IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සෙංකඩගල ඇසළ පෙරහරේ ශබ්ද පූජාවේ ඇතුළු් පැත්ත

1

 

අගෝස්තු මස 15 දින කප් සිටුවීමත් සමඟම ඇසළ පෙරහර පැවැත්වීමට අවශ්‍ය චාරිත‍්‍ර ආරම්භ විය. ඇසළ පෙරහර ගමන් මඟ පංචතූර්ය නාදය සමඟින් පවත්වන ප‍්‍රධානතම වාදනාංගය ”හේවිසි” යයි.

 


තේවා පදය මුල් කරගෙන බිහිවී ඇති හේවිසි වාදනය මඟින් දළදා හිමියන්ට පූජෝපහාර පැවැත්වේ. පෙරහර ගමන් රිද්මය තීරණය කිරීමට එය උපකාරී සාධකයකි. ඒ අනුව බෙර, දවුල්, තම්මැට්ටන්, හොරණෑව, තාලම්පට යන පංචතූර්යට අයත් භාණ්ඩයන් වයන්නේ නැතිව වෛර්ණවත් ඇඳුම් පැළඳුම්වලින් සැරසී කොතරම් අලංකාර අයුරින් නර්තනය සිදු කළද එය ශබ්ද පූජාවක්, අංග සම්පූර්ණ පෙරහරක්, දැක්මක් හෝ සංස්කෘතික උළෙලක් හෝ වන්නේ නැත. වටිනාකමක් ලැබෙන්නේ ද නැත. ශබ්ද පූජාවෙහි වටිනාකම අවබෝධ කර ගැනීමට ඒ උදාහරණයම ප‍්‍රමාණවත්ය. මහනුවර දළදා පෙරහර සඳහා ඊටම ආවේණික වූ ගායන, වාදන හා නර්තන සම්ප‍්‍රදායක් අතීතයේ සිටම පැවතුණු බවට සාක්ෂි ඇත. සෙංකඩගලපුර ඇසළ පෙරහරෙහි වැයෙන සෑම බෙර පදයකටම තේරුමක් ඇත්තේ ඒ නිසාය. එහෙත් මේ පිළිබඳව බොහෝ දෙනෙක් දන්නේ නැත.

2


දළදා ප‍්‍රදර්ශන පවත්වන අවස්ථාවන්හි දී පැරැුණි චාරිත‍්‍රානුකූලව භේරී (බෙර) වාදන කටයුතු සිදු කිරීම චාරිත‍්‍ර පිළිවෙත වේ. කෙසේ වුවද, පෙරහර වීදී සංචාරය කිරීමට මොහොතකට පෙර දළදා කරඬුව හෙවත් පෙරහර කරඬුව ඉහළ මාලයේ සිට පල්ලේ මාලේටත්, එතැන් සිට වාහල්කඩ අංගනයටත් වැඩමවා එහි සරසවා ඇති ඇතු පිට තබා ඇති ”රන්හිලි” ගෙය තුළ තැන්පත් කළ යුතුය. පෙරහර කරඬුව වැඩමවනු ලබන්නේ උඩුවියන් හා පාවඩ ඇතිරීමෙන් අනතුරුව, තේවා කාරක භික්ෂූන් වහන්සේ සහ දියවඩන නිලමේතුමා විසින් කෙරෙන ශබ්ද පූජා මධ්‍යයේය. ශබ්ද පූජාවලින් තොරව පෙරහර කරඬුව වැඩමවීමත්, රන්හිලිගේ තුළ තැන්පත් කිරීමත් කිසි විටෙකත් සිදු නොවේ. මෙම අවස්ථාවේ දී ”වඩම්මන පද” නමින් හැඳින්වෙන බෙර පද ඛණ්ඩ, දවුල් තම්මැට්ටම්, ආදී තූර්ය භාණ්ඩ පමණක් මඟින් වාදනය කරනු ලැබේ. හොරණෑවෙන් ජය මංගල ගාථා වාදනය කෙරේ. මේ පිළිබඳව පැවත එන චාරිත‍්‍ර විධි බොහොමයකි. බොහෝ දෙනකුට ඒ ගැන අවබෝධයක් නැත.

 


භේරී (බෙර) වාදන සිදු කෙරෙන අවස්ථා
දුරුතු මස පැවැත්වෙන අලූත් සහල් මංගල්‍යය, බක් මස පැවැත්වෙන අවුරුදු මංගල්‍යය, නිකිනි මස හෙවත් ඇසළ මස පැවැත්වෙන ඇසළ මංගල්‍යය සහ ඉල් මස පැවැත්වෙන කාර්තික මංගල්‍යය මහනුවර දළදා මලිගාව ප‍්‍රධාන කරගෙන ඉටු කෙරෙන ප‍්‍රධාන මංගල්‍යය සතර වේ. දළදා මාලිගාව ප‍්‍රධාන කරගෙන පවත්වනු ලබන ඇසළ මංගල්‍යයට මහනුවර සතර මහා දේවාලයන්හි පෙරහර ද අයත් වේ. කෙසේ වුවද, සතර මහා මංගල අවස්ථා සඳහා විවිධ වූ භේරී වාදන පවත්වනු ලැබේ. දළදා මාලිගාවේ පවත්වනු ලබන භේරී වාදනයන්හි සුවිශේෂීත්වය වනුයේ චාරිත‍්‍ර, වත්පිළිවෙත්, තේවාවන්, පූජා පිළිවෙත් එකිනෙකට සම්බන්ධ කර තිබීමය.  

