IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වූහාන් නේවාසිකාගාරයේ හදගැස්ම

මේ තොරතුරු ලියන වෙලාවෙත්  අපි ඉතාමත් ආරක්ෂිතව ඉන්නවා  කියලා හැමෝටම කියනවා. ඒ වගේම අපේ තානාපති කාර්යාලය අපි ගැන අහනවා, බලනවා. ඒත් ලෙඩක් හැදෙන්න  කලින් ලංකාවට ඇවිත් නිරෝධායන මධ්‍යස්ථානයකට හරි වෙලා අපේ මිනිස්සු ළඟ වැටිලා ඉන්න ලැබෙන්න අපි වාසනාවන්ත වෙයි කියලා හිතනවා“ යැයි චීනයේ වූහාන් විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක  මේ  වන විටත් රැඳී සිටින  ඇඹිලිපිටියේ ප්‍රදේශයේ පදිංචි කසුන් චාමර (28)  සිසුවා ලංකාදීප වෙබ් අඩවියට ලිපියක් යොමු කරමින් පවසයි.

 

 

“පුළුවන් ඉක්මනට අපිව ලංකාවට  ගෙන්න ගන්න කියන එකයි අපේ ඉල්ලීම,  මුළු  ශ්‍රී ලංකාවම අපි එක්ක ඉන්න බව අපි දන්නවා. මේ නගරයේ තනි වෙලා ඉන්න අපිට ඒක  ලොකු ශක්තියක්“ යැයි ද කසුන්ගේ ලිපියේ වැඩිදුරටත් සටහන් වේ.

කසුන් චාමර  ඌව වෙල්ලස්ස සරසවියේ  විද්‍යා හා තාක්ෂණවේදී උපාධිධාරියෙකි. වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා  චීනයේ වූහාන් සරසවියේ ඉගෙනුම ලබමින් සිටි.

ඔහු සමඟ සරසවි නේවාසිකාගාරයේ තවත් ශ්‍රී ලාංකික සිසුහු තිදෙනෙක් රැදී සිටිති. ඔවුන් ද  ඇතුළුව වූහාන් නගරයේ තැනින් තැන ආරක්ෂිත ස්ථානයන්හී ශ්‍රී ලාංකික සිසු සිසුවියෝ 33 දෙනෙක් තවමත් රැදී සිටිති.

 

මේ වන විට තමන් මුහුණ පා සිටින තත්ත්වය පිළිබඳව ලංකාදීප වෙබ් අඩවියට කසුන් චාමර ලියා සිටියේ මෙලෙසිනි.

 

‘චීනයේ  නගර වලින් ලස්සනම නගරයක පිහිටා ඇති  සරසවියක්   වුණ  වූහාන් සරසවිය  දැන් හරිම අදුරු මූසල බවකින් පිරිලා.

සරසවියේ ඇතුලේ  තත්ත්වය  අපි ඇස් දෙකෙන්ම දකිනවා.

ඒත් එළියේ තත්ත්වය  අපි දකින්නෙත් අන්තර්ජාලය හරහා කවුරුන් හෝ නරඹන වීඩියෝ වලින්.

අපිත් ඇතුළුව ලෝකයක් ආදරේ කළ ඒ ලස්සන නගරය කොරෝනා නම් වෛරසය විසින් ගිලගනිමින් ඉන්නවා.

 

වූහාන් නගරයේ  එදා තිබුණ ලස්සන අද නැහැ.

කලබලෙන් යන මිනිස්සු නැහැ . 

එක් පේළියට තියන වාහන නැහැ.

පාරවල් හැමතැනම හිස්.  

ඇස් ඉස්සරහ හරි අපූරුවට අනිත්‍ය පේනවා.

තාක්ෂණය අතින් කොච්චර ඉදිරියෙන් හිටියත්, යුද්ධමය අතින් කොයිතරම් බලවත් වුණත්, ස්වාභාව ධර්මයේ යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා.

“සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ“ කියන  පද පේළිය මතක් වෙනවා මේවා දැක්කම.

අපි මොන දහම ඇදහුවත් මේ වගේ වෙලාවකදි තමයි හරියටම ඒ දහම් කරුණු පසක් වෙන්නෙ. ඒක මනුස්ස ස්වභාවය වෙන්න ඇති.

