IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ශ්‍රී ලංකාව ඉන්දීය ස්ථාවරය සැලකිල්ලට ගැනීම අවශ්‍යයි

ඉන්දියාවේ විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද වැදගත් අවස්ථාවක් බව පැහැදිලිය. එසේ නොවන්නට පසුගිය නොවැම්බරයේ දී කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ජයශංකර් මහතා යළිත් දින තුනක වැඩසටහනකට මෙරටට පැමිණෙන්නේ නැත. ඔහු මෙරටදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් එජාප නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් හමු වූයේය. මේ නිසාම ඔහු ශ්‍රී ලංකාවට ලබාදෙන පණිවුඩය කුමක්ද? යන්න කාගේත් අවධානයට ලක්විය.

දෙරටේ විදේශ අමාත්‍යවරුන් විසින් පසුගිය බදාදා (06) පවත්වන ලද ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී ඉන්දියාවේ පණිවුඩය පැහැදිලිව ජයශංකර් මහතා විසින් ප්‍රකාශයට පත් කෙරිණි. එය බලාපොරොත්තු වූ පරිදිම මෙරට ජාතික ගැටලු‍ව සම්බන්ධව ඉන්දියාවේ ස්ථාවරය ඍජුවම ප්‍රකාශ කිරීමක් වූ අතර වත්මන් ආණ්ඩුව ඇතුළේ මතවාදී ගැටුමකට පවා හේතු වී තිබෙන පළාත් සභා ඡන්දය පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කිරීමක් ද විය. මේ සම්බන්ධව හරවත් සාකච්ඡාවක් අවශ්‍ය බවට ප්‍රබල සංඥාවක් ද එම ප්‍රකාශය තුළ ගැබ්ව ඇති බව ද අවබෝධ කර ගැනීම දුෂ්කර නැත.

ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළේ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය, සාධාරණය, අභිමානය සහ ගෞරවය සඳහා වන දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම ශ්‍රී ලංකාවේ යහපතටම හේතුවනු ඇති බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ඇතුළුව අර්ථාන්විත බලය බෙදීමක් සඳහා ශ්‍රී ලංකා රජය කරන කැපවීමට ද එය අදාළ වන බව ද ඔහු කියා තිබිණි. වාර්ගික සහජීවනය දිරිගන්වන සියලු‍ පාර්ශ්ව ඇතුළත් වූ දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ සංහිඳියා - ප්‍රතිසංධාන ක්‍රියාවලිය සඳහා ඉන්දියාව ලබාදෙන සහාය දීර්ඝ කාලීන බව ද ප්‍රකාශ කෙරිණි. ඒ සමඟ ඉන්දීය විදේශ ඇමැතිවරයා කියා තිබුණේ ශ්‍රී ලංකාවේ එක්සත් බව, ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ඉන්දියාව කැපවන බවය.

මේ අදහස් සමුච්ඡයේ අරටුව වන්නේ ශ්‍රී ලංකාව දෙමළ ජනතාවගේ අභිලාෂයන් කෙරෙහි සැලකිලිමත්ව කටයුතු කරනු දැකීම ඉන්දියාවේ කැමැත්ත බවය. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ඇතුළු රටේ බලය බෙදීම සඳහා පවතින ඉන්දියාවේ ස්ථාවරය මඳකින්වත් වෙනස් වී නැති බවය. ඉන්දියාවේ ආණ්ඩුවක් මාරු වූ පමණින් විදේශ ප්‍රතිපත්ති මාරුවන්නේ නැත. වෙනසක් සිදුවෙනවා නම් එසේ වන්නේ අදාළ කාරණාව දැඩිව සලකා බැලීමෙන් අනතුරුව පමණි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම අත්සන් කළේ ගාන්ධිලාගේ ආණ්ඩුව වීම හේතුවෙන් මෝදිලාගේ ආණ්ඩුව එය සංශෝධනය කරන්නේ නැත. ශ්‍රී ලංකාවේ ජාතික ගැටලු‍ව සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය දේශපාලන පක්ෂයක ප්‍රතිපත්තියක් නොව එරටේ ප්‍රතිපත්තියක් බැවිනි.

