IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


ලෙයට ලෙය ඉල්ලන පාතාලය

සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම හේතුවෙනි. ප්‍රතිවාදී පාතාල කල්ලිකරුවන් කල් මරමින් සිටින්නේ සැඟවී සිටින පාතාල නායකයන් එළිබසින තුරුය. ඔවුන් එළියට එන තැන, වේලාව, දවස, තවත් පාර්ශ්වයකට දැන ගැනීම තරමක් අසීරුය. එය හරියටම දැනගත හැකි වන්නේ ඔවුන් බන්ධනාගාරගත වූ විටය. උසාවි භූමියේ දී වුව තම විරුද්ධවාදියාව ඝාතනය කිරීමට වුව පාතාල කෙරුම්කාරයෝ පසුබට නොවෙති.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බන්ධනාගාරයේ දී ඝාතනයට ලක්වන්නේ නොයෙල් අමරසිංහ හෙවත් රාජගිරියේ පැටීය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට චෝදනා එල්ල වී සිටින ප්‍රධාන සැකකරුවකු වූ දෙමටගොඩ චමින්ද හෙවත් චමින්ද ජයනාත් 2006 මාර්තු දෙවැනි දින කොළඹ මහාධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා බන්ධනාගාර බස් රථයෙන් යමින් සිටියදී ඝාතනය විය. දකුණු පළාත් සභාවේ හිටපු ඇමති එම්. කේ. රංජිත් මහතා (චණ්ඩි මල්ලි) ඝාතනය වූයේ කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ එහි පිවිසුම් දොරටුව අසලදීය. පාතාල නායකයකු වූ සමයං 2017 වසරේ කළුතර දී බන්ධනාගාර බසයක් තුළ ඝාතනය වූයේ ද අපරාධ චෝදනා ගණනාවක් විභාගවෙමින් තිබියදීය.

2004 වසරේ ජනවාරි 09 වැනිදා උන්හිටි ගමන් කොළඹ අලු‍ත්කඩේ උසාවිය දෙදරුම් කෑවේය. එදින ධම්මික අමරසිංහ අලු‍ත්කඩේ මහෙස්ත්‍රාත් උසාවියේ කාමර අංක හයේ විභාග වූ නඩුවකට පෙනී සිටියේය. එතැනට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු හෙවත් කුලී ඝාතකයෙක් උසාවිය තුළදීම ධම්මික අමරසිංහට මෙසේ වෙඩි තබා ඝාතනය කළේ ය. ඔහු 1990 ත් 2004ත් අතර කාලයේ සිදු වූ ඝාතන 50 කට හා බැංකු මංකොල්ලකෑම් 17 කට සම්බන්ධ පුද්ගලයෙකි.

2015 සැප්තැම්බර් 23 වැනිදා සමයංව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට කඩුවෙල උසාවියේ පැවති නඩුවකට සුපුරුදු පරිදි රැගෙන ආවේය. ඒ මොහොතේ බන්ධනාගාර නිලධාරීන් හා සමයං උසාවියේ තරප්පු පෙළ නගිමින් සිටියේය. ඒ අතර එතනට පැමිණියේ අත වෙළුම්පටිවලින් බැඳගත් පුද්ගලයෙකි. ඔහු කිසිවෙකුට කිසිවක් සිතන්නටවත් ඉඩ නොතියා වෙළුම්පටි තුළ සඟවාගෙන සිටි මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් සමයංට වෙඩි තබා ඇසිපිය හෙළන සැනින් පලා ගියේය. ඉන් සමයංගේ ජීවිතය විනාශ නොකළ ද එක් අතක් තුවාල විය. පාමංකඩ පොඩි අශෝක ද දෙල්කඳ උසාවි සංකීර්ණයේ දී ඝාතනය විය.

