IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


විපක්ෂ නායක පුටුවේ හුටපටේ

දේශපාලන කරළියේ ඉකුත් සතිය පුරාවටම කතාබහ කෙරුණේ විපක්ෂනායක ධුරය සම්බන්ධයෙනි. විපක්ෂනායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙන්නැයි ඉල්ලීම් කෙරුණේ යහපාලන ආණ්ඩුව පිහිටවූ අලුතමය. එහෙත් කතානායකවරයා සහ ආණ්ඩු පක්ෂය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඉන්පසුව ටික කාලයකට ඒකාබද්ධ විපක්ෂය එම සටන් පාඨය අතහැර දමා සිටියේය. මෑතක සිට ඒකාබද්ධ විපක්ෂය නැවතත් පරණ සටන් පාඨය ඉදිරියට දැමීය. ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාටත් පිටත දී ආණ්ඩුවට බලපෑම් කරන්නට පටන් ගත්තේ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන විශාලතම මන්ත්‍රී කණ්ඩායම හිමි ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂනායක ධුරය ලබාදෙන ලෙස ය. 

 

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව හැත්තෑවකි. එම මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ‘බුලත් කොළය’ ලකුණින් තරග කිරීමෙනි. මේ අතර බුලත් කොළය ලකුණ යටතේම පාර්ලිමේන්තුවට තේරී පත්වූ තවත් මන්ත්‍රීවරුන් විසිතුන් දෙනෙක් ආණ්ඩුවේ ඇමැති ධුරවල කටයුතු කරමින් සිටිති. ආණ්ඩුවේත් විශේෂයෙන් ජනාධිපතිවරයාගේත් අදහස වී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු ලෙස තවදුරටත් කටයුතු කරමින් සිටින හෙයින් විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදිය නොහැකි බවය. එහෙත් ඒකාබද්ධ විපක්ෂය තර්ක පිට තර්ක ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරුන් දහසයක් සිටින දෙමළ ජාතික සන්ධානයට එම ධුරය හිමි නොවිය යුතු බවත් සඳහන් කළේය. කෙසේ වෙතත් බලපෑම් හා ඉල්ලීම් වැඩි වන්නට පටන්ගත් තැන කතානායකවරයා නීති  තර්කයක් ඉදිරිපත් කළේය. ඔහු කීවේ විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය විමසිය යුතු බවය.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති අමරවීරට කතානායකවරයා ලිඛිත දැනුම්දීමක් කළේය. එම ලිපියෙන් විමසා තිබුණේ විපක්ෂනායක ධුරය හිමිවිය යුත්තේ කුමන පාර්ශ්වයකටදැයි පක්ෂයේ අදහස් හා ඊට හේතූන් දන්වා එවන ලෙසය. කරළියේ උණුසුම ඉහළ යද්දී මහින්ද අමරවීර, දුමින්ද දිසානායක සහ ජනාධිතිවරයා විටින් විට හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. ජනාධිපතිවරයාගේ අදහසවී තිබුණේ ආර්. සම්පන්දන් මහතා තවදුරටත්  විපක්ෂ නායක ධුරයේ කටයුතු කළ යුතු බවය. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් දේශපාලන පක්ෂවල නායකයන්ගේ ද අදහස් විමසීමෙන් අනතුරුව මහින්ද අමරවීර කතානායකවරයාට දැනුම් දුන්නේ සම්පන්දන් මහතා තවදුරටත් විපක්ෂ නායක ධුරයේ කටයුතු කළ යුතු බවය. එහෙත් සන්ධාන ලේකම්වරයාගේ අදහස පිළිගන්නට ඒකාබද්ධ විපක්ෂය කිසිසේත් සූදානම් වූයේ නැත. අවසානයේ දී ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේ අවසන් අවස්ථාව ලෙස කතානායකවරයා තීන්දු කර අත්තේ නීති උපදෙස් ලබා ගැනීමය. ඒ අනුව විපක්ෂ නායක පුටුවේ අයිතිය සම්බන්ධයෙන් වන අවසන් තීරණය ලබන සතියේ දී  ප්‍රකාශයට පත්වීමට  නියමිතය. විපක්ෂ නායකවරයාගේ අර්බුදය ඇඟේ ගා ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේ නැත. ප්‍රශ්නය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටම බේරා ගැනීමට එක්සත් ජාතික පක්ෂය ඉඩ හැර සිටියේය. එහෙත් එජාපයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කර තිබිණි. විපක්ෂ නායක ධුරය දෙමළ සන්ධානයට ලබා දුන්නේ ඉතා දුරදිග හිතලා. ලංකාවේ තියෙන්නේ ජාතික ආණ්ඩුවක්.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුවෙලා ආණ්ඩු කරන එක විශේෂ අවස්ථාවක්. ඒ අනුව දෙමළ සන්ධානයට විපක්ෂ නායක ධුරය ලබාදීම සංහිඳියාව ගොඩනගමින් ආණ්ඩුව යන ගමනට  රුකුලක්. ජාත්‍යන්තරයේ විශ්වාසය හා හොඳ හිත තහවුරු කර ගැනීමට ඒකෙන් අවස්ථාවක් ලැබුණා යැයි ඔහු විස්තර කර තිබිණි. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ තර්කය හා අදහස ඊට වෙනස්වී තිබේ. ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත වුණාට පස්සේත් නිමල් සිරිපාල වික්ෂ නායක ධුරයේ හිටියා. නිමල් සිරිපාලට හොඳ විපක්ෂ නායක ධුරය දිනේෂ් ගුණවර්ධනට නරක්වන්නේ  කොහොමදැයි උදය ගම්මන්පිල ප්‍රශ්න කළේය. 