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම ශ්‍රී ලංකාවේ යහපතටම හේතුවනු ඇතැයි ඉන්දියාව දැඩිව අවධාරණය කරන විට ඒ පිළිබඳව ගණන් නොගෙන සිටීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැත. එසේ සිටීම නිසැකවම කලාපයේ ළඟම මිතුරා අමනාප කරගැනීමකි. එය මතුපිටින් නොපෙනෙන එහෙත් ඇතුළෙන් පවතින අමනාපයක් වීමට හොඳටම ඉඩ තිබේ. කලාපීය බලවතුන් සමඟ කටයුතු කිරීමේ දී පෙනෙන සතුරාට වඩා නොපෙනෙන සතුරා නිසැකවම ප්‍රබලය. ජාත්‍යන්තර දේශපාලනයේ දී ශ්‍රී ලංකාව නොබැඳි පිළිවෙතක සිටිමින් ළඟම හිතවතුන් සමඟ අන්‍යොන්‍ය සහයෝගයකින් කටයුතු කිරීම වඩාත් වැදගත් වන්නේ එබැවිනි.

අප එයින් අදහස් කරන්නේ ඉන්දියාවේ ස්ථාවරය සම්බන්ධයෙන් කලබල වී බියවී කටයුතු කළ යුතු බවක් නොවේ. රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඉන්දියාව පවසන දේ නිවැරදිව තේරුම් ගැනීම වැදගත් බවය. ජයශංකර් මහතා පිටත්ව ගිය සැණින් ආණ්ඩුව තීන්දු තීරණවලට එළඹිය යුතු යැයි බලකිරීමක් ද නැත. එහෙත් ඉන්දියාව පෙන්වා දෙන කරුණු සම්බන්ධයෙන් තම රට කැපවීමකින් යුතුව කටයුතු කරන බව ශ්‍රී ලංකාව පෙන්වාදීම අවශ්‍යය. ජාතික ගැටලු‍වට සම්බන්ධ සියලු‍ පාර්ශ්වවලට එකඟ විය හැකි විසඳුමක් සෙවීමට ප්‍රමුඛත්වය ලබාදී ඇති බව පෙනෙන්නට තිබිය යුතුය.

13 වැනි සංශෝධනය ඇතුළු අර්ථාන්විත බලය බෙදීමක් සම්බන්ධව ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කරුණු දක්වන විට පළාත් සභා ඡන්දය අනවශ්‍ය බවටත් 13 වැනි සංශෝධනය දැනටම අක්‍රිය වී ඇති බවටත් මෙරට වගකිවයුතු දේශපාලනඥයන් විසින් පුන පුනා පැවසීම සුදුසු නැත. ඇත්ත වශයෙන්ම පසුගිය කාලය තුළ දී එවැනි අදහස් සහ මතවාද පළ නොවූවා නම් ඉන්දියාව මේ ආකාරයේ පණිවුඩයක් ලබා දීමට ඉක්මන් නොවීමට ද ඉඩ තිබිණි. ආණ්ඩුව තවම අලු‍ත්ය. ජනාධිපතිවරයාගේ පාලනයට ද තවම ගෙවී ඇත්තේ වසරක් පමණි. එසේ තිබියදී රටටම සංවේදී කාරණා සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ ආවාට ගියාට කළයුතු නැත. එය නැති කරදරවලට පාවාඩ එලීමකි.

ඉන්දියාව කියන්නේ පළාත් සභා හරහා රාජ්‍ය බලය බෙදීමේ ක්‍රියාවලියකට ශ්‍රී ලංකාව මුල පිරිය යුතු බවය. ඒ සඳහා පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුය. එහෙත් බරපතළ ගැටලු‍වක් වන්නේ ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළ  උතුරේ දෙමළ නායකයන්ගේ ඉල්ලීමක් වන එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම වෙනුවෙන් ඉන්දියාව පෙනී සිටින බව ද සඳහන් වීමය. ඒ ගැන පැහැදිලි තීන්දුවකට එළඹීම ද අවශ්‍ය බව අපගේ වැටහීමය.

