IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සංචාරක ව්‍යාපාරයට අව කපන අමනුෂ්‍යයෝ

ලංකාවේ තෙවැනි විදෙස් විනිමය උල්පත සංචාරක කර්මාන්තයයි. එහෙත් වර්තමානයේ ඒ උල්පත වැසී තිබේ. එය යළි විවර කර ගැනීමට කළයුතු ප්‍රමුඛ පිළියම කට පරිස්සම් කර ගැනීම බව කර්මාන්තයේ නියුතු අයගේ පිළිගැනීමයි. ඒ සම්බන්ධයෙන් අද රටට කරුණු කියන්නේ කර්මාන්තයේ ප්‍රවීණයෙකි.

මේ ප්‍රවීණයා නිෂාඩ් විජේතුංගයි. ඒ මහතා 1976 සිට ලංකාවට විදෙස් සංචාරකයන් ගෙන්වන සමාගමක් වන වේෆෙයාරස්හි (Wayfarers) කළමනාකාර අධ්‍යක්ෂකවරයාය. එය ඔවුනගේ පවුලේ ව්‍යාපාරයකි. සංචාරක කර්මාන්තය පිළිබඳ අවුරුදු 45 ක අත්දැකීම් සහිත ඒ මහතා ලංකාවට සංචාරකයන් ගෙන්වන සමාගම් හිමියන්ගේ සංගමයේ උප සභාපතිවරයා ලෙසද දැන් කටයුතු කරයි. මේ ඒ මහතාගේ හඬයි.

ලංකාවේ සංචාරක කර්මාන්තය ඇද වැටීමට හේතුවූයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සහ කොරෝනා වසංගතයයි. අවසන්වරට සංචාරක කර්මාන්තයෙන් අපේ රටට හොඳ ආදායමක් ලැබුණේ 2018 දීය.

ඒ වසරේදී විදෙස් සංචාරකයන්ගෙන් අපේ රටට ලැබුණු විදෙස් විනිමය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 4.5 කි. ඒ වසරේ අපේ රටේ සමස්ත ආර්ථිකය හෙවත් ඉපයීම් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 83 කි. 2018 දී රටේ දල ජාතික නිෂ්පාදනයට සංචාරක කර්මාන්තයෙන් ලැබුණු දායකත්වය සියයට පහකට ඉතා ආසන්නය. 2018 දී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 23 කි.

සංචාරක කර්මාන්තයෙන් ඍජුව හා වක්‍රව යැපෙන ලාංකිකයන් සංඛ්‍යාව ලක්ෂ 30 ක් පමණ වෙයි. අපේ රටේ සමස්ත ජනගහනය ලක්ෂ 218 කි. ඉන් අනාවරණය වන්නේ රටේ සමස්ත ජනගහනයෙන් සියයට 7 කට වැඩිපිරිසක් සංචාරක කර්මාන්තයෙන් යැපෙන බවයි. ඔවුනගේ ජීවිතවලට කණ කොකා හඬන්නට පටන්ගත්තේ 2020 මාර්තු මාසයේ සිටය. ඒ කොරෝනා වසංගතය නිසාය.

ආර්ථික ප්‍රශ්න බරපතළ වී තිබෙන්නේ මහා පරිමාණ හෝටල් හිමියන්ට නොව කර්මාන්තයෙහි නියුතුවූ පුංචි මිනිසුන්ටය. සංචාරකයන්ට මග පෙන්වන්නන්, රියැදුරන්, යතුරු පැදි හා පාපැදි සපයන්නන්, තැඹිලි කුරුම්බා විකුණන්නන් සේම හෝටල්වලට මස්, මාළු එළවළු හා පලතුරු සැපයූ පුද්ගලයෝ ද ඒ අතර වෙති. කර්මාන්තයෙන් යැපෙන පහළම සිටින මිනිසුන් වන්නේ එවැන්නෝය. ඒ සංඛ්‍යාව ඉහත කී ලක්ෂ 30 න් ලක්ෂ 20 ක් පමණ වෙයි. ඒ අනුව සංචාරක කර්මාන්තයේ වැටීමෙන් බරපතළ ලෙස පීඩාවට පත්ව සිටින පිරිස ලක්ෂ 20 ක් පමණ වෙයි.

