IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


රස්තියාදුකාර පෙනුමේ අසහනය

”ඉඩම් බලතල නොවෙයි. උතුරේ ජනතාවට ඉඩම් අවශ්‍යයි. ඒවා ලබාදෙන්න  ඕන. පොලිස් බලතල නොවෙයි එ් අයට පොලිසිවල ආරක්‍ෂාව අවශ්‍යයයි. ඒ ආරක්‍ෂාව දෙන්න  ඕන.” අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මේ දිනවල දේශපාලන ක්ෂේත‍්‍රයේ රැව්පිළිරැව් දෙන 13+ (ප්ලස්) සංවාදයට සම්බන්ධ වූයේ එහෙමය. එහෙත් එය තමාගේ පෞද්ගලික මතයක් සේ හැඳින්වීමටද අමාත්‍යවරයා වගබලා ගත්තේය. යුද සමයේ සිටම උතුරු නැගෙනහිර ජනතාවම සමඟ වඩාත්ම සමීප සම්බන්ධතා පවත්වමින් සංවර්ධනය හා මානුෂික ආධාර රැගෙන ගිය ඇමැතිවරයා ලෙස තම අත් දැකීම් ඇසුරින් ඔහු මේ මතය ඉදිරිපත් කළා විය හැකිය. මේ නිසා උතුරු නැඟෙනහිරට දෙන නොදෙන පොලිස් හා ඉඩම් බලතල සම්බන්ධයෙන් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගේ මතයේද යම් බරක් තිබෙන බව පෙනේ. එල්.ටී.ටී.ඊ.යේ පරාජයත් සමඟම උතුරේ හා නැගෙනහිර ජනතාවට ආරක්‍ෂාව හා ඉඩම් පරිහරණය කිරීමේ පැත්තෙන් දැවැන්ත සහනයක් ලැබිණි. දැන් එල්.ටී.ටී.ඊ.ය ඔවුන්ගේ ඉඩම් බලෙන් අත්පත් කරගන්නේ නැත. එසේම කොටි පොලීසි තිබූ සමයේ මෙන් ගෙවල් වලට පැමිණ බලහත්කාරයෙන් තම දරු දැරියන් කොටි හමුදාවට බඳවාගන්නේද නැත. කප්පම් ගන්නේ ද නැත. එහෙත් එල්.ටී.ටී.ඊ.යෙන් නිදහස ලබා වසර දෙකකට පසුව උතුරේ ජනතාව එපමණකින් සෑහීමකට පත්වෙන බවක් නොපෙනේ. ජනතාවගේ හැටි එහෙමය. දැන් දැන් දකුණටත් යුද්ධය අමතක වෙමින් පවතී. උතුරටත් එහෙමය. දැන් ඔවුන් බලාකියාගන්නා වගකීම පැවරෙන්නේ ශී‍්‍ර ලංකා රජයටය. මේ අතර පළාත් සභා ක‍්‍රමයත් සමඟ ඉඩම් හා පොලිස් බලතල පිළිබඳ කතිකාවත පැනනඟින්නේ අලූත් මානයක සිට බව පෙනේ. උතුරේ එල්.ටී.ටී.ඊ. විරෝධී බුද්ධිමතකු සේ සැලකෙන යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රත්න වේල් හූල් සඳහන් කරන පරිදි ඔවුන්ගේ සෑම හමුවීමකටම වාගේ ආරක්‍ෂක අංශවල සොයා බැලීමක් පවතී. සාහිත්‍ය හා පුස්තකාල කටයුක්තක දී වුවද එසේමය. පොලිසි පළාතේවත් නැත. එය ඔවුන්ට අසහනයක්ලූ. කොටින්ම නව යෞවනියකගේ කොටහලූ මඟුලකට පැමිණෙන ඥති පිරිස ගැන වුවද ආරක්‍ෂක අංශ සොයා බැලීමක යෙදෙනවා යැයි පැවසේ. තවමත් අවිශ්වාසයේ පදනමින් මෙවන් තත්ත්වයක් සිදුවිය හැකිය. මේ වන විට රත්නවේල් හූල් වැනි අයත් රට හැර ගිහිල්ලාය. උතුරේ ඉඩම්වල පදිංචි කිරීම් වලදී ද පැරණි ඉඩම් සමහර අයට නොලැබෙන බවට මැසිවිල්ලක් තිබේ. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී පවා කිලිනොච්චියේ තම පාරම්පරික ඉඩම් අහිමි වූ බවක් සඳහන් කරයි. මේ නිසා ඉඩම් පිළිබඳ සැකයක් ජනිත වෙලාය. මේවායේ සත්‍ය අසත්‍යතාව දකුණේ අය දන්නේ නැත.