IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලෝක දූෂණ දර්ශකයේ අපේ තැන

ගෝලීය වශයෙන් පවතින දූෂණය මැන බලා දූෂණය හැඳින ගැනීමේ දර්ශකය වාර්ෂිකව සකසන බර්ලින් හි ට්‍රාන්ස්පේරන්සි අන්තර්ජාතික ආයතනය කියා සිටින පරිදි 2021 දී ශ්‍රී ලංකාවේ දූෂණය තවත් ඉහළ ගොස් තිබේ. 2020 වසරේ දී ශ්‍රී ලංකාවේ දූෂණය පෙන්වා දෙන අගය 38 වුව 2021 දී එය 37 දක්වා පහත වැටී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වශයෙන් රටවල් 180 ක් අතරින් 94 මට්ටමේ සිටි ශ්‍රී ලංකව 102 ස්ථානයට ඇද වැටී තිබේ. ඉතා උනන්දුවෙන් ආර්ථික විද්‍යාව හදාරන දීප්තිමත් ශිෂ්‍යාවක වූ අසේනි මෙම පුවත දැක බෙහෙවින් සලිත වූවාය. 

ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමටත්, කාලයක් පුරා එම වර්ධනය ස්ථාවරව තබා ගැනීමටත් දූෂණයෙන් තොර සමාජයක් රටක තිබීම අනිවාර්යය අංගයක් බව අසේනි පාසලේ දී උගෙන තිබිණි. ඇයට මෙම කරුණ හරි හැටි තෝරා බේරා ගැනීමට අවශ්‍ය වූයෙන් තම සීයා වූ සරත් මහත්තයාගෙන් විමසා දැන ගැනීමට අසේනි තීරණය කළාය. සරත් මහත්තයා කලින් මුදල් අමාත්‍යාංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. පහත දැක්වෙන්නේ දෙදෙනා අතර ඒ සම්බන්ධයෙන් සිදු වූ සංවාදයයි. 

අසේනි - සීයේ දූෂණය හැඳින ගැනීමේ දර්ශකයේ ශ්‍රී ලංකාවේ තත්ත්වය තවත් නරක අතට වැටී ඇති බව හැම පුවත් සේවාවකම සඳහන් වෙනවා. 2020 ශ්‍රී ලංකාවේ ලකුණු තත්ත්වය 38 ව තිබී 2021 එය 37 දක්වා පහත වැටී ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව 94 සිට 102 දක්වා පහතට තල්ලු වෙලා. මේ දර්ශකය සකස් කරන්නෙ කව් ද? සැබෑ දූෂණය යනුවෙන් නොකියා දූෂණය හැඳින ගැනීමේ දර්ශකය හැටියට මෙය හඳුන්වන්නේ ඇයි? 

සරත් - මේ දර්ශකය කෙටියෙන් හඳුන්වාන්නේ CPI කියලයි. එය සකස් කරන්නේ ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර් නැෂනල් ආයතනයයි. ජර්මනියේ බර්ලින් නුවර පිහිටා තිබෙන එම ආයතනය ගෝලීය දූෂණයට එරෙහිව සටන් වදින ආයතනයක්. මෙය ආරම්භ කළේ 1993 දී ලෝක බැංකුවෙන් විශ්‍රාමලත් නිලධාරියකු විසින්. ඔහුගේ නම පීටර් ඊජන් (Peter Eigen) ඔහු මුලින්ම අත්දුටුවේ නැගෙනහිර අප්‍රිකාවේ ව්‍යාප්ත වී තිබුණ අධික දූෂණයයි. එය සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ කතා නොකරන මාතෘකාවක්. එය කතා කිරීම තහනම් විෂයක් හැටියටයි සැලකුණේ. තමන්ගේ මතයම දැරූ තවත් පුද්ගලයන් 9 දෙනකු එක්ක කණ්ඩායම් ගතවුණු ඊජන් කුඩා සංවිධානයක් පිහිටුවා ගත්තා. ඔවුන්ගෙ අරමුණ වුණේ ලෝ පුරා පැතිර තිබුණ දූෂණය අධ්‍යයනය කොට, විෂ්ලේෂණය කර දූෂණ පැවතුම් හෙළිදරව් කරමින් ගෝලීය දූෂණය පිටු දැකීමයි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ආරම්භය සිදු වුණේ ඒ ආකාරයටයි. 

