IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


ලංකාවේ මානව හිමිකම් අභියෝග

විශ්ව මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුමැතිය දීමේ යෝජනාවට අත්සන් කළේ 1948 දෙසැම්බර් 10 වැනිදාය. එයින් ලංකාව පමණක් නොව ලෝකයේ සියලුම රටවලට මානව හිමිකම් ආරක්ෂා කිරීම, ගෞරව කිරීම මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කිරීම රාජ්‍ය වගකීමක් හා යුතුකමක් වශයෙන් තීරණයවී තිබේ.

ඒ නිසා මේ දිනය ඉතා වැදගත්ය. දෙසැම්බර් 10 වැනිදා යනු ලෝකයේ එක්සත් ජාතීන්ගේ රටවල් 193ක් සමරනු ලබන විශ්ව මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්තිය ලොවට හෙළිකළ දිනයයි. සමස්ත ලෝකයම ගත්තද මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් වෙනදා නොතිබූ උනන්දුවක් අවධානයක් මෑත කාලයේ දකින්නට පුළුවන. ලොවපුරා විවිධාකාරයෙන් මිනිස් අයිතිවාසිකම් කඩ වන පසුබිමක ලංකාව සම්බන්ධයෙන්ම යම් යම් අභියෝග මතුව ඇති ආකාරයක් පෙනෙන්නට තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ස්ථාපිත කර තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියකිනි. මේ කවුන්සිලයේදී 2009 පටන් ලංකාවට එරෙහිව යෝජනා රාශියක් සම්මත කර තිබේ. 2009 දී මෙම කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව ජයග්‍රහණය කිරීමට ලංකාවට හැකිවිය. ත්‍රස්තවාදය වැළැක්වීමට ඉන්දියාව අපට උදව් කිරීම හේතුවෙන් එකී ජයග්‍රහණය ලබාගැනීමට හැකි වූ බවද සඳහන් කළ යුතුය. එහෙත් අද වනවිට ලංකාවට එරෙහිව දැඩි පීඩනයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එල්ල වී තිබේ. ලංකාවේ යුද හමුදා යුද අපරාධ කර ඇති බවට නැගෙන චෝදනා ඒ අතර ප්‍රමුඛය. මේ යුද අපරාධ සම්බන්ධයෙන් ලංකාව විමර්ෂනයක් කර නැති බවටද චෝදනා එල්ල වී තිබේ. එමෙන්ම එකී විමර්ෂනයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා කෙරෙන අතර එයට ලංකාවෙන් සහයක් හිමිව නැත. එනිසා මේ අවස්ථාවේ ලංකාව හමුවේ තිබෙන බරපතළම අභියෝගය වන්නේ 51/1 යෝජනාව සම්බන්ධව ලංකාවේ ස්ථාවරයයි. මේ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව වත්මන් විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කළේය. එය යහපත් ප්‍රවණතාවකි.

එහෙත් එසේ කීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. දිය යටින් මතුව එන දරුණු දිය සුළියක් පෙනෙන්ට තිබේ. එනිසා අද දවසේ තිබෙන ප්‍රධානම අභියෝගය වන්නේ පවත්වන අන්තර් ජාතික විමර්ශනයයි. මේ විමර්ශනය අනුව මෙරට පුරවැසියන් හැට එක් දෙනකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට වීසා අහෝසි කිරීමට සූදානම් වන බවට ඇති මතයයි. මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් ඇති 51/1 යෝජනාව ලංකාව ප්‍රතික්ෂේප කර ඇති බව සැබෑය. එසේ ප්‍රතික්ෂේප කරන අතරම ජාත්‍යන්තරයේ අනෙක් රටවල් දිනා ගැනීම අත්‍යවශ්‍යය. මෙය ලංකාව හමුවේ ඇති ප්‍රධානම අභියෝගයකි. විශේෂයෙන්ම ජපානය. ඉන්දියාව දකුණු අප්‍රිකාව දිනාගැනීමට ලංකා ආණ්ඩුව සමත් වුවහොත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වන ඕනෑම යෝජනාවකින් ජයගැනීමට ලංකාවට හැකිවනු ඇත. වත්මන් ආණ්ඩුව ආර්ථික ප්‍රශ්නයට හිත යොමුකර කටයුතු කළද මානව හිමිකම් සම්බන්ධයෙන් ඇත්තේ අත්හළ නොහැකි වගකීමකි. මේ රටේ මානව හිමිකම් ආරක්ෂා කරන්නේ කෙසේදැයි ජාත්‍යන්තරයට ප්‍රදර්ශනය කළ යුතුය.

