IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රසායනික කාබනික තිත්ත ඇත්ත

ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුගත කිරීමේදී කෘෂිකර්මය පිළිබඳ සාකච්ඡාවේදී සෞභාග්‍යයේ දැක්ම සම්බන්ධයෙන් අපට සතුටු විය හැකිය. ඒ කාබනික ද්‍රව්‍ය යෙදීම හරහා දීර්ඝකාලීනව කාබනික කෘෂිකර්මයට බර තැබීම ගැන එහි පැහැදිලිව සඳහන්වීම පැත්තෙනි. දේශගුණික විපර්යාසවලට තිරසර විසඳුම් සෙවීම සඳහා හරිත සමාජ ආර්ථික රටාවක් නිර්මාණය කිරීම නමැති සංකල්පය මගින් 2021 අප්‍රේල් 27 පැවැති කැබිනට් හමුවේදී කාරණා විස්සකින් යුතුව සාකච්ඡාවක් සිදුවූයේ මේ අතරේය. කෘත්‍රිම පොහොර මෙන්ම කෘත්‍රිම පළිබෝධනාශක ආනයනය හා භාවිතය තහනම් කරන ලද පුවත වාර්තාවූයේ ඉන්පසුවය.

මා මෙතෙක් කළ අධ්‍යයන හා පර් යේෂණ ඇසුරෙන් එම තීරණය ඒ මොහොතේම මා දුටුවේ නිදහසින් පසු ලංකාවේ කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගත් වැරැදිම තීන්දුවක් හැටියටය. අත්‍යවශ්‍ය නොවන දේ ආනයනය ගැන සඳහන් කරමින් මැයි මස 6 වැනිදා නිකුත් වූ ගැසට්ටුවකින් මේ ගැන වැඩිදුරටත් සාකච්ඡා කෙරුණේ කෘෂිකාර්මික යෙදවුම් ගැනය.

එතැන් පටන් මේ දක්වා මාස හයකට ආසන්න කාලයක් ගත වී ඇති අතර ඒ කාලයේදී කෘෂිකර්මයට අදාළව හැලහැප්පිලි ගණනාවක්ම රට පුරා දැකගත හැකි විය. මා එම කාලය දකින්නේ නිදහසින් පසුව කෘෂිකර්මයෙහි අප අත්පත් කරගත් ජයග්‍රහණ දැන හෝ නොදැන ආපසු හැරවීමට වැඩ සිද්ධ වූ කාලයක් හැටියටය.

ලංකාවේ කෘෂිකර්මය දශක හතක් තිස්සේ මේ තැනට ආවේ විද්‍යාඥයන් වර්ධනය කළ දැනුම මෙන්ම ගොවි මහතුන් ඊට දැක් වූ ප්‍රායෝගික දායකත්වය නිසාය. නිදහසට පෙර සශ්‍රීක අතීතයක් ගැන සාහිත්‍යක් ඇතත් ඒ ගැන නිසි මූලාශ්‍ර සහිත කරුණු ගැන අප දන්නේ නැත. 1940 සිට 2020 දක්වා වසර 80ක නූතන කෘෂිකර්මාන්තය ගැන කතා කළහොත් ඊට පෙර ලංකාවේ පාරම්පරික කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට රසායනික යෙදවුම් භාවිත කළ කෘෂිකර්මාන්තයක නියැලී තිබුණේ නැත.

මේ නිසාම ඒකක ක්‍ෂේත්‍ර ඵලයකින් නැතහොත් හෙක්ටයාරයකින් ගත් අස්වැන්න ටොන් 0.6ක් වැනි අතිශය සීමිත ප්‍රමාණයක් විය. ඒ වනවිට ලංකාවේ ජනගහනය වූයේ ලක්ෂ 60කි. මේ ලක්ෂ හැටට ආහාරයට අවශ්‍ය සහල් ප්‍රමාණයෙන් සියයට 60ක්ම ඒ වනවිටත් තිබුණේ ආනයනය කරමිනි. ආචාර්ය හෙක්ටර් වීරරත්න වැනි දේශීය විද්‍යාඥයන් මෙසේ වැඩිවන ජනගහනයට සාපේක්ෂව සහල් අස්වැන්න වැඩිකිරීම ගැන කල්පනා කළේ ඒ අනුවය.

