ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළියගොඩ නිර්මාණාවලෝකනය’ කෘතිය බණ්ඩාර ඇහැළියගොඩ මහතාට හා ඔහුගේ බිරිඳ තිලකා මහානාම මහත්මියට පිළිගැන්වීමේ උත්සවය පසුගිය දා (25) කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි. ඔහු විසින් විරචිත ගීත සමුච්චය ප්‍රවීණ ගේයපද රචක ධම්මික බණ්ඩාරයන් විමර්ශනය කරමින් පැමිණ සිටියවුන් දැහැන්ගත කරවූ මනරම් සැඳෑවක් එහි විය. ධම්මික බණ්ඩාර තම හඬ අවධි කළේ මෙසේ ය.
අද දවසේ ප්‍රධාන වශයෙන් මට හිතෙනවා සන්තෝෂ වන තිදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් අපේ කථානායකයා බණ්ඩාර ඇහැළියගොඩ මහත්මයා. දෙක අපේ හාමුදුරුවෝ, තුන්වැන්නා මම. ඇයි මම සන්තෝෂ වෙනනේ? සන්තෝෂ වෙන්නේ මට වඩා බොහෝ විශිෂ්ට ශ්‍රේෂ්ඨ මම අගය කරන මට වඩා දැනුමැති කෙනෙකු ඉදිරියේ මේ ගීත සමුච්චය ඉදිරිපත් කරන්නට ලැබීම. ඒක බණ්ඩාර අයියා මට අද දවසේ ලබා දුන්න සතුටක්. මේ හැම ගීත රචකයෙක් පිටිපස්සේ ම දක්ෂ කවියෙක් ඉන්නවා. මට ඔබ කියලා තිබෙනවා ඔබට ඉස්සර හිටිවන කවි පිස්සුවක් තිබුණා කියලා. ඒ හින්දා ලොකු ලොකු හිටිවන කවිකාරයෝ ඇවිල්ලා මේගොල්ලො මැද්දෙන් හිටවගන්නවලු අඩියක් ගහන්න. එතකොට අපේ බණ්ඩාර අයියට කථා කරනවලු “එනවා එනවා ඇවිල්ලා කවියක් කියනවා” කියලා. ඊට පස්සේ බණ්ඩාර අයියා අරගොල්ලෝ ආපහු වැනි වැනී එනකම්ම හිටිවන කවි කියනවලු. අන්න ඒ හයිය තමයි ඊට පස්සේ කවියෙක් වෙන්න උදව් වුණේ.
ධර්මසිරි ගමගේ මහත්තයා මුණගැහිලා ගිය ගමන, යොවුන් ජනතා පුවත්පත වගේ පුවත්පත්. පහන් වැට. මෙහෙම මෙහෙම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා තමයි කවිය අතික්‍රමණය කරලා ගීත රචකයෙක් බවට පත් වෙන්නේ. අපි පළමු වැනි ගීතයට යමු. වැඩිය ඇහිලා නැති මව්ගුණ ගීතයක්. බණ්ඩාර අයියා තුන් තැනකින් අම්මා ගැන කතා කරනවා. ජාතක කථාවක එන අම්මා ගැන කතා කරනවා. ඊට පස්සේ මං දැක්කා කුවේණිය ආශ්‍රයෙන් කතා කරනවා. ඊටත් පස්සේ අපේ ඉතිහාස කථා මහාවංශය ආශ්‍රයෙන් කතා කරනවා. බණ්ඩාර අයියගේ වචන කිහිපයක් විතරක් අපි බලමු.
“දූපුතුන් තුරුළු කර කූඩුවේ උන්නා ය.
නපුරු ගංවතුර’විත් කඩාගෙන පැන්නා ය.
වලිගයෙන් ජලය ඉස මූද ගොඩ දැම්මා ය.
එදා ලෙහෙනියක වී සිටියෙ මගෙ අම්මා ය.” කියලා අවස්ථා තුනකට ප්‍රවේශය හදා ගන්නවා බොහොම ලස්සනට. මේ ගීතය සංගීතවත් කරනවා නවරත්න ගමගේ මහත්මයා.
