ලෝක කම්කරු දිනය වනාහි වැඩ කරන කම්කරු ජනතාවගේ ශ්‍රම කොන්දේසි නගා සිටුවීම හා ඒවා උසස් කරගැනීම සඳහා ආරම්භ වූ දීර්ඝකාලීන ප්‍රබල සටන්කාමී ව්‍යාපාරයක ප්‍රතිපලයකි. මෙම සැමරුමට පාදක වූයේ පැය අටක වැඩ දිනයක් ඉල්ලා කම්කරුවන් හතලිස්දහසකට අධික පිරිසක් 1886 මැයි 01 වැනිදා ඇමෙරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයට රැස්ව දැක් වූ විරෝධයට පොලිසියෙන් කළ වෙඩි තැබීමය. පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ කම්කරු ජනයා ඔතනු ලැබුවේ සහෝදර සටන් සගයන් රැගෙන ගිය සුදු කොඩිවලිනි. කම්කරු සටනේ ධවල වර්ණ ධජ රක්ත වර්ණයට හැරවුණේ ඒ අයුරිනි. එවන් ඛේදවාචකයකින් ඇරඹුණු වැඩ කරන ජනතාවගේ දිනයේ මූලික හර විනාශ කරමින් පවතින මෙවන් මොහොතක හේමාකට් සිදුවීමට පෙර සිටම ඊට තුඩු දුන් විෂයමූලික හා මනෝමූලික කාරණා විමසීම වඩා වටින වග අවධාරණකටයුතුය.
යුරෝපයේ මහා පරිමාණ නිර්ධන පංතියක් බිහිවුණේ ධනේෂ්වර නිෂ්පාදනය ලොව තුළ ආරම්භවූවාට පසුවය. විශේෂයෙන්ම කාර්මික ධනවාදය නිසා කර්මාන්තශාලාවල ශ්‍රමය වැගිර වූ ඉතා පුළුල් කම්කරු පංතියක් නිර්මාණය විණි. මුල් අවධියේදී ධනේශ්වර ක්‍රමය එම කම්කරුවන්ගේ ශ්‍රම සූරාකෑමෙහි නියැලුණේ ඉතාමත්ම දුෂ්ට ආකාරයෙනි. මේ නිසා කම්කරුවන්ට ඔවුන්ගේ වෘත්තීයමය අයිතිවාසිකම් තිබුණේ නැත. ඇත්තවශයෙන්ම වෘත්තීය අයිතිවාසිකම් මතු නොව මානුෂික අයිතිවාසිකම් ද තිබුණේ නැත. ඒ වනවිට තිබුණේ කම්කරුවාගේ වැඩ කරන පැය ගණන පැය අට දහය නොව දහ අට, විස්ස දක්වා සීමා මායිම් ඉක්මවා ගිය පරිසරයකි. ඔවුන්ට වැඩ කිරීමට සිදුවූයේ අතිශය පහත් ශ්‍රම කොන්දේසිවලට යටත්වය.
කම්කරුවන්ට ප්‍රමාණවත් වැටුපක් අතිකාල දීමනා හෝ විශ්‍රාම වැටුපක් ගෙවුවේ ද නැත. සරලවම කිව්වොත් ධනපති පංතියට අවශ්‍ය ආකාරයට කම්කරු පංතියේ ශ්‍රමය සූරාකන්නට එවකට ධනේෂ්වර ක්‍රමය කටයුතු කළේය. ලෝකයේ දියුණු කාර්මික රටවල මේ තත්ත්වයට එරෙහිව කම්කරු සටන් අරගල ඇතිවුණේය. මෙම තත්ත්වයට එරෙහිව මතු වූ විරෝධයේ තිබුණේ තමන්ගේම පැවැත්මෙන් මතු වූ අව්‍යාජ සටනක් මිස දේශපාලන පක්ෂයක උත්තේජනයක් නොවේ. එනිසා කම්කරු දිනය හැඳින්විය හැක්කේ ශ්‍රමයේ දිනයක් හැටියටය. සකලවිධ ලෝක ශිෂ්ටාචාරයේ සශ්‍රීකත්වය බිහිකරන මූලික මූලාශ්‍රයේ දිනය හැටියටය.