හරියටම කිව්වොත් ආචාර්ය නෝමන් බෝලොග්ගේ හරිත විප්ලව සංකල්පය මහපොළවේ පැලපදියම්වීමටත් පෙරාතුවය. ඒ අනුව සහල් නිෂ්පාදනය සඳහා ප්‍රථම වතාවට වී අභිජනන ක්‍රමයක් සැකැසිණි.

1958 දී එච්4 නමැති වී ප්‍රභේදය නිදහස් කෙරුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. හෙක්ටයාරයකට ටොන් 0.6ක්ව තිබූ සුළු අස්වැන්න මෙමගින් ටොන් 2-2.5 අතර දක්වා ඉහළ දැමීමට අපට හැකි විය.
ලංකාව මෙම ජයග්‍රහණ අත්පත් කරගත්තේ ජාත්‍යන්තර සහල් පර් යේෂණ මධ්‍යස්ථානය 1960 දශකය මුලදී පිලිපීනයේදී පිහිටුවීමටත් පෙර බව අවධාරණකටයුතුය. එසේ බලද්දී හරිත විප්ලවය තුළ වී වගාවේ පුරෝගාමීන් හැටියට දේශීය විද්‍යාඥයන් හැඳින්වීමෙහි වරදක් නැත.

හරිත විප්ලවය ගැන විවිධ මතිභ්‍රම සමාජයෙහි පසුගිය කාලයේදී දැකිය හැකි විය. එහෙත් ජනගහනයට අවශ්‍ය ආහාර ප්‍රමාණය සපයාගැනීම ගැන මේ බොහෝදෙනෙක් කතා නැත. ශාකයකට වුව අවශ්‍ය අස්වැන්න ලබාගැනීමට නම් ඊට අවශ්‍ය යෙදවුම් හා පෝෂණය අවශ්‍ය පරිදි ලබා දිය යුතුමය.

හෙක්ටයාරයකට ටොන් 0.6ක්ව තිබූ සුළු අස්වැන්න එච් 4 වී ප්‍රභේදයේදී ටොන් 2-2.5 ත් අතර ඉහළ අගයකට ගෙනගියේ මේ අවශ්‍යතා ද සැපිරීම සමගය. ඉන්පසුව බතලේගොඩින් බී.ජී.
අම්බලන්තොටින් ඒ.ටී. බෝඹුවෙලින් බී.ඩබ්ලිව්. ලබුදූවෙන් එල්.ඩී. ආදී වශයෙන් විවිධ පරිසර තත්ත්වයන්ට ගැළපෙන පරිදි නිෂ්පාදනය කළ වී ප්‍රභේද නිසා වර්තමානය වනවිට ලංකාවේ වී අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 4.8ක් වැනි ඉහළම අගයකට ගෙනෙන්නට ලංකාවට හැකි විය.

විද්‍යාඥයන්ගේ පරිශ්‍රමයට සමගාමීව ගොවීන් තාක්ෂණය වැළඳගැනීම ඊට විශාල වශයෙන් බලපෑවේය. ලංකාවේ වී වගා කරන වපසරියෙන් සියයට 98කට ආසන්න වූ ප්‍රමාණයක් මෙම වැඩිදියුණු කරන ලද වී ප්‍රභේද සඳහා භාවිත කරන්නේ මෙම පසුබිමේය. මෙවැනි තත්ත්වයකට අස්වැන්න ලබාදීමට ශාකයට දුන් එක් යෙදවුමක් වූයේ පෝෂණයයි. ඒ සඳහා පොහොර අවශ්‍යය.