සති දෙකකට ආසන්න කාලයක් එකම කාමරයකට වෙලා දවසේ එකම දේවල් ටික ඒ විදියටම කරගෙන යන එක හරි අමාරු දෙයක්.  පෘතග්ජනයෝ  විදියට අපි හැම වෙලේම වෙනස් වෙන්න කැමති වෙනස් දේවල් කරන්න කැමති ඇවිදින්න කැමති පිරිසක්.

මේ වෙද්දි ලෝකෙම අවධානය චීනෙට යොමු වෙලා. මිනිස්සු කොරෝනා නිසා ජීවිතේ යදිනවා.ලෝකෙම හොල්ලගෙන ඒ  ඔක්කොම යටත් කරගෙන හිටියත් ඇහැටවත් පේන්නැති පොඩි දෙයක් මුළු ලෝකෙම වෙනස් කරමින් ඉන්නවා. අහිංසක මිනිස්සු දහස් ගාණක් දුකට දාල හැම කෙනෙක්ගෙම මුහුණේ බිය, අවිනිශ්චිත බව පිරිලා. එකෙනෙකා දිහා සැකෙන් බලනවා.

ඇහැට පේන්නේ නැති පොඩි දෙයක් කරපු දේක තරම....

කොහොම උනත් ඒ මිනිස්සුත් මේක නවත්තන්න ලොකු උත්සහයක් ගන්නවා.

මිනිස්සු එක හඩින් කෑ ගහලා කියනවා ‘වූහාන් ජායෝ ‘  (යළි නැගිටිමු වූහාන්)  කියලා. මේ වෙද්දි වැඩිපුරම කොරෝනා වෛරස් එක පැතිරිලා තියෙන, අපේ  ශ්‍රී ලංකාව තරමටම ලොකු  මේ  නගරේ එක පුංචි කාමරෙකට වෙලා දවසින් දවස මොනවද වෙන්නේ කියලා අපි බලන් ඉන්නවා. 

දන්න නොදන්න හැමෝම කතා කරලා දුක සැප අහනවා. පුළු පුළුවන් විදියට හැමෝටම කියනවා. ඒ වගේම ගෙවල් වලට සැප වැඩියෙන්, දුක අඩුවෙන් කියනවා.

අපි වෙනුවෙන් අඬන, දුක් වෙන අය අපි එක්ක කතා කරද්දි ඒ දුකක් ගොඩක් පෙන්නන් නැහැ. ඒ අපි ගැන හිතලා. අපිව මානසිකව හොඳ තත්ත්වයක තියන්න.

මුලින්ම මම හිතුවෙත් අපි ලෝකෙන්ම හුදෙකලා  වෙලා කියලා. අහන්න දකින්න ලැබුණෙත් ලෝකෙන්ම හුදෙකලා වුණ  වූහාන් නගරය කියලා. ඒත් දැන් මුළු  ශ්‍රී ලංකාවම අපි එක්ක. ඒ සොඳුරු මනුස්සකම පිරුණු අපේම අම්මලා, තාත්තලා, අයියලා,  අක්කලා,  නංගිලා,  මල්ලිලා, දස දහස් ගණනක් අපි එක්ක ඉන්නවා.  දුක සැප අහනවා.  අපි එනකන් බලන් ඉන්නවා. දෙවියන්ට බුදුන්ට කියනවා. ආශිර්වාද කරනවා.  සෙත් පතනවා. ඉතින් මෙච්චර දරුණු නගරෙක හිත සතුටින් ඉන්න තව මොනවත් ඕනිද ?

මෙහේ ඉන්න අපි වෙනුවෙන් මුළු  ලංකාවක්,  ලංකාවෙන් පිට ඉන්න හදවතේ  තෙතමනය  තියෙන  මනුස්සකම පිරුණු  මිනිස්සු ඔක්කොම එකතුවෙලා  එක ප්‍රාර්ථනාවක් කරනවා. දෙවියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලනවා. ඒක බල සම්පන්නයි,  ඒක බලගතුයි. ඒ ආශිර්වාදය අපිට සෙතක් වෙනවා.  ඒක අපිට දැනෙනවා.