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ ඉහළ පෙළේ ආරංචිමාර්ග සඳහන් කළේ විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ එතරම් උනන්දුවක් නැති බව ය. ‘තව අවුරුද්දකට ඔය විපක්ෂ නායක ධුරය ඇති වැඩක් නැහැ. ඊට වඩා ආණ්ඩුවට බලපෑම් කරන්න දේවල් තිබෙනවා. අපි ආණ්ඩුවක් හදන්න ඕනේ’ යැයි මහින්ද රාජපක්ෂ සඳහන් කර තිබිණි. තවත් ආරංචිමාර්ගයකින් කියැවුණේ දිනේෂ් ගුණවර්ධනට විපක්ෂ නායක ධුරය ලබාදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේම පිරිසක් අසතුට දක්වන  බවය. 

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර තිබෙන අර්බුද මේ වනවිට එළියට එමින් තිබෙන බවක් පෙනෙයි. මහින්දානන්ද අලුත්ගමගේ සහ කුමාර වෙල්ගම මන්ත්‍රීවරු එළිපිටම එකිනෙකා විවේචනය කර ගත්හ. මීට අමතරව පවිත්‍රා වන්නිආරච්චි සහ රංජිත් සොයිසා අතර ද නොහොඳ නෝක්කාඩුවක් මෝදුවෙමින් පවතී. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම අතින් පවිත්‍රා වන්නිආරච්චි ජ්‍යෙෂ්ඨයකු වන අතර එම දිස්ත්‍රික්කයේම මන්ත්‍රීවරුන් වන රංජිත් සොයිසා ඒකාබද්ධ වික්ෂය තුළ ජනප්‍රිය වීම සම්බන්ධයෙන් එම ගැටලුකාරී තත්ත්වය හටගෙන ඇතැයි රත්නපුරයේම දේශපාලකයෝ නිර්වචනය කරති. කෙසේ වෙතත් ඒකාබද්ධ වික්ෂයේ නායකයෝ එම මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලක ගැටලු ඔවුන්ට විසඳා ගැනීමට හෝ ස්වභාවිකවම විසඳී යාමට ඉඩ තබා සිටියහ. එහෙත් ප්‍රශ්න වඩාත් දුරදිග යාමට පටන් ගෙන ඇති හෙයින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තීන්දුවක් ගෙන තිබේ. ඒ රංජිත් සොයිසාත් පවිත්‍රා වන්නිඅරච්චිත් නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයට කැඳවා කරුණු සාකච්ඡා කිරීමට ය. කුමාර වෙල්ගම සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් ද එලෙසම නෙළුම් මාවත කාර්යාලයට කැඳවීමට නියමිතය. ඒකාබද්ධ විපක්ෂයේ නායකයකු සඳහන් කළේ හිටපු ජනාධිපතිතුමා සාම සාකච්ඡා පැවැත්වීමට තීරණයක් ගෙන තිබෙන බවය. 