පොහොර යනු නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් යන මූලික මූලද්‍රව්‍ය තුන ලබාදෙන ප්‍රභවයයි. ඒවා අවශ්‍ය අවස්ථාවේදී ඉක්මනින් ශාකයට ලබා දිය යුතුය. නයිට්‍රජන් සියයට 46ක් අන්තර්ගත යූරියාත් පොස්පරස් ප්‍රභේදය ලබාදෙන සාන්ද්‍ර සුපර්පොස්පේටුත් පොටෑසියම් ලබාදෙන මියුරේට් ඔෆ් පොටෑස් යන පොහොරත් ලොව පුරා ජනප්‍රිය වූයේ ඒ අනුවය. පොහොර සුළු ප්‍රමාණයකින් පෝෂකය කඩිනමින් ශාකයට ලබාදීමේ හැකියාව ඊට බලපෑවේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වත්මන් වැඩපිළිවෙළ සකස් වී තිබුණේ හෙක්ටයාරයකට වී ටොන් පහක් ලබාගැනීමේ ඉලක්කයටය. ඒ ඉලක්කයේදී වී ශාකයට හෙක්ටයාරයට නයිට්‍රජන් කිලෝග්‍රෑම් 105ක් අවශ්‍යය. 2013 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොහොර නිර්දේශයට අනුව හෙක්ටයාරයකට යූරියා කිලෝ ග්‍රෑම් 225ක් යෙදිය යුතු යැයි නියම වූයේ මේ අවශ්‍යතාව අනුවය.

 යූරියාවල නයිට්‍රජන් ප්‍රතිශතය සියයට 46කි. කිලෝග්‍රෑම් 225 ක් යෙදූ විට එය 0.46න් වැඩි කළ විට නයිට්‍රජන් කිලෝග්‍රෑම් 103.5කි. මා මෙම කතාව ගණන් හිලව් ඇතිව කියන්නේ අන් කිසිවක් නිසා නොව පොහොර නිර්දේශය යනු දීර්ඝ වශයෙන් කෙරුණු පර් යේෂණවල ප්‍රතිඵලයක් බව පෙන්වාදීමටය. පොහොර මගින් පෝෂකය මුදා හරින වේගයත් ශාකය මගින් පෝෂකය උරාගන්නා වේගයත් සමපාත කිරීමෙන් නිර්මාණය වන මේ සූත්‍රය හිතළුවක් නොවේ. යූරියා කිලෝග්‍රෑම් 225 වුව එකවර නොමැතිව වාර කීපයකදී ශාකයට ලබාදෙන්නේ එනිසාය.

යූරියාවල උපයෝගිතා කාර්යක්ෂමතාව සියයට 30 බවට බෙරිහන්දෙන්නන්ට කියන්නට තිබෙන්නේ මෙසේ කොටස් වශයෙන් පොහොර යෙදීම ඊට පිළිතුර බවය.

එසේම විද්‍යාඥයන් හැමදා කීවේ රසායනික පොහොර සමග කාබනික ද්‍රව්‍ය යොදන්නැයි කියාය. ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය යන බරපතළ වචන හතරෙන් කියන්නේ ඒකය.

කෘෂිකර්මය ගැන මෑතකාලීන විවාදයේදී ඇතැමුන් යොමුකළ අමුතු තර්කවලට ද පිළිතුරු දෙමින් මේ කතාව ඉදිරියට යා යුතුය. සිංහරාජය වැනි වනාන්තරවල පොහොර නොදා ගස් හැදෙන්නේ කොහොමද යන්න එවැනි ජනප්‍රිය ප්‍රශ්නයක් විය. ස්වාභාවික පරිසර පද්ධතියක් යනු චක්‍රීකරණය වන සංවෘත පරිසර පද්ධතියකි. එහෙත් කෘෂිකාර්මික පරිසර පද්ධතියක් යනු සෑමවිටම අස්වැන්න ලෙසින් කොටසක් ඉවත් වන පරිසර පද්ධතියයි. නිදසුනකට අප වී අස්වැන්න ඒ බිමේම පොළවට දමා පස් කරන්නේ නැත. එවිට පරිසර පද්ධතියෙන් කිසියම් පෝෂක ප්‍රමාණයක් ඉවත් කෙරේ. හෙක්ටයාරයකින් වී ටොන් පහක අස්වැන්නක් ගත්තොත් අප ඊට යෙදූ නයිට්‍රජන් කිලෝ ග්‍රෑම් 103.5න් කිලෝ ග්‍රෑම් 50ක් ඉවත් වේ.

