ආරම්භ කළ ගෝලීය මිශ්‍ර මූල්‍ය ප්‍රයත්නය සඳහා ද අප එක් වී සිටිනවා. නිවර්තන කලාපයේ පරිසර ආරක්ෂාව වෙනුවෙන් අප මේ වන විට නිවර්තන කලාපීය ප්‍රයත්නය ආරම්භ කර තියෙනවා.

මේ කාර්යයන් සඳහා ක්‍රියාශීලිව සහභාගි වීමෙන් අපේ ආර්ථිකයට ශක්තියක් ලබාගැනීමේ අවස්ථාවත් උදා වෙනවා. ඊට පසුබිමක් සකසමින් දේශගුණ විපර්යාස පනත අප ක්‍රියාවට නංවනවා.

දේශගුණික කාර්යයන් පිළිබඳ මහ ලේකම් කාර්යාලය ස්ථාපිත කර, දේශගුණ විපර්යාස අරමුදලක් ස්ථාපිත කරනවා. අපේ පරිසරය ආරක්ෂා කරගනිමින්, දේශගුණ විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණ දීමේ අවකාශ අප එමඟින් උදා කරගන්නවා.

ජෛව විවිධත්වය අතින් අනූන ශ්‍රී ලංකාවේ ජෛව පදනම ආරක්ෂා කිරීමට හා අනාගත පරම්පරාවට උරුම කර දීම පිණිස නව ජෛව විද්‍යා නීතියක් හා නියාමන ආයතනයක් ස්ථාපනය කරනවා.

අපේ පස් අවුරුදු වැඩ සැලැස්මෙහි දැක්වෙන කෘෂිකර්ම, කර්මාන්ත, බලශක්ති ආදි විවිධ ක්ෂේත්‍රයන් සඳහා දේශගුණ විපර්යාස පදනම් කරගත් පරිසර හිතකාමි ක්‍රියා පිළිවෙත් හඳුන්වා දෙනවා. ඒවා ගැන ඉදිරියේදී ඔබට කරුණු පැහැදිලි වේවි. දැනටමත් අප මේ සියලු කාර්යයන් සඳහා මුල පුරා තියෙනවා.

-

නවීන කෘෂි සංස්කෘතියක්

-

වර්තමානයේ ලෝක ජනගහනය බිලියන 8ක් පමණ වෙනවා. 2050 වෙද්දී මෙය 29%කට ආසන්න ප්‍රමාණයකින්, එනම් 9.8 දක්වා වැඩි වෙනවා. මේ වැඩි වන ජනගහනය වෙනුවෙන් ආහාර භෝග අදට වඩා වැඩි වැඩියෙන් අවශ්‍ය වෙනවා.අන්න ඒ අවශ්‍යතාවෙන් ඉතා සුළු ප්‍රතිශතයක් හෝ සැපයීම අපේ ඉලක්කය විය යුතුයි.

ඒ සඳහා ඉහළ තරගකා‍රි අපනයනය ඉලක්ක කරගත්, වැඩි ආදායම් ලබන නවීන කෘෂි සංස්කෘතියක් හඳුන්වා දෙනවා. විදේශ වෙළෙඳපොළ අරමුණු කරගත් කාබනික වගාවන් දිරිමත් කරනවා. පොහොර, උපාංග සහ නවීන යන්ත්‍රෝපකරණ ගොවියාට සපයනවා. ගොවි නිෂ්පාදන ඍජුව ගොවියාගෙන්ම මිල දී ගන්නා සැපයුම් ජාලයක් නිර්මාණය කරනවා. ග්‍රාමීය කෘෂිකර්මාන්තය දියුණු කරලීම උදෙසා ශීතාගාර ජාලයක් රට පුරා ස්ථාපිත කරනවා. ගෙවතු වගා, නාගරික මහල් නිවාස ආශ්‍රිත යැපුම් භෝග වගාව ව්‍යාප්ත කරනවා.

රජය සතු ඌන උපයෝජිත ඉඩම්වලින් අලුතෙන් ඉඩම් අක්කර ලක්ෂ 3ක් අපනයන කේන්ද්‍රීය වාණිජ භෝග වගාවන් සඳහා වෙන් කරනවා.

උරුමය සින්නක්කර ඔප්පු හිමි ගොවියන්ට සිය වගාවන් තව තවත් වැඩි දියුණු කරගැනීම උදෙසා උපදෙස් සහ සහය ලබා දෙනවා. ඒ ඉඩම් ඵලදායී භෝග වගාවන්ටත්, වෙනත් කෘෂි ව්‍යවසායයන් පාදක කාර්යයන් වෙනුවෙන් යෙදවීමත් දිරිමත් කරනවා.

භෝග ප්‍රවාහනය, අස්වැන්න නාස්ති නොවන ලෙස ගබඩා කිරීම හා අලෙවිය නවීකරණය කරනවා.

දේශීය ආහාර ප්‍රචලිත කරලීම උදෙසා රජයේ මැදිහත්වීමෙන් සංවිධානාත්මක වැඩපිළිවෙළක් දියත් කරනවා.

කෘෂිකර්මාන්ත කටයුතු සඳහා මෙන්ම එදිනෙදා ජල අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා මල්වතු ඔය, තල්පිටිගල සහ වයඹ ඇල ව්‍යාපෘති කඩිනමින් නිම කරනවා. මෙම ව්‍යාපෘතීන්ගේ පළමු අදියර 2030 වෙද්දී නිම කරනවා.

වී ගොවිතැනට අවශ්‍ය පොහොර හෝ වෙනත් අවශ්‍යතා සපුරාගැනීම සඳහා රුපියල් 25,000ක සහනාධාර මුදලක් ඍජුවම වී ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත ලබා දෙන අතර, කන්නයෙන් කන්නයට සහතික මිලක් නියම කරනවා.

-

මහ සයුරේ රළ පතරේ

-

රට වටේ මහ මුහුද තිබුණත් ධීවර කටයුතු සඳහා මුහුදු යන්නේ අප සතු බෝට්ටු ප්‍රමාණයෙන් 40%කටත් වඩා අඩුවෙන්. ඒ නිසා මහමුහුදෙන් උපරිම ඵල ලබාගැනීමට හැකි වන සැලසුමක් දේශීය හා විදේශීය විශේෂඥයන්ගේ මූලිකත්වයෙන් අප ක්‍රියාවට නංවනවා. එමඟින් වර්තමානයේ ධීවර සම්පත් අපනයනයෙන් මේ වන විට අප උපයන ඩොලර් මිලියන 300ක පමණ මුදල දෙගුණ කරගන්නවා.

මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, ඉස්සන් වගාව, ජලජ ශාක, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා දිරි දෙමින්, ඒ අංශ වඩාත් ප්‍රචලිත කරනවා.

රට පුරා ඇති ධීවර වරාය නවීකරණය කරනවා. ඒවා ධීවර ආර්ථික මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කරනවා. මේ ක්‍රියාවලිය සඳහා ධීවර සමිති, ධීවරයන්, ආයෝජකයන් සහ විශේෂඥයන් සම්බන්ධ කරගන්නවා.

කුඩා ධීවර යාත්‍රාවන්ගේ සිට බහුදින ධීවර යාත්‍රා දක්වා මිලදී ගැනීම සඳහා සහන ක්‍රමවේදයන් දියත් කරනවා.

ධීවර කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් ඍජු විදේශ ආයෝජන දිරිමත් කරනවා.

ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට සරිලන අයුරින් ධීවර කර්මාන්තය නවීකරණය කිරීමට පියවර ගන්නවා. නවීන යාත්‍රා, උපකරණ හා තාක්ෂණය භාවිත කිරීමට ධීවර ප්‍රජාවට සහය ලබා දෙනවා.

වසර කීපයක් තුළ ධීවර ප්‍රජාවගේ ජීවන තතත්ත්වය ඉහළ නැංවීමට මෙම වැඩපිළිවෙළ ඔස්සේ හැකියාව ලැබෙනවා.

ධීවර වරාය වටා ධීවර නගර සංවර්ධනය කොට, නිවාස සහ අනෙකුත් ප්‍රජා පහසුකම්වලින් ධීවරයන් සන්නද්ධ කරනවා. දැනට භාවිත වන ධීවර නිවාසවල තත්ත්වය උසස් කිරීමට පියවර ගන්නවා. ධීවරයන්ට සහනයක් වනු පිණිස ඉන්ධන සහනාධාරය ඍජුවම ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත ලබා දීම දැනටමත් ආරම්භ කර තියෙනවා.

මේ සියලු වැඩකටයුතු 2025 වසර තුළ ආරම්භ කරනවා.

සාගර පතුලේ ඇති විවිධ සම්පත් පිළිබඳ තවමත් අප නිසි අවධානය යොමු කර නැහැ. ජාත්‍යන්තර විශේෂඥ දැනුම සහ අත්දැකීම් උපයෝගි කරගනිමින් මේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා දීර්ඝ කාලීන වැඩ සැලැස්මක් අප ක්‍රියාවට නංවනවා.

මේ සියලු සැලසුම්වල මුල් අදියර 2025 සහ 2029 අතර ක්‍රියාවට නංවනවා.

-

කිරි නැති හින්දා රට කිරි දීලා...

-

අපට අවශ්‍ය කිරි ප්‍රමාණයෙන් තවමත් රට තුළ නිෂ්පාදනය කෙරෙන්නේ 35%ක් පමණයි. කිරි අස්වැන්න නැති නිසා මිල්කෝ සමාගමේ නවීන යන්ත්‍රාගාර බොහොමයක් ක්‍රියාත්මක වන්නේ අවුරුද්දේ කෙටි කාලයක් පමණයි.

මේ නිසා කිරි ආනයනය සඳහා වසරකට ඩොලර් මිලියන 282 ක් පිටරටවලට ඇදී යනවා.

අඹේවෙල පුද්ගලික ගොවිපොළේ දිනකට එළ හරකෙකුගෙන් කිරි ලීටර 35ක් ලබාගනිද්දී අපේ රටේ අනෙකුත් කිරි ගොවීන් ලබාගන්නා සාමාන්‍ය අගය ලීටර 5ක පමණ ප්‍රමාණයක්.

මේ තත්ත්වය වෙනස් කරමින් ජාතික පශු සම්පත් මණ්ඩලය සමඟ ඉන්දියානු තාක්ෂණය හා දේශීය විදේශීය ආයෝජකයන් සම්බන්ධ කරමින් කිරි අස්වැන්න ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරනවා.

මේ වැඩ සැලැස්ම ඔස්සේ:

• ලීටර මිලියන 380ක් වූ වත්මන් වාර්ෂික කිරි නිෂ්පාදනය 2035 වෙද්දී ලීටර මිලියන 820 දක්වා ඉහළ නංවනවා.

• එවිට දිවයිනේ සියලු පාසල් දරුවනට නොමිලේ නැවුම් කිරි වීදුරුවක් දිනපතා ලබා දීමට හැකි වනවා.

• කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වූ විට, දැනට කිරි ආනයනය සඳහා වසරකට පිටරටවලට ඇදී යන මුදල් ඉතිරි වන අතර, අතිරික්තයෙන් සිදු කෙරෙන කිරි ආශ්‍රිත නිෂ්පාදනවලින් මුදල් ඉපැයීමේ අවකාශයද උදා වනවා.

• 200,000කට අධික කුඩා කිරි ගොවීන්ට සහ ව්‍යවසායකයන්ට උසස් ජානමය සතුන්, සත්ත්ව ආහාර, බේත් හේත්, එන්නත්, කෘත්‍රිම සිංචනය සඳහා පහසුව සලසනවා.

• උසස් ජානමය කිරි හරකුන් 20,000ක් 2025 වසර තුළ දේශීය කිරි ගොවියන් වෙත ලබා දෙනවා.

• මේ වැඩපිළිවෙළ ඔස්සේ 2035 වෙද්දී දේශීය කිරි ගොවියන්ට ලැබෙන ආදායම රුපියල් බිලියන 40 ඉක්මවනවා. එමඟින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වෙනවා.

• දේශීය කිරි ගොවීන් වෙනුවෙන් සහන ණය ක්‍රමයක් ආරම්භ කරනවා.

• දේශීය කිරි ගොවීන්, එක් කිරි හරකෙකුගෙන් දිනකට ලබාගන්නා කිරි අස්වැන්න ලීටර 20 දක්වා ඉහළ නංවනවා.

මේ වැඩපිළිවෙළේ පළමු අදියර 2025 සහ 2035 දශකය තුළ නිම කරනවා.

-

යන්න රට වටේ

-

ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක්.

සංචාරකයන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉහළ තලයකට ගෙන එමින්, වර්තමානයේ මිලියන 2.5ක් වූ සංචාරකයන්ගේ පැමිණීම ඉදිරි පස් වසර තුළ මිලියන 5 දක්වා ඉහළ නංවනවා. වර්තමානයේ එක් සංචාරකයෙකුගෙන් රටට ලැබෙන දළ ආදායම අමෙරිකානු ඩොලර් 150ක්. එය 2035 වන විට අමෙරිකානු ඩොලර් 500 දක්වා ඉහළ නංවනවා.

