ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කළ කතාවේදී ප්‍රකාශයට පත්කළ නව බදු සංශෝධන අතරින් ඉතිරිකිරීමේ ගිණුම් සඳහා වූ රැඳවුම් බද්ද සියයට 5 සිට සියයට 10 දක්වා වැඩි කිරීම පිළිබඳව බොහෝ දෙනකු කම්පාවට පත්වී ඇති බව පෙනේ.
ශ්‍රී ලංකාවේ බැංකු හෝ මූල්‍ය ආයතනයක ඇති තැන්පතු වෙනුවෙන් ලැබෙන පොලිය මත සියයට 5 රැඳවුම් බද්දක් මේ දක්වා අය කරගනු ලැබීය. එසේ වුවද හඳුන්වා දෙන නව සංශෝධන යටතේ එය සියයට 10 දක්වා දෙගුණයකින් ඉහළ දමා ඇත. එහි සරල අදහස වන්නේ කිසියම් පුද්ගලයකු තම ඉතුරුම් වෙනුවෙන් රුපියල් සියයක පොලියක් ලැබීමට ඇතිවිට රුපියල් දහයක් රැඳවුම් බදු වශයෙන් අය කරගෙන රුපියල් 90 ක් පමණක් ඉතුරුම් හිමිකරුට ලැබෙන බවයි.
බැංකු පොලී ගෙවන විට මෙම බද්ද අඩු කරගෙන ඉතිරි පොලී ප්‍රමාණය පමණක් ඉතුරුම් හිමියන්ට ලබාදෙනු ඇත. මීට පෙර සමහර අවස්ථාවල තමන්ට වෙනත් ඉතුරුම් නැති බවට වූ ප්‍රකාශනයක් බැංකුවට ඉදිරිපත් කිරීමෙන් රැඳවුම් බද්දෙන් නිදහස් වීමට ඉඩ ලැබුණ ද එවැනි කිසිදු ක්‍රමයක් දැන් ක්‍රියාත්මක නොවේ. එබැවින් සියලුම ඉතුරුම් හිමියන්ට තම ඉතුරුම් සඳහා පොලිය ලැබෙන විට රැඳවුම් බද්ද අයකර ගැනීමෙන් පසු ඉතිරිය පමණක් ලැබෙනු ඇත. උදාහරණයක් ලෙස මාසිකව රුපියල් දාහක පොලියක් ලබාගන්නා අයට රුපියල් 100 ක්ද රුපියල් 10,000 ක් ලබාගන්නා අයට රුපියල් 1000 ක්ද රුපියල් 100,000 ක් ලබාගන්නා අයට රුපියල් 10,000 ක්ද රැඳවුම් බදු වශයෙන් ගෙවීමට සිදුවේ. මාසික පොලිය රුපියල් 150,000 ක් නොඉක්මවන්නේ නම් එම බදු මුදල ආපසු ලබා ගැනීම සඳහා අයැදුම් කළ හැකිය. ඒ සඳහා තම ආදායම් පිළිබඳ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ හැකිය. එසේ වුවද කුඩා ඉතුරුම් හිමියන් කවදා ලැබේදැයි සිතිය නොහැකි අතර එවැනි ආපසු ලැබීමක් ඉල්ලුම් කිරීමට ඉදිරිපත් වේයැයි ප්‍රායෝගිකව සිතිය නොහැකිය.
