IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ලංකා සිතියමෙන් මැකී යන ගම්මානයක් සොයා ගිය ගමන

 15-page-1-s2-3    

 

ශ්‍රී ලංකා සිතියමෙන් සදහටම මැකී යන ගම්මාන 12ක ජනතාවගේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා ඉන් එක් ගම්මානයකට ගමන් කිරීමට අපට පසුගියදා හැකි විණි. සිය ගම් බිම් අහිමි වීම ගැන පිරිසක් සතුටු වෙද්දී තවත් පිරිසක් නොකා නොබී හූල්ලා වැටෙමින් මරණයට කතා කරමින් සිටිති.
තවත් පිරිසක් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිය පාරම්පරික උරුමය අතහැර දමා සිත් හදාගෙන සිටිති.


මෙසේ ලංකා සිතියමෙන් මැකී යන ගම්මාන අයත් වන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල හා ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටය. මෙම ගම්මාන 12 මැකී ගොස් ජලයෙන් යටවුණු ප්‍රදේශ බවට පත්වී මේ ගම්මාන සියල්ල නම් දෙකකින් මෙරට ප්‍රධාන වාරි පද්ධතියට එකතු වෙයි. එනම් මොරගහකන්ද හා කළුගඟ ජලාශ නමිනි. ශ්‍රී ලංකාවේ යෝධ සංවර්ධන ව්‍යාපෘතීන් අතරින් කඩිනම් මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ මේ දිනවල ජලාශ දෙකේම වැඩ කටයුතු අවසන් අදියරවල පවතී. ඒ නිසාම ජලාශයට යටවන නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කඩවත, ඇලගමුව, කඹරව, මැදපිහිල්ල, රජාවෙල, කෝන්ගහවෙල කොටස ආදී ගම්මානවල මෙන්ම ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුරුවෙල, රාවණාගම, මඩුමාන, ලග්ගල පල්ලේගම, ගෝනවල ආදී ගම්මානවල ජීවත් වූ පාරම්පරික ජනතාවට නැවත පදිංචි කිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.


මොරගහකන්ද ජලාශය වෙනුවෙන් පවුල් 1572ක්, කළුගඟ ජලාශය වෙනුවෙන් පවුල් 797ක අට දහසකට අධික ජන සංඛ්‍යාවක් ඉවත් කෙරේ. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කර සිටින්නේ මෙසේ තම දේපළ ගේ දොර ඉඩකඩම් රටේ සංවර්ධනයට කැප කරන ජනතාවට සුවිශාල වූ සහන සලසන බවය. අප ඒ පිළිබඳවත් ගම්මාන හැර යන ජනතාව කියන කතා පිළිබඳව සොයා බැලීම සඳහා කඹරව නම් වූ ඉතිහාසයට නෑකම් කියන පාරම්පරික ගම්මානයට ගියෙමු.

 

15-page-1-s2-2

 


උඩරට රාජධානිය සමයේ රජුගේ කෘෂිකර්ම වැඩ සිදුව ඇති තමන්කඩුව ප්‍රදේශයට ඇතා පිටින් ගමන් කරන ප්‍රධාන මාර්ගයේ මෙම කඹරව යන ජනාවාස තිබී ඇත. රජු ගමන් කරන ඇතා මෙම ගමේ බැඳ ගිමන් හරින රජු පසු දින නැවත ගමන් කරන ක්‍රමයක් පැවතී තිබේ. ඒ අනුව දිනක් කණුමුදුල්ල නමැති ප්‍රදේශයේ අලියා ගැට ගසා විවේක ගත් රජු පසුදා ගමන් කරන්න සූදානම් වෙද්දී ඇතා දක්නට නොවීය. එහෙත් ඇතා කඹේ ඇදගෙන ගිය සලකුණු පමණක් දැක ඇත. සොයා බැලීමේදී මෙහි පිරිසක් ඇතා ලිහා දමා එම කඹය සොරාගෙන ගොස් තිබුන බව අනාවරණය වී ඇත. එදා සිට “කඹහොරු”, “කඹරව” යන නම ගමට හිමි වී ඇති බව පැරැණි ගම්මු කියති.


