IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ලක් පොළොවේ ගැඹුරුම තැන සිට මිනිරන් කඩන මිනිසුන්ගේ කතාව

  02-Page-12-S2-03     

පතලේ අභ්‍යන්තරයේ දර්ශනයක්

 

 

ශ්‍රීමත් ජෝන් කොතලාවල නාමය මෙරට ජනතාව අතර චිර ප්‍රසිද්ධය. මෙරට අතීත දේශපාලනයේ සේම දොඩම්ගස්ලන්දේ මිනිරන් පතල් හා සම්බන්ධ පතාක යෝධයෙකු වූ නිසාම මීට පනස් වසරකට පමණ ඉහතදී කොතලාවල නාමය ඉහළින්ම බැබළුණේය.


පසුගිය දිනවල යළිත් වරක් මෙම මිනිරන් පතල් පිළිබඳව තොරතුරු ජනතාව අතර පැතිර ගියේය. ඒ බෝගල සහ දොඩම්ගස්ලන්ද මිනිරන් පතල්වල සේවකයන් තම වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට මිනිරන් පතලේ ගැඹුරු පතුලට වී මාරාන්තික උපවාසයක යෙදීම නිසාය.


මිනිරන් පතලක අඩි 2000 ක් 3000 ක් පමණ වූ ගැඹුරක් යනු ශ්‍රී ලංකාද්වීපයේ මිහිගැබතුළ ගැඹුරුම ස්ථානය ලෙස සැලකේ. පොළෝ අභ්‍යන්තරයේ එවැනි ගැඹුරුම ස්ථරයකට වී නොකා නොබී තම අයිතීන් දිනා ගැනීම සඳහා අරගලයක යෙදීම සැබැවින්ම ඉතා භයංකාර, ඇඟ හිරිවට්ටන සුලු ක්‍රියාදාමයකි. එබැවින් මෙවැනි වෘත්තීය අරගලයක් පිළිබඳව නිතැතින්ම කාගේත් දැඩි අවධානය යොමුවේ.

02-Page-12-S2-07
බොහෝදෙනෙකු නොදන්නවාට ලොව සියයට අනූනවයයි දශම නවයක්ම ඉතා පිරිසිදු කාබන් සහිත මිනිරන් ලැබෙන එකම රට ශ්‍රී ලංකාවය. ඒ තරමටම ශ්‍රී ලංකාවේ දොඩම්ගස්ලන්ද කහටගහ සහ කෑගල්ලේ බෝගල පතල්වලින් ලැබෙන මිනිරන්වලට ලොව පුරා සුවිශේෂීවූ ඉල්ලුමක් තිබේ.


අපේ රටට වඩා අපේ මිනිරන්වල අගය දන්නේ ඒවා ආනයනය කෙරෙන ජපානය, ඇමරිකාව, එංගලන්තය, ඕස්ටේ්‍රලියාව වැනි රටවල්ය. ලොව ඉහළම ප්‍රමිතියෙන් යුත් කාබන් 99 සහිත මෙම මිනිරන් අතීතයේදී හැඳින්වූයේ “කළුරන්” නමින්ය. රන් හා සමාන වූ වටිනාකමක් එකල මෙම මිනිරන්වලට තිබූ බව මෙයින්ම පැහැදිලිය.


මැල්සිරිපුර සුප්‍රකට මැල් පරම්පරාවට සහ කොතලාවල පරම්පරාවට අයත් වූ දොඩම්ගස්ලන්ද කහටගහ, කොලොන්ගහ සහ වළකටහේන යන මිනිරන් පතල් තුනෙන් මේවනවිට ක්‍රියාත්මකව පවතින්නේ කහටගහ පතල පමණි. විවිධ හේතූන් මත මේ වන විට අනෙක් පතල් දෙකම වසාදමා තිබේ. අද මේ පතල් රජයට අයත් කහටගහ ග්‍රැනයිට් ලංකා ලිමිටඞ් සමාගම යටතේ පාලනය වේ.