ආණ්ඩුවෙන් ඉවත්ව ගිය දහසයේ කණ්ඩායමෙන් දයාසිරි ඉවත්යාම නිසා එම කණ්ඩායම පහළොවේ කණ්ඩායම’ බවට පත්ව තිබේ. පහළොවේ කණ්ඩායම ප්‍රථම වතාවට ඉකුත් සිකුරාදා කොළඹ පැවැති විරෝධතාවයට එක්විය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම විරෝධතාවයට ජෝන් සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි සහ අනුර ප්‍රියදර්ශන යාපා එක්ව සිටියහ. එහිදී ජෝන් සෙනෙවිරත්න සඳහන් කළේ ‘ගලේ කෙටුවාක් මෙන් අපි ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමගයි’ කියාය. 

මේ අතර ඒකාබද්ධ විපක්ෂය ලහි ලහියේ සූදානම් වෙමින් සිටින්නේ මීට පෙර සූදනම් කොට කල්දැමූ විරෝධතාව පැවැත්වීමටය. සැප්තැම්බර් මස පස්වැනි දින ‘ජනබලය - කොළඹට’ නමින් එම විරෝධතාවය පැවැත්වීමට සූදානම් කර තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කළේ දිවයිනේ ප්‍රධාන නගරයක සිට දින කිහිපයක් තිස්සේ කොළඹට පා ගමනින් ජන ගංගාවක් ගෙන්වන බවය. 

පළාත් සභා මැතිවරණය කල් දැමීම හා පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව නැගූ චෝදනා මැතිවරණ කොමිසම ඉකුත් දිනවල තරයේ ප්‍රතික්ෂේප කළේය. නව පනතේ අඩුපාඩු පාර්ලිමේන්තුවෙන් සකස් කරදෙන තුරු හෝ පැරණි පනත බලාත්මක කරදෙන තුරු මැතිවරණ කොමිසමට කළ හැක්කක් නැති බවය. එහෙත් ඒකාබද්ධ වික්ෂය දිගින් දිගටම චෝදනා කළේ අවශ්‍ය නම් මැතිවරණ කොමිසමට පැරණි පනතට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවය. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තිබෙන බව ද ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ පැවසූහ. 

මේ අතර මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත්දා මැතිවරණ කොමිසමට පැමිණ සභාපති මහින්ද දේශප්‍රිය හමුවී විශේෂ ලිපියක් බාරදුන්නේය. එහි සඳහන්ව ඇත්තේ පැරණි පනතට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කොමිසම පියවර ගතයුතු බවය. ඒ සම්බන්ධයෙන් වන නීති ප්‍රතිපාදන පිළිබඳව ද මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිවරණ කොමිෂන් සභාවට පැහැදිලි කර දී තිබිණි. මහාචාර්ය පීරිස්ගේ අදහස වී ඇත්තේ 2017 අංක 17 දරන පළාත් සභා සංශෝධන පනත හෙවත් අලුත් පනත තවම ක්‍රියාත්මක නොමැති හෙයින් පැරණි පනතට අනුව මැතිවරණය පැවැත්විය හැකි බවය. අර්ථ නිරූපන පනතට අනුව එවැනි අවස්ථාවක පැරණි පනත ක්‍රියාත්මක බව ද මහාචාර්ය පීරිස් නීති තර්ක මගින් මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේය. 