මේ ඉලක්කම දකින අයකු ඇතැම්විට එසේනම් කිලෝග්‍රෑම් 50ක් පමණක් යොදන්නට තිබුණා නේදැයි ඇසිය හැකිය. ඊට පිළිතුර නම් අස්වැන්නක් ගැනීමට නම් ශාකය ද හොඳින් වර්ධනය විය යුතු බවය. මනුෂ්‍ය දරුවා බඩගා දණගා පෙරපාසල පාසල හා සරසවි පිවිසුමට පැමිණියා හා සමානවම ශාකයක ද වර්ධනීය අවස්ථා ඇත. මේ ක්‍රමික විකාශනය හා ඊට අදාළ ගණනය කිරීම් තේරුම්ගැනීමෙන් තොරව වගාව ගැන කරන කුප්‍රකට වාදයන්ගෙන් පලක් නැත. ශාකයක් යනු ද ජීවියෙකි. ජීවියාගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය නොදුන්නොත් අපට අවශ්‍ය අස්වැන්න ලැබෙන්නේ නැත. මේ සරල සිද්ධාන්තය තේරුම්ගැනීමට රොකට් සයන්ස් අවශ්‍ය නැත.

කෙසේ වෙතත් කෙනකුට ඊළඟට ඇසිය හැකි ප්‍රශ්නයක් නම් මේ යෙදවුම් කාබනික ද්‍රව්‍ය හරහා ප්‍රදානය කිරීමට නොහැකිද යන්නයි. අප වගාවට කාබනික ද්‍රව්‍ය යොදන්නේ ආකාර කීපයකටය.

එක් ආකාරයක් නම් පෝෂක ලබාදීමේ අරමුණෙන් කෙරෙන කාබනික පොහොරය. දෙවැන්න කොම්පෝස්ට්ය. කොම්පෝස්ට් යනු පොහොරක් නොවේ. කොම්පෝස්ට් පසට ලබාදෙන්නේ පසේ තිබෙන රසායනික, භෞතික, ජීව විද්‍යාත්මක ගුණාංග දියුණු කිරීමටය. හොඳින් සැකසූ කොම්පෝස්ට්වල නයිට්‍රජන් අන්තර්ගත වන්නේ සියයට 1ක් වැනි සුළු ප්‍රතිශතයකි. ප්‍රශස්ත කාබනික පොහොරක නයිට්‍රජන් අන්තර්ගත වන්නේ සියයට 1.5-3 දක්වාය. බොහෝ අය කියන මුහුදු පැලෑටිවලින් ගතහැක්කේ ද අතිශය සුළු නයිට්‍රජන් ප්‍රමාණයකි.