දැනට ඇති තොරතුරුවලට අනුව මෙම පතල් වර්ෂ 1872 තරම් වූ ඈත කාලයකදී ආරම්භකොට ඇත. එතැන් පටන් වර්ෂ 1972 වන තෙක්ම පුද්ගලික හිමිකරුවන් සතුව පැවැති මෙම මිනිරන් පතල් සමගි පෙරමුණු රජය විසින් 1972 වසරේදී ජනසතු කරනු ලැබීය.


ඉන් අනතුරුව විවිධ හැලහැප්පීම්වලට ලක්වෙමින් පවත්වාගෙන ආ කහටගහ පතල උග්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ පෑම හේතුවෙන් 418 ක් වූ සේවක පිරිසක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්වා ඔවුන්ට වන්දි ගෙවා ඉවත්කර සම්පූර්ණයෙන් වසා දමා ඇත. එසේ වසා තිබූ පතල පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය සමයේ 2006 වසරේදී නැවත අරඹා මේ වනවිට සාර්ථකව පවත්වාගන යනු ලබයි.

02-Page-12-S2-09
මිනිරන් වේවා, ගල් අඟුරු වේවා, රන්රිදී මැණික් පතල් කර්මාන්ත වේවා සැබැවින්ම මේවා ලොව අතිබිහිසුණු අනතුරුදායකම කර්මාන්ත ලෙස සැලකේ. විදෙස් රටවල පතල් කඩා වැටීමෙන් සිදුවූ අනතුරු සහ ජීවිත හානි පසුගිය කාලය පුරාම අවස්ථා ගණනාවකදී වාර්තා විය. පතලක් කඩා වැටීමෙන් පසු ඒවා අභ්‍යන්තරයෙහි සිරවන පතල් කම්කරුවන් බේරාගැනීම අති දුෂ්කර කාර්යයකි.


මීට වසර කීපයකට පෙර චිලී රටේ ගල් අඟුරු පතලක සිරවූ කම්කරුවන් පිරිසක් ගලවා ගැනීම සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුම දෙස එදා මුළු ලොවම බලා සිටියේය. එම ගලවා ගැනීමේ මෙහෙයුම ඒ තරමටම විස්මිත වූවක් විය.


මේ අනුව ලෝකයටම ලොව හොඳම මිනිරන් කඩාදෙන්න අපේ රටේ පතල් සේවකයන්ද වෙහෙස දරන්නේ ඒ හා සමාන වූ අවදානමක් කර පින්නාගෙනය. මේ රැකියාවේදී ජීවිතය ගැන විශ්වාසයක් තැබිය නොහැකිය. ඒ තරම්ම වූ බිහිසුණු අවදානමක් කර පින්නාගෙන ඔවුන් මිනිරන් කඩන්නේ පොළොව මතුපිට සිට අඩි 2000 සිට 3000 දක්වා වූ ගැඹුරක සිටය.


නවීන තාක්ෂණය පැමිණීම සමඟ අවදානම මඳක් අවම වුවද පතල් රැකියාව යනු ජීවිතයත් මරණයත් අතර සටනක් ලෙස හැඳින්විය හැකිය.


ආරම්භයේදී මෙම පතල්වල උපරිම ගැඹුර අඩි 100 ක් පමණ විය. එකල අද මෙන් සේවකයන්ට හිස්වැසුම් සහ මුඛ ආවරණ, අත්වැසුම් නොවීය. එසේම මිහිගැබතුළට පිවිසීමට අද මෙන් විදුලි සෝපානද නොවීය. එකල මිහිගැබතුළට පිවිස තිබුණේ හිනිමගක් මෙන්වූ “මුක්කු ඇටය” ආධාරයෙනි. දෝනා තුළට ආලෝකය සපයා තිබුණේ ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන් ආධාරයෙනි.


මුක්කු ඇටය බිඳීයාමෙන් හෝ ලිස්සා යාමෙන්, ඇදවැටීමෙන් මෙන්ම දෝනා තුළ එක්රැස්වූ මීතේන් වායුව (වගුරු වායුව) පුපුරා යාමෙන් අතීතයේදී කම්කරු ජීවිත රැසක්ම අහිමිවී තිබේ.