මෙලෙසින් පොලිස් ආරක්ෂාව යටතේ සිටියදී ඝාතනයට ලක් වූ පාතාල නායකයන්ගේ නම් ලැයිස්තුවට තවත් එක් අලු‍ත් නමක් ඊයේ එක් විය. ඒ සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව වේ. ඔහු ඊයේ උදෑසන බූස්ස බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා අලු‍ත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත රැගෙන විත් තිබුණි. එහිදී චූදිතයා අධිකරණ ශාලා අංක 05 වෙත ඉදිරිපත් කෙරුණු අතර, එහිදී විත්තිකරු විත්ති කූඩුවේ සිටගෙන සිටිය දී ක්‍රියාත්මක වූ වෙඩික්කරු වෙඩි පහර කිහිපයක් සංජීව නමැත්තාගේ පපු ප්‍රදේශයට එල්ල කර ඇත. ඒ අවස්ථාවේ දී විත්තිකරු විත්ති කූඩුව තුළ ඇදවැටුණු අතර, පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව කඩිනමින් අධිකරණ පරිශ්‍රයෙන් පිටතට රැගෙනවිත් වෙඩි වැදුණු සැකකරු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. ඔහු රෝහල්ගත කළ ද කොළඹ ජාතික රෝහලේ දී ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස මරණයට පත් වූයේ මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් වෙන්නට හීන දැකි අයගෙන් එක් අයෙකි. ඔහු මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, බියවැද්දීම් ඇතුළු වැරදි රාශියකට සම්බන්ධ අයෙකි. ගණේමුල්ල සංජීව යනු රු. 5000 ටත් මිනීමැරූ අයකු බව පාතාලයේ මතයයි. ඔහු කොටි ත්‍රස්තයින් ලවා ද වැඩගත්තෙකි. කැලණිය ප්‍රදේශයේ නිවෙසක නිදාගෙන සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම හා කොළඹ ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනකුට මරණීය තුවාල සිදුකළ බව කියන සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගණේමුල්ලෙ සංජීව නමැත්තා, ඊයේ දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය පසුගිය 05 වනදා කළ නියෝගයෙන් පසු අද ඔහු අධිකරණයේ පෙනී සිටියේය.

පට්ටිය හන්දිය ප්‍රදේශයේ යතුරුපැදියක යමින් සිටි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද සැකකරුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබූ අතර, එම සිද්ධියෙන් ඔහුව ලක්ෂ පහක් බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස ද අධිකරණයෙන් නියම විය. කැලණිය ප්‍රදේශයේ නිවෙසක නිදා සිටිය දී ඝාතනයට ලක්ව ඇත්තේ එම්.ඒ. සජිත් රංග නමැති පුද්ගලයෙකි. සැකකාර පුද්ගලයා ඇතුළු තවත් නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඔහුව වෙඩි තබා ඝාතනය කර ඇති බව ද සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදු කරන පෑලියගොඩ ‍පොලිසිය අධිකරණයට දැන්වීය. ඉහත සඳහන් පළමු චෝදනා දෙක සම්බන්ධයෙන් තම සේවාදායකයා දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙසට පසුගිය 5 වනදා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය, සැකකරු මෙම ඊයේ දින දක්වා තවදුරටත් එසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර තිබුණි. කාලයක් තිස්සේ පොලිසියෙන් කට්ටිපනිමින් රටවල්වල සැඟව සිටි මෙම අපරාධකරු නීතියේ රැහැනට හසුවන්නේ 2023 වෙනත් නමකින් කටුනායකට පැමිණි අවස්ථාවේ ය.

ගණේමුල්ල සංජීව විසින් සේනාධීරගේ කරුණාරත්න යන නමින් ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකසාගෙන සැප්තැම්බර් 13 වැනිදා දහවල් 12.50ට කත්මණ්ඩු සිට කොළඹ බලා එන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකට කත්මණ්ඩු අන්තර්ජාතික ගුවන් තොටුපළින් ගොඩවූයේ ශ්‍රී ලංකාව බලා පැමිණීමටයි. ශ්‍රී ලංකා ගුවන්තොටුපළේ දී ඔහු කෙරෙහි සැකයක් ඇති වූ ආගමන විගමන නිලධාරීහු ඔහු පිළිබදව විමසිලිමත් වූහ. මොහු මෙරට ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු යන බව හඳුනාගත් නිලධාරීහු ඒ අනුව ක්‍රියාත්මක වී තම ඉහළ නිලධාරීන්ට ද ඒ බව දැනුම් දී ආගමන විගමන නීතියට අනුව සිදුකළ යුතු සියල්ල සිදු කළහ. ඉන්පසු වසර කිහිපයක් විදෙස්ගතව සැඟවී සිට දරුණු ගණයේ අපරාධ රැසක් සිදුකළ “ගණේමුල්ල සංජීව” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේය. වසර කිහිපයක් විදෙස්ගතව සැඟව සිට නීතිය සත පහකට මායිම් නොකර රතු වරෙන්තු පවා ලබා සිටියදී තම ගෝල බාලයන් ලවා මෙරට මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසක් සිදුකළ “ගණේමුල්ල සංජීව” නමැති මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයා නීතියේ රැහැනට කොටු වූයේ එලෙසින් ය.