Untitled-2එවැනි අතීතයක් පවතින මෙම ගම්මානය තවත් මාස කීපයකින් සම්පූර්ණයෙන් ජලයෙන් යට වී ජලාශයක ගැඹුරම ප්‍රදේශය බවට පත්වනු ඇත. ඊට මත්තෙන් ඉතිහාසයට යමක් ඉතිරි කර තැබීම සඳහා අපි මෙම කඹරව ගමට පසුගියදා ගියෙමු. මෙම දුෂ්කර ගමනට මා සමග නිමල් කණහැරආරච්චි, ඉන්දික අරුණ කුමාර සමග මහින්ද දිසානායක යන මහත්වරු ද එක් වූහ.


අප මෙම ගමට ඇතුළු වෙද්දී දැකගන්නට හැකි වූයේ කඩා බිඳ දමා ඇති නිවාස, කපා බිම දමා ඇති විශාල ගස් කොළන්වල සුන් බුන් ආදියයි. එදා නිල්ල පිරුණු සරුසාරව තිබුණු ගම්මානය තනිකර කාන්තාරයක් බවට පත් වී හරියට ගුවන් ප්‍රහාරයකට ලක් වූ ප්‍රදේශයක් බවට පත් වී තිබිණි. පවුල් කීපයක්, පැරණි විහාරාධිපති හිමියන් හා වියපත් කීප දෙනකු පමණක් ගමේ සිටියහ. අවුරුදු ගණනාවක් ගමේ දරු පැටවුන්ට අකුරු කළ කඹරව මහා විද්‍යාලය පාළුවට ගොස් කඩා වැටීමට ඉඩහැර තිබෙනු දැක ගැනීමට හැකි විණි. ගම්මුන්ගේ ආධ්‍යාත්මක ගුණ වගාව පුරුදු පුහුණු කළ ගමේ පන්සලේ පිහිටි බුදු පිළිම වහන්සේට බුද්ධ පූජාව, ගිලන් පස, දැහැත්, මල්, පහන් අහිමි වී තිබිණි.

 

15-page-1-s2-8

 


මෙහි පදිංචිකරුවෝ පොදු පහසුකම් කිසිවක් නොමැති වූ තැන මහවැලියෙන් ලැබුණු වන්දි මුදල් ද රැගෙන ඔවුන්ට මහවැලි අධිකාරියෙන් ලබා දී ඇති ලග්ගල මා ඔය ප්‍රදේශයේ නැවත පදිංචියට ගොසිනි. වන්දි නොලැබුණු හා වයසට ගොස් ඇවිද ගැනීමට නොහැකි යමක් කමක් කර ගත නොහැකි කීප දෙනකු මෙන්ම උපන් ගම හැරදා යන්නට නොහැකිව ගම දෙස බලා හූල්ලා වැටෙමින් මරණය ඉක්මනට එන්නැයි පවසමින් ගමෙන් නොයන වැඩිහිටියෝ කීප දෙනෙක් පමණක් මෙහි තවමත් රැඳී සිටිති.


මෙම ගමේදී මී ඇට අහුලමින් සිටියදී අපට හමු වූ ඒ.එම්. කරුණාවති (78) මාතාව කීවේ තමන් මරණය එනතුරු ගමට වී තනියම මග බලා සිටින බවයි. ඇය හඬා වැටෙමින් තම දුක මෙසේ කියන්නට වූවාය.