ලංකාවේ මැයි දින සැමරුම් ආරම්භවන්නේ ලංකාව යටත්විජිතයක්ව පැවැති සමයේය. ඒ.ඊ.ගුණසිංහ මහතාගේ කම්කරු සංගමය යටතේ 1927 සිටම මෙරට මැයි දින සැමරුම ආරම්භ විය. 1929 වනවිට ඊට මෙරට කම්කරු ව්‍යාපාරය ද ප්‍රවිශ්ට විය. ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂවල අවතීර්ණවීමෙන් ඊට වඩාත් සංවිධානාත්මක මුහුණුවරක් ලැබිණි. කම්කරුවන්ගේ පෙළපාලි, උද්ඝෝෂණ, සටන් පාඨ මුල්කරගනිමින් පැවැති මැයි දිනය හුදෙක් අයිතීන් තහවුරු කරගැනීමම ඒකාරම්මණය කරගත් එකක් නොව අනාගතයේදී කම්කරු රාජ්‍යක් බිහිකිරීම දක්වා පුළුල්ව පැතිරුණු එකක් විණ. සමාජවාදී සමාජ ක්‍රමයක අරුණළු අපේක්ෂිත මැයි දින සැමරුම වැඩ කරන ජනතාවගේ තේජසත් ජවයත් ප්‍රදර්ශනය කරන සංකේතාත්මක සටනක් විය. එහෙත් වාමාංශික ව්‍යාපාරය ක්‍රමානුකූලව ප්‍රතිසංස්කරණවාදයකට තල්ලු වූයේය. වැඩ කරන ජනතාවගේ දිනයේ පැවැති ඓතිහාසික වටිනාකම් යටපත් කරමින් පක්ෂ දේශපාලන ව්‍යාපෘතිවල තේමා රජයන්නට වූයේ මේ සමගය.
ලෝක පරිමාණයෙන් ගත්කල කම්කරු දිනය සැමරුණේ ධනේශ්වර සමාජ, ආර්ථික, සංස්කෘතික තුළය. එනිසා එය ස්ථානගත වුණේ ලෝක ධනේශ්වර පංතියට එරෙහිවය. ආරම්භයේදී වාමාංශික දේශපාලන පක්ෂවලට එය විශාල රුකුලක් වෙද්දී ධනේශ්වර පක්ෂ සිටියේ ඊට ප්‍රතිවිරෝධය දක්වන තැනකය. එහෙත් ඉතා ඉක්මණින්ම ධනේශ්වර පක්ෂ මැයි දිනය සම්බන්ධ ස්ථාවර උපක්‍රමිකව වෙනස් කළේ තමන් ද එම සැමරුමේ කොටස්කරුවන් බවට පත්වෙමිනි. එහි කම්කරුවන්ගේ ශ්‍රම කොන්දේසි දියුණු තත්ත්වයකට ගෙනයෑමේ අරමුණක් නොවීය. මේ නිසා සිදුවුණේ ශ්‍රමය හා දේශපාලනය මූලිකාරම්මණය කරගනිමින් ආරම්භ වූ සැමරුම සංස්කෘතිකාංගයක් දක්වා විතැන්වීමය. මෙම ලෝක තත්ත්වය ලංකාවේ අපටත් අත්දකින්නට ලැබිණි.
මැයි දිනයේ තිබුණු ඓතිහාසිකත්වයත් මූලික අරමුණුත් විනාශවීම ආරම්භ වූයේ වාමාංශික පක්ෂ සභාග ආණ්ඩුවලට කරගැසීමත් සමඟය. ඉන්පසුව දේශපාලන පක්ෂ සිය බලය ප්‍රදර්ශනය කිරීමේ දිනයක් බවට මෙය පත්කරගත්තේය. 1977 න් පසුව එක්සත් ජාතික පක්ෂය තීරණාමත්මක ලෙස මේ කාරියට අතගැසුවේ බොලිවුඞ් තරුවල පවා දිස්නය ලබාදෙමින් ඉතා ප්‍රාසාංගික කටයුත්තක් බවට එය ඌනණය කරමිනි. එයින් සිදුවූයේ කම්කරුවාගේ දිනය කම්කරුවාට ද නොදැනෙන සේ උපක්‍රමශීලීව විතැන් කිරීමය.
