ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම අවසන් වීමෙන් අනතුරුව ඉදිරි මාස හතර ඉකුත් වීමට පෙර ආර්ථිකය පිළිබඳ එවැනි වාර්තාවක් මුදල් ඇමැතිවරයා මගින් රජය වෙත ඉදිරිපත් කිරීම මහබැංකුවට පැවැරී ඇති නීත්‍යනුකූල වගකීමකි.
පසුගිය වසර තුළ රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයට සම්බන්ධ සෑම අංශයක් පිළිබඳවම කෙරෙන සමාලෝචනයක් එම වාර්තාවට අඩංගුව ඇති හෙයින් පසුගිය වසරේ ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳව නිල දත්ත සහ ප්‍රකාශ ලබා ගැනීමට එමගින් අවස්ථාව සැලසේ.
2020 වසරේ කෝවිඩ් ව්‍යසනයට මුහුණ දීමෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳව සැමවිටම වාර්තා වූයේ කඩාවැටීම් හා පරිහානි තත්වයකි. එමෙන්ම, මහජන පීඩනය. රැකියා සහ ආදායම් මාර්ග අහිමි වීම් හා උග්‍ර වන ආර්ථික දරිද්‍රතාව පිළිබඳ අසතුටුදායක ප්‍රවෘත්තිය. කෝවිඩ්වලින් පසුව පැන නැගුණු ගෝල්ෆේස් අරගලයට මහා ජන සහභාගිත්වයක් ලැබීමට හේතු වූයේ ද ඉන් පසුව ඇති වූ මෙම ආර්ථික අර්බුදයයි.
පැවැති ආර්ථික අර්බුදය හා මහජන පීඩනය ගෝල්ෆේස් අරගලය ලෙස එළිදැක්වුණ අතර, මුදල් අමාත්‍ය ධුරයේ වෙනස්කම් ඇති කිරීම සඳහා ද, අග්‍රාමාත්‍ය ධුරය සහ ජනාධිපති ධුරය වෙනස් කිරීම ඇතුළු රටේ ප්‍රබල දේශපාලන වෙනස්කම් ඇති කිරීම සඳහා ද මෙම තත්වය හේතු විය. 2022 වසරේදී රටේ ආර්ථික අර්බුදය දරුණුම තත්වයකට පත්වූ අතර, ඉහත සඳහන් බොහොමයක් දේශපාලන වෙනස්කම් ද 2022 වසරේ මැද භාගයේ සිටම අත්දැකීමට හැකි විය. 2022 අප්‍රේල් 12 වැනිදා රට බංකොලොත්භාවයට පත්වීම ප්‍රකාශයට පත්කිරීම ආර්ථික අර්බුදයේ උච්ඡතම අවස්ථාව පිළිබිඹු කළේය. එවැනි තත්වයක් තුළ පසුගිය වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් පිළිබඳව ඉදිරිපත් කෙරෙන මහ බැංකු විවරණය රටේ ආර්ථිකය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාගේ අවධානය දිනාගනු ඇත.
ශ්‍රී ලංකා මහබැංකුවේ 2024 වාර්ෂික ආර්ථික විවරණයේ සඳහන් ප්‍රධාන කරුණු සියල්ලම පිළිබඳව සාකච්ඡා කිරීමට මෙහිදී බලාපොරොත්තු නොවේ. රටේ ආර්ථික අර්බුදයට තුඩු දුන් සමහර අංශ, ආර්ථික වර්ධන ප්‍රවණතාවල සිදුව ඇති වෙනස්කම්, ප්‍රධාන සාර්ව ආර්ථික උපනති පිළිබඳ තත්වය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට 2020න් පසු කාල පරිච්ඡේදය හැඳින්විය හැක්කේ රටේ ආර්ථිකය දරුණුම පසුබැස්මකට ලක්වූ කාලවකවානුව ලෙසය. 2020 වසරේදී ආර්ථික වර්ධන වේගය සියයට ඍණ 4.62ක් වූ අතර, එය 2021 දී සියයට 4.21ක් ද, 2022 දී සියයට ඍණ 7.35ක් ද, 2023 දී සියයට ඍණ 2.30ක් ද විය.
