ලංකාවේ ණය ශ්‍රේණිය පහත වැටීම, ඉදිරි ණය ගෙවීම් පැහැර හරිනවාද? සංචිත ප්‍රශ්නයට පිළියම් නැතිද? රුපියලේ අගය පාවීමට ඉඩ දෙනවාද? මූල්‍ය අරමුදලට ගොස් ප්‍රශ්න විසඳා ගන්නවාද? උද්ධමනය යනාදී ප්‍රශ්න ගැන මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග කළ සාකච්ඡාවකි මේ.
ප්‍රශ්නය:- ෆිච් රේටින්ස් ආයතනය ලංකාවේ ශ්‍රේණිගත කිරීම තවත් පහළ දමා තිබෙනවා. මේ වෙන්නේ මොකක්ද?
පිළිතුර:- අපි මේ ආයතනයට පමණක් නෙමෙයි මුළු රටටම ලෝකයටම මාස හයක සැලැස්මක් ඉදිරිපත් කළා. එක් එක් කාල පරාස අනුව අංග රාශියක් එමගින් පෙන්නා දුන්නා. දෙසැම්බර් මස 31 වැනිදා වනවිට සපුරා ගන්නා යම් යම් ඉලක්ක ඒ සැලැස්මේ ලියා තිබුණා. ඒ කාලය තුළ මේ සැලැස්ම ක්‍රියාත්මක වූවාදැයි බැලීමේ වගකීම ෆිච් හෝ වෙනත් ඕනෑම ආයතනයකට තිබෙනවා. දෙසැම්බර් 31 වැනිදාට පෙර ඇමෙරිකන් ඩොලර් බිලියන 3 කට වැඩි සංචිතයක් පවත්වා ගන්නා බව අපි පැහැදිලිව කියා තිබෙනවා. 31 වැනිදා වීමට පෙර 18 වැනිදා ශ්‍රේණිගත කිරීම් පහත හෙළීමට තිබෙන කුලප්පුව මොකක්ද? කිසිම ප්‍රශ්නයක් නැතිව මේ අයට තව දින 12ක් ඉන්න තිබුණා. අනික ස්වෛරී බැඳුම්කරවලට ගෙවීම් කරන්න තිබෙන්නේ ලබන ජනවාරි 18 වනිදා. අනාවැකියක් කියන්න ඕන වුණා නම් 31 වැනිදායින් පසුව කියන්න තිබුණා. මෙවැනි ආයතන විවිධ හේතු නිසා මෙලෙස කටයුතු කිරීම ගැන කනගාටුයි. යුද්ධය අවසන් වූ වහාම මෙවැන්නක් සිදුවුණා. යුද්ධය අවසන් වී දින දෙකකට පසු ලංකාවේ ශ්‍රේණිය පහත දැම්මා. මේකෙන් වැඩිම බලපෑම වෙන්නේ ආයෝජකයන්ට. ඒ අය කලබලවී කුණුකොල්ලයට ආයෝජන විකුණන විට වෙන වෙන අය ගන්නවද දන්නේ නැහැ. මේවායෙන් අනවශ්‍ය පීඩනයක් රටටත් ආයෝකයන්ටත් ඇති කරනවා.
ප්‍රශ්නය:- අපේක්‍ෂා කළ මට්ටමට වඩා ශීඝ්‍රයෙන් සංචිත පහත වැටීම, විදේශ විනිමය හිඟවීම මේ පහත හෙළීමට බලපෑ බව ඔවුන් කියනවා. එහි සත්‍යතාවක් නැද්ද?
පිළිතුර:- යම් පීඩනයක් තිබෙන බව අපි හැමෝම දන්නවා. සංචාරක ව්‍යාපාරයෙන් වසරකට ඩොලර් බිලියන 4.5 ක් අපට ලැබුණා. ඒත් පසුගිය වසර දෙකේදි ඒ මුදල ලැබුණේ නැහැ. එහෙම වුණාම හිඩැසක් තිබෙනවා. යම් පුද්ගලයකුගේ ආදායම් මාර්ගයක් හිරවුණාම ඔහුට පීඩනයක් එනවා. රටකටත් එහෙමමයි. රටේ ආදායමෙන් සියයට පහක් පමණ, විදේශ විනිමය ආදායමෙන් සියයට 10 ක් පමණ ලැබුණේ සංචාරක කර්මාන්තයෙන්. ඒක අහිමිවුණාම පීඩනයක් දැනෙනවා. ඒ පීඩනය මගහරවා ගෙන ඇතැම් ආනයන සීමාකරගෙන කළමනාකරණය කරගෙන යන බව හැමෝම දන්නවා. අමාරුවේ නොවැටෙන්න යම් යම් තීරණ ගන්න වුණා.
