රනිල් වික්‍රමසිංහ මහතා මැයි මස 12 වැනිදා අගමැති ලෙස දිවුරුම් දීමත් සමග ආර්ථික අර්බුදය නිසාත් මහජන උද්ඝෝෂණ නිසාත් විශාල පීඩනයකට ලක් වී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම පීඩනයෙන් බොහෝ දුරට මිදී ඇති බව පෙනේ.
ඉතිහාසයේ පෙර කිසිදා නොවූ අයුරින් විශාල වශයෙන් බඩු මිල ඉහළ යාමත්, ගෑස් හා ඉන්ධන හිඟය නිසා රට පුරා කිලෝ මීටර් ගණන් දිග හා දින ගණනක් දිවා රෑ පවතින පෝලිම් ඇති වීමත් ඒ සියල්ලටම වඩා පැය දහයකට ආසන්න කාලයක් විදුලිය කැපීමට සිදුවීමත් නිසා මහා පරිමාණයෙන් නැග ආ මහජන කෝපය නිසා මැයි මාසය වනවිට ආණමඩුවේ පැවැත්ම පිළිබඳ බොහෝ දෙනා තුළ සැක පහළ වෙමින් තිබිණි.
ඒ තත්ත්වය උදා කරමින් මැයි 9 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දිරයට කැඳවනු ලැබූ ඔහුගේ ආධාරකරුවෝ අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සාමකාමීව උද්ඝෝෂණය කරමින් සිටි ජනතාවට පහර දීමත් ඊට ප්‍රතිචාර වශයෙන් රට පුරා ආණ්ඩු විරෝධි ප්‍රචණ්ඩ ක්‍රියා පැන නැඟීමත් හේතුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී ත්‍රිකුණාමලයේ නාවික කඳවුරක රැකවරණ පැතීමට සිදුවිය.
ඒ සිදුවීම් මාලාවත් සමඟ දේශපාලන වශයෙන් අසරණ තත්ත්වයට පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැති ධුරය භාර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් පවා ඉල්ලා සිටීමට සිදුවිය. ඒ තත්ත්වය යටතේ ප්‍රේමදාස මහතාට වඩා ජනාධිතිවරයාට විශ්වාසවන්ත වූ ද ඊට වඩා දේශපාලන පරිණතභාවයක් හා පෞරුෂත්වය පෙන්නුම් කරන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය භාර ගැනීමට ඉදිරිපත් වීම ජනාධිපතිවරයාට විශාල සහනයක් වූවාට සැකයක් නැත.
ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්නට නොහැකි නිසාත් එමඟින් ඇතිවූ දේශපාලන අර්බුදය නිසාත්, විශේෂයෙන්ම මැයි 9 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩත්වයෙන් පැන නැගුණු ආරාජික තත්ත්වය නිසාත් ඊට පෙර ‘‘ගෝඨා ගෝ හෝම්’’ යනුවෙන් රට පුරා පැතිරුණු සටන් පාඨය අනුව ගෙදර යන්නට දොරකඩටම ආ ජනාධිපතිවරයාට යළිත් ගෙතුළට ගොස් හරි බරි ගැසී වාඩිවීමට හැකි වූයේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීමත් සමඟය.
මෙමඟින් විරුද්ධ පක්ෂ අතරත් ආර්ථික පීඩනය නිසා කෝපයට පත්ව ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් පළවා හරින්නට සටන් මඟට පිවිසි කණ්ඩායම් අතරත් ඇති වූයේ විශාල පසු බෑමකි.
නිදහසින් පසු ගත වූ වසර 74 තුළ බලයට පත් වූ සෑම රජයක් විසින්ම රට ආර්ථික වශයෙන් අගාධයකට ඇද ගෙන යමින්, ජනතාව ණයකාරයන් බවට පත් කරමින් ගෙන ගිය වැඩ පිළිවෙළ ආපසු හැරවීමට හැකියාව තිබියදීත් එසේ කිරීම පසෙක තබා ආර්ථිකය ගොඩ ගත හැකිවේදැයි සැක සිතෙන තරම් ව්‍යසනයක් බවට පත් කළ වත්මන් ආණ්ඩුව ඉවත් කිරීමට මෙසේ අරගල මාවතට පිවිස සිටින්නත් සිතීම සාධාරණය.
