IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


විජයකලාගේ පුටුවට තට්ටුවෙයි

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් යාපනයේදී කළ ප්‍රකාශය හේතුවෙන් ඉකුත් දින කිහිපයම දේශපාලන කරළිය රත්වී තිබිණ. විජයකලා යාපනයේදී සඳහන් කළේ උතුරේ දැවෙන ප්‍රශ්නවල විසඳුම් දීමට ආණ්ඩුව අසමත් වී තිබෙන බවයි. එම නිසා බලාපොරොත්තු වූ සහන උතුරේ ජනතාවට ලැබී නැති බවද රාජ්‍ය ඇමැතිවරිය කීවාය.

‘මේ වගේ ප්‍රශ්නවලට ආණ්ඩුවට විසඳුම් නැහැ. උතුරේ තත්ත්වය බරපතළයි. මේ ආණ්ඩුව යටතේ උතුරේ නීතිය හා සාමය පිරිහිලා. ඒ නිසා ප්‍රභාකරන් කෙනෙකු නැවත ඕනෑ’ යැයි හැඟෙන ආකාරයේ කතාවක් රාජ්‍ය ඇමැතිවරිය දෙමළ භාෂාවෙන් ප්‍රකාශ කළාය. රාජ්‍ය ඇමැතිවරියගේ කතාව උතුරට පමණක් සීමාවනු ඇතැයි ඇය කල්පනා කරන්නට ඇතැයි ද එය මේ තරම් දේශපාලන අර්බුදයක ස්වරූපයක් ගනු ඇතැයි සිතන්නට නැතැයි ද එජාපයේ ඇමැතිවරුන් පිරිසකගේ අදහස වී තිබේ. කෙසේ වෙතත් විජයකලාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් බෝම්බය පත්තු කළේ එජාපයේම කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ය. ඔහු විජයකලා විවේචනය කළ පසුව විපක්ෂය එය දිගින් දිගටම ඇද ගෙන යාමට සමත් වූයේය. කෙසේ වෙතත් ඉකුත් සඳුදා යාපනයේදී කළ ප්‍රකාශයෙන් පසුව රාජ්‍ය ඇමැතිවරිය බදාදා පස්වරු වනතෙක් කොළඹ පැමිණියේ නැත. එජාපයේ මැති ඇමැතිවරුන් මෙන්ම දේශපාලන හිතවත්තු ද මෙ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරිය විමසීමට දුරකතන ඇමතුම් ලබා දෙන්නට වූහ. එහෙත් ඉන් කරුණු කිහිපයකට හැර ප්‍රස්තුත ප්‍රශ්නයට උත්තර දෙන්නට හෝ කරුණු පැහැදිලි කිරීමට හෝ විජයකලා රාජ්‍ය ඇමැතිවරිය ඉදිරිපත් නොවූවාය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල මැති ඇමැතිවරුන්ගේ කේන්තිය ඉහවහා ගොස් තිබුණි. ‘මේක කොහේවත් යන මරාලයක්. දැන් ඉතින් විපක්ෂයට මේක ඇදගෙන යන්න පුළුවන්.