රැඳවුම් බද්ද වැඩි කිරීම නිසා මාසිකව හෝ වාර්ෂිකව තම ඉතුරුම්වලට ලැබෙන පොලිය මත තම ජීවිත පවත්වාගෙන යන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශාල පිරිසකට වැඩිම පීඩනයක් එල්ල වන බව පැහැදිලිය. විශ්‍රාම වැටුප් නොලබන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ට සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු හිමිවන්නේ අර්ථසාධක අරමුදල් ශේෂය සහ සේවක භාර අරමුදල් ශේෂයයි. ඉදිරි ජීවිත කාලය ගත කිරීම සඳහා ඒවා බැංකුවල තැන්පත් කර එම තැන්පතු මගින් ලැබෙන පොලිය මත ජීවත්වීමට සිදුව තිබේ. සමහර කාලපරිච්ඡේදවල ස්ථාවර තැන්පතු පොලී අනුපාත සියයට 10ක හෝ සියයට 15ක හෝ මට්ටමක ඊට වැඩි මට්ටමක පැවති විට තම ඉතුරුම් මගින් ලැබෙන ආදායම මත ආදායම් පිළිබඳව ස්ථාවරභාවයක් ඇතිකර ගැනීමට එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හැකියාව ලැබුණේය.
එසේ වුවද රටේ පොලී අනුපාත පහළ යනවිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඇතිවූ බලපෑම නොසලකා හැරිය නොහැකි සමාජීය ප්‍රශ්නයක් බවට පත්විය. එක අතකින් ඔවුහු ජ්‍යෙෂ්ඨ පුරවැසියෝය. අනෙක් අතින් තම ජීවිත කාලය රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවය කර රටේ සංවර්ධනයට තම දායකත්වය ලබාදී විශ්‍රාම ලබා සිටින පිරිස්ය. ඔවුන්ගේ ජීවන පැවැත්ම පොලී අනුපාත අඩුවීම නිසා බිඳ වැටෙන විට එය සමාජීය ප්‍රශ්නයක් බවට පත්විය. එවැනි තත්ත්වයක් තුළ එම ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධයෙන් සාමාන්‍ය පොලී අනුපාතවලට වඩා වෙනස් වු පොලී අනුපාත ප්‍රතිපත්තියක් හඳුන්වාදීම සඳහා රජය මැදිහත් විය.
පොලී අනුපාත අඩුවන විට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් දස ලක්ෂයක සීමාවට යටත්ව සියයට 15 ක පොලියක් ලබාදීමට මුලින්ම කටයුතු කරන ලදී. පසුව එය රුපියල් පහළොස් ලක්ෂය දක්වා ඉහළ දමන ලදී. මාසික පොලී අනුපාතය රුපියල් 150,000 ඉක්මවන අවස්ථාවලදී පමණක් රැඳවුම් බදු අය කිරීමට කටයුතු කරන ලදී. ඊට අමතරව බැංකු සියයට 0.5 සිට සියයට 1 දක්වා අමතරව ඉහළ පොලී ගෙවූ අවස්ථාවක් ද පැවතුණි. කෙසේ වුවද මේ වන විට එම ඉතුරුම් තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ලෙස පවත්වාගෙන යෑමට හැකියාව ලැබුණ ද ඒවාට ලබා දෙනුයේ සාමාන්‍ය ස්ථාවර තැන්පතු වෙනුවෙන් ගෙවන පොලී අනුපාතය හෝ ඊට වඩා දශම කීපයකින් හෝ වැඩි පොලී අනුපාතයක් පමණි.
මෑතක දී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ස්ථාවර තැන්පතු සඳහා ගෙවනු ලැබු සියයට 8 ක පොලී අනුපාතය සියයට 0.5 කින් අඩුකර සියයට 7.5 දක්වා පහත හෙළන ලදී. රැඳවුම් බදු ප්‍රමාණය සියයට 10 දක්වා ඉහළ දමන ලද්දේ එසේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලී අනුපාත අවම මට්ටමකට පත්ව ඇති අවස්ථාවකදීය. මෙය උග්‍ර සමාජීය ගැටලුවක් වීමට ප්‍රථම රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මෙම ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා රජය ක්‍රියාත්මක විය යුතුව තිබේ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමත් ඔවුන්ට සාමකාමීව සහ බාධාවකින් හෝ පීඩනයකින් තොරව තම ජීවිත පවත්වාගෙන යෑමට කටයුතු කිරීමත් ඕනෑම රජයක වගකීමක් වේ.