කොළඹ, ගාල්ල, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය සංචාරක කේන්ද්‍රස්ථාන ලෙස සංවර්ධනය කරනවා. නැඟෙනහිර වෙරළ සහ යාපනය ප්‍රධාන පෙළේ සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසනවා. දකුණු වෙරළ තීරයට ඇති ඉල්ලුම තව තව වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. සංචාරක ව්‍යාපාරය කඳුකරයට ව්‍යාප්ත කරනවා.

සංචාරකයන් ප්‍රමාණය වැඩි කිරීම වෙනුවෙන් ඔක්තෝබර් 01 වන දින සිට රටවල් 35ක් වෙනුවෙන් නිදහස් වීසා ක්‍රියාත්මක වෙනවා.

අනුරාධපුරය, සංස්කෘතික උරුමයේ නගරයක් බවට පත් කොට, සීගිරිය තරමටම ලෝකයේ ප්‍රචලිත කරනවා.

නව සංචාරක කලාප ගණනාවකට කටයුතු ඉදිරි පස් වසර තුළ නිම කරනවා.

• ඉරණවිල අක්කර 400

• බෙන්තොට අක්කර 1000

• හපුතලේ - වැලිමඩ අක්කර 100

හෝටල් සහ ලැගුම්හල් ප්‍රතිසංස්කරණය කිරීම, නව හෝටල් ඉදිකිරීම ඇතුළු සංචාරක ක්ෂේත්‍ර‍යේ විවිධ කාර්යයන් සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරි ආයෝජන දිරිමත් කරනවා.

මෙම කාර්යයන් 2025 වසරේ ආරම්භ කර 2033 වෙද්දී අවසන් කරනවා.

-

අපේ නිෂ්පාදන ජාත්‍යන්තරයට

-

ආර්ථිකයේ ඉදිරි පිම්ම පනින්න නම්, අපේ කර්මාන්ත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරග කළ හැකි මට්ටමකට ඔසවා තැබිය යුතුයි. දැනට අප ඇඟලුම්, කාර්මික වාහන සඳහා ටයර් ආදියෙන් ජාත්‍යන්තර නමක් දිනා තියෙනවා.

මේ තත්ත්වය පුළුල් කරලීමට නව තාක්ෂණය පදනම් කරගෙන නිර්මාණය වූ නවීන යන්ත්‍රෝපකරණ හා තාක්ෂණය මෙරටට ලබා ගන්නවා.

ජාත්‍යන්තර ආයෝජන, තාක්ෂණය සහ විශේෂඥ දැනුම අප උපරිමයෙන් යොදාගන්නවා. නිෂ්පාදන ආර්ථිකය පෝෂණය කරලීම සඳහා වර්තමානයේ ඇති සියලු බාධා ඉවත් කරනවා.

ආයෝජන ප්‍රවර්ධනය සඳහා නව ආර්ථික කොමිසමක්ද, රටේ ඵලදායි තත්ත්වය නැංවීමේ අරමුණ ඇතිව ජාතික ඵලදායිතා කොමිසමද, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ කාර්යාලයක්ද ස්ථාපිත කරනවා.

බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවික, ගුවන්, කර්මාන්ත ආදි අංශයන්ගෙන් සන්නද්ධ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට ත්‍රිකුණාමලය පත් කරනවා. මේ කාර්යයන් සඳහා ඉන්දීය සහය ලබාගන්නවා.

i. බිංගිරිය ආයෝජන ප්‍රවර්ධන කලාපය පුළුල් කරලීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තියෙනවා.

ii. කන්කසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම් අක්කර 1,000ක නව ආයෝජන කලාපය පිහිටුවීම 2025දී ආරම්භ කරනවා.

iii. 2027 වෙද්දී දොම්පෙ අක්කර 120ක නව ආයෝජන කලාපයක් ඉදි කරනවා සපුගස්කන්ද ආයෝජන ප්‍රවර්ධන කලාපය පුළුල් කරමින් එයට තවත් අක්කර 400ක් එක් කරනවා.

iv. අක්කර 4,000ක් පුරා ඉදි වන හම්බන්තොට ආයෝජන කලාපයේ පළමු අදියර 2026දී අරඹනවා.

v. මහනුවර නගරය කේන්ද්‍ර කොටගෙන අක්කර 100ක පමණ තාක්ෂණ කලාපයක් 2026දී ස්ථාපිත කරනවා.

මහා පරිමාණ ව්‍යාපෘති හා කර්මාන්ත ඇරඹීම වෙනුවෙන් අරමුදල් සම්පාදනය කිරීම උදෙසා ජාතික සංවර්ධන බැංකුව 2025 දී ආරම්භ කරනවා.

නිෂ්පාදන කර්මාන්ත සඳහා දිරි දීමට දැනට ආයතන ගණනාවක් ක්‍රියාත්මක වීම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විවිධ අපහසුතාවන්ට පත් කෙරෙන්නක්. ඒ නිසා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නමින් නව ශක්තිමත් ආයතනයක් 2025 වසරේදී ස්ථාපිත කරනවා.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි පසුබෑමකට ලක් වුණා. ඔවුන් යළි නඟාසිටුවීම වෙනුවෙන් දැනටමත් පියවර ගණනාවක් ගෙන තිබෙනවා. ඔවුන්ට ලබා දෙන ලක්ෂ 25 දක්වා වූ ණය මුදලේ පොලී අනුපාතය 5% මට්ටමට ගෙන එනවා. මහා භාණ්ඩාගාරයේ මේ වෙනුවෙන් විශේෂ ඒකකයක් පිහිටුවා, සම්බන්ධීකරණ කාර්යයන් සිදු කරනවා.

පළාත් මට්ටමින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමට අවශ්‍ය මුදල් පළාත් සභා වෙත ලබා දෙන අතර, මාර්ගෝපදේශ මෙන්ම නිෂ්පාදන අලෙවිය සම්බන්ධ උපදෙස්ද ලබා දෙනවා.

දැනට ක්‍රියාත්මක වන සහ යෝජිත ආර්ථික මධ්‍යස්ථාන හරහා ඔවුන්ගේ නිෂ්පාදන අලෙවියට මං සලසනවා. සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ගැටලු සොයා බලා, ඒවා නිරාකරණය කරලීමට විශේෂ වැඩපිළිවෙළක් දියත් කරනවා.

සියලු නිෂ්පාදන කර්මාන්ත පරිසර ආරක්ෂිත පදනමක පිහිටා ආරම්භ කරනවා. කර්මාන්තවලින් සිදු වන පරිසර දූෂණය අවම කරලීම උදෙසා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත විමෝචන වෙළෙඳ ක්‍රමවේදය හඳුන්වා දෙනවා. පරිසරයට මුදාහැරෙන අහිතකර වායු විමෝචනයන් එමඟින් පාලනය කරගන්නවා.

කාබන් බද්දක් හඳුන්වා දීමට පියවර ගන්නවා.

-

විශ්ව ශක්තියට බලශක්තිය

-

හරිත හයිඩ්‍රජන් ඇතුළු පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සඳහා ආයෝජන දිරිමත් කරනවා.

2030 වෙද්දී විදුලි සැපයුම් ජාලයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගන්නවා. ශ්‍රී ලංකාව හරිත බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත්කොට, ඉන්දියාව සහ අසල්වැසි රටවලට බලශක්තිය අපනයනය කරනවා.

ස්වාභාවික වායු විදුලිබල නිෂ්පාදනය ව්‍යාප්ත කරනවා.

ඉදිරි වසර කිහිපය තුළ බලශක්තිය සඳහා පුරවැසියන්ට දැරීමට සිදු වන පිරිවැය අඩු කර, විදුලිය, ඉන්ධන සහ ගෑස් කිසිදු හිඟයකින් හෝ කප්පාදුවකින් තොරව ලබා දීම සහතික කරනවා.

ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය කරනවා.

-

ඩිජිටල් මාවත

-

අනාගත ලෝකය හැඩගස්වන නවතම රැල්ල වන්නේ ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් කෘත්‍රිම බුද්ධිය හා ස්වයංක්‍රීයකරණයයි. එය සෞඛ්‍ය, අධ්‍යාපන, මූල්‍ය, ආර්ථික ආදි සකලවිධ ක්ෂේත්‍රවල දියුණුවට පාදක වෙනවා.

ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම උදෙසා තාක්ෂණ ප්‍රවර්ධන පනත 2025 වසරේ අප සම්මත කරගන්නවා. මෙමගින් ඩිජිටල් පරිවර්තන ඒජන්සියක් සහ තාක්ෂණ සහ නවෝත්පාදන සභාවක් ස්ථාපිත කරනවා. ඊට පසුබිම සකසමින් මේ වන විටත් ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත අප සංශෝධනය කර තිබෙනවා.

චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවාවන් හඳුන්වාදීම ඔස්සේ ඩිජිටල් විප්ලවය වේගවත් කරනවා.

අපේ රටත් අනාගත පරපුරත් මේ නවීන ප්‍රවණතාවන්ට එක්කිරීම සඳහා අප වහාම පියවර ගන්නවා. තරුණ තරුණියන් ඩිජිටල් දැනුමෙන් සන්නද්ධ කරනවා.

තවත් වසර තුනක් ඇතුළත මුළු රාජ්‍ය සේවයම කෘත්‍රිම බුද්ධිය හා ස්වයංක්‍රීයකරණය යටතට ගෙන ඒමේ සැලසුම් අප ක්‍රියාත්මක කරනවා. පූර්ණ ඊ-රාජ්‍ය සේවයක් (e-Govermance) නිර්මාණය කරනවා.

වර්තමානයේ අපේ ඩිජිටල් ආර්ථික පංගුව ඩොලර් බිලියන 5ක්. ඉදිරි පස් වසර තුළ එය ඩොලර් බිලියන 15 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය ශක්තිමත් පදනම සකස් කරනවා.

කෘත්‍රිම බුද්ධිය ඔස්සේ වගකීම් විරහිත ලෙස ක්‍රියා කිරීම නවතාලන, එමෙන්ම කටහඬ, රූපය ආදියෙහි පුද්ගලිකත්වය හා බුද්ධිමය දේපළ අයිතිය සුරකින නීති රීති සම්පාදනය කරනවා. මැඩ්රිඩ් ප්‍රොටොකෝල් ගිවිසුම (Madrid Protocol) ඔස්සේ වෙළෙඳ ලකුණු පිළිබඳ බුද්ධිමය අයිතිය සුරකිනවා.

ඩිජිටල් පුරවැසි හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යයට දැනටමත් මුල පුරා ඇති අතර, ඉදිරි මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ප්‍රකාශ කිරීම හඳුන්වා දෙනවා.

-

දැනුමෙන් සන්නද්ධ සමාජයක්

-

අනාගතයේ අප හමුවේ ඇති තාක්ෂණ, ආර්ථික හා සමාජීය අභියෝග ජය ගැනීමට නම්, දැනුමෙන් හා වෘත්තීය නිපුණත්වයෙන් සන්නද්ධ සමාජයක් නිර්මාණය කළ යුතුයි.

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ඒකාබද්ධ කර වොකේෂනල් ස්කිල්ස් ශ්‍රී ලංකා (VSSL) නමින් නව ආයතනයක් 2025 වසරේ දී පිහිටුවනවා. සියලු වෘත්තීය පුහුණු පාසල් සහ මධ්‍යස්ථාන ඒ යටතට ගන්නවා.

පශ්චාත් පාසල් අධ්‍යාපන කොමිසම ස්ථාපිත කරනවා.

පාසලෙන් පිට වන දරුවනට වෘත්තීය පුහුණුව ලබා ගැනීම සඳහා සහාය වෙනවා. මෙහි නියමු ව්‍යාපෘතිය යටතේ 2025 වසරේ සිසුන් 50000කට වෘත්තීය පුහුණුවට අවශ්‍ය මුදල් රජයෙන් සපයනවා. මේ නියමු ව්‍යාපෘතියේ අත්දැකීම් පදනම් කරගෙන ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව වඩාත් පුළුල් මට්ටමකින් මුදල් ලබාදීම සිදුකරනවා.

2026 අවසානයට පෙර පළාත් වෘත්තීය අධ්‍යාපන මණ්ඩල 9ක් ස්ථාපිත කරනවා. පළාත්වල ඇති සියලු වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, වෘත්තීය විද්‍යාල මට්ටමට උසස් කොට පළාත් වෘත්තීය අධ්‍යාපන මණ්ඩලය යටතට ගෙන එනවා.

තාක්ෂණ හා කළමනාකරණ විශ්වවිද්‍යාල විද්‍යායතන හැම පළාතකම පිහිටුවනවා. හැම දිස්ත්‍රික්කයකම ඒ යටතේ පීඨ ස්ථාපිත කරනවා. අධ්‍යාපනය දියුණු විදේශ රටවල සිදු කරන්නාක් මෙන් වසර දෙකක අධ්‍යයන කාලයකින් පසු මේ විශ්වවිද්‍යාල විද්‍යායතනය මඟින් ආශ්‍රිත උපාධි ලබා දීමට පියවර ගන්නවා.

අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ තාක්ෂණය යන මාතෘකාවට අවධානය යොමු වී ඇත්තේ ඉතා අඩුවෙන්. ඒ නිසා Chennai IIT (චෙන්නායි තොරතුරු තාක්ෂණ ආයතනය) අනුග්‍රහයෙන් මහනුවර - ගලහ ප්‍රදේශයේ නව විශ්වවිද්‍යාලයක් පිහිටුවනවා. හේවාගම් කෝරළයේ, සියනෑ කෝරළයේ සහ සත් කෝරළයේ තාක්ෂණ විශ්වවිද්‍යාල ආරම්භ කරනවා. 2025 සහ 2028 කාලය අතරතුර මේ කටයුතු සඳහා මුල පුරනවා.

2008 අංක 31 දරන පනතින් පිහිටුවන ලද වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය 2026 වෙද්දී ප්‍රතිව්‍යූහගත කොට විමලසුරේන්ද්‍ර තාක්ෂණික විශ්වවිද්‍යාලය ලෙස නම් කරනවා.

2029 වන විට ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතියට තවත් අලුත් විශ්වවිද්‍යාල දෙකක් එක් කරනවා.

• දේශගුණික විපර්යාස ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය

• කෘෂිකර්ම තාක්ෂණ විශ්වවිද්‍යාලය

-

අයන්න කියන්න ලොවටම ඇහෙන්න

-

වර්තමානයේ පාසල් යටිතල පහසුකම් නිර්මාණය වුණේ මීට වසර ගණනාවකට කලින් තිබූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්. ඒවා දැන් යල්පැන ගොසින්. මේ නිසා පාසල් යටිතල පහසුකම් පද්ධතිය 2040 තාක්ෂණික යුගයට සරිලන අයුරින් නවීකරණය කරනවා. රජය ඊට අවශ්‍ය සියලු මුදල් ප්‍රතිපාදන ලබා දෙනවා.

සියලු ගුරුවරු ගුරුවරියන්ට අලුත් දැනුම සමඟ පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙළ 2025දී ආරම්භ කරනවා.

පාසල් සංවර්ධන සමිති සහ ආදි ශිෂ්‍ය සංගම් නියෝජනයන් සහිතව පාසල් මණ්ඩල පිහිටුවීම 2025 සහ 2027 අතර කාලය තුළ නිම කරනවා.

වයස අවුරුදු 17 වන විට විශ්වවිද්‍යාලයට අවතීර්ණ විය හැකි ආකාරයටම මෘදු කුසලතා, ජීවන නිපුණතා, සාරධර්ම සහිත නවීන පාසල් අධ්‍යාපනය මෙන්ම විභාග හා ඇගයීම් විධිමත් කරනවා.

ඉදිරි දශකය තුළ සියලු පාසල් දරුවනට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන English for All සැමට ඉංග්‍රීසි වැඩසටහන දියත් කරනවා. රට පුරා දක්නට ඇති ඉංග්‍රීසි ගුරු හිඟය වළක්වාලීමේ කෙටි කාලීන වැඩපිළිවෙළක් ලෙස අලුතෙන් ගුරුවර ගුරුවරියන් 2,500ක් බඳවාගන්නවා. විශ්‍රාමිකයන් 1,000ක්, විද්‍යා පීඨවලින් 400ක් සහ තරග විභාගයකින් බඳවාගන්නා උපාධිධාරීන් 1,100ක්. මේ උපාධිධාරින්ට මාස 3ක විශේෂ පුහුණුවක් ලබා දෙනවා.

ළමා මනස ඇද බැඳ තබාගනිමින් විෂයානුබද්ධ අධ්‍යාපනය ප්‍රදානය කළ හැකි අයුරින් පාසල් පෙළ පොත් ක්‍රමය වෙනස් කරලීමටත්, විෂය නිර්දේශයන් සංශෝධනය කිරීමටත් අප පියවර ගන්නවා.

දරුවන් තුළ නව දැනුම සහ කුසලතා ඔප්නැංවීම, රසවින්දනයෙන්, නිර්මාණශීලිත්වයෙන් හා ස්වශක්තියෙන් නැඟී සිටීමේ පෞරුෂය සංවර්ධනය කරනවා.

අනාගත පරපුරේ පදනම සකසන්නේ පෙර පාසල් මඟින්. ඒ නිසා පෙර පාසල් ක්‍රමය වැඩි දියුණු කිරීම, නියාමනය සහ පෙර පාසල් ගුරුවර ගුරුවරියන් ප්‍රමිතිගතව පුහුණු කිරීම සඳහා විශේෂ වැඩ සැලැස්මක් සකස් කරනවා.

-

ආරෝග්‍ය පරමා ලාභා

-

ශ්‍රී ලංකාවේ පවතින්නේ නිදහස් සෞඛ්‍ය සේවාවක්. ඒත් ඇත්තටම සෞඛ්‍ය සේවාව නිදහස්ද? අතමිට නැති කෙනෙකුට හෘදය සැත්කම් වැනි අත්‍යවශ්‍ය ප්‍රතිකාරයක් ලබාගැනීමට පවා වසර ගණන් පොරොත්තු ලේඛනයේ කල් මැරීමට සිදු වී තිබෙනවා. ඒ නිසා අපේ සෞඛ්‍ය සේවාවන් පිළිබඳව අලුත් ඇසකින් බලා, ජනතා කේන්ද්‍රීය සේවා සැපයිය හැකි පසුබිමක් සකස් කළ යුතුයි.

වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්, අතුරු වෛද්‍ය වෘත්තිකයන්, සහාය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ආදි රෝහල් කාර්ය මණ්ඩලවලට වඩාත් හොඳින් රාජකාරි කළ හැකි පරිසරයක් සකස් කර, බුද්ධිගලනය අවම මට්ටමකට ගෙන එනවා.

වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩල උදෙසා දේශීය හා විදේශීය පුහුණු වීමේ අවස්ථා පුළුල් කරනවා.

වෛද්‍යවරුන්ට විදේශීය පශ්චාත් උපාධි ලබාගැනීමේ පහසුකම් වැඩි කරනවා.

අපේ රට පුරා දක්ෂ හා කීර්තිමත් වෛද්‍යවරු ඉන්නවා. පළපුරුදු කාර්ය මණ්ඩලවලින්ද අපේ සෞඛ්‍ය සේවාව සන්නද්ධයි. ඒ නිසා ප්‍රතිකාර සඳහා මෙරටට එන විදේශිකයන්ට පවා උසස් සේවාවක් ලබා දිය හැකි මට්ටමකට එය පත් කළ යුතුයි. එවිට එක් අතකින් විදේශ විනිමය ලැබෙනවා. ඒ මුදල් යොදවා ජනතාවට ලබා දෙන සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමටත් පසුබිම සැකසෙනවා.

ඒ අරමුණ ද පෙරදැරිව කොළඹ ජාතික රෝහල නව සැලැස්මක් අනුව ජාත්‍යන්තර පහසුකම්වලින් යුතු නවීන රෝහලක් ලෙස යළි ඉදි කරනවා. එය දකුණු ආසියාවේ ප්‍රධානතම රෝහලක් බවට පත් කරනවා.

රට පුරා ඇති රජයේ රෝහල්වල තත්ත්වය ඉහළ නංවනවා. ජන අනුපාතයට සමපාත වන අයුරින් රජයේ රෝහල් ඉදි කොට, ඉදිරි වසර 15 අවසානයේ සෞඛ්‍ය සේවාවන් උසස්ම මට්ටමට ගෙන එනවා.

වෛද්‍ය පර්යේෂණ ආයතනය නව තාක්ෂණයෙන් සන්නද්ධ කර, කලාපයේ උසස්ම සහ ප්‍රමිතිගතම පර්යේෂණාගාරයක් බවට පත් කරනවා.

ඖෂධ වර්ගවල ප්‍රමිතිය සහතික කිරීමට පියවර ගන්නා අතර, ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයන් පිළිගන්නා ඖෂධ ප්‍රමිති සහතික ආයතනයක් ස්ථාපිත කරනවා.

කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල්කරණය හා ස්වයංක්‍රීයකරණය භාවිත කරමින් සුහුරු සෞඛ්‍ය සේවාවක් හරහා නාස්තිය අවම කිරීමට පියවර ගන්නවා.

දේශීය හා පාරම්පරික වෙදකම් ප්‍රවර්ධනය කරනවා. මේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවේද ආරක්ෂා කරලීමටත්, අනාගත පරපුර වෙත දායාද කරලීමටත් පියවර ගන්නවා.

පුද්ගලික රෝහල් නිසි නියාමනයකට ලක්කිරීමට අවශ්‍ය නීති රීති හඳුන්වා දෙනවා.

පළාත් නවය පුරා පුද්ගලික රෝහල් ආරම්භ කරලීම දිරිමත් කරනවා.

රටේ ඕනෑම පුරවැසියකුට රජයේ හෝ වේවා පුද්ගලික හෝ වේවා තමන් කැමති රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමට හැකි වන පරිද්දෙන් ශක්තිමත් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීම පිළිබඳව ද අපේ අවධානය යොමු වී තිබෙනවා.

-

නිම් වළල්ලෙන් එහා ලෝකයට

-

අපේ රට ගුවන් හා නාවික ගමනාගමනයෙන් පමණක් නොව, ගොඩබිම් ගමනාගමනයෙන්ද ලොව සමඟ වැඩි වැඩියෙන් යා කිරීමට පියවර ගන්නවා.

2026 වෙද්දී පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ කාර්යයන් ආරම්භ කරනවා.

හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි කටයුතු ආරම්භ කරනවා.

කොළඹ වරාය තව තවත් පුළුල් කර, ජාත්‍යන්තර දියුණු වරාය සමඟ කරට කර තරග කළ හැකි මට්ටමකට ගෙන එනවා.

ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කටයුතු 2026 වෙද්දී ඉන්දියාව සමඟ එක්ව පටන් ගන්නවා.

රට පුරා ඇති සමස්ත වරාය පද්ධතියම ක්‍රමිකව නවීකරණය කරනවා.

-

පුරවර අසිරිය

-

කළුතර සිට මීගමුව දක්වා කලාපය තනි මහපුරවරයක් ලෙස සංවර්ධනය කරනවා. නගර නිර්මාණය පිළිබඳ ජගත් කීර්තිය දිනූ සිංගප්පූරුවේ සුබානා ජුරොං (Surbana Jurong) ආයතනය සමඟ එක්ව මේ නගර සැලසුම් සකසනවා.

දැනට එක් එක් දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගර ලෙස සැලකෙන නගරවලට අමතරව තවත් උප නගරයක් ප්‍රධාන පහසුකම්වලින් සමන්විතව ගොඩනංවනවා.

මේ සියලු නගර, පුරවර සහ මහපුරවර නිර්මාණයේදී ජාත්‍යන්තර මට්ටමේ සියලු නවීන පහසුකම් ඊට එක් කරනවා.

ස්වාභාවික විපත් නිසා ආපදාවට ලක් වන නගර සඳහාත්, එවැනි අවදානමක් ඇති අලුතෙන් ඉදි වන නගර සඳහාත් නවීන විපත් පාලන සැලසුමක් සකස් කරනවා. එවැනි නගර ඉදි කරන්නේ විපත් අවම කර ගැනීමට හැකි වන අයුරිනි.

එවැනි අඩුපාඩුකම් ගණනාවක් අප හඳුනාගෙන තියෙනවා. ඒ අඩුපාඩු සම්පූර්ණ කරලීමේ ක්‍රියා පිළිවෙත 2025 වසරේ ආරම්භ කරනවා.

බොහෝ ප්‍රධාන නගරවල භාවිත වෙන්නේ යල් පැන ගිය මලාපවහන පද්ධති, නාගරික මලාපවහන ක්‍රම යාවත්කාලීන කිරීමට පියවර ගන්නවා.

නගර සඳහා සැපයෙන ජලසම්පාදනය විධිමත් කරන අතර, වියළි කලාපය, කඳුරට, වෙරළ තීරය ආදී ජලය හිඟ ප්‍රදේශ සඳහා නළ ජලය ලබා දෙනවා.

-

ගමන බිමන

-

තිරසර හරිත ප්‍රවාහන සේවාවක් යන ඉලක්කය සහිතව ප්‍රවාහන හා මහාමාර්ග ක්ෂේත්‍රයේ ඉදිරිය පිළිබඳ සැලසුම් සකස් කර තියෙනවා.

ඩිජිටල් තාක්ෂණය වාහන හැසිරවීමේ සිට රියැදුරු බලපත් ලබාදීම දක්වා ව්‍යාප්ත කරනවා.

විදුලි වාහන භාවිතය දිරිමත් කරමින් ආරෝපණ මධ්‍යස්ථාන දිවයින පුරා පිහිටුවනවා.