ඇමැතිවරිය දුරකතනයට එන්නේත් නැහැ. එයා ගිනි පත්තු කරලා යාපනයට වෙලා ඉන්නවා. ඒවා නිවන්න වෙලා තියෙන්නේ අපට’ යැයි එජාප මන්ත්‍රීවරු පිරිසක් චෝදනා කළහ. මේ අතර එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනෙකු ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වෙන වෙනම හමුවී විජයකලාගේ රාජ්‍ය ඇමැති ධූරය ඉවත් කරන ලෙස ඉල්ලීම් කර ඇතැයි ද වාර්තා වී තිබිණ. ‘මේකෙන් අපට බේරෙන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එක්කෝ එතුමිය ඉල්ලා අස්විය යුතුයි. නැත්නම් අගමැතිතුමාගේ ඉල්ලීම පිට ජනාධිපතිතුමා එතුමිය ඉවත් කළ යුතුයි. එහෙම කළොත් පමණක් මේකෙන් අපට ගොඩ එන්න පුළුවන්’ යැයි එම ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනා අගමැතිවරයාටත් ජනාධිපතිවරයාටත් පවසා තිබිණ. මේ අතර ඉකුත් අඟහරුවාදා පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ ගාලගෝට්ටිය නිසා අගමැතිවරයාද යම් තීන්දුවක් ගෙන තිබිණ. අගමැති කාර්යාලය කිහිපවිටක්ම උත්සාහ කර යාපනයේ සිට රාජ්‍ය ඇමැතිවරිය දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් අගමැතිවරයාගේ පණිවුඩයක් ලබා දුන්නේය. ඒ අනුව ඇය ප්‍රකාශ කර ඇත්තේ උණ රෝගය වැළඳී ප්‍රතිකාර ගන්නා බවය. කෙසේ වෙතත් බදාදා පස්වරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා හමුවීමට රාජ්‍ය ඇමැතිවරිය එකඟතාව පළ කර තිබිණ.

 කෙසේ වුවත් අගමැතිවරයා හමුවීමෙන් පසුව මන්ත්‍රී විජයකලා සිය රාජ්‍ය ඇමැති පදවියෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වීය.

විජයකලාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය දැඩි විරෝධය පළකරද්දී ඇතැම් සුළු දේශපාලන පක්ෂවල අදහස වී ඇත්තේ වෙනත් එකකි. ඇමැති මනෝ ගනේෂන් හිතවතුන් පිරිසක් සමඟ රාජ්‍ය ඇමැතිවරියගේ ප්‍රකාශය සාධාරණීකරණය කිරීමට උත්සාහ ගෙන තිබිණ. ‘යාපනයේ ඇත්තටම ප්‍රශ්න තියෙනවා. මේ ආණ්ඩුව බලයට පත් කළේ විශේෂ බලාපොරොත්තු ඇතිව. අපි සංහිඳියාව ඇති කරන්න උත්සාහ ගන්නවා. සංහිඳියාව සාර්ථක වෙන්නේ සංවර්ධනයත් එක්කයි. ඒ නිසා උතුරට කඩිනම් සංවර්ධනයක් අවශ්‍යයි. ඒක නොලැබීම ඇමැතිවරියගේ කනගාටුවට හේතු වී තිබේ’ යැයි මනෝ ගනේෂන් සඳහන් කර ඇත. මේ අතර තවත් අදහසක් ඉදිරිපත් වී තිබේ. ඇතැම් පිරිසක් සඳහන් කළේ ‘යාපනයෙන් එජාපයට පත් වෙන්නේ එක් මන්ත්‍රීවරයයි. මේ වගේ ප්‍රකාශයක් කරලා උතුරේ ජනතාවට යම් උත්තේජනයක් දුන්නත් මන්ත්‍රීවරු දෙන්නෙක් එජාපයට දිනාගන්න ලැබෙන්නේ නැහැ’ යැයි ඔවුහු කියති. තවත් දේශපාලනඥයන් පිරිසක් සඳහන් කරනුයේ වෙනස්ම අදහසකි.

‘විජයකලාට තියෙන්නේ ආණ්ඩුව සමඟ ප්‍රශ්නයක්. උතුරට අලුත් නියෝජ්‍ය ඇමති ධූරයක් ලැබුණා. යාපනයේ අංගජන් රාමනාදන්ට නියෝජ්‍ය ඇමැතිකමක් දුන්නට එතුමිය කැමැති නැහැ. අංගජන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. විජයකලා එජාපයේ. දෙමළ ඡන්ද කොහොමටත් මේ පක්ෂ දෙකට අඩුයි. දෙමළ පක්ෂවලට නොදෙන ඡන්ද ටික බෙදෙන්නේ මේ පක්ෂ දෙකටයි. විජයකලාට ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් යාපනයේ ජනතාවට වැඩක් කරන්න බැහැ. අංගජන් වැඩක් කරන්න පුළුවන් කෙනෙක්. විජයකලාට ඒ ගැනත් කේන්තියක් තියෙනවා.’ යැයිද එම පිරිස සඳහන් කරති.