එසේම අද මෙන් පහසුකම් නොතිබීම හේතුවෙන් ගල්කුඩු සහිත මිනිරන් කුඩු ආශ්වාස කිරීමෙන් බොහෝ කම්කරුවන්ට “පතල් ලෙඬේ” එසේත් නැතිනම් පෙනහළු ආශ්‍රිත රෝගයට ගොදුරුවීමට සිදුවූහ. මෙම රෝගය “ග්‍රැෆයිට් නියුමෝකෝසිස්”’ ලෙසින් හැඳින්වේ.

 

02-Page-12-S2-10

කහටගහ මිනිරන් පතල

 


මෙවැනි ගැඹුරු පතල් තුළදී ඇතිවන ඔක්සිජන් ඌනතාවක් හේතුවෙන් මොළයේ පටකවලට හානි සිදුවීම යනු කම්කරුවන් ජීවිත කාලයේදී සදහටම බෙලහීනයකු බවට පත්වීමය. පතලක් යනු කවර වේලාවක හෝ කඩාවැටීමකට ලක්වේදැයි කීමට නොහැකි ස්ථානයකි. මේ සියලු අවදානමක්ම දැන දැනම පුද්ගලයන් පතල් බසින්නේ ජීවිත අවදානම පිළිබඳව දැනුමක් නොමැතිව නොව ජීවත්වීමට වෙනත් මාර්ගයක් නැති නිසාය.


මෙයට හොඳම උදාහරණය පනහේ දශකයේදී සිදුවූ අනතුරකින් වළකටහේන පතල වසාදැමීමට සිදුවීමය.


එකල කහටගහ, කොළොන්ගහ සහ වළකටහේන යන පතල් තුනේම එකහා සමානව මිනිරන් කැඩීම සිදුව ඇත. එම අවාසනාවන්ත සිදුවීම වූ දිනයේ අඩි දහසක් පමණ වූ ගැඹුරේ වළකටහේන පතලේ සීයකට ආසන්න කම්කරුවන් පිරිසක් සේවයෙහි යෙදී සිටියහ.


දහවල් එකොළහට පමණ එකවරම ගලාගෙන ආ මහා ජල කඳකින් පතල අභ්‍යන්තරය පිරීයන්නට වූ අතර ජීවිතය බේරාගැනීම සඳහා මුක්කු ඇටය දිගේ පතලෙන් එළියට ඒමට එම කම්කරුවන් පිරිස උත්සාහ ගත්තද එම උත්සාහය ව්‍යර්ථ කරමින් ගලා ආ මහා ජලකඳ පතල් කටෙන්ම පිටවූයේ ඇතුළේ සිටි කම්කරුවන් තිදෙනෙකු හැර අන් සියලුමදෙනාම බිල්ලට ගනිමිනි.


අනෙක් පතල්වල තිබුණු ජල පොම්පද රැගෙනවිත් පතලේ පිරී තිබූ ජල කඳ ඉවත් කිරීමට දින ගණනාවක්ම ගතවිය. අවසානයේදී ගොඩ ගැනීමට හැකිවූයේ කුණුවී කෑලි හැළීගිය මළ සිරුරු කොටස්ය.


මෙය බලාපොරොත්තු නොවූ මහා විපතක්වූ බැවින් ගම්මුන් කලබල කරතැයි සිතා මියගිය ගණන සැඟවීමට එකල පතලේ පාලකයන්ට අවශ්‍ය වී තිබුණි. එකල මිනිරන් කැඩීමට පතල අභ්‍යන්තරයට බසින  සේවකයන් ගණනය කර තිබුණේ පතල මතුපිට ඔවුන්ට ආහාර සැපයෙන පිඟන් සංඛ්‍යාව ගණනය කිරීමෙන්ය.


පාලකයින් කළේ ජලයට ගොදුරු නොවී ජීවිත බේරාගත් සේවකයන් තිදෙනාගේ පිඟන් හැර අනෙක් පිඟන් සියල්ලම විනාශකර දැමීමය. නමුත් එය සේවකයන්ගෙන් සහ ගම්මුන්ගෙන් සැඟවීමට නොහැකි බරපතළ සිදුවීමක්වූ බැවින් අවසානයේදී මියගිය ගණන සත්‍ය ලෙසම අනාවරණය කිරීමට පාලකයන්ට සිදුවිය.