RASAVITHA_5.qxd
ඇසළ මංගල්‍යය සඳහා භේරී වාදන අවස්ථා ආරම්භ කරනු ලබන්නේ කප් සිටුවීමත් සමඟය. ඉන් පසු ඇතුළේ පෙරහර, කුඹල් පෙරහර, රන්දෝලි පෙරහර, දිය කැපීමේ මංගල්‍යය සහ දවල් පෙරහර අවස්ථාවන් වලදී ද භේරී වාදන සිදු කෙරේ. මෙයට අමතරව ඇසළ මංගල්‍යයෙහි අවසන් චාරිත‍්‍ර වන සත් දින වලියක් මංගල්‍යය උදෙසා ද භේරී වාදන අවස්ථා රාශියක් ඉටු කෙරේ. කෙසේ වුවත්, කප් කණු සිටුවනු ලබන්නේ සතරමහා දේවාලයන්හි පමණි. ඇසළ මංගල්‍යය සඳහා දළදා මාලිගාවේ කප් කණු සිටුවීමක් සිදු කරනු ලබන්නේ නැත.  


කප් සිටුවීම සඳහා තෝරා ගනු ලබන්නේ පල නොදරන නෑඹුල් කොස් ගසකි. විශාල වූ හෝ මෝරා වැඞී ඇති කොස් ගස් ද මේ සඳහා සුදුසු නොවේ. තවද එම ගසෙහි බෙණ හෝ කබොක් හෝ තිබීම, ළඟින් අතු බෙදී තිබීම සහ ඍජු කඳක් නොවීම ද නුසුදුසුකමකි. ඒ ආකාරයෙන් කප් සිටුවීම සඳහා තෝරාගනු ලබන්නේ අලූත්නුවර දේවාල භූමියෙන් හෝ ඊට සුදුසු දේවාල බිමකින් හෝ තෝරාගන්නා කොස් ගසකි. තෝරාගත් එම ගස අවට භූමිය හොඳින් පිරිසිදු කිරීමෙන් පසු, කප කැපීමට පෙර අලි ඇතුන් සහිත භේරී වාදනයෙන් අලංකෘත වූ පෙරහරක් පැමිණේ. සිව්මහා දේවාලවල රාජකාරි කරන්නන් කොස් ගස සමීපයට පැමිණ කළ යුතු සියලූ වතාවත් අවසන් වන තුරු භේරී වාදන නොකඩවා පවත්වනු ඇත. ඒ දළදා පූජාවක් ලෙසිනි. මෙම ගස කපනු ලබන්නේ විෂ්ණු දේවාලයේ ප‍්‍රධාන කපුරාල විසිනි. කොස් ගස කැපීමට පෙර ”වටතිර” ඇද ආවරණය කරනු ලබයි. මෙය පිටත පුද්ගලයන්ට නොපෙනෙන ආකාරයෙන් සිදු කළ යුතු කාර්යයකි. කොස් ගස කපා වෙන්කර ගැනීමට පෙර ”පේ කිරීම” සිදු කරයි. ඒ ආකාරයෙන් ”පේ කිරීම” සිදු කරන විට සහ ”කප් කණු” කපා සතර දේවාල කරා පෙරහරින් රැුගෙන යන්නේ ද භේරී වාදන මධ්‍යයේය. එපමණක් නොව දේවාලවල ඇති කප් ගෙවල් තුළ උත්සවාකාරයෙන් එම කප් සිටුවනු ලබන්නේ ද භේරී වාදන මධ්‍යයේ වීම විශේෂත්වයකි.

gy
මෙවැනි චාරිත‍්‍ර බොහෝ දෙනකුට දැකගත හැකි නොවන බැවින් ඒ පිළිබඳව තවදුරටත් මේ ආකාරයෙන් විස්තර කෙරේ.  කප සඳහා තෝරා ගත් වෘක්ෂය ”පේ” කිරීමට ප‍්‍රථමව තෙවරක් සක් පිඹ, මඟුල් බෙර සතර වට්ටම කෙටි වශයෙන් වාදනය කරයි. තූර්ය වාදනවලින් පසුව දේවාලවල කපුරාලවරුන් විසින් දෙවියන් උදෙසා දේව ස්ත්‍රෝත‍්‍ර ගායනා කෙරේ. කප් කණු රැුගෙන යනු ලබන්නේ දවුල්, තම්මැට්ටන් උපයෝගී කරගෙන ගමන් තාල බෙර පද වයමිනි. තෝරාගත් වෘක්ෂය පේ කිරීමට ප‍්‍රථමව, තෙවරක් සක් පිඹ, මඟුල් බෙර සතර වට්ටම කෙටි වාදනයක් සිදු කෙරේ. මේ අවස්ථාවේදී දේවාල ඇතුළත කුඩා සීනු වාදනය කරන අතර, එය දිගු වේලාවක් පවත්වනු ලැබේ. කප් කණු සිටුවීමේදී දිගු වේලාවක් තූර්ය වාදනය සිදු කරමින් ශබ්ද පූජාවක් පවත්වයි. මේ සඳහා ගැට බෙර, දවුල්, තම්මැට්ටන්, හොරණෑ, සක්, සීනු හා තලි වාදනය කෙරේ. කතරගම දේවාලයේ පමණක් මෙම වාද්‍ය භාණ්ඩවලට අමතරව නාගස්වරම් නළාව, තවිල් බෙරය සහ කුඩා තලිය ද වාදනය කරනු ලැබේ.  