පොදු ප්‍රවාහන සේවා ක්‍රමවත්ව සංවර්ධනය කරනවා.

දැනට ඇති මාර්ග සංවර්ධන කිරීම අඛණ්ඩවම සිදු කරමින් අනාගතයට ගැළපෙන පරිපූර්ණ මහාමාර්ග සැලැස්මක් සකසනවා.

මහනුවර අධිවේගි මාර්ගයේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යනවා.

මේ කාර්යයන් 2025 වසරේ ආරම්භ කරනවා.

-

උතුරට යතුරක්

-

අතීතයේ සිටම ලාංකේය ආර්ථිකයට ශක්තිය සපයන යතුරක් වූයේ උතුරුකරයයි. එහෙත් යුද්ධයේ අනිෂ්ට විපාකයක් විදිහට උතුරු ආර්ථිකය බිඳවැටුණා. අප දැන් උතුරේ ඒ ආර්ථික ශක්තිය යළිත් පිබිදවීමේ ශක්තිය උතුරට ලබා දීමේ සැලසුම් ආරම්භ කර තිබෙනවා. බස්නාහිර පළාත මෙන්ම අපේ රටේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් සපයන යතුරක් බවට උතුර පත් කරලීම අපේ අරමුණයි.

කාලයක් තිස්සේම උතුරේ දැවෙන ප්‍රශ්නයක් වූයේ ජල හිඟයයි. දැනට මුහුදු ජලය පිරිසිදු කිරීමේ එක් ව්‍යාපෘතියක් අප ආරම්භ කර ඇති අතර, තවත් එවැනි ව්‍යාපෘති කිහිපයක්ම අපේ වැඩ ලැයිස්තුවේ තියෙනවා.

අලුතෙන් අරඹන ජල ව්‍යාපෘති ලැයිස්තුවේ ප්‍රමුඛත්වය ලබා දී ඇත්තේ ‘යාපනයට ගංගාවක්’ ව්‍යාපෘතියයි. මෙය 2027දී ආරම්භ කරනවා. 2026දී උතුරුකරය පුරා ඇති කුඩා වැව් ප්‍රතිසංස්කරණය කරනවා. පුලියන්කුලමෙන් ආරම්භ වී, මන්නාරමෙන් මුහුදට වැටෙන පාලිආරු ගංගාව හරස් කොට ජලාශයක් ඉදි කරනවා.

පුනරින් නව නගරය පුනර්ජනනීය බලශක්ති ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා.

යාපනය තාක්ෂණික අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා.

ඉන්දීය ආධාර යටතේ ඉදි කළ ‘සරස්වතී මහල්’ දෙමළ කලා හා සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් සංවර්ධනය කරලීමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙනවා.

ජාත්‍යන්තර කීර්තියට පත් ගාලු සාහිත්‍ය උලෙළ මෙන් සාහිත්‍ය උලෙළක් යාපනයේ ආරම්භ කරනවා.

ගුවන්, නාවික හා ගොඩබිම් ප්‍රවාහන මාර්ග සංවර්ධනය කරමින් දකුණු ඉන්දියාව සහ උතුරුකරය අතර ආර්ථික, සමාජීය, සංස්කෘතික සබඳතා ශක්තිමත් කරනවා.

-

නැඟෙනහිර නවෝදාව

-

බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවුක, ගුවන්, කර්මාන්ත ආදි අංශයන්ගෙන් සන්නද්ධ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට ත්‍රිකුණාමලය පත් කරනවා. මේ කාර්යයන් සඳහා ඉන්දීය සහාය ලබා ගන්නවා.

වෙරුගල්ආර සිට පානම - කුමන වෙරළ තීරය සංචාරක කර්මාන්තයට සුදුසු පරිද්දෙන් සංවර්ධනය කරනවා.

හැඩඔය ජල ව්‍යාපෘතියට 2025 වසරේ මුල පුරනවා.

-

වතුකරයට හිරු පායයි

-

වතු සේවක සේවිකා වැටුප් ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය අප මේ වන විටත් නිකුත් කර හමාරයි. ඊට අමතරව වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට සුවිශේෂී පියවර ගණනාවක් අප ගන්නවා.

ලයින් කාමර ජීවිතය වෙනුවට වඩාත් යහපත් ජීවිතයක් වතුකරයේ ජනතාවට ලබා දීම උදෙසා නිවාස අයිතිය සහ සින්නක්කර ඉඩම් අයිතිය ඔවුන්ට හිමි කරනවා. ඒ අනුව ලැයිමක් වෙනුවට ගම්මානයක් ලබා දීමට සැලසුම් කරනවා. 2025 වසරේ සිට මේ වැඩ කටයුතු ආරම්භ කරනවා.

වතුකරයේ ජනතාවට වෙනත් වගාවන්හි නිරත වීමට අවශ්‍ය ඉඩම් ආදි පහසුකම් ලබා දීමේ විධිමත් ක්‍රමවේදයක් ආරම්භ කරනවා.

වතු පාසල්වල ගුරු හිඟය නැති කිරීම උදෙසා වතුකරයෙන්ම බිහි වන දක්ෂ තරුණ තරුණියන් යොදවාගැනීම තහවුරු කරමින් ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යා පීඨය පුළුල් කරනවා.

වතු පාසල්වල විෂය ධාරාවන් පුළුල් කරනවා. විශේෂයෙන්ම විද්‍යා විෂයයන් සඳහා අවශ්‍ය පහසුකම් ක්‍රමිකව ලබා දෙනවා.

වතු ආශ්‍රිත සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගන්නවා.

අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම ලබා දෙනවා.

----------------------------

ප්‍රභාස්වර සමාජයක් කරා

-

සමාජ මට්ටම් හා විවිධ සමාජ කණ්ඩායම් ක්‍රමයෙන් උසස් තලයකට ගෙන ඒම ප්‍රගමනයේ පදනමයි. අවධානයට ලක් වූ කණ්ඩායම් මෙන්ම එතරම් අවධානයට ලක් නොවූ කණ්ඩායම්ද අප අතර සිටිති. ආර්ථික සංවර්ධනයට මේ සියලු දෙනාගේම දායකත්වය අවශ්‍යය. එමෙන්ම සංවර්ධනයේ ප්‍රතිලාභ මේ සියලු කණ්ඩායම් වෙත සාධාරණ අයුරින් බෙදී යෑමද අවශ්‍යයි. සමාජය ප්‍රභාස්වර වන්නේ එවිටය.

-

හොරු අල්ලන අණ පනත්

-

හොරු අල්නවා, අල්ලනවා යැයි පුරසාරම් දොඩන දේශපාලන නායකයන් කිසිවෙකු ඒ සඳහා අවශ්‍ය අණ පනත් සම්මත කරගැනීමට වෙහෙසක් හෝ උනන්දුවක් දැක්වූයේ නෑ. අප කයිවාරු ගැහුවේ නෑ. අප කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කොට, අල්ලස හා දූෂණය වැළැක්වීම උදෙසා ලෝකයේ හොඳම ක්‍රමවේදයන්ගෙන් සමන්විත නවීන දූෂණ විරෝධි අණ පනත් සම්මත කරගැනීමයි.

දකුණු ආසියාවේ දූෂණය අවම රාජ්‍යය බවට අපේ රට පත් කරගැනීම උදෙසා අප පහත දැක්වෙන දූෂණ විරෝධි න්‍යායපත්‍රය ක්‍රියාවට නංවනවා.

1. දූෂණය පිටුදැකීම උදෙසා පූර්ණ කැප වීම

2. විනිවිදභාවයෙන් යුතු අනාගතයක් උදෙසා ආයතන ශක්තිමත් කිරීම

3. සොරකම් කරන ලද වත්කම් ප්‍රතිසාධනය

4. ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම

මේ වැඩපිළිවෙළ යටතේ:

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත සම්පූර්ණයෙන් ක්‍රියාවට නංවනවා.

2025 සිට 2029 දක්වා ජාතික දූෂණ විරෝධි සැලැස්මක් සකස් කර, ක්‍රියාත්මක කරනවා.

විගණන කාර්යන් වඩාත් බලවත් කරලීම උදෙසා, ජාතික විගණන පනත සංශෝධනය කරනවා.

වත්කම් බැරකම් හා ළබැඳියාවන් පිළිබඳ තොරතුරු හෙළි කිරීම කාර්යක්ෂම හා විනිවිද පෙනෙන අයුරින් ඉටු කරනවා.

මූල්‍ය අපරාධ සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ නීති රීති දැඩි කරනවා.

දූෂණ ක්‍රියා මැඬලීමේ නීති රීති හා පරීක්ෂණ ශක්තිමත් කරනවා.

සමාගම් නීතිය සංශෝධනය කර, හිමිකාරිත්ව ප්‍රතිලාභ රාමුව, මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ ජගත් කාර්ය සාධක බළකායේ ප්‍රමිතීන්ට අනුකූලව සකසනවා.

රාජ්‍ය ප්‍රසම්පාදන කාර්යයන් විනිවිද පෙනෙන සුළු අයුරින් ඉටු කරනවා.

බදු සහන ලබන ආයතන ලැයිස්තුව ප්‍රසිද්ධ කරනවා.

තොරතුරු දැනගැනීමේ පනත තවත් ශක්තිමත් කරනවා.

-

ගෞරවනීය කාන්තාව

-

සුළුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අප විවිධ පියවර ගන්නවා. ඒත් අපේ සමාජයේ බහුතරය එනම් 51.6%ක් වූ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් අප නිසි පියවර ගෙන තියෙනවාද? ඒ ප්‍රශ්නය අප ඉදිරියේ තියෙනවා.

අපි කාන්තාවට ගෞරවය, ශක්තිය, ආරක්ෂාව සහ ස්වාධීනත්වය ලැබෙන පදනමක් සහිත සමාජයක් නිර්මාණය කරනවා. ඊට අවශ්‍ය නීති රීති සම්පාදනය කරනවා. මේ සඳහා දැනටමත් අප කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සම්මත කර තිබෙනවා.

‘කාන්තාව සවිබල ගැන්වීමේ පනතට’ අනුව කාන්තා අයිතිවාසිකම් සඳහා වෙනම කොමිෂන් සභාවක් පත් කරනවා.

අගහිඟකම්වලින් පෙළෙන කාන්තාවට සහාය වීම සඳහා නව ප්‍රතිපත්ති සකසනවා.

වර්තමානයේ කාන්තාවන් මුහුණ දෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ඇතුළු වෙනත් ණය බරින් ඔවුන් මුදාගැනීම උදෙසා දැනට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ තව තවත් පුළුල් කරනවා.

කාන්තා ගෘහමූලික පවුල් සඳහා රුපියල් ලක්ෂ 10ක උපරිමයකට යටත්ව 3%ක පොලියක් යටතේ සහන ණය ලබා දෙන අතර, ඔවුන්ට ස්වයං රැකියා අවස්ථා උදා කරනවා.

නි‍වෙසේ, මඟතොටේ, වැඩබිමේ ආදි තැන්වල කාන්තාවන් මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට පියවර ගන්නවා.

සෑම පොලිස් ස්ථානයකම විධිමත් හා පරිපූර්ණ කාන්තා හා ළමා කටයුතු ඒකක පවත්වාගෙන යෑම තහවුරු කරමින්, කාන්තා පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ඉහළ නංවනවා.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51.6%ක් කාන්තාවන්. දේශපාලන ක්ෂේත්‍රයේ, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

සාර්ක් කලාපයේ සෙසු රටවල් සමඟ එක් වී කාන්තා අයිතිවාසිකම් සඳහා කලාපීය නීති සම්පාදනයටත්, ඒ සම්බන්ධයෙන් කලාපීය සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමටත් අප කටයුතු කරනවා.

2025 සිට 2030 දක්වා කාලය තුළ මේ කාර්යයන් සිදු කරනවා.

-

දැයට පිපෙන මල්

-

දරුවන්ගේ මානව හිමිකම් සුරැකීම, ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ඔවුන් අපයෝජනයට ලක් කිරීමෙන්, අපචාරයන්ගෙන් සහ ලිංගික කටයුතු සඳහා යොදාගැනීමෙන් මුදාගැනීම ආදිය සම්බන්ධයෙන් අවශ්‍ය නීති රීති සහ අණ පනත් 2025 වසර තුළ සම්පාදනය කරනවා.

යුනෙස්කෝ සංවිධානය සමඟ ඒකාබද්ධව, දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ආකාරයේ ඡායාරූප ආදිය සයිබර් අවකාශයට එක් කිරීමට එරෙහි නීති රීති දැනටමත් සම්පාදනය වෙමින් පවතිනවා. ළමා වින්දිතයන් වෙනුවෙන් වඩා සුදුසු රැකවරණ මාදිලියක් සකසා ගැනීමට අප පියවර ගන්නවා.

ළමා නිවාස, පෙර පාසල්, අතිරේක පන්ති, ක්‍රීඩා පුහුණු ආයතන සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය කිරීම තුළින් දරුවන්ගේ සුරක්ෂිතතාව, අවස්ථාවන් සහ අයිතිවාසිකම් සුරැකීමට අප නීති රීති ගෙන එනවා.