ඔවුන්ගේ ආදර්ශ පාඨය වුණේ, දූෂණයට එරෙහිව දේශීයව මෙන්ම ගෝලීයවත් සටන් වැදිය යුතුය යන්නයි. ගෝලීය වශයෙන් පවතින දූෂණය හෙළිදරව් කිරීම්, රටවල්වලට දේශීය වශයෙන් දූෂණයට එරෙහිව සටන් වැදීමට උපකාරී වනවා යන්න ඔවුන් අවබෝධ කර ගැනීම එම ආදර්ශ පාඨයට පදනම් වුණා. සමාජයක කටයුතු වසන් නොවී විනිවි ද පෙනෙන සුළු භාවයට පත් කළහොත් දූෂණය තුරන් කිරීමේ ඉඩ ප්‍රස්ථා වැඩිවෙනවා. රාජ්‍ය කටයුතු විනිවිද පෙනෙන සුළු භාවයෙන් පවත්වා ගැනීමට ට්‍රාන්ස්පේරන්සි ආයතනය උපදෙස් දෙන්නේ ඒ නිසයි. 

තමන්ට දී ඇති බලය තමන්ගේ පෞද්ගලික වාසි තකා භාවිත කිරීම, යනුවෙන් ඔබට දී ඇත්තේ අන්‍යයන්ට සේවය කිරීම ඔබට පහසුවෙන් කළ හැකිවීම උදෙසායි. එහෙත් එම බලය එකී අරමුණෙන් භාවිත නොකර ඔබ එම බලය, ඔබට අහිමි ලාභ ප්‍රයෝජන ගැනීම සඳහා භාවිත කරන්නේ නම් එවිට සිදුවන්නේ දූෂණයක්. එහි දී ඔබ කරනුයේ අන්‍යයන්ට පාඩු කිරීමක්. එය අවසානයේ මහ දවල් අනුන්ගේ ධනය කොල්ල කෑමකට සමානයි. 

එහෙත් මෙම දූෂණය සිදුකරන පුද්ගලයන් නීතිය/ අධිකරණය හමුවට ගෙන ආවොත් මිසක ඇත්තෙන්ම සිදුවන පාඩුව මැන බලන්නට බැහැ. එසේ නීතිය හමුවට ගෙන ඒම සමාජය තුළ සිදුවන්නේ කලාතුරකින්. තමන් සතුව බලය ඇත්තන්ට, නීතියේ දිගු හස්තයෙන් ආරක්‍ෂා වෙන්න පුළුවන්. බලවත් පුද්ගලයන් අධිකරණය හමුවට ගෙන ආ පසුව සාක්‍ෂි මදිකම නිසා හෝ නඩු පැවරීමේ දුර්වලතා මත ඔවුන් නිදහස් වී යන බව ඔබට පුවත් පත්වල කියවා ගන්නට ලැබෙන්නේ ඒ නිසයි. එහෙත් මෙම දූෂණ ක්‍රියා මිනිසුන්ගේ හිතේ රැඳෙනවා. ඒ මගින් දූෂණය සහිත සමාජ පැවැත්මක් ගැන අවබෝධයක් සැකසෙනවා. දූෂණය සමාජ පැවැත්මේ කොටසක් ලෙස අවබෝධ කරගැනීම සැබෑ දූෂණ, ක්‍රියා තරමටම නරකයි. 

සීසර්ගේ භාර්යාව, සැකයට ඉහළින් සිටිය යුතුය යන පැරණි රෝමානු සමාජයට අදාළ පිරුළ මෙහි දී මතක් වේවි. ඒ නිසා දූෂණය මනිනු ලබන්නේ ඒ පිළිබඳ මිනිසුන්ට තිබෙන හැඟීම අනුවයි. එය දූෂණය හැඳින ගැනීම (ප්‍රත්‍යක්ෂ කර ගැනීම) හැටියට හඳුන්වනවා. කාලයක් පුරා ලබන අත්දැකීම තුළින් මිනිසුන් මෙම ප්‍රත්‍යක්ෂ අවබෝධය සකස් කර ගන්නවා. එම නිසා දූෂණය පිළිබඳ මිනිසුන්ගේ ප්‍රත්‍යක්‍ෂ අවබෝධය ඉහළ නම්, එවිට ඒ වෙනුවෙන් මිනිසුන් තුළ ඇති කම්පාවත් ඉහළ යනවා. දූෂණය විසින් ඔවුන්ගේ සම්පත්වල යුෂ උරා බී, ඔවුන් අවිනිශ්චිත ජීවිතයකට ඇද දමා, ගැලවෙන්නට බැරි ඉරණමකට ඔවුන් හෙළා ඔවුන්ගේ ධනය ක්‍ෂය කර දමන නිසයි, එසේ සිදුවන්නේ. අන්න ඒ නිසයි. සැබෑ දූෂණය වෙනුවට දූෂණ හැඳින ගැනීම මැන බලන්නේ. 