“මම අද මැරෙයි, හෙට මැරෙයි කියලා දින ගනිමින් ඉන්නේ. මොකද මට ගම දාලා යන්න බෑ. ඔක්කොමලා ගියත් මම යන්නේ නැතුව මේ ඉන්නේ. අන්තිම වෙලා ගමට වතුර පිරෙනකල් තනියම හරි ඉන්නවා. අතින් හදාගත්තු ගස් කොළන් දරුවෝ තැත් ගහනවා වගේ කපා දාලා විකුණනවා. බඬේ ගින්දරයි. මගේ මිනිහගෙයි දරුවගෙයි සොහොන් හැදුවේ අපේ වත්තෙමයි. මමත් කැමැතියි එතනම වැළලෙන්ඩ. ඒකයි මම යන්නේ නැත්තේ. දැන් ඉන්න අය මොන සැපක් විඳින්ඩ ද අප්පා. මේ ගම කියන පැත්තකට වදින්ඩ ඕනේ. මොකක් ද අඩුව. මේ ගමට අපි ලුණුයි සබනුයි විතරයි ඒ කාලේ පිටින් ගෙනාවේ.”
ඒ. ජී. නවරත්න මහතා ද තවම ගමේ රැඳී සිටින අයෙකි.


“අපි දැන් අසරණ වෙලා ඉන්නේ. මුලු ගමම අයින් වෙනවා. අපට තවම වන්දි දීලා නෑ. ඉඩම් යනවලු කියනවා, පලයල්ලා කියලා. ඉතින් මොකද කරන්නේ. මේ අප්පලා එක්ක කොයි තරම් නම් අපි පොර ඇල්ලුවද? මේ වන්දි ඉල්ලලා. අන්තිමට මේ අය කළේ හීන් සැරේ ගමට තියෙන පොදු පහසුකම් නවතා දැම්මා. මුලින්ම කළේ පාසල වැහුවා. එතකොට ඉතින් දරුවෝ ඉන්න හැමෝම පැල්කොට අටවාගෙන හරි අර පෙන්නපු කැලේට ගියා. අද අපා දුකක් විඳිනවා. අපි මේ මොරගහකන්ද හැදෙනවට අකමැති අය නෙවෙයි. අපි මේ තත්ත්වයට එන්න කොපමණ දුක් වින්ද ද. ඒත් අපිට වෙන්නේ ආයෙත් මුල ඉඳලා දුක් විඳින්න විතරයි. වන්දි ප්‍රමාණය අද දෙනවා හෙට දෙනවා කියනවා. පුංචි අතපසුවීම් තියෙනවා කියනවා. එච්චරයි.”

 

15-page-1-s2-7

 

කඹරව ගමේ පන්සලේ විහාරාධිපති මාන්ගමුවේ ආනන්ද හිමියෝ : “ලබන පෝයටවත් මයේ හිතේ දායක සභාවේ අය මාව අරගෙන යයි. අලුතින් ගම්මු ගිහින් ඉන්න පැත්තේ ටකරංවලින් වාඩියක් හදලා තියෙනවා. බිමට තාම මොනවත් කරලා නැහැ. මේ වගේ විශාල පන්සල් බුදු පිළිම මේ සියල්ල අතහැරලා වාඩියක් හදාගෙන යනවා. පන්සලට වන්දි තක්සේරු කරලා තියනවා කියලා ලියුම් ඇවිත් තියෙනවා. ආපු දවසකට ඔය කාමර දෙකක් හදා ගන්නවා.

පන්සලේ කුඹුරුවලට වන්දි තක්සේරු කරලා මහා භාරකාරයට යවලා තියෙනවයි කියනවා. මට ගෙහුන් එහෙන් ගන්ඩලු. මට දැන් අවුරුදු 70යි. මම අවුරුදු 10 දී මහණ වුණේ. මේ පන්සලේම තමයි වැඩ උන්නේ. ඔය ටිකත් ඔහොම ඉන්නවා. මේ දවස්වල ගමේ අය ගිහින් නිසා මම බඩගින්නේ. බුදු හාමුදුරුවන්ටත් බුද්ධ පූජාව නැහැ. ඒ නිසා ඉතින් යන්ඩම වෙනවා.”