සංචිත ගැන අද ලොකුවට කෑගහන අය ඩොලර් බිලියන 8 ක සංචිතයක් මගෙන් බාර ගත්තා. පසුව ඩොලර් බිලියන 10 ක් ශුද්ධ ආකාරයට මේ අය ණයට ගත්තා. එහෙම නම් ඩොලර් බිලියන 18 ක සංචිතයක් 2019 අවසානය වනවිට තිබිය යුතුව තිබුණා. එහෙම තිබුණා නම් අපට මේක පාලනය කරගන්න තිබුණා. ඒත් අපට යළි බාර දුන්නේ ඩොලර් බිලියන 7 ක සංචිතයක්. දැන් සංචිත අඩුවී ඇති බව ඇත්ත. ඒත් අපි එය කළමනාකරණය කරගෙන යනවා. මුදල් ගලා ඒම් සහ ගලායාම් කළමනාකරණය කරමින් ඩොලරයට රුපියල් 200 ක අනුපාතය තවමත් පවත්වාගෙන යනවා. අමාරුවක් තිබුණත් මේ සියල්ල කිරීම විශේෂ ලක්‍ෂණයක්.
ප්‍රශ්නය:- පවතින වාතාවරණය අනුව ඉදිරියේදී ලංකාව ණය ගෙවීම පැහැර හරිනු ඇති බවට අනතුරු අඟවනවා. මේවා සැහැල්ලුවෙන් ගත හැකිද?
පිළිතුර:- පසුගිය පාලනය පැවතියා නම් මේ වනවිටත් ණය ගෙවීම පැහැර හැරලා. දැන් මේ අය කියන කතා ණය පැහැරහැරීමට උදව්වක් දෙනවා. 2020 දී තිබූ ඩොලර් බිලියන 7 ක සංචිතය ලබාගෙන ඒ වසරේදී ඩොලර් බිලියන 6 ක ණය ගෙව්වා. 2021 දී තවත් ඩොලර් බිලියන 6 ක් ගෙව්වා. ඒ අනුව දැනට ඩොලර් බිලියන 12 ක ණය ගෙවා තිබෙනවා. ඒ මුදල් ගෙවලත් තවමත් අපට බිලියන 3 ක පමණ සංචිතයක් තිබෙනවා. මෙයින් පෙනෙන්නේ කළමනාකරණයයි. ඉදිරි කාලයේ ගෙවිය යුතු ණය නියමිත කාලයට ගෙවීමට අවශ්‍ය සැලසුම් සකස්කර තිබෙනවා. විවිධ මාර්ගවලින් ණය ගැනීමට, වෙනත් රටවල මහ බැංකු සමග ‘‘ස්වැප්’’ පහසුකම් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින්නේ මේ කෙටිකාලය පාලනය කර ගන්නයි. ඒ සමගම අපි දිගුකාලීන සැලසුමද සකසා තිබෙනවා. ණය නොවන ගලාඒම් ලබාගැනීම, අපනයන ආදායම් රුපියල් බවට හැරවීම, විදේශ ප්‍රේෂණ රුපියල් බවට හැරවීම ආදිය ඒ තුළට අයත්. තිරසාර මෙහෙයුමක් දියත් වන්නේ ඒවා හරහා. මෙවන් මාර්ග හරහා අපි යථා තත්ත්වයට පැමිණෙනවා. ඒත් ඇතැම් අය ආර්ථීකය ‘‘කඩා වැටෙනෝ’’ කියා කෑ ගහනවා. ඔවුන්ට අවශ්‍ය ඇත්තටම ආර්ථිකය කඩා වට්ටන්නයි.
ප්‍රශ්නය:- රට බංකොලොත්වීමට ඇත්තේ තව එක පියවරක් පමණක් බව මේ ශ්‍රේණිගත කිරීම හරහා ඇඟවෙනවා නේද?