මෙම ව්‍යසනය ඇති වූයේ තමන් ගත් ඇතැම් වැරැදි තීරණය නිසා යැයි ජනාධිපතිවරයාම පිළිගෙන තිබෙන හෙයින් එම කණ්ඩායම්වලට ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට ඉවත් කිරීමට අයිතියක් ද තිබේ. මන්දයත් ආණ්ඩුවේ වරදින් මෙම ව්‍යසනය ඇතිවීමත් සමග ජනාධිපතිවරයාටත්, වත්මන් ආණ්ඩුවටත් මැතිවරණයේ දී ලැබුණු ජනවරම අහෝසි වන හෙයිනි.
ඒ සඳහා ඔවුන් තෝරා ගත් මාර්ගය වූයේ සාමකාමී උද්ඝෝෂණයයි. එක්තරා අවස්ථාවක දී ආණ්ඩු විරෝධී අරගලය අවාසනාවන්ත ලෙස ආණ්ඩුවේ නායකයන් විසින්ම ප්‍රචණ්ඩත්වය වෙතට තල්ලු කරනු ලැබුව ද එම අරගලයේ බලපෑම නිසා අගමැතිවරයා ඉවත්වී ජනාධිපතිවරයා ද ඉවත් වේදෝයි සිතෙන තරමට තත්ත්වය ඉතා උද්වේගකර විය. එය වැළකී ගියේ වික්‍රමසිංහ මහතා නිසාය.
මෙහි ඇති විශේෂත්වය නම් රාජපක්ෂවරුන් බලයෙන් ඇද වැටීම වැළකී ගියේ වික්‍රමසිංහ මහතා නිසා බව සැබෑ වුවද ඔහු අගමැති ධුරය භාරගත් දිනවල විරුද්ධ පක්ෂයේ නායකයන් ද ආණ්ඩුව භාර ගැනීමට සූදානම්ව සිටීමය. මුල දී ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නේ නම් තමන් රට භාර ගන්නට සූදානම් බව පැවසූ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්ම අගමැති ධුරය ඉල්ලා සිටියේය.
වික්‍රමසිංහ මහතා අගමැති ධුරය භාර ගැනීමට පෙර දැඩි ලෙස ජනාධිපතිවරයා විවේචනය කළ විජේදාස රාජපක්ෂ මහතා ද වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් වූ පසු අධිකරණ ඇමැති වශයෙන් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වුවහොත් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව මගින් ජනාධිපතිධුරයට පත්වනු ඇති බවය.
මෙය ජනාධිපතිවරයා ආරක්ෂා කරන්නට ඉදිරිපත් කරන තර්කයක් විනා අනෙකක් නොවේ. මන්දයත් කළ හැකි අන් කිසි දෙයක් නැති තත්ත්වයටම මහජන බලපෑම උත්සන්න වූයේ නම් විනා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නැත. එවැනි බලපෑමක් රට තුළ ගොඩ නැඟුණහොත් වෙනත් රාජපක්ෂ කෙනකුට ද එම බලපෑම හමුවේ කෙළින් සිට ගැනීමට හැකි වන්නේ නැත. මහින්ද රාජපක්ෂ මහතාද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුයේ මහජන බලපෑම නිසාය. ඉල්ලා අස්වන්නට පැය කිහිපයකට පෙරද ඔහු කීවේ බලපෑම්වලට යටත් නොවන බවය.
කෙසේ වෙතත් දැන් ආණ්ඩු විරෝධි කණ්ඩායම් පත්වී ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධාන වැඩපිළිවෙළට විරුද්ධ වන්නටත් නොහැකි පක්ෂ වන්නටත් නොහැකි තත්ත්වයකටය. විශේෂයෙන්ම මෙම තත්ත්වයට පත්වී ඇත්තේ ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ප්‍රතික්ෂේප කරන වාමාංශික අදහස් දරන කණ්ඩායම්ය.
