ශ්රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදයට මුහුණදිය හැකි තිරසාර විසඳුම් කවරාකාරද යන්න පිළිබඳ සංවාදය සමාජයෙහි නිරන්තර සාකච්ඡාවට ලක්වන්නකි. මේ කාරණා කෙරෙහි අවධානය යොමු කිරීමේදී මෙරට සංචාරක කර්මාන්තයට ලැබෙන්නේ ප්‍රධාන තැනකි.
ඓතිහාසික වශයෙන් ලංකාවේ සංචාරක කර්මාන්තය හා ආකර්ෂණය කෙරෙහි මොනතරම් අවධානයක් යොමු වූවාද යන කාරණය පැරැණි දේශගවේෂකයන්ගේ වාර්තා අනුවද පැහැදිලි වේ. 1948 නිදහසින් පසු මෙරට සංචාරක කර්මාන්තය ගත්තොත් එය යම් යම් අඩුපාඩු සහිතව වුවත් පියවරින් පියවර වර්ධනය වූ අන්දම දැකිය හැකිය. මෑත උදාහරණයකට ගියහොත්, 2018 මෙරට සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් වැදගත් වර්ෂයක් වන අතර, එම වර්ෂයේ මෙරට සංචාරක කර්මාන්තයෙහි පැහැදිලි වර්ධනයක් දැකිය හැකිය. 2018 වන විට බොහෝ රටවල් සංචාරයට වඩාත් සුදුසු ප්‍රමුඛ පෙළෙහි රටක් හැටියට ශ්‍රී ලංකාව නම් කර තිබූ බව දැකිය හැකි විය.
2019 වර්ෂය වන විට සංචාරකයන් මිලියන 2.5ක් මෙරටට ගෙන්වා ගැනීම අපේක්ෂාව වී තිබිණ. එහෙත්, අවාසනාවන්ත ලෙස 2018 වර්ෂයේ අගභාගයේදී පාස්කු දා ප්‍රහාරය එල්ල වීමත්, 2019 දී කොරෝනා වසංගතය පැමිණීමත් නිසා සංචාරක කර්මාන්තයේ අපේක්ෂිත ඉලක්ක දක්වා යාමට අපට නොහැකි විය. මේ සිදුවීම් නිසා වූයේ වඩාත් අහිතකර බලපෑමකි. මේ අනුව පාස්කු දා ප්‍රහාරය, කොවිඩ් අර්බුදය සහ ආර්ථික අර්බුදය සියල්ල එකට ගත් කල වෙනත් රටවලට වඩා සංකීර්ණ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්නට අපට මේ කාලයේ සිදු විය. අදත් එහි ඍජු බලපෑම දක්නට ලැබේ. සංචාරක කර්මාන්තය අපේ ආර්ථිකයට බලපාන තීරණාත්මක සාධකයක් වන නිසා මේ අර්බුදය හමුවේ අපට මුහුණ දෙන්නට සිදු වී තිබෙන අභියෝහ කවරේ ද යන්නත්, ඒවාට ඉදිරිපත් කළ හැකි යෝජනා සහ විකල්ප කවරේ ද යන්නත් කෙරෙහි අවධානය යොමු කිරීම මෙහිදී වැදගත් වෙයි.
මෙම කාරණයේදී අප මුලින්ම හැරී බැලිය යුතු ආදර්ශ ලබාගත යුතු පළමු රට නම්, ආසන්නයේ ඇති මාලදිවයිනයි. පැය තුනක පමණ කාලයක් ඇතුළත කඳුකර ප්‍රදේශයක සිට ඊට හාත්පසින්ම වෙනස් මුහුදුබඩ ප්‍රදේශයකට ගමන් කිරීමේ හැකියාව ලංකාවේ තිබේ. එහෙත්, එබඳු පරිසර සාධකයක් මාලදිවයිනේ දැකිය නොහැකිය. ඔවුන්ට ප්‍රධාන වශයෙන් පවතින සම්පත නම් මුහුදු වෙරළයි. එසේ තිබියදී මාලදිවයිනට වඩාත් යහපත් සංචාරක ආකර්ෂණයක් ලැබී ඇත්තේ ඇයි? ඔවුන් සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට අනුගමනය කරන ක්‍රියාමාර්ග කවරේදැයි මෙහිදී අපගේ ද අවධානයට යොමු වීම වැදගත්ය. එහිදී වඩාත් වැදගත් වන්නේ ඔවුන් භාවිත කරන අලෙවි කළමනාකරණ වැඩපිළිවෙළයි.
