විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පෙබරවාරි 25 වැනිදා එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි ස්ථාවර සැසිවාරය ඇමතීය. එදිනම තරුණ පිරිසක් සමග පැවැති හමුවක දී කතා කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මානව හිමිකම් කවුන්සිලයේ දෙබිඩි ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කළේය.
මේ වසරේ සැප්තැම්බර් මාසයේදී මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කිරීමට නියමිත හෙයින් එම කවුන්සිලයේ දෙබිඩි ස්වභාව බැරෑරුම් ලෙස සැලකිල්ලට ගන්නා ලෙස වික්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් හා මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය.
ඒ අතරම යුක්රේනයේ ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි ජනාධිපතිවරණය නියමිත පරිදි නොපැවැත්වීම සම්බන්ධයෙන් යුරෝපා රටවල නායකයන් නිහඬඩව සිටීම විවේචනය කළ වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නියමිත කාලයට මැතිවරණ පැවැත්වෙන බව ප්‍රකාශ කළේය. කොටි සංවිධාන උතුරේත් ජනතා විමුක්ති පෙරමුණ දකුණේත් සටන් කළ කාලයේත් ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වුණු බවත් පසුගිය වසරේ අප පැවැත් වූ ජනාධිපතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ බලයට පත් වී සිටින බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළ බව ජනමාධ්‍ය වාර්තා කොට තිබිණි.
මානව හිමිකම් කවුන්සිලයේ දෙබිඩි ස්වභාවයට සම්බන්ධ කරමින් හිටපු ජනාධිපතිවරයා මෙරට මැතිවරණ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය අර්ධ සත්‍යයකි. 2023 මාර්තු 9 වැනිදාට නියමිතව තිබූ මෙරට පළාත් පාලන මැතිවරණ සඳහා අයවැයෙන් වෙන් කරනු ලැබ තිබූ මුදල් නිදහස් නොකිරීම නිසා එම මැතිවරණ දින නියමයක් නැතිව කල් ගියේය. (එම මැතිවරණ සඳහා දැන් මේ මස 17 වැනිදා සිට 20 වැනිදා දක්වා නාම යෝජනා කැඳවනු ලැබ තිබේ.)
එම මැතිවරණ නියමිත පරිදි නොපැවැත්වීම මඟින් මුදල් ඇමැති වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සහ මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකයන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇතැයි ඉකුත් අගෝස්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. මැතිවරණ සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා කරන ප්‍රකාශය නිවැරදි නොවන බව අප සඳහන් කළේ ඒ නිසාය.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයද එවැනිම එකකි. පසුගිය වසරේ ජනාධිපතිවරණය ආසන්න වත්ම කිසිසේත්ම හදිසියේ කළ යුතු නොවන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් වචනයක් සංශෝධනය කිරීමට වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව උත්සාහ කළේය. එම සංශෝධනය ජනාධිපතිවරයාගේ නිල කාලය හා සම්බන්ධ එකක් වූ හෙයින් එයද මෙරට බොහෝ දෙනා දුටුවේ ජනාධිපතිවරණයද කල් දැමීම සඳහා වූ උත්සාහයක් ලෙසය. එහෙත් ඔහුට එය කළ නොහැකි විය.
කෙසේ වෙතත් මානව හිමිකම් සම්බන්ධයෙන් එ.ජා.මානව හිමිකම් කවුන්සිලය දෙබිඩි ස්වරූපයකින් කටයුතු කරන බවට වික්‍රමසිංහ මහතා කරන ප්‍රකාශය අසත්‍යයක් නොවේ. රූපවාහිනී තිරය ඔස්සේ මුළු ලෝකයම බලා සිටියදී ගාසාහි හා බටහිර ඉවුරේ නිරායුධ පලස්තීනුවන් මතට ටොන් ගණනින් බෝම්බ හෙළමින් සංහාරයක යෙදෙන ඊශ්‍රායල් රජය සම්බන්ධයෙන් හා වෙනත් බොහෝ රටවල් සම්බන්ධයෙන් එම කවුන්සිලය කටයුතු කරන ආකාරයෙන් එය පෙනේ.
2015 දී මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් වික්‍රමසිංහ මහතා බලයට පත්වනවිටත් මානව හිමිකම් කවුන්සිලයේ දෙබිඩි ස්වභාවය බොහෝ දෙනාගේ විවේචනයට ලක්වී තිබිණි. එහෙත් ඔවුන්ගේ ඊනියා යහපාලන ආණ්ඩුව 2015-2017 සහ 2019 යන වසරවල ඇමරිකාව ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාවලට සම අනුග්‍රහය දැක්වීය. එසේම මෙරට යුද සමයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීමට ද එකඟ විය.
එහෙත් 2022 දී ජනාධිපති ධුරයට පත් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව එම වසරේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව ප්‍රතික්ෂේප කළේය. මේ වෙනසට හේතු පැහැදිලි කළ හැක්කේ ඔහුට පමණි.