ආර්ථික අර්බුදයට, විශේෂයෙන්ම විදේශ ණය අර්බුදයට හා විදේශ විනිමය අර්බුදයට මුහුණ දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහනයක් ලබා ගැනීම හා එම අරමුදලේ සහතිකය මත විදේශ රාජ්‍යයන්ගෙන් හා ජාත්‍යන්තර සහ විදේශ ආයතනවලින් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගතකර ගැනීම හැර ආණ්ඩුවට වෙනත් කිසිඳු විසඳුම් ක්‍රියාමාර්ගයක් නැත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද මේ බව ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දැනටමත් එම වැඩ පිළිවෙළ ආරම්භ වී තිබේ. එම කටයුතුවල දී මූල්‍යමය හා නීතිමය උපදේශකයන් වශයෙන් කටයුතු කිරීමට බර්මියුඩාව මූලස්ථානය කොටගත් ලාසාර්ඩ් ආයතයත් ලන්ඩනය මූලස්ථානය කොටගත් ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනයත් පත් කරනු ලැබ තිබේ. ජාත්‍ය්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාව ද ආරම්භ වී තිබේ.
මෙම වැඩ පිළිවෙළ සාර්ථක වුවහොත් විදේශ විනිමය අර්බුදය එක්තරා දුරකට මඟ හැරී ශ්‍රී ලකාවට යළිත් හුස්මක් ගැනීමට අවකාශ ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. එහෙත් එමඟින් දීර්ඝ කාලීනව විදේශ ණය බර අඩු කරගැනීම සඳහාත් විදේශ සංචිත ශක්තිමත් කර ගැනීම සඳහාත් විදේශ විනිමය උත්පාදනය කරගැනීමට හැකි වේදැයි පැහැදිලි නැත.
කෙසේ වෙතත් මෙම වැඩ පිළිවෙළ සාර්ථක වී යම් හුස්මක් ගැනීමටහැකි වුවහොත්, ගෑස්, ඉන්ධන හා විදුලිය යළි සාමාන්‍ය අන්දමට සපයා ගැනීමට හැකි වුවහොත් ආණ්ඩුව වත්මන් දේශපාලන අර්බුදයෙන් ගැළවෙනු ඇත. බඩු මිල නම් පැරැණි තත්ත්වයට එනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකිය.
ආණ්ඩුව දේශපාලන අර්බුදයෙන් මිදුණහොත් අර්බුදය මෙතරම් උග්‍ර කිරීමේ පාපයෙන් ද ආණ්ඩුවේ නායකයන් ගැළවී එසේ උග්‍ර කිරීම අමතක කොට තමන් රට බේරා ගත් බවට එම නායකයන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වහසි බස් දොඩනු ඇත. කොවිඩ් රෝගය පිළිබඳ ප්‍රශ්නයේදී ද සිදු වූයේ එයයි. පළමු කොවිඩ් රැල්ල සාර්ථකව මර්දනය කළ ආණ්ඩුව ඉන්පසු නොසැලකිල්ල නිසා දෙවැනි රැල්ලත් සංචරණ සීමා පිළිබඳ විශේෂඥයන්ගේ හා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොතකා හැරීම නිසා තුන්වැනි හා සිව්වැනි රැල්ලක් ඇති වන්නට ඉඩ හැරියේය. එන්නත් ගෙන්වීමට ද ආණ්ඩුව මුලදී උනන්දු වූ බවත් නොපෙනුණි. ඒ ගැන විපක්ෂය ප්‍රශ්න කළ විට ශ්‍රී ලංකාවට එන්නත් අවශ්‍ය නැතැයි ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඒ කාලයේ ආර්ථිකයට දරුණුම ප්‍රහාරය එල්ල වූයේ දෙවැනි, තුන්වැනි හා සිව්වැනි කොවිඩ් රැලිවලිනි. එහෙත් එන්නත් මඟින් රෝගය පාලනය වූ විට ඒ සියලු රැලි සම්බන්ධයෙන් තමන්ගේ වගකීම අමතක කළ ආණ්ඩුව තමන් රෝගය මර්දනය කළ බවට වහසි බස් දෙඩීය. ජනතාවට ද දෙවැනි, තුන්වැනි හා සිව්වැනි රැලි පැවැති කාලයේ විඳි දුෂ්කරතා අමතක විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එක්ව ක්‍රියාත්මක කෙරෙන වැඩ පිළිවෙළ සාර්ථක වී ණය හා විනිමය අර්බුද තාවකාලිකව හෝ විසඳී යළිත් ඉන්ධන, ගෑස් හා විදුලිය සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත් වුවහොත් එහිදී ද ආණ්ඩුව මෙන්ම ජනතාව ද ආණ්ඩුව වත්මන් තත්ත්වයට රට ඇද දැමූ ආකාරය අමතක කරන්නට ඉඩ තිබේ.
