“ක්ලීන් ශ්‍රී ලංකා” යනු පැතිකඩ කිහිපයකින් සමන්විත වැඩසටහනකි. එය හුදු පරිසරය පිරිසුදු කිරීමේ වැඩසටහනක් පමණක් නොවේ. ක්ලීන් ශ්‍රී ලංකාවක් යන්නෙන් කුමක් අදහස් කරන්නේ ද යන්න පිළිබඳ සමාජ විද්‍යාත්මක කථනයක් ගොඩනැගීමට මම කැමැත්තෙමි. ඒ යටතේ මෙවැනි වැඩසටහනක් රටට අවශ්‍ය ඇයිද යන කාරණය විග්‍රහ කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකාව සම්පත් බහුල රටකි.
එමෙන්ම එය මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇත. ඉහළ සාක්ෂරතාවක් සහිත රටකි. මේ කාරණත්‍රයම එකට පවතින රටක් දුප්පත්ව පැවතීමට ඉඩක් නැත. එහෙත් ශ්‍රී ලංකාව තවමත් දුප්පත් රටකි. සම්පත්, මූලෝපායික පිහිටීම සහ ඉහළ අධ්‍යාපනය තිබිය දී ලංකාව දුප්පත් වී තිබෙන්නේ ඇයි ද යන්න විමසුමට බඳුන් කළ යුතු ය. ඊට බලපා ඇති එක් හේතුවක් නම්, සමාජ දේහය වසාගෙන තිබෙන දූෂණය යි. දූෂණය දෙයාකාර වේ. මහජනතාවට අයිති දේවල් පෞද්ගලික ලාභය සඳහා යොදා ගැනීම පළමු ආකාරය යි. රජයට අයිති සම්පත් නිසි පරිදි කළමනාකරණය නොකිරීම හෝ අවභාවිත කිරීම හෝ දෙවැන්න යි. මුල්බැසගෙන තිබෙන දූෂණය නතර කිරීම වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් අවශ්‍ය වේ.
දූෂණය අවභාවිතය ආදි දේවල් කාලාන්තරයක් තිස්සේ රටක පවතින විටෙක සුවිශේෂ තත්ත්වයක් ඇති වේ. එය හඳුන්වන්නේ සාමූහික ක්‍රියා ගැටලුව ලෙස ය. එය රෝගී තත්වයක් හා සමාන ය. යම් රටක දූෂණය කාලයක් පුරාවට පවතින විට එරටෙහි ජනයා දූෂණය තවදුරටත් දූෂණයක් ලෙස නොදකින තත්වයක් ඇති වේ. සරල බසින් කියන්නේ නම්, දූෂණය සාමාන්‍ය දෙයක් බවට පත් වීම ය. දූෂණ විරෝධය වෙනුවට දූෂණය සාමාන්‍ය දෙය බවට පත් වේ. සෑම දෙයක දී ම දූෂණය සිදු වේ. නිදසුනක් ලෙස රථ වාහන ධාවන වැරැදිවලදී පොලිස් නිලධාරීන්ට යම් මුදලක් ලබා දීමට බොහෝ රියැදුරෝ කටයුතු කරති. එය සාමාන්‍යකරණය වී තිබේ. මේ තත්වය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, රජයේ ආයතනයක කොළයක් හෝ පෑනක් කාර්යාලයෙන් බැහැරට ගෙන යන්නේ නම් හෝ පෞද්ගලික පරිහරණයට යොදා ගන්නේ නම් එයද දූෂණය ගණයට වැටේ. එහෙත් සමාජය එය දූෂණයක් ලෙස සලකන්නේ නැත. මෙම සාමූහික ක්‍රියා ගැටලුව තත්වයෙන් අප ගොඩ ආ යුතු ය. ඒ අරබයා සමාජ හා සංස්කෘතික වශයෙන් චින්තන විප්ලවයක් ඇති කළ යුතු ය.
