IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


විත්තිකරුවන්ගෙන් මාපිල්ලේට තර්ජන

සිරාජ් හසීම්

ශිවයෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කළ ස්ථානයට මෙම  නඩුවේ රජයේ සාක්කිකරුවකු වන නඩරාජා පුවනේස්වරන් හෙවත් මාපිල්ලේ නැමැත්තා    ගොස් ඇත්තේ සිද්ධිය ගැන නොදැන බව විමර්ශනවලින් අනාවරණය වී යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහතා පැවසීය.

නිෂාන්ත සිල්වා මහතා එසේ පැවසුවේ යාපනය පුංකුඩුතිව්හි පදිංචිව සිටි ශිවයෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේදී පෙරේදා (02) දෙවැනි දිනටත් සාක්කි ලබා දෙමිනි.

එම ස්ථානයට නොදැනුවත්ව ගිය මාපිල්ලේගේ දුරකතනය විසන්ධි කරන ලෙස විත්තිකරුවන් තර්ජනය කර ඇතැයි ද, විත්තිකරුවන්ගේ තර්ජනය නිසා ඔහු දුරකතනය විසන්ධි කර ඇතැයි ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

   මෙම සිද්ධියේ වගකීම නාවික හමුදාව පිට පැටවීමට සැකකරුවන් උත්සාහ දරා ඇතැයි මතුවූ  සැකයන් නිසා රඳවා ගැනීමේ නියෝග මත ඔවුන්ගෙන් ප්‍රශ්න කළ බවත්,  මෙම සිද්ධියෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට කැළලක් ඇති කිරීමට සැකකරුවන් උත්සාහ දරා ඇත්දැයි සොයා බැලූ බවත් හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් පරීක්ෂකවරයා කීවේය.

2015 මැයි මස 13 වැනි දා ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය පැහැරගෙන ගොස් අපයෝජනයට  කර මරා දැමීම සම්බන්ධ නඩු විභාගය මහාධිකරණ විනිසුරුවරුන් වන බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, අන්නාලිංගම් ප්‍රේමශංකර් සහ මානික්කවාසගර් ඉලංචේලියන් යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාගයට ගන්නා ලදී. වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතා   විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ය.

විද්‍යා දැරිය පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම, පැහැරගැනීම, අපයෝජනය කිරීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටින බූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්,බූබාලසිංගම් ජෙයක්කුමාර්,බූබාලසිංගම් තවක්කුමාර්,මහාලිංගම් ශෂිතරන්,තිල්ලේනාදන් චන්ද්‍රහාසන්,සිවදේවන් දුෂාන්ත්(පෙරියම්බි),පලනි රූපසිංහම් ගුහදාසන්,ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිකුමාර් (ස්විස් කුමාර්) යන විත්තිකරුවෝ නව දෙනා බන්ධනාගාරය විසින් අධිකරණයට   ඉදිරිපත් කරනු ලැබූහ.

පසුගිය 25 වැනි දා පැවති නඩු විභාගයේදී සිද්ධියේ  ප්‍රධාන විමර්ශන නිලධාරී වන රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා සාක්කි ලබා දුන් අතර ඔහුගේ වැඩිදුර සාක්කි විභාගය පෙරේදා (02) පැවැත්විණි.

නීතිපති දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්  කුමාර් රත්නම් මහතාගේ මෙහෙයවීම මත නිශාන්ත සිල්වා මහතා සාක්කි දෙමින් මෙසේද පැවසීය.

‘‘මේ නඩුවේ හයවැනි විත්තිකරු වන සිවදේවන් දුෂාන්තන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ප්‍රශ්න කළා. ඔහුගේ නිවස පිටුපස වහලයේ  ෂොපින් බෑගයක සිසුවියගේ ඇස් කණ්නාඩිය දමා එය තවත් ෂොපින් මල්ලක ඔතා එය කලිසමකින් ආවරණය කර තිබෙන බව  ඔහු ප්‍රකාශ කළා. එය   පෙන්විය හැකි බවත් දුෂාන්න් කිව්වා. ඔහුගේ පාපොච්ඡාරණය අනුව අපි ඔහුගේ නිවසට ගිහින් විද්‍යා සිසුවියගේ ඇස් කන්ණාඩිය සොයා ගත්තා.