ප්‍රත්‍යක්‍ෂණය ගැන දැන ගන්නට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ඒ ඒ රටවල ජීවත්වන වැසියන්ගේ හරස් කැපුමක් සමීක්‍ෂණය කරන්නේ. එහිදී ව්‍යාපාරිකයන්, සාමාන්‍ය මිනිසුන් හා ප්‍රජා නායකයන්ගේ ක්‍රියා ජනතාවට බලපෑ අවස්ථා ඉවහල් කර ගනිමින්. ඊට අමරතව ලෝක බැංකුව හා වර්ල්ඩ් ඉකොනොමික් වැනි ගෝලීය සංවිධාන පළ කරන ලද වාර්තාත් ට්‍රාන්ස්පේරන්සි ආයතනය එම රටවල දූෂණ මට්ටම ගැන විමසා බැලීමට උපයෝගී කර ගන්නවා. 2021 (CPI) දූෂණ හඟවන දර්ශකය ගණනය කරනු ලැබුවේ විවිධ ආයතන 12 ක දත්ත මූලාශ්‍ර භාවිත කරමිනුයි. ඒවා 2020-2021 කාලයේ රටේ දූෂණය හඳුනා ගැනීම සැබෑ දැනුම ඇති ආයතන. එම නිසා එය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් සම්පූර්ණ කරනු ලබන පුළුල් උපදේශක ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. 

ඉහළ දූෂණයක් පවතින, පහළ ශ්‍රේණිවලට වැටෙන රටවල ආණ්ඩු මෙම (CPI) දූෂණය අඳුනා ගැනීමේ දර්ශකය ප්‍රසිද්ධියට පත් කළ විට විරෝධතාපාන්නේ ඒවා සකසන ආකාරය නොදැනයි. ඔවුන් කළ යුත්තේ ඊට විරෝධය පෑම නොව තමන්ගේම රටේ ජන මතය වෙනස් කිරීමට ක්‍රියාමාර්ග ගැනීමයි. දූෂණය හඳුනා ගැනීමේ දර්ශකය උදෙසා භාවිත කිරීම සඳහා දූෂණයට අදාළ ප්‍රත්‍යක්‍ෂ කරුණ වාර්තා කරනුයේ ඔවුන්ගේ රටවල වැසියන් බව ඔවුන් දන්නෙ නැහැ.

අසේනි:- ඒ විවිධ ආයතන ඔවුන් තෝරා ගන්නෙ කොහොම ද? ඒවා තෝරා ගනිද්දි මූලික සාධක මොනව හරි තියෙනව ද?

සරත්:- ඔවුන් එම ආයතන හිතුමතේ තෝරා ගන්නෙ නෑ. ඒවාට යම් යම් සුදුසුකම් සපුරා තිබිය යුතුයි. ඉන් එකක් වන්නේ ඒවාට රාජ්‍ය අංශයේ දූෂණය ප්‍රත්‍යක්‍ෂ කරන අවදානම පළ කෙරෙන සංඛ්‍යා ලේඛන ඇතුළත්ව තිබිය යුතු වීමයි. තවත් එකක් වන්නේ ඒ ආයතන විධිමත් ලෙස ඔවුන්ගේ ඇගයුම් යාවත් කාලීන කළයුතු වීමයි. ඒවා ප්‍රත්‍යක්‍ෂණය ඇගයුම් කර ගැනීමට පිළිගත්, විශ්වාසදායී ක්‍රමවේද අනුගමනය කරනු ලබන කීර්තිමත් සංවිධාන විය යුතුයි. එම ආයතන ප්‍රමාණවත් රටවල් සංඛ්‍යාවක දූෂණ ප්‍රත්‍යක්‍ෂණයන් ඇගයුම් කර තිබිය යුතුයි. එම නිසා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ගොඩනගා ඇත්තේ කීර්තිමත් සංවිධාන ඇතුළත් ක්‍රමවේදයක්. ශ්‍රී ලංකාවේ දූෂණ හඳුනා ගැනීමේ දර්ශකය ගණනය කිරීම සඳහා භාවිත කර තිබෙන වැදගත් මූලාශ්‍ර දෙකක් වන්නේ ලෝක ආර්ථික සංසදය (World Economic Forum) හා වරල්ඩ් ජස්ටිස් ප්‍රොජෙක්ට් නීති මාලාවයි.  