පිළිතුර:- ශ්‍රේණිගත කරන ආයතනවලට අමතරව විශේෂඥයන් යැයි කියන මේ රටේ සමහරු ඔය කතාවම මන්ත්‍රයක් වගේ කියන විට පිට අයත් ඒ කතාව කීම පුදුමයක් නෙමෙයි. ඇත්තටම මේ අය කරන්නේ රටට අහිතකර, රටට ද්‍රෝහී ක්‍රියාවක්. මේ රටේ සිටින ඇතැම් අය විදේශ රටවලට ගොස් සැලසුම් සහගතව මේ වැඩ කරන්නේ රටට එන විදේශ විනිමය ගලාඒම නතර කරන්නයි. මේ අය ලොකු වෙහෙසක් ගන්නේ රට අගාධයට ඇද දමන්න. 2009 දී අපි යුද්ධය අවසන් කිරීමට වෙහෙසවන විට බැංකු වටකර ඔවුන් පීඩාවට පත්කර ලංකාවට මුදල් දෙන්න එපා කියා කිව්වා ඔබට මතක ඇති. එයින් වසර දහයකට පමණ පසු අද කරන්නේත් ඒ නාට්‍යයම රඟ දැක්වීමක්. තිබෙන්නේ ඒ චරිතමයි. ඇඳුම් පමණක් වෙනස්.
ප්‍රශ්නය:- ලබන ජනවාරි ඩොලර් මිලියන 500 ක ණය ගෙවීමට තිබෙනවා. ලබන වසරේදී තවත් ඩොලර් මිලියන600 ක වැඩි ණය පියවීමට තිබෙනවා. තිබෙන සංචිත අනුව මේවා ගෙවන්නේ කොහොමද?
පිළිතුර:- ඒව ගෙවන්න අපට පුළුවන්. ඒ ණය ගෙවීමට වෙනත් ණය මාර්ග සූදානම් කරමින් පවතිනවා. අපේ ආර්ථීකයෙන්මත් අලුතෙන් මුදල් උත්පාදනය කරගෙන යනවා. සංචාරක ව්‍යාපාරය ඉක්මනින් පිබිඳවීමට කටයුතු කරන්නේ ජුනි මාසයේ ගෙවීමට ඇති ණය පියවීමට අවශ්‍ය මුදල් ලැබෙන ආකාරයට. 2022 ජනවාරි ගෙවීමට ඇති ණය වෙනුවෙන් දැනටමත් මුදල් සූදානම් කර තිබෙනවා. අපි මේව කරන බව ඔය චෝදනා කරන අයත් දන්නවා. කුමන පක්‍ෂයක් බලයට ගේන්න කටයුතු කළත් රටට හානිකර දේ කරන්න නරකයි.
ප්‍රශ්නය:- ඇත්තටම අද රටේ සංචිතවල තත්ත්වය මොකක්ද?
පිළිතුර:- මේ සාකච්ඡාව ප්‍රසිද්ධියට පත්වන විට සංචිතය ඩොලර් බිලියන තුන ඉක්මවා තිබේවි. මුදල් ගලා ඒම් සහ ගලායාම් පාලනය කරගන්න අවශ්‍යයි. කෑෂ් ෆ්ලෝ මැනේජ්මන්ට් අපටත් පුරුදුයි. මාසික වැටුප ගන්නා කෙනාත් කෑෂ් ෆ්ලෝ මැනේජ්මන්ට් කරනවා. ෆිච් රේටින්ස් කියා තිබෙන්නේත් වසර පහකට මෙච්චර ණය වෙන්න තිබෙනවා කියලයි. ඒක මොන මෝඩ කතාවක්ද? ගෙවීමට ඇති ණය ගැන අපි හොඳට දන්නවා. ණය ගෙවීමට අවශ්‍ය මුදල් සොයා ගන්නවාද කියා මේ අය බැලිය යුතුයි. එසේ නොකර මේ අය වෙනත් නිගමනවලට පැමිණීම හරිද?
ප්‍රශ්නය:- ඉදිරි මාසයේ තෙල් ආනයනයට ඩොලර් නැති බව කියනවා. ඩොලර් හිඟය නිසා අනෙක් භාණ්ඩ ආනයනයට ණයවර ලිපි විවෘත කළ නොහැකි බවට මැසිවිලි බොහෝයි. මේවාට ඔබ ළඟ විසඳුම් තිබේද?
