IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


සජිත් ගැන මට මහා දුකක් දැනෙනවා

 

දකුණු පළාත් සභාවේ මහ ඇමති අපේක්‍ෂකත්වය මුල් කර ගනිමින් එජාපය තුළ යළිත් විවිධ මතිමතාන්තර එළිදකිමින් තිබේ. ‘‘නපුංසකයන් අවජාතකයන්’’ වැනි වචන ද එහා - මෙහා වෙමින් තිබේ. මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, මංගල සමරවීර මහතා සමඟ කළ කතා බහකි.

 

 

  ප‍්‍රශ්නය -  පහුගිය පළාත් සභා මැතිවරණවල දී එක්සත් ජාතික පක්‍ෂයට අත් වුණේ අන්ත පරාජයක්. ඇයි එජාපය ට දිනන්න බැරි?
පිළිතුර - 
ඔව්! අපි බලාපොරොත්තු වුණ තරමේ ජයග‍්‍රහණයක් නොලැබුණත් ලැබුණු ප‍්‍රතිඵලය අධෛර්යමත් විය යුතු ප‍්‍රතිඵලයක් නොවේ කියලයි මම හිතන්නෙ. මේ ප‍්‍රතිඵලයෙන් එක දෙයක් පෙන්නුවා. ඒ තමයි මේ ආණ්ඩුව මේ අමාරු තත්ත්වය තුළ වුණත් පරාජය කරන්න පුළුවන් කියන කාරණය. මේ ආණ්ඩුව පරාජය කරන්න අපේ පක්‍ෂය වඩාත් ශක්තිමත් විය යුතුයි. ඒ වගේම පොදු, පුළුල් ජනතා සංධානයක් ගොඩ නැගුවොත් මේ ආණ්ඩුව පරාජය කරන්න පුළුවන් කියන පණිවිඩය මේ ප‍්‍රතිඵලය ඇතුළේ තියෙනවා.

 


ප‍්‍රශ්නය - ඔබ කොහොමද එහෙම කියන්නේ?
පිළිතුර - 
පුත්තලම දිස්ත‍්‍රික්කයේ ඡුන්ද ප‍්‍රතිඵලය ගන්න. එජාපය හා සියලූ ආණ්ඩු විරෝධි ඡුන්ද ගත්තාම ඒක සියයට 41ක් වෙනවා. මහනුවර දිස්ත‍්‍රික්කය ගත්තත් ආණ්ඩු විරෝධි සියලූ ඡුන්ද සියයට 45ක් විතර වෙනවා. මාතලේ ගත්තත් එහෙමයි. කුරුණෑගල දිස්ත‍්‍රික්කය ගත්තොත් එතැන විශේෂ තත්ත්වයක් තිබුණේ. දයාසිරිගේ පැනීමත් එක්ක ඒ තත්ත්වය ඇතිවුණා. නුවරඑළිය ගත්තොත් තොන්ඩමාන් - දිගම්බරම් නිසා ඔය තත්ත්වය ඇති වුණා. කොහොම වුණත් මෙතැනදි අපට පැහැදිලිවම පේනවා, අපි හරි විදියට සංවිධානය වුණොත්, අපි එකතු වුණොත් විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්‍ෂිකයන් විශාල පිරිසක් තමන්ගේ ඡන්දය පාවිච්චි කළොත් මේක වට්ටන්න පුළුවන්. ඒ පණිවිඩය මේ මැතිවරණ ප‍්‍රතිඵලය ඇතුළේ බොහොම පැහැදිලිව දකින්න පුළුවන්.

 