කඹරව ගම්මුන්ගේ ගම මැදින් ගලා බසින්නේ නකල්ස් කඳු මුදුනේ සිට ගලා බසින තෙල්ගමු ගඟයි. දැනට ඉන්න ජනතාවට මෙන්ම තෙල්ගමුවට අඹන් ගඟට සිදුව ඇති විනාශය නිසා ළඟ ළඟ එන වර්ෂාවත් සමග මොරගහකන්ද මෙන්ම කළු ගඟ යෝජනා ක්‍රමවලට පවා හානි සිදුවිය හැකි බව අප සමග ගමනට එක් වූ පරිසරවේදී නිමල් කණහැරආරච්චි මහතා පැවසීය. මේ වනවිට යටවන ප්‍රදේශවල වටිනා කියන ගස් ඉවත් කිරීම රජය මගින් පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට ලබා දී ඇත. එහෙත් ඔවුන් විශාල ගස්වල වටිනා කියන කඳ කොටස පමණක් ලබා ගෙන ඉතිරි සියලු අතු පතු දැව කොටස් තෙල්ගමු ඔයේ සහ අඹන් ගඟ ඇතුළේ දමා ඇත. 


නිමල් කණහැර ආරච්චි මහතා ඒ ගැන අවධානය මෙසේ යොමු කළේය.


“මොරගහකන්ද ජලාශයේ ජලය පිරවීම මේ වර්ෂාවත් එක්ක සිදුවෙනවා. මේ ප්‍රදේශයේ ඉතාම විශාල වශයෙන් ගස් කැපීම ඒවා අලෙවි කිරීම සිදු වෙමින් පවතිනවා. මෙතන කනගාටුම කාරණාව තමයි කපන ගස්වල අවශේෂ කොටස් ගඟ මැද දැමීම. වර්ෂාවත් සමග විශාල ජල ප්‍රමාණයක් මේ ගඟේ සහ ඔයේ ගලා බසිනවා. මේ අතු පතු සිර වී මේ විශාල දැව කඳන් ගසා ගෙන ගිහින් මේ පාලම් බෝක්කු රැසක් විනාශ වීමේ මෙන්ම අලුතින් ඉදි කරන වේල්ලට පවා බලපෑමක් එල්ල විය හැකියි.”


එමෙන්ම මෙම ගම්මානයේ ඉවත්ව යන ගමේ ක්‍රියාකාරී සමාජ සේවකයකු වූ සහ මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා සිය දේපළ ලබා දෙන්නට කැමැත්ත පළ කළ පළමු පුරවැසියා වූ එම්.ජී. සිරිවර්ධන මහතා මෙසේ පැවසීය.


“අපි කිව්වේ මේ අවතැන් වෙන අයගේ ප්‍රශ්න ටිකට නිසි විසඳුම් දීලා මේ ජලාශ ආරම්භ කරන්න කියලා. අඩුම තරමේ කළු ගඟ ජලාශය ඉදි කරලා අපිව ඉවත් කළා නම් ඒකේ වතුරෙන් හරි ගොවිතැනක් කරගන්ඩ තිබුණා. අපි දොස් කියනවා නෙවෙයි. මහවැලියේ සැලසුම් තියෙනවා. හොඳයි ඒවා පොතට සීමා වෙලා වචනවලට සීමා වෙලා මදි. අපිට ඉඩම් පෙන්වලා පලයව් කියනවා. වන්දි ලැබුණ අය පුළුවන් හැටියට ගේ හදා ගන්නවා. සමහර අය වන්දි මුදල අතට ලැබුණම ඒක පරිහරණය කරන්න දන්නේ නැහැ. විවිධ දේ කරලා විනාශ කර ගන්නවා. අන්තිමට අපි දැන් පදිංචි වෙලා ඉන්න පැත්තේ විදුලිය නෑ, වතුර නෑ. ගොවිතැන් කරන්න අස්වද්දලා නැහැ. වෙනත් පොදු පහසුකම් නෑ. දැන් මොකද වෙලා තියන හොඳේ? ගමේ ඉන්න වයසක පවුල්වල ජනතාව තවම අසරණ වෙලා. ඒ අයට ගෙවල් හදන්න හයියක් දැනුමක් නැහැ. අඩුම තරමේ පයින් යන්නවත් බෑ. මේ මිනිස්සු තනි වෙලා ලෙඩ ඇඳේ මැරෙනකල් බලා ඉන්න මේ නිලධාරීන්ට කොහොම සිත් පහළ වෙනව ද? මම කොහොම හරි වැව පිරෙන්න කලින් මේ ජනතාව කරේ තියාගෙන හරි අනුන්ගේ පැලකට හරි අරගෙන යනවා. මේ සත්‍ය තොරතුරු රජයට යන්නේ නැහැ. ජනාධිපතිතුමා උණත් හිතාගෙන ඉන්නේ මේ සියල්ල හරි කියලා. ඇයි එයාලා ටිවීවල දාලා පෙන්වන්නේ වෙනම ලෝකයක්නේ. බලන්ඩ දැන් වෙලා තියෙන දේ. වර්ෂාව පටන් ගත්ත ගමන් ගමත් ඉවරයි, අපිත් ඉවරයි. වන සතුන් ටිකත් ඉවරයි.”