ආණ්ඩුවෙන් ඉවත් වූ දහසයේ කණ්ඩායම ඉකුත් දා නිලවශයෙන් ඒකබද්ධ විපක්ෂයට එක්වුණේය. එම කණ්ඩායම මුලදී ඒකාබද්ධ විපක්ෂයට එකතුවීමට මැළිකමක් දැක්වීය. ඒ අනුව ඔවුන් රට වටේ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමටද කටයුතු කළ නමුත් එය සාර්ථක වූයේ නැත. අවසන් ප්‍රතිඵලය වුණේ දහසයේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට එකතුවීමය. 

ඒ අනුව ප්‍රථමවරට එම මන්ත්‍රීවරු පිරිස ඉකුත් සඳුදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද සහභාගී වූහ. කෙසේ වෙතත් මේ පිරිස සම්බන්ධකර ගැනීම සම්න්ධයෙන් ඒකාබද්ධයේ ඇතැම් පිරිස් එල්ල කරන විරෝධතා තවදුරටත් පවතින බවද පැවසේ. ලක්ෂ්මන් යාපා මන්ත්‍රීවරයා එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විශේෂ ඉල්ලීමක්ද කළේය. ‘තවදුරටත් අපට දහසයේ කණ්ඩායම කියන්න එපා. අපි දැන් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ’ යැයි ලක්ෂ්මන් යාපා කී කතාවට ඒකාබද්ධ මන්ත්‍රීවරුන් කිසිවක් කීවේ නැත. මේ අතර සඳුදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ජී.එල්. පීරිස් සහභාගී වූයේ නැත. ඔහු විදේශ සංචාරයකට ගොස් සිටියේය. ලක්ෂ්මන් යාපා, ජෝන් සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි ඇතුළු පිරිසක් එම රැස්වීමට ගියද දයාසිරි ජයසේකර ගොස් සිටියේ නැත. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ දයාසිරි ජයසේකර තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී වීමට සිතා සිටින බවකි ‘මම ශ්‍රීලනිපයේ ඉන්නවා.

පක්ෂ කාර්යාල හදලා ශක්තිමත් කරලා පක්ෂය ගොඩදාන්න අපට පුළුවන්’ යැයි දයාසිරි ජයසේකර මීට ඉහත දී ප්‍රකාශ කර තිබිණ. සඳුදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තවත් විශේෂ යමක් සිදුවූයේය. ඩිලාන් පෙරේරා සහ වෙල්ගම කරේ අත දාගෙන ගජමිතුරන් සේ රැස්වීම නිමවී එළියට ආවෝය. කුමාර වෙල්ගම හා ඩිලාන් පෙරේරා ඉකුත් කාලය පුරාම එකිනෙකාට ඇඟිල්ල දිගු කරගනිමින් දේශපාලන වශයෙන් මෙන්ම පෞද්ගලිකවද මඩ ගා ගත්හ. ඇතැම් විට කාන්තාවන්ගේ කතා සම්බන්ධකර ගන්නා තරමටම එම චෝදනා දුරදිග ගියේය. එවැනි තත්ත්වයක් තුළ හදිසියේ ඔවුන් දෙදෙනා ගජමිතුරන් වීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙන්ම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ටද පුදුමයක් වූවේය. 

‘අපි යාළුවෝ. දේශපාලනයේ හැටි එහෙම තමයි’ ඩිලාන් සාධාරණීකරණය කළේය. එහෙත් ඩිලාන්ගේ හා වෙල්ගමගේ හැසිරීම පිළිබඳව ඒකාබද්ධයේ ඇතැම් පිරිස් අප්‍රසාදය පළකර තිබිණ. ‘වෙල්ගමගේ හැසිරීම හොඳ මදියි. අපි ඒ ගැන වෙනම බලන්න ඕනේ’ යැයිද ඒකාබද්ධ මන්ත්‍රීවරු පිරිසක් පැවසූහ.