ලංකාවට යම් වාසිදායක පරිසරයක්ද පසුගිය කාලයේ උදාවූවේය. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති වශයෙන් තේරී පත්වීමය. මොහුගේ පත්වීමත් සමඟ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සිටි සියලු ඇමෙරිකන් නියෝජිතයන් ඉවත් කර ගැනීමට පියවර ගත්තේය. ට්‍රම්ප් වත්මන් මානව හිමිකම් කවුන්සිලය දේශපාලන මඩගොහොරුවක් වශයෙන් දැකීම එයට ප්‍රධාන හේතුවය. මේ වසරේදිත් එකී තත්වය පැවතිය හැකිය. එසේ වුවත් මානව හිමිකම් ආරක්ෂාකිරීම සහ වර්ධනය කිරීම සම්බන්ධයෙන් ලංකාවේ නව ආණඩුවට ඇත්තේ අභියෝගයකි.

ලංකාවේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ මානව හිමිකම් කවුන්සිලයට සංකේන්ද්‍රනය වූ කරුණු තුනකි. සමාජ මාධ්‍ය ජාලාවල යම් යම් ආකාරයට අසත්‍ය කරුණු ප්‍රචාරය වීම ඉන් එකකි. ත්‍රස්තවාදය උඩුගුවනේ තැබීම තවත් කාරණයකි. ත්‍රස්තවාදය ජනවාර්ගික ප්‍රශ්නය සහ යුද සැමරුම් සම්බන්ධව යම් යම් අය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. උතුරෙන් මෙන්ම දකුණෙන්ද මෙසේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බව අමතක නොකළ යුතුය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය 51/1 යෝජනාවේ සඳහන්ය. මේ පනත අහෝසි කරන බව වත්මන් ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමැතිවරයා අතීතයේදී ප්‍රකාශ කර සිටියේය. මෙකී පනත යටතේ අත්අඩංගුවට ගත් පසු මහේස්ත්‍රාත් අධිකරණ වලින් ලබාදී ඇති තීන්දු කවරාකාරද යන්න පසුගියදා දක්නට ලැබුණි. එනිසා ප්‍රතිත්‍රස්ත පනතක් ගෙන එන්නේ නම් එය වඩා නිවැරැදිය. ජාතිවාදය සම්පූර්ණයෙන් හෙළා දකින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එය වැදගත්ය. කෙනකු අත්අඩංගුවට ගන්නා විට එසේ කරන්නේ කුමන නීතිය යටතේ දැයි ජාත්‍යන්තරය ප්‍රශ්න කරන්නකි. ලබන පෙබරවාරි මාසයේ දී මෙය බරපතළ ගැටලුවක් වනු ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් කවුන්සිලය දිනාගන්නේ කෙසේද යන්නත් අපට තිබෙන අභියෝගයකි. මෙතැනදී වත්මන් ආණ්ඩුවට ඇත්තේ බරපතළ අභියෝගයකි. අන්තර්ජාතික වශයෙන් රටවල් දිනාගැනීමට නම් අද පටන් ක්‍රියාත්මක විය යුතුය. තුනෙන් දෙකේ බලයක් ආණ්ඩුවට තිබේ. විධායක බලය සහිත ජනපතිවරයෙක් සිටී. එනිසා මානව හිමිකම් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් වහා ඉදිරිපත් කළ යුතුය. ඒ වගේම සත්‍ය සෙවීමේ කොමිසමක් ස්ථාපිත කළ යුතුය. අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කොමිසමෙන් අප මිදෙන්නේ කෙසේදැයි අවධානයට ගත යුතුය. ඇමෙරිකාවෙන් නිර්මාණය කරදී ඇති වාසිදායක පරිසරය නිසා වත්මන් ආණ්ඩුවට එයින්ද ප්‍රයෝජන ගනිමින් මේ අභියෝග ජයගත හැකිව තිබේ. මේ වන විට වියට්නාමය කියුබාව රුසියාව චීනය අප සමඟ සිටී. දකුණු අප්‍රිකාව සහ විශේෂයෙන්ම ඉන්දියාව දිනාගත යුතුය. ඉන්දියාව අප වෙනුවෙන් ඡන්දය දීමක් යනු විශාල ජයග්‍රහණයකි. 51/1 යෝජනාව බෙහෙවින් දරුණුය. මේ වනවිට ලංකාවට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණයට මුහුණදිය යුතුය. හයිබ්‍රිඩ් උසාවියක් ගැනද සඳහන්ය. මීට පෙර ලංකාවේ උගත් පාඩම් කොමිසම තිබුණි. පරණගම කොමිසම තිබුණි. මේවායේ සාධනීය කරුණු තිබුණි. ඒවා උකහාගෙන කටයුතු කිරීම වඩා පලදායක වන්නට පුළුවන. වත්මන් විදේශ ඇමැතිවරයා විවෘතව මේවා දකින බව පෙනේනට තිබේ. තානාපති සේවය හරහා අපේ ස්ථාවරය ලෝකයට ගෙනයන්නට පුළුවන. විෂය කරුණු සම්බන්ධයෙන් දන්නා තානාපතිවරුන් හරහා අනෙක් රටවල් දිනාගන්නට අපට පුළුවන.