මාලදිවයින ඇතුළු වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව බැලූ විට ලංකාව වඩාත් යහපත් ස්වාභාවික පරිසරයක් ඇතුළුව සම්පත් රැසක් සහිත රටකි. සංචාරක ආකර්ෂණය දිනාගත හැකි හඳුනාගත් එබඳු පරිසර කලාප පන්දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් ලංකාවේ දැකිය හැකිය. කැනඩාව වැනි රටවල සංචාරකයන් සඳහා එබඳු පරිසර කලාප දක්නට ලැබුණත් එම කලාපවලට ගිය පසු අපට තේරුම් යන කරුණ නම්, ඊට වඩා සංචාරක ආකර්ෂණය දිනාගත හැකි බොහෝ සුන්දර ස්ථාන අපේ රටෙහි ඇති බවය. සංචාරකයන් කැනඩාව, මාලදිවයින වැනි රටවලට ඇදී යාමේ ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන් සතු අලෙවි කළමනාකරණයයි. එහෙත්, ඒ තත්වය ලංකාවේ තවමත් එම සුබ වාතාවරණය අපි දැක නැත්තෙමු. එම නිසා මෙරට සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් වන අලෙවි කළමනාකරණ පිළිබඳ අධ්‍යයනය සහ පුහුණුව ලබාදීම ඉතාම අවශ්‍ය කාරණයකි. විශේෂයෙන්ම විශ්‍වවිද්‍යාල ශිෂ්‍යයන්ට විෂය ආශ්‍රිත පැවැරුම් හා පර්‌යේෂණ නිබන්ධ ලෙස මෙම මාතෘකා ලබා දිය හැකි බව යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ හැකිය. එයින් උගත් පිරිසක් යටතේ ලබන අලෙවි කළමනාකරණ දැනුම පදනම් කරගෙන සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අවස්ථා මීට වඩා විධිමත් වනු ඇත. ඒ සම්බන්ධ වෙබ් අඩවි නිර්මාණය කර සංචාරකයන්ගේ අවධානය යොමු කිරීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අවස්ථාව ලබා දීම ද කළ හැකිය.
චීනය වැනි රටවල මේ තත්වය දැකිය හැකිය. කිසියම් සංචාරක කලාපයක් තීරණය කිරීමේදී එම කලාපයට අයත් විශ්වවිද්‍යාලය තෝරාගෙන එහි විද්‍යාර්ථීන් මේ කටයුතු සඳහා යොදවන අන්දම දැකිය හැකිය. මේ තත්වය ලංකාවට ගළපාගතහොත් සැලකිය යුතු වර්ධනයක් මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උදා කරගත හැකිය. රටේ ප්‍රධාන සංචාරක පුරවරය කොළඹ වන විට ඒ පිළිබඳ අධ්‍යයන පර්‌යේෂණ සඳහා කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු ඒ අවට ඇති වෙනත් විශ්වවිද්‍යාලවල සිසුන් යොදාගත හැකිය. ඊට අමතරව දකුණු පළාත් සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් රුහුණ විශ්වවිද්‍යාලයත්, බදුල්ල ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයත්, අනුරාධපුර පොලොන්නරු ප්‍රදේශවල සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් රජරට විශ්වවිද්‍යාලයත් ආදි වශයෙන් යොදාගත හැකිය. එවිට මීට වඩා නව අධ්‍යයන පර්යේෂණ යෝජනා හා අත්හදාබැලීම් මෙරට සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ඉදිරිපත් වනු ඇත. එයින් එක් අතකින් මෙරට සංචාරක ව්‍යාපාරය නව දිශානතියකට යොමු වන අතර, අනෙක් පැත්තෙන් විශ්වවිද්‍යාලවලට නව පර්‌යේෂණ ක්ෂේත්‍ර හා අවස්ථා උදාවනු ඇත.
