IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


විප්ලවීය වෙනසක් අවශ්‍ය ඇයි?

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික හා සමාජ වාතාවරණය නිරීක්ෂණය කරන විට පැහැදිලිව පෙනෙන කරුණක් තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි තරම ගැන ජන සමාජයට පැහැදිලි අවබෝධයක් නැත. වසරකට කලින් ඉතාම දුෂ්කර තත්ත්වයක් උද්ගතව තිබිණ.

ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය ස්ථාපනය කරන ලෙස ඉල්ලා බලකරන ලද ජන කොටස් මහ පාරට බැස අරගල කළහ. දේශපාලන පක්ෂ, ආගමික පසුබිම හෝ ජාතිය පසෙක තැබූ ඔවුහු නිවැරදි පිළිවෙළකට රට දියුණුකරන සේ බලකළහ. දළොස් මාසයක් අවසානයේ දී අරගලය ඉල්ලා සිටි පැවැත්ම ළඟාකරගෙන තිබේ ද? 

තෙල්, විදුලිය, අත්‍යවශ්‍ය භාණ්ඩ තරමක් මිල අඩු වී ඇත. උද්ධමනය පාලනය කරගෙන තිබේ. රුපියලේ අගය ශක්තිමත් වෙමින් පවතී. අලුත් අවුරුදු, වෙසක් සමරන ලද හා පොසොන් උත්සවයට සූදානම් වන අන්දම අනුව රටට බරපතළ ප්‍රශ්නයක් නැත. ගැඹුරින් නිරීක්ෂණය කළහොත් මෙය තාවකාලික අස්වැසිල්ලකි.

පිටරටින් ගත් ණය ගෙවන්නේ නැත. රටට අවශ්‍ය තරමට, විනිමය උපයන කර්මාන්ත හෝ ව්‍යාපාර ආරම්භ කරන අලුත් සැලැස්මක් නොපෙනේ. එදා වේල ගත කිරීම උත්තරයක් නොවේ. අරගලයේ අවසාන ඉලක්කය, දැනට පවතින ආර්ථික වාතාවරණය නම් රට දියුණු කරන අලුත් දර්ශනයක්, සංවර්ධනය හා දරුවන්ගේ අනාගතය උසස් කරන වැඩ පිළිවෙළ ගැන සාකච්ඡා කිරීම පලක් නැත.

දියුණු රටවල ජනතාව අත්විඳින ප්‍රතිලාභ දකින, හැකියාවක් ඇති පවුල් සියලු වත්කම් වැය කර, තම දරුවන්, විදේශ රටවලට යවති. එවැනි පියවරකට යා නොහැකි විශාල පිරිසක් සමාජ ක්‍රමයට වෛර කරමින් වෙසෙන අතර උසස් ජීවන තත්ත්වයක්, අපගේ ජීවිත කාලය තුළදීම ළඟා කරගත හැකි සංවර්ධනයක් වෙනුවෙන් සටන් නොකිරීම වරදකි. 

ධනය වැය කරන සමාජය සීමාවීම

පසුගිය වසරේ සියයට හත ඉක්මවන ඍණ ආර්ථිකයක පසු වූ ශ්‍රී ලංකාව මෙම වසරේ තවත් සියයට තුන ඉක්මවන අගයකින් ඍණ තත්ත්වයකට පත්වනු ඇති බව පුරෝකථනය වී තිබේ. 2024 වසර ගැන පවා විශාල අපේක්ෂා ඇතිකරගත නොහැක. මෙම කඩාවැටීම තුළ දුප්පත් ජනකොටස තවත් දුප්පත් වී ඇති අතර මැදි ආදායමක් ලබමින් සිටි පිරිසගේ ද ජීවන මට්ටම පහත වැටී තිබේ. දුප්පත් පොහොසත් පරතරය පුළුල් වී ඇත. ඉහළ සමාජයට ද අපහසුතා දැනේ. එදිනෙදා මිල දී ගැනීම්, අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා කරන වියදම පාලනය කරගන්නට සිදුවී ඇත. 