ප‍්‍රශ්නය -  ඔබ දයාසිරි ජයසේකර මන්ත‍්‍රිවරයා ගැන මතක් කළා. ඒ වගේම ඔහු කෙතරම් දක්‍ෂයකු ද කියන එකත් ඔහු පෙන්නුම් කළා. ඇයි ඔහු වගේ කෙනෙක් පක්‍ෂයේ තියාගන්න මහන්සියක් ගත්තේ නැත්තේ?
පිළිතුර -
එහෙම එකක් මෙතැන නෑ. මේ, එක එකා පනින්නේ ඒ අයගේ විවිධ තණ්හාවන් ඉටු කරගන්න. වංචාවල් වහගන්න. මුදල් පිළිබඳ ප‍්‍රශ්නවලට උත්තරයක් වශයෙන් එහෙම නැත්නම් බලයට තියෙන කෑදරකමට. ඉතින් ඒ වගකීම පක්‍ෂයට ගන්න බෑ. මේ අය ඞීල් දාගෙන හිටියේ. දයාසිරිත් අවුරුද්දක් විතර තිස්සේ  ඕක ගැන කතා කරමින් ඉඳලා තියෙන්නේ. ඒ නිසා මේ අය රැකගන්න බෑ කියන කතාව නායකතුමාට හෝ පක්‍ෂයට බාරගන්න බෑ. ඉතිහාසය ගත්තොත් බලවත් ආණ්ඩුවක් තියෙනකොට විපක්‍ෂයෙන් ගිහින් තියෙනවා. 1993 දී දයාසිරි වගේ නිකම් අලූතෙන් ආපු කෙනෙක් නොවෙයි අනුර බණ්ඩාරනායක, තිලක් කරුණාරත්න, ප‍්‍රදීප් හපන්ගම, හේමකුමාර නානායක්කාර, ලයනල් රාජපක්‍ෂ වගේ අයත් පක්‍ෂය මාරු කළා. පළාත් සභා මැතිවරණයක් ඔන්න මෙන්න කියලා තිබියදී තමයි ඒක වුණේ. නමුත් ඒ පැනිල්ලෙන් අපේ පාක්‍ෂිකයන් අධෛර්යට පත් වෙන්න අපි ඉඩ දුන්නේ නෑ. ‘‘අයියෝ අපේ පක්‍ෂය ඉවරයි. කවදාවත් ආයෙත් අපි බලයට එන්නේ නෑ.’’ කියලා අපේ පාක්‍ෂිකයන් පවා කියද්දි ගම් මට්ටමේ බිම් මට්ටමේ අපේ සංවිධාන හදලා මැතිවරණ යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කළ නිසා අපි දිනුවා. අද අපිට කරන්න තියෙන්නෙත් ඒකම තමයි. ඇත්තටම අපිට යාන්ත‍්‍රණය තියෙනවා. පහුගිය අවුරුද්ද තුළ අපේ නායකතුමා, ලේකම්තුමා බොහොම උනන්දුවෙන් වැඩ පැවරුවා. වෙනදා වගේ නිකම් කොළ පුරවාලා එවන්න බෑ. ශාඛා සමිති හදන්න  ඕනෑ. දින වකවානු දුන්නා. ඒවා කෙරිච්ච තැන්වල ඇත්ත වශයෙන්ම ලොකු ප‍්‍රගතියක් ඇති වුණා. සමහර සංවිධායකවරු තම තමන්ම රවට්ටාගෙන මනාපයට පමණක් පොරකෑම නිසා තමයි මේ ප‍්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. මේක පරාජයක්. නමුත් පරාජයේ වගකීම එක්කෙනෙකුට දෙන්නෙකුට පවරන්නේ නැතිව සියලූ දෙනාම බෙදාගෙන, පාඩම් ඉගෙනගෙන ඉස්සරහට යන්න  ඕනෑ කොහොමද කියලා හිතලා තීන්දු ගන්න  ඕනෑ.

 


ප‍්‍රශ්නය - ඔබ කියනවා දිනන්න නම් හැමෝම එකතු වෙන්න  ඕනෑ කියලා. ඇයි එකතු වෙන්නේ නැත්තේ? එකතු වෙන්න කවුද අකමැති?
පිළිතුර - 
එකතුවීම කියන එකත් අත්පුඩි ගහනවා වගේ වැඩක්. අත්පුඩි ගහන්නත් අත් දෙකක්  ඕනෑ. වෙන් වෙලා ඉන්න සියලූ දෙනාත් එකතු වෙන්න එකඟ වෙන්න  ඕනෑ. මම දන්නවා නායකතුමත්, තිස්ස අත්තනායක මැතිතුමත් පුදුම වෙහෙස මහන්සියක් දරනවා. පක්‍ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨයන් පුදුම මහන්සියක් ගන්නවා. විශේෂයෙන්ම සජිත් පේ‍්‍රමදාස මැතිතුමාවත් එකතු කරගෙන මේ ගමන යන්න. මම  ඕක මගේ පෞද්ගලික අත්දැකීම්වලින් දැක්කා. නමුත් එක්තරා පිරිසකගේ බලපෑම් උඩ මේ එකතුවීමට හරස් කැපෙනවා.