මෙම වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් විපක්ෂය හා දැනට ආණ්ඩුවට එරෙහිව අරගල කරන කණ්ඩායම් මුහුණ දී ඇති ගැටලුව එයයි. ඒ අනුව මෙම වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් ඔවුන් මුහුණ දී සිටින්නේ උභතෝකෝටික තත්ත්වයකටය. වැඩ පිළිවෙළ සාර්ථක වුවහොත් ආණ්ඩුව හා රාජපක්ෂවරුන් දේශපාලන වශයෙන් පළවා හැරීම දුෂ්කර වනු ඇත. එසේම මෙම තාවකාලික වැඩ පිළිවෙළෙන් පසු රට යළිත් පැරැණි දූෂිත ක්‍රමය වෙතටම හැරෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එහෙත් ඒ නිසා එය අසාර්ථක කරන්නට කටයුතු කළහොත් අන් මගක් නොදැක එම වැඩ පිළිවෙළ මත පූර්ණ විශ්වාසය තබා සිටින ජනතාවගේ කෝපයට ඔවුන් ලක්වනු ඇත. එම වැඩ පිළිවෙළට විකල්පයක් ඉදිරිපත් කරන්නට ද ඔවුන් සමත් වී නැත.
එහෙයින් සාම්ප්‍රදායිකව ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහි වාමාංශික පිරිස් පවා මේ දිනවල නිහඬව සිටිති. ඉකුත් සඳුදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් නියමිතව තිබිය දී මුදල් අමාත්‍යාංශයේ දොරටු අවහිර කළ අරගලකරුවන් කණ්ඩායමක් පවා පසුව පැවසුවේ එවැනි සාකච්ඡාවක් පිළිබඳව තමන් දැනුවත්ව සිටියේ නම් තමන් එසේ දොරටු අවහිර නොකරන බවය.
මෙය මාක්ෂ්වාදීන් ඇතුළු වාමාංශිකයන් ඉතිහාසය පුරා මුහුණ දුන් ගැටලුවකි. සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වැනි පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි ධනවාදී ආර්ථික ක්‍රමය පිළිගත් පක්ෂ සමඟ සභාග ආණ්ඩු ඇති කර ගනිමින් විවිධ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළහ. සමාජවාදී පාලන ක්‍රමයක් ඇති කරන තෙක් ජනතාවගේ දැවෙන හදිසි ප්‍රශ්නවලට තමන්ගේ ක්‍රියා මාර්ගය සාධාරණීකරණය කළහ. ජනතා විමුක්ති පෙරමුණ හා නව සමසමාජ පක්ෂය වැනි පක්ෂ මෙම ක්‍රියාමාර්ග විප්ලවාදයට එරෙහි ප්‍රතිසංස්කරණවාදයක් ලෙස හා සංශෝධනවාදයක් ලෙස හැඳින් වූහ. ඔවුන්ගේ තර්කය වූයේ මෙවැනි ක්‍රියාමාර්ග මඟින් ධනවාදී පාලන ක්‍රමය තහවුරු වන බවයි.
ඔවුන් අවධාරණය කළේ මෙවැනි තාවකාලික ප්‍රතිසංස්කරණ නොව ධනවාදී ආර්ථික ක්‍රමය වෙනුවට සූරා කෑම හා දූෂණය අහෝසි කළ හැකි යැයි ඔවුන් විශ්වාස කළ සමාජවාදී ක්‍රමයක අවශ්‍යතාවයි. එය පූර්ණ පරිවර්තනයකි. එහෙයින් ඔවුහු ඊට විප්ලවය යැයි කීහ. මේ වනවිට එම පක්ෂ ද පෞද්ගලික ව්‍යවසායකත්වය හා පෞද්ගලීකරණය පිළිගෙන සිටින බව පෙනේ.