ගැටලු ඇති නමුත්, දැන් ගත කරන ජීවිතය දිගටම පවත්වාගෙන යෑම ද පහසු නැත. අවුරුදු ගණනක් තිස්සේ රටට අවශ්‍ය ආනයන නතර කර තිබේ. කර්මාන්ත ශාලාවල සිට යතුරු පැදිය නඩත්තු කිරීම දක්වා විශාල පරාසයක අමුද්‍රව්‍ය, කාර්මික උපකරණ සහ අමතර කොටස් නැත. මේවා ඇණවුම් කිරීම ආරම්භ කළහොත් විනිමය ප්‍රශ්න නැවත ඇතිවේ. ආනයන නතර කිරීමෙන් රජයට ලැබෙන ආනයන බදු අඩු වී ඇති අතර එම පරතරය පියැවීම සඳහා වෙනත් බදු නංවා ඇත. උපයනවිට බදු තවත් වැඩි කිරීම හෝ වත්කම් බදු නංවන්නට ඉදිරියේ දී සිදුවිය හැකිය. 

ශ්‍රී ලංකාවට ණය සපයන ලද ජාත්‍යන්තර ප්‍රජාව අවුරුද්දකට වැඩි කාලයක් පොලිය හෝ වාරික ලබාගත නොහැකිව සිටී. එම ණය ගෙවන්නට අලුත් ධනය උත්පාදනය කළ යුතුව ඇත. විදේශගත පිරිස එවන විනිමය හා සංචාරක කටයුතුවලින් ලැබෙන ආදායම ක්‍රමයෙන් ඉහළ යන නමුත් එය කිසිසේත් ප්‍රමාණවත් නැත. මැතිවරණ පවත්වන්නට වත්කමක් නැති තැනට පත්ව ඇති අවස්ථාවක දේශීය හා විදේශීය ණය ද ගෙවමින් අලුතින් ආනයන ආරම්භ කළහොත් උද්ගත විය හැකි අවදානම ගැන අවධානය යොමු කළ යුතුව තිබේ. දැනට ඇති අතරමැදි කාලය තුළ ගැඹුරු හුස්මක් ගෙන ඉක්මනින් වැඩ කළහොත් පරිවර්තන යුගයකට අවස්ථාව පවතී.

චක්‍රීය උගුලකට අභ්‍යන්තරව හසු වූ අවස්ථාවක්

ආර්ථිකය ගොඩනැගීම අරමුණු කරගත් ධනය උපයන ක්‍රමෝපාය අවශ්‍යය. ආණ්ඩුවකට එය කළ නොහැක. ආණ්ඩුවේ ආයතන පවා අකාර්යක්ෂම, අධික පාඩු ලබන තත්ත්වයක තිබිය දී තවත් ව්‍යාපාර හෝ කර්මාන්ත කළ නොහැක. පෞද්ගලික අංශයට ඉඩ දීම හෝ විදේශ ආයෝජන කැඳවිය යුතුව තිබේ. රජයේ ව්‍යාපාර පෞද්ගලීකරණය කර ඒවායේ කාර්යක්ෂමතාව, තාක්ෂණය හා ආදායම් ඉලක්ක වැඩිකරගත යුතු නමුත් සමාජයේ ඇතැම් කොටස් ඒ ගැන වැඩි පිළිගැනීමක නැත. ආණ්ඩුවේ සහන අපේක්ෂා කරන අතර අවසානයේ ආර්ථිකයට ප්‍රශ්න ඇති කර තිබේ. 

කෙසේ නමුත් පවතින සංකීර්ණ ව්‍යුහය ආයෝජන හිතකර නැත. ඉහළ බැංකු පොලිය ප්‍රාග්ධනය සපයා ගැනීමේ දී ගැටලු ඇති කරයි. අධික පොලියකට ණය ගත් පසු නිපදවන භාණ්ඩවලට එම පොලී වියදම ද ඇතුළත්ය. විදුලිය, ඛණිජ තෙල් ඇතුළු බලශක්තිය සඳහා වෙනත් රටවලට වඩා වියදමක් දරන්නට සිදුවේ. ඉන්ධන ආනයනය අඩු වී ඇති අතර එය කර්මාන්ත අංශයේ ක්‍රියාකාරීත්වය පාලනය වී ඇති බවට සාක්ෂියකි. රජයේ බදු තවත් ප්‍රශ්නයකි.