රාජ්‍ය සේවකයකු ප්‍රමාද වී සේවයට වාර්තා කරන්නේ නම් හෝ ඔහුගේ හෝ ඇයගේ හෝ සේවය අකාර්යක්ෂම නම් එවැනි දෙයක් දූෂණයක් ලෙස සැලකිය හැකි දැයි කෙනෙකුගෙන් විමසුවහොත් පිළිතුර වෙනු ඇත්තේ දූෂණයක් නොවන බව ය. එහෙත් දූෂණය සම්බන්ධ පළල් නිර්වචනය යටතේ මේ ආදි දේවල්ද දූෂණය ගණයට ගත හැකි ය. එබැවින් රජයට හා මහජනතාවට අයිති ඕනෑම දෙයක් පෞද්ගලික පරිහරණයට යොදා ගන්නේ නම් එය දූෂණයකි. දූෂණය මහා පරිමාණයෙන් ද ක්‍රියාත්මක වේ. සොරකම් කිරීම පමණක් ම නොව අකාර්යක්ෂමතාව ද දූෂණයක් ලෙස සැලකිය හැකි ය. නිදසුනක් හැටියට ආණ්ඩුවේ ව්‍යාපෘතිවලට අදාළ කොන්ත්‍රාත් ලබා ගෙන නිසි වේලාවට නිසි ප්‍රමිතියට අවසන් නොකිරීම ද (Underperforming) දූෂණයකි. රජයේ කොන්ත්‍රාත් ලබා ගැනීම පිණිස නිලධාරීන්ට අල්ලස් ලබාදීම, රජයට බාල සේවා සැපයීම මේ ආදි දූෂණ කටයුතු බහුල ව සිදු වෙන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. මේ සන්දර්භය, පූර්වයෙන් අපේක්ෂා නොකළ ආකාරයේ දේශපාලන වෙනසක් ඇති වීමට හේතු විණි. දූෂණය මුලිනුපුටා දැමිය යුතුය යන අදහසට රටේ සාතිශය බහුතර ජනතාව පැමිණුණි. එබැවින් පිරිසුදු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ජනතාවත් මානසිකව සූදානම් යැයි සිතිය හැකි ය.
දූෂණය තුරන් කිරීම සඳහා ජනතාව ආණ්ඩුවට ප්‍රබල ජනවරමක් ලබා දී තිබේ. මෙය කළ යුතුය යන අදහසේ ඔවුහු සිටිති. මේ ආණ්ඩුව පිළිබඳ ජනතාව අතර යම් ආකාරයක බියක් ද ඇත. එනම්, පෙර මෙන් වංචා දූෂණ කිරීමට ඇති බිය යි. මේ සියලු දේ ආකල්පමය වෙනස්කම් වශයෙන් ගිණිය හැකි ය. බියටත් වඩා ජනතාව ස්වේච්ඡාවෙන් බදු ගෙවීම ආදිය සඳහා ඉදිරිපත් වීම ධනාත්මක තත්වයකි. එය දැකිය හැකි එක් අවස්ථාවක් නම්, කලින් ආදායම් බදු නොගෙවූ අය එම බදු ගෙවීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම ය. ඒ අතර නොයෙක් ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ සිටිති. ගෙවන බදු මුදල් රටේ සංවර්ධනයට යොදා ගැනෙනවා වෙනුවට කිහිපදෙනෙකුගේ සුඛ විහරණයට භාවිත වීම නිසා මීට පෙරදී වෘත්තිකයෝ සහ ව්‍යාපාරිකයෝ බදු ගෙවීමෙන් වැළකී සිටියහ. එනම්, දූෂණයට බඳුන් වීමය. එසේවුව ද දැන් එම ආකල්පය වෙනස් වී ඇත. තමන් ගෙවන බදු මුදල් රටේ යහපත වෙනුවෙන් යොදා ගනිතියි යන විශ්වාසය ජනතාව අතර ගොඩනැගෙමින් තිබේ. රටට අවශ්‍ය වෙන්නේත් වැදගත් වෙන්නේත් මෙම වෙනස යි. බියට වඩා ස්වේච්ඡාවෙන් අදහස් වෙනස් කර ගනිමින් කටයුතු කිරීම ඉතාම වැදගත් ය.
