IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවට තවත් සුනාමියක් එයිද ?

 19-Page-22-BB

 

 

ස්වභාවික ආපදා වශයෙන් සලකන සුළි සුළං, ගංවතුර ගැලීම්, නායයෑම්, භූමිකම්පා, සුනාමි, ගිනිකඳු පිපිරීම් වැනි සිදුවීම් පිළිබඳව අප සංවේදී නිසා එවන් සිද්ධියක් ඇසීමෙන් පවා ජනතාව ඉතාමත් කලබලයට පත්වීම සාමාන්‍ය දෙයකි. එයට ප‍්‍රධාන හේතුව වශයෙන් හැඳින්විය හැක්කේ ඒවා පිළිබඳව මිනිසුන් අතර ඇති අනවබෝධයයි. මෙයට වසර එකොළහකට කලින් සුමාත‍්‍රා ප‍්‍රදේශයේ ඇතිවූ විශාල භූමිකම්පාව නිසා හටගන්නා ලද සුනාමි තත්ත්වය හේතුවෙන් කලාපයට බලපෑ දරුණු ඛේදවාචකය පිළිබඳව මතකයන් තවමත් අප අතර නොමැකී පවතී. වසර එකොළහක කාලයක් ගතවුවත් භූමිකම්පා, සුනාමි තත්ත්වයන් ඇතිවීමට හේතූන් සහ එවන් අවස්ථාවකදී ක‍්‍රියා කළයුතු ආකාරය පිළිබඳව අප තුළ ඇති දැනුම තවමත් අල්ප වේ. 

 

ආචාර්ය ශාන්ත ගමගේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරන අතර, ඔහු ජපානයේ ටොහොකු විශ්ව විද්‍යාලයේ (Tohoku University) භූ භෞතික විද්‍යා SLTK_23.qxdඅධ්‍යනාංශයේ භූමිකම්පා, සුනාමි සහ ගිනිකඳු පිපිරීම් පිළිබඳ පර්යේෂණ කරන ආයතනයේ (Research Center for
Prediction of Earthquakes and Volcanic Eruptionභූ කම්පන විද්‍යාව (Seismology) පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගෙන ඇත. එහි ගතකළ වසර හයක කාලය තුළ භූමිකම්පා, සුනාමි සහ ගිනිකඳු පිපිරීම් වලට සම්බන්ධ පර්යේෂණ කරන ආයතනය තුළ අධ්‍යයන කරන අතර තුර, ජපානයේ කාලගුණ විද්‍යා අධිකාරිය (JM) ස්වභාවික විපත් අවම කිරීමට පර්යේෂණ කරන ජාතික ආයතනය (NIED) යන ආයතන වලද පර්යේෂණ වලට සහභාගි වී ඇත. ඊට අමතරව ඇමෙරිකාවේ භූ විද්‍යා පර්යේෂණ ආයතනය (USGS හවායි විශ්වවිද්‍යාලයේ භූ කම්පන විද්‍යා ආයතනය සහ ඉතාලියේ ICTP යන ආයතනවල ද භූ කම්පන විද්‍යාව පිළිබඳ වැඩමුලූ වලට සහභාගි වී ඇති ඔහු දැනට සුමාත‍්‍රා ප‍්‍රදේශයේ සහ ලංකාවේ නැගෙනහිර මුහුදේ ඇතිවන භූමිකම්පා පිළිබඳව පර්යේෂණ කරමින් සිටී. භූ භෞතික විද්‍යාවට සම්බන්ධ ලෝකයේ ඇති ප‍්‍රසිද්ධ අධ්‍යයන සඟරා වලට පර්යේෂණාත්මක ලිපි සපයා ඇති ඔහු ශ‍්‍රී ලංකාවේ සිටින භූ කම්පන විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය හදාරා ඇති එකම ආචාර්ය වරයාද වේ.