අසේනි:- ලකුණු සංඛ්‍යාව ගණනය කරන්නේ කොහොමද? ඉන් අදහස් වෙන්නෙ කුමක්ද? 

සරත්:- දූෂණ හඳුනා ගැනීමේ දර්ශකය (CPI) සැලකිල්ලට ගනු ලබන රටේ රාජ්‍ය අංශයේ දූෂණ ප්‍රත්‍යක්‍ෂණයන් ඇසුරෙන් සැකසෙනවා. පෞද්ගලික අංශයේ දූෂණයක් නැතැයි ඉන් අදහස් වන්නේ නෑ. රාජ්‍ය අංශය අවධානයට ගැනීමට ගන්නේ ජනතාවගේ ජීවිත හා සුබසාධනය කෙරෙහි ගෝලීය බලපෑම සලකා බැලීමටයි. පෞද්ගලික අංශයේ දූෂණය ප්‍රධාන වශයෙන් දේශීය වශයෙන්. එය ජනතාවට ඇතිකරනු ලබන බලපෑම සීමිතයි. 
එම නිසා දූෂණය හැඳින ගැනීමේ දර්ශකය (CPI) සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ අල්ලස්, මහජන මුදල් අනිසි භාවිතය, රජයේ නිලතල හරහා පෞද්ගලික වාසි ලැබීම, අගතිගාමී කටයුතු, ඥාති සංග්‍රහය, රාජ්‍ය බලය පෞද්ගලික වාසි තකා ඉවහල් කර ගැනීම යන කාරණා හසුකර ගන්නවා.

හඳුනාගත් මට්ටම අනුව එක් එක් රටට ලකුණු ප්‍රමාණයක් ලබාදෙනවා. හඳුනා ගැනීම කරනු ලබන්නේ උපදෙස් දෙනු ලබන පුද්ගලයන් විසින්. යම් රටකට ලකුණු 100 ක් ලැබුණොත්, එයින් අදහස් වන්නේ එම රට තුළ කිසිදු දූෂණයක් හඳුනා ගෙන නැති බවයි. වෙනත් ආකාරයකින් කීවොත් එය අතිශ්‍ය සුපිරිසුදු භාවය පෙනී යන රටක්. අනෙක් අතට යම් රටකට 0 (බිංදුව) ලැබුණහොත් එය සම්පූර්ණයෙන් දූෂිත රටක්. 2021 දී (CPI) දූෂණය හඳුනා ගැනීමේ දර්ශකයේ පහත්ම ලකුණු ප්‍රමාණය වූ 11 ලැබූ රට දකුණු සුඩානයයි. ලකුණු ප්‍රමාණය අතින් අනෙක් අන්තය බැලූවිට ඩෙන්මාර්කය, පින්ලන්තය, නවසීලන්තය යන රටවල් තුන ඉහළම ලකුණු ලබා තිබෙනවා. එම ලකුණු ප්‍රමාණය 88 ක්. අනෙක් සියලුම රටවල් පවතින්නේ මෙකී ලකුණු සීමා මැදයි.

ශ්‍රී ලංකාව 2021 දී ලැබූ ලකුණු ප්‍රමාණය 37 ක්. එම ලකුණු ප්‍රමාණය රටවල් 180 කින් තිබෙන්නේ 102 වැනි ස්ථානයේ. එය 2020 ලැබූ 38 ක ලකුණු ප්‍රමාණයෙන් පහත වැටීමක්. එම වසරේ දී ලෝකයේ අනෙක් රටවල් අතර එවිට ශ්‍රී ලංකාව සිටියේ 94 වැනි ස්ථානයේ. දූෂණය හඳුනා ගැනීම අතින් පසුගිය අවුරුදු 10ම ශ්‍රී ලංකාව සිටියේ මෙම තත්ත්වයේ. යහපාලන රජය පැවැති කාලයේ ශ්‍රී ලංකාව දූෂණ අතින් අඩු මට්ටමකට පත්වේ යැයි බලාපොරොත්තු වුණා. ශ්‍රී ලංකාව ලැබුවේ ලකුණු 37 – 38 අතර සංඛ්‍යාවක්. අනෙක් රටවල් අතර එවිට ශ්‍රී ලංකාව සිටියේ 89 සහ 95 ස්ථානවලයි. මෙයින් අදහස් වන්නේ, රාජ්‍ය අංශයේ දූෂණ සම්බන්ධයෙන් ප්‍රධාන පුරවැසියන් තුළ හා ව්‍යාපාරවල පැවැති දූෂණයේ වෙනසක් නොවූ බවයි. 