දේවාලවල කප සිටුවන ආකාරය ද දැන ගත යුතුව තිබේ. මෙහිදී කප සිටුවීමට පෙර ගමන් තාල බෙර පද වයමින් උඩු වියන්, කොඩි, සේසත් සමඟින් දේවාල භූමිය වටා පෙරහරකින් තෙවරක් හෙවත් පැදකුණුකර ගමන් කරයි. ඉන්පසු චාරිත‍්‍ර පිළිවෙත් අනුගමනය කරමින් දේවාල භූමියෙහි සරසන ලද කප් ගේ තුළ ආවරණ සහිතව කපුරාල විසින් කප් කණු සිටුවෙයි. ඉන් පසු කප් ගේ දෙපස මැටි පහන් දල්වනු ඇත. මේ කාලය තුළ තූර්ය වාදනය කරනු ලබන්නේ ශබ්ද පූජාවක් වශයෙනි. කප් ගේ අබියස පවත්වනු ලබන ශබ්ද පූජාව අවසාන කරනු ලබන්නේ දේවාලයන්හි ප‍්‍රධාන ද්වාරය ඉදිරි පිට ඇති භේරී වාදන මණ්ඩපයේ සිටය. එය අවසන් වීමත් සමගම කපුරාල දේවාභරණ රැගෙන දේවාල ද්වාරය අභියසට පැමිණේ. ඒ සමඟම තුන් වතාවක් සක් පිඹිති. ගැට බෙරයෙන් මඟුල් බෙර සතර වට්ටම් වාදනය කරති. ගැට බෙරයෙන් වාදනය කරන මඟුල් බෙර පද ඛණ්ඩ කොටස් හෙවත් වට්ටම් සතරට දවුල් තම්මැට්ටම්වලිින් තේවා පද ද, හොරණෑවෙන් මංගලම් කවි ද වාදනය කරනු ලැබේ.  එම කාලයේදී දේවාභරණ දේවාලය තුළ තැන්පත් කරති. එහිදී ගැට බෙරයෙන් දේව පදය තුන් වතාවක් වාදනය කර කප් සිටුවීම හා සම්බන්ධව ඉටු කෙරෙන භේරී වාදන අවස්ථා සහ චාරිත‍්‍ර පිළිවෙත් අවසන් කෙරේ. ඉන්පසු සිදු කෙරෙන්නේ ඇතුළේ පෙරහරය.

 


ඇතුළේ පෙරහරෙහි වාදනය
ඇතුළේ පෙරහර යනුවෙන් හඳුන්වනු ලබන්නේ කප් සිටවූ දින සිට දින පහක් දේවාලයන්හි දේවාභරණ රැුගත් කපුරාලවරුන් උඩුවියන් බැඳ භේරී වාදන සහිතව දේවාභරණ දේවාලය සහ කප සිට වූ කප් ගේ වටා පමණක් තෙවරක් කොඩි සේසත් සමඟ පෙරහරෙන් වැඩම කරවීමය. මෙහිදී වාදනය කරනු ලබන්නේ දවුල, තම්මැට්ටම, හොරණෑව පමණි. තම්මැට්ටම, දවුල උපයෝගි කරගනිමින් ”ගමන් තාල” පද හෙවත් ගමන් කරමින් වාදනය කරනු ලබන ඛණ්ඩ (කොටස්) නමින් හැඳින්වෙන බෙර පද ඛණ්ඩ ඉතාමත් සරල ආකාරයෙන් මෙහිදී වාදනය කරයි. එකම ගමන් තාල පදයට අමතරව වරින්වර කෙටි වලිිනඩ පද ද වාදන5ය කෙරේ. දේවාල දොරටුව අසලට පැමිණෙන සියලූම භේරී වාදකයෝ එහිදී, දෙවියන්ට නමස්කාර වශයෙන් නමස්කාර වලිනඩ පදය වාදනය කරති. ඉන් පසු නැවතත් ගමන් තාල පද වාදනය කිරීම මෙහි පිළිවෙතය. ඉන් අනතුරුව දේවාලයෙහි ඇති කප් ගේ තුළ පැදකුණු කර දේවාලයට අයත් දේවාභරණ නැවත කුටි තුළ තැන්පත් කරති. එහිදී තුන් වරක් සක් පිඹ ගැට බෙරයෙන් දේව පදය ද තෙවරක් වාදනය කරයි. නැවතත්, ප‍්‍රධාන දොරටුව අසළට පැමිණෙන සියලූම භේරී වාදකයෝ නර්තන ස්වරූපයෙන් භේරී වාදනය කරමින්ම දෙවියන්ට දොහොත් මුදුන් දී නමස්කාර කෙරේ. අවසානයේ දෙවියන්ට ආශිර්වාද පතා දේව ආලත්ති පදය හෙවත් ආශිර්වාදය පතා වාදනය කරනු ලබන බෙර පද තෙවතාවක් වාදනය කර භේරී වාදන අවස්ථා නිමාවට පත් කරති. මේ ආකාරයෙන් ඇතුළේ පෙරහර දින පහක් පුරාවට පැවැත්වේ. (මෙවර අගෝස්තු මස 15 දින සිට 19 දින දක්වා ”ඇතුළේ පෙරහර” පැවැත්වේ) මෙම පෙරහර අවස්ථා සඳහා නර්තන කිසිවක් ඉදිරිපත් නොකිරීම ද විශේෂත්වයකි. දළදා මාලිගාව තුළ කප් සිටුවීමක් මෙන්ම ඇතුළේ පෙරහරක් ද පවත්වන්නේ නැත.