ලෝකයේ වැඩිහිටි ජනගහනය ක්‍රමයෙන් වැඩිවීම පිළිබඳව සෑහෙන කලෙක සිට ආර්ථික විද්‍යාඥයන්ගේ මෙන්ම දේශපාලනඥයන්ගේ ද අවධානය යොමුවී තිබුණි. දශක කීපයකට පෙර මෙම ගැටලුව ඇතිවීම පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ සංවාද සහ එයට විසඳුම් සෙවීම සඳහා යෝජනා ඉදිරිපත් වූ අතර ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාවට පහසුවෙන් තම ජීවිත පවත්වාගෙන යෑම සඳහා රජයේ මැදිහත්වීමේ අවශ්‍යතාව අවධාරණය විය. එම තත්වය තුළ මේ වනවිට බොහෝ රටවල් ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව වෙනුවෙන් විවිධ ආයතන බිහිකර විවිධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර තිබේ. ඔවුන්ට පහසුකම් සැලසීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ද ආර්ථික විද්‍යාඥයන්, දේශපාලනඥයන්, සමාජ ක්‍රියාකාරිකයන් මෙම ගැටලුව හොඳින් හඳුනාගෙන තිබෙන බව පෙනේ. එයට හොඳම උදාහරණයක් වන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයක්ම තම ප්‍රතිපත්ති ප්‍රකාශනවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පහසුකම් සලසන ආකාරය පිළිබඳව තිබීම සඳහන් කළ හැකිය. ජන සංඛ්‍යා විශේෂඥයන් විසින් සෑහෙන කලකට පෙර සිටම ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය වර්ධනය වීමේ ප්‍රවණතාව පිළිබඳව පුරෝකථන ඉදිරිපත් කර තිබුණි. දකුණු ආසියාවේ සියලුම රටවලට වඩා ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනහගහනය ඉහළ ගොස් ඇති අතර ජනගහනයේ අනුපාතයක් ලෙස ගත්විට 2021 දී වැඩිහිටි ජනගහනය සියයට 16.7 ක් වූ අතර 2031 වනවිට එය සියයට 20.7 ක් දක්වා වර්ධනය වනු ඇත. එහෙත් කනගාටුවට කරුණු වන්නේ මෙම ප්‍රජාවගේ සුරක්ෂිතතාව හෝ ජීවන මට්ටම රැකදීම සඳහා සැලකිය යුතු මට්ටමක කිසිදු පියවරක් ගැනීමට මේ දක්වාම රාජ්‍යය අපොහොසත් ව තිබීමයි.
වෙනත් රටවල ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ. උදාහරණයක් ලෙස වැඩිම ආයු කාලයක් ජීවත්වන රට බවට ජපානය පත්ව ඇත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් එවැනි පහසුකම් සැපයීම හේතුවෙනි. ඔවුන්ගේ ආදායම් මාර්ග වැඩි කිරීමට, ඔවුන්ට වඩා හොඳ වෛද්‍ය පහසුකම් සැපයීමට, වැඩිහිටි සමාජ ඇතිකර ඔවුන් සමූහ ක්‍රියාකාරකම්වලට යොමු කිරීමට රජය විසින් කටයුතු කරනු ලැබ තිබේ. ඒ හේතුවෙන් ජපානයේ ආයු අපේක්ෂාව දිගටම ඉහළ යයි. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කර බලන විට පෙනී යන්නේ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් එවැනි කිසිදු පහසුකමක් සැපයීමට මේ දක්වා කිසිදු රජයක් කටයුතු කර නැති බවයි. ඉහළ පොලී අනුපාත සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් මීට පෙර ලබා දී තිබූ එකම සහනය වුවද එයද දැන් අහෝසි කර තිබේ.