ලංකාවේ තිබෙන සංචාරක හෝටල් වල ආදායමෙන් සියයට 65 ත් 70 ත් අතර ප්‍රමාණයක් ඔවුනට ලැබෙන්නේ ලංකාවට සංචාරකයන් ගෙන්වන සමාගම් හරහා එන සංචාරකයන්ගෙනි. පිටරටවලට ගොස් ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන කටයුතු කරන්නේ අපේ සමාගම්ය. ඔවුන් ඒ සියල්ල කරන්නේ තමන්ගේ පෞද්ගලික ධනයෙන් මිස රජයේ ආධාරවලින් නොවේ. ලංකාවට සංචාරකයන් එවන විදෙස් සමාගම් සමග ගනුදෙනු කරන්නේ අපේ සාමාජික සමාගම්ය. ලංකාව සංචාරයට සුදුසු රටක් ලෙස ලොව අනෙක් රටවල ප්‍රවර්ධනය කරන්නේ අපේ  සාමාජිකයෝය. හෝටල් හිමියන්ට ඔවුන්ගේ හෝටල් කාමර පුරවා ගැනීමට උදව් උපකාර කරන්නේ අපේ සමාගම්ය. අපේ සමාගම් සියල්ල සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙහි ලියාපදිංචිව සිටියි.

2019 ආරම්භයේදී එහි ලියාපදිංචිව සිටි ලංකාවට සංචාරකයන් ගෙන්වන සමාගම් සංඛ්‍යාව 2400 ක් පමණ වෙයි. එහෙත් මේ වන විට එය 600 ක් පමණ දක්වා පල්ලම් බැස තිබේ. ඒ සමාගම් 2400 හි ඍජුව රැකියා කළ පිරිස 12,000 කට ඉතා ආසන්නය.

එහෙත් මේ වන විට ඉන් 8000 කට පමණ රැකියා අහිමි වී තිබේ. ඇතැම් සමාගම් වැසීයාම සහ ඇතැම් සමාගම් වල සේවකයන් ඉවත් කිරීම නිසා එසේ සිදුවිය. එසේම සංචාරක හෝටල්වල ඍජු රැකියා කළ අයගෙන් සියයට 65 ත් 70 ත් අතර පිරිසකට ද රැකියා අහිමිව තිබේ.

සංචාරක කර්මාන්තයේ වටිනාකම සේම එය කඩාවැටීමෙන් සමාජ, ආර්ථික හා දේශපාලන වශයෙන් උද්ගත වන ප්‍රශ්න ගැටලු හා අර්බුද පිළිබඳ මනා අවබෝධයක් ඒ ඉලක්කම් හා දත්ත විශ්ලේෂණයෙන් ලබාගත හැකිය. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග නිරතුරුව කළ සාකච්ඡාවලින් අනතුරුව වැටුණු කර්මාන්තයට යළි පණදිය හැකි ක්‍රමෝපක්‍රම පිළිබඳව ඇතිකරගත් එකඟතා මත 2021 ජනවාරි 21 වැනිදා සිට ලංකාව යළි විදෙස් සංචාරකයන්ට විවෘත කර තිබේ. ඒ තීරණ ගෙන තිබෙන්නේ අපේ රටේ සෞඛ්‍ය බලධාරීන් ද සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

දැන් ලංකාවට එන සංචාරකයන් ආරක්ෂිත ජීව බුබුලක් ලෙස තබා ගනියි. එසේ කළ විට ඔවුන්ගෙන් අපේ ජනතාවටත් අපේ ජනතාවගෙන් ඔවුන්ටත් කොරෝනා වසංගතය බෝවීම හා පැතිරීම වළක්වා ගත හැකිය.

යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වූයේ 2021 ජනවාරි 21 වැනිදාට පෙරදීය. එහි අරමුණ සංචාරක කර්මාන්තයට යළි පණදීමය. ඒ සංචාරකයන් 2020 දෙසැම්බර් 28 වැනිදා මෙරටට පැමිණි අතර 2021 ජනවාරි 19 වැනිදා ඔවුහු මෙරටින් පිටව ගියහ. එසේ පැමිණි සංචාරකයන්ගෙන් සියයට 99.6 ක්ම කොරෝනා ආසාදිතයන් නොවන බව අපේ රටේදී කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් අනාවරණය විය. ඒ තොරතුරු රටට රහසක් නොවීය.