මහගම සේකර සූරීන් එක් තැනක මෙහෙම කවියක් ලියනවා.
“මල් මල් සාරිය ඇඳලා වීදි කොණේ රැක ඉඳලා
ඇස් ඉස් මස් ලේ දීලා
කිරි අරගෙන එයි අම්මා”.
අම්මලා ගැන විවිධ විදියට කතා කරන්න පුළුවන්. සමහර වෙලාවට අපිට අමම්ලාට සියලු ආශාවන් ඉෂ්ට කරලා දෙන්න අමාරුයි. සමහර විට ජීවිතේ අම්මලා තනි වෙන තැන් තිබෙනවා. අපේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මට මතකයි ආචාර්ය නන්දා මාලිනී වෙනුවෙන් ලියලා තිබුණා “සුදු හාමිනේ නුඹ කොතැන ද අද දවසේ..
ඒකේ අන්තිමට කියනවා
“දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී..
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී..
මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී..
ලේකිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී.”
ඒ තමයි අම්මගේ අවසාන ප්‍රාර්ථනය. සමහර අම්මලා ආසයි එක ම තැන ජීවත් වෙන්න. තමන්ගේ මහ ගෙදර නම් මහ ගෙදර. හොල්ලන්න බෑ. ගම්පෙරළියේ මහගෙදර කඩා වැටිලා තිබිබත් පියල්ගේ ගෙදරට ගියේ නෑ මාතර හාමිනේ. අර නටබුන් මැද්දේම ඉන්න ආස කළා. බණ්ඩාර අයියටත් මේ ප්‍රශ්නෙ තිබුණා. ගේ කඩා වැටුණා. අම්මා එක තැනකට යන්න කැමති වුණේ නෑ. කඩා වැටිච්ච ගේ හදන්න බණ්ඩාර අයියා සෑහෙන්න උත්සාහ කළා. ගෙවල් හදන්න සල්ලිත් එපායෑ. ඉතින් මේක හරියට හැදෙන්නේ නෑ. අම්මව එතන පදිචි කරන්න උත්සාහ කළා. ඒ අතරේ අම්මා ඔත්පළ වෙනවා. තාමත් බණ්ඩාර අයියා ගේ හදනවා. අර සුනිල් එදිරිසිංහ මහත්තයගේ සින්දුවක ප්‍රේමකීර්ති මහත්තයා ලියල තියෙන්නේ “හීනෙන් නුඹ තව ගෙවල් හදනවා”. බණ්ඩාර අයියට ගේ හදාගන්න බැරි වෙනවා. හැබැයි ඊයේ පෙරේදා මට බණ්ඩාර අයියගේ පුතා කියනවා ‘අංකල් මං මේ ගේ හදනවා’. ඒ කියන්නේ තාත්තට බැරි වුණ සිහිනය පුතා ඉටු කරලා දෙනවා. ඉතින් ඒ දුක තමයි මේ ගීතය ඇතුළෙ තියෙන්නේ.
ඉස්සර කාලේ අපේ ගෙවල්වල ඉස්තෝප්පුවේ තියලා තියෙනවා බුලත් හෙප්පුවක්. ඕනැ කෙනෙකුට නිදහසේ බුලත් කන්න. ඒකට මිලක් වැටෙන්නේ නෑ. බැරි වෙලාවත් ගෙදරට ආව කෙනා බුලත් නොකා ගියොත් එහෙම ‘මේ මිනිහා බුලත් විටක්වත් කාලා ගියේ නෑනේ’ කියලා කියනවා. ඒ වගේ ම තමයි කාලයක් තිබුණා ගෙදරට ආව කෙනාට තේ කෝප්පයක් දීපු.