කවදාවක් නොදැක්ක නොදන්න, කවුද කොහේ කොහොම ඉන්න කෙනෙක්ද කියලවත් නොදන්න මගේම රටේ මගේම අය අපේ දුක සැප අහනවා. කන්න බොන්න එවන්න අහනවා.  ටිකට් වලට සල්ලි ඒවන්න අහනවා. ඇවිත් නැවතිලා ඉන්න තැන් දෙන්න අහනවා.

දෙවියෝ අපේම මහපොළවේ අපිත් එක්ක. ඒ දෙවියො අපිට කතා කරනවා කියලයි අපිට හිතෙන්නේ.

අපිට ඒ කිසිම දෙයක්එපා. ඒ වචන වලින්ම තේරෙනවා මේ හැමෝම අපි එක්ක ඉන්නවා  කියලා.

එයාලත් මේ ප්‍රශ්නෙට මුහුණ  දෙමින් ඉන්නවා. බයෙන් සැකෙන් ඉන්නවා. එහෙම තත්වෙක ඉදිද්දිත් අපි ගැනම හොයන ඒ හදවත් ඒ අපේකම ඒ සහෝදරත්වය ඒ මානුෂවාදී බව වෙන රටක නෑ. මෙහේනම් කොහෙත්ම නෑ.

අපි මේ  ලෙඩ අරන් එන්න බලන් හිටියෙවත්,  එහෙම එන්නෙවත් නෑ. අපි තාමත් හොඳින් ඉන්නවා. ඒත් එක්කෙනෙක්ටවත් මේක හැදුනොත් මෙහේ ඉන්න අනිත් අය බේරිලා මොකටද?

ඒ ලෙඩ වුණ කෙනා මෙහේ රෝහලකට ගිහින් දායි. චීන භාෂාව දන්න කෙනෙක්නම් කතා කරයි. ඒත් මෙහේ ඉන්න හැමෝටම චීන භාෂාව බැහැ. මේ ලියන මාත් ඇතුළුව... ඉතින් නොදන්න රටක නොදන්න දොස්තරලා ලෙඩ්ඩු ගොඩක් මැද තනි වෙලා ඉඳී.

කව්ද ඒ අය බලාගන්නේ. ඒ වෙලාවෙ ඒ කෙනාගෙ මානසික මට්ටම කොහොම වෙවිද? ඉතින් කොරෝනා නිසා නෙමෙයි මැරෙන්න වෙන්නේ හිතේ දුකට. අම්ම තාත්ත මතක් වෙද්දි නෑදෑයො ළගින් හිටපු කතාබහ කරපු අය මතක් වෙද්දි පපු පැලෙයි.

මේ වෙද්දි ලෙඩ්ඩුන්ගෙන් රෝහල් පිරිලා. ඉතින් මෙහේ රටේ අයට කළින් අපිව රෝහලට ගනීවිද? අපි මේ ඉල්ලන්නෙ ලෙඩවෙන්න කලින් ලංකාවට ඇවිත් නිරෝධායන මධ්‍යස්ථානයේ  අපේ මිනිස්සු ළඟ වැටිලා ඉන්න.

මේ වෙද්දි මෙහේ අපි 33 දෙනෙක් ඉන්නවා. පොඩි ළමයි 4 දෙනෙකුත් එක්ක. තව අය ඉන්නව  වෛද්‍ය සිසුන්  එයාලා ඉන්නෙ රෝහල ළඟනේවාසිකාගාරවල. ඉතින් නිකමටවත් එළියට එන්න බයේ ඉන්නවා.

මේ වෙද්දි සමහර විශ්ව විද්‍යාල වලින් කෑම දෙනවා.  මම ඉන්න තැනත් දෙනවා. ඇත්තම කියනවනම් මමත් එක්ක ඉන්න අනිත් තුන්දෙනා ඇතුළු  අපි හතරදෙනා  ඒ කෑම කන්නේ නැහැ. (මේ වගේ වෙලාවකදිවත් මුන්ට දෙන දේ කන්න බැහැ කියලා ඔයාලා හිතන්න  එපා.  ඒවයෙ මස් තියනව. අපිට තාම බයයි ඒව කන්න.) දවසට එක දෙයක් හරි අපිම උයාගෙන කනවා. අපි වැඩිපුර බඩු අරගෙන තිබුණ නිසා  අපි ළඟ තාම උයන දේවල් තියෙනවා.