 


කුඹල් පෙරහර හා රන්දෝලි පෙරහරෙහි ශබ්ද පූජාව
ඇතුළේ පෙරහර පහ අවසානයේ එනම් අගෝස්තු මස 20 වෙනි දින ආරම්භ වන ”කුඹල් පෙරහර” 24 දිනෙන් අවසන් වේ. මේ සඳහා සතර දේවාලත්, දළදා මාලිගාවත් සම්බන්ධ වේ. රජ දවස කුඹල් කර්මාන්තයේ නියැලී කුඹල් කරුවෝ පෙරහරේ පෙරමුණේ වළං කදක් රැගෙන ගොස් තිබේ. ඒ දේවාලයන්හි දෙවියන් වෙනුවෙන් පිළියෙල කරන මුරුතැන් (ආහාර) සඳහා භාවිත කළ යුතු වළං යන බව අවබෝධ කරවීම සඳහාය. ඒ නිසා පළමු පෙරහර කුඹල් පෙරහර නම් විය. ”අඩක් නිම වූ පෙරහර හෙවත් අර්ධ පෙරහර” යන නමින් ද, කුඹල් පෙරහර හඳුන්වනු ලැබේ.  මෙයට හේතුව වනුයේ පෙරහර ශිල්පීන් ලෙස නැට්ටුවන් හා වාදකයන් පළමු වරට ඉදිරිපත් වීමට මෙමඟින් අවස්ථාව ලැබීමය. තවද දියවඩන නිලමේතුමා සම්පූර්ණ රාජකාරි ආයිත්තම් වලින් තොරව හැඩගැන්වී සහභාගී වීමය. කෙසේ වෙතත් රන්දෝලි පෙරහරට නොමැති විශේෂිත අවස්ථාවක් කුඹල් පෙරහරට ලැබී තිබේ. එනම් ”කුඩා දරුවන් හෙවත් අත දරුවන්ගේ වස් දොස් දුරු කිරීම සඳහා පුරා දින තුනක් කුඹල් පෙරහර පෙන්විය යුතු බව” ගැබිනි මව්වරුන්ටත් සුදුසු බව සඳහන්ය.  සතර දේවාලයන්ට අයත් දේවාභරණ, දේවායුධ මෙන්ම දළදා මාලිගා පෙරහරෙහි වැඩම කරවනු ලබන පෙරහර කරඬුව සහිත සරසන ලද ඇතුන් පිට තබා වීදි සංචාරය කිරීම මෙම පෙරහරෙහි විශේෂත්වය වේ. දළදා මාලිගාවේ ශබ්ද පූජා පැවැත්වීමේ ප‍්‍රධාන රාජකාරි නිල උරුමය හිමිව පවතින්නේ ප‍්‍රධාන පනික්කියන් සතර දෙනා මූලිකව මුහන්දිරම් පනික්්කියාටය. සෙසු භේරී වාදකයන් ඔවුන් පෙරටු කරගෙන මෙම චාරිත‍්‍රය පවත්වයි.


”රන්දෝලි පෙරහර” යනුවෙන් හඳුන්වනු ලබන්නේ මහනුවර රජ සමයේ රජුගේ ”අග මෙහෙසිය රන්දෝලිය” සමඟ ගමන් කළ නිසා බව පැවසේ. (රන්දෝලි පෙරහර අගෝස්තු මස 25 දින සිට 29 දින දක්වා පැවැත්වේ). පසුකාලීනව අග මෙහෙසිය පෙරහරින් ඉවත් වුවද, ඇයට ගෞරවයක් වශයෙන් දෝලාවක් රැගෙන යෑම සම්ප‍්‍රදායක් බවට පත් විය. ඒ අනුව මහරන්දෝලි පෙරහර අවසානයේ රන්දෝලි රැුගෙන යන අතර, සිව් මහා දේවාලවල ඒ, ඒ දේවාලවලට අයත් වර්ණයන්ගෙන් අලංකාර වූ දෝලා පෙරහර අවසානයේ රැගෙන යනු ලැබේ. දින පහක් පුරා පැවැත්වෙන රන්දෝලි පෙරහර අවසානයේ දිය කැපීමේ මංගල්‍යය පවත්වා, පසුදින දහවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව ඇසළ පෙරහර මංගල්‍යය සමාප්ත වේ. පෙරහර මංගල්‍යය නිම වුවද, ශබ්ද පූජාව අවසන් වනුයේ පෙරහර වීදි සංචාරය කොට නිමවීමෙන් පසුව පැවැත්වෙන වලියක් මංගල්‍යයෙනි. පෙරහර මංගල්‍යය උදෙසා වාදනය කරනු ලබන භේරී වාදන අවස්ථා රාශියක් බුදුන් වහන්සේ උදෙසාත්, බෞද්ධාගම හා සම්බන්ධ දෙවිවරුන් වෙනුවෙනුත් පූජාවක් ලෙසින් ඉදිරිපත් කෙරේ.