දැන් මොක ද තත්වේ? තේ එකක් බීලා ගියොත් තරහා වෙනවා. ‘මූ ආවා මදිවට තේ එකකුත් බීලා ගියා’ කියලා. ඒ නිසා මේ යුගයෙන් යුගය අපේ ආකල්ප වෙනස් වෙනවා. ඒ දවස්වල කොස්, දෙල්, පොල් තිබුණා. මහ ඉඩමක් කියලා එකක් තිබුණා. ඊට පස්සේ අපි රැකී රක්ෂාවලට පර්චස් ගණන් ඉඩම් අරගෙන කොළඹ එනවා. ඒ ඉඩම්වල නම් හරි ලස්සනයි. ඊට පස්සේ බොහොම අමාරුවෙන් බෑන්ක් ලෝන් දාලා ගේ හදා ගන්නවා. වෙසක් කාලෙට පොසොන් කාලෙට දොරවල් අරින්නේ නෑ. දොරින් දොර එන ස්වාමීන් වහන්සේලාටවත් සම්මාදමක් දෙන්න කැමති වෙන්නේ නෑ. නෑදෑයකුට යාළුවකුට කෑම වේලක් දෙන්න බෑ. අමාරුයි. කනකොට බලනවා කවුරුවත් එයි ද කියලා. ගෙවල් දොරවල් වහගෙන කැමැත්තෙන් තොරව අකමැත්තෙන් අපි මේ කෑම ටික කන තැනට වැටිච්ච හැටි බණ්ඩාර ඇහැළියගොඩට හොඳට තේරුණා.
අපි ඒ තාත්තලගේ පුත්තු තමයි. හැබැයි තාත්තලට වඩා මේ පුත්තුන්ට ටිකක් අමාරුයි. ඔහු වන්නි වනපෙතේ ගීතය ලියන්නෙ මේ අත්දැකීම් පදනම් කරගෙන.
“වන්නි වන පෙතේ
ගම් දනව් පුරා නිවහන
වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්...
කන්ට බෑ කියා තනිවම එන්ට යයි කියා
ගමටම බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්
සමහර මගුල් ගෙවල්වල තියෙනව ඒ මගුල් ගෙවල් විසින් අයිති කරගත්ත සිරිත්. මට මතකයි එක්තරා කාලෙක ආචාර්ය අජන්තා රණසිංහයන් ලියලා තිබුණා පුංචි දවස්වල නින්දට යද්දී පීතු පාදන් නමා මහන් කියලා. ඊට පස්සේ මහාචාර්ය සනත් නන්දසිරි සූරීන්ගේ වාසනා වේවා ගීතය මංගල තෑග්ග චිත්‍රපටියේ. මෑත විලාසිතාවක් වෙලා තිබෙනවා මෙන්න මේ ගීතය. ඒ වගේම වරද්දල ගයන සින්දුත් තියෙනවා.
“මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරට වැටුණේ..
මේ හැටි දුර පියමං කරලා
ඇයි මා ඔබ ළඟ නතර වුණේ..”
ඔය ටික විතරක් අහලා හිතනවා මේක මගුල් ගෙදරකට මරු කියලා. ඒත් ඕකෙ අන්තිමට තියෙන්නෙ “මොකටද අපි දෙන්න බැන්දේ” කියලා.
ඔබ ටිකක් කල්පනා කරන්න. සින්දුව සම්පූර්ණයෙන් අහන්න. තාත්තා කෙනෙකුට තියෙන ආඩම්බරයක් තමයි ඒ දුව දීග දෙන දවස. දීග දෙන දවසේ මං අර වීඩියෝවල දැක්කා මොන තරම් හැඟීමක් බණ්ඩාර අයියගේ හිතේ තිබුණ ද? දුක සතුට මිශ්‍ර හැඟීමක්. සුනිල් එදිරිසිංහයන් ඒක බොහොම අපූරුවට ගායනා කරලා තියෙනවා ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට.