මෙම ගම්මානයේ ජනතාව නැවත පදිංචි කර සිටින ලග්ගල මා ඔය ප්‍රදේශයට පිටත්ව යන්නට අපි තීරණය කළෙමු. පැය ගණනාවක් ගෙවල් කඩා දමා ඇති සුන්බුන් හා ගමේ වැදගත් ස්ථාන අවසන් වරට දකිමින් සිටි අපට වතුර තිබහ නිවා ගන්නට හැකි වූයේ නවරත්න බණ්ඩා මහතා විසින් ගමේ ඉතිරි වී තිබූ පොල් ගසකින් කඩා ගත් පොල් වතුරවලිනි. එම පොල් ගෙඩි පලා ආහාරයට ගත් අප ලග්ගල මා ඔය නැවත පදිංචි කරන ප්‍රදේශයට යන්නට පිටත් උනෙමු. 
එම ප්‍රදේශය ද ගිනි ගහන කාන්තාර වී හමාරය. ඇතැම් පිරිස් නිවාස අලුතෙන් ඉදි කර ඇත. තව පිරිසක් අර්ධ වශයෙන් ඉදිකර ඇත. තවත් පිරිසක් කුඩා වාඩි හා පැල්පත් තනාගෙන පදිංචි වී සිටින්නේ නිවාස තනා ගැනීමට වන්දි මුදල් නොමැතිකම නිසාය. මෙහි පදිංචියට ගම්මුන් එන්නට පටන් ගෙන දැනට වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ගම්මුන්ට මෙතෙක් මූලික අවශ්‍යතා දෙක වන ජලය හා විදුලිය ලැබී නැත. තමන් ගමෙන් රැගෙන ආ විදුලි උපකරණ සියල්ල පසෙක තබා ඇති බවත් අඩුම තරමේ දරුවන්ගේ පාසැල් නිල ඇඳුම් පිළිවෙළකට මැද ගන්නට, දුරකථනයක් චාජ් කර ගන්නට නොහැකි බව ඔවුහු කියති. 


බීමට හා අනෙකුත් අවශ්‍යතාවලට මහවැලියෙන් බවුසර් මගින් ජලය සපයන බවත් එම ජලය අපිරිසිදු බව ද කියති. ගොවිතැනත් රැකියාවත් නොමැතිව සිටින සියලුම දෙනාට මහවැලි අධිකාරියෙන් ලබා දෙන වියළි සලාකය මේ අයගේ දිවි රැක දෙන බව ද කියති.