2015 මැයි මස 26, 27 සහ 28 දිනවල අපි සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්න වව්නියාව බන්ධනාගාරයට ගියා. එහිදී වෙනත් නඩුවක සැකකරුවකු වන මෙහොමඩ් ඉෆ්රාන් නැමැත්තා  මට හමුවුණා. ඔහු මුදල් වංචාවක් පිළිබද නඩුවක සැකකරුවෙක්. ඔහුට පරිගණගණක දැනුමක් ඇති බව මා පෙරාතුවම දැන සිටියා. මන්ද ඔහුගේ නඩුව විමර්ශනය කළ නිලධාරියාත් මමයි.

දවසක් ඔහු ගැන විමර්ශන සිදුකරන්නට ගිය අවස්ථාවේදී මගෙයි මා සමඟ ගිය පොලිස් සැරයන්ගේ සහ කොස්තාපල්වරයාගේ  ජංගම දුරකතන  මේසය මත තිබ්බා.  ඉෆ්රාන් නැමැත්තා ලැප්ටොප් පරිගණකයක් ආශ්‍රයෙන් සාජන්ගේ දුරකතන අංකයෙන්   අනික් කොස්තාපල්ගේ දුරකතනයට පණිවුඩයක් යැව්වා. ඒ ගැන විමසීමේදී එසේ කිරීමට තමන් සතුව මෘදුකාංගයක් ඇති බව කියා සිටියා. මේ අනුවයි   ඉෆ්රාන් නැමැත්තාට පරිපූර්ණ පරිගණක  දැනුමක් ඇති බව මම තේරුම් ගත්තේ.

පසුදිනක ඉෆ්රාන් නැමැත්තා  වව්නියාව බන්ධනාගාරයේදී දැක්කා. ඒ අවස්ථාවේදී ජංගම දුරකතනයකින් මකා දැමූ  (ඩිලීට් කළ) විඩියෝවක් නැවත ගත හැකිදැයි ඔහුගෙන් විමසුවා. එහිදී ඔහු ‘ඔව්‘ යැයි පිළිතුරු දුන්නා. පසුදිනක ඔහු  අළුත්කඩේ උසාවියට ඉදිරිපත් කර තිබුණා. අප දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු මාර්ගයෙන් ඔහු  හමුවීමට අවශ්‍ය යැයි දන්වමින් පණිවුඩයක් එව්වා. ඒ අනුව මා ඔහුව හමුවුණා.

එදා වව්නියාව බන්ධනාගාරයේදී  මා හමුවූ පසු විද්‍යා නඩුවේ නව වැනි සැකකරු වන මහාලිංගම් ශෂීකුමාර් හෙවත් ස්විස් කුමාර් නැමැත්තා තමන් සමග කතා කළ බවත් විද්‍යා සිසුවිය අපයෝජනය කර මරා දැමූ වීඩියෝව ජංගම දුරකතනයෙන් මකා දැමූ බවත් එම වීඩියෝව නැවත ගත හැකිදැයි ස්විස්කුමාර් තමාගෙන් විමසූ බවත් ඉෆ්රාන් නැමැත්තා   මා සමඟ කිව්වා.

එමෙන්ම ඔහු හා ඔහුගේ සොහොයුරු මහාලිංගම් ශෂිදරන්  රජයේ සාක්කිකරුවන් වශයෙන් නම් කිරිමට පියවර ගන්නේ නම් නිශාන්ත සිල්වා වන මට රුපියල් කෝටි දෙකක් ලබාදිමට   සූදානම් යැයි  ස්විස්කුමාර් තමන් හා පැවසූ බව ඉෆ්රාන් ප්‍රකාශ කළා.

ඒ අනුව 2016 අගෝස්තු 24 වැනි දා  කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරය ඇතිව මේ සම්බන්ධයෙන් ඉෆ්රාන් නැමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා.

මේ අපරාධය වුණු ස්ථානය වැඩි වශයෙන් ජනයා නොගැවසෙන තැනක් වුවත් එම ස්ථානය තරමක් දුරට පුද්ගලයින් ගැවසෙන ස්ථානයක් බව අප තොරතුරුකරුවන් මාර්ගයෙන් අවබෝධ කරගත්තා. අපි ඒ ගැන විමර්ශනත් සිදුකළා. සැකකරුවන්ගේ ජංගම දුරකතනද විමර්ශනය  කළා.