මේ වෙනස් වීම ජනතාවගේ පැත්තෙන් පමණක් නොව පෞද්ගලික අංශයෙන් ද ප්‍රකාශමාන විය යුතු ය. පෞද්ගලික අංශය ලාභ අරමුණු කර ගැනීම සාධාරණ වුවත් ලාභයට මුවා වෙමින් ජනතාව සූරාකෑමට ලක්වෙන ස්වභාවයක් දැකිය හැකි ය. එයත් දූෂණයකි. එබැවින් මේ තත්ත්වයත් වෙනස් විය යුතු ය. පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් ද මෙම වැඩසටහනට එකතු විය යුතු ය. ක්ලීන් ශ්‍රී ලංකා වැනි වැඩසටහනක් සාර්ථක වීමට ජනතාව පැත්තෙන් තවත් දෙයක් සිදු විය යුතු ය. එනම්, දූෂණය හමුවේ තවදුරටත් නිහඬ ව නොසිටීම ය. මින් පෙර බොහෝ දෙනා වංචා දූෂණ හමුවේ නිශ්ශබ්ද ව සිටියහ. එය දූෂණයට උදව් කිරීමකි. එනයින් මේ ආකල්පය ද වෙනස් විය යුතු ය. දූෂණයක් හෝ වංචාවක් සිදු වෙන අවස්ථාවක ඊට අදාළ සාක්ෂි එකතු කිරීම, ආරක්ෂා කිරීම සහ බලධාරීන් අතට ඒවා පත් කිරීම ජනතාවගේ වගකීම් ය. එමෙන් ම දූෂණය හා එය වැළැක්වීමේ වැදගත්කම ගැන සමාජයේ සෙසු අය දැනුම්වත් කිරීම ද ජනතාවගේ පැත්තෙන් සිදු විය යුතු ය.
ඉතාම වැදගත් පරිවර්තනය නම්, රජයේ මුදල් හා සම්පත් අපේ මුදල් හා සම්පත් ලෙස සැලකීමට ජනතාව පෙළඹීමය. වියදම් කරන්නේත් දූෂණයට බඳුන් වෙන්නේත් ජනතාවගේ මුදල්ය යන අවබෝධයට පැමිණීම ඉතා වැදගත් ය. මේ හැඟීම රටේ සියලු පුරවැසියන්ට දැනිය යුතු ය. තවදුරටත් දූෂණය යනු මුදල් මගින් කරන දෙයක් පමණක් නොවේ. හික්මීමක් නැතිකම සහ අවිනයවත් හැසිරීම හා කල්ක්‍රියාව ද ඊට අයත් වේ. උදාහරණයක් වශයෙන් මාර්ග සංඥා හා මාර්ග නීති රීතිවලට රටේ බොහොමයක් දෙනා ගරු නොකරති. ලංකාවේ රිය අනතුරුවලින් වසරකට දෙදහක් පමණ මිය යති. යුද්ධය පැවති කාලයේදීවත් එයින් වසරකට මේසා විශාල ප්‍රමාණයකට ජීවිත අහිමි වූයේ නැත. මේ සන්දර්භයේ මහා මාර්ග භාවිතයේ දී වෙනත් වාහන පදවන අයට හා පදිකයන්ට ගරු කිරීම ආදී ආකල්පමය වෙනස්කම් ද ජනතාවගේ පැත්තෙන් සිදු විය යුතු ය. හික්මීම සහ විනය පවත්වාගෙන යෑම අතිශය වැදගත් ය. පාරේ කෙළ ගැසීම, පොලිතින් පරිසරයට බැහැර කිරීම ආදි දේවල් පවා නතර විය යුතු ය.
රාජ්‍ය සේවය ගතහොත් එහි ආකල්පමය හා ව්‍යුහාත්මක වෙනසක් කළ යුතු ය. රාජ්‍ය සේවකයන් අතර ආකල්පමය වෙනස මේ වෙද්දිත් යම්තාක් දුරකට සිදු වෙමින් පවතින්නේය යනු මගේ නිරීක්ෂණය යි. පෙර දී සොරකම් කළ අය දැන් සොරකමට බියක් දක්වති. ඔවුන්ගෙන් බොහෝ දෙනා සොරකම් වැරැදි ක්‍රියාවක් ලෙස දැකීමට පටන් ගෙන ඇත. රාජකාරී කටයුතුවලදී අකාර්යක්ෂම වූ අය දැන් කාර්යක්ෂම වෙමින් සිටිති. ප්‍රමාද වී සේවයට වාර්තා කළ අය වේලාවට යෑමට පුරුදු ව සිටිති. සේවාවන් ලබා ගැනීමට රාජ්‍ය ආයතනවලට පැමිණෙන ජනතාවට පෙර දී ගෞරව නොකළ අය දැන් ගරු කිරීමට පටන් ගෙන ඇත. මෙම ආකල්ප වෙනස සිදු වෙමින් තිබේ.