වර්තමානයේ දී ජවිපෙ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ වත්මන් පාලනයට එරෙහිව අරගල කරන වෙනත් කණ්ඩායම් රාජපක්ෂවරුන් ඇතුළු වත්මන් පාලන ක්‍රමය වෙනුවට දුෂණයෙන් තොර සමාජ ආර්ථික ක්‍රමයක් අවශ්‍ය යැයි කියා සිටිති.
එහෙත් සිදුවී ඇත්තේ වෙනත් දෙයකි. රනිල් වික්‍රමසිංහ මහතා නිසා ජනාධිපතිවරයා මත ඇති පීඩනය විශාල වශයෙන් අඩු වී ඇත. එක් පැත්තකින් ඔහු එක්තරා දුරකට ආණ්ඩුවේ ස්ථාවරත්වය තහවුරු කොට ඇත. අනෙක් අතින් පොදුජන පෙරමුණේ කෙනකු මෙන් ජනාධිතිවරයා පිළිබඳ බියක් නැතිව ඔහු ස්වාධීනව කටයුතු කරගෙන යයි. එය ඔහුගේ ස්වභාවයි. මීට පෙර ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යටතේ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ අගමැති වූ ඔහුට තම නිල කාලය සම්පූර්ණ කරන්නට නොහැකි වූයේ ද ඔහු ස්වාධීනව කටයුතු කරන්නට යාම නිසා යැයි ද කිව හැකිය.
වික්‍රමසිංහ මහතාට දැනට කෙරීගෙන යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සම්බන්ධ වැඩ පිළිවෙළ කර ගෙන යන්නට දැනුම ඇති බවක්ද පෙනේ. එයද ජනාධිපතිවරයාට සහනයකි. එහෙත් මෙම වැඩ පිළිවෙළ විපක්ෂයට හා අනෙකුත් අරගලකරුවන් උභතෝකෝටික ගැටලුවකට තල්ලු කොට තිබේ.
(*** එම්.එස්.එම්.අයුබ්)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෙනසකට ආ ගමනේ අතරමංවීම
nimal Saturday, 25 June 2022 11:10 AM
මේ වනවිට ලංකාවේ පවතින සංකීර්ණ ආර්ථික ගැටලුව විසඳීමට සුදුසුම පුද්ගලයා වන රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා විසින් පත්කොට තිබේ. පවතින සංකීර්ණ ආර්ථික ගැටලුව දේශීය විසඳුම් නොමැත. එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, යුරෝපියන් යූනියන්, ඇමෙරිකාව සහ වෙනත් රටවල් සමග ගනුදෙනු කළහැකි බුද්ධිමත් නායකයකු ආර්ථික ගැටලුව විසඳීමට මැදිහත් විය යුතුම වේ. පාර්ලිමේන්තුව තුළ සහ ඉන්පිටත කුමන විවේචන චෝදනා එල්ල කළද චෝදකයන් ආර්ථික ගැටලුව විසඳීමට ඉදිරිපත් වන්නේද නැත. ඔවුන්ට ප්‍රශ්නය විසඳීමට විසඳුමක් හෝ හැකියාවක්ද නැත...
Deepal Nirosh Sunday, 26 June 2022 08:16 PM
රනිල් අගමැතිතුමා හෝ වෙන කිසිවකු හෝ මේ ආණ්ඩුව යටතේ ආර්ථික ගැටළුව තාවකාලිකව සමනය කර ජනතාවට සහනයක් ලබා දුන්නා කියමු. එහෙත් ඉන් අනතුරුව රට නැවත පෙර පැවැති දූෂිත පාලන ක්‍රමයටම ගමන් කිරීමේ ප්‍රවනතාවක් තිබෙනවා. අන්න ඒ අනතුර මඟහරවා ගන්නත් ක්‍රමවේදයක් අත්‍යාවශ්‍යයි.