“දුවේ නුඹ මගේ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුල ගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි
තමන්ගේ දුව තමන්ගේ පොඩි කාලේ ඉඳන් හදා ගත්තේ. එයා සමහර වෙලාවට බෑණව හොයාගන්න ඇති. ඒත් මේ තාත්තා දන්නෑනේ දෙවියෙක් ද? යක්ෂයෙක් ද? පෙරේතයෙක් ද? කුම්භාණ්ඩයෙක් ද? පාතාලයෙක් ද? මේ නිසා හදවත සසල වෙනවා. වෙස්සන්තර වාගේ දෙන්නේ දුවව. හැබැයි අනිත් පැත්තෙන් හැඟීම් මෙහෙම වෙනකොට බුද්ධිය තර්ක කරනවා මගේ දුව මම විවාහ කර දිය යුතු යි. මේ මගේ එක පුතෙක්. ඒ පුතා මගේ දරුවො වගේ ම මං බලා ගන්නවා. මෙන්න මේ දෙබිඩි මානසිකත්වයට මුහුණ දෙනවා. අන්තිමට බුද්ධියට තැන දෙනවා.
විශාල අහිංසකකමක් මේ ගීතය අවසානයේ තියෙනවා. මේ බෑණට පුතේ කියලා අමතලා කියනවා පුතේ ඔයාට එපා වුණාට මට මගේ දුව එපා වෙන්නේ නෑ. එහෙම තමයි තාත්තලා.
“සුරතල් දියණිය
මොළකැටි වදනින්..
මා සනසන්නිය..
අහර පිසන්නිය..
කවන්නිය..
පොවන්නිය..
මා ගැන බිය වන්නිය..”
මේ නිසා මේ පුතා ගැන භය බුද්ධියෙන් යටපත් කර ගන්නවා. බණ්ඩාර අයියා මෙහෙම ලියනවා.
“පුතෙකු නිවසට ආ යුතුයි
දුවක පිට වී යා යුතුයි
මේ වෙනස ඇති කළේ කවුරුද
නොනිමි සෙනෙහස මා සතුයි
මැක්සිම් ගෝර්කි කියන ලේඛකයාගේ කෙටිකතාවක් තිබෙනවා ‘සුන්දර නතාශා’ කියලා. රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට කලින් දුප්පත් මිනිස්සු බොහෝම දුක් විඳින අවධියක ගෝර්කි කියනවා තමන් උණ ගැනිලා කන්න දෙයක් නැතුව බෝක්කුවක් යට හීතලේ ගැහි ගැහී ඉන්නවා. තමන් නිදාගෙන ඉන්නකොට තවත් ගෑනියක් බේකරියක් ගාව පොළොව හාර හාර පෑගිච්ච පාන් පොතු හොයනවා දැක්කා කියලා. පස්සෙ දෙන්නම එකට එකතු වෙලා අර හිමවලට වැහිලා තිබුණු බේකරියෙන් විසි කරපු පාංපොතු හොයලා කනකොට මේ නතාෂා අහනවා උඹට හොඳට ම උණ නේද කියල. ගෝර්කිට ඒකට උත්තර දෙන්නවත් බෑ. ඇත්තටම මේ නතාශා ගණිකාවක්. ඇය බෝට්ටුව යටට උණෙන් ගැහෙන මේ ගෝර්කිව එක්කන් ගිහිල්ලා තමන්ගේ ඇඳුම් ගලවල පොරවලා තුරුලු කරගෙන නිදාගන්නවා. නින්ද යනවා. උදේ නැගිටලා බලනකොට නතාෂා නෑ. ගෝර්කි කියනවා කවදාවත් මට මේ නතාෂා හම්බුණේ නෑ කියල.
ලෝකයේ පැරණි ම වෘත්තිය ගණිකා වෘත්තිය. ඒක එක එක විදිහට පැවතුණා ඉන්දියාවේ. ලංකාවේ මේක කොයි විදිහට පවතිනව ද දන්නේ නැහැ. සමහර අය වැඩියෙන් සල්ලි හොයන්න මේ වෘත්තිය යොදාගන්නවා. සමහර අය නිකං කකා සතුටින් ජීවත් වෙන්න මේ වෘත්තිය යොදා ගන්නවා. සමහර අය සමාජයේ තානාන්තරවලින් ඉහළ නගින්න මේ වෘත්තිය යොදාගන්නව. සමහර අය ජනප්‍රිය වෙන්න මේ වෘත්තීය යොදාගන්නවා. සමහර අය කරකියා ගන්න දෙයක් නැතුව කාගේ හෝ වරදකින් මේ වෘත්තියට පිවිසෙනවා. කලාකරුවා මේ සියල්ලම දකිනවා. ඒ තුන්වෙනි ඇහැ බණ්ඩාර අයියා ක්‍රියාත්මක කරනවා.