(***)



අදහස් (9)

ශ්‍රී ලංකාව ඉන්දීය ස්ථාවරය සැලකිල්ලට ගැනීම අවශ්‍යයි

Mangala Friday, 08 January 2021 07:19 AM

මේ ප්‍රශ්නෙට අවශ්‍ය වන්නේ නිර්භීත කොන්ද පණතියෙන නායකත්වයක් පමණයි. අමෙරිකාව සහ කියුබාව, අමෙරිකාව, වියට්නාමය, මලයාසියාව, සිංගප්පූරුව, සෝවියට් දේශය ෆින්ලන්තය. ප්‍රධාන වශයෙන්ම ගිවිසුම අනුව ඉන්දියාව LTTE එක නිරායුධ කළාද?

:       2       28

VINIVIDASaturday, 09 January 2021 05:05 PM

ඉන්දියාවේ විදේශ කටයුතු ඇමැති හෝ සමස්තයක් වශයෙන් ඉන්දියාවේ පත්වන සෑම රජයක්ම ලංකාවේ පළාත් සභාවන් හෝ බලය විමධ්‍යගත කිරීම පිළිබඳව ඔවුන්ගේ කිසිඳු වෙනසක් නොපෙන්වන බව සත්‍යයකි. ලංකාවේ දුෂිත පළාත් සභා ක්‍රමය නොමැතිව වෙනත් ආකාරයකට බලය බෙදාහැරීම පිළිබඳව ලංකාවේ දේපාලන නායකයින් ඉන්දියානු රජය සමග සකච්ඡා කර තිබේද? එසේ කළහැකිව තිබුණත්, විසඳුමක් වශයෙන් ඉදිරිපත් කළ පළාත්සභා ක්‍රමය මේ වනවිට රටටම ප්‍රශ්නයක් වී තිබෙන අවස්ථාවක පළාත් සභා ක්‍රමය හැර වෙනත් ආකාරයකට බලය බෙදාහැරීමක් පිළිබඳව ලංකාවේ නායකයන් නොසිතන්නේ සහ ඉන්දියාව සමග සාකච්ඡා නොකරන්නේ මන්ද කියා ඉන්දියාවටත් මේ වනවිට ප්‍රශ්නයක්ව තිබෙන්නට පුළුවනි. පළමු විසඳුම අසාර්ථක නම් හෝ එය පිළිගැනීමට නොහැකි නම් සැමට පිළිගතහැකි වෙනත් විකල්පයක් සඳහා රජය ක්‍රියාත්මක නොවන්නේ එම රජයන්ගේ තිබෙන්නාවූ දුර්වල තත්වයන් නිසා වන්නට ඇත. ඉන්දියාව සමග සකච්ඡා කොට පළාත් සබා වෙනුවට වෙනත් විකල්පයක් ලබාදීමට මූලිකත්වය ගත හැකි දැනුම, බුද්ධිය සහ පළපුරුදු නායකයන් ලංකාවේ සිටිනා බව අපි දනිමු..

:       0       1

DILUM Friday, 08 January 2021 07:21 AM

ඉන්දියාව තවත් ස්වාධීන රජයකට අනියමාර්ථයේ තර්ජන කිරීමට ඇති අයිතිය කුමක්ද? ලිපි රචකයාට අනුව නොබැඳි පිළිවෙතක් ක්‍රියාත්මක කළ යුතු අතර අසල්වැසියා සමග සහයෝගයෙන් සිටිය යුතුය. එය එසේමයි කියා ඔවුන්ගේ මතයට ස්වාධීන රජයන් හිස නැමිය යුතුද? අදහස් ආ පළියට පාඨකයාට ඉදිරිපත් නොකර සිටීනම් අගනේය. ඉන්දියාවට වුවමනා දේ කිරීමට මේ රට ඉන්දියාවේ කොළනියක්ද? ලංකාවේ පළාත් සභා හා බලය බෙදීමට පෙර තමිල්නාඩුවේ වැසිකිළි සාදා දිය යුතුය. ජල අර්බුදයට විසඳුම් සෙවිය යුතුය.

