IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


වෙනසකට වෙනස් මොඩලයක්

‘රෙජීම් චේන්ජ්’ සහ ‘සිස්ටම් චේන්ජ්’ පිළිබඳ සංවාදය සහ ගැටුම අත්විඳිමින් සිටින ශ්‍රී ලාංකීය සමාජයට නව යෝජනාවක් ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණ වේ. එහි දී රෙජීම් චේන්ජ් යන දෙපද සඳහා තන්ත්‍ර වෙනස් කිරීම යන්නත් සිස්ටම් චේන්ජ් යන දෙපද සඳහා පද්ධති වෙනස් කිරීම යන්නත් යොදා ගැනෙනු ඇත.

රෙජීම් යන්න දේශපාලන සන්දර්භයක ලා හඳුනාගන්නා විට ඊට ඇත්තේ නිශේධනීය තේරුමකි. බ්‍රිටනිකා විශ්වකෝෂය දක්වන ආකාරයට රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය, මාධ්‍යවේදීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් වැනි ඇතැමුන් විසින් රෙජීම් යන්න භාවිතා කරනුයේ මර්දනකාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී හෝ නීත්‍යනුකූල නොවන ආණ්ඩු හැඳින්වීම සඳහාය.

මෙම සන්දර්භය තුළ රෙජීමය පිළිබඳ සංකල්පය මතවාදී හෝ සදාචාරාත්මක අප්‍රසාදය හෝ දේශපාලන විරුද්ධත්වය පිළිබඳ හැඟීමක් සන්නිවේදනය කරයි. ඒ අනුව රෙජීම් චේන්ජ් යන්නෙන් අදහස් කරන්නේ බාහිර බලවේගයක් විසින් නීත්‍යානුකූල නොවන ලෙස සලකන ආණ්ඩුවක් පෙරළා දමා එම බලවේගය විසින් ප්‍රවර්ධනය කරන අදහස් හෝ අවශ්‍යතා අනුව නව ආණ්ඩුවක් ප්‍රතිස්ථාපනය කිරීමය. මෙම ක්‍රියාවලිය ගෝලීය සහ කලාපීය දේශපාලන-ආර්ථික අරමුණු වෙනුවෙන් විනාශකාරී ලෙස භාවිත කළ බවට වූ ප්‍රසිද්ධ නිදසුන් ලෙස ඊජිප්තුවේ හොස්නි මුබාරත් පාලනය, ඉරාකයේ සදාම් හුසේන් පාලනය, ලිබියාවේ මු’අම්මර් අල්-ගඩාෆි පාලනය බිඳ දැමීම සහ සිරියාවේ බෂාර් අල්-අසාද් පාලනය බිඳ දැමීමට උත්සාහ දැරීම ඉදිරිපත් කළ හැකිය.

සිස්ටම් චේන්ජ් නැතහොත් පද්ධති වෙනස් කිරීම යන්න තන්ත්‍ර වෙනස් කිරීමට වඩා පුළුල් සහ ගැඹුරු ක්‍රියාවලියකි. තන්ත්‍රයක් පවතින්නේද පද්ධතියක් තුළය. තන්ත්‍රයක් යනු මහා පද්ධතියක් තුළ ඇති උප පද්ධතියකි. එහෙත් විශේෂත්වය වනුයේ එම උප පද්ධතිය දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික වශයෙන් තීරණාත්මක සාධකයක් වීමය. එබැවින් තන්ත්‍ර වෙනසක් යනු පද්ධති වෙනසක් සිදු කිරීමේ තීරණාත්මක පූර්වගාමී ක්‍රියාවකි. එහෙත් බොහෝ විට සිදුවන්නේ තන්ත්‍ර වෙනසකට පමණක් සමස්ත ක්‍රියාවලිය ම සීමා වීමය. අපේක්ෂිත පද්ධති වෙනස සිදු නොවීමය.