2022 අප්‍රේල් මාසයේදී රට බංකොලොත්භාවයට පත්වීම ප්‍රකාශ කිරීමෙන් පසු ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් මෙවැනි පසුබැසීමක් හැර වෙනත් තත්වයක් බලාපොරොත්තු විය නොහැකිය. එසේ වුව ද, 2022 වසරේ ජුලි මස 21 වැනිදා ජනාධිපති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇති කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් ඉතා කෙටි කලක් තුළ රටේ ආර්ථිකයේ ඇතිව තිබූ එම පසුබැස්ම ආපසු හැරැවීමට හැකි වූ ආකාරය පිළිබඳ කතාන්දරය 2024 මහ බැංකු වාර්තාව මගින් හෙළිදරව් වී තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමෙන් පසුව ද පැවැති ආර්ථික අර්බුදයේ දැඩි පීඩාකාරි බව තවත් කලක් පැවැතුණි. ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසයේ සිදු වූ දරුණුතම කඩා වැටීම ලෙස හැඳින්විය හැක්කේ 2022 වසරේ තුන්වැනි කාර්තුවේ සිදු වූ ආර්ථික වර්ධන පසුබෑමය. කෙසේ වුව ද, එම තත්වය පැවැතියදීම ආර්ථිකය සම්බන්ධයෙන් සිදු කරන ලද ඇතැම් වෙනස්කම් සහ නව උපායමාර්ග හේතුවෙන් මුල් පියවරේදී සැලකිය යුතු මට්ටමක ආර්ථික ස්ථාවරභාවයක් රට තුළ පවත්වාගෙන යාමට හැකි විය. ගෑස්, ඉන්ධන සහ ඖෂධ පෝලිම් නැති වූ අතර, දෛනික විදුලිය කපා හැරීම් ද නතර විය. ඒ ආකාරයට ජන ජීවිතයේ සැනසිලිදායක ස්ථාවරභාවයක් ගොඩනැගුණ අතර, රජයේ ඊළඟ පියවර වූයේ බිඳ වැටුණු ආර්ථිකය එම තත්වයෙන් නගාසිටුවීමය.
රටේ සිදු වූ මෙම ආර්ථික වෙනස 2024 වසරේ පළමු කාර්තුවේ සිටම දැක ගැනීමට හැකි වේ. එම වසරේ පළමු කාර්තුවේ රටේ ආර්ථිකය සියයට 5.3කින් ද, දෙවැනි කාර්තුවේදී 4.7කින් ද, තුන්වැනි කාර්තුවේ සියයට 5.5කින් ද, හතරවැනි කාර්තුවේදී සියයට 5.4කින් ද වර්ධනය වී තිබේ. 2024 වසරේ වාර්ෂික වර්ධන අනුපාතය සියයට 5කි. කෝවිඩ් ව්‍යසනයෙන් සහ පැවැති ආර්ථික අර්බුදයෙන් පසු ඉහළම ආර්ථික වර්ධනයක් අත්කරගැනීමට 2024 වසරේදී ශ්‍රී ලංකාවට හැකි විය.