ශ‍්‍රී ලංකාව ඇතුළුව බොහෝ රටවල ජනතාව සුනාමි යන වචනය හඳුනාගත්තේ 2004 වර්ෂයේ සුමාත‍්‍රා ප‍්‍රදේශයෙහි ඇතිවූ විශාල භූමිකම්පා නිසා ඇතිවූ සුනාමිය හේතුවෙනි. සාපේක්‍ෂ වශයෙන් විශාල භූමිකම්පාවක් මුහුදේ ඇති වුවහොත් එමගින් සුනාමියක් ඇතිවේ යැයි බොහෝ අය විශ්වාස කරති. එහෙත් මෙම කරුණ සම්පූර්ණයෙන්ම සත්‍ය නොවේ. සුමාත‍්‍රා කලාපයේ විශාල භූමිකම්පා ඇතිවනුයේ 2004 වර්ෂයෙන් පසුව නොවන අතර පසුගිය වසර සියයක කාලය තුළ එහි ඇතිවූ භූමිකම්පා පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වන පරිදි එහි රික්ත පරිමාණයේ ඒකක 7.5 ට වැඩි භූමිකම්පා 15 කට අධික සංඛ්‍යාවක් ඇතිවී ඇත. එහෙත් ඒවා ඇතිවූ බව එවකට සිටි බොහෝ දෙනා නොදැන සිටියා පමණක් නොව එම නොදැන සිටීම නිසාම සුනාමි බියක් ද ඇතිවී නොමැත. සමහරවිට එම භූ චලන නිසා යම්කිසි ප‍්‍රමාණයට විශාල මුහුදු රළක් හෙවත් සුනාමි තත්ත්වයක් ඇතිවූවා විය හැකි වූවත් එය සාපේක්‍ෂ වශයෙන් කුඩා නිසා අප හට නොදැනුණා විය හැකිය.


සුමාත‍්‍රා මුහුදු ප‍්‍රදේශයේ විශාල භූමිකම්පාවක් ඇතිවුවහොත් එමගින් සුනාමියක් හටගනී යැයි අප ඉතා සැලකිලිමත් වන අතර, මෙම කලාපයේ ස්ථාපිත කර ඇති සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය මගින් ඵ් පිළිබඳ තොරතුරු ලබා ගැනීමටද හැකියාවක් ඇත. එය සාධනීය ලක්‍ෂණයක් වූවත් තවමත් ශ‍්‍රී ලංකාවට බටහිර දෙසින් ඉතාමත් ඈතින් පිහිටි උතුරු අරාබි මුහුදේ මැක්රම් මුහුදු ප‍්‍රදේශයේ හටගන්නා භූමිකම්පා පිළිබඳ සැලකිලිමත් බවක් නොදක්වයි. මෙම ප‍්‍රදේශයද සුමාත‍්‍රා මුහුදු ප‍්‍රදේශය මෙන් සුනාමි භූමිකම්පා ඇති වන ප‍්‍රදේශයක් වන අතර නුදුරු අනාගතයේදී විශාල සුනාමි භූමිකම්පාවක් ඇතිවේ යැයි අනතුරු අඟවා ඇත. කැළණිතිස්ස රජු සමයේ විහාර මහා දේවියගේ කථා පුවතින් දැක්වෙනුයේ සුනාමියක් පිළිබඳව නම් එය පැමිණියේද එම ප‍්‍රදේශයේ සිට බව ඉතිහාසගත සාක්ෂි පවතින අතර, එම ප‍්‍රදේශයේ විශාල භූමිකම්පාවක් හටගැනීමේ අවදානමක් පවතින බැවින්, එම ප‍්‍රදේශයේ හටගන්නා භූමිකම්පා පිළිබඳව ද අවධානයෙන් පසුවීම යෝග්‍ය වේ.