දේශපාලන අර්ථයකින් පද්ධති වෙනසක් යනු පැවති දේශපාලන පද්ධතිය ව්‍යුහාත්මක ආකාරයෙන් වෙනස් කොට නව දේශපාලන පද්ධතියක් ප්‍රතිෂ්ඨාපනය කිරීමකි. එහෙත් එය පටු තේරුම් ගැනීමකි. පුළුල් සහ ගැඹුරු අර්ථයකින් පද්ධති වෙනසක් යනු දේශපාලන පමණක් නොව ආර්ථික, සමාජ, පරිපාලන, නීතිමය, අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, වෙළඳපොළ, සුබසාධන යනාදී සියලු‍ උප පද්ධතීන්වල ව්‍යුහාත්මක වෙනසක්ය. ලියොන් ට්‍රොස්කි වරක් පැවසූයේ විප්ලවයක් පරිපූර්ණ වීමට නම් මිනිසුන්ගේ ඔලු‍ තුළ විප්ලව දසදහස් ගණනක් සිදුවිය යුතු බවය.

පද්ධති වෙනසක් සඳහා සිතනමතන ක්‍රියාකරන යමෙකු වේ නම් මතුවන ගැටලු කීපයක් විසඳා ගත යුතුමය. එනම්, අපේක්ෂා කරන පද්ධති වෙනස සඳහා පදනම් වන දෘෂ්ටිවාදී පදනම සහ මූලෝපායික වැඩපිළිවෙළ කුමක්ද එකී පදනමක් සහ වැඩපිළිවෙළක් ඇත්තේ කවර නම් සමාජ-දේශපාලන සංවිධානයක් හෝ ව්‍යාපාරයක් සතුවද යන්නය. එවැනි පදනමක් සහිත වැඩපිළිවෙළකට පොදු ජන සමාජයේ කැමැත්ත ලබා ගන්නේ කෙසේද? පැරණි පද්ධතියෙන් එල්ලවිය හැකි බාධා තර්ජන සහ කඩාකප්පල් කිරීම් පරාජය කරන්නේ කෙසේද? යනු එකී විසඳා ගත යුතු ප්‍රමුඛ ගැටලු කීපයකි. ඒ සියල්ලටමත් වඩා තීරණාත්මක ගැටලුවක් වන්නේ අපි සියල්ලෝම මේ පවත්නා ප්‍රතිගාමී සමාජ-දේශපාලන පද්ධතිය නඩත්තු කරමින් සිටින්නෙමු සහ මේ සියල්ලට අපද වගකිව යුතුය දායකයන්ය යන කරුණු දෙක පිළිගැනීමට තරම් අප විවෘතද? අවංකද? යන්නය. එසේ නොවී වගකීම අන් අය මත පමණක් පටවා අප පැමිණිලිකරුවන්, කාරියන් ප්‍රගතිශීලීන් පමණක් වනවා නම් කිසි දිනෙක මේ ප්‍රතිගාමී සහ නොදියුණු පද්ධතිය වෙනස් කළ නොහැකිමය.

සමස්ත පද්ධතියේ වෙනසක් සිදු විය යුතුය, සිදු කළ යුතුය යන මතයේ මා සිටියත් මෙම ලිපිය තුළ සමස්ත පද්ධතිය වෙනස් කළ යුතු ආකාරය ගැන කතා නොකරමි. මන්ද සමස්තය පිළිබඳ සාර්ව මිස සකලාකාරයේ ක්‍ෂුද්‍ර අවබෝධයක් මා සතුව නැත. එහෙත් සමාජ පද්ධතියක් යනු එකිනෙකට බැඳුණු, අන්තර් ක්‍රියා සිදුවන, එකිනෙක මත යැපෙන, උප පද්ධති සහ අංග වෙන්ව හඳුනාගත හැකි අනන්‍යතා සහිත, වෙන්වුණොත් විනාශවෙන හෝ අර්ථ සහ කාරිය අහිමිවෙන ඒකාබද්ධ ප්‍රපංචයක් බව මම දනිමි. ඉතින්, එකී පද්ධතිය තුළ ඇති දේශපාලන උප පද්ධතියේ එක අංගයක් ගැන පමණක් කතා කිරීමට මම කැමත්තෙමි. සෙස්සෝ අන් උපපද්ධති සහ අංග ගැන අවධානය යොමු කරත්වා. මගේ කතාව පදනම් වන්නේ සමාජ-ප්‍රජා නියෝජිත තන්ත්‍රවාදය සහ සර්වන්තරීය ආණ්ඩුකරණය යන ප්‍රගතිශීලී ප්‍රතිමාන මතය. නැතහොත් වටිනාකම් සහ ඇගයුම් මතය.