ඩිජිටල්කරණය වූ කාර්යබහුල සමාජ වටපිටාවක තනිවන සහ අසරණ වන දරුවන්ට පහසුවෙන් ළඟා විය හැකි උපදේශන සේවා මධ්‍යස්ථාන බිහි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පාසල් මට්ටමින් මෙන්ම පාසලට පරිබාහිරවද රජයේ අනුග්‍රහය සහ නියාමනය සහිතව මෙය සිදු කිරීමට අප ක්‍රියා කරනවා.

මේ කාර්යයන් 2029 වන විට නිම කරනවා.

-

යොවුන් වසන්තයේ

-

රටේ හෙට සවස භාර වෙන්නේ අද දවසේ තරුණ පරපුරට; Gen Z ගණයට. ඔවුන් ඉපදුණු දා සිට හැදුණේ වැඩුණේ වේගයෙන් දියුණු වන තාක්ෂණ ලෝකයත් සමඟ, ඩිජිටල් පරිසරයක. ඒ නිසාම ඔවුන්ගේ ජීවිත වේගවත්; ඉක්මන්.

ඩිජිටල් දැනුමැති, වේගවත් යොවුන් පරපුරට රටේ අනාගතය භාර ගැනීම උදෙසා අවශ්‍ය දැනුම සහ පන්නරය අප ලබා දෙනවා.

ඩිජිටල් අලෙවිකරණය (Digital Marketing), සේවා දායකයන්ට නිදහස් සේවාවන් සැපයීම (Freelancing), විද්‍යුත් වාණිජ කාර්යයන් (E-Commerce) ආදි ක්ෂේත්‍රයන්හි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඔවුන්ට නි‍වෙසේ සිටම ආදායම් උත්පාදනය කළ හැකි මාර්ග විවර කරනවා.

සමාජ මාධ්‍ය පරිහරණය කරමින් ආදායම් උපදවාගන්නා යොවුන් පරපුරට ඊට අවශ්‍ය නිර්මාණ සහ තාක්ෂණික මඟපෙන්වීම් ලබා දෙනවා. ආර්ථිකය ශක්තිමත් වෙද්දි, පිබිදී එන නවීණ කෘෂි සංස්කෘතිය, පරිසරකාමි සංචාරක ව්‍යාපාරය ආදි ක්ෂේත්‍ර තුළ රැකියා ලබා ගැනීමටත්, නව ව්‍යවසාය ආරම්භ කිරීමටත් අවශ්‍ය පසුබිම සකසනවා.

ජාතික තරුණ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන සේවාවන් පුළුල් කරනවා. විවිධ අයහපත් ඇබ්බැහියන්ගෙන් ඔවුන් මුදා ඵලදායි ලෙස සමාජගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.

සංස්කෘතික, සෞන්දර්යාත්මක හා නිර්මාණාත්මක කාර්යයන් සඳහා මෙන්ම ක්‍රීඩා කටයුතු සඳහා ද ඔවුන්ට අවකාශ සහ ආධාර ලබා දෙනවා.

දේශපාලන ක්ෂේත්‍රයේ තරුණ නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය පසුබිම සකසා දෙනවා. 1994 වසරේ අප ආරම්භ කළ, දේශපාලන විද්‍යා පීඨ සංකල්පය යළි පණ ගන්වනවා. ඒ සමඟ යොවුන් පාර්ලිමේන්තු උපදේශක කාර්යාලයද පිහිටුවා, නව පරපුරේ දේශපාලනඥයන් දැනුමින් සන්නද්ධ කරනවා.

නව පරපුරේ කතිකාව (Gen Z Dialogue) ඇති කරමින් නව අදහස් රාජ්‍ය පාලනයට එක් කරගන්නවා.

පළාත් යොවුන් කේන්ද්‍ර යළි පූර්ණ ලෙසම පණ ගන්වා, නවීන පහසුකම් ලබා දෙනවා.

-

ක්‍රීඩාවට ජවයක්

-

අතීතයේ සිට අනුගමනය කෙරුණු අවිධිමත් පිළිවෙත් නිසාත්, විවිධාකාරයේ පරිබාහිර අතපෙවීම් නිසාත් වර්තමානයේ ක්‍රීඩා පරිපාලනයේ අඩුපාඩු සහ දුර්වලතා දක්නට තිබෙනවා. මේ කවර හෝ හේතු නිසා අවසානයේ පීඩාවට පත්වන්නේ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්. මේ තත්ත්වය මඟහැරීම පිණිස නව ක්‍රීඩා නීතියක් අපි හඳුන්වා දෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව පත් කරන ලද කමිටුවේ නිර්දේශ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යූහගතකරණයට ලක් කරනවා. කමිටුව ඉදිරිපත් කළ කෙටුම්පත මේ වන විට අනුමැතිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරිපත් කර තියෙනවා.

ක්‍රීඩා පුහුණු ආයතනය වර්තමානයට ඔබින ආකාරයට උසස් කරනවා.

ගම්බද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම උදෙසා ගම් මට්ටමින් සහ පාසල් මට්ටමින් විධිමත් වැඩපිළිවෙළක් සකසනවා.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා.

2025 වසරේ මේ සියලු කාර්යයන් ආරම්භ කරනවා.

-

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්

-

වර්තමානයේ සමාජයේ පවත්නා වේගවත් හා සංකීර්ණතා නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නිසි රැකවරණය ලබාදීමට දූදරුවන්ට අසීරු වන අවස්ථා තියෙනවා. වැඩිහිටියන් පමණක් නොව, දූදරුවන්ද කරකියාගත නොහැකි අසරණ තත්ත්වයකට පත් වෙනවා. මේ නිසා නවීන සියලු පහසුකම්වලින් යුතු ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන රටපුරා ඉදිකරන්නට අප අපේක්ෂා කරනවා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා ජාතික ප්‍රතිපත්තිය 2025 වසරේ සංශෝධනය කරනවා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සමාජ, සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රජා මණ්ඩල මඟින් විවිධ ක්‍රියාකාරකම් සංවිධාන කරනවා.

-

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව

-

ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 4 වැනි ව්‍යවස්ථාව අනුව එවැනි තැනැත්තන්ගේ සියලු මානව අයිතිවාසිකම් හා මූලික නිදහස පූර්ණ වශයෙන් සහතික කිරීම සඳහා නව පනතක් 2025 වසරේ පාර්ලිමේන්තුවට ගෙන එනවා.

සංඥා භාෂා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමටත්, විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමටත් පියවර ගන්නවා. ඔවුන් සඳහා වූ ගොඩනැඟිලි ප්‍රවේශ ප්‍රතිපත්තිය කාලානුරූපීව සංශෝධනය කරනවා. විශේෂ රැකියා කෝටාවක් ඔවුන්ට වෙන් කරනවා.

-

සැමට ගෞරවය

-

අවධානයට ලක් නොවන එහෙත් මදිපුංචිකම්වලට ලක්වන සමාජයෙන් කොන් වූ කුඩා ප්‍රජා කණ්ඩායම් රට පුරා ඉන්නවා. මේ ප්‍රජා කණ්ඩායම් පීඩනයට ලක් වී තිබුණත් ඒ පිළිබඳ සමාජ අවධානය යොමු වන්නේම නැති තරම්. ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය ආදි හේතු මත කිසිදු පුරවැසියෙකුට කවර හෝ හේතුවක් මත වෙනස්කමක් හෝ මදිපුංචිකමක් ඇති නොවන සමාජයක් අපි නිර්මාණය කරනවා.

-

රාජ්‍ය සේවයට ඉර සේවය

-

2025 පාදක වසර ලෙස සලකා සියලුම රජයේ සේවකයන්ට (සෑම වසර තුනකට වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දීමනාව මාසිකව රු. 25,000/-ක් ගෙවනවා.

රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩි කර, ජීවන වියදම් දීමනාව සමඟ දළ වැටුප රු. 55,000/-ක් ලෙස සලකා අනිකුත් සියලුම තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව ගළපනවා.

වයස අවුරුදු 40ට අඩු රාජ්‍ය සේවක සේවිකාවන්ට සේවා කාර්යක්ෂමතාව වැඩිදියුණු කරලීමට ඉවහල් වන පාඨමාලා හැදෑරීම සඳහා වසරක පඩි සහිත නිවාඩු ලබා දෙනවා.

රාජ්‍ය ප්‍රතිපත්ති හා පරිපාලන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරනවා.

කුසලතාව මත පදනම් වූ උසස්වීම් ක්‍රමවේදයක් සකසනවා.

මුළුමහත් රාජ්‍ය සේවයම ඩිජිටල්කරණයට පරිවර්තනය කර, වඩාත් කාර්යක්ෂම සහ විධිමත් තලයකට ඔසවා තැබීමට පියවර ගන්නවා. ඊට සහායක් වනු පිණිස ලැප්ටොප්, ටැබ්, ස්මාර්ට් දුරකතන රාජ්‍ය සේවකයන්ට සහන පදනම මත ලබා දෙනවා.

රජයේ නව නිවාස වැඩපිළිවෙළේදී නිවාස හිමිකම් නොමැති රජයේ සේවකයන්ට ප්‍රමුඛත්වය ලබා දෙනවා.

ආර්ථිකය ශක්තිමත් වෙද්දී ඊට අනුකූලව ආපදා ණය මුදල ඉහළ නැංවීමටත්, දේපළ හා නිවාස ණය යළි ලබා දීමටත් කටයුතු කරනවා.

නි‍වෙසේ සිට රාජකාරි ඉටු කළ හැකි සේවාවන් නි‍වෙසේ සිට ඉටු කිරීමට අවසර ලබා දෙනවා. නිශ්චිත හා විධිමත් ස්ථාන මාරු ක්‍රමයක් හඳුන්වා දෙනවා.

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගන්නවා.

2025 වසරේ මේ කාර්යයන් සඳහා මුලපුරනවා.

-

ලබන වසරේ අලුත් රස්සා ලක්ෂයක්...!

-

අපේ ආර්ථික පිළිවෙත නිසා අනාගතයේ දේශීය හා විදේශීය ආයෝජන හමුවේ වැඩි වැඩියෙන් නව ව්‍යවසාය බිහිවී රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් නිර්මාණය වනවා. ඒ තත්ත්වය උදා වීමට වසරක, දෙකක කාලයක් ගතවන බැවින් ආරම්භයක් හැටියට 2025 වසර තුළ රැකියා 100,000ක් ලබා දෙන්නේ මෙන්න මෙහෙමයි.

• විදේශ රාජ්‍යයන් මඟින් සහාය ලබා දෙන සංවර්ධන ව්‍යාපෘති පසුගිය කාලයේ අත්හිටුවා තිබුණා. අපේ බංකොලොත්භාවය නැතිව ගොස් ඇති නිසා. ඒ ව්‍යාපෘති දැන් යළිත් ආරම්භ වෙනවා. මේ බොහොමයක් ව්‍යාපෘති ඉදිකිරීමේ කර්මාන්තය හා බැඳුණු ඒවායි. ව්‍යාපෘති ආරම්භයත් සමඟ නව රැකියා අවස්ථාවන් ගණනාවක් නිර්මාණය වෙනවා.

• සාමාන්‍ය පෙළ සහ උසස් පෙළින් ඔබ්බට අධ්‍යාපනය ලබන්න අවසර නොලැබෙන තරුණ තරුණියන් වෙනුවෙන් සංචාරක, නිෂ්පාදන කර්මාන්ත ආදී පුද්ගලික අංශය හා එක්ව නව වැඩපිළිවෙළක් 2025 වසරේ ආරම්භ කරනවා. මේ තරුණ තරුණියන්ට ඒ ආයතනවල වෘත්තීය පුහුණුව ලබාදෙන අතර පුරා වසරක් තිස්සේ ඔවුන්ට රජයෙන් රුපියල් 35,000ක දීමනාවක් දෙනවා. පුද්ගලික සමාගම්වල කැමැත්ත පරිදි ඔවුන්ට තවත් මුදලක් මීට එක් කරන්නත් අවකාශ තියෙනවා. පුහුණුවෙන් පසු ඔවුන්ට ඒ ඒ සමාගම්වලම රැකියා අවස්ථා හිමි කර දෙනවා.

• සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ලබා දෙන සහන ණය හේතුවෙන් රට පුරා නව රැකියා අවස්ථා බිහි වෙමින් පවතිනවා. විරැකියාවෙන් පෙළෙන අයට රැකියා ලබා ගැනීමට එයත් කදිම අවස්ථාවක්.

• කෘෂි නවීකරණය නිසා 2025 සිට 2027 කාලය පුරා නව රැකියා අවස්ථාවන් විශාල වශයෙන් බිහි වෙනවා.

• මීට අමතරව රජයේ සේවයේ විශ්‍රාම ගැනීමෙන් ඇතිවන පුරප්පාඩුවලින් තවත් රැකියා අවස්ථා ඇති වෙනවා.