කාල් මාක්ස් කම්කරුවා දුටුවේ සමාජයට සවිඥානික අනෙක් පංතිවලට වඩා කිසියම් අදහසක් ඇති සමාජයේ මූලික සැකැස්ම වෙනස්කිරීමට දැඩි වුවමනාවක් ඇති අරමුණුසහගත පංතිය හැටියටය. සියලු දේවල ගාමක බලවේගය හැටියටය. එහෙත් නව ධනවාදය තුළ පාරිභෝජනවාදී සංස්කෘතියේ හා නිෂ්පාදන ක්‍රමයේ දියුණුව සමග කම්කරු පංතියේ සටන්කාමීත්වය යම්කිසි ආකාරයකට ඛාදනය විය.
මාක්ස්ම සඳහන් කරන ආකාරයට ලුම්පන් කම්කරුවන් පවතින පරිසරය හෝ තමා අයිති පංතිය පිළිබඳව කිසිම සවිඥානිකත්වයක් නැති පංතියක් බවට ඔවුහු පරිවර්තනය වූහ. කම්කරු දිනය වෙනස් කිරීමට රජය ගත් තීන්දුවේදී පවා පුළුල් ප්‍රතිචාරයක් දැක්වීමට වාමාංශික පක්ෂ, කම්කරු සංවිධාන, කම්කරු අයිතින් වෙනුවෙන් කතා කරන විද්වතුන් හෝ උත්සුක නොවීමෙන් මේ පරිවර්තනයේ තරම අපට හොඳින් පෙනේ. ඒ අනුව මැයි දිනයේ වැදගත්කම අවප්‍රමාණ කිරීමට ධනේශ්වර පාලකයන් තෝරන උපක්‍රම ඉතාම සාර්ථක වී ඇති බව අපට කිවහැකිය.
මැයි පළමු වැනිදාවේ ඇත්තේ ඓතිහාසික අරුතකි. එහෙත් එය වෙනත් දිනයකට වෙනස්කිරීම ගැන කම්කරු පංතියෙන් දැඩි විරෝධයක් පෙනෙන්නට ද නැත. මේ දින මාරුව සාමාන්‍ය දෙයක් හැටියට පිළිගැනීමක් ද එයින් පෙනේ. අවසානයේදී මැයි දිනය රාජ්‍යකරණය වී ධනේශ්වරකරණය වී ජනප්‍රිය සංස්කෘතියේ අංගයක් වී තිබේ. කම්කරුවාට සමාජ විඥානය මතු නොව වෘත්තිය සමිති විඥානය ද අහිමි වී ඇත. එයින් නොනැවතී සමාජ සංවේදීත්වය අහිමි කරගත් ලුම්පන් පංතියකට ද වැටී තිබේ. මීට වසර සියයකට පමණ පෙර කම්කරුවා සමාජයේ දැරූ ස්ථානය විශාල ලෙස පරිණාමනයවීම ද මේ තත්ත්වයට බලපා ඇත. ඓතිහාසික අරුතින් අප කී කම්කරුවා අද සමාජයේ සිටී ද? සමාජ ක්‍රියාවලිය, තාක්ෂණික ක්‍රියාවලිය හා නව ලිබරල් ක්‍රියාවලිය තුළ කම්කරුවා සිටින්නේ හඳුනාගැනීමට ද අපහසු ලෙස වෙනස් වෙලාය. උද්ගතව ඇත්තේ කම්කරුවාට කම්කරුවා යැයි කියනවාටත් අකමැති තත්ත්වයකි. පවතින පරිසරයෙහි අණ පනත් මතු නොව ආණ්ඩු කම්කරු දිනය අවලංගු කිරීමට පියවර ගත්ත ද ලොකු විරෝධයක් එතැයි මම නම් සිතන්නේ නැත. මන්දයත් ගෝලීය ධනවාදයේ ලිබරල් ආකෘතිය අර්බුදයට පත්වීමේදී අද වනවිට කම්කරු පංතිය සිටින්නේ තමන්ගේ මනුෂ්‍ය ජීවිතය ගැන පවා අදහස අහිමිකරගෙන බැවිනි.