ශිෂ්ටසම්පන්න සමාජ-ප්‍රජා නියෝජිත තන්ත්‍රයක වැදගත්ම අංගයක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. එය සමාජ යහපත, සුබසාධනය, විනය, නීතිය, ආරක්ෂණය, ජනතා සහභාගිත්වය අරමුණු කරගත් මහා සම්මුතියකි. එයට ඉහළින් තනතුරු ආයතන සහ ක්‍රියාමාර්ග නැත. සියලු‍ තනතුරු සහ ආයතනවල වගකීම් වනුයේ ඉහත කී සම්මුතිය ක්‍රියාත්මක කිරීමය. එය සිදුකිරීම සඳහා නියෝජිත පද්ධතිය සකස් විය යුතු ආකාරය පිළිබඳ අලුත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට මා උත්සාහ දරමි.

මෙරට කාලාන්තරයක් තිස්සේ නඩත්තු වන්නේ පාර්ලිමේන්තු ආකෘතිය මිස සම්ප්‍රදාය නම් නොවේය. මන්ද අප අත්දකිමින් සිටින පාර්ලිමේන්තු ක්‍රියාවලිය දියුණු සහ බරසාර පාර්ලිමේන්තු සම්ප්‍රදායක් නඩත්තු කරන්නේ නැත. ඒ නිසා මේ ආකෘතිය ගැන අපි කතා කරමු.

මේ ආකෘතියට අනුව ආණ්ඩු පක්ෂයක් සහ විපක්ෂයක් ඇත. එහෙත් ඒවා අතර සීමා එතරම් ගනකම් නැත. විටෙක ආණ්ඩු පක්ෂයේ සිටින කෙනා තවත් විටෙක විපක්ෂයේය. විටෙක විපක්ෂයේ සිටින කෙනා තවත් විටෙක ආණ්ඩු පක්ෂ කඳවුරේය. එසේම පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගන්නා කණ්ඩායම ආණ්ඩුවක් පිහිට වූ පසු අනෙක් අය හුදු විපාක්ෂිකයන් මිස ප්‍රතිසංස්කාරකයන් ලෙස කටයුතු කිරීමක් දකින්නට නැත. ඒ නිසාම මෙරට පාර්ලිමේන්තුව කල්ලිවාදී ස්ථානයක් මිස ජාතික සම්මුති සහිත ජාතික ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන තැනක් නොවේ.

අප මෙම ක්‍රියාවලියෙන් ඉවත් විය යුතුය. එනම් පාර්ලිමේන්තු ආකෘතිය සහ සම්ප්‍රදාය ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතුය.

ඒ සඳහා පාර්ලිමේන්තුවට තේරීපත් වන සියලු‍ පාර්ශව හෝ පක්ෂ නියෝජනයෙන් යුත් ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුය. එය අරෙන්ඩ් ලිජ්පාර්ට් (Arend Lijphart) ගේ මහ සන්ධානවාදී ප්‍රජාතන්ත්‍රවාදය (Consociational Democracy, 1968) හෝ 1970 දශකයේ ෆින්ලන්ත ආණ්ඩුක්‍රමය අරබයා යෝජනාවූ ඩේවිඩ් අර්ටෙර් (David Arter, 1978) ගේ සර්ව-පාක්ෂික ආණ්ඩුවක් (All -party Government) හෝ 1931 මෙරට ආරම්භ වූ ඩොනොමෝර් ආණ්ඩුක්‍රමය හා ඇතැම් විට සමාන විය හැකිය. ඇතැම් විට ඒවාට යම් තරමකින් පරස්පර විය හැකිය.