4


මංගල හස්තිරාජයාට දන්ත ධාතු කරඬුව වැඩමවා ගෙන ලාලිත්‍යයෙන් යුතුව ගමන් කිරීමට පහසුවන ආකාරයෙන් හේවිසි වාදනය කිරීමට ශිල්පීන්ට පුහුණුවක් සහ විනයක් ලබා තිබේ. ඒ සඳහා ”ජෙංග ජෙඟක්කිට තක්කිට තක්කට.....” යන පදය සියලූ තූර්ය භාණ්ඩවලින් වාදනය කෙරේ. එම ගමන්තාලය අනුගමනය කරමින් වෙස් නර්තන ශිල්පීන්ට ගමන් කිරීම සඳහා ”කුංජිං ජිංගත ජිංගත කුද කුද.... කුජිං කඩකත ජිංගත ජිජිගත...” යන බෙර පදය බෙර වාදකයෝ අලංකාර කොට වාදනය කරති. පැරැුණි පිළිවෙත වනුයේ ප‍්‍රවීණත්වයට පත් භේරී වාදන ශිල්පීන් වාදනය කිරීම සඳහා අවශ්‍ය බෙර පද ඛණ්ඩ මැනවින් ප‍්‍රගුණ කර වාදනය කිරීමය. තවද වයසින් මුහුකුරා ගිය භේරී වාදකයන් පමණක් ඇසළ මංගල්‍යය උත්සවය සඳහා භේරී වාදන ඉදිරිපත් කිරීමය.
එක්, එක් ගුරු පරම්පරාවලට අයත් ගුරුකුලවල භේරී වාදන ශිල්්පීන් තම තමන්ගේ පරම්පරාවලට ආවේණික වූ බෙර පද වාදනය කිරීම පෙරහරේදී අනුගමනය කරනු ලබන තවත් පිළිවෙතකි. පෙරහරෙහි පවතින තවත් එක් චාරිත‍්‍රයක් වනුයේ එක්, එක් භේරී වාදකයන් සතුව පවතින කුසලතා සහ දක්ෂතා එළිදැක්වෙන අයුරින් ඉදිරිපත් කිරීමය. මේ අනුව භේරී වාදකයෝ සහ යද්දෙස්සෝ පෙළ ගැසෙන්නේ ප‍්‍රවීණත්වය හා වයස් සීමාවන් අනුවය. වයසින් මුහුකුරා ගිය භේරී වාදන හා නර්තනය පිළිබඳ මනා දැනීමක් ඇති ශිල්පීන් පමණක් දෙපේළී ගැසී මුලින්ම සිටගනු ලැබේ. සෑම අවස්ථාවකදීම කණ්ඩායමේ නායකයා හෙවත් මුහන්දිරම් පනික්කියා භේරී වාදන හා නර්තනය ආරම්භ කරනු ඇත. (පනික්කියා යනු තනතුරේ ප‍්‍රධානත්වය හැඟවීම සඳහා යොදන වචනයකි.)  ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ මෙම නම හඳුන්වනු ලබන්නේ පනික්කාර් යන නමිනි. ඒ අනුව අනෙක් භේරී වාදකයෝ හා නර්තන ශීල්පියෝ බෙර පද වැයීම ද නර්තන ද ආරම්භ කරති.


පෙරහරේ ඉදිරියෙන් (පෙරමුණේ) ගමන් ගන්නා භේරී වාදකයෝ විසින් පෙරහර ඉදිරියට ගමන් කරවීම සහ නිමා කරවීම, චාරිත‍්‍ර පැවැත්වීම සිදුකෙරේ. එය සෙසු භේරී වාදකයන්ට හා යක්දෙස්සන්ට දන්වා සිටින්නේ, කිසියම් සන්නිවේදනාත්මක ආකාරයට වාදනයක් ඉදිරිපත්  කිරීමෙනි. ඔවුහු මේ සඳහා විවිධ භේරී වාදන උපක‍්‍රම යොදා ගනිති. ඒවා නම් භේරී වාදන ආරම්භය හෙවත් පිරීම, වඩම්මන පද, ගමන් තාල පද, මාත‍්‍රා පද, විශේෂ වලිනඩ පද, භේරී වාදන සරල නැටුම් මාත‍්‍රා පද, තේවා පද, ආලත්ති පද, පූජා හේවිසි, හේවිසි පහේ හේවිසිය හෙවත් තිත් තාල ක‍්‍රම පහකට වැයෙන වට්ටම් පහේ භේරී වාදන, ගෙවදුම් පද, ආදියයි. පිරිත් සජ්ඣායනා කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා වැඩමවීම, දළදා මාලිගාවේ පූජා වස්තුන් පයිංඩ කිරීම, දෙවියන් උදෙසා වැයෙන ගමන් තාල පදවලට වඩා ඇසළ පෙරහර මංගල අවස්ථාවේදී වැයෙන ගමන් තාල පදවල වෙනස්කම් රාශියකි. ගමන් තාල යනුවෙන් හඳුන්වන්නේ භේරී වාදන සහ නර්තන මගින් තාලානුකූලව ඉදිරියට ගමන් කිරීම සඳහා භාවිත කරන බෙර පද සහ නර්තන ඛණ්ඩ වේ. ගමන් තාල පද වාදනය හෝ නර්තනය ආරම්භ කරනු ලබන්නේ ප‍්‍රවීණත්වයෙහිලා සැලකෙන ශිල්පීන්ගෙන් පමණකි. ගමන් තාල වාදනයෙන් පෙරහරේ ගමන් කරන අනෙකුත් භේරී වාදකයෝ, නර්තකයෝ, අලි ඇත්තු හා සෙසු අයද ඉදිරියට ගමන් කරති. විවිධ තාල රටා අනුව වුවද ශාන්ත, කරුණා, වීර, ශෝක ආදී රසයෙන් යුත් ගමන් තාල පද වාදනය කෙරේ. ගමන් තාල අනුව හොරණෑව වාදනය කරයි. කයිතාලමෙන් තාලය ලැබේ. බෙර වාදකයන් කස්තිරම්වලින් ද, දවුල් වාදකයන් වලිනඩ බෙර පදවලින් ද ගමන් තාල ස්වරූපය වෙනස් කරගනී. වලිනඩ යනු භේරී වාදකයන් සමූහයක් විසින් වාදනය කරනු ලබන ශාස්ත‍්‍රීය බෙර පද වාදන අවස්ථාවකි. ආරම්භයේදී බුදුරජාණන් වහන්සේ විෂයෙහි පමණක් වාදනය විය. පසුව බෞද්ධාගම හා සම්බන්ධ දෙවිවරුන්, රජවරුන් වෙනුවෙන් ද වාදනය කරන ලදී.