පවතින බැංකු පොලී අනුපාතයට වඩා ඉහළ පොලී අනුපාතයක් ගෙවීමට සිදුවීමෙන් රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවට ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබේ. එසේ වුවද එක්තරා කාලපරිච්ඡේදයක දී ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම වෙනුවෙන් ගෙවන ලද ඉහළ පොලී අනුපාතය රජය විසින් බැංකුවලට ආපසු ගෙවන බව ප්‍රකාශ කර සිටිය ද ඒවා ගෙවා තිබුණේ නැත. රජය ඒ වෙනුවට අනිවාර්ය නිල සංචිත අනුපාත අඩුකර බැංකුවලට දැරීමට සිදුවු පාඩු පියවීමට කටයුතු කරන ලදී. එසේ වුවද එවැනි ක්‍රියාමාර්ග වෙනුවට වාණිජ බැංකු ද සම්බන්ධ කරගෙන එම ආයතනවල ප්‍රජා වගකීම් පිළිබඳ ප්‍රතිපත්තිවලට ද අනුකූල වන ආකාරයේ ක්‍රියාමාර්ග ඇතිකර ගැනීමට පුළුවන.
දකුණු ආසියාවේ වැඩිම වැඩිහිටි ජනගහනයක් සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත්තේ පසුගිය කාලපරිච්ඡේදය තුළ එම රටවලට වඩා ආර්ථික වශයෙන් ප්‍රගතියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවීමත් රාජ්‍ය සුබසාධන ප්‍රතිපත්තිය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට හැකි වීමත් නිසාය. ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව වෙනුවෙන් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව නිගමනවලට එළැඹීමේ දී ආධාර කරගනු ඇත. එබැවින් ජ්‍යෙෂ්ඨ පුරවැසි සුරක්ෂිතතාව සහ සුබසාධනය අරමුණු කරගත් ආයතන සහ සංවිධාන පද්ධතියක් ගොඩනැගීම, ප්‍රතිපත්ති සකස් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වහාම වැඩපිළිවෙළක් ඇතිකර ගැනීම ඉතා වැදගත් වනු ඇත.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ
මහාචාර්ය - සුනන්ද මද්දුමබණ්ඩාර
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කළ කතාවේදී ප්‍රකාශයට පත්කළ නව බදු සංශෝධන අතරින් ඉතිරිකිරීමේ ගිණුම් සඳහා වූ රැඳවුම් බද්
මෙරට සංගීතයෙහි අමරණීය පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ ජීවන මංතලාවේ ඔහුට හමුවූ විවිධ චරිත සොයා යෑමේ දී අමරදේවයන්ගේ නිර්මාණාව
“ක්ලීන් ශ්‍රී ලංකා” යනු පැතිකඩ කිහිපයකින් සමන්විත වැඩසටහනකි. එය හුදු පරිසරය පිරිසුදු කිරීමේ වැඩසටහනක් පමණක් නොවේ. ක්ලීන් ශ්‍රී ලංකාවක් යන්නෙන් කුමක්
රාජ්‍ය සේවයට ඇතුළු වන සියලු දෙනාගේ අරමුණ අවසාන කාලය විශ්‍රාම වැටුපක් ලබමින් කිසිවකුට බරක් නොවී ජීවත් වීමය. රාජකාරිය උදෙසා අපරිමිත කැපකිරීම් සිදුකළ
2024 වර්ෂය ආර්ථික ජයග්‍රහණ ගණනාවක් අත්කරගත් වසරක් ලෙස සැලකිය හැකි වේ. ඒ මන්ද යත් ඊට වසර දෙකකට මත්තෙන් ලාංකික ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හ
ජනවාරි 1 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තම ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරමින් පැවැත් වූ කතාව මේ රටේ කී දෙනකු අසන්නට ඇත් ද?
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
වැඩිහිටි ප්‍රජාවට විශේෂයක් අවශ්‍ය ඇයි?