එවැනි ප්‍රතිශතයක් පවා ලැබෙන කෙල්ප් නමැති මුහුදු පැලෑටිය වැවෙන්නේ ද උත්තර ධ්‍රැවය වැනි අතිශය ශීතාධික කලාපයේය. ඒවායෙන් හිතුමතයට අස්වනු නෙළාගන්නට ද නොහැකිය. නෙළාගත්තත් ශාකයේ උපරිම ලෙස ඇති සියයට 6ක නයිට්‍රජන් ප්‍රතිශතය නිෂ්පාදන ක්‍රියාවලියේදී තවත් අඩුවේ. මේ ගණන් හිලව් මෙසේ දක්වන්නේ පොහොර පිළිබඳ වාදයේ ඇත්ත කතාව තේරුම්ගැනීමේ පහසුව තකාය. සැබැවින්ම රජය පවා මුලදී කාබනික පොහොර සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්ති සකසමින් සිටියේ මේ කරුණු ගැන දැනුවත්වය. ප්‍රශ්නය පැමිණියේ කාබනික වගාව රැඩිකල් ලෙස කරන තැනට තල්ලු කළ උපදේශකයන්ගේ විද්‍යාත්මක ඥානය නිසාය. එමෙන්ම මේ විෂය ගැන මෙලෝ දැනුමක් නැති මිනිසුන් ද ඊට එකතු වූ කළ කෘෂිකර්මාන්තය වළපල්ලට යවන තැතක් බවට එය පත්විය. ජනාධිපතිවරයාවත් කෘෂිකර්ම ඇමැතිවරයාවත් රටේ කෘෂිකර්මාන්තය ගැන විෂය ප්‍රාමාණිකයන් විය යුතු නැත. එහෙත් ඔවුන්ට උපදෙස් දෙන ප්‍රතිපත්ති සකසන පිරිස වැරැදි උපදේශයක් දුනහොත් රටකට වන විනාශය සුළුපටු නැත.

ශ්‍රී ලංකා කෘෂිකර්ම ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමය මේ ක්‍රියාවලිය ආරම්භයේදීම අනතුරු ඇඟවූයේ මෙමගින් රටට විශාල අස්වනු හානියක් වනු ඇති බවය. ආහාර සුරක්ෂිතතාවයේදී අස්වැන්නේ ප්‍රමාණය යනු මූලික සාධකයකි. අස්වැන්නේ ප්‍රමාණය අඩුවීම වනාහි අප ලබන ආහාර ප්‍රමාණය ද අඩුවීමය. මහජනතාවට තවම මේ ගැන දැනී නැතත් ගොවිබිමේ සිටින ගොවීන්ට දැනටමත් එය දැනී තිබේ. ගොවීන් ගොවිබිමෙන් පාරට බැස්සේ සිය ජීවනෝපායට සිදුවන හානිය නිසාය. කෙසේ වෙතත් මේ අඳුරු වළා අතරේ යම් රිදී රේඛාවක් ද තිබේ. ඒ ගැන ද අවසන මෙහි සඳහන් කළ යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිරන්තරයෙන්ම අවධාරණය කළේ රසායනික පොහොර සමග කාබනික ද්‍රව්‍ය යොදන්නටය. මේ සිදුවීම් පෙළ විසින් ගොවින්ට කාබනික ද්‍රව්‍ය යෙදීමට කිසියම් උනන්දුවක් ඇති කරනු ලැබිණි.

මා උදක්ම ගොවි මහතුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ උනන්දුව නම් නැති නොකරගන්නා හැටියටය. ශාකයට අවශ්‍ය මුළු පෝෂණය එමගින් නොලැබුණත් රසායනික පොහොරවල ඇති පෝෂණය නිසියාකාරව ශාකයට ලැබිය හැකි වාතාවරණයක් එයින් සැකසේ. එනිසා මේ උනන්දුව ගොවීන්ට ආයෝජනයකි.

මුලදී කතාවක් ආවේ ලංකාවට අවශ්‍ය තරම් කාබනික පොහොර ඇත කියාය. එහෙත් ඒවාට උපදෙස් දුන් පිරිස් ද ටික කාලයක් යද්දී සොයාගත නොහැකි විය. පෙර කී ආකාරයට අවශ්‍ය තරම් පොහොර ලංකාවේ නැති වග රජයට ද පැහැදිලි විය. චීනයෙන් පොහොර ආනයනය කරන තැනට කටයුතු සිදුවූයේ ඉන්පසුවය. මේ වනවිට එම පොහොර නැව ලංකා මුහුදු සීමාවට පැමිණ තිබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිසි අවසරයකින් තොරවය. එය රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ගනුදෙනුවක් බවට පත්ව ඇති නිසා ඒ ගැන මම කතා නොකරමි.