එහෙත් එසේ තිබියදී අපේ රටේ අවස්ථාවාදී ඇතැම් දේශපාලකයන් තෙපරබෑවේ යුක්රේනයෙන් ගෙන්වූ සංචාරකයන්ගෙන් අපේ රටේ කොරෝනා පොකුරු බිහිවූ බවය. ආණ්‍ඩුව සමග තමන්ට තිබෙන පෞද්ගලික දේශපාලන හෝ ආර්ථික ප්‍රශ්න මත ඔවුන් වින කෙටුවේ රටටය. රටේ ජනතාවටය. එසේම සංචාරක කර්මාන්තයෙහි නියුතු වූ ලක්ෂ 30 ක් වන රටේ පුරවැසියන්ටය. ඒ අමන හා දේශද්‍රෝහි කතා ද සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල් 2900 ක කාමර 42000 ක් සංචාරකයන් නැතිව වේලෙන තත්ත්වයට හේතුවී තිබේ.

පෞද්ගලික ප්‍රශ්න මත දේශපාලකයන් රට සහ ජනතාවගේ ජීවිත සමග සේම රටේ ආර්ථිකය සමග සූදු කෙළීම පැහැදිලිවම දේශද්‍රෝහී ක්‍රියාවකි. ඔවුනට පඩි, නඩි හා වරප්‍රසාද ඇතුළු සියල්ල පිනට ලැබුණද සංචාරක කර්මාන්තයෙන් යැපුණු ලක්ෂ 30 කට කිසිවක් පිනට නොලැබෙයි. බදු, දඩ හා ණය බර උසුලමින් පරපෝෂිත දේශපාලකයන් නඩත්තු කිරීමට ඒ ලක්ෂ 30 ද දායක වන බවත් සම්මාදම් වන බවත් අවස්ථාවාදී දේශපාලකයෝ දත යුත්තෝය.

විදෙස් සංචාරකයන්ට මෙරටට පැමිණීමට අවසර ලැබෙන්නේ ඔවුන්ගේ මවු රටේදී කරන පී.සී.ආර්. පරීක්ෂණවලින් තමන් ආසාදිතයකු නොවන බව අනාවරණය වුවහොත් පමණකි. ඔවුනට මෙරටට පැමිණීමට අවසරය දිය යුත්තේ අපේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙනි. ඒ අවසරය නැතිව ඔවුනට වීසා නොලැබෙයි. මෙරටට පැමිණි පසුද පළමු දිනයේම ඔවුන් මෙරටදී යළිත් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජන විය යුතුය. ඒ පරීක්ෂණයෙන් ආසාදිතයකු නොවන බව අනාවරණය වුවහොත් ඔවුන් පැමිණි සංචාරකයන් සමග පමණක් ඔවුනට සංචාරය කළ හැකිය. එසේ නොමැතිව ආසාදිතයකු බව අනාවරණය වුවහොත් තමන් සමග පැමිණි සංචාරකයන් නැවතී සිටින හෝටලයේම හුදෙලා පෙදෙසක ඔවුන් නිරෝධායනය විය යුතුය. සෑම හෝටලයක්ම තම කාමරවලින් සියයට 30 ක් නිරෝධායන කටයුතු සඳහා වෙන් කර තැබිය යුතුය. ඒ නිරෝධායනය කළයුතු සංචාරකයන් හමුවුණොත් ඔවුන් හුදෙකලා කිරීම සඳහාය. එසේ හුදෙකලා කෙරෙන සංචාරකයාට යළි තම කණ්‍ඩායම් සමග එකතුවීමට සහ මෙරටෙහි සංචාරය කිරීමට ඉඩ ලැබෙන්නේ හුදෙකලා කළ දින සිට දින දහයකට පසුව යළි කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු නිරෝගී පුද්ගලයකු බව අනාවරණය වුවහොත් පමණකි.