මෙය ලංකාවට සතුටු විය හැකි තත්ත්වයක් නෙවෙයි. වසරින් වසර ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය පහත වැටුණා. 2012 දී අනෙක් රටවල් අතර ඊට හිමිවුණේ 79 වැනි ස්ථානය. අවුරුදු 10 කට පසු අප 102 වැනි ස්ථානයට ඇද වැටී තිබෙනවා. සමස්ත ලකුණු ප්‍රමාණයත්, ඒ අනුව අයත් ස්ථානයත් වසරින් වසර අයහපත්වී තිබෙනවා. ඒ නිසා මෙම තත්ත්වය කිසිම ආකාරයකින් නොසලකා හරින්නට බැහැ. දූෂණ ක්‍රියා සිදුවන අවස්ථා පරීක්‍ෂා කර බලා එම ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය පියවර හඳුන්වා දිය යුතු වෙනවා.

අසේනි:- ශ්‍රී ලංකාව ගතයුතු එම ප්‍රබල පියවර මොනවාද? දැනට ගෙන තිබෙන පියවර ශක්තිමත් නැති ද? 

සරත්:- වැදගත් වන්නේ දූෂණය හඳුනා ගැනීමයි. දූෂණ ක්‍රියාව ශ්‍රී ලංකාව තුළ ඉවසා වදාරා ගත යුක්තක්ය යන හැඟීමක් ජනතාව තුළ ඇතිවී තිබෙනවා. අප ලකුණු අතිනුත්, මට්ටම අතිනුත් පහත වැටී ඇත්තේ ඒ නිසයි. 19 වැනි සංශෝධනය යටතේ දූෂණයට එරෙහිව සටන් කිරීමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට උත්සාහ ගෙන තිබුණා. එහෙත් දැන් එය 20 වැනි සංශෝධනය යටතේ දියාරු වී ගිහින්. රටක දූෂණය දුරලීමේ දඩ බල්ලන් වූ අල්ලස් හෝ දූෂණ කොමිසම අධිකරණය ඉදිරියට ගොස් එහි ක්‍රියාපිළිවෙළ වැරදියට සිදුවුණු බවත්, දූෂිතයන්ට විරුද්ධව චෝදනා දිගින් දිගට කිරීම අනවශ්‍ය බවත් යෝජනා කරන රටක ජනතාවගේ දූෂණ සංජානනය කර ගැනීමේ හැකියාවට කුමක් සිදු වේද?

එහි ක්‍රියාමාර්ග වැරදී ගිය බව ඇත්තයි. එහෙත් එසේ පැවසීම නිසා මේ වන විටත් ජනතාව දූෂණය හඳුනා ගන්නා ආකාරය නැවත ලෙහෙසියෙන් සකසා ගත නොහැකි තරමේ නරක මට්ටමට දැන් වැටී තිබෙනවා. එසේ වූ විට බලයේ ඉන්නා උදවියට ඉන් ලැබෙන්නේ වැරැදි සංඥාවක්. නීතියේ තිබෙන සිදුරුවලින් පහසුවෙන් නිතර රිංගා යා හැකිය, යන හැඟීම ඔවුන්ට ඉන් ඇතිවෙනවා. ඔවුන් අසීමිත ලෙස දූෂණයේ නියැලෙමින් මුළු සමාජයම ගිල ගන්නවා. දූෂණය සමාජය විසින් පිළිගන්නා පුරුද්දක් බවට පත්වූවිට එය තව තවත් බෝවීම කිසිවකුට නවතන්න බැහැ.

අසේනි:- ඒ ගැන පාලකයන්ට කළ හැක්කේ මොනවාද? 

සරත්:- එය පාලකයන් පමණක් ඉටු කළ යුතු කාර්ය කොටසක් නොවේ. ඒ සඳහා සමාජයත්, පාලකයනුත් එක්වී කටයුතු කළ යුතුයි. පාලකයන්ගේ පැත්තෙන් දූෂණයෙන් තොර සමාජයක් නිර්මාණය කරන බවට වචනයෙන් මෙන්ම ක්‍රියාවෙනුත් කැපවිය යුතුයි. රජයේ ඉහළම තැන පටන් ඊට උදාහරණ දෙමින් පටන් ගත යුතුයි. සිංගප්පූරුවේ දූෂණය හඳුනා ගැනීමට ඇත්තේ ඉතාමත් අඩුවෙන්. දූෂණය ඉතා අඩු මට්ටමකට පත් රටක් බවට පත්වී එය තිබෙන්නේ දෙවැනි ස්ථානයේ රටවල් අතරයි. මෙම තත්ත්වය එම රට එක රැයකින් උදාකරගත් තත්ත්වයක් නෙවෙයි. ඔවුන් මෙම තත්ත්වයට පැමිණියේ දැඩි ප්‍රතිපත්ති හා දැඩි ක්‍රියාමාර්ග ඔස්සේ. 