මේ අතර ඉකුත් අඟහරුවාදා කොළඹ ලිබර්ටි ප්ලාසා හි තවත් රැස්වීමක් කැඳවා තිබිණ. මහින්ද රාජපක්ෂ කණ්ඩායමට එල්ලවෙන චෝදනා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම එම රැස්වීමේ අරමුණ වී තිබිණ. මහින්ද රාජපක්ෂ පාලනයට මේ වනවිට එල්ලකරන ප්‍රධාන චෝදනා තුනක් එහිදී සාකච්ඡාවට බඳුන් විය. මිහින් ලංකා චෝදනාව සම්බන්ධයෙන් එහිදී මන්ත්‍රීවරුන් දැනුම්වත් කළේ මිහින් ලංකා ආයතනයේ හිටපු ප්‍රධානී නිශාන්ත රණතුංගය. වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රමට පැවරී තිබුණේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ චෝදනාව හා සම්බන්ධ කරුණු පැහැදිලි කිරීමය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේනට පැවරී තිබුණේ එම ගුවන් සේවයේ පාඩුව හා ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුවට එල්ලවන චෝදනාවලට පිළිතුරු දීමටය. එහිදී කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අසන්නට ද අවස්ථාක් ලැබී තිබිණ.

මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඒකාබද්ධය තුළ හා රාජපක්ෂ සහෝදරයන් අතර මත ගැටුමක් තිබෙන බවට විරුද්ධ දේශපාලනඥයෝ දිගින් දිගටම චෝදනා නගන්නට වූවෝය. බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ වෙන වෙනම දේශපාලන කටයුතුවල නිරතවීමෙන් ජනතාවටද බොහෝ අවස්ථාවල එම සැකය මතු වී තිබිණ, මේ අතර රාජපක්ෂවරුන්ට නැගෙන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙනවා වෙනුවට සහෝදරයන් හතර දෙනාම එකම තැනකට එක් කළ යුතු යැයි ඒකාබද්ධයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට යෝජනා කර තිබිණ, ඒ අනුව ඉකුත් බදාදා බත්තරමුල්ල නෙළුම් මාවතෙහි පැවැති උත්සවයට බැසිල් ගෝඨා මෙන්ම චමල් ද පැමිණ සිටියහ. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලයට ප්‍රථම වතාවට පැමිණියේ ඉකුත් බදාදා බවය. මීට පෙර ගෝඨාභය නෙළුම් මාවතට පැමිණ නැති බවද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සඳහන් කළහ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ නායකත්වය ලබා දෙන ‘එළිය’ සංවිධානය රටපුරා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. තවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ රටේ වත්මන් තත්ත්වය සහ රටේ අනාගතය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට බව පවසමින් ‘හරිමඟ’ නමැති තවත් දේශපාලන සංවිධානයක් රටපුරා සම්මන්ත්‍ර මාලාවක් සූදානම් කර තිබේ. එහි ප්‍රථම සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේද ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙනි. කොලොන්නාව රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී එම සම්මන්ත්‍රණය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. නාලක ගොඩහේවා, සීතා අරඹේපොල සහ මේජර් කමල් ගුණරත්න එහිදී දෙසුම් පැවැත්වීමටද නියමිතය. 

කෙරවලපිටිය ස්වභාවික වායු බලාගාර ටෙන්ඩරය සම්බන්ධයෙන් දේශපාලන කරළියේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් දෙපැත්තට ඇදීම හේතුවෙනි. කෙසේ වෙතත් ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ටෙන්ඩරය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබිණ. එහෙත් තමන්ට බලවත් අසාධාරණයක් වූ බව කියමින් ලක්ධනව් සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීම නිසා ප්‍රශ්නය දුරදිග ගියේය. ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති මංගල සමරවීර නැගිට කතා කරන්නට පටන් ගත්තේය. ඔහු දිගින් දිගටම තර්ක ගොඩනගන්නට  වූයේ කෙරවලපිටිය බලාගාර ටෙන්ඩරය චීන සමාගමට දිය යුතු බවය. එහෙත් එජාපයේම ඇමැති සාගල රත්නායක ඊට එකඟ වූයේ නැත. සාගල කීවේ ටෙන්ඩර් පරිපාටියට අනුව ඉහළට ඇවිත් සුදුසුකම් සපුරා තිබෙන ලක්දනවි සමාගමට ටෙන්ඩරය දිය යුතු බවය.