කැනඩාව බිල් 101 යෝජනාවක් ගෙනැවිත් තිබේ. එයින් කියන්නේ ලංකාව යුද අපරාධ කර ඇති බවටය. වත්මන් ආණ්ඩුව බටහිර දිනාගෙන තිබේ. එයට හේතුව සියලු ජාතීන් දිනාගැනීමට ආණ්ඩුවට ඉකුත් මැතිවරණයේදී හැකිවීමය. එවැනි පසුබිමක මෙරට මානව හිමිකම් සුරක්ෂිත කරන ආකාරය පිළිබඳව ලෝකයට එළිදැක්විය යුතුය. එසේ නොවුණහොත් යුද අපරාධ ආර්ථික අපරාධ කළා යැයි ඔවුන් හඳුනාගෙන සිටින අයට වීසා තහනම් කිරීමට යොමු විය හැකිය. ලංකාවට විවිධ සම්බාධක පැනවෙන්නට පුළුවන ජී.එස්.පී ප්ලස් සහනය අහිමි විය හැකිය. එහෙත් අපේ සැලැස්ම හරියට කඩිනමින් ඉදිරිපත් කළොත් එකී අහිතකර තත්වය ඇතිවීම වළක්වාගත හැකිය.

එහෙත් තවමත් එවැනි වැඩපිළිවෙළක් දක්නට නැත. ඉන්දියාව මෙන්ම අනෙක් රටවල්ද මේ ආණ්ඩුවට කැමැතිය. එහෙත් ඒ කැමැත්ත කොතරම් කාලයකටද දන්නේ නැත. ඊට පෙර ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කරන යාන්ත්‍රණය සකසා ගත හැකි නම් එය විශාල ජයග්‍රහණයකි. නව ව්‍යවස්ථාවක් හරහා එය වඩා යථාවත් කරගත හැකි විය යුතුය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රයෝජනයට නොගන්නා බවත් යම් හෙයකින් ප්‍රයෝජනයට ගන්නේ නම් ඒ මානුෂීය ආකාරයෙන් බවත් ආණ්ඩුවේ ස්ථාවරය වී තිබේ. එහෙත් එවැන්නක් ලෝකයට ප්‍රදර්ශනය වන්නේ නැත. එනිසා ආණ්ඩුව කෙරෙහි විශ්වාසය මීට වඩා විවෘත විය යුතුය. අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා 2007 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත තිබේ. ඒ යටතේ කටයුතු කළ හැකිය. මෙකී විවෘතභාවය මේ ආණ්ඩුවෙන් ප්‍රදර්ශනය විය යුතුය. ආර්ථික අයිතිවාසිකම් සහ සංස්කෘතික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති උනන්දුව සමාජීය අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද පෙන්නුම් කළ යුතුය. එසේ කරමින් 51/1 යෝජනාව පරාජය කිරීමට ජාත්‍යන්තර සහාය ගත යුතුය.

අද අලුත් පනතක් තිබේ. ඔන්ලයින් ආරක්ෂණ පනත එයයි. ඕනෑම කෙනකුට දේශපාලනික වශයෙන් අදහස් දක්වන්නට පුළුවන. එසේ අදහස් දැක් වූ පමණින් අත්අඩංගුවට ගැනීම ප්‍රශ්නකාරීය. පසුගිය දිනවල මහෙස්ත්‍රාත් අධිකරණවලින් ලැබුණු තීන්දුවලින් ඒ බව පැහැදිලිය. මේ හරහා සමාජයට යන්නේ ලොකු පණිවිඩයකි. අන්තර්ජාතිකව යන්නේ ද ලොකු පණිවිඩයකි. ඒ නිසා ජාතිවාදය නවතා දැමීම අත්‍යවශ්‍යය. 83 දී ජ.වි.පෙ තහනම් කළේ ද ජාතිවාදය ඇවිස්සීමේ චෝදනාවටය. වත්මන් පාලකයන්ට ඒ අත්දැකීම තිබේ. ඊළම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී යම් මන්ත්‍රීවරයකු කතා කරන්නේ නම් කතානායකවරයා මීට වඩා දැඩිව සිටිමින් හැන්සාඩ් වාර්තාවෙන් ඒවා ඉවත් කළ යුතුය. ඒ වගේම එවැනි ප්‍රකාශ කරන අය සම්බන්ධයෙන් යම් පියවරක් ගත යුතුය.

