IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වෛරයෙන් රටවල් කඩන ශෝකාන්තය

මේ දිනවල ජිනීවා නුවර දී රැස්වන එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම්  වැනි ප්‍රශ්නවලට වැඩි අවධානයක් නොලැබී දැනට ඇවිලී ඇති රුසියා යුක්රේන යුද්ධයට අදාළ මානව හිමිකම් ප්‍රශ්න ඉස්මතු වී පෙනෙන්නට ඉඩ තිබේ.

එහෙත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම කරන්නට යන කටයුතු ඒ නිසා වෙනස් වේ යැයි මින් අදහස් කෙරේ. මන්දයත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ කටයුතු කවුන්සිලයේ රැස්වීම ආරම්භ වන්නට පෙර බොහෝ දුරට සැලසුම් කරනු ලැබ තිබීම නිසාය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහකොමසාරිස් මිචෙල් බැචලේ සකස් කළ වාර්තාවේ සංස්කරණය නොකළ පිටපතක් සැසිවාරය ආරම්භ වීමට පෙරම කවුන්සිලයේ වෙබ් අඩවියේ පළ කරනු ලැබ තිබිණි. මෙය දශක තුනක යුද්ධයේ ප්‍රතිවිපාක වශයෙන් තවමත් ශ්‍රී ලංකාවේ නායකයන් හඹා එන කරුණුවලින් එකකි.

 මානව හිමිකම් කවුන්සිලයේ දී යුක්රේන ප්‍රශ්නය අනෙක් ප්‍රශ්න යටපත් කරමින් ඉස්මතු වේ නම් එය අසාධාරණ නොවේ. මන්දයත් එය දැනටමත් ලෝකයාගේ දෑස් ඉදිරිපිට දිනපතාම දිග හැරෙන දරුණු තත්ත්වයකි. දැනටමත් යුක්රේනයේ  සිය ගණනක් දෙනා මෙම යුද්ධයෙන්  මිය ගොස් සිටිති. තවත් ලක්ෂ ගණනක් ජීවිත කාලයක් පුරා ඉපැයූ දේපළ අත්හැර තම දරුවන් සමඟ සැතපුම් සිය ගණනක් මඟ ගෙවාගෙන යාබද රටවලට පලා යති. ඩොලර් කෝටි ගණන් වටින දේපළ රූපවාහිනී නාළිකා ඔස්සේ මුළු ලෝකයම බලා සිටිද්දී ගුවන් ප්‍රහාර හා මිසයිල් ප්‍රහාරවලින් විනාශ වී යයි.

එය ලෝකයේ නායකයන් යැයි කියන හා කියා ගන්නා පිරිස ක්ෂණිකව මැදිහත්වී නවතාලිය යුතු තත්ත්වයකි. එහෙයින් එම ප්‍රශ්නයට වැඩි අවධානයක් යොමුවීම අසාධාරණ හෝ වැරැදි නැත. ගැටලුව පැන නඟින්නේ එවැනිම හෝ ඊටත් වඩා දරුණු අතිශයින්ම ශෝකජනක යුදමය තත්ත්වයන් පවතින යේමනය වැනි රටවලට ලෝක නායකයන්ගේ අවධානය  යොමු නොවීමත් ඒ නිසාම එම රටවල විනාශයන් දැන් වසර ගණනාවක් පුරා නොකඩවා සිදුවෙමින් පැවැත්වීමත් නිසාවෙනි.

මෙම වෙනසට හේතුව ද ඉතා පැහැදිලිය. යුක්රේනයේ පීඩාවට පත්වී සිටින්නේ බටහිරට සමීප යුරෝපීය ජනතාවකි. එහි නායකයෝ සහ බටහිර නායකයෝ ලෝක දේශපාලනයේ දී එක පිලක සිටිති. ඇත්ත වශයෙන් මෙම යුද්ධය අවුළුවාලූයේ ද බටහිර නායකයන්ය. අනෙක් අතට යේමනය වැනි රටවල ජනතාව ලෝක නායකයන්ට මානසිකව සමීප පිරිසක් නොවේ. එසේම යේමනයට බෝම්බ දමන්නේ බටහිර නායකයන් සමග සමීප සබඳතා පවත්වන නායකයන්ගේ අනුදැනුමෙනි. ඒ එහෙයින් ඒ යුද්ධය නතර කිරීමට ඔවුන්  උනන්දු නොවීම තේරුම් ගත යුත්තේ ඒ අනුවය.