එහෙත් මේ කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා කාර්යසාධක බලකා කීපයක්ම පත්කරමින් වෑයමක් ගැනීමට ජනාධිපතිවරයා මැදිහත් වන අයුරු ද අපට දකින්නට ලැබිණි. හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ කාර්යසාධන බලකාය යනු ඒ සඳහා ගත් ආසන්නතම වෑයමයි.  මීට පෙර මහින්ද අමරවීර ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කාර්යසාධක බලකායක් ද විය. මා දන්නා ආකාරයට එය ද බලරහිත කළ බවක් වාර්තා වූයේ නැත.

කෙසේ වෙතත් රටේ කෘෂිකර්මය සම්බන්ධයෙන් සේනාධිපති වූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ කිසිදු බලකායක සිටිනු අපි දුටුවේ නැත. මෙය ඉතා බරපතළ කරුණකි. රටේ කෘෂිකර්මය ගැන නිල බලයෙන් ප්‍රතිපත්ති සැකැසීමේ නියමුවා නැති කාර්යසාධක බලකායකින් කුමන පලයක්ද? ජනාධිපතිවරයා හොඳ චේතනාවකින් ද මීට මුල පුරන්නට ඇත. එසේම කිසිවකු හෝ දුන් නම් ලැයිස්තුවක් ද ඊට බලපාන්නට ඇතැයි කෙසේ නොසිතමුද? රටක ආර්ථික දියුණුවේ ප්‍රමුඛත්වය පෞද්ගලික අංශය දැරීම විය යුතුමය. ඒ ගැන අපට වාදයක් නැත. එහෙත් මේ තීරණාත්මක මොහොතේ නැවතත් තීන්දු ගන්නට පත්කරන ආකෘතිවලදී රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද්විතියීක තැනට ඇද දමනවා නම් එය බරපතළය. නිදසුනකට තේ මණ්ඩලය, තේ පර් යේෂණ ආයතනය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගහැර අපට තේ වගාව සම්බන්ධයෙන් තීරණ ගත නොහැකිය. අප බලධාරින්ට කියන්නේ මේ දේවල් මේ ආකාරයට සිදුවෙන්නට ඉඩනොදෙන්නැයි කියාය. මේ ගන්නා තීන්දු, අර්බුදයේම දිගුවක්ම වේවිද නොවේවිද යන්න මේ හඬට සාවධාන වීම හෝ නොවීම මත තීරණය වනු ඇත.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)



අදහස් (8)

රසායනික කාබනික තිත්ත ඇත්ත

චන්දිම ෆොන්සේකා Wednesday, 27 October 2021 01:57 PM

රසායනික පොහොර වලට වඩා පරිසරයට හානිවෙන්න පුළුවන් පලිබෝධ නාශක අවි භාවිතය මගින්.. ඒ නිසා රජය කළයුතුව තිබුනේ මුලින් ඒ සඳහා අවශ්‍ය අවධානය යොමු කිරීමයි. උදාහරණයකට ගත්තොත් වි වගාවේ නියරවල් සුද්ධ කිරීම නිසි පරිදි බිම් සැකසීම කිරීම තුළින් වල මර්දනය කහ පුරුක් පණුවා දුඹුරු පල කීඩෑවා වැනි කෘමින් යම් තරමකට හෝ මර්දනය තුළින් විෂ රසායනික යෙදීමට ඇති අවශ්‍යතාව අඩුකර ගන්න තිබුණා. මෙහිදී ගොවීන්ට අවශ්‍ය ශ්‍රමය වෙනුවෙන් යම් අතදීමක් කිරීමෙන් ඔවුන් ඊට කැමතිකර ගත හැකිව තිබුණා. පාංශු පෝෂක විශ්ලේෂණය කෘෂිකර්ම විෂයේදී ඇති තරම් උගන්වනවා. නමුත් ඒ දැනුම ඇති මිනිසුන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ කියලා බලධාරියෝ කාටවත් හිතෙන්නේ නැහැ. එහෙම වැඩ පිළිවෙලක් තිබුණා නම් අවශ්‍ය පොහොර ප්‍රමාණ විතරක් වත් යොදන්න තිබුණා. ඒ මුකුත් නොසලකා මේ විෂය ගැන නොදන්නා සමහර දොස්තර මහතුන්, සමහර දේශපාලන හිමිවරුන් සහ කේවට්ට පණ්ඩිතයින් මුදුනෝ වෙච්ච නිසා රජය විශාල අපකීර්තියකට ලක්වෙනවා.. ඒක හරියට මෝඩයගේ හොඳ හිතත් අන්තිමේදී විනාශයක් වෙනවා කියන එකයි...