ඒ වෙනුවට දකුණට කාන්දුවෙමින් පවතින්නේ ද්‍රවිඩ සන්ධානය ඉඩම් හා පොලිස් බලතල සහිත පළාත් සභා ක‍්‍රමයටත් එහාට ගිය විසඳුමක් ඉල්ලා සිටීමේ හඬ පමණකි. දැන් යුද්දෙත් ඉවරයි  ඕකුන්ට මොකුත් දෙන්න එපා යැයි කියන පිරිසක්ද වෙති. මේවා සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් දකුණේ නැති ගානය. කොහොම නමුත් අඬන්න ඉන්න මිනිහාට ඇඟිල්ලෙන් අනින්නේ නැති භාවිතයකට පසුගිය අවුරුදු දෙක තුළ අවතීර්ණ වී සිටියා නම් ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම් වුවද බාලවීමට ඉඩ තිබුණි. අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ බලතල කෙසේ වෙතත් ඉඩම් හා ආරක්‍ෂාව උතුරේ ජනතාවට ලබාදිය යුතුය යන මතය ඉදිරිපත් කරන්නේ මේ හැම කාරණයක් ගැනම අත්දැකීම් සහිතව වාගේය. එහෙත් උතුරේ ප‍්‍රශ්නය සමස්ත අර්බුදයේ කොටසක් මිස එක් ප‍්‍රශ්නයක් පමණක් නොවන්නේය. ඔහු පසුගිය දා පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යංශයේ වපසරියට සීමා වුණේ නැත. ඔහු ආණ්ඩුව වෙනුවෙන් දිගට හරහට බැට් කළේය. සමහරු මෙන් ආරක්‍ෂාකාරී පියවර අනුගමනය කළේ ද නැත. මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට ඇතැම් ප‍්‍රහාර එල්ල කළේ විකට්ටුවෙන් ද එළියට ගිහිල්ලාය.  ඕවා අපිට අදාළ නොවේ යැයි කීවේ නැත. අයියාගේ ආණ්ඩුව නිසා බැසිල් මල්ලී එහෙම කළා ද ? එහෙම ප‍්‍රශ්න කරන අයත් සිටිය හැකිය. එහෙත් ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, චම්පික රණවක වැනි අමාත්‍යවරු ඒ අයියාගේ මල්ලිලා නොවෙති. එහෙම නම් ඔවුන්ද රජය වෙනුවෙන් කඩුල්ලෙන් ඉවතට ගොස් ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරන්නේ ද පිළිතුරු දෙන්නේ නෑදෑකමට නොවේය. ආණ්ඩුවක සාමුහිකත්වය පිළිබඳ ප‍්‍රශ්නය මේ ආණ්ඩුවේ සමහරුන් අවබෝධ කරගෙන නැති ගානය. දැන් 13+ ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේය. ඉසෙඞ් ලකුණු අවුල අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේය. විශ්වවිද්‍යාල සිසු අරගලය අමාත්‍ය එස්. බී. දිසානායකගේය. එතකොට කූඩ ප‍්‍රශ්නය අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේය. සමහර ආණ්ඩුවේ අයටම අනුව මේ අය නාගන්නවාය. පරණ යූ.ඇන්.පී. කාරයෝ නිසා දැඟලිල්ල වැඩිය. අපේ අය කවුරුවත් එහෙම නාගන්නේ් නැත. මෙහෙම කල්පනා කරන අයද සිටිති. එතකොට අනිත් අය දෙනදෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න පොඩි එවුන් වාගේ ඉන්නවාද? එයද ප‍්‍රශ්නයකි? මේ අය නම් එහෙම නොවේය.  ඕනෑම ප‍්‍රශ්නයකට මුහුණ දිය හැකි තෙම්පරාදු ජ්‍යෙෂ්ඨයෝ ද මේ අතර වෙති. එහෙම නම් ඇයි නිහඬ. ඒකනම් හරියට කියන්න දන්නේ නැත. ඔක්කොම ලොක්කා බලාගන්න නිසා තමන්ගේ වටාපිටාව බලාගෙන සිටිනවා වැනිය. සමහර තැනක ලේකම්වරුන්ගේ පාලනයට ඉඩහැරලා වාගේය. සමහර ලේකම්වරුද ඒ තැන්වල ඇමතිවරුන්ටත් වඩා ලොක්කෝය.  