-

රට රස්සා

-

අපේ රටට වර්තමානයේ විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් වෙන්නේ විදේශ ශ්‍රමිකයන්. ඔවුන් වෙනුවෙන් පහසුකම් රැසක් සම්පාදනය කරලීම උදෙසා විදේශ රැකියා කාර්යාංශ පනත සංශෝධනය කිරීමේ කාර්යයන් දැන් ක්‍රියාත්මකයි. මේ නව පනත යටතේ විදේශ ශ්‍රමිකයන්ට නිවාස යෝජනා ක්‍රම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, තීරු බදු සහන ආදී පහසුකම් රැසක් ලැබෙනවා.

එසේම විදේශ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීමට පියවර ගන්නවා. විදේශ වෙළෙඳපොළ පිළිබඳව තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා.

විදේශයන්හි වැඩිහිටියන් රැකබලා ගැනීම, දාරක සුරැකුම් සේවාවන්හි රැකියා අවස්ථා බහුලයි. ඒ ක්ෂේත්‍රයන්ට යෑමට කැමති තරුණ තරුණියන් අදාළ භාෂා ප්‍රවීණතාව සමඟ පුහුණු කරනවා.

2025 වසරේ මේ වැඩපිළිවෙළට මුලපුරනවා.

-

අවිධිමත් ශ්‍රම වෙළෙඳපොළ

-

විශාල පිරිසක් අවිධිමත් ශ්‍රම වෙළෙඳපොළේ රැකියා කරනවා. ත්‍රිරෝද රථ රියැදුරන්, පුද්ගලික බස් සේවකයන්, නාට්ටාමිවරුන්, තෙරපිවරියන්, පවිත්‍රතා සේවක සේවිකාවන් ආදී ක්ෂේත්‍ර ගණනාවක් මීට අයත් වෙනවා. මේ සියලුදෙනා වෙනුවෙන් දායකත්ව විශ්‍රාම වැටුපක් සහ සමාජ ආරක්ෂණයක් 2025 වසරේ හඳුන්වා දෙනවා. ඔවුන් සියලු දෙනාට වෘත්තීය ගරුත්වයක් ලබාදීම උදෙසා ප්‍රමිතිගත පුහුණුවක් ලබා දෙනවා. තෙරපිවරියන් සඳහා NVQ4 සහතිකය ලබා දීමේ පාඨමාලා දැනටමත් ආරම්භ කර තියෙනවා. ත්‍රිරෝද රථ රියැදුරන් බොහෝ දෙනෙක් ණයබරින් පීඩා විඳිනවා. ණය ආපසු ගෙවීම් අතපසුවූවන්ට ඒ ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කරලීම උදෙසා රාජ්‍ය බැංකු මඟින් අවස්ථා ලබා දෙනවා. පුද්ගලික බැංකු සමඟද සාකච්ඡා කර, මේ සහනය ලබා දීමට අප පියවර ගන්නවා.

-

රට රැකීම

-

ත්‍රිවිධ හමුදාවල තත්ත්වය නඟාසිටුවීම සහ රටේ ආරක්ෂාව ස්ථාවර කරලීම උදෙසා ආරක්ෂක විධිවිධාන (විශේෂ) පනත මේ වන විට සකස් කර අවසන්.

2030ට සරිලන අයුරින් ආරක්ෂක හමුදා නවීකරණය කරලීමේ කමිටු වාර්තාව දැන් අප වෙත ලැබී තියෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කරනවා.

රණවිරුවන් සඳහා ‘එක් නිලයක් - එක් විශ්‍රාම වැටුපක්’ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා. මෙමඟින් රණවිරු විශ්‍රාම වැටුප් අතර ඇති විෂමතා තුරන් කිරීමට අවකාශ ලැබෙනවා.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන් සඳහා අපේ හමුදා සාමාජිකයන් යෙදවීමේ අවස්ථා වැඩි කරනවා.

ආරක්ෂක ක්‍රියාදාමයන්ට සම්බන්ධ නිෂ්පාදන කර්මාන්ත ස්ථාපිත කරලීම දිරිමත් කරමින් ඒවායේ සේවය සඳහා විශ්‍රාමික හමුදා සාමාජිකයන් බඳවාගැනීමට ඉඩ ප්‍රස්තා සලසනවා.

නාවික හමුදාව සහ ගුවන් හමුදාව ගල්ෆ් මුහුදේ සේවාවන් සඳහා යෙදවීමෙන් අත්දැකීම් මෙන්ම ආදායම්ද ලබාගැනීමේ අවස්ථාව හමුදාවන්ට ලබා දෙනවා.

උඩින්, යටින්, මුහුදෙන් පොළොවෙන් කවර හෝ පැතිවලින් රටේ ආරක්ෂාවට තර්ජන එල්ල නොවන ලෙස සන්නද්ධ හමුදා බලයෙන්, දැනුමෙන් හා තාක්ෂණයෙන් පෝෂණය කරනවා.

-

පොලිස් පුනරුදය

-

අපරාධ යුක්ති පරිපාලනයේ මූලික අඩිතාලම සුරක්ෂිත, වගකීම් සහිත, දිවා රෑ ක්‍රියාශීලි, දක්ෂ නිර්භීත සහ අවංක නිලධරයන්ගෙන් සමන්විත පොලිසියක් සකසා ගැනීමයි.

පොලිස් නිලධරයන්ගේ ආයතනික මෙන්ම පරිබාහිර විෂය දැනුම සහ කුසලතා වැඩිදියුණු කරලීමේ අරමුණින් පොලිස් විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරනවා. එමඟින් සේවයේ යෙදී සිටියදී උපාධි, පශ්චාත් උපාධි ලබා ගැනීමට පොලිස් නිලධාරීන්ට අවස්ථාව සලසනවා.

විනයගරුක සමාජයක් බිහි කිරීමේ කාර්යයේදී පොලිස් සේවයෙන් කාර්යක්ෂම හා උපරිම සේවය ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකසනවා.

-

සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය.

-

වර්තමානයේ බන්ධනාගාර තුළ ඇත්තේ දැඩි තදබදයක්. එය බන්ධනාගාරගත වූවන්ගේ මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍යයටද අහිතකර තත්ත්වයක්. මේ නිසා සිරකරුවන් යහපත් මිනිසුන් සේ සමාජයට මුදා හැරීමේ ක්‍රියාවලිය අඩපණ වී තියෙනවා.

අප ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව නව බන්ධනාගාර පහසුකම් වැඩිදියුණු කරනවා.

එමඟින්, සෞඛ්‍ය, සනීපාරක්ෂක, ආහාර, සුබසාධන සේවා දියුණු කරනවා. මෙමඟින් සිරකරුවන් පුනරුත්ථාපනය කොට, යහමඟට ගෙන, සමාජයට වැඩදායි පුරවැසියන් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත් වෙනවා.

විවිධාකාරයේ දඬුවම් ලබන රැඳවියන්, සිරකරුවන් රිමාන්ඩ් හා දිගුකාලීන බන්ධනාගාරගත කිරීම් යළි විමසීමකට භාජනය කරනවා.

බන්ධනාගාර නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් මෙන්ම පුහුණුවද ලබා දීමට පියවර ගන්නවා.

-

අනීතික මත්ද්‍රව්‍ය දුරැලීම

-

තහනම් මත්ද්‍රව්‍ය භාවිතය, වෙළෙඳාම, ඇබ්බැහිකම සහ ඇබ්බැහියෙන් අත්මිදීමට ඇති නොහැකියාව සුවිශාල සමාජ ප්‍රශ්නයක්. මේ තත්ත්වය සහමුලින් පාලනය කිරීමට පියවර ගන්නවා.

මත්ද්‍රව්‍ය මැඬලීමෙහි සිට මත්ලෝලීන් පුනරුත්ථාපනය දක්වා සියලු කාර්යයන් ආවරණය වන පරිදි, පුළුල් බලතල සහිත මත්ද්‍රව්‍ය මැඬලීමේ අණදෙන මූලස්ථානයක් ස්ථාපිත කරලීම සඳහා නව පනතක් කෙටුම්පත් කර 2025 වසරේදී සම්මත කරගන්නවා.

------------------------

මවුබිම දිනවමු

-

ප්‍රභාස්වර සමාජයක් බබළවන්නේ රසඥතාවෙන් පිරිපුන් පුරවැසියාය. ඔහු සහකම්පනයෙන් පෝෂිතය. නිර්මාණ ප්‍රතිභාවයෙන් ප්‍රදීප්තය.

-

සංස්කෘතික පුරවැසියෙක්

-

භාෂාව, සාහිත්‍යය, සෞන්දර්යය, ලලිතකලාදිය බෞද්ධ ඉගැන්වීම් සමඟ පෝෂණය වුණු බව රහසක් නොවේ. යහපත් පුරවැසියෙකු බිහි කරගැනීමටත් එම ඉගැන්වීම් උපයෝගී කරගන්න පුළුවන්.

අතීතයේ සිටම හින්දු, කිතුනු හා ඉස්ලාම් ආගම් අප රටේ පැවතුණා. ශ්‍රී ලංකාව බහු ආගමික සහ බහු සංස්කෘතික රටක්. ඒ ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කරමින්, සියලු බැතිමතුන්, පුදබිම් ඇතුළු එම බහු වර්ණ සමාජය සුරක්ෂිත කිරීමේ වගකීමෙන් හා යුතුකමින් බැඳී ක්‍රියා කරනවා.

අනුරාධපුරයේ හා පොලොන්නරුවේ නව කැණීම් අතරින් සොයා විමසා ඇති වටිනා උරුමය හදාරා, අලුත් ශ්‍රී ලංකාවට ඒවායින් ගත හැකි ප්‍රයෝජන ලබාගන්නවා. පෙරදිග ලෝකය තුළ ප්‍රසිද්ධ රාජ්‍ය පාලන මූලධර්ම අතරින් දණ්ඩ හා භේද අත්හැර සාම හා දාන යන්නට ගරු කිරීම අපේ පිළිවෙතයි. අහිංසාව, කරුණාව, මෛත්‍රිය අපේ ජීව ගුණයයි. අපරදිග ලෝකයෙන්ද ගත හැකි දැනුම් උල්පත් මඟින්ද අප රට පෝෂණය කරනවා.

ඓතිහාසික මහනුවර ආශ්‍රිත බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ ඩිජිටල් කෞතුකාගාරයක් බිහි කිරීම අපේ එක් අභිලාෂයක් වනවා.

ත්‍රිපිටක අධ්‍යයනය සඳහා කෘත්‍රිම බුද්ධිය, නව තාක්ෂණික දැනුම ඇසුරින් පහසුකම් ඇති කරන්න පියවර ගන්නවා. මහා විහාර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම අපගේ තවත් ප්‍රධාන අරමුණක්.

ආරණ්‍යවාසි භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් ලබා දීමට අරමුදලක් ඇති කරනවා. පිරිවෙන් අධ්‍යාපනය වැඩිදියුණු කරනවා. පැවිදි බිමට පත් මෙහෙණින් වහන්සේලාගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කළ හැකි යටිතල පහසුකම් සපයනවා.

හින්දු ආගම අනුරාධපුර - පොලොන්නරු යුගවල සිටම ලංකාවේ පැතිරුණා. රටේ වර්තමාන හින්දු දේවාල දියුණු කරනවා.

ඒ යටතේ මන්නාරමේ තිරුකේතීශ්වරම්, යාපනයේ නගුලේශ්වරම්, හලාවත මුන්නේශ්වරම් යන කෝවිල් පදනම් කර ගනිමින්, දක්ෂිණ කෛලාශ කෝවිල් වන්දනාව හඳුන්වා දෙන අතර ත්‍රිකුණාමලයේ තිරුකෝනේශ්වරම්, මේ වට වන්දනාවේ ප්‍රධාන හින්දු මධ්‍යස්ථානය ලෙස ප්‍රවර්ධනය කරනවා.

හින්දු ආගමික නායකයන් සමඟ සාකච්ඡා කරමින්, ශ්‍රී ලංකාවේ පවතින හින්දු ආගම විධිමත් ලෙස හැදෑරීම සඳහා අධ්‍යාපන කේන්ද්‍රයක් ස්ථාපිත කරනවා.

ක්‍රිස්තියානි හා කතෝලික දරුවන්ට, කිතුනු පරිසරයක ආගම ඉගැන්වීම උදෙසා පහසුකම් සලසනවා. ක්‍රිස්තියානි හා කතෝලික අධ්‍යාපනය ලබා දෙන සෙමනේරිවලට හා මධ්‍යස්ථානවලට රජයේ ආධාර සහ සහයෝගය ලබා දෙනවා. මඩු දේවස්ථානය ඇතුළු වැදගත් ආගමික සිද්ධස්ථාන අවට යටිතල පහසුකම් සංවර්ධනය කොට බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කරනවා.