මෙහේ  අලුත් අවුරුද්දට කොහොමත් මෙහේ වෙළඳ සංකීර්ණය  වහනවා. ඒක නිසා ඒ ගත්ත කෑම තාම අපි ළඟ තියෙනවා. අපි එකතුවෙලා ඒවා උයාගෙන කනවා. අනිත් අයත් හැමෝම දවසකට එකක් හදාගෙන හරි කනවා. වෙළඳ සංකීර්ණය ඇරලා  තියනවා. ඇයි ඒවට අපි යන්නේ නැත්තේ  කියලා  සමහරු අපෙන් අහනවා.  අපි ඉන්න තැන ඉදලා ඒවා දුරයි. එකක් දෙකක් ඇරලා තියෙනවා. ඒත් ඒවට යන්න බයයි අපිට.

අපේ තානාපති කාර්යාලයත්  අපි ගැන අහනව බලනවා. නමුත් මුල් දවස්වල එයාලත් අපොහොසත් වුණා අපිට දේවල් ලබා දෙන්න. මේ වෙද්දි අහනවා  අපෙන් ඕනෙ දේවල් . ඉදිරියෙදි ඒව ලැබෙයි කියලා හිතනවා. එහෙම බැලුවම කන්න බොන්න හොයාගන්න බැරිවෙන එකක් නෑ.

කන්න බොන්න දෙනවනම් එහේටම වෙලා ඉඳපල්ලා  කියන අයට කියන්නෙ කොරෝනා තවමත් සක්‍රියයි.  නගරය පුරාම, රට පුරාම, ලෝකය පුරාම.

අපි උදේම නැගිට්ට ගමන් බලනවා  අද කොහොමද තත්ත්වේ කියලා.  රෝගීන් මැරෙන එක වැඩිවෙලා  අඩු වීමක් කවදාවත් අපි දැක්කේ නැහැ.  මේක පැතිරෙන වේගය  දැනෙන්නෙ මෙහෙම ඉදිද්දි. හෙට ලෙඩා මම වෙයිද කියන එක හැම මොහොතකම් හිතෙනවා.  එහෙම උනොත් ගෙදර මිනිස්සුන්ට මොනව කියන්නද?  තාමත් ඇත්ත තත්වෙ ගෙවල් වල්ට කියන්නෑ. කොහොම කියන්නද? අපි හැම කෙනාගෙම පැත්ත බලන්න ඕනි.

හැමදාකම අපේ උෂ්ණත්වය පරීක්ෂා කරනවා.  ඒ හැමවෙලේම ඒක දිහා බලන්නෙ බයෙන්. මේක වෙන්නැති මරණ බිය කියන්නේ. ඒ කියන්නේ තමන්ගෙ මිනිස්සු දාල යන්න බැරි දුක. කෑගහල ලෝකෙටම  කිව්වත් මොකුත් කරගන්න බැරි උනාම දැනෙන හැඟීම මේක වෙන්නැති කියලා මට හිතෙනවා.

දවසින් දවස විඳවන්නේ මේ දේවල්. අපි සතෙක් හරි කූඩු කරගෙන ඉන්න ඇති කවදක හරි. අපි ඒක අත්විඳිනව දැන්. එකම තැනක එකම විදියට දවස් ගෙවෙද්දි  අධ්‍යාපන වැඩකටවත් හිත යොදන්න බැහැ. ඒක මගෙ වරදක්  වෙන්න පුළුවන්. මනස එක තැනක නැහැ.

ඉතින් මම  හැමෝටම කියන්නෙ. මේ වෛරසයෙන්  හැමෝම බේරෙන්න ඕනෑ. හැමකෙනෙක්ම. හැමෝම ආසයි ජීවත් වෙන්න. කවුරුත් කැමති නැහැ  ඊළඟ රෝගියා තමන් වෙන්න. තමන්ගෙත් අනුන්ගෙත්  සෞඛ්‍ය ගැන හිතලා මේ වෙලාවේ  පුළුවන් විදියට හැමෝටම උදව් කරන්න ඕනෑ.