අපි ආර්ථික විද්‍යාවේ දී නිර්මාණශීලී ආර්ථිකයක් ගැන නිතරම කතා කරමු. අප තවමත් තේ පොල් රබර් ආශ්‍රිත අපනයන ආර්ථිකයක් ගැන කතා කරමින් සිටියත්, ලෝකය නව තාක්ෂණයත් සමග මේ කියන නිර්මාණශීලී ආර්ථිකය මනා සේ භාවිතයට ගනිමින් සිටින බව පෙනේ. ඒ ගැන දැන් අපගේ ප්‍රබල අවධානය යොමු විය යුතුව ඇත. සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් මේ කියන නිර්මාණශීලී ආර්ථික ක්‍රමවේද කවරේදැයි තවදුරටත් සොයා බැලිය යුතුය.
උදාහරණයකට; නයිජීරියාවේ සිනමා කර්මාන්තය ගතහොත්, එය මේ වන විට සංචාරක කර්මාන්තය ද සම්බන්ධ වන ලෙස දියුණු වෙමින් තිබේ. ලංකාවේ රන්මිණිතැන්න නමින් සිනමා ගම්මානයක් තිබේ. එය සංචාරක ආකර්ෂණය ලබාගත හැකි ස්ථානයක් දක්වා සංවර්ධනය කළ හැකි වුවත්, එබඳු පරිසරයක් බිහි වී නැත. නයිජීරියාවෙන් උගත හැකි ආදර්ශය එයයි. නිර්මාණශීලී ආර්ථිකය සමග මෙරට සංස්කෘතික කාරණා බද්ධ කරගත හැක්කේ කෙසේ දැයි සොයා බැලීම වැදගත්ය. පසුව එය සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා බද්ධ කළ හැකිය. පාකිස්ථානය වැනි රටවල් මෙම සංස්කෘතික කාරණා නිර්මාණශීලී ආර්ථිකය සමග මනා සේ බද්ධ කරගෙන, ඒවා සංචාරක කර්මාන්තය දක්වා වර්ධනය කරගෙන ඇති බව පෙනේ. විශේෂයෙන්, අත්කම් භාණ්ඩ ආදිය සඳහා ඔවුන් විදේශීය වෙළෙඳපොළක් නිර්මාණය කරගෙන ඇත්තේ ඒ අනුව යමින්ය. ලෝකයේ එක් එක් රටවලින් උගත හැකි කාරණා අධ්‍යයනය කර, ඒවා අපේ රටට ගළපාගත හැක්කේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනයක් අවශ්‍ය වේ.
අනෙක් අතට, සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් වන පෞද්ගලික ආයතන සහ රාජ්‍ය ආයතන අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් අපේ රටේ දැකිය නොහැකිය. එහෙත්, එය ඉතාම අවශ්‍ය දෙයකි. එසේම, රටේ විවිධ ආයතන අතර සහසම්බන්ධයක් ඇති කරගැනීම සංචාරක කර්මාන්තයේ දියුණුවට තීරණාත්මක සාධකයකි. උදාහරණයකට; අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ආදි ආයතන සංචාරක කර්මාන්තයත් සමග බද්ධ කරගැනෙන අවස්ථා ඉතාම දුලබය. එහෙත්, එයින් කොතරම් දේ කළ හැකි ද?
සංචාරක කර්මාන්තය නිසි පරිදි දියුණු කිරීමට නම්, ලංකාවට ඒ සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් තිබිය යුතුය. සංචාරක කර්මාන්තය සම්බන්ධව වන ප්‍රතිපත්ති නිසි අධ්‍යයනයකට යොමු වීම අවශ්‍ය වේ.
වර්තමානය වන විට සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් පත් කරනු ලැබ තිබෙන නිලධාරීන් සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ දැනුම හා පුහුණුව සහිත සුදුසුකම්ලත් පිරිසක් වී සිටීම සතුටට කරුණකි. දැන් කළ යුත්තේ එම ඉහළම නිලධාරීන්ගේ සිට පහළම සේවකයා දක්වා විධිමත් ජාලයක් සකසා සාමූහික දායකත්වයට එක් වීමය. නව අධ්‍යයන පර්‌යේෂණ සඳහා යොමු වීමය. ලෝක ප්‍රවණතා කෙරෙහි අවධානය යොමු කිරීමය. අරුගම්බේ සංචාරක ප්‍රදේශය සම්බන්ධයෙන් පසුගිය දා වැඩි වශයෙන් සාකච්ඡාවට ලක්විය. එවන් අවදානම් අවස්ථාවලදී එය සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස බලපානු ඇති බව ද ඇතැම්හු සිතූහ. එහෙත්, අප අවස්ථාවක් ලෙස යොදාගත යුත්තේත් ඒ අවදානමමය. ලෝකය අපේ සංචාරක ආකර්ෂණය සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා කරන එවන් අවස්ථාවල එය වාසියට හරවා ගැනීම කළ යුත්තකි.