නූතන විද්‍යාවේ දියුණුවත් සමගම පොළොව තුළ සිදුවන ක‍්‍රියාවන් අධ්‍යයනය කිරීම සඳහා විද්‍යාත්මක ක‍්‍රම භාවිතා කරන ලද අතර, භූමිකම්පාවක් මගින් ඇතිවන භූ කම්පන තරංග ආධාරයෙන් හෝ කෘතීමව ඇතිකරන තරංග ආධාරයෙන් පෘථිවි පෘෂ්ඨයේ සිට කේන්ද්‍රය දක්වා ඇති ස්ථර වල ස්වභාවයනුත්, භූමිකම්පා, ගිනිකඳු පිපිරීම් වැනි සන්සිද්ධීනුත්, තෙල් නිධි ආදී ස්වභාවික ඛනිජ සම්පත් පිළිබඳවත්, ඉතා සාර්ථකව කරුණු ඉදිරිපත් කිරීමට හැකිවිය. 1931 වර්ෂයේ දී වධති නැමති භූකම්පන විද්‍යාඥයා විසින් නැගෙනහිර ජපානයේ ෆුකුෂිමා සහ ඉබරකි යන ප‍්‍රදේශවල භූමිකම්පා ඇතිවන ස්ථාන සහ ඒවා ඇතිවන ගැඹුරවල් අධ්‍යයනය කරන ලද අතර එහි ගැඹුරවල් ජපාන ආගාධයේදී කිලෝමීටර 1 ක අගයක පමණ සිට ගොඩබිම දෙසට ගමන් කරන විට කිලෝමීටර 700 දක්වා ක‍්‍රමයෙන් වැඩිවන බව සොයා ගන්නා ලදී. 1942 වර්ෂයේදී බෙනි ඕෆ් නැමැති භූ භෞතික විද්‍යාඥයා ඉහත ආකාරයට සමාන ක‍්‍රියාවලියක් සිදුවන ලෝකයේ වෙනත් ප‍්‍රදේශ ඇති බවද, ඒවා අතර ඇමරිකාවේ ඇලස්කා ප‍්‍රදේශයට සම්බන්ධ ඇලූෂන් මුහුදු ප‍්‍රදේශය, මධ්‍යම සහ දකුණු ඇමෙරිකා මුහුදු ප‍්‍රදේශ, සුමාත‍්‍රා මුහුදු ප‍්‍රදේශ ආදිය දැක්විය හැකි බවද සොයා ගන්නා ලදී. මෙම අදහස පෘථිවිය එකිනෙකට සාපේක්‍ෂව ගමන් කරන භූතල වලින් සමන්විත යැයි යන තල භූ කාරක මතය සනාථ කිරීමට ඉවහල් වූ අතර, මෙවන් කලාප වධති-බෙනි ඕෆ්් කලාප හෙවත් අභිසරණ කලාප ලෙස හඳුන්වන ලදී. 1960 දශකයේ දී ඇතිවූ පරිගණකයේ දියුණුවත් සමගම භූමිකම්පා නිසා ඇතිවන භූ කම්පන තරංග භාවිතයෙන් භූමිකම්පා ඇතිවීමට හේතු විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට හැකිවිය.

6
ලොව පුරා ඇතිවන භූමිකම්පා වලින් විශාල ප‍්‍රමාණයක් ඇතිවන්නේ කලින් සඳහන් කළ වධති-xබෙනි ඕෆ් කලාප වලදීය. මෙම කලාප මුහුදේ ඇති ආගාධ වලින් පටන් ගෙන ගොඩබිම දක්වා විහිදෙන නිසාත්, සුනාමි ඇතිවීමට සුදුසු වන පරිදි මුහුදු පතුලේ ගමන් කරන නිසාත්, මෙවන් භූමිකම්පා පිළිබඳව ලෝකයේ බොහෝ අවධානයක් යොමුවී ඇත. ලෝකයේ  ඕනෑම තැනක  ඕනෑම වෙලාවක  ඕනෑම ප‍්‍රමාණයක භූමිකම්පාවක් සිදුවිය හැකි අතර, භූමිකම්පා වැඩිපුර සිදුවන්නේ ඉහත සඳහන් කළ තල මායිම් වලට ආසන්න ප‍්‍රදේශ වලයි. නමුත්, සිදුනොවන කලාප කියා දෙයක් නොමැත. ඉහත සඳහන් කළ ආකාරයේ ගැටීම් ඇතිවන ප‍්‍රදේශවල විශාල සුනාමි භූමිකම්පා ඇති වන අතර එම ආකාරයේ ගොඩබිම්වල ගැටීම් ඇතිවන ප‍්‍රදේශ වල ප‍්‍රබලත්වය වැඩිවූ පසුගියදා නේපාලයට බලපෑ ආකාරයේ භූමිකම්පා ඇතිවේ.