රට ඉඳන් ආවම  සැකෙන් බයෙන් බලන මිනිස්සු, මුඛ ආවරණ  දාගෙන  පාරේ යද්දි ඒ මනුස්සයා දිහා  අමුතුවට බලන මිනිසුන් , ඒ දේවල් ගැන දෙපාරක් හිතන්න. මට දැනුන දැනෙන විදියට  ශ්‍රී ලාංකිය මිනිස්සු කියන්නේ  එකිනෙකාට උදව් කරන ,බැඳීමක් ඇති ලෝකයේ ඇති එකම  එකම මිනිස් කොට්ඨාසය. මෙහේ එහෙම නෑ.

අපි හැමෝම හරි විදියට හැමෝටම උදව් කරන්න පටන් ගත්ත දවසට කවුරුත් මැරෙනකල් බලන් ඉන්න ඕනි වෙන එකක නැහැ. කොරෝනට බෑ මනුස්සකමට උඩින් යන්න. එදාට තේරුම් ගනී ලෝක යුද්දෙට වඩා හරිම බලවත් දෙයක් ලෝකෙ මිනිස්සුන්ගෙ එකමුතුව කියලා.

අපි දවසක ලංකාවට එයි. එක්කො කවදාවත් නොඑයි. පිං තිබුණොත් සුන්දර හදවත් තියන මිනිස්සු එක්ක තවත් කාලයක් ඉන්න අපි එනවා.

මේක ලියන වෙලාවෙත් අපි හොඳින්. හැමෝම පරිස්සමෙන් ඉන්න. මොකද කොරෝනා හැම ත්ත්පරේකම වැඩ.

(කසුන් වික්‍රමගේ වූහාන් සරසවි නේවාසිකාගාරයේ සිට)

 

 

 



අදහස් (18)

වූහාන් නේවාසිකාගාරයේ හදගැස්ම

සාරසී Thursday, 30 January 2020 12:44 PM

මේ දරුවෝ ගැන පුදුම දුකක් දැනෙන්නේ... මේ අය ගන්න විදිහක් නැතිව ඇති.. තානාපති කාර්යාලය පුලුවන් උත්සාහ කරනවා ඇති... ඉක්මණින් ලංකාවට එන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමු..

:       37       42

චමින්ද ජයනාත් ජයසූරිය Thursday, 30 January 2020 12:59 PM

මේ වචන ටික බලද්දී මටත් දැණුනේ මම ඒ තැනම අසරණ වෙලා වගේ හැඟීමක්... මට එහෙම නම් මේ අහිංසක ළමයින්ට කොහොම අැත්ද..? මට හිතෙන්නේ ඔයාලා විතරක් නෙමේ මේ වෙලාවෙ අපි හැමෝම අසරණ වෙලා කියලා.. මොනවා කරන්නද...? මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ.. මම හිතනවා ත්‍රිවිධරත්නයේ අාශිර්වාදය තියෙන කම් ඔයාලටවත්, අපේ රටටවත් කරදරයක් වෙන්නේ නෑ කියලා... මේ වෙලාවේ අපි හැමෝටම කරන්න තියෙන්නේ බුද්ධ.., ධම්ම.., සංඝ යන රත්නයන් තුනෙහි ගුණ සිහිකිරීමත් ඒ තුළින් අපේ කායික සහ මානසික ශක්තිය වර්ධනය කරගැනීමත් පමණයි.. මොනතරම් අද විද්‍යාව දියුණු වුනත් බුදුන් දෙසූ දහමම තමා අපි කාටත් අද සරණකට ඉතිරි වෙලා තියෙන්නේ... මම හිතනවා ඔයාලට ගොඩාක් ඉක්මණට කිසිම කරදරයක් නැතිව අපේ රටට එන්න ලැබේවා කියලා... හිත හයිය කර ගන්න.. හැමෝටම තෙරුවන් සරණයි...!!!

:       22       46

Wasantha Thursday, 30 January 2020 01:15 PM

ඔයාල එක්ක මුළු ලංකාවම ඉන්නවා. ඉක්මණට ජනාධිපතිතුමා ඔයාලා වෙනුවෙන් මොනවා හරි කරයි කියලා අපි හිතනවා. ධර්මයේ පිහිට මේ වෙලාවේ සිහි කරන්න. ලංකාවේ ඉන්න අපේ ස්වාමීන් වහන්සේ නමක්... මේ දරුවෝ වෙනුවෙන් සම්බන්ධ වෙනවා නම් මෙයාලා එක්ක ගොඩක් වටිනවා...