 

 

 


ප‍්‍රශ්නය - සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රිවරයා කියනවනේ ඔහුට පහුගිය මැතිවරණ ව්‍යාපාරයේ දී කිසිම වගකීමක් පැවරුවේ නෑ කියලා.?
පිළිතුර -
ඇයි නැත්තේ. වයඹ පළාතේ වන්නි හත්පත්තු කෝරළයේ ආසන ගණනාවක් එතුමාට බාර දුන්නා. ඒක එතුමා ප‍්‍රතික්‍ෂේප කළා. අර කතාවක් තියෙනවනේ බොරුවට නිදාගෙන ඉන්න මනුස්සයා තමයි ඇහැරවන්න බැරි කියලා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මෙතැන තියෙන්නේ. නමුත් කැමැති අය එන්න  ඕනෑ. අකමැති අය එකතු කරගන්න මහන්සි ගන්න  ඕනෑ. එක්කෙනෙක් දෙන්නෙක් නිසා මුළු රටක්ම ප‍්‍රපාතයට යන්න දෙන්න බෑ. පක්‍ෂයක් විදියට අපි සියලූ දෙනාම, නායකයාට, තව කෙනෙකුට දොස් කිය කියා ඉන්නේ නැතිව, ආසනවල සංවිධාන හරියට පිහිටුවාගෙන හරි මැතිවරණ යාන්ත‍්‍රණයක් ආරම්භ කරනවා නම් අනිවාර්යයෙන්ම 2014 දී අපේ ජයග‍්‍රහණය ලැබෙනවා.

 


ප‍්‍රශ්නය - ඔබ වගකීමෙන් කියනවද සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රිවරයාට කිසිම කැපිල්ලක් නෑ කියලා?
පිළිතුර -
වගකීමෙන් මම කියනවා එතුමාට කිසිම කැපිල්ලක් නෑ කියලා. මොකද මට තාම මතකයි හැම මැතිවරණයකදීම එතුමාට යම් යම් වගකීම් පවරලා තියෙනවා. වගකීම් පැවරුවේ නෑ කියලා එතුමා මැතිවරණයෙන් පස්සේ වේදිකාවල කියනවා. අපි හිතමු වගකීම් පැවරුවේ නෑ කියලා. වගකිවයුතු කෙනෙක් නම්, පක්‍ෂයට ආදරය කෙනෙක් නම් ඒවා පක්‍ෂය තුළ කතා කරලා විසඳා ගන්නවා මිස ආණ්ඩුවට සම්බන්ධ, ආණ්ඩුවට කඬේ යන මාධ්‍ය හරහා කතා කරගෙන ජනතාව අධෛර්යට පත් කරන්න හොඳ නෑ.

 


ප‍්‍රශ්නය - ආණ්ඩු විරෝධි පුළුල් පෙරමුණක් ගොඩනගන්න එජාප ය සූදානම් ද?
පිළිතුර -
ඔව්! සමගි බලවේගය කියන්නෙත් මැතිවරණ සංධානයක් නොවෙයි ආණ්ඩුවට විරුද්ධ සියලූ දෙනාට එකතු වෙන්න පුළුවන් වේදිකාවක්. මේක පාට නැති වේදිකාවක්. දේශපාලන පක්‍ෂ, විවිධ සංවිධාන 92ක් දැනටමත් සාමාජිකත්වය අරගෙන තියෙනවා. මේ මාසේ ඉඳලා දිස්ත‍්‍රික්කයක් ගානේ සමගි බලවේගය ඇති කරනවා. ඉදිරියේදී සියලූ පක්ෂ සමග වෙන වෙනම සාකච්ඡුා කරනවා.

 


ප‍්‍රශ්නය - ”සමගි බලවේගය” මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නිර්මාණයක් කියලත් කියනවා?
පිළිතුර -
ඇත්තටම මේක හදනකොට සෝභිත හාමුදුරුවන්ගේ නියෝජිතයන් එක්ක සාකච්ඡුා කරලා තමයි ආරම්භ කරලා තියෙන්නේ. උන්වහන්සේගේ යම් යම් යෝජනාත් මේකට එකතු කර ගත්තා.

 


ප‍්‍රශ්නය - නමුත් අතරමගදී උන්වහන්සේව අතහැරියා?
පිළිතුර - 
නෑ. ඊට පස්සේ මම හිතන්නේ වෙනත් බලවේග කිහිපයක් එකතු වෙලා බොහොම ලස්සනට ගොඩ නැගෙමින් ආව සම්බන්ධය යම්තාක් දුරකට නැති කරන්න උත්සාහ කළා. නමුත් ඉදිරියේදී අපි අනිවාර්යෙන්ම සෝභිත නායක ස්වාමීන් වහන්සේ පවා රට වෙනුවෙන් මේ ගමනට එකතු කර ගන්න  ඕනෑ.

 


ප‍්‍රශ්නය - ජන පදනමක් ඇති සරත් ෆොන්සේකා මහත්මයා වගේම ජනතා විමුක්ති පෙරමුණත්  ඇයි අත හැරියේ?
පිළිතුර - 
එහෙම අතහැරල නෑ. සරත් ෆොන්සේකා මැතිතුමාලා වගේම ජනතා විමුක්ති පෙරමුණ සියයට පහයි, සියයට හයයි කිය කියා සංඛ්‍යා ලේඛන කියව කියව ඉන්නේ නැතිව මේ ගමනට එකතු කර ගන්න  ඕනෑ.