මේ අතර සමහරුන් ලොක්කා ඇනගන්නකම් සිටිනවාදැයි කියන්න දන්නේ නැත. මේ ලොක්කාද එසේ මෙසේ ලොක්කෙක් නොවේය. ඔය සමහරුන් හිතන තරම් ලෙහෙසියෙන් ඇනගන්නේ නැත. අන්නවන්නත් බැරිය. ඔහු පැය 24රේම කරන්නේ දේශපාලනයයි. මේ ආණ්ඩුව දුවන්නේද ලොක්කාගේ කීර්තිය උඩය. ඒ නිසා ලොක්කා ඇණගත්තදාට අනිත් සියල්ලටම ඉබේටම ඇනෙනවාය. සමහරු තේරුම් නොගන්නා දේශපාලනයත් එයමය. ජනතාවට මල පැන්නදාට ඉවත් කරන්නේ ගෙඩිය පිටින්මය. මහින්ද චින්තනයේ පිහිටා  ඕනෑම ප‍්‍රශ්නයක් නගන්න, වැරැද්දක් පෙන්වන්න, තමන් ඒවා නිවැරදි කර ගැනීමට සූදානම් යැයි අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මාධ්‍යවේදීන්ගෙන් මෙම හමුවේදී කීවේය. එහෙම කියන මොහොතේත් මාධ්‍ය සංවිධාන කීපයක් ලිප්ටන් වටරවුමේ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයකය. මේ දිනවල උද්ඝෝෂණ හා විරෝධතාවලින් අඩුවක් නැත. විශ්වවිද්‍යාල සිසුන් එක් දිනකට මහ පාරේය. වෘත්තිය සමිති වැඩි පඩි ඉල්ලා සටනේය. උසස් පෙළ ප‍්‍රතිඵල අවුල යට ගියත් මවුපියන් හා සිසුහු පසුවන්නේ කණස්සල්ලෙනි. දැන් අලි මදිවට කොටි කියන්නා සේ බන්ධනාගාර රැඳවියන්ද බන්ධනාගාර පාලනයට එරෙහිව අරගලයකය. මේ හැම තැනකම වාගේ අදාළ විෂයයන් භාර බලධාරීන් මොනවා කීවත් එම ක්ෂේත‍්‍රවල යම් කඩාවැටීමක් දක්නට ලැබේ. ඒවායේ ආරම්භය දශක දෙක තුනක් ඈතට දිව යනවා විය හැකිය. බලධාරීහු ඒවා වසාගෙන විවිධ හේතු ඉදිරිපත් කරති. අපේ සමහර ලොක්කන්ගේ ද ප‍්‍රශ්න තිබෙන බව දැන් පැහැදිලිය. එහෙම නම් ලොක්කකු දෙන්නෙකු නිසා ආණ්ඩුවක් කන්නේ ඇයි? මේ ආණ්ඩුව බලයට පත්කළ ජනතාවට තිබෙන ප‍්‍රශ්නයත් ඒකය. පුද්ගලයන් කිහිපදෙනකු නිසා මේ විදියට පරිප්පු කන ආණ්ඩුවක් අප දන්නා කාලයක හමුවෙලා නැත. එසේම ජනතාව පහළ මට්ටමේ පළාත්පාලන ආයතනවල සිට විධායක ජනාධිපතිධූරය දක්වාම අසීමිත බලයක් දුන් ආණ්ඩුවක් මෑත ඉතිහාසයේ බිහි වී නැත. මේ තරම් ඉහළ ආර්ථික ඉලක්ක ළඟාකරගත්, විරැකියාව, හා දුප්පත්කම අඩුකර, දැවැන්ත සහනාධාර තොගයක් ජනතාවට බෙදූ ආණ්ඩුවක් හමුවෙලා නැත. හැම තැනම වැඩක් කෙරෙනවාය. පාරවලූත් හැදෙනවාය. එහෙත් මධ්‍ය පාන්තික කොටස් අතර යම් අසහනයක් මෝදුවෙමින් වී තිබෙන පාටක් පෙනෙන්නට තිබේ. වැඩකරන ජනතාව, විශ්වවිද්‍යාල සිසුන් ආදීන්ගෙන් ප‍්‍රකාශයට පත්වන්නේ එම අසහනයේ ප‍්‍රකාශනයන් බව පෙනේ. ටික කලකදී පතුලට කාන්දුවන්නේ මෙම අසහනය බවට උදාහරණය අවශ්‍ය නැත. එහෙත් මේවා පිළිබඳ කිසිදු දේශපාලන කතිකාවතක් ආණ්ඩුව පැත්තෙන් නැත. ඒ වෙනුවට විවිධ උද්ඝෝෂණ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සමහරු කාන්දු කරන කොන්කී‍්‍රට් අර්ථකතන තිබේ. අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ, බටහිර න්‍යාය පත‍්‍රය, මැද පෙරදිග වසන්තය කැඳවා ගැනීමට සැරසීම, යළි සන්නද්ධ අරගලයකට අර ඇඳීම වශයෙන් එම සටන් පාඨ හැඩ වැඩවේ. මේ හැම දෙයක්ම හැමදාමත් තිබුණේය. අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ හා මහා බලවතුන්ගේ අතපෙවීම්වලින් තොරව තුන්වැනි ලෝකයේ ආණ්ඩු දුවන්නේ නැත. ඒවා අමුතු දේවල්ද නොවේය. ඒවා කි‍්‍රයාත්මක වීම සකී‍්‍රය