භූමි කම්පාවක ප‍්‍රබලත්වය මැනීම සඳහා අතීතයේ සිට විවිධ ක‍්‍රම භාවිතා කළ අතර, ජපාන වැසියන් එහි ප‍්‍රබලතාව කිසියම්ි ස්ථානයක පොළොව සෙලවීමේ තීව‍්‍රතාවය අනුව වර්ග කළ අතර, ඇමෙරිකානු ජනතාවද ඔවුන්ටම ආවේණික ක‍්‍රමයක් භාවිතා කර කිසියම් ස්ථානයක තීව‍්‍රතාව භාවිතයෙන් භූමිකම්පාවේ විශාලත්වය ප‍්‍රකාශ කරන ලදී. එහෙත් 1906 වර්ෂයේ ඇමෙරිකාවේ සැන්ෆ‍්‍රැන්සිස්කෝ නගරයේ ඇතිවූ විශාල භූමිකම්පාව මගින් හටගත් භූ චලනයේ ප‍්‍රබලතාව මැනීම සඳහා චාල්ස් රික්තර් ්නැමති විද්‍යාඥයා විසින් පොදු ඒකකයක් වන රික්තර් මාපක පරිමාණය 1930 වසරේදී පමණ හඳුන්වා දෙන ලදී. මෙහි ඇති විශේෂත්වය වනුයේ මෙමගින් ලබාදෙනුයේ භූමිකම්පාව ඇතිවූ ස්ථානයේ ප‍්‍රබලතාවයි. උදාහරණයක් ලෙස පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝ මීටර් 5 ක ගැඹුරකින් පිහිටි ස්ථානයක රික්තර් පරිමාණ ඒකක 6 ක භූමිකම්පාවක් ඇතිවූ විට ඇතිවන පොළොවේ කම්පනය නිසා ඇතිවන හානියට වඩා පෘෂ්ඨයේ සිට කිලෝ මීටර් 500 ක් ගැඹුරින් එම ප‍්‍රබලතාවයෙන් යුතු භූමිකම්පාවක් නිසා පොළොවේ ඇතිවන කම්පනය මගින් ඇතිකරන හානිය අඩුවේ. එනම්, රික්තර් පරිමාණයේ අගය වැඩිවූ පමණින් ඇතිවන හානිය වැඩිනොවන බවද, එය ඇතිවූ ගැඹුරද සැලකිල්ලට ගතයුතු බවද අප සිහි තබා ගත යුතුයි.


භූමිකම්පාවක් නිසා ඇතිවන පොළොවේ දෙදරීම මැනීම සඳහා විශේෂිත වූ උපකරණ ලොව පුරා විවිධ ස්ථාන වල සවිකර ඇති අතර, එම දත්ත අධීක්‍ෂණය කිරීමෙන් එහි විශාලත්වය, ඇති වූ ස්ථානය සහ ඇතිවූ වේලාව යන කරුණු ගණනය කළ හැකිය. රික්තර් මාපකය යනු උපකරණයක් නොවන අතර භූමිකම්පාවේ විශාලත්වය මැනීමට යොදා ගන්නා රේඛීය නොවන මිනුමකිි. විශාල භූමිකම්පාවක් ඇතිවූ පසු මුල් ගණනය කිරීමේදී ඇතිවන දෝෂ හේතුවෙන් රික්ත පරිමාණයේ ලැබෙන අගය වෙනස් කිරීමක් දැකගත හැකිවන අතර, එහි වෙනස දශම ගණනක් නිසා එම වෙනස්වීම බොහෝදෙනා නොසලකා හරිනු ලබයි. රික්තර් පරිමාණයේ දශම එකක වෙනස්වීමක් යනු එම භූමිකම්පාව මගින් පිටකළ ශක්තිය දෙගුණයකින් වෙනස්වීමක්් වන අතර, උදාහරණයක් ලෙස ඒකක 8.0 ක භූමිකම්පාවක් මගින් මුදාහරින ශක්තිය ඒකක 8.1 ක භූමිකම්පාවක් මගින් මුදාහරින ශක්තිය මෙන් දෙගුණයකි. එමෙන්ම රික්ත මාපක ඒකක 9 ක භූමිකම්පාවක් මගින් ඇති කරන හානිය, ඵම ස්ථානයේම ඇතිවූ රික්ත මාපක ඒකක 8 ක භූමිකම්පාවක් මගින් ඇති කරන හානිය මෙන් 32 ගුණයකි. 