කම්කරු පංතිය සමාජයේ ප්‍රධානතම හා බලගතුම පංතිය හැටියට දුටුවේ කාල් මාක්ස්ය. එකල කම්කරු සංගම්, කම්කරු ව්‍යාපාරවලට සමාජයේ තිබුණේ ප්‍රමුඛස්ථානයකි. ධනපතියන් පවා කම්කරු පංතිය හමුවේ සැලුම් වෙවුලුම් කන යුගයක් පැවැතියේය. ඒ තරමටම සමාජයට කම්කරු පංතියෙන් වන බලපෑම ප්‍රබලය විය. මාක්ස් ආර්ථිකයට දුන් මුල් තැන දේශපාලනයට දෙනු ලැබුවේ වී.අයි ලෙනින් විසිනි. මේ තත්ත්වය ලංකාවේදී නම් හොඳින් විෂදවීමට ගත්තේ 1960 දශකයේ සභාග දේශපාලනයත් සමගිනි. එහිදී සිදුවුණේ ආර්ථිකයට වඩා දේශපාලන බලය පදනම් කරගනිමින් කම්කරු සංවිධාන හා ධනේශ්වර පංතිය අතර සංකීර්ණ සම්බන්ධතා රැසක් නිර්මාණය වීමය. කම්කරු නායකත්ව ද බිම් මට්ටමේ දී කම්කරුවන් හා ප්‍රාග් ධනය අතර සම්බන්ධතා ද සමග පංතිවල පැවැති දේශසීමා මායිම් ක්‍රම ක්‍රමයෙන් දියවෙන්නට පටන්ගත්තේය. ඒ සමගම වෘත්තිය සමිතිවල ශක්තිය ද දිය වී ඒවා දේශපාලන පක්ෂවලට අනුව හැඩගැසෙන්නට විය. අවසානයේදී දේශපාලන පක්ෂය ශක්තිමත් කරන අතිරේක බලඇණියක තත්ත්වයටම වෘත්තිය සමිති වැටුණි.
අන්තෝනියෝ ග්‍රාම්ස්චි නමැති දේශපාලන න්‍යායවාදියා සඳහන් කළ පරිදි දෘෂ්ටිවාදී අදහස්වල බලයේ වර්ධනයත් සමගම පුළුල් සන්ධානවලට යාමේ තත්ත්වයක් මතු විය. විශේෂයෙන්ම ජනමාධ්‍යයේ විශාල ප්‍රසාරණය, ජනප්‍රිය සංස්කෘතිය ආදිය ධනේශ්වර පංතිය හා කම්කරු පංතිය එකට ඒකාබද්ධ කරන ප්‍රතිවිරෝධතා තුනී කරන සාධක බවට පත්ව තිබේ. මේ නිසා අහිමිව තිබෙන්නේ වෘත්තිය සමිතිවලට තිබූ දැවැන්ත ඓතිහාසික ප්‍රතිරූපය හා භූමිකාවය. සමාජවාදී සමාජයක් හෝ සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමේ පැතුම මේ යටතේ තිබෙන්නේ විශාල ලෙස තර්ජනයකට බඳුන්වය.