සුළු ව්‍යාපාරයකට හෝ ඉඩමක් මිල දී ගැනීම, රජයේ අනුමැතිය සහ ඉදිකිරීම් කටයුතු පහසු නැත. දේශීය කුඩා ව්‍යාපාර ඇති කරන අවකාශය නිර්මාණය කිරීම ද කළ යුතු නමුත් පවතින රාමුව තුළ එම අංශයට ද බාධා පවතී. දේශපාලන අංශ නිතර සඳහන් කරන දූෂණ හා වංචා ද මෙහි කොටසකි. මේවා පුළුල්ව සලකා බලා අවශ්‍ය වෙනස්කම් කරන්නට බල නොකළහොත් වාතාවරණය වෙනස් කළ නොහැක.

අලුතින් යමක් නොකිරීම තුළ ඉගෙනගන්නා දරුවන්ට රක්ෂා සැපයෙන්නේ නැත. විශ්ව විද්‍යාලවලින් උපාධිය අවසන් කළ පසු රැකියා නොලැබුණහොත් යළිත් වර්ජන හා විරෝධතා බහුලවිය හැකි අතර උපාධිධාරීන් රජයේ රැකියාවලට බඳවා ගැනීම, රජයේ සේවය කරන පිරිස තවත් ඉහළ යෑමට හේතුවකි. දැනටත් රජයේ ආදායමෙන් සියයට හැත්තෑවකට වඩා වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් වැය කරන පසුබිම තුළ රජයේ බඳවා ගැනීම් ඇරඹුවහොත් නැවත වටයකින් බදුවලින් වන්දි ගෙවන්නට මහජනතාවට සිදුවිය හැකිය.

රැකියා සීමාවන පසුබිම තුළ තරුණ පිරිස් රට හැර යෑම තවත් ඉක්මන් කරන අවදානමක් තිබේ. ඕනෑම ක්‍රමයකින් රටින් පිටවීමට බලා සිටින පිරිස සැලකිය යුතු ප්‍රතිශතයකි. ශ්‍රී ලංකාවේ තරුණ ශ්‍රම බලකාය ජනගහනයේ වැඩිම ප්‍රතිශතය වශයෙන් තිබුණු කාලයේ දී යුද්ධයක් පැවැතිණ. තරුණ ශ්‍රමය වැය කළේ යුද්ධයකටය. උතුරේ සහ දකුණේ ගැටුම් පසුව ත්‍රස්තවාදය දක්වා පැතිරෙන්නට බලපෑ හේතුවලට පිළියම් යොදා නැත. ආර්ථිකය ගොඩනගන්නට අලුත් කර්මාන්ත හෝ ව්‍යාපාර අරඹනවිට, තරුණ ශ්‍රම හිඟය ද රටට ප්‍රශ්නයක් විය හැකිය. මේවා එකිනෙකට ගැට ගැසුණු සංකීර්ණ තත්ත්වයන්ය.

සම්ප්‍රදායික රාමුව පුළුල්කරන සැලැස්මක්

සම්ප්‍රදායික රාමුව තුළ පවතින ගැටලුවලට උත්තර නැත. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ, දේශපාලන නායකයන් අවුරුදු හැත්තෑ පහකට පසු පවා සුපුරුදු වචනවලින් එපිටට ගමන් නොකිරීම පවතින අර්බුදයේ එක කොටසකි. ලෝකය වෙනස් වී ඇත. කොවිඩ් වසංගත කාලයට කලින් තිබුණ තාක්ෂණික, කාර්මික හා සේවා අංශ අද යල්පැන ගිය තත්ත්වයට පත්ව ඇත. පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය, ඩ්‍රෝන තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය වැනි අංශ පෙරමුණ ගෙන තිබේ. පැරණි ව්‍යුහයේ කෘෂිකර්මාන්තය හෝ කර්මාන්ත ශ්‍රී ලංකාවට ගැළපෙන්නේ නැත. විශාලම ඉඩම් ප්‍රමාණයක් ලක්ෂ අටක පමණ යැපෙන පිරිසක් යොදවා කරන තේ කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට මදක් වැඩි ප්‍රමාණයක් සැපයේ.

