IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


විපක්‍ෂයේ අප අතරේවත් සන්ධානයක් නෑ

19 ව්‍යවස්ථා සංශෝධනය, ඒ ගැන ජනපති මතය, ජනපති අපේක්ෂකත්වයට චමල් රාජපක්ෂ මහතා යෝජනා කිරීම, ගෝඨාභය සමඟ කළ සාකච්ඡාව, ශ්‍රීලනිප අපේක්ෂකයා, පාස්කු ප්‍රහාරයේ කාරක සභා ගමන හා ජවිපෙට ඇති විවේචනය ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ නව වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතායි.

ප්‍රශ්නය:- 19 වැනි සංශෝධනය රටට අහිතකර බවත් ඊළඟ දේශපාලන ඉලක්කය විය යුත්තේ එය අහෝසි කිරීම බවත් ජනාධිපතිවරයා පසුගියදා පැවසුවා. පක්ෂයක් හැටියට මේ ගැන දරන ස්ථාවරය කුමක් ද?

පිළිතුර:- ව්‍යවස්ථා සංශෝධන දෙස බැලිය යුත්තේ දිගුකාලීන සංකල්පමය කෝණයකින්. ඒ කියන්නේ අපට ඕනෑ ජනාධිපති ආණ්ඩුවක්ද පාර්ලිමේන්තු ආණ්ඩුවක්ද කියා බැලිය යුතුයි. මේ ආණ්ඩු දෙකේ තිබෙන වෙනස අපි කවුරුත් දන්නවා. විධායක බලය තිබිය යුත්තේ සාමූහික බලයේ ප්‍රකාශනයක් හැටියට යැයි අපි විශ්වාස කරනවා. ආණ්ඩුක්‍රමය පදනම් විය යුත්තේ පාර්ලිමේන්තු බලය මතයි. 19 සම්මත වුණේ ඒ සඳහා යන ගමනේ අතුරු පියවරක් හැටියටයි. අපිත් ඊට එකතු වුණේ ඒ පදනමින්. 

ප්‍රශ්නය:- එහෙත් ජනාධිපතිවරයාත් එයට සහයෝගය පළ කළා. මෙවැනි තීරණාත්මක ව්‍යවස්ථා සංශෝධනයකට සහාය දී පසුව එය විවේචනය කිරීම කොයි තරම් දුරට සදාචාරවත්දැයි ඔබ හිතනවද? 

පිළිතුර:- ඒ කට්ටිය මේ ප්‍රශ්නය බලන්නේ ක්ෂණිකව මතුව තිබෙන ගැටලු ඇසුරෙන්. ජනාධිපතිවරයාගේ බලය දැන් යම් ආකාරයකට සීමාකරලා තිබෙනවා. කොතරම් සීමා කරලාද කිව්වොත් නීතිය හා සාමය බාර ඇමැති වුණත් පොලිස්පතිවරයා අක්‍රිය මොහොතක ඔහුට එරෙහිව පියවර ගැනීමට ජනාධිපතිවරයාට බෑ. මේවා පරස්පර ගැටලු. අප කළයුත්තේ මේවා විසඳාගෙන ඉදිරියට යෑම මිස ආපස්සට යෑම නෙවෙයි. ජනාධිපති බලතල අඩුකිරීම නිසා ආණ්ඩුකරණ ක්‍රියාවලියේ යම් ප්‍රතිවිරෝධතා හටගෙන තිබෙනවා. එය අප ඉදිරියට ගෙනයනවා නම් ජනාධිපති බලතල මුළුමනින් අහෝසි කිරීම දක්වා යා යුතුයි. මේ තිබෙන පරස්පරතා නැතිවන්නේ එතකොටයි. 

ප්‍රශ්නය:- එය සෙනෙට් ක්‍රමයක් ද? 

පිළිතුර:- නෑ. 1972 තිබුණු පැරැණි පාර්ලිමේන්තු ක්‍රමය. 

ප්‍රශ්නය:- මහමැතිවරණයක් ඉල්ලමින් සිටි ඒකාබද්ධ විපක්ෂය දැන් ජනාධිපතිවරණයක් ඉල්ලනවා. මොකද්ද මේ පීලි මාරුව?