:       1       16

sudda Thursday, 28 October 2021 05:12 AM

බුද්ධි මාරඹේ මහාචාර්‍යතුමා 2009-2017 දක්වාම සමාගමක විධායක නොවන අධ්‍යක්‍ෂ ධුරයක හිටියා කියා එතුමාගේම සි වි එකේ තිබෙනවා. බලන්න​ ඔන්න ඔව්වා තමයි ප්‍රශ්න. එතුමාලා රජයට උපදෙස් දෙන්නේ දෙපැත්තෙම කකුල් තියාගෙන නම් එව්වා ප්‍රශ්න තමයි.

:       6       7

AselaFriday, 29 October 2021 07:17 PM

ඔහු වැඩ කළේ කොහේද, කොහේ වැඩ කරන්නේද යන්න වැදගත් නොවේ. ඔහු කතා කරන්නේ කුමක් දැයි තේරුම් ගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුය.

:       0       0

kallaMonday, 01 November 2021 12:47 PM

මාරඹේ මහතා කොම්පැණියක අධ්‍යක්ෂ කෙනෙක් නිසා කාබනික වගාවට එරෙහි වෙනවා කියල මොහොතකට හිතුවත්, එතුමා දක්වන විද්‍යාත්මක සත්‍යතාවය බොරු කරන්න බෑ. ඒ ගැන දේශපාලනික කෝණයෙන් බැලුවොත් තමා අවුල පේන්නෙ. නමුත් ශාක ආහාර නිපදවන්නේ දේශපාලන කන්නාඩිය අනුව නොවේ. සත්‍යය පිලිගන්න බැරි උද්දච්චකමයි, මරි මෝඩ කේවට්ටයන්ගේ නිර්දේශයි තමා මේ කාබනික වලිප්පුව පිටිපස්සෙ තිබුණෙ

:       0       0

Bandara Thursday, 28 October 2021 06:51 AM

කවුරුත් කාබනික වගාවට විරුද්ධ නෑ. ප්‍රශ්ණය තියෙන්නේ ඒක පටන් ගත්ත විදිය. වසර කිහිපයකින් ක්‍රමානුකූලව කරන්න ඕන දෙයක්, එක කන්නයකින් දෙකකින් කරන්න යාම හින්දා තමා මේ ඔක්කොම ප්‍රශ්ණ පැන නැගුණේ. පුදුමෙ කියන්නේ කුඩා දරුවෙකුට උනත් තේරෙන මේ දේ ජනාධිපතිවරයාට නොතේරිච්ච එක. එක්කො මේ කාබනික පොහොර පරිවර්තනය අපේ රටේ පොහොර සැපයීමත් සම්පූර්ණයෙන්ම චීනයට දෙන්න ගහපු උප්පරවැට්ටියක් වෙන්නත් පුළුවන්. චීන පොහොර නැවේ ප්‍රශ්ණයත් එක්ක ඒ ගැන නම් හොඳටම සැක සංකා පහල වෙනවා