:       4       33

sharm warn Friday, 08 January 2021 07:33 AM

මෙයාට පොඩ්ඩක් මතක් කරලා දෙන්න රජීව් ගාන්ධි ඇඟිලි ගහන්න ඇවිල්ලා කොටින්ගෙන් මැරුම් කාපු හැටි. අනුන්ගේ රටක ඉන්න මිනිස්සු ගැන මෙයාට මෙච්චර රුදාවක් හැදෙන්න කළින් තමන් ගේ රටේ ඉන්න ලක්ෂ සංඛ්‍යාත දුක් විඳින මිනිස්සු ගැන බලන්න කියන්න.... විහිළු සපයන්නේ නැතිව. ලංකාව කියන්නේ ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලා කවුරු හරි කිව්වද දන්නේ නැහැ... එහෙන් එනකොට..

:       3       28

ranjaFriday, 08 January 2021 08:55 AM

තමන්ගේ ගරුත්වය පාවාදෙමින් රට, රටවල් ගානේ හිඟා කන්න ගියාම ඔහොම වෙනවා.

:       2       25

අමිල Friday, 08 January 2021 08:21 AM

අවස්ථාවාදී දෙමළ දේශපාලන නායකයන් යැයි කියාගන්නා උතුරේ ජනතාවගේ කරුමෙට පහළ වුණු අයගේ වුවමනාවක්... දකුණේ ඉන්න සිංහල දේශපාලකයෝ වගේම තමයි. ලංකාවේ හැම ජනකොටසක්ම අවාසනාවන්තයි.. හැම කෙනාම හිඟන්නාගෙ තුවාල දේශපාලනේ තමා කරන්නේ...

:       0       18

Raveendra Friday, 08 January 2021 08:25 AM

කතුවැකියෙහි සඳහන් කරුණු පිළිබඳව අප අගයන්නෙමු. මොහු අපේ අසල්වැසියා බවත්, ලෝකයේ තවත් බලවතෙක් බවත් නොරහසකි. අසල්වැසියාගේ අවශ්‍යතාවයට ඔහු කියන කියන ආකාරයට අප ව්‍යායාම කරනා ආකාරයට ශරීරය නමාගෙනම සිටිය යුතුද ? නොඑසේ නම් අප නිදහස් රටක් නොවේද? ශංකර් ගොයියා එසේ අදහස් ප්‍රකාශ කරනාවිට පෙරලා මෙවන් පැනයක් ඇසීමට (ඔබලාගේ කාශ්මීර් ගැටලුව මෙන්ම මාඕ වාදීන්ගේ ගැටලු "නිසිලෙස විසඳා ගැනීමෙන් එක්සත් ඉන්දියාව තුළ" සමානාත්මතාව, යුක්තිය, සාධාරණය, අභිමානය සහ ගෞරවය යන්න වඩාත් හොදින් රැකෙනු ඇතැයි අසල්වැසි හිතවත් රටක් වන අප තරයේ ඔබලාට කියන්නෙමු) යන්න අපේ එකදු ඇමතියකුට කීමට නොහැකිවීම කණගාටුවක් නොවේද?

:       2       23

Kmk upasena Friday, 08 January 2021 11:09 AM

අපි අපේ ප්‍රශ්න විසඳගමු...

:       0       12

ravi Friday, 08 January 2021 03:23 PM

විපක්ෂයේ හිටිය කාලේ ඉන්දියාවට නොකියපු දෝෂාරෝපණයක් නැහැ. ඒත් අද ඒ අයගේ කකුල් ලෙවකාගෙන බැණුම්, තර්ජන විඳ දරාගෙන බොරු ෂෝ එකක් පෙන්වන්න උත්සාහ කරනවා. දැන් සැපයි නේද අපේ හාමුදුරුවනේ..?

:       8       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 472 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1005 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 919 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 170 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 110 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 992 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16867 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 82 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 264 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site