ඉස්ලාම් ආගමික අධ්‍යාපනය සඳහා පහසුකම් සලසමින්, මද්‍රසා අධ්‍යාපනය දියුණු කරනවා. මුස්ලිම් සිරුරු ආදාහනය කිරීම වැනි, අවිද්‍යාත්මක හා ආගමික විරෝධි කටයුතු පසුගිය කාලයේ සිදු වුණා. මේ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දුන් සියලු පවුල් වෙත වන්දි ලබා දීමට ක්‍රියා කරන අතර මෙවන් තත්ත්වයක් අනාගතයේ යළි කිසිදු අවස්ථාවක ඇති නොවන පරිදි නව නීති රීති අප 2025 වසරේ හඳුන්වා දෙනවා. කිසිදු ආගමකට, කිසිදු ජාතියකට තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවන්ට සහ ආගමික ඇදහිලිවලට බාධා නොවන සමාජ පරිසරයක් අප ස්ථාපිත කරනවා.

සියලු ආගමික සිද්ධස්ථාන වෙත සූර්ය විදුලිබල උත්පාදන කට්ටල ලබා දීමේ වැඩ සැලැස්ම ඉදිරියටම ගෙන යනවා.

-

ලලිත කලා ඔප කරනා...

-

කිසියම් රටක ජනයාගේ ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය වන්නේ එ‍රට කලාවෙන් සහ සංස්කෘතියෙන්.

අපේ රට උඩරට - පහතරට - සබරගමු නර්තන කලාවන්ගෙන් සුපෝෂිතයි. පෙර අපර දෙදිග සංගීතයෙන් සහ ජන සංගීතයෙන්, සිව්සැට කලාවෙන්ද සුපෝෂිතයි. පාරම්පරික සිත්තරුන්ගෙන්, මූර්ති ශිල්පීන්ගෙන්, නවීන සිත්තරුන්ගෙන් සහ චිත්‍ර කලාවෙන්ද සුපෝෂිතයි.

අපේ සංස්කෘතියෙහි අනන්‍යතාව රැක දෙන මේ ශිල්පීන් ජාත්‍යන්තරය වෙත ගෙන යෑමට අප කටයුතු කරනවා.

අපේ සාහිත්‍යකරුවන් අතර ජගත් කීර්තිධර ලේඛකයන් පවා සිටිනවා. ඔවුන් රැකගැනීම සහ දිරි දීමත් රජයේ වගකීමක්.

ආනන්ද කුමාරස්වාමි මාවත ආශ්‍රිතව ජාත්‍යන්තර කලා සහ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් පිහිටුවනවා. ඒ සඳහා කොළඹ නෙලුම් පොකුණ, ජෝන් ද සිල්වා රඟහල, කලා භවන, විද්‍යා කෞතුකාගාරය, මහවැලි කේන්ද්‍රය, නව නගර ශාලාව ආදි පරිශ්‍රයන් ඒකාබද්ධ කරනවා. දේශීය කලාකරුවන්ගේ කුසලතා ඔපවත් කරලීමටත්, කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ප්‍රවණතා උකහාගැනීමටත් අවශ්‍ය පසුබිම මේ කේන්ද්‍රස්ථානයට ලබා දෙනවා. මෙය ‘ආනන්ද කුමාරස්වාමි ජාත්‍යන්තර කලා හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය’ යනුවෙන් නම් කරනවා.

මේ කේන්ද්‍රයටම අනුබද්ධිතව දකුණු ආසියානු සංස්කෘතික කේන්ද්‍රයක් ස්ථාපිත කරනවා. 2025 වසරේ මේ කාර්යයන් ආරම්භ කරනවා.

කොළඹ, ගාලුමුවදොර පිහිටි පැරණි යුද හමුදා රෝහල් ගොඩනැඟිල්ල නූතන කලා නිර්මාණ කෞතුකාගාරයක් සඳහා වෙන් කර දී ඇති අතර, එහි වැඩ කටයුතු 2025 වසරේ ආරම්භ වෙනවා.

පාරම්පරික හා නවීන නැටුම්, වැයුම් සහ ගැයුම්, කලා ශිල්ප, කර්මාන්ත, අත්කම් භාණ්ඩ, සූපශාස්ත්‍ර, සැරසිලි, මෝස්තර, විලාසිතා මෙන්ම රූපාලංකාර ආදි ක්ෂේත්‍රයන් සඳහා මේ කේන්ද්‍රයේ පහසුකම් සලසා, එක් අතකින් රැකියා උත්පාදනය කරනවා. අනෙක් අතින් විදේශ සංචාරක ආකර්ෂණය දිනාගන්නවා.

අද වන විට ග්‍රන්ථ ප්‍රකාශනය, ඊ-බුක් තාක්ෂණයත් සමඟ අරගල කරමින් සිටිනවා. පතපොත මුද්‍රණය සඳහා පහසුකම් පුළුල් කර, ලේඛකයන් සහ ප්‍රකාශකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අප පියවර ගන්නවා.

වේදිකා නාට්‍ය, මුද්‍රා නාටක, බැලේ, ඔපෙරා වැනි ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධියට අවශ්‍ය පසුබිම සකස් කරනවා.

සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය පණ ගන්වා, කලාපයේ සංස්කෘතික හා කලා කටයුතු දියුණු කිරීම සඳහා පදනමක් කර ගන්නවා.

ජනප්‍රිය සංස්කෘතිය ප්‍රිය කරන යොවුන් පරපුර වෙනුවෙන් පොප් සංගීත හා නර්තන කලා මධ්‍යස්ථානයක් ද අප ආරම්භ කරනවා.

සෑම දිස්ත්‍රික්කයකම අංගසම්පූර්ණ රංග ශාලාවක් ඉදි කිරීමට කටයුතු කරන අතර දැනට පවත්වා ගෙන යන සංස්කෘතික මධ්‍යස්ථාන හා ඒකාබද්ධ කර, වාර්ෂික වැඩසටහන් සම්පාදනයට පියවර ගන්නවා.

ටවර් හෝල්, එල්ෆින්ස්ටන් ආදි කොළඹ නගරයේ රජයට අයත් රංග ශාලා සියල්ල එක් ජාලයක් යටතට ගෙනැවිත් ඒවායින් උපරිම පලය ලබාගත හැකි පරිදි සංවර්ධනය කරනවා.

ජාතික චිත්‍රපට සංස්ථාව වර්තමාන ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට සරිලන සේ චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාවක් බවට පත් කරනවා. එය ‘ෆිල්ම් ශ්‍රී ලංකා’ යනුවෙන් නම් කරනවා. මෙමඟින් ශ්‍රී ලංකාවේ සිනමාව ජාත්‍යන්තර තලයට හා ඩිජිටල් වේදිකාවන්ට ගෙන යෑමේ සැලසුම් ක්‍රියාත්මක කරනවා. සිනමා සංවර්ධනය වෙනුවෙන් වැඩ සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙන මේ පනත් කෙටුම්පත දැන් අවසන් අදියරෙහි සැකසෙමින් පවතිනවා. මෙය සම්මත වූවායින් පසුව, චිත්‍රපට ක්ෂේත්‍රයේ කිසිදු ව්‍යාපාරික කාර්යයකට රාජ්‍ය මැදිහත් වීමක් සිදු වන්නේ නෑ. සිදු වන්නේ නියාමන කාර්යයන් පමණයි. මෙම පනත 2025 වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

වාරණ මණ්ඩලය අහෝසි කර, ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කරලීමේ පනත් කෙටුම් පත දැන් සකස් කර අවසන්. වර්ගීකරණ සහතිකය ලද කිසිදු කලා නිර්මාණයකට අපරාධ නීතිය යටතේ චෝදනා කිරීමට ඇති සියලු ඉඩකඩ එම පනත් කෙටුම්පත මඟින් අහුරා තිබෙනවා. 2025 වසරේ මේ පනත සම්මත කර ක්‍රියාවට නංවනවා.

-

යහපත් මාධ්‍ය පරිසරයක්

-

සොඳුරු, සංවේදි ජනසමාජයක් බිහි කරන්නට බහුජන මාධ්‍ය හා නව මාධ්‍ය අවශ්‍ය වෙනවා.

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකසා, පුළුල් මානව හිතවාදී, විනයගරුක, නීතිගරුක, රසවින්දනය සහිත උසස්, ගුණ නුවණැති සමාජයක් සඳහා අඩිතාලම සවිමත් කරනවා. ජනමාධ්‍යවේදීන්, නිදහස් ලේඛකයන් ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. ජනමාධ්‍යවේදය උදෙසා උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමේ කටයුතු 2025 දී ආරම්භ කරනවා.

ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලු එකින් එක විසඳීමේ වැඩපිළිවෙළට මුලපුරනවා.

ආචාරධර්මීය සුරක්ෂිතභාවය ඇති විනිවිද පෙනෙන, ප්‍රඥාගෝචර මාධ්‍ය පරිසරයක් උදාකරලීම පිණිස විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිෂන් සභාවක් ස්ථාපිත කරනවා.

------------------------

එකමුතු ශ්‍රී ලංකා

-

දකුණේ දරුවන් හිනැහෙන දවසක හිනැහෙමු අපි ලංකා

උතුරේ දරුවන් හිනැහෙන දවසක හිනැහෙමු අපි ලංකා

දකුණත් උතුරත් අත්වැල් බැඳගත් දවසක අපි ලංකා

රටේම දරුවන් සමඟින් සතුටින් හිනැහෙමු අපි ලංකා

-

එකම දැයක්...

-

අපේ රටේ බොහෝ ජාතීන් ජීවත් වෙනවා. ඒ හැම දෙනාම ශ්‍රී ලංකාවේ පුරවැසියෝ. ඔවුන් අතර එකමුතුව හා දේශයේ ඒකීයභාවය ආරක්ෂා කරමින්, සියලු දෙනාට යහපත් ජීවිත ගත කිරීමේ අයිතිය අප ලබා දෙනවා.

දෑවුරුද්දකට කලින් උද්ගත වුණු ආර්ථික අර්බුදය නිසා අපේ රටේ ජීවත් වන සියලු ජාතීන්ගේ බලාපොරොත්තු සුන් වී ගියා. ඉදිරියට යෑමේ අවස්ථාවන් අහිමි වී ගියා. දැන් අප සියලු දෙනාම එකමුතුව අපේ අනාගතය නිර්මාණය කරගැනීමේ දැවැන්ත අභියෝගයට උර දිය යුතුයි. ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජාතීන්ට යහපත සැලසෙන පරිදි අපේ අනාගතය සකස් කරගත යුතුයි.

දෙමළ කතා කිරීම නිසා කිසිදු පුරවැසියෙකු සිංහල කතා කරන ජන සමාජයෙන් හෝ සිංහල කතා කිරීම නිසා දෙමළ නැත් නම් මුස්ලිම් සමාජයෙන් හෝ වියෝ විය යුතු නැහැ. හැම ජන වර්ගයකටම ඥාතීන්, මිත්‍රයන් ලෙස ජීවත් වීමේ පසුබිම අපගේ රජය විසින් සකස් කරන බවට අප ශපථ කරනවා.

සියලු ජනතාවගේ සංහිඳියාව, ජීවන සමෘද්ධිය, සශ්‍රීකත්වය හා සෞභාග්‍යයේ අනන්‍යතාව සුරක්ෂිත කරමින්, දිවිපෙවෙත ගත කිරීමට අවශ්‍ය අවකාශය ලබා දෙනවා. විශේෂයෙන්ම උතුරු-නැඟෙනහිර කලාපීය සමාජ, ආර්තික, දේශපාලනික හා සංස්කෘතික, අස්පර්ශීය සංස්කෘතික උරුමය සුරැකීම සම්බන්ධව මෙන්ම අධ්‍යාපනික ගැටලුවලටද යථා විසඳුම් හා සමාජ ප්‍රශ්නවලටද පිළිතුරු සපයනවා.

යුද සමයේ අහිමි වූ ඉඩම් පිළිබඳ ප්‍රශ්නය සංකීර්ණ කරුණක්. ඉඩම් ගැටලුවට තිරසර විසඳුමක් ලබා දීම සඳහා ජාතික ඉඩම් කොමිසම පිහිටුවීමට අප ක්‍රියා කරනවා.

යුද සමයෙන් පසු නව ජීවනයකට අවතීර්ණ වෙමින් සිටින උතුරු-නැ‍ඟෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනතාවට ගැටලු ගණනාවක් තිබෙනවා.

මේ ගැටලු විසඳීම සඳහා:

* සත්‍ය සහ සංහිඳියා කොමිසම් පනත ක්‍රියාවට නංවනවා.

* අතුරුදන් වූවන් පිළිබඳ නවාස් කොමිසම් වාර්තාව ක්‍රියාත්මක කරනවා.

*පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට ස්වයං රැකියා කිරීම සඳහා මූල්‍ය සහාය ලබා දෙනවා.

-

මහ බලයක්...

-

ඉදිරි වසර පහ තුළ, අපේ රට තුළ කරන්නට ඇති වැඩ කන්දරාව තනි ආණ්ඩුවකට දරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා මධ්‍යම ආණ්ඩුව සමඟ පළාත් සභා සියල්ල එක් වී මේ බර දැරිය යුතුයි.