මාත‍්‍රා පද යන්නෙන් අදහස් කරන්නේ භේරී වාදනය කරමින් එකම ස්ථානයක රැුඳී නැටීම සඳහා උපයෝගි කරගන්නා මාත‍්‍රා නමින් හැඳින්වෙන බෙර පද ඛණ්ඩයකි. මෙය භාවිතා කරන්නේ දවුල් තඩිප්පු උඩ විසිකරමින් දෙපසට සහ ඉහළට කරකවමින්, දෙඅත් මාරු කරමින් නමස්කාර කරන ස්වරූපය පෙන්වීම සඳහාය. වෙස්, නෛඅඩි, උඩැක්කි, පන්තේරු, රබන්, ලීී කෙළි නර්තකයෝ එකම ස්ථානයක රැුඳී සිටිමින් නැටීම සඳහා මාත‍්‍රා පද යොදා ගනිති.  ආලත්ති පද යනු බුදුන් වහන්සේ උදෙසාත්, බෞද්ධාගම හා සම්බන්ධ දේව සමූහයා උදෙසාත් ආශිර්වාදය පතා වාදනය කරන බෙර පද ඛණ්ඩයන්ය.

 


පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයට වැඩමවීමේ පෙරහර පූජාව
අවසන් රන්දෝලි පෙරහර නරඹා අවසානයේ සියල්ලෝම තම නිවෙස් බලා පිටත්ව යාමට උනන්දු වෙති. එහි වරදක් නොමැත. එහෙත් ඉන් පසුව සිදු වෙන්නේ කුමක්දැයි යන්න පිළිබඳ අවබෝධයක් නොමැත. කුඹල් පෙරහර පහ සහ රන්දෝලි හතරවන පෙරහර අවසානයේ නැවත දළදා මාලිගාවට සහ දේවාල සතරට ගෙවැදුණ ද, පස්වන දින අවසානයේ ඒ ආකාරයෙන් සිදු වන්නේ නැත. අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසු දේවාල සතර දිය කැපීම සඳහාත් දළදා පෙරහර ගෙඩිගේ විහාරයටත් ගමන් කරයි. ඒ ආකාරයෙන් දළදා පෙරහර ගෙඩිගේ විහාරයට වැඩම වන්නේ ප‍්‍රවීණ භේරී වාදකයෝ සහ පෙරහර කරඬුව රැගත් හස්තිරාජයා ඇතුඵ සුළු පිරිසකි. දවුල්, තම්මැට්ටම් වාදන මඟින් ගමන් තාල වාදනය කරන අතර හොරණෑව ද තාලානුකූලව එම ගමනේදී වාදනය කෙරේ. මෙහිදී භේරී වාදන සමඟ නර්තන කිසිවක් ඉදිරිපත් කරන්නේ නැත.


දළදා කරඬුව ගෙඩිගේ විහාරයේ තාවකාලිකව තැන්පත් කිරීමෙන් පසුව සියලූ තේවා පිළිවෙත් ඉටු කරනු ලබන්නේ එම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ විසිනි. මෙහිදී තෙවතාව බැගින් සක් පිඹීමත් ඝණ්ඨාව නාද කිරීමත් සිදු කෙරේ. පෙරහර කරඬුව තැන්පත් කර ඇති ගන්ධ කුටිය අසල සියලූම භේරී වාදකයෝ දෙපෙළට සිටගෙන පෙරහර කරඬුවට දොහොත් මුදුන් දී නමස්කාර කොට භේරී වාදන ආරම්භ කරති. මෙහිදී ගැට බෙරයෙන් මඟුල් බෙර සතර වට්ටම මුදුන් කර හෙවත් බෙර පද කොටස් අංග සම්පූර්ණව වැඩිකර වාදනය කෙරේ. මඟුල් බෙර වට්ටම් කොටස් සතරට දවුල් තම්මැට්ටම් භාණ්ඩවලින් තේවා පද වට්ටම් සතර මුදුන් කොට වාදනය කිරීම භේරී වාදන චාරිත‍්‍රයයි. (වට්ටම් යනුවෙන් අදහස් කරන්නේ එක්, එක් තාල රූපයන්ට අයත් බෙර පද ඛණ්ඩ සහ නර්තන කොටස්ය) එම වාදන අතරට හොරණෑවෙන් දළදා අෂ්ඨක වාදනය කෙරේ. බෙර තාල අනුව කුඩා තලියක් ද වාදනය කෙරේ. මෙම බෙර වාදන පැවැත්වෙන්නේ ශබ්ද පූජාවක් ලෙසිනි.