භාෂා භාවිතය ගීත කලාවේ දී ඉතාමත් වැදගත්. සමහර වෙලාවට සින්දු එපා වෙනවා භාෂා භාවිතය හින්දා. මම බස් එකක යනකොට ඇහෙනවා සින්දුවක් මතක තියාගන්න උත්සාහ කළා. මෙන්න මෙහෙම පෙම්වතෙක් පෙම්වතියට කියනවා.
“ඒ ලෙවල් ක්ලාස් එක ඇරිලා හෙට හවසට එන්න..
හයිලෙවල් පාරේ බෝ ගහ යට මං එනතුරු ඉන්න..”
මෙහෙම ලියන්න ලියන්න තමයි මේ රචකයෝ බැබලෙන්න පටන් ගන්නේ. මං තව උදාහරණ කියන්න යන්නේ නෑ. ඉස්සෙල්ලා ගීතයේ තිබුණා දෙමටමල් විහාරය ගැන. මේ ගීතය කෙලින්ම නම් කරලා තියෙනවා දෙමටමල් විහාරය කියලා. මෙතන මල් විකුණන අය ඉන්නවා. තිස්ස හැංඟුණා කියනවනේ මේ විහාරයේ. දුටුගැමුණුයි තිස්සයි අතර ඇතිවුණු යුද්ධයේ දී. මල් විකුණුවාට ඒ කාන්තාවන්ගේ ජීවිත මල් වගේ නෙමෙයි. අපි මතුපිටින් දකින සුන්දරත්වය අභ්‍යන්තරයේ නෑ. මතකයි එක ටෙලි නාට්‍යයක් අශෝක හඳගම මහත්තයාගේ දුන්හිඳ අද්දර. අපි දුන්හිද බලන්න ගියාට අවට මිනිස්සුන්ගේ ජීවිතේ එච්චර ලස්සන නෑ.
“දෙමට මල් විහාරය ළඟ..
මල් විකුණන අම්මලාගේ..
මලක් වගේ පිපුණු මූණු පර වූයේ ඇයි?..
මල් ගෙන යන පින්වතුන්ට..
මලක මෙලෙක පැහැය මිසක..
ඇසෙන් ඇසට ගලන කඳුළු
කිසිදා නොපෙනෙයි..”
පින්වතුන්ට වුණත් ඒ යථාර්ථය තේරෙන්නේ නැහැ. මොනරාගල මේ පැතිවල අම්මල තාත්තලගේ ජීවිත සුන්දර නැහැ. මං හිතන්නේ මේ හාමුදුරුවෝ මේවා වැඩි වැඩියෙන් දැකලා මේ ගීත තෝරගන්න ඇති මේ ගීත ගොන්නට.
යම්කිසි කලා ක්ෂේත්‍රයකට කෙනෙක් ප්‍රවේශ වෙන්න එක හේතුවක් නෙමෙයි හේතු ගොඩක් බලපාන්න පුළුවන්. අපේ බටහිර කියමනක් තියෙනවා නිර්මාණකරුවෙක් වෙන්න නම් ටිකක් පිස්සුවක් තියෙන්න ඕනේ කියලා. පොඩි වයර් ෂෝට් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්තං නිර්මාණ කරන්න අමාරුයි. තව කෙනෙක්ව අනුකරණය කරන්නත් පුළුවන්. මහගමසේකර මහත්තයාගේ තාත්තා එයාගේ කලා කටයුතුවලට බලපෑවා. බණ්ඩාර අයියටත් පොඩි කාලේ තිබුණ නැටුම් පිස්සුවක්. ලොකු තාත්තා හොඳ නැට්ටුවා. අන්තිමට අධ්‍යාපනය නවත්තලා ලොකු තාත්තා පිටිපස්සේ යනවා නටන්න. එහෙම නටපු නැටුම්වල ප්‍රතිඵල තමයි මේ. ඒ නැටුම් ශාස්ත්‍රයත් එක්ක ලියවෙච්ච ලස්සන ගීත තිබෙනවා.