මහාචාර්ය පීරිස්ගේ පැහැදිලි කිරීමෙන් පසුව කොමිෂන් සභාවේ සාමාජිකයෝ ඒ සම්බන්ධයෙන් වඩාත් උනන්දුවක් දැක්වූහ. ඔවුහු ඉකුත් සඳුදා සහ අඟහරුවාදා රැස්වී මැතිවරණ කොමිසමේ නිලධාරීන් ද රැස්වී මැතිවරණ කොමිසමේ නිලධාරීන් ද එක්කර ගනිමින් දීර්ඝව සාකච්ඡා කළෝය. ඒත් කොමිසමට ස්ථිර තීන්දුවකට එළැඹීමට නොහැකි වී තිබේ. කොමිසමේ නිලධාරියකු සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාව පත්ව ඇත්තේ ‘මඟ හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී’ වගේ තත්ත්වයකට බවය. පැරණි පනතට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නාමයෝජනා කැඳවුවහොත් ඊට එරෙහිව කිසියම් පාර්ශ්වයකට අධිකරණය හමුවට යා හැකිය. එසේ වුවහොත් නඩුව අවසන් වන තුරු ඡන්දය කොහොමටත් තියා ගන්න බැහැ. ඡන්දය කල් දාන්න කැමැති පිරිස්වලට ඒක තවත් හොඳ අවස්ථාවක් වේවි යැයි ද මැතිවරණ කොමිෂන් සභාව සාකච්ඡා කර තිබිණි. මැතිවරණ කොමිෂන් සභාව එසේ සැක කිරීම හෝ උපකල්පනය කිරීම හෝ සාධාරණය. ඉකුත් ආණ්ඩු සමයේ අවසන් වරට පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේ දී පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන පළාත් පාලන ආයතන දෙකේ ඡන්දය පැවැත්වීමට නොහැකි විය. ඉන්පසුව ඒ සම්බන්ධයෙන් ඉතා දීර්ඝ නඩු විභාගයක් පැවැත්වූ අතර එය වසර කිහිපයක්ම ඇදී ගියේය. එහෙත් එම මැතිවරණය පැවැත්වීමට හැකි වූයේ නැත. ඒ අනුව මැතිවරණ කොමිසම බිය පළ කරනුයේ පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට පියවර ගතහොත් ඡන්දය තව තවත් කල්යනු ඇති බවටය. මීට අමතරව මහාචාර්ය පීරිස්ගේ තර්කය පිළිගත නොහැකි බවට ද මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් කරුණු දක්වා ඇතැයි වාර්තාවේ. ‘සීමා නීර්ණය කමිටු වාර්තාව හැදුවා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. හැබැයි සම්මත වුණේ නැහැ. ඒනිසා සමාලෝචන කමිටුවක් පත් කළා. එහි කටයුතු සිදුවෙනවා. ඒනිසා කොහොමද අපි කියන්නේ අලුත් පනත ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. අලුත් පනත සම්මත වුණා. ඒ පනතට අනුව කළ යුතු දේ ක්‍රියාත්මක වෙනවා. මේ නිසා අර්ථ නිරූපන පනතේ ප්‍රතිපාදන සලකන්න බැහැ’ යැයි ද මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයා පෙන්වා දී තිබිණි. 

දේශපාලන ලෝකයේ හැල හැප්පීම් නැති යුගයක් සොයා ගැනීම අසීරුය. එය දේශපාලනයේ ස්වභාවය වේ. වර්තමානයේ තත්ත්වය එයමය හිටපු මුදල් ඇමැති රවි කරුණානායක ආණ්ඩුවත් සමඟ දැඩි අමනාපයකින් පසුවන බවක් පෙනේ. ඔහුට ඇමැති ධුරය අහිමි කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සමඟත් මාස කිහිපයකින් පසුව ඇමැති ධුරයක් ලබාදෙන බවට පොරොන්දු වී එය ඉටු නොකිරීම පිළිබඳව අගමැතිවරයා සමඟත් රවි කරුණානායක අමනාපයකින් පසුවන බවත් පෙනේ. රවි කරුණානායක වක්‍රව විටින් විට ආණ්ඩුවට වාග් ප්‍රහාර එල්ල කරමින් සිටියි. රවි කරුණානායක රාවුෆ් හකීම් ඇමැතිවරයාත් තැතින් තැන කරන කතාවලින් ආණ්ඩුවේ ඉරි තැලීමක් තිබෙන බවත් පැහැදිලි වේ. ඉකුත්දා කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් රවි කරුණානායක කීවේ ‘මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයකු විධායක උපසභාපති ධුරය දරන සමාගමකට රුපියල් කෝටි 1000ක ණයක් ලබා දුන්නේ කෙසේද? කියාය. ලක්ෂ දහයක ණයක් ගන්න ගියොත් ලක්ෂ විස්සක වත්කම් ඉල්ලන රටේ නැගෙනහිර පළාත නියෝජනය කරන ආණ්ඩුවේ තවත් ඇමැතිවරයකුටත් සලකලා තියෙනවා. ඒ ඇමැතිට අයිති සමාගමකට රුපියල් මිලියන 400 ක ණයක් දෙන්න යන බවත් වාර්තා වෙනවා. 