එය වසර හතකට පසු ශ්‍රී ලංකාව අත්කරගත් ඉහළම ආර්ථික වර්ධන අනුපාතය වේ. එම වසරේ තුන්වැනි කාර්තුව අවසානයේ එනම් සැප්තැම්බර් 21 වැනිදා රටේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්වූ අතර, හතරවැනි කාර්තුවේ නොවැම්බර් මස 19 වැනිදා නව ආණ්ඩුවක් බිහි විය. එසේ වුව ද, ආර්ථික විද්‍යාව පිළිබඳව දැනුමක් ඇති ඕනෑම කෙනකුට වැටහෙන සත්‍යය වන්නේ, රට තුළ සිදු වූ එම දේශපාලන වෙනස්වීම් අදාළ මුළු වර්ෂය තුළම රටේ ඇති වූ ඉහළ ආර්ථික වර්ධනය කෙරෙහි කිසිදු බලපෑමක් සිදු නොකළ බවය. වසර දෙකක් තුළදී රටේ ආර්ථිකය මේ ආකාරයෙන් ගොඩනැගීමට හැකි වූයේ 2022 ජුලි මාසයෙන් පසු හඳුන්වා දුන් නව සහ දැඩි ආර්ථික ප්‍රතිපත්ති බව ඕනෑම කෙනකුට වැටහෙනු ඇත.
ආර්ථික අර්බුදයේ මූල බීජය වූයේ රට මුහුණ දුන් විදේශ විනිමය හිඟයයි. 2022 ජුලි මාසය වන විට වරායට එන ඉන්ධන සහ ගෑස් නැව්වලට ගෙවීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය හෝ සොයා ගැනීමට නොහැකි තත්වයකට රටේ විදේශ විනිමය සංචිත සිඳී තිබුණි. එම තත්වයට විසඳුම් ලබා දීම සඳහා අනුගමනය කරන ලද සාර්ව ආර්ථික ප්‍රතිපත්ති බෙහෙවින් සාර්ථක වී තිබේ. 2024 සැප්තැම්බර් මාසය වන විට ඩොලර් බිලියන 6.0ක විදේශ සංචිත පවත්වාගෙන යෑමට රටට හැකි වූ අතර, එම වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.1ක් දක්වා වර්ධනය විය.
2024 වසරේ ජනවාරි 1 වැනිදා වන විට විදේශ විනිමය අනුපාතය පැවැතියේ ඩොලරයක් රුපියල් 323.92ක් ලෙසය. එසේ වුව ද, 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී එය ඩොලරයක් රුපියල් 293.72ක් දක්වා රුපියලේ අගය ඉහළ ගිය අතර, 2024 දෙසැම්බර් 31 වැනිදා වන විට ද ඩොලරයේ අගය එම මට්ටමේම පැවැතුණි.
පසුගිය වසරේ ශ්‍රී ලංකාව සර්ව ආර්ථික කළමනාකරණයේදී විශිෂ්ටතම ප්‍රතිඵල ලබාගෙන ඇත්තේ උද්ධමනය පාලනය කිරීම සම්බන්ධයෙනි. ඊට පෙර වසරවලදී වැඩිම උද්ධමන අනුපාතයක් පැවැති රටවල් කිහිපය අතරට එක්වෙමින් ශ්‍රී ලංකාව ද උද්ධමනය සම්බන්ධයෙන් වාර්තා තැබූ ආකාරය බොහෝ දෙනකුට දැන් මතක නැතැයි සිතමි. 2024 වසරේදී උද්ධමනය පාලනය කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ එය මේ වන විට අවධමනයක ස්වරූපය ගෙන තිබීමයි. එහි අදහස වන්නේ, උද්ධමනය ඍණ මට්ටමකට පත්ව තිබීමයි. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ මිල මට්ටම් ඒ ආකාරයට පහළ යාමක් පිළිබඳව වාර්තා වී නැති තරම්ය.