“අන්න බලන් බෙර හඬින් උදම් වී
දෑත දෙපා සෙලවෙන අන්දම්
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ
මාලක්කම කැරකෙන අන්දම්
දැන් වසර කිහිපයකට ඉහතදී බණ්ඩාර අයියා මට කතා කරනවා මල්ලි මම සිංදුවක් එවන්නම් හොඳ ද බලන්න. දැන් මං කවුද බණ්ඩාර අයියගේ සින්දුවල හොඳ නරක බලන්න. හොඳ ද බලලාකියන්න. තව ටිකකින් කෙනෙක් කතා කරයි. ඊට පස්සේ ඇත්තටම තව ටිකකින් කෙනෙක් කතා කරනව. එයා ප්‍රබල ව්‍යාපාරිකයෙක්. කතා කරලා ඇහුවා ‘ඇහුව ද අර සින්දුව?’ කියල. මං කිව්වා එක පාරක් ඇහුවා කියලා. එයා එතකොට මට කිව්වා “මං ගොඩක් ව්‍යාපාර කරනවා මට ධනයත් යම් ප්‍රමාණයකට ලැබෙයි. ඒත් මට දැන් සතුටක් නෑ. මගේ ජීවිතේ මාත් එක්ක හෙවණැල්ල වගේ හිටියේ මගේ බිරිඳ. ඇය මියගියා. මට ඇයව නිතරම මතක් වෙනවා. තනියෙන් ඉන්න වෙලාවල්වලට. ඊට පස්සේ මම කල්පනා කරනවා සල්ලිවලින් පුළුවන් ද මට ඉන්න. තනිකම නැති කර ගන්න.” බණ්ඩර අයියා ගීතයක් ලිව්වා
“මේ කිරුළ බර වැඩියි දේවී..
ගිනි ගැනී ළය රිදුම් දේවී..
ඔබම පැළඳූ සිරස ප්‍රේමයේ
මිණි කිරුළ තවම මා හිස රඳයි දේවී..
එයම මට බර වැඩී දේවී..”
දෙන්නෙක් ආදරෙන් ජීවත් වෙච්ච ඕනම තැනකට ඒ අත්දැකීම පොදුවේ විඳගන්න පුළුවන්. මේකේ හරිම හැඟීම්බර වචන ගොන්නක් එක්ක ප්‍රබල හැඟීම් දැනෙන වචන කිහිපයක් තිබෙනවා.
“මිතුරියක සොයුරියක සෙනෙහසම පිදු මවක..
මග නොමග කියා දුන් ඇදුරුතුමියයි වරෙක...
සංසාර සාගරෙන් පාවී..
මවෙත ආ සඳ කිඳුරු දේවී..”
කාටද විවාහ වෙලා ජීවිතයේ සැඳෑ සමයේ ආදරයෙන් මේ විදිහට එකිනෙකා අමත ගන්න පුළුවන් වෙන්නේ? කීයෙන් කී දෙනාටද? මුල් ගායනය අමරසිරි පීරිස් සමග උමාරියා. සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ.
ධම්මික බණ්ඩාරයන් විසින් බණ්ඩාර ඇහැළියගොඩ ගේය පද රචකයාගේ ගීත රසවින්දනය කරමින් ඉමිහිරි සුයාමයක පැමිණ සිටියවුන් දැහැන්ගත කරවූ හැන්දෑව නිමා වූයේ මෙසේ ය.
(*** සටහන - කවිඳු දිල්ෂාන්)
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
2023 සැප්තැම්බර් 5 වැනිදා අඟහරුවාදා බ්‍රිතාන්‍යයේ “චැනල් 4” රූපවාහිනී නාළිකාව ඔවුන්ගේ “ඩිස්පැචස්” වැඩසටහන ඔස්සේ “ශ්‍රී ලංකාවේ පාස්කුදා බෝම්බ ප්‍රහාර”
ඉන්දියාවට අයත් දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් මේ වනවිට
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා