IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මීට කලකට පෙර සමාජයේ පැවැති අපරාධවලට වඩා වෙනස් සහ සංකීර්ණ ලක්ෂණ පෙන්නුම් කරයි. මීට කලකට පෙර අපට අසන්නට ලැබුණේ බොහෝ විට තනි පුද්ගලයකු සම්බන්ධ යම් යම් අපරාධ බව පෙනුණත් වර්තමානය වන විට අපරාධ කල්ලි කණ්ඩායම්වල යම් ප්‍රවණතාවක් වර්ධනය වන බව පෙනෙන්නට තිබේ.

මෙම කණ්ඩායම් සංවිධානාත්මක අපරාධ කල්ලි ලෙස හැඳින්වීමට පුළුවන. අපරාධයක් සඳහා මෙම කල්ලි ඉතා හොඳින් සංවිධානය වන බව පෙනේ. එසේ සංවිධානාත්මකව කිසියම් රටක් තුළ කිසියම් ප්‍රදේශයක් තුළ කිසියම් අරමුණක් වෙනුවෙන් ඔවුහු තම අපරාධය සැලසුම් කරති. කල්ලි අපරාධකරුවන් ඇතැම් අවස්ථාවල විදේශ රටවල් සමගද සබඳතා පවත්වාගෙන යන බව තහවුරු වී ඇත. එහෙත් සංවිධානාත්මක අපරාධ සියල්ල අපරාධ කල්ලි මතම වන බව ප්‍රකාශ කළ නොහැකිය. ලංකාවේ පමණක් නොව ලෝකයේද අපරාධ කල්ලි බොහෝ විට ප්‍රසිද්ධ වී සිටින්නේ කොල්ලකෑම් සඳහාය. එසේම මුදල් සඳහා මිනීමරන අපරාධ කල්ලි සිටිති. කල්ලි අපරාධකරුවන් අතර ගිනි අවි භාවිත කිරීම් ආදියද දැකිය හැකිය.

ලංකාවේ ඈත අතීතයේ සිටම කල්ලි අපරාධ හඳුනාගත හැකිය. වර්ෂ 1803 දී පමණ ලංකාවේ සිටි මැලේ අපරාධ කල්ලියක් පිළිබඳව ඉතිහාස තොරතුරු හමුවේ. 1864 පමණ අසන්නට ලැබෙන තවත් අපරාධකරුවකු ලෙස දීකිරි කෑවගේ සරදියෙල් ගැන අසන්නට ලැබේ. එහෙත් 1930-1960 කාලය තුළ බිහි වූ දාමරික කල්ලි ගැනද අසන්නට ලැබේ. එම දාමරිකයන් ගැවසුණේ නගර ආශ්‍රිත මංසන්ධි කේන්ද්‍රකරගෙනය. මෙම දාමරික කල්ලි ක්‍රමිකව කොල්ලකෑම් මංපැහැරීම් ආදියට යොමු වූ ප්‍රවණතාවක් දැකිය හැකිය. ඒ අනුව මෙම අපරාධ කල්ලිවල වර්ධනය ක්‍රමිකව සමාජය තුළ සිදු වූ බව පැහැදිලිය. 1930-1960 දශකවල මීගමුව, අනුරාධපුර වැනි දුර බැහැර නගර කේන්ද්‍රගතවද මෙම අපරාධ කල්ලිවල ව්‍යාප්තියක් දක්නට ලැබේ.

ලංකාවේ ආර්ථිකයේ වෙනස්වීම් සමග මෙම අපරාධවල යම් සම්බන්ධයක් හඳුනාගත හැකිය. පොදු නිරීක්ෂණය අනුව පිළිගත් කරුණ නම් අපරාධ වැඩි වශයෙන් සිදුවන්නේ ග්‍රාමීය මට්ටමේ දී නොව නාගරික මට්ටමේ දී බව පෙනේ. එහෙත් වර්තමානය වනවිට මේ මතය සම්පූර්ණයෙන් වෙනස් වී තිබේ. අපරාධ සම්බන්ධයෙන් අද ගමද නගරයද කියා වෙනසක් නැත. ගමේත් නගරයේත් එක හා සමානව අපරාධ කල්ලි මෙන්ම ඒවායේ වින්දිතයන්ද සිටින බව පෙනේ. ලංකාවේ ආර්ථිකමය වශයෙන් ඇති මුදල් සංසරණයත් සමග ගම්වලින් බිහිවන අපරාධකරුවන් වැඩිවශයෙන් දැකිය හැකිය.

කොළඹ නගරය ඇතුළු නාගරික කලාපවල පැල්පත් නිවාස බහුලය. ඒ නිවාස ආශ්‍රිතව වෙසෙන බහුතරයක් අඩු ආදායම්ලාභියෝය. මෙම නාගරික පැල්පත්වල වෙසෙන අඩු ආදායම්ලාභීන් අතරින් අපරාධකරුවන් බිහිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතී. අපරාධකරුවන්ගේ චර්යාවන් දෙස බැලීමේදී එය වැඩි වශයෙන් වර්ධනය වන්නේ නාගරික කලාප ආශ්‍රිත මුඩුක්කු පැල්පත් ආශ්‍රිත චර්යා රටා අනුව බව මෙයින් පැහැදිලිය. මෙම පැල්පවාසීන් ආශ්‍රිතව එක්තරා උපසංස්කෘතියක් හඳුනාගැනීමට පුළුවන. ඔවුන්ගේ සංස්කෘතියට අනුව මුල්බැසගෙන ඇති මතය වන්නේ අපරාධ කිරීම ඔවුනට එතරම් බරපතළ කාරණයක් නොවන බව සිතීමය. මේ බොහෝ අපරාධකරුවන් එවැනි ක්‍රියාමාර්ග සඳහා යොමුවන්නේ මුදල් සොයාගැනීමේ මූලික අරමුණ ඇතිවය. එහෙත් මහා සමාජය තුළ සිටින සමස්තය මෙය ප්‍රතික්ෂේප කරති. තමන් කරන ක්‍රියාව අපරාධ නීති උල්ලංඝණය කිරීමක් ලෙස පරපතළ අන්දමින් සැලකීමට මෙම නාගරික පැල්පත් වාසී අපරාධ කල්ලි කල්පනා නොකරති.

මෙම තත්වය පියවරින් පියවර වැඩී වර්ධනය වන්නට වූයේ 1978න් පසුව විවෘත ආර්ථිකයත් සමග ඇතිවූ ආර්ථික වෙනස්කම් සමගය. එතැන් සිට මේ දක්වා මුලින් ඉතා සුළුවෙන් ආරම්භකළ මේ අපරාධ ක්‍රියාකාරකම් ක්‍රමිකව වර්ධනය කරගනිමින් මේ වන විට පුළුල් ජාලයක් බවට ව්‍යාප්ත කිරීමට ඔවුහු පෙළැඹී සිටිති. ඒ අනුව අපරාධකරුවන්ගේ සම්බන්ධ ජාලය වඩාත් පුළුල් වී තිබේ. අද වන විට මෙම අපරාධකරුවෝ සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි පවා වඩාත් සියුම්ව භාවිත කරමින් සිටිති. ගිනි අවි භාවිතයද එසේමය. වර්තමානයේ අපරාධ ක්‍රියාවලදී ගිනි අවි භාවිතාවන් සම්බන්ධයෙන් නිතර අසන්නට ලැබේ. ඇතැම්විට අවි ආයුධ භාවිතය සම්බන්ධයෙන් දැනුමක් හා පුහුණුවක් ඇති පිරිස් තම අපරාධ ක්‍රියා සඳහා සම්බන්ධ කර ගැනීමට මෙම අපරාධ කල්ලි උත්සාහ කරති. හමුදා සේවයෙන් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් පිටවූ පුද්ගලයන් වැනි අය කෙරෙහි ඔවුන්ගේ අවධනය යොමුවන අතර එබදු පුද්ගලයන් සිය අපරාධ සඳහා අවි ආයුධ භාවිත කිරීමට යොදාගන්නා තත්වයක් දැකිය හැකිය. පසුගිය කාලය පුරා අපට වරින් වර අසන්නට ලැබුණු අපරාධ පිටුපස එබදු පුද්ගලයන් සිටි බව හෙළිවීමෙන් මෙම කරුණ සාධනය වේ.

රටේ මේ පවත්නා අපරාධකරුවන්ගේ ක්‍රියාකාරීත්වය අනුව තරුණ පරපුර කෙරෙහි ඔවුන්ගේ විශේෂ අවධනයක් ඇති බව වටහා ගත යුතුය. තරුණයන් මේ අපරාධ සඳහා කවර මාර්ගයකින් හෝ සම්බන්ධ කර ගැනීමට මෙම අපරාධකරුවෝ මාන බලති. එබැවින් වර්තමාන සමාජය තරුණ පරපුර කෙරෙහි විශේෂ අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය කරුණකි. අදවනවිට තරුණ පරපුර මත්ද්‍රව්‍ය වෙත නැඹුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දැකිය හැකිය.අපරාධ කල්ලි තම අරමුණ ඉටු කර ගැනීම සඳහා තරුණයන් විවිධ මත්ද්‍රව්‍ය සඳහා ගොදුරු කර ගැනීමේ උත්සාහයක් ගන්නට බැරි නැත. සමාජය ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතුය.

එසේම අපරාධ කල්ලි සම්බන්ධයෙන් අප හඳුනා ගත් මෑත කාලීන තත්වයක් නම් ඉතාම සූක්ෂ්ම ලෙස කාන්තාවන් මේ සඳහා සම්බන්ධ කර ගැනීමය. පසුගිය කාලයේ සිදුවූ අපරාධ සිද්ධි සම්බන්ධයෙන් ද කාන්තාවන් ඍජුවම මේවාට සම්බන්ධ වී සිටි සැටි අපි දුටුවෙමු. බන්ධනාගාර තුළ ඉතාම රහසිගතව මත්ද්‍රව්‍ය බෙදාහැරීමට පිටත සමාජයේ සිටින කාන්තාවන් යොදාගත් අවස්ථා දැකිය හැකිය. මත්ද්‍රව්‍ය ජාවාරම්, මුදල් ගනුදෙනු ආදිය සම්බන්ධයෙන් මෙම අපරාධ කල්ලි අතරම ගැටුම් ඇතිවන අතර එම ගැටුම් නිසා ඔවුනොවුන්ම වෙඩිතබා ගන්නා තත්වයක් උද්ගතව තිබේ. එය අවි ගත්තෝ අවියෙන්ම නසිති යන ධර්මතාව ප්‍රකට කරන්නකි.

ලංකාවේ අපරාධ කල්ලි සම්බන්ධයෙන් මෑත කාලයේ අපගේ අවධානය යොමු විය යුතු විශේෂ කාරණයක් නම් නගරයෙන් ගමට පාතාලය ව්‍යාප්ත වී තිබීමය. ඔවුන් අපරාධ කල්ලි සමග ගනුදෙනු කිරීමට පාතාල ක්‍රියාකාරකම් හා සම්බන්ධ වීමට බලපාන හේතු සොයා බැලීම වටී. ඒ හේතු හඳුනාගෙන මෙම අයහපත් ප්‍රවණතා වැළැක්වීමට ගත හැකි පියවර සොයා බැලීම වැදගත් ය. ග්‍රාමීය මට්ටමින් අපරාධ කල්ලි හා සම්බන්ධ වන බොහෝ දෙනා පහසුවෙන් මුදල් ඉපයීමට අයථා මාර්ග සොයා ගැනීම සහ ඔවුන් සතුව පවත්නා අඩු අධ්‍යාපනික දැනුම හේතු වී තිබේ. නූගත් භාවයෙන් පෙළෙන මෙම තරුණයෝ තම හැකියාවන් පෙන්වීමට අපරාධමය ක්‍රියාකාරකම් එක් තෝතැන්නක් කරගන්නට උත්සාහ දරති.

පොදුවේ සලකා බලන විට මෙම කල්ලි සංස්කෘතිය අද වනවිට සංවිධානාත්මක ස්වභාවයක් ගන්නා සැටි හඳුනාගත හැකිය. එසේම ග්‍රාමීය සමාජය තුළද ආර්ථිකයේ සිදුවන වෙනස්කම්, තරගකාරීත්වය, නව තාක්ෂණය උපයෝගී කරගෙන සිදුකරන සන්නිවේදන කටයුතු, ප්‍රවාහන ක්‍රමවල ප්‍රසාරණය, මත්ද්‍රව්‍ය සංසරණය ව්‍යාප්තවීම, දේශපාලන සංස්කෘතිය තුළ සිදුවන වෙනස්කම් ආදි විවිධ හේතු අපරාධ කල්ලි වර්ධනය වීමට මෑතකාලීනව වැඩිවශයෙන් බලපා තිබේ. ඊටත් අමතරව කිසියම් පුද්ගලයකු දැඩි මානසික ආතතියෙන්, සමාජය හා පුද්ගලයන් සමීපතමයන් පිළිබඳ වෛරයෙන් කාලයක් තිස්සේ පසුවන අවස්ථාවලද ඔවුන් අනෙකාගෙන් පලිගැනීමේ චේතනාවෙන් යම් යම් අපරාධ ක්‍රියාකාරකම් සඳහා යොමු විය හැකිය.

තම ආයතනයේ ප්‍රධානියා සමග ඇති කරගත් ආරවුලක් දුරදිග යාමෙන් එක් තරුණයකු අපරාධ කල්ලි හා සම්බන්ධ වූ අවස්ථාවක් අපි අසා ඇත්තෙමු. මේ තුළ ඇත්තේ පලිගැනීමේ චේතනාවය. ඒ සම්බන්ධයෙන් සමාජයේ වැඩි අවධනයක් යොමු නොවුණද එබදු සරල කාරණයක් පවා කෙනකු අපරාධකරුවකු බවට පත් කිරීමට හේතු විය හැකිය. ඇතැම් මිනීමරුවන්ගේ පසුබිම් කතා සොයා බැලූ විට පෙනෙන්නේ ඔවුන්ගේ ආරම්භය ඉතා කුඩා සිද්ධියක් විය හැකි බවය. වත්තෙන් පොල්ගෙඩියක් අහුලාගැනීම හේතුවෙන් වතු අයිතිකරුවා බැනවැදීම නිසා අපරාධ සඳහා යොමු වූ පුද්ගලයන් පිළිබඳ කතා පුවත් පසුගිය කාලයේ අපට අසන්නට ලැබිණ. තම යටි සිතෙහි හටගන්නා මානසික පීඩන තත්වයක් සමාජ වෛරයක් දක්වා වර්ධනය වීමට ඇති හැකියාවත් එමගින් අපරාධකරුවකු වුවත් නිර්මාණය වීමේ ඇති හැකියාවත් මෙයින් හඳුනාගත හැකිය. තමන් සතුව කාලයක් තිස්සේ පවත්නා පීඩනය ඇතැම්හු අපරාධයක් ලෙසින් පිටකරති.

අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාව බලපෑම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ මෑත කාලයේ වැඩිවශයෙන් සාකච්ජාවට ලක්විය. ජාතික ආර්ක්ෂාව පිළිබඳ කතා කිරීමේදී සියලු‍ ක්ෂේත්‍ර සඳහා එම ක්‍රියාකාරකම් එකිනෙකට බලපාන්නේ කෙසේදැයි අවධානයට ගත යුතුව ඇත. අපරාධ කල්ලි ක්‍රියාකාරකම් නිසා සමාජයේ ඇතිවන අනාරක්ෂිත බව රටේ ආර්ථිකය කඩාවැටීමට හා අධ්‍යාපනයේ අවිධිමත්භාවය ඇතිවීමට බලපාන්නට පුළුවන. සමාජය අවුල් සහගතවීමටද බලපෑ හැකිය. පාරිසරික වශයෙන් බලපානන්නට පුළුවන. ළමා හිංසන ආදිය සිදුවන්නට හේතු විය හැකිය. කාන්තා ඝාතන සිදුවිය හැකිය. වර්තමානය වන විට කාන්තා ඝාතනවල යම් වර්ධනයක් දැකිය හැකිය. මත්ද්‍රව්‍ය ජාවරම් තවදුරටත් වර්ධනය වීමෙන් ඒ තුළ මිනිස් ජාවාරම් ආදියද සිදුවිය හැකිය. ඊටත් අමතරව ත්‍රස්ත ක්‍රියා ඇතිවීමේ අවදානමක්ද ඇතිවිය හැකිය. මුදල් වංචා ක්‍රෙඩිට් කාඩ් වංචා ආදිය සිදුවීම සඳහා වුවද මෙම අපරාධ කල්ලිවල වර්ධනය බලපෑ හැකිය. ඊටත් අමතරව සංක්‍රමණිකයන් ජාවාරමට, අවි ආයුධ ජවාරම ආදිය වර්ධනය වීමට, පරිගණක දත්ත කොල්ලකෑමට වුවද මේ පසුබිම හේතු විය හැකිය.

එල්ටීටීඊ සංවිධානය පවා එක්තරා අන්දමකින් සංවිධානාත්මක අපරාධකල්ලියක් ලෙස හැඳින්විය හැකිය. ඔවුහු භීෂණ ක්‍රියා සිදුකළා වගේම සංවිධානාත්මකව අපරාධ සිදු කළහ. ඝාතන, කොල්ලකෑම්, ගණිකා නිවාස පවත්වාගෙන යාම ආදිය ඒ අතර විය. රටේ සිදුවන අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් මර්දනය කළ යුත්තේ කෙසේදැයි පිළිබඳ අංශ කිහිපයකින් අවධානය යොමු කළ හැකිය. නීතිය ක්‍රියාත්මක කරන ආයතන වශයෙන් ශ්‍රී ලංකා පොලීසියේ, විශේෂ කාර්ය බළකායේ, මෙහෙයුම් ඉතාම වැදගත් කාරණයකි. අපරාධයක් සිදුකරන අපරාධකරුවකුට අනිවාර්යයෙන්ම දඬුවමක් තිබිය යුතුය. දඬුවමේ නියත බව තහවුරු විය යුතුය. දඬුවම් පැමිණවීමේ දී වැඩිකලක් නොගෙන ඉක්මනින් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වූවකි.

කල්ලි අපරාධවලට සම්බන්ධ වී අත්අඩංගුවට පත්වූවන්ට බන්ධනාගාරයේදී පවා ආරක්ෂාව සැලසීමට සිදුවේ. ඔවුන් පිළිබඳ සාක්ෂි තහවුරු කරගැනීම ද අවශ්‍ය වේ. එබඳු තැන්වලදී නව තාක්ෂණික ක්‍රම භාවිතයට ගත හැකිය. ඇතැම් බන්ධනාගාරවල මේ දිනවල ඒ සම්බන්ධ යම් අත් හදාබැලීමක් සිදුකෙරෙන අතර ඒ සඳහා ඩිජිටල් කෝට් භාවිත කිරීම දැක්විය හැකිය. අපරාධකරුවන් උසාවි ඉදිරිපත් කිරීමේදී මෙම ක්‍රමය භාවිත කළ හැකිය. එබදු තත්වයක් යටතේ ගණේමුල්ල සංජීව සිද්ධියේ දී වූ අනාරක්ෂිත බව ඇති නොවනු ඇත. සෑම උසාවියකම මේ කියන ඩිජිටල් කෝට් ක්‍රමය භාවිත කළ හැකිනම් එය සාර්ථක තත්වයක් වනු ඇත. දැනට අගුණකොළපැලැස්සේ මෙම ක්‍රමය ක්‍රියාත්මක වන අතර එය ඉතාම සාර්ථකය. අපරාධකරුවා සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධවීම මෙහිදී සිදුවේ. එයින් සම පැත්තකින්ම ආරක්ෂාව සම්බන්ධ කාරණයද නිරවුල් වනු ඇත. වියදමද අවම වනු ඇත. මහජනයාට ආරක්ෂාව සම්බන්ධයෙන් ද වන බිය අවම වනු ඇත.

(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 340 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 181 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 696 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 338 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 215 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද
2025 අප්‍රේල් මස 08 269 0

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 51 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 740 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site