ශ්‍රී ලංකාවේ මීට පෙර මහවැලි සංවර්ධන ක්‍රමය ක්‍රියාත්මක කළ අවධියේ අවතැන් වන ජනතාව පිළිබඳව අනුගමනය කළ ක්‍රියාපටිපාටිය අදටත් ජනතාව සිහිපත් කරති. ඒ අය ඇගයීමට ලක් කළ අයුරු අදටත් ඔවුන් රස විඳිති. 


ශ්‍රී ලංකාවේ වර්තමානයේ ඉදි කරන විශාලතම වාරි පද්ධතිය මෙයයි. එය ඉදිරි අනාගතයේ සුවිශාල වූ ආයෝජනයකි. ඒ නිසාම මෙරට කිසිදු අයකු මෙම සුවිශාල වූ යෝජනාවට අකමැත්තක් නොදැක්වූ අතර සියලු දෙනා සතුටින් මෙම ව්‍යාපෘති ගැන කතා කරති. 


අප මොරගහකන්ද ඉදිකිරීම් සිදුවන ප්‍රදේශයේ ද මෙදින සංචාරයේදී නිරත වීමු. 


එදින අපට තවත් විශාල පරිසර නීති උල්ලංඝණය වන සිද්ධියක් අනාවරණය කර ගැනීමට හැකි විණි. එනම් ඉදිකිරීම් සිදු කරන චීන ජාතික කොන්ත්‍රාත්කරුවෝ කම්කරුවන් යොදවා ගෙන මොරගහකන්ද වේල්ල ඉදිකරන ස්ථානයෙන් අඹන් ගඟට ටැක්ටර් හා ටිපර් රථ බස්සවා වැලි රැගෙන යෑම සිදු කරන ආකාරය දුටුවෙමු.


මේ සියලු දේ පිළිබඳව අප මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ කළමනාකාර ඉංජිනේරු ආර්.බී. තෙන්නකෝන් මහතාගෙන් විමසීමක් කළෙමු. ඒ මහතා කීවේ අවතැන් වූ ජනතාවට උපරිම සහන ලබා දීමට දැනටමත් මහවැලි අධිකාරිය ක්‍රියාත්මක වී තිබෙන බවයි. දැනට පවතින අඩුපාඩු පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන බවයි. එමෙන්ම කඹරව ගමේ දැනට ඉතිරි වී සිටින ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගන්නා බවත් කීවේය. 


නැවත පදිංචි කර සිටින ජනතාවගේ මූලික අවශ්‍යතාවන් පිළිබඳව අවධානය යොමු කර තිබෙන බවත් එම ජනතාවට විදුලිය ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බව ද කීවේය. එමෙන්ම චීන සමාගම් කරන වැලි ගොඩ දැමීම ගැන තමන් වහාම පියවර ගන්නා බව ද කීවේය.  


විශේෂයෙන්ම මෙම ප්‍රදේශයන්වල සිටින වන ජීවීන් පිළිබඳව ද ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අවධානය යොමු වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

m



අදහස් (0)

ලංකා සිතියමෙන් මැකී යන ගම්මානයක් සොයා ගිය ගමන

යසසිරි Friday, 21 October 2016 02:08 PM

පපුව පැලෙන්න අවා මේක කියවල.....මොනතරම් අහිංසක මිනිස්සුද මේ ඉක්මනට මිනිසුන්ට යහපතක් උදා වේවා.(අ)

:       0       0

තුසිත Wednesday, 19 October 2016 04:24 AM

මේවා අහස පොළොව නුහලන අපරාධ .සංවර්ධනය කියලා මිනිසුන් අපායට ඇදලා දානවා .ලොකු පුටු වල ඉන්න අය කයිවාරු ගහනවා .ලෝකයට පෙන්වන්නේ සියල්ල හරි වගේ .නමුත් ඇත්ත මේකයි .අපට උනත් මේ විදිහට වුනොත් මොකද වෙන්නේ .සියලුම රට වැසියන්ටයි, මේ වගේ ඒවට අපි සියල්ලම එකතු වෙමු රට වෙනුවෙන්. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 66 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 399 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1020 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1512 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 245 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 455 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site