පිළිතුර:- දැනට ඔය භාණ්ඩවල හිඟයක් නැහැනේ. අද තෙල් හිඟයක් නැතිව තිබෙන්නේ අවශ්‍ය ගෙවීම් කළ නිසයි. ඒ නිසා කටකතාවලට නොරැවටී කටයුතු කිරීමට ජනතාව යොමුවිය යුතුයි. සමහරු රටේ අස්ථාවරත්වයක් මැවීමට සමාජ මාධ්‍ය හරහා කටකතා පතුරවනවා. කන්ටේනර් 1000 ක් වරායේ සිරවී ඇති බව කියනවා. ඒවා ගණන් කළේ කවුද? මේවා කියා ලොකුවට මවා පෙන්නනවා. මේ කතාවලට ජනතාව නොරැවටිය යුතුයි. මේවාට රැවටී භාණ්ඩ වැඩිපුර එකතු කරන්න ගියොත් කෘතිම හිඟයක් මැවෙනවා. එනිසා සාමාන්‍ය පරිදි තම පාරිභෝජය කරගෙන යනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ.
ප්‍රශ්නය:- වරායේ කන්ටේනර් හිරවීමක් හෝ ආනයනකරුවන් දුෂ්කරතාවලට පත්වීමක් සිදුව නැතිද?
පිළිතුර:- හිරවීමකින් තොරව කන්ටේනර් කීයක් එළියට යනවද කියා වරාය පිටවීමේ දොරටුවට ගියාම බලා ගන්න පුළුවන්. දිනකට කන්ටේනර් සිය ගණනක් වරායෙන් පිටවෙනවා. මේවා පිට වෙන්නේ කොහොමද? ඩොලර් නැතිව කන්ටේනර් හිරවී තිබෙනවා නම් ඒ බව අපට කියන්න කියා මම කියා තිබෙනවා. එහෙම දැනුවත් කළා නම් සොයා බලා අවශ්‍ය පියවර ගන්නවා. ඩොලර් නැතුව කන්ටේනර් හිරවී තිබෙනවා නම් ඒවා නිදහස් කරගන්න මුදල්දීමේ හැකියාව තිබෙනවා. නින්දෙන් නැගිට්ටා වගේ අච්චර, මෙච්චර කන්ටේනර් හිරවී තිබෙනවා කියන අයට අවශ්‍ය කෘතිම හිඟයක් මේ රටේ නිර්මාණය කරන්න.
ප්‍රශ්නය:- කොරෝනා වසංගතය මැද වුවත් ලෝකයේ රටවල් සංචිත වර්ධනය කර ගනිමින් ආර්ථීකය ශක්තිමත් කරගෙන සිටිනවා. ඒත් ලංකාව අර්බුදයක. මේ පෙන්නන්නේ නොහැකියාවද?
පිළිතුර:- ඕක පටන් ගන්න ඕන 2014 න්. බිලියන 2 බිලියන 8 බවට පත්කර සංචිත නංවන වැඩපිළිවෙළක් අපි අනුගමනය කළා. 2014 සිට 2019 දක්වා සංචිතය ඩොලර් බිලියන 18 ක් තිබිය යුතු තැන තිබුණේ ඩොලර් බිලියන 7 යි. එදා කොරෝනා තිබුණාද? අද සංචිතය අඩුවී තිබෙන්නේ ඩොලර් බිලියන හතරකින්. ඩොලර් බිලියන 18 ක සංචිතය තිබුණා නම් අද සංචිතය ඩොලර් බිලියන 14ක්. එවන් තැනක සමහරවිට ඇතැම් අය බියකින් තොරව ආයෝජනය කරන අවස්ථා තිබෙනවා. ඩොලර් බිලියන 7 ක සංචිතය තිබෙන විට කොරෝනාවේ බලපෑම සහ තිබූ ණය ගෙවීම් යනාදිය කළවිට යම් පීඩනයක් තිබෙනවා. ඒ වගේම විදේශ විනිමය ලැබීම් නතර වූ පසුබිමක පීඩනය තවත් වැඩියි. ඉතා ඉක්මනින් සැමට එන්නත් දී රට විවෘත කිරීම රජය ගත් හොඳ තීන්දුවක්. රට වහන්න කියූ ආර්ථික විශේෂඥයන් අද කෝ? තුන්වැනි කාර්තුවේ ආර්ථිකය ඍණ වර්ධනයක් පෙන්නුම් කළේ දින පනස් ගණනක් රට වැසීමේ ප්‍රතිඵලයක් වශයෙන්. දැන් රට විවෘතව පවතින නිසා ඉදිරියේදී හොඳ වර්ධනයක් ලබාගන්න පුළුවන්. මේ මොනවා වුවත් 2021 වසරේ සියයට 4 දක්වා වර්ධනයක් ලබාගෙන තිබෙනවා. ඒත් එය ප්‍රමාණවත් නැහැ. සියයට 6 කවත් වර්ධනයක් ලබාගන්න උත්සාහ ගන්න ඕන.