පිළිතුර:- මම නම් ඉන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන මතයේයි. පක්ෂයේ අදහසත් එයයි. එමගින් අපට අලුත් ජනවරමක් සහිතව අලුත් ආණ්ඩුවක් පිහිටුවිය හැකියි. ඇත්තටම පවතින ඡන්ද ක්‍රමයෙන් ස්ථාවරභාවයක් සහිත ආණ්ඩුවක් හැදීමේ නොහැකියාවක් තිබෙනවා. සමානුපාතික ක්‍රමයේදී මන්ත්‍රීවරුන් පත්වන්නේ එක පාර්ශ්වයකට පැහැදිලි බහුතරයක් ලැබෙන ආකාරයට නෙවෙයි. බහුතරය හැදෙන්නේ අවස්ථාවාදී ලෙස සිදුකරන පැති මාරු කිරීම් සමගයි. 

ප්‍රශ්නය:- 19 ගැන කතා කරද්දී ආණ්ඩු පක්ෂයට හිතවාදී හා විරුද්ධ මතධාරී ඇතැම් නීතිවේදීන් පවා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම අහෝසි කොට අලුත් ව්‍යවස්ථාවක් හැදිය යුතු යැයි කියනවා. නීතිඥයකු හැටියට මේ තර්කය පිළිගන්නවද? 

පිළිතුර:- එක පැත්තකින් පාර්ලිමේන්තුව පවා ආණ්ඩුවක් ස්ථිරසාරව ගෙනයාමට අපහසු තැනක ඉන්නවා. අනෙක් අතට විධායක බලයේ ඇතැම් කටයුතු කොමිෂන්වලට හා ව්‍යවස්ථා සභාවට පැවැරී තිබෙනවා. මෙය ගැලපිය නොහැකි තත්ත්වයක් බව මා පිළිගන්නවා. එතැනදි අප කළයුත්තේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනඒමට වඩා තිබෙන ව්‍යවස්ථාවේම පරිවර්තනයකින් පාර්ලිමේන්තු බලයක් කරා ගෙනයෑම හා පාර්ලිමේන්තුවෙන් ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කළ හැකි ආකාරයේ ඡන්ද ක්‍රමයකට යෑමයි. 19 ගෙනෙද්දි මැතිවරණ ක්‍රමයේ වෙනසක් සඳහා 20 වැනි සංශෝධනයකුත් ගේන්න පොරොන්දුවක් තිබුණා. ඒ අනුපාත ක්‍රමයේ මිශ්‍රණයක් ආකාරයට පැරැණි ක්‍රමයට යන්නයි. ඒක වුණේ නෑ. ඊට හේතුවුණේ එක්සත් ජාතික පක්ෂයෙන් එකඟතා නැතිවීම හා ආණ්ඩුවේ එක මතයක් නොවීමයි. 

ප්‍රශ්නය:- කෙළින්ම කිව්වොත් අගමැති ප්‍රමුඛ ආණ්ඩුවක්?

පිළිතුර:- ඔව්. මගේ ස්ථාවරය ඒකයි. මහජන නියෝජිතයන්ගේ බලයක්.   

ප්‍රශ්නය:- පක්ෂයක් හැටියට ජනාධිපති අපේක්ෂකයා චමල් රාජපක්ෂ විය යුතු යැයි අදහසක් පළ වුවා. මොකද්ද චමල්ට තැන දෙන්න භාවිත කරපු නිර්නායක? 

පිළිතුර:- ඔහු පළපුරුදු, මධ්‍යස්ථ ගුණයෙන් යුක්ත වූ හැකිතාක් දුරට අපක්ෂපාතී ලෙස තීන්දු ගැනීමට හැකි බව පෙන් වූ කථානායකවරයෙක් හැටියට අපේ රටේ යම් කීර්තියක් ලබාගත් කෙනෙක්. දෙවැනිව ඔහු මැද මාවතේ වමට බර දර්ශනය පිළිගන්නා නායකයෙක්. 

ප්‍රශ්නය:- හැබැයි ඒකාබද්ධෙ අතිබහුතරය කියන්නේ ගෝඨාභය රාජපක්ෂගෙ නමනෙ. ජනප්‍රියභාවය සාධකයක් නෙවෙයිද?