මේ මහා විනාශය හේතුවෙන් එදිනෙන් පසුව වළකටහේන පතල සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවිය. නමුත් අනෙක් පතල් දෙකේම මේවනතෙක් එවැනි ආකාරයේ සිදුවීමක් වාර්තා වී නැත.


වරක් පතලේ ගැඹුරුම ස්ථානයකදී සේවකයකුගේ හිසේ සවිකරගෙන ගිය ආරක්ෂක හිස් වැසුමේ තිබෙන ලාම්පුවේ එළියේ රශ්මියට පතලේ එක්රැස්වී තිබුණු මීතේන් වායුවට ගිනිඇවිලීමෙන් එම සේවකයා පිලිස්සී මරණයට පත්වීමේ සිදුවීමක්ද වාර්තා වී තිබේ.


දොඩම්ගස්ලන්ද දිනිමිනියාතැන්නේ පදිංචිව සිටින අනූ දෙහැවිරිදි ආර්.ඩී. ගුණසිංහ මහතා මේවනවිට එම පතලේ සේවයෙන් විශ්‍රාම ලැබ ජීවතුන් අතර සිටින ඉපැරැණිම සහ එකම පතල් සේවකයා වේ. ඔහු පතලේ සේවයට එක්වී තිබෙන්නේ 1945 වසරේ ජූනි මස 19 වැනිදාය.


“එතකොට මට වයස අවුරුදු 20 ක් විතර ඇති. මම ආධුනිකයෙක් විදිහට ගිහින් පස්සේ පතලේ මැෂින් අංශයට බඳවා ගත්තා. එතකොට මගේ පඩිය රුපියල් තිස්හත හමාරයි. පඩිය හැර කිසිම විශේෂ දීමනාවක් ඒ කාලයේ අපිට ගෙව්වේ නැහැ. පනස් හයෙන් පස්සේ තමයි ඒ වාගේ දීමනා ගෙවන්න ගන්නේ. කොතලාවල මහත්තයා පතල බාරගත්තාට පස්සේ තමයි සේවකයන්ට හොඳට සලකන්න ගත්තේ.


“විශේෂ දීමනාවක් විදිහට අපිට රුපියල් හැටක් දුන්නා. නිවාඩු දීමනාවකුත් දුන්නා. ඒ කාලයේ අඩි සීයක් විතර තමයි ගැඹුරට බැස්සේ. සේවකයෝ 400 ක් විතර වැඩ කළා.”


“මුලින්ම මුක්කු ඇටයෙන් ඇතුළට බැස්සා. ඊට පස්සේ ගල් අඟුරුයි දරයි දාලා ඒවායේ වාෂ්ප බලයෙන් වැඩ කරපු යන්ත්‍රයකින් පතලට බැස්සා. ඊට පස්සේ පනස් දෙකේ අවුරුද්දේ විතර ගල් අඟුරු වෙනුවට ඩීසල් ගෙනාවා. ඒක ගොඩාක් පහසු වුණා වැඩ කරන්න.”


“ඒ කාලයේ අපි දවසකට ටොන් දහයක් විතර කැඩුවා. සාමාන්‍යයෙන් මාසෙකට ටොන් තුන්සීයකට සෑහෙන්න අපි මිනිරන් කඩනවා.”


“ඒ කාලයේ අවුරුද්දකට අඩුම ගාණේ දෙන්නෙක් හරි පතල ඇතුළේදී මැරෙනවා. ගොඩාක් දෙනෙක් මැරුණේ මිනිරන් කඩන්න ලණුවල එල්ලිලා ඉහළට යද්දී ලිස්සලා වැටිලයි. මිනිරන් ලිස්සන සුලුනිසා ගොඩාක් අනතුරු සිදුවුණේ ලිස්සලා වැටිලායි.”