ප්‍රශ්නය:- ඩොලරයේ අගය කෘතිමව පාලනය කරගෙන සිටින බවට චෝදනා නැගෙනවා. පාවෙන විනිමය අනුපාතයක් පවත්වාගෙන ගියා නම් රට තුළ ඩොලර් හිඟයක් ඇති නොවන බවටත් මත පළව තිබෙනවා. ඇයි මෙහෙම ඩොලරයේ අගය බලෙන් පාලනය කරන්නේ?
පිළිතුර:- පිටකොටුවේ හෝ චැතම් වීදියේ පවතින මිලට ඩොලරයේ අගය තිබිය යුතුයැයි බොහෝ දෙනා සිතා සිටිනවා. මේ ගනුදෙනු සියල්ල වසරකට උපරිම ඩොලර් බිලියන 3 ක් වේවි. ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. මේ ගණන පදනම් කරගෙන ඩොලරයේ මිල රුපියල් 240, 250 තිබිය යුතු බව සමහරු කියනවා. මේ රටෙන් අපනයන ඩොලර් බිලියන 12 ක සිදුවෙනවා. ආනයන ඩොලර් බිලියන 19 ක් වෙනවා. විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන හයක් හතක් තිබෙනවා. ඩොලර් බිලියන 12 ක පමණ රජයේ ගනුදෙනු තිබෙනවා. සංචාරක සේවා, තොරතුරු තාක්ෂණ සේවා, පරිවහන සේවා, බී.පී.ඕ. යනාදියේ තවත් ඩොලර් බිලියන 8 ක් පමණ තිබෙනවා. මෙහෙම බැලුවාම ඩොලර් බිලියන 57 ක පමණ ගනුදෙනු සිදුවන්නේ ඩොලරයට රුපියල් 200 අනුපාතයට. එතැනදී කිසිදු ගැටලුවක් මතුව නැහැ.
පිටකොටුවේ කළු කඩේ කුඩු සල්ලිත් එකතුවී කරන ගනුදෙනුවල මිලට යනවද තිබෙන මට්ටමෙන් පවත්වාගෙන යනවද? ඩොලර් බිලියන 57ක ගනුදෙනු අමතක කර ඩොලර් බිලියන 3 ක ගනුදෙනු ගැන සමහරු කතා කරනවා. ඩොලරයට රුපියල් 240 අනුපාතයට ගියා කියමු. ඊට පස්සේ පෙට්‍රල්, ගෑස්, කිරිපිටි, විදුලිය, අනෙකුත් ආනයන භාණ්ඩ දෙන්න වෙන්නේ කීයටද? සියයට 20 කින් 25 කින් මිල වැඩිවුණාම කියන්නේ මොකක්ද? 2015 දී ඔය පාවීම පටන් ගත්තා. එදා 130 ට තිබූ ඩොලරයේ මිල රුපියල් 185 දක්වා ගෙනයාමට ඔය ආර්ථික ඔස්තාර්ලා කටයුතු කළා. එදා කොවිඩ් හෝ අවපාත තිබුණේ නැහැ. දැන් මේ අය ඩොලරය රුපියල් 250 ට ගෙනයන්න මාන බලනවා. එහෙම වුවොත් ඒ පීඩනයත් ජනතාවටයි. ජනතාවට ඒ දැවැන්ත පීඩනය නොඑන්න අපි සැලසුම් ක්‍රියාත්මක කරනවා. මම ජනතාවට කියන්නේ ඔය ඔස්තාර්ලාගෙ කතාවලට මුළා වෙන්න එපා කියලයි. ඔය කතා අහල ඒ අනුව වැඩ කරන්න ගියා නම් ඒවායේ ඇතිවන විපාක ආපසු හරවන්න බැහැ. ඒ නිසා ටිකක් ඉවසීමෙන් කටයුතු කරන මෙන් සැමගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රශ්නය:- මූල්‍ය අරමුදලට ගියා නම් මේ ප්‍රශ්න පහසුවෙන් විසඳගන්න තිබුණේ නැතිද? පහසු විසඳුමක් අත ළඟ තිබියදී කල් මරන්නේ ඇයි?