පවත්නා අභියෝග ජය ගැනීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වුවහොත් එයින් ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුය. මානව හිමිකම් උල්ලංඝනය, ජාතික ප්‍රතිසංස්කරණ, සංහිඳියාව සම්බන්ධ යෝජනාව ජයග්‍රහණය කිරීමට ලංකාව අපොහොසත් වුවහොත් යුද අපරාධ කළ අය අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම ලංකාවට එරෙහිව දැඩි තීන්දුවලට එළැඹීමට මානව හිමිකම් කවුන්සිලය යොමුවනු ඇත. ඒ වගේම ලංකාවට ලබාදෙන විදේශ ආධාර නවත්වන ලෙසට යෝජනා වී තිබේ. චෝදනාවලට ලක්වන පුද්ගලයන්ගේ වත්කම් විදේශ රටවල තිබේ නම් ඒවා තහනම් කළ යුතු බවට යෝජනා ඉදිරිපත්ව තිබේ. මේ අතර අපි අයි.එම්.එෆ්. යෝජනාවලට මුහුණ දී සිටින්නෙමු.

මෙවන් ප්‍රශ්න රාශියක් අප හමුවේ ඇති බව අමතක නොකළ යුතුය. එනිසා වහාම කළ යුත්තේ මේ කාරණා සම්බන්ධයෙන් විනිවිද පෙනෙන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමය. එසේ නොවුණහොත් ලබන වසරේ පෙබරවාරි මාසයේ දී මුහුණ දීමට සිදුවන තත්වය බරපතළය. අදාළ කාරණා මානව හිමිකම් කවුන්සිලය හරහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වුවහොත් දැඩි ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇත. ආර්ථික ප්‍රශ්නවලින් හෙම්බත් වී සිටින ආණ්ඩුව මානව හිමිකම්වලින් හෙම්බත් නොවිය යුතුය. එසේ හෙම්බත් නොවීමට නම් ඉදිරි වසර දහය වෙනුවෙන් ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ යුතුය. දැනටත් සිදුවන මානව හිමිකම් කඩවීම් වැළැක්වීමට වහා ක්‍රියාත්මක විය යුතුය.

ජාත්‍යන්තර අධිකරණයක් හමුවට යාමේ අනතුර තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැත. එනිසා ලබන පෙබරවාරි මාසය වනවිට අවශ්‍ය පියවර ගත යුතුව තිබේ. මානව හිමිකම් සම්බන්ධ ඇමැතිවරයෙක්ද නැත. එදා පැමිණි 51/1 යෝජනාව අදටත් තිබේ. මේවාට ආමන්ත්‍රණය කිරීමට ගෙන ඇති පියවර කුමක්ද? ඉදිරියට ගෙන යන්නේ කුමක්දැයි මේ ආණ්ඩුවට අභියෝගයකි. නව ව්‍යවස්ථාවක් ගේනවානම් මානව හිමිකම් සම්බන්ධයෙන් එයට ඇතුළත් කරන්නේ කෙසේද? යුද කාලයේ පටන් මානව හිමිකම් කඩවෙනවා නම් ඒ නඩු විභාග කර විසඳන්නේ කෙසේද? භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස රැක ගන්නේ කෙසේද? යන්න පැහැදිලිව ප්‍රත්‍යක්ෂ කළ යුතුය. ඉන්දියාව, දකුණු අප්‍රිකාව, සියරා ලියෝන්, රුවන්ඩාව මේවා ජයග්‍රහණය කළේ කෙසේදැයි සොයා බැලිය යුතුය. ඒ ජයග්‍රහණ මාවතට යාමට නම් සියලු පක්ෂ එක්විය යුතුය. එහෙත් එවැන්නක් පෙනෙන්නට නැත.

(***)



අදහස් (1)

ලංකාවේ මානව හිමිකම් අභියෝග

PGPThilak Monday, 16 December 2024 08:06 PM

රාජපස්ස සට්ටැඹියෙක් අයෙක් කළ එළි බැහැලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 107 1

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 156 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 50 0

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 42 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 927 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1084 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 136 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 906 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site