පිළිතුර:- ඔව්. ඒකත් ඇත්ත. හැබැයි අපේක්ෂකයකු වුණාම නිසග ජනප්‍රියභාවය ලැබෙනවා. එහෙම නැතිව ජනප්‍රියභාවය ඇති පුද්ගලයාම අපේක්ෂා කළ යුතුය යන මතයේ අප රැඳී සිටිය යුතු නෑ. කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය තුළ අපි පොදු එක තීරණයක් ගන්නවා. 

ප්‍රශ්නය:- රාජපක්ෂ පවුලේ විය ගහෙන් මිදෙන්නට ඒකාබද්ධ විපක්ෂයට නොහැකි වීම ප්‍රතිගාමී ලක්ෂණයක් යැයි ඇතැමුන් හඳුන්වනවා. ගෝඨා වෙනුවට චමල් එන්නේ වාසුදේව නානායක්කාරලාටත් එහෙම නිසාද? 

පිළිතුර:- අපි චමල් ගැන කතාකරන්නේ ඔහුගේම චරිතයේ ආවේණික ලක්ෂණනිසා මිස රාජපක්ෂවරයකු වීම නිසා නෙවෙයි. දීර්ඝකාලීන දේශපාලනයෙහි ඔහු ගැන ඔහු නියෝජනය කරන ප්‍රදේශයේම ගොඩනැගී ඇති විශ්වාසයත් ඔහුගේ දේශපාලන මතිමතාන්තරවලදී ඔහු ගත් ස්ථාවරයත්. 

ප්‍රශ්නය:- දැන් මේ අතරේ ගෝඨාභය රාජපක්ෂ සමඟත් ප්‍රතිපත්තිමය සාකච්ඡාවක් කළා. ඒකට වුණේ මොකද්ද?

පිළිතුර:- ඔහු අපේක්ෂකයා වීමට ඉඩ තිබේ නම් ඔහු සමග අපට පැහැදිලි කරගත යුතු කරුණු ගණනාවක් තිබුණා. අපේ දේශපාලන ස්ථාවර අනුව අපට ඔහු ගැන තිබූ පැමිණිලි අනුව ඔහු ගැන යම් මතයක් අපට තිබුණා. ඔහු මුණගැහිලා කළ සාකච්ඡාවෙන් ඒ කරුණු බොහොමයක් නිරාකරණය කරගැනීමට අපට හැකිවුණා. නමුත් ඔහුගේ ප්‍රතිපත්ති එලිදැක්වීමේදී වැඩිදුරටත් සාකච්ඡා කරන්නට අපට සිදුවේවි.  

ප්‍රශ්නය:- එහෙත් අපි දකිනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් අලුතින් නඩු ඇමෙරිකාවෙදි වැටෙනවා. දේශීය වශයෙනුත් නඩු ගණනාවක් විභාග වෙනවා. මෙවැනි තත්ත්වයකදී ඔහු සමග සාකච්ඡා කිරීම වැරැදි දෙයක් හැටියට ඇතැමුන් නගන චෝදනාවට පිළිතුරක් දිය හැකිද? 

පිළිතුර:- අපේ පක්ෂෙ ප්‍රශ්නයක් නෙවෙයි මේක. ඒකාබද්ධ විපක්ෂය තුළින් හෝ වෙනත් ආකාරයකින් ඔහු අපේක්ෂකයකු වුණොත් අපට මේ ප්‍රශ්නය බේරාන්න වෙන්නේ ඔහු සමඟ එකඟතාවන්ට පැමිණීමෙන්. ඔහු සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තීන්දුවක් ගැනීමේදී ඔබ කියන දේවල් සැලකිල්ලට ගත යුතු යැයි මාත් විශ්වාස කරනවා. 

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙනුත් දැන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නට නියමිතයි. ඡන්ද තුනට කැඩීම තුළ ශ්‍රීලනිපය හා ඒකාබද්ධය නෙවෙයිද අර්බුදයට යන්නේ? 