පිළිතුර:- මොකක්ද පහසු විසඳුම. මූල්‍ය අරමුදලට ගියාම වෙන්නේ මොකක්ද කියා කවුරුත් අහනවද? පැහැදිලි කරනවද? මූල්‍ය අරමුදලට ගියාම සංචාරකයන් වැඩිපුර එනවා නම් අඩු පොලියට බිලියන පහක මුදලක් අලුතෙන් ලැබෙනවා නම්, රටේ තිබෙන ආයතන විකුණන්න එපා කියනවා නම්, රාජ්‍ය සේවාව කප්පාදු කරන්න එපා කියනවා නම්, විශ්‍රාම වැටුප් කප්පාදු කරන්න එපා කියා සහතිකයක් දෙනවා නම්. රුපියල මේ ආකාරයටම පවත්වාගෙන යන්න කියනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මූල්‍ය අරමුදලට ගියාම පහසුවෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන අය එතනට ගියාම සිදුවෙන දේ කියා තිබෙනවාද? නැහැ. මූල්‍ය අරමුදලට ගියාම කොන්දේසිවලට යටත්වීමට සිදුවන බව මේ අය දන්නවා. අවසානයට වෙන්නේ කොන්දේසිවලට යටවී ණය ගැනීමටයි. දැන් අපි කරන්නෙත් යම් අවස්ථාවල ණය ගැනීමයි. තවත් විටෙක නව ආදායම් මාර්ග උත්පාදනය කරගන්නවා. මේ කටයුතුම මූල්‍ය අරමුදලට ගිහින් කරනවද නැතිනම් අපිම මේවා කරගන්නවාද? අපි අපේ ප්‍රශ්න විසඳ ගන්නවා කියන තීන්දුවේ සිටිනවා. මූල්‍ය අරමුදලට ගියා කියා කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. විශ්‍රාම වැටුප් කපනවාට, රාජ්‍ය සේවාව සියයට 30 කින් කප්පාදුවට, විවිධ ආයතන විකුණනවාට මේ රටේ ජනතාව කැමතිද? එනිසා මූල්‍ය අරමුදලට ගියොත් ලොකු දේශපාලන අර්බුදයකට රට ගොදුරු වෙනවා. එසේ නොවී රට හරි මාවතට යොමුකර ආර්ථික පීඩනයෙන් ගැලවීමට කටයුතු කරගෙන යනවිට විවිධ අය කාරණා විකෘති කරන්නේ සියයට අනූවක්ම නොදැනුවත්කම නිසයි. රට කැළඹීමට ඇති හොඳම ක්‍රමය මෙය බව දන්නා නිසාත් ඔවුන් මෙසේ කරනවා. මූල්‍ය අරමුදලට යාමේ ප්‍රතිවිපාක කිසිදු විටෙකත් ඔවුන් හෙළි නොකරන්නේ ඒ නිසයි.
ප්‍රශ්නය:- උද්ධමනය තනි ඉලක්කම ඉක්මවා යන තැනට ඇවිත්. පොලී අනුපාතත් වැඩිවේ යැයි පැවසෙනවා. ජනතාවට මේ බර දරාගන්න පුළුවන්ද?