මගේ යෝජනාව වනුයේ  පාර්ලිමේන්තුවට තේරීපත් වන සියලු‍ නියෝජිතයන් සංයුක්ත වන අයුරින් අමාත්‍යංශ, උපදේශක කාරක සභා, සහ ආංශික කාරක සභා සකස් කළ යුතුය යන්නය. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අමාත්‍යංශ නිශ්චිතව දක්වා ඒ ඒ අමාත්‍යංශවල සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වන නියෝජිතයන් ඇතුළත් කළ යුතුය. එවිට හැම නියෝජිතයෙකුම යම් කිසි අමාත්‍යංශයක සාමාජිකයෙකි. ඇමතිවරුන්/වරියන් පාර්ලිමේන්තුවේ ඒ ඒ කණ්ඩායම්/පක්ෂ ලබාගත් නියෝජිත අනුපාතයට අනුව බෙදිය යුතුය. අවශ්‍ය නම් වැඩිම නියෝජිත කණ්ඩායමේ අනුපාතයට හිමි විය යුතු අමාත්‍යංශ මොනවාදැයි ව්‍යවස්ථාවටම ඇතුළත් කළ හැකිය. එවිට බෙදීමේ ගැටුම් අවම වෙනු ඇත. එසේම පාර්ලිමේන්තුවේ වැඩිම කැමැත්ත ලබා ගත හැකි පුද්ගලයා අගමැති ලෙස පත්විය යුතු ය.

මේ මගින් සියලු‍ම නියෝජිතයන් ආණ්ඩුවේ කොටස්කාරයන් වනු ඇත. සංවාද සහ විවාද ප්‍රතිපත්තිමය පදනමකට සීමා වනු ඇත. තමන් අයත් අමාත්‍යංශ තුළ ස්වකීය මැදිහත්වීම් ඊළඟ වාරයේ දේශපාලන අවස්ථා සඳහා හේතු වනු ඇත. එසේම සියලු‍ දෙනා අදාළ කාල සීමාව තුළ රාජ්‍යයට වගකියන වගඋත්තර බඳින ආණ්ඩුවේ සාමාජිකයන් වනු ඇත. සම්ප්‍රදායික ආණ්ඩු පක්ෂ විපක්ෂ ගැටුම වෙනුවට ප්‍රතිසංස්කරණවාදී විවාද බලවත් වෙනු ඇත. දේශපාලන පක්ෂ අතර ගැටුම පාර්ලිමේන්තුවෙන් පිට නියෝජිතාවරණ තරඟයකට සීමා වනු ඇත. බල තරගය පාර්ලිමේන්තුවෙන් එපිටට යනු ඇත.

එසේම විවිධ අනන්‍යතා සහිත ස්ථාවර සහිත පක්ෂ සහ කණ්ඩායම් වලට ජාතික ආණ්ඩුකරණයට සහභාගිවීමට හැම විටකම අවස්ථාව ලැබෙනු ඇත. මෙය එක්තරා ආකාරයකට සර්වාන්තරීය ආණ්ඩුකරණ මොඩලයකි. එනම් කිසිම කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් ජාතික ආණ්ඩුකරණ ක්‍රියාවලියෙන් බැහැර නොකරන උපාය මාර්ගයකි. ඉතාම සරලව කිවහොත් ප්‍රගතිශීලී පද්ධති වෙනසකි. සිස්ටම් චේන්ජ් එකකි. පවතින පාර්ලිමේන්තුවට මෙය ආදේශ කළහොත් පොහොට්ටුවත්, සජබත්, ශ්‍රීලනිපත්, තමිල් අරසු කච්චියත්, ජාතික ජන බලවේගයත්, එකම ඇමති මණ්ඩලයක ව්‍යවස්ථානුකූල ඇමැතිවරුය. සාමාජිකයෝය. සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රයක Deliberative Democracy) සහභාගිකයෝය. මේ යෝජනාව සංකල්පීය තලයේ ඇති එකක් නිසා එහි තාක්ෂණික කටයුත්ත අන් අයට බාර කරමි. සෙස්ස පසුව.

(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක

 



අදහස් (0)

වෙනසකට වෙනස් මොඩලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 120 1

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 165 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 51 0

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 42 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 931 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1089 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 145 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 906 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site