කෙසේ වෙතත් රුසියාව හා යුක්රේනය අතර යුද්ධය, වඩාත් නිවැරැදිව කියන්නේ නම් යුක්රේනය මත රුසියාව පටවා ඇති යුද්ධයට ලෝක  අවධානය යොමු වී තිබීම වාර්ගික යුද්ධවල ආදිනව ගැන කතා කිරීමට ද හොඳ අවස්ථාවක් ලබා දෙයි. විශේෂයෙන්ම මෙවැනි සෑම යුද්ධයකටම පසු කවුරුත්  ජය ගත්තද කවුරුන් පරාජය වුවද දශක ගණන් හෝ ඇතැම් විට සියවස් ගණන් පරම්පරාවෙන් පරම්පරාවට වෛරය ඉදිරියට ගෙන යන ජන කොට්ඨාස බිහිවීම ගැන අවධානය යොමු කිරීමට අවස්ථාවක් ලැබේ.

අපි පසුගිය සතියේ පැවසූ පරිදි රුසියා-යුක්රේන අර්බුදයේ මුල බටහිර රටවල් රුසියාව ඉලක්ක කරගෙන බිහිකළ නේටෝ සංවිධානය පුළුල් කරමින් රුසියාවේ දොරකඩටම පැමිණීමට උත්සාහ කිරීමත් රුසියාවේ දොරකඩ සිටින යුක්රේනය නේටෝව ආදරයෙන් වැළඳ ගැනීමට සුදානම්ව සිටීමත්ය. මේ අනුව රුසියාවේ කෝපය සාධාරණය. ඒ නිසා එම තත්ත්වය වැළැක්වීමට රුසියානු නායකයන් කුමක් හෝ කිරීම ද තේරුම් ගත හැකිය. එහෙත් ඒ සඳහා මේ සා විශාල විනාශයක්ම කළ යුතු ද යන්න ප්‍රශ්නයකි.

එසේම, රුසියාවට යුක්රේනුවන් තම අණසකට යටත් කර ගැනීමට හැකිවිය හැකිය. එහෙත් මේ සා විශාල විනාශයකින් එය කර ගැනීම දීර්ඝ කාලීන අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නකි. මන්දයත් එවැනි තත්ත්වයකට පත් යුක්රේනුවන් සිටිනු ඇත්තේ සිත් බිදුණු ජනතාවක් ලෙසය. එය කාලබෝම්බයක් අතේ තබා ගෙන සිටීම හෝ නිතර පෑරෙන තුවාලයක් ඇතිව සිටීම වැනි දෙයකි.

ශ්‍රී ලංකාවේ ද කොටි සංවිධානයට එරෙහි යුද්ධය පිළිබඳව විවිධ මතවාද තිබුණ ද එය වළක්වා ගැනීමට ගත හැකිව තිබූ  පියවර පිළිබඳව නොයෙකුත් මතවාද තිබුණ ද දශක තුනක් තරම් වූ දීර්ඝ කාලීන යුද්ධයක් නිසා දරුණු ලෙස සිත් බිඳුණු ජන කොට්ඨාසයක් සිටිති. මෙවැනි ජන කොට්ඨාස රටක සිටීම තවදුරටත් නිතර මතභේදකාරී තත්ත්වයන් ඇති වීමට හේතුවේ. සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් වන සහජීවනයට එය බාධාවකි.

ශ්‍රී ලංකාවේ දේශීය භාෂාවන්ගෙන් ජනවාර්ගික ප්‍රශ්නය වාර්තා කිරීම පිළිබඳව  ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර මූලස්ථානය කොටගත් ඉන්ටර් නැෂනල් මීඩියා ස්පෝට් ආයතනයේ ආසියා කලාපීය උපදේශක ආචාර්ය රංග කලංසූරිය මහතා කළ පර් යේෂණයකට සහය වීමට මීට වසර කීපයකට පෙර ලියුම්කරුට අවස්ථාව ලැබිණි. ඒ දෙමළ භාෂාවෙන් පළවූ ලිපි හා ප්‍රවෘත්ති තෝරා පරිවර්තනය කරදීම මඟිනි.