:       2       7

සමන්ත Thursday, 28 October 2021 05:54 PM

රසායනික ගොවිතැන කරන හැමතැනම දෙමුහුන් බෝග හෝ ජාන වෙනස් කළ බෝග භාවිතා කරන්න සිද්ධ වෙනවා. මෙය කොතරම් දුර දිග ගොස් ඇතිද කියන්න උදාහරණයකින් පෙන්වන්නම්. තිරිඟු වල මුල් ප්‍රහේද වල තිබුණේ ප්‍රෝටීන 4% ක් පමණයි. ඒවා වැඩිදියණු ප්‍රභේද කරමින් අස්වැන්න වැඩිකිරීම හා ප්‍රෝටීන ප්‍රමාණය වැඩිකර දැන් 12% ප්‍රෝටීන තිරිඟුවල තියෙනවා. නමුත් දැන් ඇමරිකාවේ සීලියැක් නමින් නව රෝගයක් තියෙනවා... ඒ කියන්නේ තිරිඟු පිටි වලින් හදපු කෑම කන්න බැරිවීම... සමහර අයට තිරිගු පිටි දාපු කෑම කෑවොත් මැරෙනවා. දැනට ඇමරිකාවේ 1%ක් මෙම රෝගයෙන් පෙලෙනවා... නමුත් සාම්ප්‍රදායික තිරිඟු ආහාරයට ගත්තාට මේ අයට අසනීප වෙන්නේ නැහැ. කල්පනා කරලා බලන්න, මේ තත්වය සහල් වලට වුණොත් මොනවද වෙන්නේ කියලා. දෙමුහුන් ප්‍රභේද ආහාරයට ගත්තාම දියවැඩියාව වැනි රෝග ඇතිවෙන්න ඉඩකඩ වැඩියි. ස්ථූලතාවය ඇතිවෙනවා. ආයුර්වේදයේ හා දේශීය වෙදකමේ දෙමුහුන් ප්‍රභේද ඖෂධ ලෙස භාවිතා කරන්නනේ නැහැ. මොකද ඒවායේ අනන්‍ය ශක්තිය නැති නිසා. ආහාරයේ මධුර, අම්ල, ලවණ, කටු, තිත්ත, කෂාය කියලා රස හයක් තියෙනවා. මේවා මගින් ශරීරයේ සන්නිවේදන පද්ධතිය (නාඩි/ස්නායු) උත්තේජනය වෙලා ශරීරය තෘප්තිමත් බවට පත්වෙනවා...

:       3       7

සමන්ත Thursday, 28 October 2021 06:17 PM

ඉහත දක්වපු රස මගින් ශරීරය තෘප්තිමත් වන නිසා කුස පිරෙනකන් ආහාර ගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ස්වල්ප ආහාරයකින් කුසගින්න නිවන්න පුලුවන්. ඒ නිසා ස්ථූලතාවය අඩුකිරීමටත් උදව් වෙනවා. මේ සම්බන්ධව පෞද්ගලිකව අධ්‍යයනයන් කරමින් සිටින්නේ. දියවැඩියාව, අධිරුධිකර පීඩනය, ස්ථූලතාවය වැනි බෝනොවන රෝගවලට සාම්ප්‍රදායික දෙමුහන් නොකළ බෝගවලින් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ නිසා රසායනික කෘෂිකර්මයෙන් ඉවත්වීම පමණක් නොව සාම්ප්‍රදායික දෙමුහුන් නොකළ බෝග වගාවට ගොවියා යොමුවිය යුතුයි. එහෙම වුණොත් පමණයි බෝනොවන රෝගවලින් බේරෙන්න පුළුවන් වෙන්නේ. මෙම දැනුම් පද්ධතිය තුළ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, මේද අම්ල වලට වඩා ශරීරයට අවශ්‍ය යමක් තියෙනවා කියලා පෙනෙනවා. ඒකට වෙදකමේ කියලා තියෙන්නේ රස ධාතුව කියලා. මේ සම්බන්ධව නිවැරැදිව අධ්‍යයනය කරන්න කියලා ආරාධනා කරනවා. ප්‍රතික්ෂේප කරන්න කලින් හොයා බලන්න කියලත් ආරාධනා කරනවා...

:       3       7

Sunil Friday, 29 October 2021 07:08 AM

ලියා තිබෙන වියත් වැකි ... අපේ ගරු ඇමැතිතුමාට වැටහෙයිද මන්දා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 198 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 109 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 42 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4004 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12514 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 638 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38189 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25145 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 255 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site