 


ප‍්‍රශ්නය - 2004 දී ශ්‍රීලනිපයට ජවිපෙ ගේන්නේ ඔබයි. ඇයි එජාපයට ජවිපෙ ගේන්න මහන්සි වෙන්නේ නැත්තේ?
පිළිතුර -
2004 දී ජවිපෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතුවීම නිසා ඒ අත්දැකීම නිසාම නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතුවීම සම්බන්ධයෙන් යම්යම් විරෝධතා තියෙනවා.

 


ප‍්‍රශ්නය -  කැමැති ජවිපෙ නායකයොත් ඉන්නවද?
පිළිතුර -
පොදුවේ ගත්තොත්  නායකයෝ තුළනම් මේ තත්ත්වය තේරුම් අරගෙන තියෙනව. එජාපයත් එක්ක එකතු වෙන්න  ඕනෑ. සියලූ දෙනා එකතු වෙන්න  ඕනෑ කියලා. මොකද අද එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ ප‍්‍රගතිශීලි ජනතාව නියෝජනය කරන්නේ. අද විරුද්ධ පක්ෂය නියෝජනය කරන ප‍්‍රධාන පක්ෂය අපේ පක්ෂයයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දර්ශනය පවා එහෙම නැත්නම් බණ්ඩාරනායක මැතිතුමාගේ මධ්‍යස්ථ ප‍්‍රතිපදාව පවා අද ඇත්තටම ක‍්‍රියාත්මක වෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය තුලයි. ඒ නිසා අද වම දකුණ කියලා බලන්නේ නැතිව රටේ අනාගතය ගැන හිතන සියලූ දෙනා අද එක්සත් ජාතික පක්ෂය සමග අත්වැල් බැඳගත යුතුයි. වික‍්‍රමබාහු කරුණාරත්න වැනි දැඩි වාමාංශික නායකයන් වුණත් මේදේ තේරුම් ගෙන තියෙනවා.

 


ප‍්‍රශ්නය -  ජවිපෙන් දැනට ලැබිලා තියෙන ප‍්‍රතිචාර යහපත්ද?
පිළිතුර -  
අදාල මන්ත‍්‍රීතුමන්ලා සමග කතා කළාම නම් අප අතර හොඳ අවබෝධයක් තියෙනවා. නමුත් යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණා කියල මට තාම කියන්න බෑ.

 

 


ප‍්‍රශ්නය - ඔබ එජාපයට ඇවිත් මොනවද කළේ?
පිළිතුර -
මම එක්සත් ජාතික පක්ෂයට ආවේ. හදිසියෙන් මේ ආණ්ඩුවෙන් නෙරපුවාට පස්සේ පාර්ලිමේන්තුවේ අවුරුදු දෙකකට වැඩි කාලයක් ස්වාධීන මන්ත‍්‍රීවරයෙක්  විදියට හිටියා. ඊට පස්සේ ලියාපදිංචි නොකළත් දර්ශනය ඉදිරියට ගෙනි යන්න ”ම” පාර්ශ්වය කියලා කණ්ඩායමක් විදියට කටයුතු කළා. නමුත් ඇත්ත වශයෙන්ම කවුරු මොනවා කිව්වත් මේ රටේ තුන්වැනි බලවේගයකට ඉඩක් නෑ. ඒ නිසා මම කල්පනා කරලා බලනකොට මම දැක්කා මම විශ්වාස කරන ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය කියලා. ඒ අනුව 2010 අගෝස්තු මාසයේදී මම එජාපයේ සාමාජිකත්වය ගත්තා. දැන් අවුරුදු තුනක් වෙනවා. එහෙම ආවත් මොනවද කළේ කියලා බැලූවම මම එතැනදී පැහැදිලිවම කියන්න  ඕනෑ. පක්ෂයට එන්න කියලා නායකතුමා ආරාධනා කරන කොටත් එතුමා මගෙන් ඇහුවා මොනවද  ඕනෑ කියලා. එතැනදී මම කිව්වා ඔය කාලෙත් ඔය තනතුරු බෙදා ගැනීමේ ප‍්‍රශ්න තිබුණා. ඒ නිසා මම හිනාවෙලා කිව්වා ඔබතුමාට තියෙන ප‍්‍රශ්න වලට මම තවත් ප‍්‍රශ්න ගේන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මට  ඕනෑ පක්ෂය වැඩ කරන්න විතරයි කියලා.

 


ප‍්‍රශ්නය -  ඔබ අගමැතිකම ඉල්ලූවා?
පිළිතුර - 
නෑ.... ඇත්ත වශයෙන්ම නෑ. කිසිම ඉල්ලීමක් කළේ නෑ.