තොරතුරු තාක්ෂණය හා මෘදුකාංග කර්මාන්තයේ දී විශාල ඉඩම් හෝ ශ්‍රම බලකායක් නැත. එහෙත් තොරතුරු තාක්ෂණ අංශයේ ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්නය. තාක්ෂණය, බලශක්තිය, සේවා සැපයීම වැනි ක්ෂේත්‍ර කෙරෙහි අලුත් අවධානයක් අවශ්‍යය. නීති ලිහිල්කර පහසුකම් වැඩි කළහොත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සෑහෙන පිබිදීමක් අපේක්ෂා කළ හැක. ඇඟලුම් කර්මාන්තය පවා තරගකාරීත්වයට ගොදුරු වී ඇති අතර එහි ඉපැයීම් ද සියයට විස්සකින් පමණ පහත වැටී ඇත. ඒවා ද නවීකරණයක් අවශ්‍යය. 

දුරකථන සේවා, ගුවන් තොටුපොළ, ගුවන් ගමන් සේවා, ඛනිජ තෙල්, විදුලිය සහ වරාය සැපයුම් වැනි අංශවල අලුත් ආයෝජනවලට ඉඩ තිබේ. ආහාර හා ධීවර කටයුතු ද අවස්ථා ඇති අංශයෝය. අභ්‍යවකාශ තාක්ෂණය අලුතින් විහිදිය හැකි ක්ෂේත්‍රයකි. ලෝකයේ විශාලතම ජනගහනයක් ජීවත්වන ඉන්දියාව ආසන්නයේම පිහිටා ඇත. අනෙක් පැත්තෙන් චීනය සමග දීර්ඝ කාලීන සම්බන්ධතා පවතී. මැදපෙරදිග, යුරෝපා හා බටහිර රටවලට වඩා දිගු කළ හැකි නව අපනයන අවස්ථා සොයා ගත හැකිවේ.

ඉන්දියාව බලශක්ති අවශ්‍යතා සඳහා වෙළඳ පොළ පුළුල් කරමින් සිටී. කල්තබා තීරණ ගැනීමෙන් වාසිය ශ්‍රී ලංකාව පැත්තට හරවා ගැනීම පහසුය. මන්නාරම අවට ගොඩබිම හා නොගැඹුරු මුහුදු සූර්ය තාප විදුලිය මෙගවොට් තිස්දහසක් දක්වා උත්පාදනය කළ හැක. සූර්ය තාප විදුලිය ද නිපදවීමට වසර පුරා හැකියාව ඇත. හයිඩ්‍රජන් නිපදවීම හා විදුලිය උත්පාදනය සඳහා අපනයනයට ත්‍රිකුණාමලය වරාය වැඩිදියුණු කළ හැකිව තිබේ. ඉන්දියාවට විදුලිය අපනයනය කළ හැක.

දැනටමත් මැද පෙරදිග හා සිංගප්පූරුව සමග ග්‍රිඩ් සම්බන්ධකරන ඉන්දියාව සමග එකතු වුවහොත් විශාල වාසියක් ඇතිවේ. අභ්‍යවකාශ යානා ගුවන් ගත කරන පහසුම මාර්ගය ශ්‍රී ලංකාව ඔස්සේ වැටී ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. දේශීය හෝ විදේශීය ආයෝජනවලට ඉඩ නොදෙන අතර රජයේ සම්පත් වශයෙන් ආරක්ෂා කර තැබීමෙන් අත්පත් කරගත හැකි ඉරණම කුමක්ද? මෙම අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අලුත් ආකල්ප සහිත මහජන එකඟතාවක් අවශ්‍ය අතර දේශපාලන නායකයන්ට අලුත් තීරණ ගැනීමට බලකරන සමාජ ව්‍යාපාරයක් අවශ්‍යය.