වන්නේද විදේශ අතපෙවීම් සිදුවන්නේ ද රටේ අභ්‍යන්තරයේ මතුවන ප‍්‍රශ්නවලට විසඳුම් නොලැබෙන විටය. මේ නිසා අද ගැලවුම් කාරයා හෙට ද්‍රෝහියා වීමට ඉඩ තිබේ. ඒ සම්බන්ධයෙන් යහපත් කතිකාවතක් හා අර්ථවත් වෙනසක් රට ඉල්ලා සිටී. විශේෂයෙන්ම 30 අවුරුදු යුද්ධයක නිමාවෙන් පසු එළඹෙන යුගය සංවේදීය. සිවිල් යුද්ධ සමයේ බොර වූ වටාපිටාවක් දැන් නැත. පෑදි දිය මෙන් අභ්‍යන්තරය විනිවිද පෙනෙන සේ නිසලය. මේ නිසා කුඩා සිදුවීමක් වුවද දෙතුන් ගුණයකින් විශාල වෙමින් පවතී. ඒ ගැන අවබෝධයකින් තොරව ආණ්ඩු කිරීමට යෑමේ හොඳ නරක ජනාධිපති මහින්ද රාජපක්‍ෂට කියාදිය යුතු නැත. එහෙත් එම දැවැන්ත වෙනස කිරීමේ සාමුහික සහායක් ඔහුට අවශ්‍යය. වෙන විදියකින් මේ මතුවෙමින් පවතින්නේ රටේ සිදුවන ආර්ථික සංවර්ධනයට සාපේක්‍ෂව යහපාලනයේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පෙරළියක අවශ්‍යතාවකි. මේ රටේ යහ පාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කඩා වැටීමකට ලක් වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පාලන සමයේ නොවේ. 1977ටත් පෙර සිටය. 1977න් පසු එය වේගවත් විය. යුද්ධය නිසා යටපත් වී තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා යහපාලනයේ ප‍්‍රශ්නය දැන් ඉස්මතු වෙමින් පවතින්නේ ඒ නිසාය. දැන් ජේ. ආර්.ට බැණ වැදීමෙන් මේ සමාජයේ නිර්මාණය වී තිබෙන රස්තියාදුකාර පෙනුම ඉවත්වන්නේ නැත. ජේ. ආර්.ටත් වඩා බලයක් සහිත මේ ආණ්ඩුව ගතකරමින් සිටින්නේ එය වෙනස් කිරීමේ හොඳම හෝරාවේය. එය මහින්ද චින්තනයේ ද පොරොන්දුවකි. ”කාලාන්තරයක් තිස්සේ සමාජය වෙලාගෙන පැවැති වංචා, දූෂණ හා අක‍්‍රමිකතා මුළුමනින්ම මෙරටින් තුරන්කොට සියලූ අපරාධකාරිත්වයන් පාලනය කොට සාරධර්මවලින් පිරිපුන් රටක් ගොඩනැඟීම මගේ ඒකායන අරමුණයි.” ”සියලූ ආකාරයේ පාතාල කි‍්‍රයාකාරකම් මර්දනය කිරීම සඳහා පවතින නීතිමය කි‍්‍රයාමාර්ගවල ඇති අඩුපාඩුකම් මඟහරවා එම මෙහෙයුම් කඩිනම් කරමි. ඒ සඳහා අවශ්‍ය ආයතනික ව්‍යුහයන් ශක්තිමත් කරමි.” ”සියලූම ආකාරයේ වංචා දූෂණ වැළැක්වීම සඳහා නව ව්‍යවස්ථා සංශෝධන යටතේ දේශපාලන පක්ෂපාතිත්වයෙන් තොර ස්වාධීන බුද්ධිමතුන්ගෙන් යුත් මණ්ඩලයක් පත්කරමි.” (මහින්ද චින්තන ඉදිරිදැක්ම පිටුව 34 - 35)

වසන්තප‍්‍රිය රාමනායක



අදහස් (0)

රස්තියාදුකාර පෙනුමේ අසහනය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 659 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 274 2

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 627 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 285 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 208 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 173 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 47 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site