ප්‍රකට කිවිඳියක හා ලේඛිකාවක වූ අභාවප්‍රාප්ත ජයන්තා රුක්මණි සිරිවර්ධන මහත්මියගේ අවසන් කටයුතු අද (05) පෙ.ව. 11.00ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.
කේ.එම්. පෙරේරා ගුරු මාතාවගේ ප්‍රියතම ගායිකාව හා නිළිය වූයේ අග්‍රගණ්‍ය කලාකාරියක වූ රුක්මණී දේවියයි. තම කුළුඳුලේ දියණියට ‘රුක්මණී’ නමක් එක් කිරීමට පෙරුම් පිරුවාය. එය අකුරටම ඉටුවිය. නමින් ජයන්තා රුක්මණී ගුරුදාස නම් වූවාය. ඇගේ පියා වූයේ විදුහල්පතිවරයකු වූ සමස්ත ලංකා ගුරු සංගමයේ ලේකම් ලෙස ප්‍රකට පී. ගුරුදාස මහතාය. දක්ෂ ගුරුවරයකුද වූ ඔහු වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම ගුරුතරුවක් විය. ‘‘ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි’’ යන අර්ථකථනය මේ විදුහල්පතිවරයාට මොනවට ගැළපුණි.
මේ ගුරුදාස යුවළගේ ඒ දියණිය සරසවි වරම් ලබා පාරිපාලන සේවා විභාගයෙන් සමත්ව කලා ක්ෂේත්‍රයේද කැපී පෙණුනාය. කිවිඳියක, කෙටිකතාකාරියක, ගීත රචිකාවියක, නවකතාකාරියක, ළමා කතා, ළමා පද්‍ය ලියූ ලේඛිකාවක ලෙස කලා, සාහිත්‍ය නිර්මාණ හා ශාස්ත්‍රීය කටයුතුවල යෙදෙන අතරතුර කලා විචාරිකාවකද වූවාය. මෙරට ඉහළම සම්මාන ජූරිය ඇය නියෝජනය කළාය.
මා සම්බන්ධීකරණය කළ සුමති සම්මාන උළෙල ජූරියේ සාමාජිකාවක් වූ ජයන්තා රුක්මණී අප හා කටයුතු කළේ ඉතා ප්‍රසන්න, අව්‍යාජ සිනාරැලලකින් නිතර මුව සරසාගෙනය. සිනාරැල්ලකින් තොර මුහුණකින් ඇය කිසිදා නොසිටියාය. ඇය නොපැමිණි දිනවල හෝ පමාවී එන විට ජූරිසභාවේ සාමාජික සාමාජිකයන් සිටියේ ක්‍රියාශ්‍රීලී බවෙන් තොරව බව මා අත්දුටු දෙයකි.
‘‘මොකද? අද ජයන්තා නැත්තේ? අපිට හරි පාළුයි’’ ජූරි සභිකයෙක් කියයි.
පසුදා ජූරි සභාවට එන ක්‍රියාශීලී ජයන්තාට කවටකම කියන්නේ ඔයා සාහිත්‍ය මණ්ඩලයේ හිටියනේද’’ කියාය.
‘‘ඒක නේන්නම්’’
‘‘ඒක නේන්නම්’’ යන වදන නිතර ඇය කියන වචනයකි.
නිතරම ‘‘කාන්තා නියෝජනයක් නැති තැන ඇය අභීතව ඒ වෙනුවෙන් පෙනී සිටියාය. ඒ ඇගේ හැටිය. අතිශය සංවේදී චරිතයක් වූ ඇය විටෙක කඳුළු බිඳු අතරින් සිනාසෙමින් ජූරි සභාව හා තර්ක විතර්ක කළ අයුරු මම දැක ඇත්තෙමි. ඒ හැම අවස්ථාවක දීම ‘‘බොරු තරහක්’’ පෙන්නා ජූරියේ සමූහික තීරණයට ගරු කළාය.