මැජික් විසඳුම් අනාගතය තීරණය කරන්නේ නැත

ආණ්ඩු මාරු කරන අතර පාලකයන්ගේ මුහුණු වෙනස් කිරීමෙන් පමණක් ස්වර්ණමය යුගයක් බිහිවෙන්නේ නැත. ඉකුත් හැත්තෑ පස් වසර තිස්සේ, දේශපාලන පක්ෂ තට්ටු මාරු ක්‍රමයට බලයට පත් කර ඇති අතර ඡන්ද කාලයේ ප්‍රතිපත්ති ප්‍රකාශන, දේශපාලනඥයන්ගේ පොරොන්දුවලට පමණක් රට සංවර්ධනය කරන්නට නොහැකි වූ බව අප වටහා ගත යුතුය.

ආණ්ඩුවක් පත් කළ දා සිට එය පෙරළා බලය ගන්නට උත්සාහ කරන විපක්ෂ දේශපාලනය, පටු වාසි තකා ක්‍රියාකරන වෘත්තීය සමිති හා ආර්ථිකයක හැසිරීම නොදන්නා ආගමික හා ජාතිවාදී කණ්ඩායම් අද පවතින තැනට රට තල්ලුකර හමාරය. ජනතාව දැනුම්වත් කරන ජාතික සංවාදයකට, අලුත් මතවාදවලට පහසුකම් සැලසිය යුතු මාධ්‍ය පවා ගැටුම් නිර්මාණයට හැර විකල්ප ව්‍යුහයකට උනන්දු නොවේ. සමාජ මාධ්‍ය එම පසුබිම තවත් බිහිසුණු කර ඇත.  

ලෝකයේ දියුණු රටවල්, ඉදිරියට ගමන් කළේ පහසු තීන්දුවලින් නොවේ. එම රටවල නායකයෝ තම ප්‍රතිපත්ති නිර්භීතව ඉදිරිපත්කර, රටවැසියන් දිනාගත් අතර ජනතාව නායකයන්ගේ ගමන කෙරෙහි විශ්වාසය තැබූහ. විශ්වාසය සමග ඒකරාශී වූ සියලු ජන කොටස් විශාල කැපවීමකින් පසු එම රටවල් අද පසුවන තැනට ළඟා වී තිබේ. කනට මිහිරි වචන, වහාම උද්දීපනයක් කෙරෙන මැජික් විසඳුම්වලින් රටවල් ගොඩනැගී නැත. සෑම රටකම මිනිසුන් විශාල කැක්කුමකින්, නොනැවතී ගමන් කිරීමෙන් ජයග්‍රහණය කරා පැමිණ ඇත. 

අවදානමකට මුහුණ දී ආර්ථික අර්බුදයක පසුවන ශ්‍රී ලංකාව, දැනට ලබා ඇති තාවකාලික අස්වැසිල්ල ජයග්‍රහණයක් නොවේ. රට ගොඩනගන්නට ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතුය. ධනය උත්පාදනය කළ යුතු අතර කර්මාන්ත හා ව්‍යාපාර අරඹා ආර්ථිකය සක්‍රීය කරන්නට අවශ්‍ය කෙරේ.

දේශපාලනඥයන්, දේශපාලන පක්ෂ එය තමන්ට කළ හැකි බව ප්‍රකාශ කරමින් සිටී. තනි ගමන් සඳහා උත්සාහ කරන ඔවුන්ගේ ආත්ම ශක්තියට ගරු කළ යුතු නමුත් අවාසනාවකට එම ශක්තියෙන් කොටසක් ප්‍රතිවාදී මත පරාජය කරන්නටත්, සටකපට ප්‍රතිප්‍රහාරවලටත් වැය කළ පසු රට වෙනුවෙන් කළ හැකි කාර්යය සීමා වී ඇත. එකට එකතු වී ආර්ථිකය ගොඩනැගීමෙන් පසු රටේ පාලන අයිතිය ලබාගැනීමට තරග කිරීම සුදුසු බව පෙන්වාදීම සුදුසුය.