:       5       35

pakeer Thursday, 30 January 2020 01:21 PM

ලෝක ස්වභාවය මේක තමයි. එක රැයින් ඔක්කොම වෙනස්. මට හරි දුකයි ඔයාලා ගැන... අනාගතේ සරු කරගන්න මේ රටදාලා වැඩිපුර සල්ලි, තාන්න, මාන්න ගන්න ගිහින්.. දැන් හිතේ ගිනි.. ඔයාලට කරදරයක් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

:       14       34

Bernard Thursday, 30 January 2020 02:31 PM

මෙවැනි උගත් දරුවන් අපේ රටේ අනාගතයයි. මේ දරුවන්ව ආරක්ෂා ඇතිව ලංකාවට ගෙන්න ගන්න ක්‍රමයක් යොදන්න. සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ඔය ගොල්ලන්ට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

:       12       39

Raveendra Thursday, 30 January 2020 02:38 PM

මෙම පුවත කියවීමේදී ඔබලා ගැන ඇති වූයේ කණගාටුවකි. දරුවනේ අප ප්‍රාර්ථනා කරන්නේ නුඹලාට කිසිදු උපද්‍රවයකින් තොරව තමන්ගේ මාතෘභූමියට යාමට හැකිවේවා ... කියායි!!!

:       5       55

බණ්ඩාර Thursday, 30 January 2020 02:49 PM

දුකයි. ඒත් මොකද කරන්නේ? ලගක හිටියනම් හොරෙන් ඇවිත් ගෙනියනවා. වෙන දෙයක් පස්සේ බලනවා. බුදු සරණයි !

:       0       0

බුද්දදාස Thursday, 30 January 2020 04:26 PM

ත්‍රිවිධ රත්නයේ පිහිට, ආශිර්වාදය, රැකවරණය ලෙබේවා! කිසිම කරදරයක් ඔබ සැමට නොවේවා...!!! 

:       0       0

Deepa Thursday, 30 January 2020 06:30 PM

හරිම දුකයි මේ දරුවන් ගැන... දෙවිඳුන් යදිනවා හැර වෙන කරන්න දෙයක් නෑ. ඉක්මණින් එන්න ලැබේවා ලංකාව ඔයාලා එනකන් බලා ඉන්නවා සුවෙන් ඉන්න ශක්තිමත් වෙන්න.

:       0       0

lankasri Thursday, 30 January 2020 07:21 PM

මේ අවස්ථාවේ මොවුන් කළයුතු වන්නේ එකදිගට මෛත්‍රී භාවනාව කිරීමයි. එහිදී වෛරසයට ඇතුළුවිය නොහැකි ලෙස තමන් වටා ඇති ඕරා ස්ථරය ශක්තිමත් කර ගත හැකිය...

:       0       0

jayamanna Thursday, 30 January 2020 08:01 PM

උපාධිත් අරන් තියෙද්දී තව මොනවා ගන්නද ළමයෝ ඔහේ ගියේ? මේ ලංකාවේ ඊයේ පෙරේදා ලොකු වාහන අනතුරු කීපයක්ම වුණා. මැරෙන්න හිතලවත් නොහිතපු මිනිස්සු එක මොහොතකින් මැරුණා. නමුත් ඔබලා වාසනාවන්තයි. අපේ රටේ මනුස්සකම ඔය රටේ මිනිස්සුන්ට පෙන්නලා ලෝකවීරයින් වෙන්න ඔබලාට අවස්ථාවක් ඇවිත් තියෙන්නේ... මමත් ජපානේ හිටියේ 2011 ෆුකුෂිමා ප්‍රශ්නේ වෙලාවේ.... මම ගොඩක් දුරින් හිටියේ... නමුත් මම තවත් යාළුවන් කීපදෙනෙක්ම එක්ක එහෙ ගිහින් දන්සල් සහ උදව් දුන්නා ජපන්නුන්ට...