මොහු මාකිලංගමුවේ සංජීව නමින්ද හඳුන්වනු ලබයි. ඔහු පොදු සහතික පත්‍ර උසස්පෙළ සඳහා ද මුහුණ දුන් අයෙකි. ඔහුගේ අධ්‍යාපන ගමන උසස් පෙළින් අවසන් වූ අතර, ඉන් පසුව ඔහු පාතාල ලෝකය වෙත පිවිසියේය. ඔහු පළමුවරට බන්ධනාගාරගත වන්නේ තවත් තරුණයන් අට දෙනෙකු සමග මාරපොල හන්දියට නුදුරින් බිස්කට් වෑන් රථයක් මංකොල්ල කෑමේ සිද්ධියක් සඳහාය. ඔවුන් රුපියල් 70000 ක පමණ මුදලක් මංකොල්ල කා තිබුණි. බන්ධනාගාරගත වීමෙන් පසු නිදහස් වන සංජීව පාතාල ලෝකයේ ලොක්කකු බවට පත් වන්නේ 2009 වසරේ මෙරට සිදුවූ රුපියල් කෝටි හයකට ආසන්න විශාලම බැංකු මංකොල්ලය සිදුකරමින්ය.

පසුව සංජීව පස් ජාවාරමේ ප්‍රබලයෙකු බවට පත් වූයේ ගම්පහ පස් පාතාලයේ ප්‍රසිද්ධ චරිතයකුව සිටි “පස් පොඩ්ඩා” සමග එක්වෙමිනි. ඔවුන් පස් ජාවාරම් ආරම්භ කරනු ලබන්නේ හීනැටියන අසිත නම් තවත් පස් ජාවාරම්කරුවකු මරා දමමිනි. පසුව සංජීවගේ වෙඩික්කරු බවට පත් වූ අජිත් කුමාර හෙවත් අජා නම් පුද්ගලයා ඝාතනය කරනු ලබන්නේ ගම්පහ ඔස්මන් මරා දැමීමට සංජීව විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුව අජිත් කුමාර හෙවත් අජාට වැරදුණ හෙයිනි.

චමින්ද රවී ජයනාත් හෙවත් “දෙමටගොඩ චමින්ද” නමැති භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තුන් වැනි විත්තිකරුට බන්ධනාගාර බස් රථය තුළදී වෙඩි තැබීමේ සිද්ධියක් හේතුවෙන් ද “ගණේමුල්ලේ සංජීව” චෝදනා ලැබ සිටියේය. බන්ධනාගාරයේ සිටි “දෙමටගොඩ චමින්ද” අලු‍ත්කඩේ අධිකරණයේ පැවැති නඩුවට ඉදිරිපත් කොට නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේ දී දෙමටගොඩ ඉන්ගම් හන්දියේ දී බන්ධනාගාර බස් රථය හරස් කර නැවැත්වූ යතුරුපැදිකරුවෝ දෙදෙනෙක් “දෙමටගොඩ චමින්දට” වෙඩි තබා පලා ගියහ. චමින්ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ අතර එම සිද්ධියට අදාළව “ගණේමුල්ල සංජීව” බන්ධනාගාරගත කළේය.

සංජීව තම ක්‍රියාකාරකම් සඳහා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යොදා ගැනීමට පුරුදු වී සිටියේය. ඔහු වේයන්ගොඩ, එළුවාපිටිය ප්‍රදේශයේ ආරක්ෂිත නිවසක එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් තිදෙනෙකු සඟවා තබාගෙන සිටි බව හෙළි විය. පොලිස් බුද්ධි අංශ වාර්තාවලට අනුව, සංජීවගේ කල්ලිය සතුව පිස්තෝල 10ක් සහ ටී 56 ගිනි අවි 10ක් පවතින බව සොයාගෙන තිබේ. ගණේමුල්ල සංජීව විසින් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හත් දෙනකු මෙහෙයවමින් සිටියේය. වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ ආරක්ෂිත නිවාසයක් තුළ තබාගෙන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 03ක් ඔහු විසින් නඩත්තු කළේය. පසුව මේ පිරිස පොලිස් අත්අඩංගුවට පත් වූයේය. පසුගිය වකවානුව තුළ කර ඇති විමර්ශනවලට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පිස්තෝල 10ක්, ටී 56 ගිනි අවි 10ක් “ගනේමුල්ලේ සංජීවගේ” කල්ලිය සතුව තිබේ.