නිර්මාණශීලී ආර්ථික ප්‍රතිපත්ති වැදගත් වන්නේ මෙකලය. අලෙවිකරණ උපායමාර්ග මෙහිදී භාවිත කළ යුතුව ඇත. එහිදී අවශ්‍ය වන්නේ ලංකාව කෙරෙහි සංචාරකයන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු කෙරෙන වැඩපිළිවෙළක් සකස් කිරීමය. ගැටලුකාරී අවස්ථාවකදී අප ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න ලෝකයට තහවුරු කිරීමය. මේ සියලු කාරණාවලදී අවශ්‍ය වන්නේ නිශ්චිත ප්‍රතිපත්තියකි. එසේ සැකසෙන ප්‍රතිපත්ති එන එන ඇමැතිවරයා හෝ එන එන ආණ්ඩු විසින් වෙනස් නොකරනු ලබන ඒවා විය යුතුය. එම සංචාරක ප්‍රතිපත්තියට අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි විෂය ක්ෂේත්‍ර ද එක් විය යුතුය. කලින් කලට අරමුණු වෙනස් කිරීම යහපත් නොවේ. ඉන්දියාව වැනි රටවල් සංචාරක ප්‍රතිපත්ති සකසා තිබෙන්නේ කලින් කලට වෙනස් වන අන්දමින් නොවේ. එසේ අරමුණු වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් වසර දහයකට නිසි පරිදි සැලසුම් කළහොත්, මෙරට සංචාරක කර්මාන්තයේ සැබෑ සංවර්ධනයක් දැකීමට හැකියාව ලැබෙනු ඇත.
(*** සාකච්ඡා සටහන ගාමිණී කන්දේපොළ)
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල
ශ්රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සංචාරක ව්‍යාපාරයේ පෙරැළියක් ඕනෑ
ජනරළ Thursday, 28 November 2024 05:44 PM
රටේ ඉන්න අලි ඇත්තු ටික රැකගෙන උන්ව නරඹන්න යුරෝපිය සංචාරකයන්ට පුළුවන් වෙන විදියේ වැඩ පිළිවෙලක් හදන්න පුළුවන් නම් ඒකම ප්‍රමාණවත් සෑහෙන ප්‍රමාණයකට සංචාරකයින්ව ගෙන්වලා ඩොලර් හොයන්න. වෙන රටවලට සාපේක්ෂව ගුවන් තොටුපලට එන සංචාරකයාට ඉතා කෙටි කාලයකදී ඒ වගේ ආකර්ශනීය ප්‍රදේශවලට ළඟා වෙන්න හැකි බව අපිට තියෙන ලොකු වාසියක්...!
de silva berlin Friday, 29 November 2024 05:38 PM
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය නම් සංචාරක ව්‍යාපාරේට දැනෙන දෙයක් රජය කරන්න ඕනේ..., අවම වශයෙන් අපි 80, 90 දශක වල කළ සහ දැනට කලාපේ අපේ තරගකරුවන් වන තායිලන්තේ, ඉන්දුනීසියාව සහ මාලදිවයින කරන ආකාරයට බටහිර යුරෝපේ සංචාරකයින්ට නොමිලේ on Arrival ක්‍රමයට වීසා දෙන්න. නිකන් මේ ලොකු ලොකු මුදල් වියදම් කරමින් ප්‍රචාරක ව්‍යාපෘති වැනි දේවල් කරන්න ඉස්සෙල්ලා මේවා කරන්න. දැනට මේ ක්‍රමයට වීසා දෙන්නේ රුසියානුවන්ට, යුක්රේනියානුවන්ට සහ පෝලන්ත ජාතිකයින්ට පමණි.
වර්නන් Tuesday, 10 December 2024 10:01 AM
පළමුවෙන්ම රටේ ප්‍රධාන නගරවල පිරිසිඳු වැසිකිලි ක්‍රමයක් හදන්න මුදල් ගෙවා සංචාරකයින්ට පාවිච්චි කිරීමට