“පතලේදී මැරුණාම ඒකාලයේ හැටියට රුපියල් දහදොළොස් දාහක් ගෙව්වා. ඒකාලයේ ඒක ලොකු ගාණක්. අනෙක අපිට කිසිම ආරක්ෂක උපකරණයක් දීලා තිබුණේ නැහැ. වැඩ ඉවරවෙලා මිනිරන් නාගෙන යක්කු වාගේ තමයි පතලෙන් එළියට ආවේ.”


ආරක්ෂිත හිස්වැසුම්, මුඛ ආවරණ, අත්වැසුම් බූට්ස් (පාවහන්) ආදිය සේවකයන්ට ලබාදී තිබුණේ 1972 වසරේදී මිනිරන් පතල රජයට පවරා ගැනීමෙන් පසුවය.


ගුණසිංහ මහතාගේ මතකයට අනුව පතලේ වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය ඇරැඹී තිබෙන්නේ 1956 වසරෙන් පසුවය. ඊට පෙර ඉල්ලීම් ඉල්ලා සිටි සේවකයන්ට සිදුවූයේ කොතලාවල මහතාගෙන් කස පහර කෑමට බව ඔහු අපට පැවසීය. මේ නිසා කොතලාවල මහතාට ඇති බිය නිසාම කොතරම් අපහසුතාවට පත්වුවද සේවකයන් ඉල්ලීම් ඉල්ලීමට හෝ වර්ජනවලට ගියේ නැත.


මිනිරන් තැන්පත් වී තිබෙන්නේ පතල ගැඹුරෙහි වූ කළු ගල්වලට මැදිවය. කළුගලට මැදිව තිබෙන මේ වටිනා සම්පත නෙළා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. ඒ සඳහා සිදුකෙරෙන ක්‍රියාදාමය නම් ඩයිනමයිට් යොදා කළුගල පුපුරුවා හැරීමය.


සෑම මාසයකම මුල් දින කීපයකදී තීරණය කරගනු ලබන ස්ථානවල මිනිරන් කැඩීම සඳහා ඩයිනමයිට් යෙදීම සිදුකර ඒවා පුපුරුවා හැරීමෙන් පසුව කඩා වැටෙන මිනිරන් සුරක්ෂිතව ලබාගැනීමට ආවරණ එළීම සිදුකෙරේ.


වෙඩි දැමීමට පෙර අවශ්‍ය ස්ථාන ජලය යොදා සෝදා පිරිසිදු කිරීමද කෙරේ. ස්ථාන කීපයකදී මෙසේ වෙඩි දැමීම සිදුකෙරෙන අතර එහිදී අභ්‍යන්තරයේ සිටින සියලුම සේවකයින් දැනුවත් කෙරේ. වෙඩි දැමීමෙන් අනතුරුව මිනිරන් සමඟ කඩා හැළෙන විශාල කළුගල් කුට්ටිද කඩා ඉවත් කිරීමක් සේවකයන් විසින්ම සිදුකෙරෙයි. බුරුල් වී ඇති ගල් කොටස්ද ඉවත්කර ඒ ආකාරයටම කීපවාරයක්ම වෙඩි දමා මිනිරන් කැඩීම සිදු කරති.

 

02-Page-12-S2-06

සේවකයන්ට උපදෙස්

 


ඇතැම්විට වෙඩිවලට හසුවීමෙන් කඩාවැටී තිබෙන සැපයුම් මාර්ග සහ මිනිරන් සහිත ස්ථාන ආවරණය වන විශාල ගල් කුට්ටි කඩා ඉවත් කිරීමද සේවකයන්ට පැවරෙන කාර්යයකි. නිතරම වෙඩි දැමීමෙන් බුරුල්ව ඇති අනතුරුදායක කළුගල් කොටස් හඳුනාගෙන මිනිරන් කැඩීමද මෙම කාර්යයෙහි පවතින අනතුරුදායක බව මනාව විදහා පෙන්වයි.