ගැට බෙරවලින් මඟුල් බෙර සතර වට්ටමත්, දවුල් තම්මැට්ටන් මඟින් පූජා බෙර වාදනයත් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම ශබ්ද පූජාව අවසන් කෙරේ. ඉන්පසුව පෙරහර සම්ප‍්‍රදාය අනුව දළදා මාලිගාවේ ප‍්‍රධාන භේරී වාදකයා වන මුහන්දිරම් පනික්කියා විසින් පෙරහර කරඬුව උදෙසා රාත‍්‍රී කාලයේ සිට පසුදින පහන් වන තුරු විවිධ භේරී පද වාදනය කරමින් ශබ්ද පූජා පවත්වනු ලබන බවට පොරොන්දු වේ. මෙම පොරොන්දුව ලබා දෙන්නේ ගෙඩිගේ විහාරයේ නායක ස්වාමීන් වහන්සේට සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාටය. ඒ අනුව මේ සඳහා තෝරාගනු ලබන්නේ ප‍්‍රවීණත්වයට පත් දළදා මාලිගාවේ පෙරහර කටයුතු සඳහා පමණක් භේරී වාදනය කරන වාදකයන් විසින් පමණි. ඔවුන් ශබ්ද පූජා පැවැත්වීම ආරම්භ කරනු ලබන්නේ තෙවරක් සක් පිඹ, ගැට බෙරයෙන් මගුල් බෙර සතර වට්ටමක් ආරම්භ කිරීමෙනි. එම සතර වට්ටම් අතරට දවුල් තම්මැට්ටම් වාදන මඟින් පූජා බෙර පද වට්ටම් වාදනය කිරීම සිදුවේ. මෙම අවස්ථාවේදී නර්තන ආකාරයෙන් භේරී වාදන පවත්වනු ඇත.  මඟුල් බෙර වට්ටම් අවසන් වීමත් සමඟම හේවිසි පිරීම නමින් හැඳින්වෙන බෙර වාදන ආරම්භය සඳහා ඇති බෙර උපත්, ශ්ලෝක, සන්න, පැහැලි ආදිය ගායනා කෙරේ. දොහොත් මුදුන් දී නමස්කාර පූර්වකව සිටිමින් එම ගායනා ඉදිරිපත් කිරීමෙන් පසුව භේරී වාදන ආරම්භ කෙරේ. මෙම අවස්ථාවේදී තුන් තිස් පැය ශබ්ද පූජා නමින් හැඳින්වෙන භේරී වාදන අවස්ථාවට අයත් බෙර පද කොටස් වාදනය කරයි.

 


දිය කපනා තොටට සතර මහා දේවාල පෙරහරෙහි රැගෙන යනු ලබන්නේ මොනවාද?
පසුගිය වසරේ දිය කැපීමෙන් ලබාගත් පැන් කෙණ්ඩිය සහ දිය කැපීම සඳහා අවශ්‍ය කඩු සහ ඒ, ඒ දේවාලවල සිටුවන ලද කප් කණු ද රන්දෝලිය මත තබා රැගෙන යයි. පසුගිය වසරේ ලබා ගත් පැන් කෙණ්ඩියේ ඇති පැන් ගඟට දමා රන් රිදී කඩුවලින් දිය දෙකඩ කර එතැනින් නැවත පැන් පුරවා ගනී. මෙයින් අදහස් කරන්නේ සෞභාග්‍යයි. ඒ, ඒ දේවාලවල පසුගිය වසරේ කප් කණු ද ගඟ මැදට විසි කරනු ලබයි. විසිකරන කප් කණු අල්ලා ගැනීම සඳහා ඊට පහළින් බොහෝ දෙනෙක් ජලයේ බැස බලා සිටිති. එම ජලය ස්නානය කිරීමෙන් ලෙඩ රෝග සුවවන බවත්, කප් කණු තම ඉඩමේ සිටුවා ගැනීමෙන් සෞභාග්‍ය උදාවන බවටත් විශ්වාස කෙරේ. දිය කපා ගැනීමෙන් පසු නැවත උඩුවියන් සහිතව ඔවුන් ගං තෙරට පැමිණේ. මේ සියලූ කටයුතු අවසන් වන තෙක් ශබ්ද පූජාවක් වශයෙන් භේරී වාදන පැවැත්වේ. කපුරාලවරුන් ගං තෙරට පැමිණි පසු කෙටි වලිනඩ පදයක් වාදනය කිරීමෙන් පසු ශබ්ද පූජා වාදන අවසන් වේ.


දිය කැපීමේ චාරිත‍්‍රය නිමකිරීමෙන් පසු සතර දේවාල කපුරාලවරුන් රන්දෝලියේ තැන්පත් කරන ලද පැන් කෙණ්ඩිය සමඟ පේරාදෙණියේ ගැටඹේ ඇති බෝධීන් වහන්සේ වෙත පෙරහරින් ගමන් කරන්නේ භේරී වාදන මධ්‍යයේය. බෝධිය අසලදී දෙවියන් උදෙසා ඵල රස, මුං කිරිබත්, මුං කැවුම් ආදිය පිළියෙල කර දේව දානයක් පූජා කෙරේ. මෙයද දිය කැපීමේ චාරිත‍්‍රයට අයත්ව පවතින බැවින් ඒ සියල්ල අවසන් කිරීමෙන් පසු පැන් කෙණ්ඩිය, රන්දෝලි සහ දේවාභරණ රැුගත් අලි ඇතුන් ද සමඟ නැවත පෙරහර ආරම්භ කෙරේ. මෙම කුඩා පෙරහර මහනුවර ගණ දෙවි කෝවිල වෙත ළඟාවේ. පෙරහර ගමන් කරනු ලබන්නේ සරල ගමන් තාල පද වාදන සමගිනි. ගණ දෙවි කෝවිල වෙත ළඟා වීමෙන් පසු සියලූම භේරී වාදකයෝ කෙටි වලිනඩ පදයක් වාදනය කර භේරී වාදන අවස්ථා නිමාවට පත් කෙරේ.  

 


දවල් පෙරහර ශබ්ද පූජාව
දවල් පෙරහරෙහි සතරමහා දේවාල පෙරහර ආරම්භ වන්නේ ගණ දෙවි කෝවිලෙනි. පෙරහර කරඬුව රැුගත් හස්ති රාජයා සහ භේරී වාදකයෝ අස්ගිරි ගෙඩිගේ විහාරයෙන් දවල් පෙරහර වීදි සංචාරය කිරීම සඳහා ප‍්‍රධාන වීදියට පැමිණ දේවාල පෙරහරට එක්වෙති. ඒ 30 වෙනි ඉරිදාය. දළදා කරඬුව ඉදිරිපසින් භේරී වාදකයන් ගමන් කිරීමත් පිටුපසින් උඩැක්කි සහ පන්තේරු වාදනය සමඟ ප‍්‍රශස්ති ගායනා කරන කවිකාර මඩුවේ ගායකයෝ ද ගමන් කරති.

