හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ එකසිය දහහතරවැනි ගුණ සැමරුම් දිනය අදට (29) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාරච්චි මැතිතුමන්ට හා ගමගේ ක්‍රිස්ටිනා හාමිනේ යන දම්පතීන් දෙපළට දාව දොන් නිකොලොස් ගුණවර්ධන නමින් හික්කඩුවේ සුමංගල නාහිමියෝ උපත ලැබූහ.
සුදුසු වයස පැමිණි පසු හික්කඩුව හෙට්ටිගොඩ තිලකාරාම පන්සලෙන් පාලි, සංස්කෘත හා සිංහල ආදී ප්‍රාචීන භාෂා පන්නම්ගොඩ පේගුත්තර හිමිපාණන් වහන්සේගෙන් උගෙන වයස අවුරුදු දහ තුනේදී පමණ තොටගමුව විජයබා පිරිවෙනේදී හික්කඩුවේ සුමංගල හිමි නමින් පැවිදි වී පසුව 1848 දී මල්වතු මහාවිහාර උපෝසථාගාරයේදී උපසම්පදාව ද ලැබූහ.
හික්කඩුවේ සුමංගල නාහිමිපාණන් වහන්සේගේ වඩාත්ම කල් පවතින දායකත්වයක් වූයේ 1873 දී කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ පිහිටුවීමයි. මෙම ආයතනය දහස් ගණනක් භික්ෂූන් වහන්සේලා සහ ගිහි විද්වතුන් බිහිකරන විශ්වවිද්‍යාලයක් බඳු ආයතනයක් ලෙස එකල ක්‍රියාත්මක විය. එහි විශේෂත්වය වූයේ පාලි, සංස්කෘත සහ සිංහල සාහිත්‍යය, බෞද්ධ දර්ශනය, තර්ක ශාස්ත්‍රය සහ ඥානවිද්‍යාව, ඉතිහාසය සහ සංස්කෘතිය යන මෙම විෂයන් ගැඹුරින් හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලබාදී තිබීම යි.
හික්කඩුවේ සුමංගල නාහිමිපාණන් වහන්සේ ඒ වන විට ලෝකයේ කීර්තිමත් පඬිරුවනක් ලෙස කීර්තියක් අත්කරගෙන සිටි බැවින් ලෝකයේ විවිධ රටවල් වලින් විද්‍යෝදය පිරිවෙනට ශිෂ්‍යයෝ ශාස්ත්‍රොත්ග්‍රහණය සඳහා පැමිණියහ. සාම්ප්‍රදායික මතවල නොසිටිමින් නවීන ලෝකය දෙස තිවුණු ඇසකින් බලන්නට තරම් නුවණක් තිබූ හික්කඩුවේ නා හිමියෝ භික්ෂූන් වහන්සේලාට භාෂාවන් ඇතුළු විවිධ විෂයයන් ඉගෙන ගැනීමට පහසුකම් සලස්වා උන්වහන්සේලාට ලෝකය විවෘත කරදීමට ක්‍රියා කළහ.
හික්කඩුවේ සුමංගල නාහිමියන් ආරම්භ කරන ලද විද්‍යෝදය පිරිවෙන පසුව එවකට පැවති පාලක රජය විසින් විශ්වවිද්‍යාලයක් බවට පත්කරනු ලැබීය. 1958 අංක 45 දරන විද්‍යෝදය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය පනත මගින් විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලය මට්ටමට උසස් කරනු ලැබූ අතර 1959පෙබරවාරි 18 වැනිදා සිට ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන ලදී. මුලදී එහි අධ්‍යයන කටයුතු කොළඹ මාලිගාකන්දේදී සිදුකරනු ලැබූ අතර 1969 වර්ෂයේදී ගංගොඩවිල වර්තමානයේ තිබෙන ස්ථානයට රැගෙනවිත් තිබේ. පළමු විශ්වවිද්‍යාලයාධිපතිවරයා වූයේ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය වැලිවිටියේ සෝරත නා හිමිපාණන් වහන්සේ ය. මුලදී ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලය වශයෙන් නම් කර තිබුණු විශ්වවිද්‍යාලයේ නාමය 1979 වර්ෂයේදී එවකට පැවති පාලක රජය විසින් “ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය” යනුවෙන් වෙනස් කරනු ලැබීය.
හික්කඩුවේ සුමංගල නා හිමියෝ බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ සාමාජිකයකු වූ අතර බෞද්ධ පාසල් ආරම්භ කිරීමේදී ඕල්කට් තුමා සමග ක්‍රියාකාරීව සහයෝගයෙන් කටයුතු කළ ප්‍රධාන භික්ෂූන් වහන්සේ නමක් වූහ.