ඉන්පසුව කඩාගන්නා ලද මිනිරන් කොටස් මලුවලට පුරවා ඒවා ඩක්කු ආධාරයෙන් රැගෙන ගොස් පතුලේ අඩි තුන්දහසේ සිට දෙදහස, දහස දක්වාත්, ඉන්පසුව එතැන් සිට “විංචි” නම් ට්‍රොලි මාර්ගයෙන් මතුපිටට රැගෙන ඒම දැඩි වෙහෙසකාරී ක්‍රියාවලියකි. මේ සඳහා උපරිමව ගතවන කාලය දින තුනකි.
මේ අනුව මාසයකදී සැපයිය හැකි උපරිම මිනිරන් ප්‍රමාණය ටොන් 65 කි. වෙඩි වලින් කැඩෙන මිනිරන් ප්‍රමාණය අනුව මාසයකදී සැපයෙන ප්‍රමාණය තීරණය වේ.


මිනිරන් කැඩීමේ ක්‍රියාවලියේදී දක්නට ලැබෙන අනතුරුදායකම සිදුවීම වන්නේ සේවකයන් අභ්‍යන්තරයේ බිත්ති දිගේ ඉහළට නැගීමය. මෙය හඳුන්වන්නේ ‘සිග්සැග් ක්‍රමයට නැගීම’ කියාය. බොහෝවිට අඩි කීපයෙන් කීපයට සවිකරන ලද ලෑලි තට්ටු ආධාරයෙන් ඉහළට නැගීම සිදුවේ. එල්ලා ඇති කඹ ආධාරයෙන් කිසිදු ආරක්ෂක ක්‍රමවේදයක් නොමැතිව ඉහළට යාම සැබැවින්ම අනතුරුදායක, බිහිසුණු රාජකාරියකි. ඉතාම ලිස්සන සුලු පරිසරයක මෙසේ නැග යාමේදී අඩි සීයක පමණ ඉහළක සිට ලිස්සා වැටුණහොත් අත්වන ඉරණම සිතාගත හැකිය. ඇතැම්විට විදුලිය හෝ ඔක්සිජන් සැපයුම හදිසියේ ඇනහිටියහොත් සිදුවන හානියද සිතීමට නොහැකිය.

 

02-Page-12-S2-01


මේ අනුව ලෝකයේ හොඳම මිනිරන් ගැඹුරේ සිට ගොඩබිමට ගෙන ඒම සඳහා මිනිරන් පතල් සේවකයන් ඉටුකරන කාර්ය භාරය අනුව එය මෙරට අවදානම්ම රාජකාරිය ලෙස සැලකේ. එසේම මහපොළොවේ සම්පතක් නෙළා එයින් අප රටට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් වාර්ෂිකව ලබාදීමට ඔවුන් ගන්නා මෙහෙය ඉතා අගය කළ යුතුමය.


පෞද්ගලික අංශයේ තිබූ මිනිරන් පතල් 1972 දී රජයට පවරා ගැනීමෙන් පසුව කම්කරුවෝ තම ඉල්ලීම් දිනාගැනීමට වැඩවර්ජන ආදී විවිධ ක්‍රියාකාරකම් ආරම්භ කළහ. රජයට පවරා ගැනීමෙන් පසුව කහටගහ ග්‍රැනයිට් ආයතනය මගින් කම්කරුවන්හට විවිධ පහසුකම් ලබාදුන්නද ඇතැම් ඉල්ලීම් ලබාදීමට මැළිවීමෙන් වැඩවර්ජන, උපවාස ආදියෙන් පතල් බිම් කැලඹී ගියේය.


අතීතයේ සිදුකළ එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ ජීවිත පූජාකිරීම් නිසා අද වනවිට රැකියා ස්ථිරභාවය, නිලඇඳුම්, මුඛ ආවරණ, හිස්වැසුම්, බූට් පාවහන්, ප්‍රසාද දීමනා ආදිය ලැබී ඇත.


නොවිසඳුණු තම වෘත්තීය ඉල්ලීම වෙනුවෙන් කහටගහ මෙන්ම බෝගල පතල්වල සේවකයෝ පසුගිය වසරේදී සේම මේ වසරේදීද පතලේ අඩි 1500 ගැඹුරු සීමාව ඉක්මවා හිඳිමින් උපවාස ඇරැඹූහ.