එම සමාගමට ටෙන්ඩරය ලබාදීමෙන් රටට ඉතාම වාසිදායක බවද සාගල කීවේය. ඇමැති රංජිත් සියඹලාපිටිය ද සුපුරුදු පරිදි ටෙන්ඩරය සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ඔහු කීවේ චීන සමාගමට ටෙන්ඩරය ලබා දිය යුතු බවය. කෙසේ වෙතත් බලාගාර ටෙන්ඩරයට කැබිනෙට්ටුවේදි ඇමැතිවරුන් එකිනෙකා විවිධ මත පළකරද්දී ප්‍රශ්නය දුරදිග යාමට පටන් ගත්තේය. බලාගාර ටෙන්ඩරය සම්බන්ධයෙන් අධ්‍යනයක් කර වාර්තාවක් ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ඇමැති පාඨලී චම්පික රණවක මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වූයේ නැත. ඔහු විදෙස්ගත වී ඇති හෙයින් පාඨලීට මෙවර ටෙන්ඩර් ගැටුමට මැදිවීමට අවස්ථාවක් ලැබුණේ නැත. කෙසේ වෙතත් ප්‍රශ්නය දුරදිග යන බවක් දුටු ජනාධිපතිවරයා වහා ක්‍රියාත්මක වූයේය. “මේ ටෙන්ඩරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිරීක්ෂණ ඉදිරිපත් කරලා තියෙනවා. මේ ගැන මට පැහැදිලි මදියි. කොහොම නමුත් දැන් නඩුවක් දාලා තියෙනවා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙනකන් අපි මේක පස්සට තියමු’ යැයි ජනාධිපතිවරයා කීවේය. ඇමැතිවරු ද ඊට එකඟ වූහ.

ඒ අනුව බලාගාර ටෙන්ඩරය සම්බන්ධ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ මස 11 වැනි දින ගැනීමට නියමිත අතර එතෙක් කැබිනට් මණ්ඩල තීරණය කල්යනු ඇත.

උතුරේ දේශපාලනයේ ප්‍රබල හා ආන්දෝලනාත්මක චරිතයක් වන මහ ඇමැති විග්නේෂ්වරන් අලුත් වැඩකට අත්පොත් තබා තිබේ. මහ ඇමැති විග්නේෂ්වරන් කල්තියාම කියමින් සිටියේ “මට දෙමළ ජාතික සන්ධානයෙන් නාමයෝජනා දුන්නොත් තරග කරනවා. ඒත් දෙනවට සැකයි. ඒ නිසා මට විකල්පයක් සොයාගන්න වෙනවා” යැයි කියාය. ඒ අනුව ඔහු අලුත් දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට කටයුතු ආරම්භ කර තිබේ. ඔහුගේ දේශපාලන පක්ෂයේ නම “ටැමිල් මක්කල් කුට්ටනි” ය. එහි කෙටි නම “ටී.එම්.කේ.” යන්නයි. උතුරේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඉන්දියාවේ “ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්” පක්ෂයේ කෙටි නම ඩී.එම්.කේ. වන නිසා ඊට සමානත්වයකින් යුත් නමක් සිය පක්ෂයට යෙදීමට විග්නේෂ්වරන් උනන්දු වී තිබෙන බවය. මේ අතර දෙමළ ජාතික සන්ධානය තීන්දු කර ඇත්තේ මීළඟ උතුරු පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති අපේක්ෂකත්වය විග්නේෂ්වරන්ට ලබා නොදීමටය. ඒ සම්බන්ධයෙන් ඉකුත් සතියේදී මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ද අදහස් දක්වා තිබිණ. “අපි විග්නේෂ්වරන් දැම්මා. ඒක අසාර්ථක ව්‍යාපෘතියක්.” යැයි සුමන්තිරන් කීවේය.