එහෙත් ආකල්පමය වෙනස්කම්වලින් පමණක් වංචාව දූෂණය නතර කළ නොහැකි ය. ඒ සඳහා ව්‍යුහාත්මක වෙනස්කම් ද ඇති කළ යුතු ය. එය රජය පැත්තෙන් සිදු විය යුතු ය. රාජ්‍ය ආයතන වැඩ කරන පිළිවෙළ වෙනස් කළ යුතු ය. ඒ අරබයා ඇතැම් යල්පීනු නීති වෙනස් විය යුතු ය. සමහර නීති හා අණ පනත් සම්මත කොට ඇත්තේ 19 වැනි සියවස තරම් ඈත කාලයේ දී ය. ඉඩම් ආඥා පනත 1852 දී සම්මත වූවකි. රාජ්‍ය ආයතනවලට අදාළ පරිපාලන හා මූල්‍යමය නීති වෙනස් කිරීම වැදගත් ය. ඊට හේතුවක් තිබේ. එනම්, මෙම පරිපාලන හා මූල්‍යමය නීති සකස් කර තිබෙන්නේ රාජ්‍ය නිලධාරීන් රජයේ මුදල් සොරකම් කිරීමට හා අවභාවිත කිරීමට ඉඩ ඇතිය යන උපකල්පනය මත සහ එය වැළැක්වීමේ අරමුණිනි. එහෙත් මේ නීති සමග තවදුරටත් ඉදිරියට යා නොහැකි ය. විශ්වාසය මත පදනම් වූ රාජ්‍ය සේවයක් ගොඩනැගිය යුතු ය. එය නොකර කෙදිනකවත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කළ නොහැකි ය. නිලධාරිවාදය ද රාජ්‍ය සේවය අකාර්යක්ෂම වීමට බලපා ඇති ප්‍රබල හේතුවකි. ඇතැම් ව්‍යාපෘති ආරම්භ කිරීමේදී ස්ථාන ගණනාවකින් අනුමතය ගැනීමට සිදු වෙන අතර ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වේ. මේ තත්ත්වය ද වෙනස් විය යුතු ය.
(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)
ප්‍රවීණ ගීත පද රචකයකු, ගුවන්විදුලි සන්නිවේදකයකු, විචාරකයකු ලෙස නූතන පරපුරේ සම්භාවනාවට පත් සුගත් සෝමවීර මහතාගේ නවතම ගේය කාව්‍ය සංග්‍රහය “මතක මඩකඩ” නම
වසර 1948 පෙබරවාරි 4 වැනි දින හිමි වූ නිදහස අර්ථාන්විත ද යන්න ගැන විවාදයක් තිබේ. නිදහස ලැබීම යන්න ශාස්ත්‍රීය සාකච්ඡාවකට ලක් කිරීමේ දී සැලකිල්ලට ගත යුතු කාර
“සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනයක් තුළින් සමාජය ඉහළ තලයකට ඔසවා තැබීමේ” අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා මුලපිරීම දියත් කරන බව ජනාධිපති අනුර කුම
බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ අනු නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති හා කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක වශයෙන් කටය
පසුගිය මාස කිහිපය තුළ රටේ ඇති වී තිබෙන සහල් අර්බුදයට තම ආණ්ඩුව වගකිවයුතු නැතැයි ජාතික ජනබලවේගයේ නායකයන් කරන ප්‍රකාශ සත්‍යය.
මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ දේශපාලනයේ කිසියම් වෙනස් තත්වයක් පෙනෙන්නට තිබෙන පරිසරයකය. ‘‘වෙනස් තත්වයක්’’ යැයි මා කියන්නේ දේශපාලන බලයේ වෙනසක් සිදු වෙ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වෙනසක් අවශ්‍ය යුගයක්