අපරාධය සිදුවූ 2015 මැයි  13 වැනි දා සිට පසුදා  14 වැනි දා   මධ්‍යාහ්නය තෙක් අපරාධය සිදුවූ ස්ථානය ආසන්නයේ පිහිටි සන්නිවේදන කුලුනු  හරහා  ගනු ලැබූ දුරකතන ඇමතුම්  සහ පැමිණි ඇමතුම් අනුව දුරකතන ජාල සමාගම් හතරක තොරතුරු  පරීක්ෂාවට ලක්කළා. එම තොරතුරුවලට අනුව 10 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කළා. ඒ අනුව ඉකුත් 2016 වසරේ පෙබරවාරි 25, 26 දිනවල විමර්ශන සදහා ඔවුන්  කයිට්ස් පොලිසියට  කැඳෙව්වා.

එසේ කැඳවූ නඩරාජා පුවනේස්වරන් හෙවත් මාපිල්ලේ නැමැත්තා පිළිබද පැවති සැකය මත ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකළා. මාපිල්ලේ නැමැත්තාට පස් වැනි විත්තිකරු වන තිල්ලේනාදන් චන්ද්‍රහාසන්ගේ සහ හය වැනි විත්තිකරු වන සිවදේවන් දුෂාන්ත්ගේ ජංගම දුරකතන වලින් අපරාධයට පෙර දිනයේ (12) සිට අපරාධය සිදුවූ දිනය (13) තෙක් ඇමතුම් ලැබී තිබෙනවා.

ඒ ගැන මාපිල්ලේ නැමැත්තාගෙන් ප්‍රශ්න කළ විටදී කියා සිටියේ ඔවුන් රා මිළදී ගැනීම සඳහා තමන්ට කතාකළා කියලයි. අපරාධයට පෙර දිනයේ දහවල් 12.25 ටත් එදිනම රාත්‍රී 09.56 ටත් මොවුන් දෙදෙනාගේ අංකවලින් මාපිල්ලේ නැමැත්තාට ඇමතුම් ලැබී තිබෙනවා. අපරාධය සිදුවූ 13 වැනි දා පස්වරු 03.50 න් පසු මාපිල්ලේ ට කිසිම ඇමතුමක් ලැබී නැහැ. මේ ගැන ඔහුගෙන් විමසූ විට කියා සිටියේ 13 වැනි දා තමන්ගේ දුරකතනය ක්‍රියා විරහිත කරගන්නැයි චන්ද්‍රහාසන් විසින් කරන ලද දැනුම් දීමට අනුව තමන් දුරකතනය ක්‍රියා විරහිත කරගත් බවයි.

මේ අපරාධයට නඩරාජා පුවනේස්වරන් හෙවත් මාපිල්ලේ නැමැත්තා සම්බන්ධ යැයි අප අවබෝධ කරගත්තේ ඒ අනුවයි. මේ අපරාධය සම්බන්ධයෙන් තමන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කටඋත්තරයක් ලබාදීමට කැමති බව මාපිල්ලේ  නැමැත්තා අප සමගින් සඳහන් කළා.

ඔහුගේ ප්‍රකාශයට අනුව මේ නඩුවේ දෙවැනි විත්තිකරු වන බූබාලසිංහම් ජයකුමාර් , තෙවැනි විත්තිකරු වන බූබාලසිංහම් තවක්කුමාර්, පස්වන විත්තිකරු වන තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, හයවැනි විත්තිකරු වන සිවදේවන් දුෂාන්ත් සහ උදයසූරියන් සුරේෂ්කරන් යන අය අපරාධය සිදුවූ දින විද්‍යා සිසුවිය පාසල් එන මාර්ගයේ  ආලඩි මංසන්දිය ළඟ උදේ හතේ සිට මගරැක සිටි බවත් ඔවුන් මොකද්ද ආදර කතාවක් කතාකරමින්  සිටි බවත් ඔවුන් විසින් සිසුවිය පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කළ බවත් පාපොච්ඡාරණය කළා.

ඔහු (මාපිල්ලේ) බලාපොරොත්තු නොවූ ලෙස එම ස්ථානයට ගොස් ඇතැයි අපටද අවබෝධ වූ නිසා ඔහු  අත්අඩංගුවට ගත්තේ නැහැ. ඔහුගේ ඉල්ලීම මත කයිට්ස් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සාක්කි ලබාදීමට ඉඩකඩ සලස්සා දුන්නා. එමෙන්ම මේ අපරාධයට උදයසූරියන් සුරේෂ්කරන් නැමැත්තාගේ සම්බන්ධයක් ඇති බව අප අවබෝධ කරගත්තා. ඒ අනුව අපි සුරේෂ්කරන්ව අරියාලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගත් සුරේෂ්කරන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව සිසුවියගේ මළසිරුර හමුවූ ස්ථානයේදී ඇයව අපයෝජනය කර නැති බවත් සිරුර හමුවූ ස්ථානයට මිටර් 200ක් පමණ ඈතින් පිහිටි අත්හැරගිය පාළු නිවසකදී ඇයව අපයෝජනය කර ඇති බවත් තහවුරු කරගත්තා. සුරේෂ්කරන් නැමත්තා පාපොච්ඡාරණය පරිදි සිසුවිය අපයෝජනයට ලක්කර ඇති පාළු නිවසට ගොස් පරීක්ෂණ සිදුකළා. එහෙත් අපට නඩු භාණ්ඩ  සොයාගත නොහැකි වුණා.