එම පර් යේෂණයේ දී යුද්ධයට පෙර හා පසුව මෙරට දෙමළ ජනතාව ජාතික ඒකාබද්ධතාව සම්බන්ධයෙන් දැක් වූ ආකල්ප පිළිබඳව ද අපූරු තත්ත්ව දැකගත හැකි විය. ජනමාධ්‍ය එක්තරා දුරකට ඒවායේ පාඨකයන්ගේ හෝ ප්‍රේක්ෂකයන්ගේ මානසිකත්වය ද පෙන්නුම් කරන කැඩපතක් බඳුය. ජනවාර්ගික ප්‍රශ්නයේ ආරම්භයේ දී ජනමාධ්‍ය අතර ප්‍රධාන වූයේ පුවත්පත් වූ හෙයින් මෙම පර් යේෂණයට යොදා ගනු ලැබුවේ පුවත්පත්ය. ඒ අනුව යුද්ධයට පෙර හා පසුව ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් දෙමළ ජනතාවගේ මානසිකත්වය වෙනස් වූ ආකාරය 1970 ගණන්වල හා 2009 න් පසු පළ කෙරුණු පුවත්පත්වලින් මනාව පිළිබිඹු විය.

ජනවාර්ගික ප්‍රශ්නය නරක මුහුණුවරක් ගත්තේ 1970 ගණන්වල මැද භාගයේදීය. ඒ කාලයේ දී දෙමළ පක්ෂය ද මෙරට ජාතික දේශපාලනයෙන් තීරණාත්මක ලෙස කැඩී යන්නට තීරණයක් ගත්තේය. 1976 මැයි 16 වැනිදා දෙමළ පක්ෂ කිහිපයක් එක්වී ගොඩ නඟාගෙන තිබූ දෙමළ එක්සත් පෙරමුණ යාපනය අසල වට්ටුක්කෝට්ටයි හි සම්මේලනයක් පවත්වා තම නම  දෙමළ  එක්සත් විමුක්ති පෙරමුණ යැයි වෙනස් කරගත් අතර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම වන්නේ ශ්‍රී ලංකා භූමිය තුළ වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවා ගැනීමෙන් යැයි යෝජනාවක් සම්මත කළේය.

එහෙත් එම යෝජනාව සම්මත කෙරුණු දිනයේ පවා දෙමළ පුවත්පත්වල එම සමුළුවට  එතරම් වැදගත් තැනක් දී තිබුණේ නැත. එම පුවත්පත්වල ද ප්‍රධාන  පුවත් ලෙස පළ වී තිබුණේ සිංහල හා ඉංග්‍රීසි පුවත්පත්වල පළවී තිබු ප්‍රධාන පුවත්මය. මෙම සමුළුවට හා වෙනම රාජ්‍යයක් පිළිබඳ වූ යෝජනාවට දෙමළ පුවත්පත්වල වැදගත් තැනක් හිමිවූයේ එම යෝජනාව සම්මත  වූවායින් පසුවය.

එසේම මෙම යෝජනාව සම්මත වීමත් සමඟ දෙමළ නායකයන් හට එරෙහිව පොලිස් මර්දනයක් ක්‍රියාත්මක විය. ඒ අනුව  සමුළුවෙන් දින කිහිපයකට පසු සිංහල හා දෙමළ පුවත්පත්වල පුවත් තේරීමේ දී තරමක වෙනසක් දක්නට ලැබිණි.

මෙම සමුළුවත් එහිදී සම්මත කර ගන්නා ලද බෙදුම්වාදී  යෝජනාවක් පෙන්නුම්  කරන්නේ ඒ වනවිටත්  ජනවාර්ගික ප්‍රශ්නයක්  වර්ධනය වෙමින් පැවැති බවය. එහෙත් ඒ දිනවලම ජනතාවගේ මානසිකත්වය පිළිබිඹු කරන දෙමළ පුවත්පත්වලින් පෙනුනේ දෙමළ ජනතාව ජාතික ඒකාබද්ධතාවට බොහෝ දුරට අනුගත වී සිටි බවකි.

මෙම බෙදුම්වාදී යෝජනාව සම්මත කිරීමට වසරකට පමණ පෙර 1975 දී පසු කලෙක කොටි සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කණ්ඩායමක් එවකට යාපනයේ නගරාධිපතිව සිටි ඇල්ප්‍රඩ් දුරයිඅප්පා මහතා ඝාතනය කළහ. එතැනදීද අවධානය යොමු කළ යුතු වැදගත් කාරණය වන්නේ දුරයිඅප්පා මහතා නියෝජනය කළේ දෙමළ පක්ෂයක් නොව 1958 දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කළ රාජ්‍ය  භාෂා පනත සම්මත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, යන්නයි. ඒ එදා දෙමළ ජනතාවගේ දේශපාලන මානසිකත්වයයි.

එහෙත් 1977, 1981 හා විශේෂයෙන්ම 1983 යන වසරවල රට පුරා ඇති වූ දෙමළ විරෝධි ප්‍රචණ්ඩ ක්‍රියා හා 1983න් පසු වේගයෙන් උත්සන්න වූ යුද්ධය අවසන් වීමෙන් පසු අපට දක්නට ලැබෙන්නේ ඊට වඩා බොහෝ දුරට වෙනස් වූ තත්ත්වයකි. දෙමළ ජනයාගේ එම මානසික පරිවර්තනයේ හොඳම දර්ශකය වන්නේ යුද්ධය ආරම්භ වීමෙන් පසු පළවූ  හා දැනටමත් පළ කෙරෙන දෙමළ පුවත්පත් හා එම කාලය තුළ පැවැත්වුණු ජාතික හා ප්‍රාදේශීය  මැතිවරණවල ප්‍රතිඵලයි. දෙමළ පුවත්පත් හා සිංහල පුවත්පත් ඇතැම් විට රටවල් දෙකක පළ කෙරෙන පුවත්පත්  මෙනි. එසේම දෙමළ ජනතාව ජාතික යැයි කියන දේශපාලන පක්ෂවලින් මුළුමනින්ම ඈත් වී තමන්ගේ වාර්ගික නියෝජනයක් සඳහා පමණක්ම ඡන්දය දෙන බවත් මැතිවරණ ප්‍රතිඵලවලින්ද පෙනේ.

කොටි සංවිධානය තම ළාබාල දරුවන් බලයෙන් පැහැරගෙන ගොස් කාලතුවක්කු වැනි බර අවි යොදාගන්නා යුද භූමියට යැවු බව දෙමළ ජනතාව දනිති. එසේම යුද්ධයේ අවසාන අදියරේදී එම සංවිධානය වන්නියේ ජනතාව මිනිස් පළිහක් ලෙස යොදා ගත් බවද එමගින් මහා විනාශයක් වූ බව ද ඔවුන්ට රහසක් නොවේ. එහෙත් ඔවුහු කොටි සංවිධානයට අදත් වන්දනා මාන කරති. ඔවුන් ජාතික ඒකාබද්ධතාවට සූදානම් බවක් පෙනෙන්නේ නැත. සෑම වසරකම මාර්තු මාසයේ දී හා සැප්තැම්බර් මාසයේ දී එ.ජා. මානව හිමිකම් කවුන්සිලය රැස්වන වාරයක් පාසා සිංහල හා දෙමළ දේශපාලනඥයෝ මෙම බෙදුම් රේඛාව අලුත් කරති. ඕනෑම රටක වාර්ගික යුද්ධයක් දෙස බැලීමේ දී  ශ්‍රී ලංකාවේ අපට මෙම අප්‍රසන්න අත්දැකීම් අමතක කොට ඒ දෙස බැලිය නොහැකිය.