 


ප‍්‍රශ්නය -  එජාප ආණ්ඩුවක් ගත්තොත් අගමැතිකම ඔබටයි කියලා එකඟතාවක් තිබුණේ නෑ?
පිළිතුර - 
ඒක මෙහෙමයි. මුලින්ම 2008දී ”ම” පාර්ශ්වය හැටියට ඉන්න කාලේ නියෝජ්‍ය අගමැති ධුරය හා තවත් කැබිනට් අමාත්‍යධුර ලැබිය යුතුයි කියලා එකඟතාවක් තිබුණා. ඒ එකඟතාව තිබුණේ 2007 අයවැය පරාජය කරන්න පුළුවන් වුණානම් විතරයි. නමුත් ඒ තත්ත්වය ඇති වුණේ නැතිනිසා මම එක්සත් ජාතික පක්ෂයට ආවේ කිසිම කොන්දේසියක්  ඉල්ලීමක් ඇතිව නොවෙයි. එකම ඉල්ලීම වූයේ මගේ මාතර ආසනයේ සංවිධායකකම අවශ්‍යයි කියන එක විතරයි.

 


ප‍්‍රශ්නය -  ඔබ වගේ එජාපය විනාශ කරන්න කටයුතු කළ කෙනෙක් පක්ෂයට ගත්ත නිසා එජාප නායකයන් කළකිරුණා. ඔවුන් වෙනම කණ්ඩායම් හදා ගත්තා. ඒකෙන් පක්ෂය තවත් දුර්වල වුණා. ඔබ ආපු එකෙන් වුණේ ඒක නේද?
පිළිතුර -
මමනම් එහෙම හිතන්නේ නෑ. මට මුකුත් තනතුරක්වත් නෑනේ. මට දුන්නේ නිර්මාණය කරපු තනතුරක්. එහෙම නැතිව ව්‍යවස්ථාවේ තියෙන තනතුරක් නොවෙයි. මාධ්‍ය ඒකකයේ ප‍්‍රධානියා හැටියටනේ මට තනතුර දුන්නේ. ඊට පස්සේ මමත් සුදත් චන්ද්‍රසේකර මහත්තයත් සාකච්ඡුා කරලා තමයි සන්නිවේදන බලකාය හැදුවේ. එහෙම නැතිව මේ තනතුරු වෙන කාගෙන්වත් උදුරලා ගත්ත දෙයක් නොවෙයි. ඒ නිසා පක්ෂය තුළ මට එහෙම විරෝධයක් නෑ. මම මේ පක්ෂයට පහර දීපු කෙනෙක් වුණත් ඔය කීප දෙනෙක් ඇරුණාම පක්ෂයේ සියලූ දෙනා මට ඉතාම හොඳින් සැලකුවා. සලකනවා.

 


ප‍්‍රශ්නය -  සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයාට දකුණු පළාත් සභාවේ මහ ඇමැතිකමට ඉල්ලන්න කියන්නේ ඒකත් අටවපු තවත් උගුලක්ද?
පිළිතුර -
ඒක උගුලක් නම් ඒ උගුල ඇටවීමේ චෝදනාව එල්ල කරන්න  ඕනෑ මට නොවෙයි. අපි පසුගිය සතියේ මාතර දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුව රැස් කළා. ඒක තමයි දිස්ත‍්‍රික්කයේ දේශපාලන කමිටුව. ඒකේ සභාපති මම. ඒ රැස්වීම කැඳෙව්වේ ඊළඟ දකුණු පළාත් සභා මැතිවරණයට මුහුණදීම සඳහා මැතිවරණ යාන්ත‍්‍රණය ගැන කතා කරන්නයි. ඒ වෙලාවේ දෙවිනුවර ආසන සංවිධායක. ඒ වගේම පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ කාලයේ ඉඳන් පක්ෂයට විශාල සේවයක් කරපු එච්.ආර්. විමලසිරි මහතාත් දකුණු පළාත් සභාවේ විපක්ෂනායක සිරි විජය වික‍්‍රම මහතාත් එක්ව යෝජනා ස්ථිරත්වයෙන්  තමයි ඔය යෝජනාව ආවේ. ඒ වගේම එතැන හිටියේ පළාත් සභා මන්ත‍්‍රිවරු ආසන සංවිධායකවරු, බල මණ්ඩල ලේකම්වරු හා යොවුන් හා කාන්තා බල මණ්ඩල නියෝජනය කරන අයයි. දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධානම අයයි.

 


ප‍්‍රශ්නය - කවුරු ඉදිරිපත් කළත් ඒක පිටිපස්සේ හිටියේ ඔබයි?
පිළිතුර - 
නෑ.... මම කිව්වේ මේක හොඳ තීන්දුවක් කියලයි. ඒ තීන්දුවට මම වුණත් කැමතියි කියලා.