පෙරහර කරඬුව රැුගත් හස්තියා දළදා මාලිගාවේ වාහල්කඩ ළඟ ඇති අංගනය වෙත පැමිණෙන තෙක් දළදා මාලිගාවේ භේරී වාදකයෝ අඹරාව අසළ සිට ගෙවැදුම් පද වාදනය කරති. මෙම භේරී වාදන සිදුවෙමින් පවතින කාලය ඇතුළත ඇතු පිට තබා ඇති දළදා කරඬුව මුදාගැනීම සිදු කෙරේ. ඉන්පසු දුම්මල අනුවාසනය සමඟ විළඳ සමන් පිච්ච මල් ඉසීමෙන් පසු දියවඩන නිලමේතුමාට කරඬුව භාරදෙනු ලැබේ. කුඩා සීනුවක් නාද කිරීමෙන් පසු පෙරහර ගෙවදීමේ වෙඩි හඬ නිකුත් කෙරේ. ඉන්පසු භේරී වාදකයෝ ශබ්ද පූජා තූර්ය වාදනය කිරීම ආරම්භ කරන අතර, පෙරහර කරඬුව දළදා මාලිගාවේ ඉහළ මාලයේ ගන්ධ කුටිය වෙතට වැඩම කෙරේ. අවසානයේදී දළදා කරඬුව තේවා කාරක භික්ෂූන් වහන්සේට භාරදෙනු ලැබේ. මෙහිදී ද කවිකාර මඩුවේ පන්තේරු, උඩැක්කි වාදන ද, ප‍්‍රශස්ථි ගායනා ද, ආලත්ති අම්මලාගේ ආලත්ති පූජා ආශිර්වාද ද පැවැත්වෙනු ඇත. ඒ භේරී වාදන ඉටුකරන කාලයේදීමය. භේරී වාදකයන්ගේ ආලත්ති පද වාදනය අවසානයේ දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ දවල් පෙරහර නිමාවට පත්වේ.  


සතර මහා දේවාලයන්හි දේවාභරණ සහ දේවායුධ රැුගත් ඇතුන්ගේ පිට මත තබා ඇති රන්හිලි ගෙවල් තුළින් දේවායුධ සහ දේවාභරණ මුදාගන්නා තෙක් සහ නැවත එම දේවාභරණ දේවායුධ ඒ, ඒ දේවාලයන්හි ඇති දේව මණ්ඩප තුළ තැන්පත් කරන තෙක් දිගටම ශබ්ද පූජා භේරී වාදන සිදු කෙරේ.  එම තේවා වත් පිළිවෙත් නිම කිරීමෙන් පසු භේරී වාදකයන් විසින් තුන් වරක් දේව පද වාදනය කෙරේ. දේව පද වාදනය කරනු ලබන්නේ ගැට බෙරයෙන් වන අතර, එම බෙර පද කොටස අවසන් වීමෙන් පසු දවුල්, තම්මැට්ටම්වලින් ආලත්ති පද තෙවරක් ද, එම තාල පද අනුව හොරණෑවෙන් දේව ප‍්‍රශස්ති ගායනා ද වාදනය කෙරේ. දළදා මාලිගාවේ මෙන් ආචාර සමාචාර පවත්වමින් වාදන කටයුතු සියල්ල නිමාකරනු ලබන්නේ දෙවියන්ට පිං ලබාදීමෙනි.          

                                                                                                                      
ස්තූතිය - මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ ප‍්‍රාචීන පුස්තකාලයේ, පුස්තකාලාධිපතිනි පේ‍්‍රමා මුතුවත්ත මහත්මියට සහ අජන්ත සමරකෝන් මහතාට.

m

      



අදහස් (0)

සෙංකඩගල ඇසළ පෙරහරේ ශබ්ද පූජාවේ ඇතුළු් පැත්ත

සමන් Monday, 24 August 2015 11:28 PM

අපි නොදන්නා අහලා නැති කොච්චර දේවල් මේ සමඟ තිබෙනවද? ගොඩක් ස්තුතියි! (නි)

:       0       1

ප්‍රියංකා Thursday, 27 August 2015 04:11 PM

මේ ලිපියක් ලිවීමත් කියවීමත් බොහෝ පින්ය. (බ)

:       0       1

ධම්ම Tuesday, 25 August 2015 04:28 AM

ජාතික සංස්කෘතියේ මේසා බරක් උසුලන මේ කලා ශිල්පීන් පිළිබඳව මිනිසුන් දක්වන ආකල්පය සෝචනීයයි. (හේ)

:       0       1

ෆෙරෝස් Tuesday, 25 August 2015 07:11 AM

ගොඩක් වටිනා ලිපියක්. බොහොම ස්තුතියි (නදී)

:       0       1

කැප්පෙටිපොළ Wednesday, 02 September 2015 03:01 AM

ඉතා වටිනා ලිපියක්. බොහොම පින්. අපේ සිංහල සංස්කෘතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ පමණයි. විදේශිකයන් අපේ සංස්කෘතිය හරියට අගය කරනවා. අපේ සංස්කෘතිය ආරක්ෂා වෙන්නේ අපේ සිංහල ජාතිය, බෞද්ධ දර්ශනය සහ සිංහල දේශය ආරක්ෂා වුවහොත් පමණි. එය රැක ගැනීම අපගේ පරම යුතුකමයි. (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 296 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 918 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1416 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 217 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 437 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 605 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 741 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2063 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site