එවැනි තීන්දු ගන්න බැංකුවල අයිතිකරුවන්ට එරෙහිව කටයුතු කරන්න මහ බැංකුවට කොන්දක් නැහැ යැයි ද රවි කීවේය. හිටපු මුදල් ඇමතිවරයා හැම අවස්ථාවකම මහ බැංකුවේ නිලධාරීන්ට ඇඟිල්ල දිගු කරන්නේ රටේ ආර්ථිකය කඩාකප්පල් කරනුයේ මහ බැංකුවේ ලෝක්කන් බව කියමිනි. 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 28 වැනි නියෝජිත සමුළුව ඉකුත්දා  මහනුවර පොල්ගොල්ලේ දී පැවැත්විණි. එහිදී හකීම් ඇමැතිවරයා ආණ්ඩුවට ප්‍රහාරයක් එල්ල කළේය. ‘ආණ්ඩුව අලුත් පළාත් සභා පනතක් සම්මත කර ගත්තා. ඒකෙන් සුළු ජාතිීන්ට දැඩි අසාධාරණයක් සිදුවෙනවා. මේක සුළු ජාතීන්ට එරෙහි කුමන්ත්‍රණයක්. ඒක පරාජය කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් පොදු විපක්ෂය සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද හකීම් කීවේය. රවුෆ් හකීම් නව පළාත් සභා පනත පට්ට පතුරු ගැසුව ද ඇතැම් පිරිස් සඳහන් කරනුයේ ඔහුට යමක් අමතක වී තිබෙන බවය. අදාළ සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට රාවුෆ්  හකීම් ද සහාය දැක්විය. එම අවස්ථාවේ ඔහු විරෝධයක් දැක්වූයේ නැත. කෙසේ වෙනත් පළාත් පාලන මැතිවරණ ක්‍රමය මෙන්ම පළාත් සභා මැතිවරණ ක්‍රමය ද මේ වනවිට අච්චාරුවක් බවට පත්වී තිබෙන බව නම් පැහැදිලිය. 

ක්‍රීඩා අරමුදලක් ආරම්භ කිරීමේ උත්සවයක් ඉකුත් අඟහරුවාදා කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එම අවස්ථාව ඔලිම්පික් පදක්කම්ලාභිනි සුසන්තිකා ජයසිංහ ද පැමිණ සිටියාය. සුසන්තිකා උත්සවයට සහභාගි වූයේ ආරාධිතයකු ලෙසය. උත්සව සභාව ඇමැතීමට ද සුසන්තිකාට අවස්ථාව හිමිවිය. 

සුසන්තිකා සිය කතාව අතරවාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ප්‍රශංසා කළේය. සිය පදක්කම ලබාගැනීමට විදේශගතවීමට අවශ්‍ය අනුග්‍රහය ලබාදීමට අගමැතිවරයා එදා කටයුතු කළ බව සුසන්තිකා සිහිපත් කළාය. කතාව කිරීමෙන් අනතුරුව වේදිකාවෙන් බැස පහළ අසුන්ගෙන සිටි අග්‍රාමාත්‍යවරයා අසලට ගොස් වැඳ නමස්කාර කළාය. අගමැතිවරයා හෝ උත්සව සභාවේ සිටි කිසිවකු හෝ එවැන්නක් බලාපොරොත්තු නොවූ අතර එය අහඹු සිදුවීමක් විය. උත්සවය ආවරණය කිරීමට ගිය ඡායාරූප ශිල්පීන් කිසිවකුට එම අවස්ථාව ඡායාරූපගත කිරීමට හැකි වූයේ නැත. අගමැතිවරයා ද අතට අත දී සුසන්තිකාට සුහදතාවය පළ කළේය. 