‘‘ඒක නේන්නම් කියා ඇය සිත සනසා ගන්නීය.
ජයන්තා කිසිදා හීන් සීරුවේ වාසියට පමණක් නතුවී කිසිවකුගේ බෙල්ල කපා නැත. දැනුම ඇති තරුණ පරපුරට තම එකම දියණියට මෙන්ම සම මෙත් දැක් වූවාය. අනුන්ගේ දියුණුවට අත හිත දුන්නාය. එයින් සතුටට පත්වූවාය. ජයන්තාගේ දියණිය මව මෙන්ම මානව හිතවාදී, නිහතමානී ගුණගරුක යුවතියක් වූවාය. ඇගේ සැමියා වූ සිරිවර්ධනද කීර්තිමත් පරිපාලන නිලධාරියකුව සිටියේය.
වරක් ජයන්තා රුක්මණී ඇය නිර්මාණකාරිය සඳහා යොමු වූ අයුරු අපට විස්තර කළාය.
මගේ ලිවීමේ ආරම්භය මවුපිය සෙවණෙන් සිදු වූවක්. මගේ පියා විදුහල්පතිවරයෙක්. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් හැටියටත් කටයුතු කළා. මගේ අම්මා ගුරුවරියක්. තාත්තා කුමාරතුංග මුනිදාස මහතාගේ හිතවතෙක්. හෙළ හවුලට මුල් කාලයේ පටන් සම්බන්ධවෙලා කටයුතු කර තියෙනවා. තාත්තා ‘‘සුබස’’ සඟරාවට ලිව්ව කවි, ලිපි, නිර්මාණ තාමත් සුරැකිව තියෙනවා. තාත්තයි, අම්මයි හඳුනාගෙන තියෙන්නෙත් කවි වලින්. තාත්තා මට වඩා භාෂා නිපුණත්වයෙන් හුඟක් ඉදිරියෙන් හිටියේ. විරිත්, ගණ පිහිටුවීම, නක්ෂත්‍රය ආදිය ගැනත් තාත්තාට දැනුම තිබුණා. චිත්‍රකලාවටත් තාත්තා දක්ෂයි. අම්මාට ලස්සනට කවි ගායනා කරන්න හැකියාවක් තිබුණා. තාත්තා අපිව පුංචි කාලේ හැම වේදිකා නාට්‍යයක්ම, මුද්‍රා නාට්‍යයක්ම, හැම හොඳ චිත්‍රපටයක්ම බලන්න එක්ක යනවා. බදාදා ‘දිනමිණ’ පත්‍රයේ පළවන ජයවිලාල් විලේගොඩගේ විවේචන බලලා තමයි බොහෝ විට චිත්‍රපට බලන්න එක්ක ගියේ. හැම පාසල් නිවාඩු කාලයකම දුම්රිය බලපත්‍රවලින් අපිව ඈත ගමනක් එක්ක යනවා. තාත්තා හරියට පොත් කියෙව්වා. ගුරු සංගම්වල, සමාජ වැඩ කළා. තාත්තට හොඳ පුස්තකාලයක් තිබුණා. ඒ වගේ පරිසරයක හැදුණු කෙනෙක් විදිහට මම නිර්මාණ කාර්යයට යොමු වීමේ මුල්ම ගෞරවය දෙමව්පියන්ට හිමි විය යුතුයි. මගේ නිර්මාණවලට මගේ සැමියා සී.ජී. සිරිවර්ධන (හිටපු ලේකම්, ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය) හා දියණිය ඕෂදි සිරිවර්ධනත්, මධුර බෑණනුවන්ද හුඟාක් සහාය දුන්නා.
ඇය 1949 මැයි 07 වැනිදා ඉඳුරුවේ කයිකාවල උපත ලැබූවාය. බෙන්තොට ගාමිණී මහා විද්‍යාලයෙන් ඉගෙන කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ශ්‍රී ලංකා පරිපාලන සේවයට බැඳුණු ජයන්තා රුක්මණී. 2009 විශ්‍රාම ලබන්නේ වෙළෙඳ අලෙවි සංවර්ධන සමුපකාර හා පාරිභෝගික සේවා අමාත්‍යංශයේ අතිරේක ලේකම් හැටියට සේවයේ සිටියදීය.