අසේනි:- ඒ ප්‍රාතිහාර්ය සිංගප්පූරුව සිදු කළේ කොහොම ද? 

සරත්:- එය කළේ ආණ්ඩුවේ සෑම මට්ටමකම අයගේ ආදර්ශයෙන් හා කැපවීමෙන්. සිංගප්පූරුවෙ පළමු අගමැති ලී ක්වාන් යු තමන්ගේ ජීවිත කතාවේ දෙවැනි වෙළුම වන ‘‘තුන්වැනි ලෝකයෙන් පළමු ලෝකයට’’ කියන කෘතියේ සමූහයක් වශයෙන් එය සිදුකළ ආකාරය ඔහු කරුණු සහිතව විස්තර කරනවා. ඔවුන්ගේ ආදර්ශ පාඨය වුණේ ‘‘අවංක බවත්, පාරිශුද්ධ බවත්, පෞද්ගලික ජීවිතයේ දී මෙන්ම ප්‍රසිද්ධ ජීවිතයේදීත් පෙන්විය යුතුය’’ යන්නයි.

දූෂණයෙන් තොර, පිරිසුදු ආණ්ඩුවක් පිහිටුවීමට, තමුන්ගේ පක්‍ෂය මිනිස්සුන්ටයි, සාමාන්‍ය වැසියන්ටයි එක සමාන ලෙස නීතිය ක්‍රියාවේ යෙදවීම අවශ්‍ය වෙනවා. ඔබ පළමුව කී කණ්ඩායමේ වාසිය තකා ක්‍රියා කළොත් ඔබේ ක්‍රියා කෙරේ දෙවැනි කණ්ඩායමේ විශ්වාසය බිඳ වැටෙනවා. ලී ක්වාන් යූ සහ ඔහුගේ කණ්ඩායම නීති, එක හා සමානව හැමදෙනා වෙත ක්‍රියාත්මක කළේ ඒ නිසයි. ඒ අරමුණ සඳහා දූෂණ ක්‍රියා විමර්ශනය කිරීමේ බියුරෝව (CPI B – Corrupt Practices Investigating Bureau) ශක්තිමත් කරනු ලැබුවා. එය බ්‍රිතාන්‍ය පාලන සමයේ පටන් පැවැති ආයතනයක්. 

රජයේ ඉන්නා පොඩි මිනිසුන්ගෙන් දූෂණය තුරන් කරන්නට බලපත්‍ර ක්‍රම අහෝසි කළා. රාජ්‍ය සේවය රටවැසියා වෙත ඉටුවිය යුතු බවට පැහැදිලි මාර්ගෝපදේශ ඉදිරිපත් කළා. රාජ්‍ය සේවාව විනිවිද පෙනෙන සුළු බවට පත්වූ විට, තමන්ගේ අයිතිය ගැන දැනගත් රටවැසියෝ පහත මට්ටමේ රාජ්‍ය සේවකයන්ගෙන් ගුණාත්මක භාවයෙන් යුතු අවංක සේවාවක් ඉල්ලා සිටියා. පහළ මට්ටමෙන් දූෂණය තුරන් කර දැමුවේ ඒ ආකාරයටයි. එය විනිවිද පෙනෙන සුළු භාවය සහ රටවැසියන් බල ගැන්වීම යන ද්විත්ව ප්‍රවේශයකින් සිදු වූවා. 

ඇමතිවරුන් වැනි ලොකු ලොක්කන් අල්ලා ගන්නට (CPI B) දූෂණ ක්‍රියා විමර්ශනය කිරීමේ බියුරෝවට විශේෂ උපදෙස් නිකුත් කළා. දූෂණය යන්නට දී තිබුණ අර්ථකථනය ද නැවත සකස් කළේ එය මුදලින්ම ගත යුතු වාසියක් සේ නොසලකා ඕනෑම අගය ඇති යමක් යන්න නිර්වචනයට ඇතුළත් කරමින්. එහි ප්‍රතිඵලයක් ලෙස යම් ඇමැතිවරයකු යම් තැනකට ගොස් නිවාඩුවක් ගත කරන්නට නොමිලේ සංචාරයක් මිතුරකුගෙන් ලද හොත් හෝ වන්දනා ගමනක් එසේ නොමිලේ ලබා ගතහොත් එය දූෂණ ක්‍රියාවක් හැටියට සැලකුණා. එම පුළුල් නිර්වචනය ශ්‍රී ලංකාවේ ද භාවිතයට ගතහොත් සියලුම දේශපාලකයන්ටම වාගේ තමන්ගේ කාර්යයෙන් ඉවත් වන්නට සිදුවන බව පෙනේවි.