 


ප‍්‍රශ්නය - ඔබ එහෙම කිව්වේ ඇයි?
පිළිතුර - 
මේ වගේ ජනප‍්‍රිය චරිතයක් මේ වගේ වෙලාවක දකුණු පළාත් සභාවට ඉදිරිපත්වීම මගින් පක්ෂයට විශාල ජවයක් ශක්තියක් ලැබෙනවා.

 


ප‍්‍රශ්නය -  නමුත් සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා කියා තිබුණේ නපුංසකයන් හා දේශපාලන අවජාතකයන් ගේන යෝජනා ඔහු පිළිගන්නේ නෑ කියලයි?
පිළිතුර -
ඒ කතාවෙන් සජිත් පේ‍්‍රමදාස මැතිතුමාගේ ලාබාලකම දේශපාලන නොතේරුම්කම පෙන්නුම් කරනවා කියලයි මම හිතන්නේ. එතුමා ඔය නපුංසකයන් හා අවජාතකයන් කියලා කියන වචන එතැන හිටපු කාටවත් අදාළ නෑ. ඒ අයට අදාළත් නෑ. මට අදාළත් නෑ. මගේ තාත්තා ගැන ජීවිතේට කවුරුවත් ප‍්‍රශ්න කරලා නෑ. ඒ වගේම මම කසාද නොබැන්දට ඔය අසල්වැසියන් සතුටු කිරීම සඳහා ගෑණු අරගෙනත් නෑ. මම විහිළුවට වගේ කිව්වා. එතුමා ඔය කතාව කණ්නාඩියක් දිහා බලාගෙන කවුද කියලා. මම කණගාටු වෙනවා. ඒ යෝජනාවේ තියෙන දේශපාලන අර්ථය තේරුම් ගන්නේ නැතිව ඒ යෝජනාව කරපු සියලූ දෙනාට මේ ආකාරයට බැන වැදීම තුළින් එක්තරා දේශපාලන කුහකකමක් තමයි මට පේන්නේ.  මට මේක ලොකු දුකක් වෙන්නේ රනිල් වික‍්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂය එක්ක මම හැපෙන කාලයේ අනූ ගණන්වලදී මම එක්සත් ජාතික පක්ෂයෙන් ආශ‍්‍රය කළේ සජිත් පේ‍්‍රමදාස මැතිතුමා සමග පමණයි. එදා මට මතකයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇමැතිවරයා හැටියට ඉන්නකොට හේමා පේ‍්‍රමදාස මැතිනියගේ ආරක්ෂක භටයන් සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආරක්ෂාවට ලබා දුන්නාය කියන චෝදනාව උඩ ආරක්ෂාව පේ‍්‍රමදාස මැතිනියගෙන් ඉවත් කළා. ඒ වෙලාවේ සජිත් පේ‍්‍රමදාස මැතිතුමා මාව ඇවිත් හමුවුණා. ඊට පස්සේ මම එතුමාව ජනාධිපතිතුමිය ළඟට ගෙනිච්චා. ඒ වෙලාවේ ජනාධිපතිනිය කිව්වා සජිත් ඔයා මීට පස්සේ අම්මගේ සිකියුරිටි අරන් යන්න  ඕන නෑ. මම ජනාධිපතිනිය හැටියට ඔයාට වෙනම ආරක්ෂාවක් නියම කරනවා” කියලා. එදා මන්ත‍්‍රීවරයෙක් නොවුනත් හිටපු ජනාධිපතිවරයාගේ පුතා හැටියට ඔහුට ආරක්ෂාව ලබාදිය යුතුය කියලා තීන්දු කරලා චන්ද්‍රිකා මැතිනිය මගේ කීමට ආරක්ෂාව දුන්නා. ඊට පස්සේ අපි බොහොම හොඳ මිත‍්‍රයෝ බවට පත්වුණා. මම ඒ කාලේ නිවාඩු කාලෙදී බූන්දල කුරුළු උද්‍යානයට එහෙම යන්න හරිම ආසයි. ඒ ගියපු හැම අවස්ථාවකදීම රෑට රෑට සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ඇවිත් අපි බොහොම සතුටු වෙනවා. ඒ කාලේ විවිධ පුද්ගලයන් ඇවිත් මගෙන් විවිධ කටයුතු කර ගන්නවා. රවී විජේරත්න කියන කැසිනෝ ව්‍යාපාරිකයා මට හඳුන්වලා දුන්නේ සජිත් පේ‍්‍රමදාස මැතිතුමයි. ඒ වගේම මාව ආණ්ඩුවෙන් ඉවත් කරපු වෙලාවේ මාත් එක්ක හිටපු ඒ නිසා හිර ගෙවල්වල පවා දුක් වින්ඳ ගිවිසුම් පවා අහිමි කරගත් ටිරාන් අලස් මැතිතුමා වගේ  අය මට හඳුන්වලා දුන්නේ සජිත් පේ‍්‍රමදාස මැතිතුමායි. ඒ තරම් කිට්ටුවෙන් ආශ‍්‍රය කරපු කෙනෙක් අද මෙයාකාරයෙන් කටයුතු කිරීම ගැන කම්පා වෙනවා. ඒ වගේම ලොකු දුකකුත් දැනෙනවා. ඒ වගේම එතුමා ගැනත් මට දුකක් දැනෙනවා. එතුමාගේ සැබෑ දේශපාලන කුහකත්වය මේ හරහා ප‍්‍රදර්ශනය කිරීම ගැන.