එමෙන්ම මෙම අපරාධයට සම්බන්ධ යැයි කයිට්ස් පොලිසිය විසින් ජෙයවර්ධන රාජ්කුමාර් නැමත්තෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව ජෙයවර්ධන රාජ්කුමාර් 10වැනි සැකකරු ලෙසත් උදයසූරියන් සුරේෂ්කරන් 11 වැනි සැකකරු ලෙසත් ධර්මලිංගම් රවීන්ද්‍රන් 12 වැනි සැකකරු වශයෙනුත් අත්අඩංගුවට ගත්තා.

සිසුවිය අපයෝජනයට ලක්කරන දර්ශන පටිගත කළේ යැයි තහවුරු කර ගැනීම සඳහා හයවැනි සැකකරු වූ සිවදේවන් දුෂාන්ත්ගේ ටැබ් යන්ත්‍රණය සහ ලැප්ටොප් පරිගණකය අප බාරයට ගත්තා. අධිකරණ අවසරය සහිතව ඒවා පරීක්ෂා කිරීම සඳහා මොරටුව විශ්ව විද්‍යායට සහ සර්ට් ආයතනය වෙත යැව්වා.  

  අපරාධය සිදුවූ වකවානුවේ නඩුවේ 4 වැනි විත්තිකරු වන මහාලිංගම් ශෂිදරන්, 7 වැනි විත්තිකරු වන පලනි රූපසිංහම් කුගදාසන්, 8 වැනි විත්තිකරු වන ජෙයතරන් කෝකිලන් සහ 9 වැනි විත්තිකරු වන මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස්කුමාර් යන අය කොළඹ වැල්ලවත්තේ පෞද්ගලික හෝටලයක රැඳී සිටි බව අපගේ විමර්ශන වලින් තහවුරු කරගත්තා. ඔවුන් රැඳී සිටි හෝටලයේ හිමිකරුගෙන් ද අප ප්‍රකාශ සටහන් කර ගත්තා.

සිසුවිය ඝාතනය  සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වසර එකහමාරක කාලයක් විමර්ශන සිදුකළා. විමර්ශන අවසන් කර එහි වාර්තා නීතිපති දෙපාර්තුමේන්තුව වෙත බාර දුන්නා. ඒ අනුව නීතිපති දෙපාර්තුමේන්තුව විසින් මෙහි 10 සහ 12 වන සැකකරුවන් මෙම නඩුවෙන් නිදහස් කළා. 11 වැනි සැකකරු වන උදයසූරියන් සුරේෂ්කරන් නැමැත්තා  රජයේ සාක්කිකරුවෙකු ලෙසට නම් කළා.‘  

විත්තියේ නීතිඥ මහින්ද ජයවර්ධන - මේ නඩුවේ විත්තිකරුවන් කිහිපදෙනෙක් අපරාධය සිදුවූ ස්ථානයේ නොසිටි බව කිව්වා. ඔවුන් කවුරුන්ද ?

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා - ඔව්. 4 වැනි විත්තිකරු වන මහාලිංගම් ශෂිදරන්, 7 වැනි විත්තිකරු වන පලනි රූපසිංහම්, 8 වැනි විත්තිකරු වන ජෙයතරන් කෝකිලන්, 9 වැනි විත්තිකරු වන ස්විස්කුමාර් කොළඹ වැල්ලවත්තේ සිටි බවට තොරතුරු ලබුණා. ඔවුන් එහි සිටි බව   සීසීටීවී කැමරා දර්ශන ආශ්‍රයෙන් උප පොලිස් පරීක්ෂක සම්පත් තහවුරු කරගත්තා.

නීතිඥ මහින්ද ජයවර්ධන -  අපරාධය සිදුවූ දින 9 වැනි විත්තිකරු වන ස්විස්කුමාර් කැසිනෝ ක්ලබ් එකක සිටිය ද ?