 විගණන පනත සම්මත කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව වෙතින් ආණ්ඩුවට චෝදනා පිට චෝදනා එල්ල වන්නට විය. කෙසේ වෙතත් ඊයේ එම පනත විවාදයට ගත් අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ සංශෝධන 16 ක් ඉදිරිපත් කරනු ලැබීය. “ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ තමයි මේ පනත සම්මත කරන්න තිබුණේ. හැබැයි දැන් කල්මරලා වැඩියි. ආණ්ඩුව මේක කැමැත්තෙන් ගෙනාවේ නැති බව අපි දන්නවා.” යැයි විජිත හේරත් කල් තියාම ප්‍රකාශ කර තිබිණ. ආණ්ඩුව විගණන පනතේ අඬු කඩලා තමයි ගේන්නේ. විගණකාධිපතිවරයාගේ බලතල අඩුකරලා. අධිභාර පැනවීමේ ප්‍රතිපාදන කප්පාදු කරලා. දඩ පැනවීම දුර්වල කරලා තියෙනවා. අපි මුලදී විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරලා විගණන පනතක් සකස් කළා. ඒක පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට දැම්මා. එහෙත් ආණ්ඩුව ඊට ඉඩ දුන්නේ නැහැ.” යැයි ද සුනිල් හඳුන්නෙත්ති කියන්නේය.

 



අදහස් (4)

විජයකලාගේ පුටුවට තට්ටුවෙයි

Mallika Saturday, 07 July 2018 06:18 AM

සිංහලයිනි, නැගිටියව්... අපගේ බුද්ධ ධර්මය රැකගන්න කටයුතු කළ යුතුයි. විජයකලාගේ පුටුව අහෝසි කළ යුතුයි.

:       304       420

මනෝජ් Saturday, 07 July 2018 01:52 PM

රටේ නීතියක් සාධාරණව ක්‍රියාත්මක වෙනවා නම් මෙවැනි ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ. උතුරේ අයට විතරක් නොවේ දකුණේ අපටත් සිතෙනවා ඒකාධිපතියෙක් හරි ඇවිල්ලා මේ රට ජරා දේශපාලකයින්ගෙනුයි, ජරා නිලධාරීන්ගෙනුයි බේරගන්නේ නැත්තේ ඇයි කියලා. සියළු සාමාන්‍ය ජනතාව ඉතාම අමාරු අඩියක ජීවත් වෙන්නේ. රැකියා දෙන්නේ සුදුසුකම් අනුව නොවේ. රජයේ ආයතනයකයට ගියාම පේනවා එයින් මිනිසුන්නට සලකන විදිය. දෙමළද? සිංහලද? මුස්ලිම්ද? නොවේ ප්‍රශ්ණේ. සාධාරණව රට පාලනය වේ නම් මෙවැනි ප්‍රකාශවලට මිනිස්සු මෙච්චර ඇවිස්සෙන්නේ නෑ. සියළු දේශපාලකයෝ නරක නෑ. ඔවුන්ට වරප්‍රසාද ලැබෙන නිසයි මෙච්චර ප්‍රශ්න. ඒ විතරක් නොවේ නිලධාරීන් ද තමන් කණ්ඩායම් වශයෙන් වරප්‍රසාද ලබා ගන්නා හැටි බලන්න. උදාහරණ ලෙස... වාහන පර්මිට්..

:       220       314

bandula Monday, 09 July 2018 11:34 AM

අහක යන මෝඩ කතාවක්.. ප්‍රසිද්ධ කරලා ඇය දැනටමත් වීරවරියක් කරලා අවසන්ය.

:       1       43

maheshika Tuesday, 10 July 2018 09:14 PM

මුළු රටේම තත්වය ඕක තමයි. දවස ගානේ මිනී මරණ හැටි දැක්කම, භීෂණ කලේ මතක් වෙනවා.

:       0       20

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 144 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 16 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 146 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 185 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 134 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 187 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site