ආගමික නායකයන්, බුද්ධිමත් පිරිස, තරුණ පිරිස, සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති පවතින අතීරණාත්මක අවකාශය හඳුනාගත යුතු අතර, පොදු තීරණ අනුව රට ඉදිරියට ගෙන යන පුළුල් සැලැස්මක් සඳහා පියවරගත යුතු තීරණාත්මක මොහොතට අභිමුවෙහි සිටින බව තේරුම් ගත යුතුව ඇත.  

මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට යොමු කරන්නේ නම් කෘතඥවෙමි.


මිලින්ද මොරගොඩ



අදහස් (2)

විප්ලවීය වෙනසක් අවශ්‍ය ඇයි?

පුශ්පෙ Wednesday, 31 May 2023 03:30 AM

"දියුණු රටවල ජනතාව අත්විඳින ප්‍රතිලාභ දකින, හැකියාවක් ඇති පවුල් සියලු වත්කම් වැයකර, තම දරුවන්, විදේශ රටවලට යවති. එවැනි පියවරකට යා නොහැකි විශාල පිරිසක් සමාජ ක්‍රමයට වෛර කරමින් වෙසෙන අතර උසස් ජීවන තත්ත්වයක්, අපගේ ජීවිත කාලය තුළදීම ළඟා කරගත හැකි සංවර්ධනයක් වෙනුවෙන් සටන් නොකිරීම වරදකි. " මේ කියමන හරියට හරි...

:       1       2

මහින්ද Thursday, 01 June 2023 09:50 AM

වටිනා ලිපියකි. ඔබගේ පහත ප්‍රකාශ ගැන පාලකයින් අවදානය යොමුකළ යුතුයි. ආණ්ඩුවක් පත්කළදා සිට එය පෙරළා බලය ගන්නට උත්සාහ කරන විපක්ෂ දේශපාලනය, පටුවාසි තකා ක්‍රියාකරන වෘත්තීය සමිති හා ආර්ථිකයක හැසිරීම නොදන්නා ආගමික හා ජාතිවාදී කණ්ඩායම් අද පවතින තැනට රට තල්ලුකර හමාරයි. ජනතාව දැනුම්වත් කරන ජාතික සංවාදයකට, අලුත් මතවාදවලට පහසුකම් සැලසිය යුතු මාධ්‍ය පවා ගැටුම් නිර්මාණයට හැර විකල්ප ව්‍යුහයකට උනන්දු නොවේ. සමාජ මාධ්‍ය එම පසුබිම තවත් බිහිසුණු කර ඇත. ලෝකයේ දියුණු රටවල්, ඉදිරියට ගමන් කළේ පහසු තීන්දුවලින් නොවේ. එම රටවල නායකයෝ තම ප්‍රතිපත්ති නිර්භීතව ඉදිරිපත්කර, රටවැසියන් දිනාගත් අතර ජනතාව නායකයින්ගේ ගමන කෙරෙහි විශ්වාසය තැබූහ. විශ්වාසය සමග ඒකරාශී වූ සියලු ජන කොටස් විශාල කැපවීමකින් පසු එම රටවල් අද පසුවන තැනට ළඟා වී තිබේ. කනට මිහිරි වචන, වහාම උද්දීපනයක් කෙරෙන මැජික් විසඳුම්වලින් රටවල් ගොඩනැගී නැත. සෑම රටකම මිනිසුන් විශාල කැක්කුමකින්, නොනැවතී ගමන් කිරීමෙන් ජයග්‍රහණය කරා පැමිණ ඇත.

:       1       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 464 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 3794 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 422 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 815 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 825 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 442 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24977 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site