ගෝලීය වශයෙන් ගත්ත ද අද වනවිට තිබෙන්නේ ප්‍රබල ලෙස ඇති නැති පරතරය වැඩි වෙන පරිසරයකි. ගෝලීය සමාජවාදයේ බිඳවැටීමත් සමග පසුගිය වසර විසි පහක පමණ කාලයේදී තාක්ෂණික ආර්ථික ක්‍රියාවලිය මගින් කම්කරුවන්ට සම්මුඛ කළේ විකල්පයක් නොමැති තත්ත්වයකි. මුලදී වෘත්තිය සමිති වාමාංශික පක්ෂවල කොටස්කරුවන් වී නම් අද වනවිට මේ දෙපාර්ශ්වයම සිටින්නේ කිසියම් ආකාරයක ලිබරල්කරණයකට ලක්වෙලාය. පවතින ක්‍රමය වෙනස් කිරීමට වුවමනාවක් තිබෙන වමේ පක්ෂ තිබේදැයි යන්න අද වනවිට අපට ප්‍රශ්නයකි. අද වනවිට වමේ පක්ෂවලට පවතින ආණ්ඩුවේ කොටස්කරුවකු වීමෙන් ඔබ්බෙහි අරමුණක් නැත. මානව හිමිකම්, මානව නිදහස, පාරිභෝජනවාදය ඈ අනෙකුත් ලිබරල් වටිනාකම් අතරේම පොදු වටිනාකමක් බවට කම්කරු පංතික මැයි දිනය අද තනුක කර ඇත. එයින් පිළිබිඹු කරන්නේ පශ්චාත් ධනේශ්වර යාන්ත්‍රණයේ ප්‍රබලත්වයයි. කම්කරු පංතික සටන්කාමීත්වය හා අදහස් ප්‍රතිසංවිධානය විය යුත්තේ මෙම තත්ත්වය විග්‍රහ කරගැනීමට සමත් නව දෘෂ්ටිවාදයක් ඔස්සේය. වෘත්තිය සමිති පමණක් නොවේ. ධනේශ්වරයට එරෙහිව සටන් කරන සකල සටන් පෙරමුණුවලටම මෙය අදාළය. 21 වැනි සියවසේ කම්කරුවාට සිය ශ්‍රම ක්‍රියාවලියේදී සිදුවන අසාධාරණකම්වලට එරෙහිව නව සමාජයක් නිර්මාණය කරගතහැක්කේ එමගිනි. අද වනවිට ලිබරල්වාදය තිබෙන්නේ ද අර්බුදයට ගොසිනි. ලංකාවේ දේශපාලන ක්‍ෂේත්‍රය දෙස බැලීමේදී එය පැහැදිලිව පෙනේ.
අද වනවිට දවසකට ඇමෙරිකානු ඩොලර් 1.5 කට වඩා අඩුවෙන් ආදායම් ලබන ජනතාව මිලියන දාහකට අධිකය. ඇති නැති පරතරය අතිවිශාලය. නිරාහාරව දෛනිකව මිය යන පිරිස 50,000 ඉක්මවයි. සීමිත පිරිසක් අතරේ ධනය අතිවිශාල ප්‍රමාණයක් සංකේන්ද්‍රණය වෙද්දී ලෝක ජනගහණයෙන් සියයට 80 ක් ලෝකයේ සමස්ත ආදායමෙන් සීයට 20 කටත් අඩු පංගුවක් පරිභෝජනය කරන තැනට වැටී ඇත. ලෝකය මේ සා අන්ත වේදනාකාරී තත්ත්වයට පත්වෙද්දී වමේ ව්‍යාපාරය පමණක් නොව සමකාලීන ලිබරල් ගෝලීය ධනේශ්වර පංතියට ද අද වනවිට කිසිදු දැක්මක් නැත. ජාතික ධනේශ්වරයේ ද තත්ත්වය එයයි. සැබැවින්ම අද වනවිට අර්බුදයට ගොස් තිබෙන්නේ හුදු පංතිය, ජාතිය හෝ ජනවර්ගය නොවේ. සමස්ත ශිෂ්ටාචාරයයි. මනුෂ්‍යයා පශ්චාත් මනුෂ්‍යයෙකු බවට පත්ව හමාරය. මෙම අර්බුදය ජයගැනීමට පංති දෘෂ්ටියකට වඩා වැඩි දෙයක් අවැසිය. මේ මොහොතේ අප කතා කළ යුතු වන්නේ මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය ගැනය. මනුෂ්‍යයා බේරාගන්නේ කෙසේද කියාය. විමුක්තිකාමී දේශපාලනය තව තවත් අර්බුදයට යෑම වලක්වාගත හැක්කේ එවැනි පිවිසුමකින් පමණි.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වම - දකුණ මාරු වුණු කම්කරු දිනය