යම් කිසිවකු තමන්ට හැකි ප්‍රමාණය ඉක්මවා ධනය එක් රැස් කරගත් විට එය දූෂණයක් ලෙස සනාථ කරන්නට හැකි බලය අධිකරණයට පැවරුවා. මෙයින් අර්ථවත් වන්නේ යම් දේශපාලකයකු ආදායම් බදු බලධාරීන්ට ප්‍රකාශ කර ඇති තමාගේ සාමාන්‍ය ආදායමට වඩා දේශපාලන ඔස්සේ ධනය එක් රැස් කරගෙන තිබේ නම් ඔහු අල්ලස් ලබාගත් අයකු ලෙස එහි දී සැලකෙනවා. මෙම නීතිය ඇමතිවරුන්ටත්, විරුද්ධ පක්‍ෂයේ දේශපාලකයන්ටත් එකසේ අදාළ වෙනවා.

එසේ එක හා සමානව සැලකීම නිසා තමාගේ සමීප සගයන් වූ අමාත්‍යවරුන් කිහිප දෙනකුගේම වෘත්තීය අහිමි වූ බව ලී ක්වාන් යූ කියනවා. එසේ එක සේ සැලකීම නිසා සිංගප්පූරු වැසියන් පමණක් නොව, විදේශිකයන් පවා සිංගප්පූරුව කෙරේ විශ්වාසය තැබුවා. දූෂණයට එරෙහිව සටන් වැදීම පොරොන්දු ඉටු කිරීමක් පමණක් නොවේ.

එය බැරෑරුම් කර්තව්‍යයක්. මෙම දූෂණ ක්‍රියාවන් අදාළ වුණේ අමාත්‍යවරුන්ට පමණක් නොවේ. ඔවුන්ගේ භාර්යාවන්ට, දරුවන්ට හා සමීප ඥාතීන්ට පවා එම නීති සිංගප්පූරුවේ දී අදාළයි. ඇමතිවරුනට සමීප උදවිය හා ඇමතිවරුන් යම් යම් වාසි ඉල්ලා සිටි විට, එම ඉල්ලීම්වලට ලක්වූ කොම්පැනි එම අවස්ථා (CPI B) විමර්ශන බියුරෝවට පැමිණිලි කළා. ඒ නිසා අවසානයේ දී ඇමැතිවරුන්ට තමන්ගේ සමීපතමයන්ගේ ක්‍රියා පිළිබඳව වගකීම ගෙන දේශපාලනයෙන් ඉවත්ව යන්නට සිදුවුණා. 

අසේනි:- මේවායින් තේරුම් යන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලධාරීන් දූෂණයෙන් තොර සමාජයක් බිහි කරන්නට සැබෑ උනන්දුවක් දක්වනවා නම්, ඒ සඳහා පොරොන්දු දෙන්නට පමණක් නෙවෙයි, ඒවා ඉටු කරන්නටත් සිදුවන බවයි.

සරත්:- එක් නිවැරැදි කිරීමකට යටත්ව එය නිවැරැදියි. ඔවුන් පොරොන්දු ඉටු කළ යුතුවා පමණක් නෙවෙයි. ඔවුන් පොරොන්දු ඉටු කරන බව ජනතාවටත් දැනෙන්නට එය කළ යුතුයි. යුක්තිය ඉටු කිරීමේදී, යුක්තිය ඉටු කරනවා පමණක් නොව එය ඉටුකරන බව පෙනී යා යුතු වෙනවා කියන්නා වාගේ. ඒ නිසා දූෂණය හඳුනා ගැනීමත් දූෂණය තුරන් කිරීම හා සමානව වැදගත් වෙනවා.


ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන විසිනි

2022/1/31 දා Daily FT හි පළවූ, Sri Lanka's elevated Corruption Percetion Needs immediate attention ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ



අදහස් (6)

ලෝක දූෂණ දර්ශකයේ අපේ තැන

yamuna Wednesday, 23 February 2022 01:21 PM

ඉතා හොඳ පැහැදිලි කිරීමක්... හැමෝම දැනගතයුතු දේවල්... අපේ රටේ දැනගත්තට ඇති වැඩක් නැහැ..