බදාදා පස්වරුවේ දුම්රිය සේවකයන් හදිසියේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් දහස් ගණන් මගීහු පැය ගණනාවක් තිස්සේ අපහසුතාවට පත්වූහ. දුම්රිය සේවකයන්ගේ වැටුප් ගැටලුව විසඳීමට ප්‍රවාහන ඇමැතිවරයා ඉකුත් සතියේ පැවැති කැබිනට් රැස්වීමේ දී උත්සාහයක් ගත්ත ද මුදල් ඇමැති මංගල සමරවීර ඊට දැඩි විරෝධයත් දැක්වීය. නිමල් සිරිපාලගේ සහ මංගලගේ කඹ ඇදිල්ල නිසා දුම්රිය සේවක ගැටලු නොවිසඳුනු අතර එමගින් විශාල කලබගෑනියක් සිදුවිය. කෙසේ වෙතත් දුම්රිය සේවකයන් පිරිසකගේ මතය වී ඇත්තේ වෘත්තීය සමිති කිහිපයකගේ ඉල්ලීම අසාධාරණ බවය. කිසිදු පාර්ශ්වයක වැටුප් හෝ දීමනා වැඩි නොකිරීමට ඇමැති මංගල සමරවීර දැඩි තීන්දුවක පසුවෙයි. එක් කොටසකට පමණක් වැටුප් වැඩිකිරීම තවත් ගැටලු රැසකට  හේතුවිය හැකි බව ද මංගල සමරවීරගේ අදහස වී තිබේ. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් මංගලගේ තීන්දුවේ වෙනසක් ඇතිවිය හැකි බවය.



අදහස් (1)

විපක්ෂ නායක පුටුවේ හුටපටේ

ponil Tuesday, 14 August 2018 03:04 PM

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පිරිසක් ආණ්ඩුව සමඟ එකතු වූ පසු, ඉන් විපක්ෂයේ ඉතුරු වූ ගණන 53 කි. ඒ ගණන ද ඉතිරි විපක්ෂයේ පක්ෂ සියල්ල සතු ආසන ගණන වන 25 ට වඩා 28 කින් වැඩිය. එහෙත් විපක්ෂ නායකකම පිරිනැමුණේ ආසන 53 ක් හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොව 16ක් හිමි ද්‍රවිඩ ජාතික සන්ධානයට ය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම ලබා දුන්නේ ආසන 6ක් හිමි ජනතා විමුක්ති පෙරමුණට ය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට විපක්ෂ නායකකම ලබා නොදුන්නේ එම සන්ධානය හවුල් ආණ්ඩුව සමඟ සන්ධානගත වූ නිසා ය යන්න මත පදනම් වූ නෛතික කාරණයක් නිසා යැයි පාර්ලිමේන්තුව තුළ කතානායකවරයා සහ ජවිපෙ නායකයා මතු කරන තර්කය යුක්ති සහගත හෝ සාධාරණ එකක් නොවේ. නීතියත් පාර්ලිමේන්තුවත් ක්‍රියා කළ යුත්තේ යුක්ති සහගත බවේ සහ සාධාරණත්වයේ මූලධර්මය මත පදනම්ව ය. ප්‍රජාතන්ත්‍රවාදයේ හරය නැතහොත් හරයාත්මක ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව ය. ජනතා පරමාධිපත්‍යයට සහ ජනමතයට අනුකූලවය. මේ වන විට ආසන 70ක් ඇති ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ නිල පක්ෂයක් නොවේ යැයි කීම තුළ ඇත්තේ දේශපාලන සටකපටකමක් මිස නීතියේ ආධිපත්‍යය අන් හැමටම වඩා උත්තරීතර යැයි කීම හෝ ඊට අවනත වීම නොවන බවයි

:       2       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 141 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 173 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 128 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 182 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1730 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 789 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25454 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 984 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 347 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site