2020 දෙසැම්බරයේ සිට 2021 ජුලි දක්වා මෙරටට විදෙස් සංචාරකයෝ 19,337 ක් පැමිණියහ. ඒ අතරින් ආසාදිතයන් බව අනාවරණය වූයේ සියයට දෙකකටත් අඩු ගණනකි. ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේ ද ඉහත කී ක්‍රමවේදයයි.

එහෙයින් මෙරටට විදෙස් සංචාරකයන් ගෙන්වා ගැනීමේදීත් ඔවුන්  මෙරටෙහි සංචාරය කරවීමේදීත් විධිමත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන බව රටට එරෙහි දේශපාලකයන් අවබෝධ කරගත යුතුය. මෙරටට පැමිණෙන සෑම සංචාරකයකුගෙන්ම පී.සී.ආර්. පරීක්ෂණ තුනකට සහ අවශ්‍ය වුවහොත් ඔවුනට ප්‍රතිකාර කිරීමට යන වියදම් පියවා ගැනීම සඳහා වන රක්ෂණාවරණයකට අදාළ ගාස්තු මෙරටට පැමිණීමට පෙරම ඩොලර්වලින් අය කර ගනියි. සියල්ල එලෙස විධිමත්ව සිදුවෙයි. කිසිවක් අවිචාරීව සිදු නොවෙයි.

ඒ නිසා විදෙස් සංචාරකයන් ලංකාවට පැමිණියාට ඔවුනගෙන් අපේ රටේ ජනතාවට කොරෝනා වසංගතය නොපැතිරුණු බව අපට වගකීමකින් කිව හැකිය. යුක්රේනයෙන් පැමිණි සංචාරකයන්ගෙන්ද අපේ ජනතාවට කොරෝනා බෝවුණේ නැති බව අපට වගකීම් සහගතව කිව හැකිය. යුක්රේනයෙන් පැමිණි සංචාරකයන් අතරින් ආසාදිතයන් බව අනාවරණය වූ කිහිප දෙනා ද බරපතළ රෝගීහු නොවූහ. කටයුතු සිදුවන්නේ කෙසේ දැයි කර්මාන්තයේ නියුතු අපි මැනවින් දනිමු. එහෙත් මේ කිසිවක් නොදන්නා දේශපාලකයන් සමාජ මාධ්‍යකරුවන් සේම ප්‍රධාන ධාරාවේ ඇතැම් මාධ්‍යකරුවන් සේම ඇතැම් මාධ්‍ය ආයතනද බේගල් ඇදබාමින් පච ප්‍රචාරය කරයි. ඒ මගින් වැසුණු විදේශ විනිමය උල්පත යළි පාදා ගැනීමට බාධා ඇතිවෙයි. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් දේශපාලකයන්ගේ පච පැතිරවීමෙන් රටේ ජනතාව අතර ද සංචාරක කර්මාන්තය පිළිබඳව වැරැදි චිත්‍රයක් ඇඳෙයි. ඒ පච ප්‍රචාර නිසා ජනතාව අතර ඇති වන්නේ මුන් ආවොත් අපි ඉවරයි. වැනි ආකල්පය, සිතිවිලිය.

මේ දේශපාලන පච රට ඇතුළේ පමණක් නොව රටින් පිටද පැතිරෙයි. ඒ නිසා අපේ රටේ සංචාරය කිරීමට පුල පුලා බලා සිටින විදෙස් සංචාරකයෝ පසු බසිති. ලංකාවේ දැඩි කොන්දේසි මතත් මෙරට සංචාරයට කැමැති විදේශිකයන් සිටින බව 2020 දෙසැම්බරයේ සිට 2021 ජුලි දක්වා කාලයේදී සංචාරකයන් 19,337 ක් මෙරටට පැමිණීමෙන් අනාවරණය වෙයි. 2021 මැයි මාසයේදී මෙරටට පැමිණ තිබෙන්නේ සංචාරකයන් 1,497 කි. ජුනි මාසයේදී එය 1,614 ක් විය. ජුලි මාසයේදී එය 2,429 ක් දක්වා ඉහළ නැග තිබේ. ඒ ඉලක්කම්වලින් අනාවරණය වන ප්‍රවෘත්තිය අප තේරුම් ගත යුතුය.