:       0       3

asanka Thursday, 24 February 2022 06:18 PM

කෙහෙළියගේ විදුලි බිල කෝටියකට වැඩියි. හැබැයි ලයිට් කපන්නේ නැහැ. රටේ සාමාන්‍ය මිනිසෙකුගේ විදුලි බිල මාස දෙකක් ගෙව්වේ නැත්නම්, විදුලිය කපලා නැවත සන්ධි කරන්නට දඩයකුත් ගහනවා. ඔය තියෙන්නේ දුෂණයට හොඳ උදාහරණ..!

:       0       3

NM Saturday, 26 February 2022 06:59 AM

ගෝලීය වශයෙන් පවතින දූෂණය මැන බලා දූෂණය හැඳින ගැනීම සහ දේශීයව පවත්නා දුෂණය (දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන්) හඳුනාගෙන දුෂණය වළක්වා ගන්නේ සහ ඉදිරියට දුෂණය ක්‍රමයෙන් ඉවත් කරගනු ලබනුයේ කෙසේද කියා සමාජය කොපමණ සාකච්ඡා වුවද මෙතෙක් නිසි ප්‍රතිඵල ලබාගැනීමට හැකියාවක් ලැබී නොමැත... කොමිසන්ස් පත්කළද ඔවුන්ට පවා මෙම දුෂණ හෙලිකර ගැනීමට හැකියාවක් ඇතත්, අවසානයේ දූෂකයින් හට නීතිය හමුවට ගෙනඒමට සහ තීන්දු තීරණ ගැනීමට පෙර මැතිවරණයක් පවත්වා විපක්ෂය බලයට පත්වූ පසු සියලු දුෂණ පරීක්ෂණ හෝ නඩු ඉතා ඉක්මණින් අවසන් කර දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් නිදොස් කොට නිදහස් කරනු පෙනේ. මෙවැනි සිදුවීම් නිතර අසන්නට සහ දකින්නට ලැබෙන නිසා සහ රටවැසියන් ඔවුන්ගේ සදාතනික ජීවන අරගලයක නියැලෙන නිසා ඔවුන් පවා දූෂණය පිළිබඳව උනන්දුවක් දැක්වීම අඩුකර තිබේ. ට්‍රාන්ස්පේරන්සි අන්තර්ජාතික ආයතනයේ හෝ ගෝලීය දර්ශකයේ ලංකාව කොතැනක සිටියද රටේ පූර්ණ දේශපාලන පරිවර්තනයකින් තොරව දූෂණයට විරුද්ධව කොපමණ අරගල කළද වර්තමාන දේශපාලන ක්‍රමවේදය තුළ විසඳුම් ලබාදිය නොහැකිය.

:       0       2

NM Saturday, 26 February 2022 06:38 PM

දූෂණයට විරුද්ධව හඬක් නගන පළපුරුදු විශ්‍රාමික රාජ්‍යා නිලධාරීන් ලංකාවේ සිටියි. ඔවුන් වරින් වර මාධ්‍ය සකච්ඡා සඳහා පැමිණ ඔවුන්ගේ අදහස් සහ කළ යුතුදේ නොපැකිළව කියා සිටියි. රටට වෙනසක් බලාපොරොත්තු වන පළපුරුදු අවංක රාජ්‍ය නිලධාරීන් ඉදිරියට පැමිණ සමස්තයක් වශයෙන් සහ විශේෂයෙන්ම ආර්ථික වශයෙන් කඩාවැටුණු රට නැවත නගා සිටුවීමට නොමිලයේ නිදහස් අද්‍යාපනය ලද ඔවුන් අවංකවම ලබා දෙන්නාවූ සේවය සහ කැපවීම නොමිලයේ රට වෙනුවෙන් කළහැකි නම් මුදල් ලබා කරන්නා වූ සේවයට වඩා වටිනාකමක් සහ නිහතමානි සතුටක් අනාගතයේ දිනයක ඔවුන්ට ලැබිය හැකිවනු ඇත.

:       0       2

fairoos Sunday, 27 February 2022 05:57 PM

සර් ෆේල්..!!!

:       0       1

kamalSunday, 27 February 2022 07:04 PM

සර් ෆේල් නැත... වටේ ඉන්න ෆේල් කණ්ඩායම නිසා සර් ෆේල් බව හැමෝටම සිතේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3068 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12232 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 564 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 939 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1016 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 495 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site