:       0       0

sunil perera Thursday, 30 January 2020 11:12 PM

ඔබ සියලු දෙනාටම නිරුපද්‍රිතව ලංකාවට එන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. එතෙක් මේ බලගතු ගාථා රත්නය භාවිතා කරන්න ...." බුද්දෝති ලෝක සරණෝ බුද්දෝ සුරියෝ තමොනුදෝ එවන්තන් සරණන් ඛේමන් බුද්දෝ මේ සරණන් වරන් ගච්චාමි සරණන් බුද්ධන් ( දම්මං ,සංඝං ) නත්ති මෛහන් භයන් සදා ...

:       0       0

Asoka Thursday, 30 January 2020 11:17 PM

මේ දරුවෝ බෞද්ධ අය ලෙස වැටහෙනවා. බුරජාණන් වහන්සේ වීශාලා මහනුවර තුන් බිය නැති කරන්න රතන සුත්‍රය දේශනා කල බව අපි අසා තිබෙනවා. ඔබලාව මුදා ගන්නා තුරු පිරිසිදු සිතින් තුන් සුත්‍රය සජ්ජායනා කරන්න. අපි සියලු දෙනාත් ඔබ සියලු දෙන සහ සියලු ලෝක වාසී ජනතාව වෙනුවෙන් එසේ කරන්නෙමු. සියලු දෙනාට තුණුරුවන් සරණය !

:       0       0

Sarath Silva Friday, 31 January 2020 01:13 AM

හරිම දුකයි ඔබගේ ලිපිය කියවද්දී. ඔබලාට කිසිම කරදරයක් නොවේවායි ප්‍රර්ථනා කරනවා ! ඒ වගේම ඔබගේ මව්බිමට හැකි ඉක්මනින් එන්න හැකි වේවායි මම පතමි. තෙරුවන් සරණයි !

:       0       0

Anurudda Friday, 31 January 2020 04:11 AM

ඔබ සියලු දෙනාට ඉක්මනින් නැවත මේ රටට පැමිණීමට හැකියාව ලැබේවායි මම පතමි. ශක්තිමත්ව සිටින්න. ඔබ සියලු දෙනාට බුදු සරණයි !

:       0       0

jayasekara Friday, 31 January 2020 04:55 AM

බුදු පියාණන්ගේ උතුම් දර්ශනය මතක් වෙන්නේ ගොඩක් අයට මේ වගේ වෙලාවට... නියම සත්‍ය එ්කයි. අපහාස කරනවා නොවේ. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. සියලු දේ වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට කියන මිථ්‍යාව මේ වෙලාවේ බොරුවෙනවා කියලයි මගේ හැඟීම.. කොහොම වෙතත් සැමටම ඉක්මණින් ලංකාවට එන්න ලැබේවා.. ලොවපුරා මේ දරුණු ව්‍යවසන පැතිරී නොයේවා...!!! ගිලන් වූ සැමට ඉක්මන් සුවය...

:       0       0

paba ` Friday, 31 January 2020 06:41 AM

තවම චීනයෙන් වුහාන්වල ඉන්න අයව එළියට ගන්න ඉඩ දීලා නැතිබවයි ආරංචිය. වැඩිම වුනොත් ඇමරිකාවේ කට්ටියක් විතරයි ගත්තා කියන්නේ... නමුත් අපේ රටෙනුත් දැනට ගන්න අවශ්‍ය පියවර ගන්න බව ඇහෙන නිසා මේ සම්බන්ධව පුළුවන් ඉක්මණින් සහනයක් ලැබේවා කියාහිතමු. කොහොම වුණත් මේ ළමයින් ආව ගමන් ගෙවල්වලට යවන එකනම් හොඳ නැහැ. මොකද මේ අයගේ හෝ ගෙවල්වල් අයගේ ප්‍රතිශක්තිය අඩු නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවනි. අනික මේ ළමයින් නොදැනුවත්ව රෝග වාහකයන් වෙන්න ඉඩ තිබෙනවා.

:       18       1

rihan Monday, 03 February 2020 08:39 AM

ඉක්මනින් මව් රටට පැමිණීමට ලැබේවා ! අල්ලාහ් ඔබලා සියලු දෙනා ආරක්ෂා කරත්වා යැයි මම ප්‍රාර්ථනා කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 4 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 14 0

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 99 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 10 0

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1502 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 683 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38579 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site