එම ඉල්ලීම් අතර ප්‍රසාද දීමනා කප්පාදු කිරීමට එරෙහිව සේම, පැමිණීමේ දීමනා වැඩිකර ගැනීම හා අවදානම් දීමනාව (මිහිතුළ දීමනා) ඉහළ දමාගැනීම යන ඉල්ලීම් විය.

 

02-Page-12-S2-02

පතල අභ්‍යන්තරයේ සේවක උපවාසයක්

 


පතල් සේවකයන් ඉල්ලා සිටින්නේ වසර 50 ක පමණ කාලයක සිට ලබාදෙන රුපියල් 16 ක සොච්චම් මුදලක් වන අවදානම් දීමනාව වැඩිකර දෙන ලෙසය. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් රටට විදේශ විනිමය උපයා දෙන පතල් සේවකයන්ට ඔවුන් ඉල්ලා සිටින රුපියල් 400 ක අවදානම් දීමනාව අද කාලයේ හැටියට ප්‍රමාණවත්දැයි යන්න ගැටලුවකි.


වර්තමානයට අනුව තමන් ඉල්ලා සිටින රුපියල් 400 අවදානම් දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවුවද එය ලබාදීමෙන් පාලනාධිකාරියට කිසිදු පාඩුවක් සිදු නොවන බව කහටගහ පතලේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් සුසන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


මෙම ජුලි මාසයේ සිට මසකට නිෂ්පාදන ධාරිතාව වන මෙටි්‍රක් ටොන් 65 සිට 70 දක්වා වැඩිකරදෙන බවද හැත්තෑවක් පමණ කම්කරු පිරිසට රුපියල් 400 දීමනාව ලබාදීමෙන් පසුවද තවත් රුපියල් ලක්ෂ හයක පමණ ලාභයක් සමාගමට ඉතිරිවන බවද ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.


මිනිරන් පතල්වල සේවකයන්හට වෛද්‍යාධාර දීමනාවක් හෝ ජීවිත රක්ෂණ ආවරණයක් හෝ ලබා නොදීමද බරපතළ අඩුපාඩුවකි.


“කොතලාවල මහත්තයාගේ කාලයේ ඉඳලා පවත්වාගන ආව ක්‍රමයමයි තවම යන්නේ. අලුත් දෙයක් මේ පතල්වලට එකතුවෙලා නැහැ. හැමදාම කරන්නේ මිනිරන් කඩන එකයි විකුණන එකයි විතරයි. තාම පාවිච්චි කරන්නේ යල්පැනපු ක්‍රම. නවීන තාක්ෂණය එකතුකරගෙනම නැහැ. මැල්සිරිපුර රාගෙදර කියන පතල පාලනය කරන පිටරට සමාගමක් ඒකට නවීන යන්ත්‍ර සූත්‍ර යොදවලා තියෙනවා. නවීන තාක්ෂණය ගෙනාවොත් මීට වඩා හොඳ මිනිරන් අස්වැන්නක් වගේම හොඳ ආදායමකුත් ලබාගන්න පුළුවන් වෙනවා...” මේ දීර්ඝ කාලයක් අත්දැකීම් ඇති පතල් සේවකයකු පළකළ අදහස්ය.

m



අදහස් (0)

ලක් පොළොවේ ගැඹුරුම තැන සිට මිනිරන් කඩන මිනිසුන්ගේ කතාව

ටිකිරි Tuesday, 05 July 2016 11:11 AM

හැමෝටම සර් මැඩම් කියමින් සිටින කොන්ද පණ නැති ක්‍රමය දැන්වත් වෙනස්කර සෑම දෙනාටම සම අයිතීන් ලබාදෙමු (නි)

:       0       0

රොහාන් Tuesday, 05 July 2016 08:11 AM

ජීවත්වීම සදහා අධික අවදානම් රැකියාවක යෙදෙන මේ අයගේ ජීවිත වටින්නේ මෙපමණද? මේ දීමනාව කිසිසතේම ප්‍රමාණවත් නැත. කරුණාකර බලධාරීන් මේ අය ගැන මීටවැඩි අවධානයක් යොදවන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 373 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 982 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1471 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 237 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 450 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 621 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 542 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2077 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site