පිළිතුර:- උද්ධමනය කියන්නේ මිල වැඩිවීමේ ශීඝ්‍රතාවයි. මේතාක් එම අගය සියයට 10 ට අඩු අගයක පවත්වා ගන්නට හැකිවී තිබෙනවා. එහෙත් එයට පසුගිය කාලයේ ලොකු පීඩනයක් එල්ලවී තිබෙනවා. ලෝකයේ බහලුම් පරිවහන ගාස්තු පස් ගුණයකින් වැඩිවෙලා. ඩොලර් 40 ට 45 ට තිබූ තෙල් මිල අද ඩොලර් 80, 85 දක්වා වැඩි වෙලා. ගල් අඟුරු මිල ඉහළ ගිහින්. ලෝකයේම ආහාර මිල ගණන් දැවැන්ත ලෙස වැඩිවී තිබෙනවා. යකඩ, සිමෙන්ති මිල ලෝකයේම දැවැන්ත ලෙස වැඩිවෙලා. මේ නිසා සැපයුම පැත්තෙන් උද්ධමන වැඩිවීමට විශාල බලපෑමක් සිදුව තිබෙනවා. ඉල්ලුම පැත්තෙන් එවන් ප්‍රශ්නයක් නොවුණත් බොහෝ දෙනෙක් කලබල වෙනවා. උද්ධමනය වැඩිවී ඇති නිසා පොලී අනුපාත වැඩි කළ යුතු බව කියනවා.
උද්ධමනය වැඩිවීමට හේතු අපි විද්‍යාත්මකව සොයනවා. දැනට තිබෙන උද්ධමනයේ වැඩිම කොටස සැපයුම් ප්‍රශ්න නිසා සිදුවූවක්. ඉල්ලුමේ කොටස වැඩි වුවොත් එයට වහා පිළියම් යොදන්න පුළුවන්. සැපයුම් පැත්තෙන් ඇතැම් තැන්වලට අපට පිළියම් යොදන්න පුළුවන්. ඇතැම් තැන්වලට එහෙම කරන්න බැහැ. කොහොම වුවත් අපේ පැත්තෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. වසර 40 කට පසුව අද ඇමරිකාවේ වැඩිම උද්ධමනය වාර්තා වෙනවා. එංගලන්තයෙත් එහෙමයි. රටවල් බොහොමයක උද්ධමනය රැල්ලක් මේ වනවිට ඇතිවී තිබෙනවා. මේ රැල්ල වැඩි කලක් පවතින එකක් නැහැ. එහෙම වුවොත් ඒ වාසිය අපටත් ලැබේවි. එහෙම නැතිව රැල්ල දිගටම පැවතියොත් අපට යම් පීඩනයක් එන්න පුළුවන්.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
සටහන - චමින්ද මුණසිංහ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංචිත කළමනාව නිසි ක්‍රමයට
asanka Tuesday, 21 December 2021 04:39 PM
මොහු පවසන එක දෙයකට එකග වෙමි. එනම් ඩොලරයේ අගය පිටකොටුවේ කළු කඩයට තීරණය කිරීමට ඉඩ දිය යුතු නැහැ. ඩොලරයේ අගය වැඩි වී ආනයනික භාණ්ඩ වල මිල ඉහල ගිය විට, කළු කඩය ඊට වග කියනවාද? අද පවතින ආර්ථික වාතාවරණය තුල, සැබවින්ම කල යුත්තේ කළු කඩය මර්ධනය කිරීමයි.
MO77Wednesday, 22 December 2021 08:03 PM
අද සිදු වෙන්නේ ගජ මිතුරන්ට ඩොලරය 200ට කෝ 202ට විකුණනවා. ඔවුන් ආනයනය කරන භාණ්ඩ රුපියල් 230ක විනිමය අනුපාතයකට මිලදී ගත්තා යැයි සිතා භාණ්ඩවල මිල නියම කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව උද්ධමන අනුපාතය සියයට 11ක්. නමුත් සත්‍ය වෙළෙඳපොළ පවතින උද්ධමන අනුපාතය 20% කටත් වැඩියි. මෙමඟින් කාටද වාසිය ගිහිල්ලා තියෙන්නේ රජ මිතුරන්ට නේද? පිටරට වැඩකරන සැමියන්ට සාධාරණ විනිමය අනුපාතයක් ලැබෙන්නේ නෑ. ශ්‍රී ලංකාව ඇමරිකානු සමාගමකින් 7%ක කොමිස් මුදලක් දෙයි. වැඩි පොළී අනුපාතයකට ඇමරිකානු ඩොලර් මිලදී ගැනීමට උත්සාහ කළා. ඒකෙ වාසිය ලැබෙන්නේ කාටද?
bakabral Wednesday, 22 December 2021 01:41 PM
අපගේ වත්කම් සුරාකෑමට විදේශ සුවිසල් හෝටල් ඉදිකිරිම මේ උද්ධමනයට හේතුව නොවේද.?