2024 වසරට අදාළව ආර්ථිකයේ සමස්ත ක්‍රියාකාරිත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ, කෝවිඩ් ව්‍යසනය සහ ඊට පසුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් බිඳවැටුණු සෑම ආර්ථික අංශයක් පාහේම දැන් යථා තත්වයට පත් වෙමින් ඇති බවය. ආර්ථික අර්බුදයට ප්‍රධාන වශයෙන් හේතු වූ මූලික කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුතුව ඒවාට පිළියම් යෙදීම සඳහා කටයුතු කර තිබේ. ඉන් ප්‍රධාන එකක් වූයේ, රට තුළ ප්‍රමාණවත් බදු ක්‍රමයක් ක්‍රියාත්මක නොවීම, බදු පරිපාලනය දුර්වල වීම, බදු අය කර නොගැනීම හා විවිධ පසුබිම් යටතේ බදු නිදහස් කිරීම් ලබා දීමය. ඒ සියල්ල නවතා නව බදු ක්‍රමයක් ද, නව බදු නීති ද හඳුන්වා දෙන ලදී. ඒ අනුව, 2024 වසරේදී මෑත කාලයේ ලැබූ ඉහළම බදු ආදායම ලබා ගැනීමට හැකි වී තිබේ.
මූල්‍ය හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් හඳුන්වා දුන් වෙනස්කම් යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත්කර ඇති අතර, මුදල් මුද්‍රණය කිරීම සහ රටේ ණය ගැනීම් පාලනය කිරීමට ද කටයුතු කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛණිජ තෙල් සංස්ථාව වැනි ආයතන සහනාධාර සහ ණය ගැනීම් හේතුවෙන් රටේ ආර්ථිකයට බරක්ව පැවැතිය ද දැන් ඒවා ලාභ ලබන තත්වයකට පත්ව තිබේ. එක අතකින් රජයේ වියදම් අඩු කරන අතර, අනෙක් අතින් රජයේ ආදායම වැඩි කරගැනීම තුළ ශක්තිමත් ආර්ථික ස්ථායිතාවක් ගොඩනැගීමට හැකි වී තිබේ.
බොහෝ විවේචන, විරෝධතා සහ අපවාද මධ්‍යයේ වුව ද රටේ ආර්ථිකය ගොඩගැනීම අරමුණු කරගෙන කවර බාධක පැමිණිය ද එම කාර්යය රනිල් වික්‍රමසිංහ මහතා නොපිරිහෙළා ඉටු කළේය. බංකොලොත්භාවයට පත් ලෝකයේ කිසිම රටක් මේ තරම් කෙටි කාලයක් තුළදී බංකොලොත් බවින් අත්මිදී නැත. බංකොලොත්භාවය නිසාම මේ තරම් ඉක්මනින් ඉහළ ආර්ථික මට්ටමකට පත්වී ද නැත. දෙවැනි ලෝක සංග්‍රාමයේදී බ්‍රිතාන්‍යයත්, ලෝකයත් පැසිස්ට්වාදයෙන් බේරා ගැනීමට නායකත්වය දුන් වින්සන්ඩ් චර්චිල් යුද්ධයෙන් පසු පැවැත්වූ පළමු මහ මැතිවරණයේදීම මහජනතාව ඔහු ගෙදර යැව්වේය. ආර්ථික පරිහානියේ පතුලටම කිඳාබැස තිබූ ශ්‍රී ලංකාව ඒ තත්වයෙන් මුදා රටේ මහජනතාව පීඩනයෙන් මුදාගත් රනිල් වික්‍රමසිංහ මහතා ද ඒ ආකාරයෙන්ම මහජනතාව විසින් ගෙදර යැව්වේය. එසේ වුව ද, ඔහුගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම මිස වෙනත් විසඳුමක් නැති බව දැන් බොහෝ දෙනකු අවබෝධ කරගෙන සිටින බව පෙනේ.
2023 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකඟතා ඇති කරගැනීමට හැකි විය. එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීමේ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට ද හැකි විය. 2024 වසර අවසන් වීමට පෙර ඊට අදාළ සියලුම කටයුතු නිම කළ අතර, ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සියලු කාර්යයන් ද අවසන් වී තිබුණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ, රට බංකොලොත්භාවයෙන් අත්මිදීම සහ යළිත් ආර්ථික කටයුතු සාමාන්‍ය තත්වයකට පත් කරගැනීමට හැකි වීමය.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුම බණ්ඩාර
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වර්තමාන ආර්ථිකය කොතැනද?