පිළිතුර:- අපට කිසිසේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ගැටෙමින් යන්න බෑ. ඒක අපි චමල් හා ගෝඨාභය මහත්තුරු දෙන්නටම කිව්වා. ශ්‍රීලනිපය සමඟ අපි කුමන හෝ ආකාරයකින් බේරුමක් ඇතිකරගත යුතුයි. එකක් අපට තුන් කොන් සටනකට මුහුණදෙන්න අමාරුයි. දෙවනුව යූ.එන්.පී විරෝධී ඡන්ද එක තැනකට ගොනු නොකර අපි කරන්නේ වරදක්. ගෝඨාභය මහතා අපේක්ෂකයා වෙනවා නම් වහාම ශ්‍රීලනිපය සම`ඟ එකතැනකට පැමිණියි යුතුයි. මේවා වෙන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ දෙපැත්තේ වුවමනාවේ තරම අනුවයි. අනෙක් අතට මෛත්‍රිපාල සිරිසේන මහතා ඊළඟ අපේක්ෂකත්වයටත් ඉදිරිපත් වී අපට ලැබෙන ඡන්දයෙන් කොටසත් ඉවත් කිරීමට චේතනාවක්ම තිබෙනවා නම් ඒක අපට වළක්වන්න බෑ. නමුත් ආණ්ඩු මාරුවෙන් පසුව පවා ඔහු එක්සත් ජාතික පක්ෂයට දිගින් දිගට කළ ප්‍රහාර හමුවේ ඒකාබද්ධ විපක්ෂයට ඔහුව ස්වාභාවික මිතුරා කරගන්න තිබුණා. අපි ඒක කළේ නෑ. ඒ මොකදැයි මම දන්නේ නෑ. 

ප්‍රශ්නය:- ඒ කියන්නේ ශ්‍රීලනිපය හා ඒකාබද්ධය හැටියට මෙතෙක් කල් කළ සාකච්ඡා බොරුවක් කියන එකම නේද? 

පිළිතුර:- ඒක අපට අදාළ නෑ. ඒකාබද්ධ විපක්ෂය හැටියට ලොකු දේශපාලන වරදක් වෙලා තියෙන්නේ. මෛත්‍රිපාල මහතාගේ එ.ජා.ප විරෝධීභාවය තීව්‍ර වීත් ඔහු ස්වාභාවික සගයා කරගෙන නෑ.  

ප්‍රශ්නය:- ඔබ එසේ කීවත් ඒකාබද්ධ විපක්ෂයටත් ජනාධිපතිවරයා පසුගියදා දැඩි විවේචනයක් කරමින් එ.ජා.පයේ තරුණ නායකත්වයක් ගැන දැක් වූ අදහස් මාධ්‍යවල වාර්තා වුණා. මේක ටිකක් පරස්පරයි නේද?

පිළිතුර:- එතැන තියෙන්නේ යා දෙක නොරත රත තත්ත්වයක්. ඒ දෙකේ පෑහීමක් වෙන්න බෑ. පුද්ගලයා නමින් ප්‍රේමදාස වුණත් වෙනත් නමක් වුණත් එක්සත් ජාතික පක්ෂයේ බලය මත රැඳී ඉදිරිපත් වන අයෙක් වුණාම අපේ සිරිසේන මහත්තයා බලාපොරොත්තු වන විශේෂත්වය එතැන ඉතිරි වෙන්නේ නෑ. එතකොට එතුමාගේ ඔය හිතේ තියෙන අදහස මහපොළොවේ දකින්න ලැබෙන්නේ නෑ. 

ප්‍රශ්නය:- ජූලි මාසය වෙද්දී මැතිවරණ ක්‍රියාවලියට අදාළ සන්ධාන සාකච්ඡාවල මූලික බේරාගැනීම කළ යුතු බව ඔබ මාධ්‍යට පවසා තිබුණා. ශක්තිමත් මැතිවරණ ක්‍රියාවලියකට අවතීර්ණ වීමට තරම් ඒකාබද්ධ විපක්ෂ සන්ධාන සාකච්ඡා සාර්ථක ද? 