හික්කඩුවේ සුමංගල නාහිමියෝ 1873 වසරේ පැවැති පානදුර විවාදයට හෙවත් පානදුරාවාදයට ගැඹුරින් දායකත්වය ලබාදුන් අතර එහිදී උන්වහන්සේ වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් සමග එක්ව ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ට එරෙහිව තර්ක කර බුදුදහම ආරක්ෂා කිරීමටත් මිෂනාරීවරුන් පරාජය කිරීමටත් දැඩි කැපකිරීමක් කරනු ලැබූහ.
කොළඹ ආනන්ද විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, නුවර ධර්මරාජ විද්‍යාලය වැනි විද්‍යාල ඒ අතර වර්තමානයේ ද සුප්‍රසිද්ධ බෞද්ධ පාසල් ලෙස ක්‍රියාත්මක වන ප්‍රධාන පාසල් වේ. වර්තමානයේ භාවිත වන බෞද්ධ කොඩිය නිර්මාණය කරනු ලැබුවේ 1885 වර්ෂයේදී ය. එම කොඩිය නිර්මාණය කිරීම සඳහා පත්කළ කමිටුවේ ප්‍රධානියා වශයෙන් එවකට කටයුතු කරනු ලැබුවේ ද අප කතානායකයානෝ ය. හික්කඩුවේ නාහිමියන් බුදුදහම ආරක්ෂා කිරීම සඳහාත් ප්‍රචලිත කිරීම සඳහාත් ක්‍රියාකරනු ලැබුවේ ලංකාව තුළ පමණක් නොවන අතර එම සේවය ගනු ලැබුවේ ද ලංකාවේ බෞද්ධයන් පමණක් ද නොවේ. ථෙරවාද බුදුදහමේ නායකයා ලෙස එවකට ලෝකයා පිළිගනු ලැබුවේ අප නාහිමිපාණන් වහන්සේ ය.
ආසියාවෙන් මෙන්ම යුරෝපා රටවලින් ද බෞද්ධ පඬිවරු පැමිණ උන්වහන්සේගෙන් උපදෙස් ලබාගත්හ. විල්හෙල්ම් ගෛගර්, රීස් ඩේවිඩ්ස්, මැක්ස්මුලර්, ජෙනරාල් ඇලෙක්සැන්ඩර් වැනි පඬිවරු ඒ අතර වූහ.
මහාවංසයේ සිංහල පරිවර්තනය ද අප නාහිමිපාණන් අතින් සිදුවුණු විශේෂ සංස්කරණ වලින් එකකි. එමතුද නොව උන්වහන්සේ දේශීය පාසල් සහ පිරිවෙන් සඳහා බෞද්ධ පෙළපොත් සම්පාදනය කිරීමේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළෝය. අප නාහිමිපාණන් වහන්සේ උක්ත ග්‍රන්ථ හා සඟරා සම්පාදනයට අමතරව දක්ෂ කාව්‍ය රචකයෙකු ලෙස ද කටයුතු කළ බව උන්වහන්සේ විසින් ලියා පළකරන ලද ඇතැම් කාව්‍ය අධ්‍යයනය කිරීමේදී පෙනීයයි.
ජාතික වශයෙන් පමණක් නොව අප කතානායකයාණෝ ජාත්‍යන්තර වශයෙන් ද නායකත්වයත් ප්‍රසිද්ධියත් දැරූ පඬිරුවණක් වූහ. දිනක් බුරුමයේ වජිරාරාම මහානායක නාහිමිපාණන් වහන්සේ අපේ රටේ මැණික් පහක් තිබෙන බව ප්‍රකාශ කළහ. එනම්, ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ශ්‍රී දළදා වහන්සේ, ශ්‍රී පාද පද්මය, රුවන්වැලි සෑය හා හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් යනුවෙනි.
ලංකාවේ පමණක් නොව ලෝකයේම කීර්තිමත් උගත් පඬිරුවනක් වූ අප කතානායක නාහිමිපාණන් වහන්සේ ද එම බුද්ධ දේශනය පසක් කරමින් වසර අසූ හතරක් පමණ ආයු වළඳා 1911 වර්ෂයේ අප්‍රේල් 29 වැනිදා අභිධර්මය ශ්‍රවණය කරමින් සිටියදී මනා සිහි නුවණින් යුතුව අපවත්වී වදාළහ. ආදාහනයෙන් ශේෂ වූ ධාතු මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ තැන්පත් කර තිබෙනු වර්තමානයේ ද දැකගත හැකිය. එකසිය දාහතර වන ගුණ අනුස්මරණය කරන හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවායි. ඉතසිතින් ප්‍රාර්ථනා කර සිටිමු.
(*** මහාචාර්ය විතාරන්දෙණියේ චන්දසිරි හිමි)
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
2023 සැප්තැම්බර් 5 වැනිදා අඟහරුවාදා බ්‍රිතාන්‍යයේ “චැනල් 4” රූපවාහිනී නාළිකාව ඔවුන්ගේ “ඩිස්පැචස්” වැඩසටහන ඔස්සේ “ශ්‍රී ලංකාවේ පාස්කුදා බෝම්බ ප්‍රහාර”
ඉන්දියාවට අයත් දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් මේ වනවිට
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