‘‘හරස්කඩ’’ ‘‘අවසන් හෝරාව’’ ‘‘බඹර සුසුම’’ කැලණි ගඟ හඬයි’’ ඇය ලියූ කාව්‍ය සංග්‍රහයන්ය. ‘‘මාරියාව’’ හා ‘‘සහතික කළ බිරිඳ’’ නවකතාය. ‘‘කුරුල්ලෝ ඇවිල්ලා’’ ‘‘ළමා පද්‍ය කෘතියත්, ‘‘තිළිණිගේ යාළුවෝ’’ ‘‘ගංගාගේ කතාව’’ ඇය ලියූ ළමා කතාය. ගීත රචිකාවක ලෙස ඇය ලියූ ‘‘පිනිබිඳුවක නැවතීගෙන පණ්ඩිත් අමරදේවයන්ද ‘‘රැළි ද නැගේ හෝ ගා මුහුදේ’’ ගීතය නන්දා මාලිනියද ගැයූහ. ළමා සංවර්ධන හා වනිතාකටයුතු අමාත්‍යාංශයේදී ‘‘කාන්තාව මාධ්‍ය පිළිබිඹුව යථාර්ථය’’ සඟරාවේ සංස්කාරකවරිය ඇයයි. ඇය ‘‘සිතක සිතුම්’’, “ගුරුලිය” නමින් තීරු ලිපි විශේෂාංගයක් ලිව්වාය. ජනාධිපති, සුමති, සරසවි, ස්වර්ණ සංඛ OCIC, රයිගම්, රාජ්‍යටෙලි සම්මානවල ජූරි සාමාජිකාව ලෙස ඇය කටයුතු කළාය.
ඇයගේ කලා කුසලතා වර්ධනය වී ඇත්තේ වයස අවුරුදු හතේ දී දෙමාපියන් සමඟ චිත්‍රපට බැලීමෙන් පසුව බව කියා ඇත.
එතකොට අපි පදිංචිව හිටියේ අලුත්ගම, මාලේවන ගුරු නිවාසයේ. ගුරු නිවසට යාබදව තිබුණේ අලුත්ගම පොලිස් ස්ථානය. එහි එන හැම පොලිස් ස්ථානාධිපතිවරයෙක්ම විදුහල්පතිවරයෙකු වූ තාත්තාගෙ යාළුවෝ. චිත්‍රපට හා නාට්‍ය බැලීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලැබෙන අවසර පත්‍ර අපට ලැබීම නිසා හැම චිත්‍රපටයක්ම අපිට අලුත්ගම ලිච්චවි සිනමාහලේ බලන්න ලැබෙනවා. මම චිත්‍රපට රසිකාවියක වුණේ මේ පරිසරය මැද.
ජයන්තා රුක්මණී අපට වරෙක මිතුරියකද, සොහොයුරියකද වූවාය. එතරම් අප හදවත ළං වූ දුක සැප විමසා, අනුන්ගේ දියුණුවේදී හෘදයාගමව සතුටු වූ ලේඛිකාවක, සොහොයුරියක අපට හමුවේවිද? කෙනෙකුට කරදරයක් වූ විට ඇයගේ මුවින් නිතර කියන ‘‘ඒක නේන්නම්’’ කියා තැවෙන මිනිස් දුවක් යළි හමුවේවිද?
මිතුරිය, සොහොයුරිය, කලාකාරිනිය, ඔබට සුබ ගමන්
(*** ඒ.ඩී. රන්ජිත් කුමාර)
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහසට පසු යුගය තුළ ශ්රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විටෙක මිතුරියකි: වරෙක සොහොයුරියකි