පිළිතුර:- තවම නෑ. සිරිසේන මහත්තයා පැත්තකින් තියන්න. ඒකාබද්ධ විපක්ෂයේ එකට ඉන්න අපි අපි අතරෙවත් සන්ධානයක් ගොඩනැගිලා නෑනෙ. වැඩපිළිවෙලක් අනුමත වෙලත් නෑ. කෙටුම්පත් වෙලත් නෑ. අපේක්ෂකයෙක් පිළිබ`ඳ සාකච්ඡාව ආරම්භ වෙලත් නෑ. ජූලි මාසය අග වනවිට අපේක්ෂකයෙක් පිළිබ`ඳව හා සන්ධානය ගොඩනැගීම පිළිබ`ඳව තීරණයකට එන්නට හැකි වේ යැයි මම විශ්වාස කරනවා. 

ප්‍රශ්නය:- ඔක්තෝම්බර් ආණ්ඩු වෙනස ඇතැමුන් ව්‍යවස්ථානුකූල නීතියෙන් අර්ථකතනය කරද්දී ඔබ තමයි සෘජුව කිව්වේ මේක දේශපාලන ක්‍රීඩාවක් කියලා. ඒකාබද්ධ විපක්ෂය හැටියට තෝරපු දේශපාලන උපක්‍රම සාර්ථක වූවා යැයි ඔබ හිතනවද?

පිළිතුර:- අනිවාර්යෙන්ම. අපට ඕනෑ වුණේ එක්සත් ජාතික පක්ෂය හා සිරිසේන මහතා අතර තිබුණු දේශපාලන සම්බන්ධතාවය කඩන්නයි. ඒ කැඩීමේ ක්‍රියාදාමය අපි ඉදිරියට ගෙනැල්ලා අන්තිමේදී ඔක්තෝම්බර් 26 යථාර්ථයක් වුණා. එතැනින් එහා යන්න බැරිවුණේ උසාවි තීන්දුව නිසයි. 

ප්‍රශ්නය:- හවුල් ආණ්ඩුවක් හදනවා නම් ජනපති අගමැති තනතුරු දෙකෙන් එකක් ශ්‍රීලනිපයටත් ලැබිය යුතු බව එහි මහලේකම්වරයා පවසනවා. මේ ඉල්ලීම් පිළිගන්නවද?

පිළිතුර:- පවතින තත්ත්වය අනුව ආණ්ඩුවක් හසුරුවාගැනීමට නම් ආණ්ඩු පාලනයේ තනතුරුවලදි එවැනි බල බෙදුමක් අවශ්‍ය වෙනවා. ඒකාබද්ධ විපක්ෂය තුළත් එහෙමයි. 

ප්‍රශ්නය:- දූෂණයට එරෙහිව නිර්මාණය කළ ආණ්ඩුවටත් නැගෙන ලොකුම චෝදනාවක් වන්නේ රටට දැරීමට අපහසු තරම් ඇමැති මණ්ඩලයක් පත්කිරීමයි. හදන්නට නියමිත ආණ්ඩුවේ සංයුතිය ගැන වමේ එකමුතුව හදන වැඩපිළිවෙලෙහි සීමා මායිම් ලකුණු කර තිබෙනවද? 

පිළිතුර:- නෑ. අපේ වැඩපිළිවෙල තවමත් කෙටුම්පත් වී නෑ. එය කෙටුම්පත් වෙද්දී සීමිත ඇමැති මණ්ඩලයක් සමඟ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය ඇතිව ආණ්ඩුව ගෙනයන්නට උත්සාහ කරනවා. 

ප්‍රශ්නය:- පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන ඔබ මොකද හිතන්නේ? 

පිළිතුර:- යම් වැදගත් කාරණයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්කරනවා නම් හැම පක්ෂයක්ම එහි නියෝජනය විය යුතුයි. දැන් මේ කාරක සභාවෙ ඉන්නේ ආණ්ඩු පක්ෂය විතරයි. ආණ්ඩු පක්ෂයේ විවිධ පක්ෂ නම් නියෝජනය වෙනවා. 

ප්‍රශ්නය:- ජවිපෙ හා දෙමළ සන්ධානයත් සිටිනවා?

පිළිතුර:- ජවිපෙ කියන්නේ විපක්ෂයේ හිටියත් විවේචන සමගම ආණ්ඩුව එක්ක එකට වැඩ කළ පක්ෂයක්. පළල් වශයෙන් ගත්තම ඔවුන් ගමන්කරමින් ඉන්නේ ආණ්ඩුව සමගයි. ජේ.වී.පී වේවා මුස්ලිම් කොංග්‍රසය වේවා දෙමළ සන්ධානය වේවා සියලු දෙනා සංයුක්තව සිටින්නේ ආණ්ඩුව සමගයි. 

ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂය ඒකට ගියේ නෑ. නමුත් ආරාධනා තිබුණා?

පිළිතුර:- නොගියේ මේ කාරක සභාව පුද්ගලයන් සුද්ධ කිරීමේ අරමුණෙන් එහි අරමුණු වෙනස් කළ නිසයි. අනාවරණය කිරීමේ අරමුණින් එහි වගකීම ජනාධිපතිවරයාට පවරන ජනාධිපතිතුමාට එරෙහිව යම් ක්‍රියාදාමයක් එහි තිබූ නිසයි. 

ප්‍රශ්නය:- ජවිපෙ ආණ්ඩුව සමග ගමනක් යන බව කිව්වත් ඒකාබද්ධය තනි ඇමැතිවරයකුට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙද්දී සමස්ත ආණ්ඩුවට විශ්වාසභංගයක් ගෙනාවේ ජවිපෙයි. මේ චෝදනාවේ තර්කය කුමක් ද? 

පිළිතුර:- ජවිපෙ මේ ආණ්ඩුව හැදීමටත් එය පවත්වාගෙන යාමටත් එකට සිටියා. ඊටපස්සේ විපක්ෂය හැටියට කටයුතු කරමින් ආණ්ඩු පක්ෂය ගන්න තීරණත් එක්ක එකට වැඩ කළා. මම කිව්වේ ඒකයි. ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව තිබෙන මහජන මතය ඉදිරියේ අද ඔවුන් වඩාත් ආණ්ඩුව තදින් විවේචන කරන තැනකට සේන්දු වී තිබෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ මූලික ගතිලක්ෂණය වී තිබෙන්නේ අපට විරුද්ධවීමයි.

සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ



අදහස් (3)

විපක්‍ෂයේ අප අතරේවත් සන්ධානයක් නෑ

lalithm Monday, 01 July 2019 05:00 AM

ත්‍රීවීල් පක්ෂවල ඉන්න අයට තමා ජනපති අපේක්ෂකයා වැදගත්වෙලා තියෙන්නේ. ප්‍රධාන පක්ෂ තම තමන්ගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවා. තව ඔහොම යනකොටවත් අපේ ජනයාට මොලේ පෑදිලා මේ ත්‍රී වීල් කාරයෝ ටික පැන්නුවේ නැතිනම් ජාතික නායකයෙක් නිවැරදි විදියට බිහිවෙන්නේ නැහැ..

:       0       3

max Monday, 01 July 2019 09:36 AM

සිරිසේන මහතාද මේ ජරාජීර්ණ ආණ්ඩුවේම කොටසකි. එම නිසා ඔහුට එජාපය සමගම දේශපාලන වශයෙන් වැලලෙන්ට කියන්න. ඔබතුමාලා ගෝඨාභය මහතා පෙරටු කොට ගෙන ඉදිරියට යන්න. කුමන්ත්‍රණ කාරයන් නිසා ගෝඨා මහතාට ඉදිරිපත් වීමට නොහැකි වුවොත් විකල්පයක් වශයෙන් දිනේෂ් මහතා හොඳබවයි මගේ විශ්වාසය...

:       137       45

ජයන්ත Tuesday, 02 July 2019 05:06 AM

පළමුව ජනාධිපතිවරණය දිනා ගැනීමට නම් වාසු සහෝදරයාගේ මතයේ මම සිටිමි. ඒ නිසා පොහොට්ටුවේ අය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අය පැහැදිලිව තේරුම් ගත යුතු කාරණාව වන්නේ එජාපය පරාජය කිරිමට මේ සියළු කණ්ඩායම් රටේ අනාගතය නාමයෙන් එකට එකතු විය යුතු බවයි. මේ පක්ෂ දෙකේම සිටින හදවතින් කථා කරන අයගේ අදහස් ඉවත දැමිය යුතුයි.

:       35       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 611 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 969 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 139 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 388 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 556 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 927 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site