නිශාන්ත සිල්වා  -  ඔව්. එහි සිටි බව තහවුරු වන සීසීටීවී කැමරා දර්ශන උප පොලිස් පරීක්ෂක සම්පත් නිරීක්ෂණය කර තහවුරු කළා.

නීතිඥ මහින්ද ජයවර්ධන - විත්තිකරුවන් අපරාධය සිදුවූ දිනවල යාපනයේ සිට කොළඹට ගුවනින් ගමන්කළ බවට විමර්ශන කළාද ?

නිශාන්ත සිල්වා - නැහැ.

නීතිඥ මහින්ද ජයවර්ධන - හය වැනි විත්තිකරුගෙන් අට වතාවක් ප්‍රකාශ සටහන් කර තිබෙනවාද ?

නිශාන්ත සිල්වා  - ඔව්.

නීතිඥ මහින්ද ජයවර්ධන  - ඔහුගෙන් අටවන වරට ගත් ප්‍රකාශය තුළින් කණ්නාඩිය ගැන පාපොච්ඡාරණය කරගත්ත කියුවොත් හරිද ?

නිශාන්ත සිල්වා -  හරි.

ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමේදී බලහත්කාරකම් සහ තර්ජනයන් සිදුකර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවට තමන්  අටවැනි විත්තිකරු වෙනුවෙන් ප්‍රකාශ කර සිටින බව විත්තියේ නීතිඥ මහින්ද ජයවර්ධන මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සඳහන් කළේය.

තමන් එම චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව   පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා කීවේය.

නීතිඥ මහින්ද ජයවර්ධන - ඉලංක්ස්වරන්ගේ කට උත්තරයෙන් අපරාධය සිදුවූ දිනට පෙර දිනයේ එනම් (12) වැනි දා මෙහි විත්තිකරුවන් නව දෙනාට අමතරව යාපනයේ ඉන්න දෙදෙනෙකු සිටි බව කීම සත්‍යද ?

නිශාන්ත සිල්වා -    ඔව්.

නීතිඥ මහින්ද ජයවර්ධන -  ඔවුන් කවුරුන්ද ?

නිශාන්ත සිල්වා  - අපගේ විමර්ශනවලින් ඔවුන් කවුරුන්දැයි හදුනාගත නොහැකි වුණා.

නීතිඥ මහින්ද ජයවර්ධන - මාපිල්ලේ නැමැත්තාව අත්අඩංගුවට නොගත්තේ ඇයි ?

නිශාන්ත සිල්වා - ඔහු මේ අපරාධය සිදුවුණ තැනට අහම්බෙන් ගොස් ඇති බව විමර්ශනවලින් තහවුරු වුණා. එනිසා අත්අඩංගුවට ගත්තේ නැහැ.

නීතිඥ මහින්ද ජයවර්ධන - මේ අපරාධයට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට නොගෙන මුදාහැරීමේ බලයක් ඔබට නැහැ. තමන් පෙරාතුවම හැදූ ප්‍රකාශයම අධිකරණයේදී ප්‍රකාශ කරන්නැයි කියා ඔහු  අත්අඩංගුවට නොගෙන මුදාහැර තිබෙනවා. මෙය මා විත්තිය පාර්ශ්වයෙන් යෝජනා කරනවා.

නිශාන්ත සිල්වා - ප්‍රතික්ෂේප කරනවා

නීතිඥ මහින්ද ජයවර්ධන -  ප්‍රථම වරට විමර්ශනය කිරීමේදී සුරේෂ්කරන් ප්‍රකාශයක් ලබාදුන්නද?

නිශාන්ත සිල්වා -  නැහැ.

නීතිඥ මහින්ද ජයවර්ධන -  කුමන අවස්ථාවේදීද ප්‍රකාශ දුන්නෙ ?

නිශාන්ත  සිල්වා -  දෙවැනි වරට විමර්ශනය කළ අවස්ථාවේදී.

නීතිඥ මහින්ද ජයවර්ධන - සුරේෂ්කරන් රජයේ සාක්කිකරුවෙකු ලෙස මාරු කළේ තමුන් නේද ?

නිශාන්ත සිල්වා - නැහැ. එලෙස කිරීමේ බලයක් මට නැහැ.

නීතිඥ මහින්ද ජයවර්ධන - සැකකරුවන්ගෙන් ගත් භාණ්ඩ මොනවාදැයි කියන්න පුළුවන්ද ?