දැන් මේ වසරේ සම්මත කිරීමට නියමිත යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවට හා මෙරට දේශපාලන පක්ෂවලට අනතුරු ඇඟවීම මගින් වික්‍රමසිංහ මහතා අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. යහපාලන ආණ්ඩුව කළා සේ ජාතික ජනබලවේගය ආණ්ඩුවත් මේ වසරේ යෝජනාවට සහාය දෙනු ඇතැයි ඔහු සිතන්නේ ද?
වත්මන් ආණ්ඩුව ලබන සැප්තැම්බර් මස ඉදිරිපත් කෙරෙන යෝජනාවට යහපාලන ආණ්ඩුව කළා සේ සම අනුග්‍රහය දැක්විය යුතු යැයි ඔහු සිතන්නේ ද නැත්නම් 2022දී ඔහුගේ ආණ්ඩුව කළා සේ එම යෝජනාව ප්‍රතික්ෂේප කළ යුතු යැයි සිතන්නේ ද?
වත්මන් ආණ්ඩුව දැනටමත් ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ එක් යෝජනාවකට මුහුණ දී තිබේ. ඒ ඉකුත් ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් අතර කාලයේ දී එනම් 2024 ඔක්තෝබර් මාසයේදීය.
වාමාංශික පක්ෂයක් වශයෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලැබූ ආණ්ඩුවල කෘෘර මර්දනයට ලක්වී තම සාමාජිකයන් හා ආධාරකරුවන් දස දහස් ගණනක් ඝාතනයට ලක්වී මානව හිමිකම් අහිමිවීම පිළිබඳ සැබෑ වේදනාවක් ඇති පක්ෂයක් වශයෙනුත් ජවිපෙ මෙම යෝජනාවට සංශෝධන සහිතව හෝ සහාය දෙනු ඇතැයි ඇතැම් පිරිස් සිතූහ. එහෙත් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව යෝජනාව ප්‍රතික්ෂේප කළේය.
ඉදිරියේ දී ආණ්ඩුවට මෙම ප්‍රශ්නයට මේ අකාරයෙන්ම මුහුණ දීමට සිදුවනු ඇත. මෙහිදී වත්මන් ආණ්ඩුව ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් මුහුණ දී සිටින තත්වය ගැන උතුරු නැගෙනහිර ඒකාබද්ධ පළාත් සභාවේ හිටපු පළමු හා එකම ප්‍රධාන ඇමැතිවරයා වූ වරදරාජ පෙරුමාල් මහතා දෙමළ පුවත්පතක් සමග මෑතක දී කළ සම්මුඛ සාකච්ඡාවක දී ඉදිරිපත් කළ අදහසක් සඳහන් කිරීම වටී. ජාතික ජනබලවේගයට පසුගිය මැතිවරණවල දී ඡන්දය දුන් අති බහුතරය ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම සඳහා ඡන්දය දුන් පිරිසම වන බවත් එම කාරණය නොතකා ජාතික ජන බලවේගයට ජනවාර්ගික වශයෙන් සංවේදී කාරණවල දී තීරණ ගත නොහැකි බවත් පෙරුමාල් මහතා පවසා තිබිණි.
ආරක්ෂක හමුදා හා කොටි සංවිධානය අතර යුද්ධය පැවැති කාලයේ දී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව පරීක්ෂණ පැවැත්විය යුතුය යන්න මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට අවධාරණය කරන ප්‍රධාන කරුණයි. විජිත හේරත් මහතා මෙවර එම කවුන්සිලයේ කළ කතාවේ දී ඒ සඳහා සත්‍යය සෙවීමේ කොමිසමක් ළඟදීම පත් කරන බව ප්‍රකාශ කොට තිබිණි.
මෙය කොහෙත්ම අලුත් අදහසක් නොවේ. ශ්‍රී ලංකාව මෙම අදහස මුල්වරට මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේ 2013සැප්තැම්බර් මාසයේදීය. ඒ එවක විදේශ ඇමැති වූ මංගල සමරවීර මහතා විසිනි. වසර එක හමාරකට පසු 2017 පෙබරවාරි මාසයේදී ද ජීනීවාහි දී මේ ගැන සඳහන් කළ සමරවීර මහතා මාස දෙකකින් මේ පිළිබඳ නීති කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කීය.
එහෙත් සිදු වූයේ මාස දෙකකින් නොව මාස විස්සකට පසු 2018 ඔක්තෝබර් මස සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් පිළිබඳ සංකල්ප රාමුවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමය. වසර හතරක්ම එයද හමස් පෙට්ටියේ තිබිණි. එම ආණ්ඩුව පරාජය වී, ගෝඨාභය රාජපක්ෂ පාලනය ද අවසන් වී 2023 ජනවාරි මාසයේදී එවක ජනාධිපති වික්‍රමසිංහ මහතා සභාපතිත්වය දැරූ සංහිඳියාව පිළිබඳ කැබිනට් අනු කමිටුව විසින් සකස් කරන ලද සත්‍යය හා සංහිඳියාව සඳහා වූ යාන්ත්‍රණයක් පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි.