රුසියා-යුක්රේන සබඳතාවද මෙසේමය. සිය වසකට පමණ ඉහත දී යුක්රේනුවෝ ඇතැම්  විට සුළු රුසියානුවන් යැයි හඳුන්වනු ලැබූහ. ඒ තරමට ඔවුන් හා රුසියානුවන් අතර සංස්කෘතික සබඳතාවක් පැවැති මුත් කල්යාමේ දී යුක්රේනු ජනතාව එම හැඳින්වීම සැලකුවේ අපහාසයක් ලෙසය. යුක්රේනය රුසියාවේම කොටසක් ලෙස හුවා දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇතැම් විට අදහස් දැක්වීමට මෙම ඉතිහාසය ද හේතුවක් විය හැකිය.

සෝවියට් සංගමය පැවැති සමයේ යුක්රේන ජාතිකයකු (ලියොනිඩ් බ්‍රෙෂ්නෙව්) එම සංගමයේ ජනාධිපති ධුරයට ද පත්විය. ඊට පෙර සිටි ජනාධිපති නිකිතා කෘෂෙව් ද යුක්රේනය සමඟ සමීප සබඳතා ඇත්තෙකු විය. සෝවියට්  සංගමයේ අවසාන ජනාධිපති මිහායිල් ගොර්බචොව්ගේ මව යුක්රේන සම්භවයක් ඇත්තියකි. 1917 සමාජවාදි විප්ලවයෙන් පසු රුසියාවට පසු සමූහාණ්ඩු තත්ත්වයත් රාජ්‍යත්වයත් ලැබුණේ යුක්රේනයටය. ඒ සියලු සමීප සඳබතා නේටෝවේ මැදිහත් වීමෙන් කණපිට හැරිණි.

වරද කොතැන වුවද දැන්  දෙරට අතර පූර්ණ යුද්ධයක් ඇවිළී තිබේ. යුද්ධය කෙරෙන්නේ යුක්රේන භූමියේය. මරණ බිය දැනෙන්නේ එහි ජනතාවටය. මෙයින් සිත් බිඳෙන්නේ ඔවුන්ගේය. එය ශ්‍රී ලංකාවේ උතුරේ මෙන් කාලාන්තරයක් පවතිනු ඇත. වෛරය පරම්පරාවෙන් පරම්පරාවට යනු ඇත. ඒ සමඟම යුක්රේනය තුළ සිටින රුසියානුවන් ද යුක්රේන පීඩනය  නිසා ​ෙවෙරය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යනු ඇත. වාර්ගික යුද්ධවල අනිවාර්ය ප්‍රතිඵලය එයයි. කවුරුන් හරිද? කවුරුන් වැරැදිද? යන්න එහි දී වැදගත් නොවේ.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (1)

වෛරයෙන් රටවල් කඩන ශෝකාන්තය

Keshan Saturday, 05 March 2022 12:02 PM

මෙතැනදී යේමනය ගැන කතා කරන්නම ඕනෑ. ඔය සුදු ඇඳගෙන කතාකරන යුරෝපා මාධ්‍ය එකක්වත් කතා නොකරාට හැමදාම යේමනයට සෞදියයි, ඇමරිකාවයි බෝම්බ දානවා. ඔව් මේ දැනුත් දවසට නගර කීපයකට බෝම්බ දානවාමයි. එකම හේතුව ඔවුන් සුළුතර ශියා මුස්ලිම් වරුන්වීමයි. යුක්‍රේනයේ මිනිසුන් 300ක් මැරෙන විට ලෝකෙම ඉවරයි වගේ කතා කළ ඇමරිකාව ඉරාක යුද්ධයේදී අහිංසක මුස්ලිම් වැසියන් ලක්ෂ 10ක් මරා දැමිණි.. ඒකෙන් මම කියන්නේ යුක්‍රේනයේ අහිංසකයින්ට වෙන අසාධාරණය හොඳයි කියා නම් නොවේය. දෙගොල්ලන්ම මිනිස්සුය. දෙගොල්ලන්ටම නිදහසේ ජීවත් වෙන්න අයිතිය දෙන්න ඕනෑය...

:       2       41

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3070 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12234 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 564 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 939 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1017 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 495 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site