 


ප‍්‍රශ්නය -  ඔබ හා සජිත් අතර ගැටුම් නිර්මාණය වෙන්නේ ඇයි?
පිළිතුර -
ගැටුමක් නෑ. මෙහෙම හරි ගැටුමක් ඇති වුණේ මේ එක එක කතා නිසා. ඒකත් හොඳ චේතනාවෙන් ගෙනාපු යෝජනාවක්. මේ යෝජනාව හොඳයි කියලා අපේ පාක්ෂිකයන් මාතරින් ගාල්ලෙන් විතරක් නොවෙයි. රටේ හැමතැනින්ම හොඳයි කියනවා. ඇත්තටම දේශපාලන ඉවක් තියෙනවා නම් මේක තමයි සජිත්ට හොඳම මොහොත. තමන් ළඟ මොකක්හරි හැකියාවක් තියෙනවා නම් ඒක පෙන්වන්න පුළුවන්.

 


ප‍්‍රශ්නය -  චන්ද්‍රිකා ආවා වගේ එන්න මම දේශපාලන ආධුනිකයෙක් නොවෙයි කියලා සජිත් මන්ත‍්‍රීවරයා කියනවා.
පිළිතුර -
චන්ද්‍රිකා මැතිනිය තමයි එතුමා ආදර්ශයට ගන්න  ඕනෑ. එතුමා අනුර බණ්ඩාරනායක කෙනෙක් වෙන්න  ඕනෑ නෑ. අනුර බණ්ඩාරනායකත් එදා මේ වගේම නායකත්වය  ඕනෑ. මට ජනාධිපති අපේක්ෂකත්වය  ඕනෑ. මගේ අම්මට වයස වැඩියි කියලා කියමින් මේ නාකි ගෑනිට බෑ කියලා තමන්ගේ පාක්ෂිකයන් ලවා කියවමින් ඉන්න වෙලාවේ චන්ද්‍රිකා කිව්වේ මට නම් කිසිම තනතුරක් එපා. මට බස්නාහිර පළාත් සභාවට තරග කරන්න විතරක් දෙන්න කියලයි. ඇත්තම කියනවා නම් එතුමිය අගමැතිනිය වෙනකොටත් කිසිම තනතුරක් පක්ෂයේ තිබුණේ නෑ. මධ්‍යම කාරක සභාවේ සාමාජිකාවක් හැටියට තමයි අගමැතිනිය වුණේ. සිරිමා බණ්ඩාරනායක මැතිනිය නියෝජ්‍ය නායක කියන තනතුර අලූතෙන් හැදුවා. අගමැතිනිය නිකම් තියන්න හොඳ නෑ කියලා. චන්ද්‍රිකා මැතිනිය පක්ෂ නායිකාව වුණේ ජනාධිපතිනිය වෙලත් අවුරුදු හතරකින්. ඒක මතක තියා ගත යුතුයි. මට නායකත්වය  ඕනෑ කියලා සටන් කරපු අනුර බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. මම හැමදාමත් ආදරය කරන මනුස්සයෙක්. මම එදාත් එතුමාට උපදෙස් දුන්නා. මම එතුමාට කිව්වා බස්නාහිර පළාත් සභාවට චන්ද්‍රිකා නොවෙයි ඔයා එන්න කියලා. ”මම ජනාධිපති වෙන්න  ඕනෑ පුද්ගලයෙක්” කියලයි එතුමා කිව්වේ. අන්තිමට එතුමාට මොකද වුණේ. මේ දේ සජිත් මැතිතුමා තේරුම් ගන්න  ඕනෑ.  අමරසිරි දොඩම්ගොඩ  මැතිතුමා ජනාධිපති වෙන්න බලාගෙන හිටපු කෙනෙක් නොවෙයි. නමුත් 1993දී  පක්ෂය බිංදුවටම වැටිලා තියෙන වෙලාවක පක්ෂයේ විශාල පිරිසක් ආණ්ඩුවත්  එක්ක එකතු වෙච්ච මොහොතක  අද වගේම එදා එක්සත් ජාතික පක්ෂ රජය අපේ පක්ෂයේ පිරිසකට පඩි දීගෙන තියාගෙන හිටපු මොහොතක පක්ෂයට අලූත් ජවයක් ලබාදීම සඳහා පක්ෂය වෙනුවෙන් අමරසිරි දොඩම්ගොඩ මැතිතුමා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙලා දකුණු පළාත් සභාවට ඉල්ලූවා. ඒ පරිත්‍යාග අද මේ නායකයන් වෙන්න බලාගෙන ඉන්න අයට තේරුම් ගන්න බැරි ඇයි?