එම සංකල්ප පත්‍රිකාව ඉදිරිපත් කිරීමට පෙර නොව ඉදිරිපත් කිරීමෙන් පසු 2023 මාර්තු මාසයේදී එම කාරණය ගැන අධ්‍යයනය කරන්නට විදේශ ඇමැති අලි සබ්රි මහතා හා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා දින පහක දකුණු අප්‍රිකානු සංචාරයක නිරත වූහ. ඒ දකුණු අප්‍රිකාවේ සාර්ථක සත්‍යය කොමිසමක් ක්‍රියාත්මක වූ හෙයිනි.
ජනවාර්ගික ප්‍රශ්නයට අදාළව පෙර පැවති ආණ්ඩු විසින් පත් කරන ලද කොමිෂන් සභාවල නිර්දේශ අධ්‍යයනය කොට අලුතින් නිර්දේශ ඉදිරිපත් කරන්නට 2021 දී ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් ඒ.එච්.එම්.ඩී. නවාස් කොමිසම පත් කෙරිණි. එම කොමිසමද 2023 පෙබරවාරි මස සංෂිප්ත නිර්දේශ වාර්තාවක් ජනාධිපති වික්‍රමසිංහ මහතාට බාර දී තිබිණි.
ඉන්පසු එම කාරණය ගැන අසන්නට ලැබුණේ 2023 දෙසැම්බර් මාසයේදීය. ඒ ආණ්ඩුව සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් ඇති කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම නිසාය. යළිත් එම යාන්ත්‍රණය ගැන අසන්නට ලැබුණේ ඉන් මාස 14කට පසු විජිත හේරත් මහතා ඉකුත් මාසයේ කළ කතාවෙනි.
එකිනෙකට සම්බන්ධ නැති අඛණ්ඩ බවක් නැති ක්‍රියාමාර්ගවලින් සමන්විත මෙම ක්‍රියාවලිය නිසාත් එම ක්‍රියාවලිය වසර දහයක් තිස්සේම සංකල්පීය මට්ටමෙන් ඔබ්බට නොයා ඇදි ඇදි යාම නිසා මානව හිමිකම් කවුන්සිලය මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ පොරොන්දු පිළිගනු ඇතැයි සිතිය නොහැකිය.
මානව හිමිකම් ප්‍රශ්නයේ දී වගවීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පාලනය ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. එහෙයින් මුල් වරට 2015දී සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය පිළිබඳ පොරොන්දුව දෙමින් මානව හිමිකම් කවුන්සිලයේ කතා කළ මංගල සමරවීර මහතා ‘‘අතීත පොරොන්දු කඩ කිරීම් හා ආපසු හැරීම් වලින් අපව විනිශ්චය නොකරන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. එහෙත් ඉන් පසු ගත වූ දස වසරේ ද සිදු වූයේ පොරොන්දු කඩ කිරීම් හා ආපසු හැරීම්’’ය. වත්මන් ආණ්ඩුව මුහුණ දී සිටින්නේ එවැනි තත්වයකටය. ආණ්ඩුව තමන්ට කළ හැකි දේ හා තමන් කරන්නට කැමැති දේ ගැන පමණක් පොරොන්දුවීම වැදගත්ය.
(*** එම්.එස්.එම්.අයුබ්)
නව පරපුරකට ජීවය ලබා දෙමින් මිනිස් පරපුරේ පැවත්ම තීරණය කරනු ලබන්නේ කාන්තාව විසිනි. තවත් විටෙකදී කාන්තාව යනු වච නයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරා ගැනීමේ සංතෙ
විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පෙබරවාරි 25 වැනිදා එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි ස්ථාවර සැසිවාරය ඇමතීය. එදිනම තරුණ පිරිසක් සමග පැවැති හමුවක දී
ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී
අප රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව සමාජ කථිකාවක් හදිසියේ මතු වන්නේ පසුගිය සති කිහිපය තුළ නැවත ඉදිරියට පැමිණි සංවිධානාත්මක අපරාධ සිදුවීම් සමගිනි. විපක්‍ෂයේ
ශ්රී ලංකාව තුළ ‘‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්” සංසිද්ධිය නිර්මාණය කර ඇත්තේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර පැවත
ගෝල්ෆේස් අරගලය සහ ඒ හේතුවෙන් රට තුළ ඇති වූ දේශපාලන පෙරළි පිළිබඳවත්, ඒවාට බලපෑම් එල්ල වූ දෙස් විදෙස් බලවේග පිළිබඳවත් කරුණු විස්තර කෙරෙන ග්‍රන්ථ කිහිපය
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ මානව හිමිකම් එදා සහ අද
SAMAN Sunday, 09 March 2025 07:30 AM
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් එදා සහ අද දක්වා සිදුවූ කරුණු විසඳීමට නම් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළයුතු වන්නේ විවිධ කොමිසන් මගින් යෝජනා කරන ලද අදහස් සහ යෝජනා හෝ නිර්දශ නොව "අදාල පාර්ශව මගින් එකඟත්වයට පත්වූ ජාතික සංහිදියාවේ ගිවිසුමකි".