දැන් අප සිටින්නේ සැප්තැම්බර් මාසයේය. දෙසැම්බරයේ සිට අප්‍රේල් මාසය දක්වා එළඹෙන්නේ සංචාරක සමයයි. යහමින් වියදම් කරන සංචාරකයන් අපේ රටට වැඩියෙන් පැමිණෙන්නේ යුරෝපයෙනි. එංගලන්තය නම් දැනටමත් අපේ රට දමා ඇත්තේ රතු ලැයිස්තුවෙහිය. එහෙත් ජර්මනිය, ප්‍රංශය, ඕලන්දය, බෙල්ජියම, ස්පාඤ්ඤය සහ ෆින්ලන්තය දැනට අපේ රට කහ පාට ලැයිස්තුවෙහි බහා තිබේ. ඒ රටවල සංචාරකයන්ට ලංකාවට පැමිණීම ඒ රටවල ආණ්ඩුවලින් තහනම් කර නැත.

අවුරුදු දෙකකට ආසන්න කාලයක් කොරෝනාවෙන් පීඩිතව, හිරවී සිටින යුරෝපීය ජනතාව අතර දැන් යළිත් විදෙස් රටවල සංචාරය කීරීමේ උනන්දුවක් ඇතිවී තිබෙන බව අප සමග ගනුදෙනු කරන ඒ රටවල සිටින සංචාරක සමාගම් හා නියෝජිතායතන අපට දන්වා තිබේ. ඔවුන් එය හඳුන්වන්නේ ප්‍රකාශ නොකර හිරකර ගෙන සිටි බලවත් උනන්දුවක් (Pent-up Demand) ලෙසිනි. යුරෝපයේ සංචාරකයන්ගේ පළමු තේරීම් අතර ලංකාව තිබෙන බව ඓතිහාසික සත්‍යයකි. අපේ රටේදී ඔවුන්ට ලැබෙන ආගන්තුක සත්කාරය හා පිළිගැනීම වෙනත් කිසිදු රටකදී නොලැබෙන බව ඔවුන්ගේ ඇදහීමයි. කත්සේරුවයි, එහෙයින් මේ එළඹෙමින් පවතින්නේ අපට යළිත් පණ ගසා නැගිටිය හැකි කාලයකි. ඉන් නිසි ප්‍රයෝජන ගැනීම අපේ වගකීමකි.

දැනට තිබෙන බරපතළ ප්‍රශ්නය සංචාරකයන්ගෙන් කොරෝනා බෝ වන බවට පතුරුවන පච ප්‍රචාරය. ඒ ප්‍රචාර මගින් අපේ ජනතාව කුලප්පු කිරීම ඒ පච ප්‍රචාරකයන්ගේ අරමුණයි. එසේම එමගින් විදෙස් රටවල ලංකාව ගැන වැරදි ප්‍රතිරූපයක් මවා පෑම ඔවුන්ගේ තවත් අරමුණකි. ඒ කොයි අරමුණත් දුෂ්ඨය. රටක් ලෙස අප සිටින්නේ දැඩි ආර්ථික අවපාතයකය. ඇතැම් ජාත්‍යන්තර ආයතන ලංකාව තම ණය ගෙවා ගැනීමට නොහැකි බංකොලොත් රටක් ලෙස හංවඩු ගැසීමට බලා සිටියි. එහෙත් ලංකාව තවමත් එතැනට වැටී නොමැති බව මෙරට රජය ජුලි 26 වැනි දා ද ප්‍රදර්ශනය කළේය. ඒ ඇමෙරිකන් ඩොලර් බිලියනයක විදෙස් ණය ගෙවා දැමීමෙනි. ඒ ණය ගෙවීමට නියමිතව තිබුණේ ජුලි 27 වැනිදාය. එහෙත් රජය ඒ ණය දිනකට පෙර ගෙවා දැම්මේය.  එය ජාත්‍යන්තරයටත් රටටත් හොඳ පණිවිඩයකි. පක්ෂ පාට ජාති ආගම් බේදයකින් තොරව ආර්ථිකමය වශයෙන් වැටී තිබෙන රට ගොඩ ගැනීම අප කාගේත් වගකීමකි. අප පෙනී සිටින්නේ කටයුතු කරන්නේත් රටේ යහපත සඳහාය. සංචාරක කර්මාන්තයේ නියුතු ලක්ෂ 30 ක් පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙනි.