නිශාන්ත සිල්වා - ඔව්.සැකකරුවන්ගෙන් ගත් ප්‍රකාශවලට අනුව පස් වැනි සැකකරු තිල්ලේනාදන් චන්ද්‍රහාසන්ගේ සොහොයුරිය සහ මව වෙසෙන වව්නියාවේ නිවසක තිබී කළු අයි ෆෝන් එකක්, හය වැනි සැකකරු වන දුෂාන්ත් ගේ නිවසේ තිබී   ජංගම දුරකතනයක්,   ටැබ් එකක් සහ ලැප්ටොප් එකක්,  කොළඹ මෝදර ප්‍රදේශයේදී නව වැනි සැකකරුගේ බිරිය සන්තකයේ තිබූ ජංගම දුරකතනයත් සොයාගත්තා.

නීතිඥ මහින්ද ජයවර්ධන - ඒවට මොකද කළේ ?

නිශාන්ත සිල්වා - කයිට්ස් මහේස්ත්‍රාත්වරයාට බාර දී ඔහුගේ නියෝගය මත මොරටුව විශ්ව විද්‍යාලයට සහ සර්ට් ආයතනයට බාරදුන්නා.

වැඩිදුර සාක්කි විභාගය ඊයේ (03) දිනට නියමිතව තිබිණි.

  1,2,3,6,8 වන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ මහින්ද ජයවර්ධන, එම්.එන්.නිශාන්තන් යන මහත්වරු සහ 05වැනි විත්තිකරු වෙනුවෙන් ආරුමුගම් රගුපති මහතාත්, 4,7,9 වැනි විත්තිකරුවන් වෙනුවෙන් සින්නරාසා කේදීස්වරන් මහතාත් විත්තිකරුවන් නව දෙනා වෙනුවෙන් රජයේ වියදමින් පත්කළ රජයේ නීතිඥ විග්නරාජා ජයන්තා මහතාත් පෙනී සිටියහ.

මෙම අපරාධය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය මුලින් විමර්ශන සිදු කළේය. ඉන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සේනාරත්න, එහි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් නාගහමුල්ල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරී බී.එස්.තිසේරා මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරීහු විමර්ශන සිදු කළහ.


උසාවියේ සිනා රැල්ලක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහතාගේ සාක්කිය පෙරේදා (02) දෙවැනි දිනටත් යාපනය මහාධිකරණයේදී ලබා දුන් අතර එය පැය අටක පමණ කාලයක් සිදු කෙරිණි.

පෙරවරු 9.00ට පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා යාපනය මහාධිකරණයේ සාක්කි කූඩුවට නැඟ සාක්කි ලබා දීම ආරම්භ කළ අතර ඔහුගේ සාක්කිය අවසන් වන විට පස්වරු 5.30ට ආසන්න වී තිබිණි.

ඝාතනයේ 11 වැනි සැකකරු වශයෙන් අත්අඩංගුවට ගත් උදයසූරියන් සුරේෂ්කරන් නැමැත්තා  නඩුවෙන් මුදා හරින්නේ යැයි පොරොන්දු වී තමන් විසින් සකස් කළ ප්‍රකාශයක් පාපොච්චාරණයක් ලෙස ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු  සාක්කිකරුවෙකු ලෙස මාරු කර ඇතැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි  නීතිඥ මහින්ද ජයවර්ධන මහතා පෙරේදා (02) අධිකරණයේදී යෝජනා කළේය. පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා  නඩුවේ සාක්කි නිර්මාණය කර ඇතැයි ද නීතිඥවරයා යෝජනා කළේය.

එය ප්‍රතික්ෂේප කළ නිෂාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළේ තමන්ට එතරම් නිර්මාණාත්මක හැකියාවන් තිබුණේ නම් පොලිස් රස්සාවේ නොසිට නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස හෝ එවැනි වෙනත් රැකියාවක් තෝරා ගන්නා බවයි.

පොලිස් පරීක්ෂකවරයාගේ එම ප්‍රකාශයත් සමඟ    අධිකරණයේ රැදී සිටි බොහෝ දෙනකුට සිනා ගිය අතර නීතිඥවරුන් සහ විනිසුරුවරුන්ට ද සිනා නැඟෙනු පෙනිනි. 



අදහස් (0)

විත්තිකරුවන්ගෙන් මාපිල්ලේට තර්ජන

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 471 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 42 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 162 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 197 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 143 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 204 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site