කෙසේ වෙතත් වැලිකඩ බන්ධනාගාරයේ සිටින විට සංජීවට තවත් අයෙක් එකතු විය. එනම් කඩුවෙල සමයං මියයාමත් සමඟ එතැන හිඩැස පිරවීම සඳහා සිටි පුද්ගලයාය. ඔහු වෙනින් කවුරුත් නොව ගොත අසංකය. ගොත අසංක ඉතිරි වන්නේ සමයංගේ හොඳම ගෝලයන් දෙදෙනා වූ ඉන්ද්‍රා සහ ඌරු ජුවා මියයාමත් සමඟය. ඒ හරහා අසංක ප්‍රබල විය. කෙසේ වෙතත් එක් අවස්ථාවක ගොත අසංකටත් සංජීවටත් බන්ධනාගාරයේ දී ස්මැක් මංජු පහර දුන්නේය. ඒ පහරදීමට පලිගැනීම සඳහා ගොත අසංක මංජුගේ පෙම්වතිය ඝාතනයට උත්සාහ ගත්තේය. කෙසේ වෙතත් අසංකට විරුද්ධව දුමින්ද සිල්වාගේ රියදුරකු වූ බණ්ඩා ඝාතන චෝදනාව එල්ල වී තිබුණේය. ගොත අසංක ඊට අමතරව තවත් ඝාතන රැසක කොන්ත්‍රාත් ලබාගත් බව ද පොලිසියට අනාවරණය විය.

මෙම ප්‍රධානපෙළේ අපරාධවලට අමතරව ගණේමුල්ල සංජීව නමැත්තා සිය ගෝලබාලයන් යොදවා මිනිස් ඝාතන 39ක් සිදුකර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලින් හෙළිවී ඇත. වරක් කඩවත කාන්තාවකට වෙඩි තබා ලක්ෂ පහක මුදලක් කොල්ලකා තිබේ. තවත් වරක් ජාඇල කාන්තාවකට වෙඩි තබා ඝාතනය කර තිබේ. කෙහෙල්බද්දර සැලූන් එකක සේවය කළ පුද්ගලයකු ද වෙඩි තබා ඝාතනය කර ඇත. ගාල්ල තැඹිලි විකුණූ පුද්ගලයකුට සහ බටපොත හාඩ්වෙයාර් එකක සේවය කළ අයෙකුට ද නිරපරාදේ වෙඩි තබා ඝාතනය කර ඇත. මේ ඔහු විසින් මෙහෙය වූ ඝාතන අතරින් කීපයකි. ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රබල ලෙස සිදුකරගෙන ගියේය. කප්පම් ගැනීම් ද එසේ ම ය. මෙම අපරාධ සියල්ලටම දඬුවම් දෙමින් ඊයේ ඔහු ගිනි අවියකින් ම නැසීගියේ ‘අවි ගත්තෝ අවියෙන්ම නැසෙති’ යන කියමන නැවත නැවතත් තහවුරු කරමිනි.

(*** ශෂිකා අබේරත්න)



අදහස් (0)

ලෙයට ලෙය ඉල්ලන පාතාලය

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 477 5

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


ඩිජිටල් තාක්ෂණයට ඇබ්බැහිවීම නතර කරන්න රජරටින් අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 20 427 1

ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න


ලෙයට ලෙය ඉල්ලන පාතාලය
2025 පෙබරවාරි මස 20 359 0

සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම


ආර්ථිකයේ විප්ලවයකට බර අයවැයක්
2025 පෙබරවාරි මස 20 114 1

2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්‍


අයි.එම්.එෆ්. මග යන අයවැයක්
2025 පෙබරවාරි මස 19 723 1

ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය


අයවැය විමසුම් ඇසකින්
2025 පෙබරවාරි මස 18 737 1

ජාතික ජන බලවේග ආණ්ඩුවේ මංගල අයවැය පාර්ලිමේන්තුවේදී ඊයේ ඉදිරිපත් කරනු ලැබීය. ඒ 2025 වර්ෂය වෙනුවෙනි. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය නිරීක්ෂණය කිරීම


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 94 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 383 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 166 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site