මුහුදේ ඇතිවන සමහර විශාල භූමිකම්පා නිසා සුනාමි ඇතිවන අතර, සමහර විශාල භූමිකම්පා නිසා සුනාමි හට නොගන්නා බවද, දැන් අප බොහෝ දෙනා දන්නා කරුණක් වේ. එයට බලපෑ හැකි හේතු කිහිපයක් ඇත. වධති-බෙනි ඕෆ් කලාප වල ඇතිවන භූමිකම්පා නිසා බොහෝවිට ඇතිවන්නේ සාමාන්‍ය විභේද සහ ප‍්‍රතිවිරුද්ධ විභේද හෙවත් පොළව තුළ එක් කොටසක් ඉහළට ගමන් කිරීමක් සහ අනෙක් කොටස පහළට ගමන් කිරීමක් ය. මෙම ගමන් කිරීම ඉතා විශාල එකක් නම් පොළව මතුපිටද මුහුදේ නම් මුහුදු පතුලද යම්තාක් දුරට ඉහළට සහ පහළට ගමන් කරයි. එමෙන්ම ගොඩබිම ඇතිවන විශාල භූමිකම්පා බොහෝමයක් නිසා ඇතිවන්නේ කැඞීයන කොටස් දෙක පොළවේ තිරස් දිශාවට ප‍්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කිරීමක්ය. වධති-xබෙනිඔෆ් කලාප වල මුහුදේ ඇතිවන භූ චලන නිසා මුහුදු පත්ල සිරස් දිශාවට චලිත වන අතර, කලාතුරකින් පමණ තිරස් චලිත ඇතිවන භූ චලනද දැකිය හැකිය. සුනාමි තත්ත්වයක් ඇතිවීමට බලපෑ හැකි එක් හේතුවක් වන්නේ ඉහත ආකාර භූමිකම්පා සිදුවීම වන අතර ගිනිකඳු පිපිරීම් වලින් හටගන්නා ලාවා මුහුදට ගලා යාම, උල්කාපාත මුහුදට කඩා වැටීම යන හේතූන් නිසාද මුහුද කැලඹී සුනාමි ඇතිවිය හැකිය. එහෙත් විශාල සුනාමි ප‍්‍රමාණයක් ඇති වී ඇත්තේ, භූමිකම්පා හේතුකොට ගෙනය.


භූමිකම්පා නිසා ඇතිවන සුනාමි වල විශේෂත්වයක් වනුයේ සුනාමි පැමිණීමේ දී එක් දිශාවකට කලින් වෙරළ පෑදී ඊළඟට රළ පාර ළඟාවන අතර, අනෙක් දිශාවේ මුලින් රළ පහර පැමිණීමයි. ඒ අනුව, යම් දිනක නැවත ශ‍්‍රී ලංකාවට බලපාන සුනාමියක් ඇතිවුවහොත් මුලින් වෙරළ පෑදී පසුව රළ පහර පැමිණීම හෝ මුලින් රළ පහර පැමිණීම යන ආකාර දෙකෙන් කුමන ආකාරයකට වූවද පැමිණිය හැකි වන අතර, එය තීරණය වන්නේ මුහුදු පතුල ඉහළට පහළට ගමන් කරන දිශාව අනුවය.