(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)



අදහස් (8)

සංචාරක ව්‍යාපාරයට අව කපන අමනුෂ්‍යයෝ

ase Thursday, 02 September 2021 12:40 PM

ඔබගේ ඔය අඳෝනාව රට - රටවැසියන් වෙනුවෙන්ද? සංචාරක ව්‍යාපාරය රටකට අමතර ආදායම් මාර්ගයක් මිස ප්‍රධාන මාර්ගයක් කරගත යුතු නැතිබව මොනතරම් පෙන්වා දුන්නත් ඔබලාගේ පුද්ගලික වාසි මත ඒ අදහස් වලට ඉඩ දුන්නේ නැති කුහකකම නිසා අද අපි මේ දුක්බර තත්ත්වයට පත්වෙලා නේද? අපට කාර්මික පරිවර්තනයකට ප්‍රමුඛත්වයක් නොදී කඩාවැටෙන සුලු ව්‍යාපාරයක් පසුපස දිවීමේ අනුවණකමේ විපාක නේද මේ..? වරද ඔබලා වගේ මුදල් ප්‍රමුඛත්වයෙන් වැඩකරන අමනුෂ්‍යයින් නිසා නේද? මෙම අවස්ථාව කොව්ඩ් නිසා පමණක් ඇතිවූ දෙයක් නොවේ නේද?

:       22       15

Pradeep dunusinghe.Friday, 03 September 2021 07:59 AM

මේ කියන කතාව අදෝනාවක් වගෙ ඇහිච්ච එක හරිම කනගාටු දයකය. මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් රටේ හිටියම, රටටම කෙලවෙන එක අරුමයක් නොවේ.

:       5       7

saman Thursday, 02 September 2021 02:35 PM

සංචාරක ව්‍යාපාරය ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන ආදායම් මාර්ගයක්. එයට කුහකකම කියන ඔබ ගැන මොනවා කියන්නද කියලා හිතන්නත් අමාරුයි. අපේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරේ රටේ සියලුම රජයන් එයින් එන ආදායම ගැන සිතා බලා. 1960 ගණන්වල ඩඩ්ලි සේනානායක රජයෙන් අපේ රටේ පලමුවන සංචාරක කලාපය බෙන්තර ගඟ ආශ්‍රිතව අලුත්ගම නගරයෙන් බෙන්තර පාලමේ අනික් පැත්තේ පිහිටෙව්වා. එතන සිට සංචාරක ව්‍යාපාරය රට පුරා පැතුරුනා. හොඳ වගේම නරකත් ලැබුනා. යුද්ධය කාලේ බැහැලා තිබිලා ආපහු ඔලුව උස්සාගෙන එනකොට තමයි 2019 පාස්කු ප්‍රහාරයෙන් නැවත කඩා වැටී දැන් කෝවිඩ් නිසා ලොවම බැටකන්නේ. ඔබ කියනවානම් අපේ රට සංචාරක ව්‍යාපාරය වෙනුවට කාර්මික පැත්තට යන්න ඕනා කියලා, ඒ වෙනුවෙන් ඔබ මේ වනවිට මොනවාද අරන් තිබෙන පුද්ගලික ක්‍රියාමාර්ග සහ ඔබ අපට කරන්න කියන්නේ හරියටම මොනවාද​?