13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරලීම පිළිබඳව 2024 වසරේ අප ඉදිරිපත් කළ යෝජනා අනුව;

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පළාත් සභාවන්ට බලතල ලබා දෙනවා. පළාත් සභාවන්ට අයත්, එහෙත් දැනට මධ්‍යම ආණ්ඩුව පවරා ගෙන ඇති පළමු උප ලේඛනයේ බලතල නැවත පළාත් සභා වෙත පවරනවා.

2. පළාත් සභා සඳහා පොලිස් බලතල ලබා දීම සම්බන්ධ තීරණ ගැනීම නව පාර්ලිමේන්තුවට භාර කරනවා.

3. පක්ෂ නායකයන් අනුමත කළ, උපලේඛන 3 හි අඩංගු බලතල පළාත් සභා වෙත පවරා දෙනවා.

ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව තම පළාත තුළ:

• පාසල් අධ්‍යාපනය

• වෘත්තීය පුහුණුව

• උපාධි ප්‍රදානය කිරීමේ ආයතන (අවශ්‍ය නම් පසු කලෙක විශ්වවිද්‍යාල මට්ටමට උසස් කළ හැකි අන්දමට)

• පළාත් සංචාරක ප්‍රවර්ධනය

• කෘෂි නවීකරණය

ආදි කාර්යයන් ඉටු කිරීමේ බලය පළාත් සභා වෙත ලබා දෙනවා.

මේ කාර්යයන්ට අදාළ නව අණ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නවා.

දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවීමට ක්‍රියා කරනවා. දහසක් මතවාද අතර එකම රටක් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, ආදිවාසි කවර ජන කොටසකට වුවත් ස්වාධීනව, අනන්‍ය සාධාරණ ලෙස ක්‍රියා කිරීමේ අයිතිය පවරා දෙනවා. මධ්‍යම රජයේ සිට පළාත් සභා හා පළාත් පාලන ආයතන වෙත බලතල පැවරීම සඳහා අණ පනත් සකසනවා.

2025 වසර තුළ පළාත් පාලන ක්‍රමයේ වෙනසක් සිදු කිරීමට මුල පුරනවා. දැනට ක්‍රියාත්මක වන නගර සභා ප්‍රතිව්‍යුහගත කොට, මහනගර සභා බවට පත් කරනවා. ප්‍රාදේශීය සභා සහ මහනගර සභා මඟින් බලය ක්‍රියාත්මක කරන ක්‍රමයක් සකසනවා.

-

දිනවමු ශ්‍රී ලංකා

-

ශ්‍රී ලංකාවේ අනාගතය ශක්තිමත්ව ගොඩනැංවීමේදී, අනිවාර්යයෙන්ම සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ගණනාවක් තියෙනවා.

ජනාධිපතිවරණයෙන් පසු, එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වගකීම පාර්ලිමේන්තුවට ලබා දෙනවා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේද, නැතිද යන්න තීරණය කිරීම නව පාර්ලිමේන්තුවට පැවරෙනවා.

* මැතිවරණ ක්‍රම

මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා වූ නිර්දේශ ඉදිරිපත් කිරීම උදෙසා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ කමිටු වාර්තාවේ නිර්දේශ අනුව නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමේ කාර්යය ද නව පාර්ලිමේන්තුව විසින් සිදු කරනවා.

යුරෝපයේ දේශපාලන පක්ෂ අභ්‍යන්තරය තුළ විනිවිද පෙනෙන උසස් ක්‍රමවේදයන් ක්‍රියාත්මකයි. මැතිවරණ වියදම් සම්බන්ධයෙන් හා අනෙකුත් පක්ෂ ක්‍රියාකාරකම් පිළිබඳව නව නීතිරීති හඳුන්වා දෙනවා.

* පාර්ලිමේන්තු ප්‍රමිති පනත

පාර්ලිමේන්තු ප්‍රමිතීන් පිළිබඳ පනතක් නීති ගත කරනවා. ඒ පනතේ සඳහන් ප්‍රමිතීන් බරපතළ ලෙස උල්ලංඝනය කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ හැකි අන්දමේ වගන්ති ඒ පනතට ඇතුළත් කරනවා.

පුරවැසි ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන්ට රජය සමඟ ව්‍යාපාර කරලීම අහුරන නීති සම්මත කරනවා.

* දෙවැනි මන්ත්‍රණ සභාව

ව්‍යවස්ථාදායක සභා වාර්තාවට අනුකූලව පළාත් සභා නි‍යෝජිතයන් සහ සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් සැදුම් ලත් දෙවැනි මන්ත්‍රණ සභාවක් ස්ථාපිත කරනවා. පළාත් සභාවන්ට ව්‍යවස්ථාව සහ නීති මඟින් ලබා දී ඇති සියලු බලතල සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කෙරෙන්නේද යන්න අධීක්ෂණය කිරීමද මෙම සභාවට පැවරෙනවා.

-

පුරවැසියා බලගැන්වීම

-

බලවත් පුරවැසි සමාජයකින් රටට බොහෝ පල ප්‍රයෝජන ලබාගත හැකි වනවා. එහෙත් අපේ රටේ ඊට පදනම සපයන නීති රීති සම්පාදනය වී ඇත්තේ අඩුවෙන්. ඒ නිසා පුරවැසියන් බලවත් කිරීමේ අරමුණ ඇතිව අප නව නීති රීති සහ ආයතන කීපයක් හඳුන්වා දෙනවා.

* සමාජ සාධාරණ කොමිසම

ඍජුවම ජනතා හඬට සවන් දීමේ අභිලාෂය ඇතිව සමාජ කොන් කිරීම් සහ බැහැර කිරීම් වැළැක්වීම උදෙසා ස්ථාපිත කෙරෙන සමාජ සාධාරණ කොමිසම ස්ථාපිත කරනවා.

* මහජන ප්‍රාරම්භන පනත

දැනට ජනතා පරමාධිපත්‍ය අභ්‍යාස කරන ප්‍රධාන මාර්ගය වෙන්නේ ජනාධිපතිවරණ, පාර්ල‍ිමේන්තු, පළාත් සභා ආදි මැතිවරණයන්හිදී ඡන්දය පාවිච්චි කිරීම යි.

අප හඳුන්වා දෙන මහජන ප්‍රාරම්භන පනත මඟින් මහජනතාවට පාර්ලිමේන්තුව වෙත යෝජනා සහ අණපනත් ඉදිරිපත් කිරීමේ අවකාශය උදා වෙනවා. මෙමඟින් ව්‍යවස්ථා සම්පාදනයට ඍජුවම සම්බන්ධවීමට පුරවැසියන්ට හැකි වෙනවා.

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයට ඉතා බලවත් අංගයක් මෙමඟින් එකතු වෙනවා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන භාවිතයක් තුළ ඍජු ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රම පවත්වාගෙන යන රටවල් අතරට මෙමඟින් අපේ රටද එක් කෙරෙනවා.

* ජන සභා

ප්‍රාදේශීය ග්‍රාමීය ජනතාව සංවර්ධන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සක්‍රියව දායක කරගැනීම ජන සභාවන්හි අරමුණයි. දැනටමත් නියමු ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මකයි. ඒවායේ අත්දැකීම් පදනම් කරගනිමින්, රට පුරා ග්‍රාමසේවා වසම් 14,002ක ඇති 50,000 ඉක්මවන ගම්මාන සියල්ල නියෝජනය වන පරිදි ජන සභා පිහිටුවනවා.

-

ඉතින් හදමු අපි අලුත් රටක්...!

-

අපේ මේ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව දිනවීමටයි; පක්ෂයක් හෝ පුද්ගලයකු හෝ දිනවීමට නෙවෙයි.

රනිල් නියෝජනය කරන්නේ තනි පක්ෂයක් නෙවෙයි; තනි පුද්ගලයෙක් නෙවෙයි; ඔහු නියෝජනය කරන්නේ මුළු මහත් ශ්‍රී ලංකාවමයි:

ජාති භේදයෙන්, ආගම් භේදයෙන්, වෙනත් කිසිම භේදයකින් විරසක නොවූ ශ්‍රී ලංකාවයි; අප හැමගේම අනාගතයයි.

මේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යන්න රනිල් සමඟ එක් වෙන්න.

ඔව්...!

එතකොට අපට අනාගතය ගොඩ නංවන්න පුළුවන්...!

අනාගතය ගොඩනැංවීමේ ව්‍යායාමයේ කොටස්කරුවෙක් වෙන්න.

අප හා එක්වන්න.

ඔව්... මේ ඡන්දෙන් රනිල් දිනනවා.

ඒ කොහොමද?

අපි අවුරුදු දෙකකට කලින් දැක්කෙ පෝලිම්. කාලය ගත වුණේ පෝලිම්වල. ගෙවල් කළුවරයි. රස්සාවක් කරකියාගන්න විදියක් නෑ. අතමිට හිඟයි.

ඒත් අද අපි දකින්නෙ සතුටින් හිනා වෙලා ඉන්න රටක්; විදුලියෙන් බබළන රටක්; දෙයියනේ කියලා රස්සාවක් කරගෙන අත මිට සරු කරගන්න පුළුවන් පරිසරයක්.

මේ මහා වෙනස කළේ රනිල්.

රනිල් අභියෝග භාර ගන්න නායකයෙක්; පටන්ගත්තු වැඩ ඉවර කරපු, ඉවර කරන නායකයෙක්.

ජනතාවට සින්නක්කර ඉඩම් ලබා දෙන වැඩපිළිවෙළට ඔහු මුලපිරුවෙ මීට අවුරුදු විසිතුනකට කලින්. එදා සිට ඔහු මේ වෙනුවෙන් වෙහෙසුණා. ඔහුට ඉහළින් සිටි ජනාධිපතිවරුන් මේකට අවසර දුන්නේ නෑ. රනිල් වැඩේ අත්ඇරියෙත් නෑ. ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය විතරක් නෙවෙයි, නිවාස අයිතියත් දැන් ලැබෙනවා.

ඒ නිසා රට ඉහළට ඔසවන්නත්, අදට වඩා අපේ ජීවිත යහපත් කරන්නත් ශක්තිය තියෙන්නෙ රනිල්ට.

අනෙක් අපේක්ෂකයන් එකිනෙකා ජනාධිපතිකමට සටන් කරද්දි, රනිල් ඒ සටනට එක් වෙන්නෙ නෑ.

රනිල්ට එක් එක් පුද්ගලයන්ට එරෙහිව සටනක් නෑ; රනිල්ගෙ සටන තියෙන්නෙ අගහිඟකමට එරෙහිව; විරැකියාවට එරෙහිව; දුප්පත්කමට එරෙහිව; මන්දපෝෂණයට එරෙහිව.

රනිල් මේ සටන් කරන්නෙ තනතුරක් වෙනුවෙන් නෙවෙයි. රනිල් සටන් කරන්නෙ මේ රටේ තරුණ තරුණියන්ගෙ අනාගතය නඟාසිටුවන්න. රනිල් සටන් කරන්නෙ රටට ජය ගේන්න. රනිල් සටන් කරන්නෙ ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත් කරන්න.

අන්න ඒ නිසයි රනිල් දිනන්නෙ.

අන්න ඒ නිසයි රනිල් පරාද කරන්න කාටවත්ම බැරි වෙන්නෙ.



අදහස් (0)

රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලංකාවේ පළමු සිංහල පුවත්පත “ලංකා ලෝකය”
2024 සැප්තැම්බර් මස 16 256 0

ශ්‍රී ලංකාවේ පළමුවන සිංහල පුවත්පත වන ලංකා ලෝකය මුද්‍රණය කරන ලද්දේ වසර 164කට පමණ පෙරාතුව ය. ලංකෝපකාර මුද්‍රණාලය දැනට ලංකාවේ තිබෙන පැරණිම මුද්‍රණ යන්ත්‍ර


ඉස්ලාම් දහම පරිපූර්ණ කළ නබිතුමාණෝ
2024 සැප්තැම්බර් මස 16 147 0

ලොව පුරා ජීවත් වන කෝටි සංඛ්‍යාත මුස්ලිම් ජනතාව විසින් පිළිපදිනු ලබන ඉස්ලාම් ධර්මය මෙලොව පරිපූර්ණ කර දුන් වක්තෘවරයාණන් වන මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දි


සුළඟේ යන මැතිවරණ පොරොන්දු
2024 සැප්තැම්බර් මස 14 239 0

හරියටම තව සතියකින් සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 38 දෙනකු ඉදිරිපත් වී සිටිය ද මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්නේ ඉන් කි


​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 526 3

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


බරපතළ අභියෝග යුගයක්
2024 සැප්තැම්බර් මස 12 357 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත මෙරට නවවැනි විධායක ජනාධිපති තෝරාගැනීමේ ජනාධිපතිවරණය කරුණු කිහිපයක් නිසා වැදගත් වෙයි. කොවිඩ් 19 ගෝලීය වසංගතය, දැඩි ආර්ථි


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 911 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site