විශාල භූමිකම්පාවක් ඇතිවූ විට එමගින් සුනාමියක් ඇතිවේද නැද්ද යන්න කීමට නොහැකි ඇයිදැයි බොහෝ දෙනා හට ඇති ප‍්‍රධාන ගැටලූවක් වන අතර, එම ප‍්‍රශ්නයට පිළිතුර වනුයේ නොහැකිය යන්නයි. මක්නිසාද යත් පොළව තුළ සිදුවන මෙවන් පොළවේ චලිතයන්, භූමිකම්පාව ඇතිවූ ස්ථානය, එය ඇතිවූ වේලාව සහ එහි ගැඹුර යන සියල්ලම ගණනය කරනු ලබන්නේ එම භූ චලනය සිදුවූ ප‍්‍රදේශයේ සවිකර ඇති එනම් ලංකාවේ පල්ලෙකැලේ සවිකර ඇති මෙන් භූ කම්පන මානවල සටහන් වී ඇති තරංග වල දත්ත ආධාරයෙනි. එහෙත් මෙවන් තරංග විශ්ලේෂණය කිරීමෙන් පොළව තුළ ඇතිවූ මෙම චලිතය වූ ආකාරය විනාඩි කිහිපයක් තුළ ගණනය කිරීමට නොහැකි සංකීර්ණ ක‍්‍රියාවක් වේ. එවන් ගණනය කිරීමක් කළ ද, ඒවා බොහෝ උපකල්පන මත සිදුකරනු ලබන හෙයින් ලැබෙන ප‍්‍රතිඵල දෝෂ සහිත වේ. මේ නිසා සාමාන්‍යයෙන් කරනු ලබන්නේ යම්කිසි තැනක භූමිකම්පාවක් ඇතිවූ විට එහි රික්ත පරිමාණයේ අගය සහ එය ඇතිවූ ස්ථානය ආධාර කරගෙන, එම ප‍්‍රදේශයේ භූ තලය ගමන් කරන ආකාරය අනුව සිරස් චලිතය කොපමණදැයි උපකල්පනය කර ඇතිවන රළ පහරේ උස සහ එය ලඟාවීමට ගතවන කාලය සොයා ගැනීමයි. මුහුද තුළද ඇතුළුව භූකම්පන මාන විශාල සංඛ්‍යාවක් ඇතිනම් කරන ලද ගණනය කිරීම යම්තාක් දුරට නිවැරදිව කළ හැකිය. උදාහරණයක් වශයෙන් භූ කම්පන මාන 2000 කට වැඩි සංඛ්‍යාවක් ඇති ජපානයේ සුනාමියක් පැමිණීමට කලින් එය ළඟාවන වේලාව සහ එහි උස ප‍්‍රමාණය යම්තාක් දුරට නිවැරදිව ගණනය කළ හැකි වූවද, භූ කම්පන මාන සියයකටත් වඩා අඩු ඉන්දියන් සාගර කලාපයේ ඇතිවන සුනාමි පිළිබඳ අනාවැකි පළකිරීම කොතරම් සංකීර්ණ දැයි වටහා ගත හැක. භූමිකම්පාවක් ඇතිවූ පසු සුනාමි ඇතිවේදැයි නිර්ණය කිරීමේ වෙනත් ක‍්‍රම පැවතිය ද, ඒවා තවමත් පර්යේෂණ මට්ටමේ පවතී. තවද සුනාමි ඇතිවේයැයි උපකල්පනය කළ හොත් එය වෙරළට ළඟාවීමට ගතවන කාලය පුරෝකථනය කළ හැකි වූවද, එම රළ පහරේ උස පැවසීමට ඉහත සඳහන් කළ හේතුනිසා ඉතා අපහසු වේ.

ඉතිරිය ලබන සතියට...



අදහස් (9)

ශ්‍රී ලංකාවට තවත් සුනාමියක් එයිද ?

සොපි Tuesday, 22 December 2015 03:22 AM

දැනුත් අපිට ආර්ථික,සමාජීය සුනාමියක් තියෙනවනේ .....(ම)

:       0       0

ප්‍රගීත් Sunday, 15 May 2016 11:49 PM

එ්ක ගොඩක් භයානක දෙයක්. (නි)

:       0       0

අමාලි Monday, 21 December 2015 12:38 PM

සුනාමි කියනකොටත් බය හිතෙනවා. (ර)

:       0       0

අමල් Monday, 21 December 2015 12:43 PM

එසේ නොවෙව්වායි අපි ප්‍රර්ථනා කරමු. (ර)

:       0       0

අරුණ Monday, 21 December 2015 12:43 PM

ආපු සුනාමියේ හානිය තව දශක ගණනාවකට ඇති. (ර)

:       0       0

ලලිත් Wednesday, 23 December 2015 05:07 AM

සුනාමි නම් එපා (කෞ)

:       0       0

කමල් Monday, 21 December 2015 07:02 PM

එසේ නොවේවායි මමද පතමි (නි)

:       0       0

ලතා Wednesday, 23 December 2015 07:07 AM

හීනෙන්වත් සුනාමියක් නම් එපා. (ස)

:       0       0

Maheshi guruge Saturday, 07 November 2020 12:38 PM

සුනාමියක් ආවොත් එ්කට මුහුන දෙන්න අපි රටක් වශයෙන් සූදානම්ව සිටීම වැදගත්ය. එවිට සිදුවන ආර්ථික සාමාජයීය හානි අවම කර ගැනීමට හැකියාව ලැබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 574 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 75 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 96 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 323 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 214 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 109 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site