:       3       17

aseFriday, 03 September 2021 11:52 AM

සමන්, අපේ රටේ සෑම ප්‍රදේශයක කර්මාන්ත පුරවරයක්, දේශීයය ලබා ගත හැකි අමුද්‍රව්‍ය. උදාහරණයක්, අපි කොහු පිටරටට ඇර පාපිසි ආනයන කරනවා නෙද ? අපේ ලී කර්මාන්ත විනාශයි නෙද ? මැටි, තවත් තවත් ඔනිද ? හැම වේලාවෙදීම තවත් එනෙක් පිට දමා බලා ඉන්න එපා ! එන සුද්දන් බලාගෙන මුහුදට දත් නියවගෙන ඉන්න, මගේ පුද්ගලිකව කරමින් සිටින දැ කිවහොත් මා හන්දුනා ගැනීමට හැකිවනු ඇති ඒ වෙනුවට ඔබ ඔබේ අදහස් ක්‍රියාවට යොදවා රටට දෙයක් කොරන්න උත්සාහ කරන්න .

:       1       3

සමන්Friday, 03 September 2021 07:37 PM

මා කොහෙවත් කියලා නෑ අනික් කර්මාන්ත කරන්න එපා කියලා. සංචාරක කර්මාන්තය අපේ රටේ ප්‍රධාන පෙළේ ආදායම් මාර්ගයක් වුණු හැටිත් එයට අකුල් හෙළිය යුතු නැති බවත් පමණයි කිව්වේ... ඔබ අඳුරා ගන්නවාට බයයි කියලා කිව්වාට අපි කොහොමද දන්නේ ඔබේ කතාවේ ඇත්ත නැත්ත. මම ඇත්තටම මේ වෙලාවේ විදේශයක සිටින්නේ. දැනට කරන්නේ අපේ රටට යම්කිසි විදේශ විනිමය එවන කටයුත්තක් සහ මේ වෙලාවේ රෝහල්වල කොවිඩ් රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය දේ සැපයීම සහ අපේ පළාත්වල මේ රෝගය නිසා තාවකාලිකව ආදායම් අහිමි අයට උපකාර කිරීමයි. මා ජීවත්වන ඉතා දියුණු යැයි සම්මත රටේත් මේ රෝගය පැතිරී සංචාරක සහ අනිකුත් අපනයන කටයුතු මන්දගාමී වෙලා. ඒ වගේම ගෝලීය ප්‍රවාහන සහ යටිතල පහසුකම් ජාලත් හිරවෙලා. ඔය ප්‍රශ්න නිසා අපේ ලංකාවෙන් අපනයනය කරන දේ පවා විකිණීමට අපහසුයි. ඒ නිසා ගෝලීය සාධකත් තේරුම් අරගෙන ඒ අනුව අපේ ආදායම් මාර්ග ගැන සිතා බැලීම තමයි මම කරන්නේ. සංචාරක ව්‍යාපාරය කියන්නෙත් ඉන් එක් අපනයන මාර්ගයක් තමයි. ඒ වගේම මේ වෙලාවේ තවත් දේ තමයි අත්‍යාවශ්‍ය නොවන ආනයන යම් තරමකට පාලනය කිරීම. නැතුව සංචාරක කර්මාන්තය කරන අයට කුහකයන් කීම නොවේ මගේ ප්‍රතිපත්තිය..

:       0       0

Nimal Bandara Friday, 03 September 2021 08:05 AM

කොහොමත් මේ වගෙ හරකෙක් දෙකෙක් උම්බෑ ගානව. රටට කෙල උනත් කමක් නැහැ කාටවත් වාසියක් වෙන්නෙ නැතිව. කුහකකම.

:       3       5

asanka Saturday, 04 September 2021 12:28 AM

ලංකාව යනු නවීන කර්මාන්ත වලට අවශ්‍ය තෙල්, යපස්, තඹ, අලුමීනියම් වැනි ඛනිජ ද්‍රවය හිඟ රටක්. නමුත් මේ රට ස්වභාවික සෞන්දර්යයෙන් අනුන රටක්. එවැනි රටකට ආදායම උපයා ගත හැකි වඩාත් උචිත කර්මාන්තයයක් නම් සංචාරක කර්මාන්තයයි.

:       1       5

K.h.jayalath Saturday, 04 September 2021 04:07 PM

ඔබලා සම්පූර්ණයෙන්ම නිවැරැදියි. ගොඩක් වැදගත් ලිපියක්. ඇත්තම තමයි තියෙන්නේ.. ස්තුතියි.

:       1       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 100 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 410 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1038 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1525 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 247 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 462 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2104 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site