 


ප‍්‍රශ්නය -  ඔබ හිතනවද සජිත්  පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා දැම්මොත් දකුණ දිනන්න පුළුවන් කියලා.
පිළිතුර - 
සජිත් ඉදිරිපත් කළොත් ඇත්ත වශයෙන්ම අපි ඔක්කොම බේද නැතිව වැඬේට බැහැල එක වේදිකාවකට ගොඩවුණොත් බොහෝ දුරට අපිට ජයග‍්‍රහණය කිරීමේ හැකියාවක් ඇති වෙනවා. එහෙම බැරි වුණොත් ඇත්ත වශයෙන්ම ජයග‍්‍රහණයේ දොරකඩට එන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ඒක ජනාධිපතිවරණයේදී අපිට විශාල ශක්තියක් වෙනවා.

 


ප‍්‍රශ්නය -  ඇයි ඔබට බැරි? ඔබ දකුණෙන්ම බිහි වෙච්ච දේශපාලනඥයෙක්
පිළිතුර - 
මම පක්ෂයට අවුරුදු තුන හතරක අලූත් කෙනෙක් නිසා මගේ ජනප‍්‍රියත්වය ගැන මම අධිතක්සේරුවක නෑ. මාතර ආසනය ගැන නම් මට සහතික වෙන්න පුළුවන්. දිස්ත‍්‍රික්කයත් පුළුවන්. මට දිනන්න බැරිද පුළුවන්ද කියන එක නොවෙයි. අපි මේ වෙලාවේ මේ දුර්දාන්ත දුෂ්ඨ පාලනය මේ චෞර පාලනය පෙරළන්න පක්ෂයෙන් ඉල්ලීමක් කළොත් අපි සලකා බලන්න  ඕනෑ.  ඕනෑම කෙනෙක් යම්කිසි පරිත්‍යාගයක් කරන්න  ඕනෑ.

 


ප‍්‍රශ්නය - සජිත් පේ‍්‍රමදාස දකුණට ඉදිරිපත් වුණොත් බස්නාහිරට රනිල් වික‍්‍රමසිංහ එයිද?
පිළිතුර - 
ඒක හරිම මෝඩ කතාවක්නේ. රටක විපක්ෂ නායකවරයෙක් එහෙම එයිද? එතුමා පක්ෂයේ නායකයා රනිල් හා සජිත් එක සමාන කරන්න පුළුවන්ද? අනිත් එක රනිල් වික‍්‍රමසිංහට ඡන්ද ගැනීම ගැන ඔප්පු කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ. ඡන්ද පැරදුනා කියලා කිව්වට. කඩින් කඩ තියපු පළාත් සභා ඡන්දත් එක්කනේ ඔය ගණන් හදන්නේ. අපි හරියටම සංඛ්‍යා ලේඛන එක්ක බැලූවොත්. පසුගිය කාලේ පක්ෂයට වැඩියෙන්ම ඡන්ද  ගෙනත් තියෙන්නේ එතුමා. මේ පක්ෂය නාය යන්න පටන් ගත්තේ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ කාලේ. ඒ කාලේ තමයි මහා පර්වතයක් වගේ තිබුණ පක්ෂය දෙදරලා ගියේ. 1994 දී ශ්‍රීමා  දිසානායක  මැතිනියත් පරාජය වුණාට පස්සේ තමයි රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂය බාර ගත්තේ. ඊට පස්සේ පෞද්ගලිකව එතුමා ඉදිරිපත්වෙන සෑම අවස්ථාවකදීම ඓතිහාසික ඡන්ද සංඛ්‍යාවක් පක්ෂයට අරන් දුන්නා. 2005දී ඇත්ත කතාව අපි දන්නවනේ. දිනුවේ කොහොමද කියලා. 2005දී  ඔය සජිත් පේ‍්‍රමදාසලත් යුඑන්පී ඡුන්ද නැති කරන්න මෝඩ කතා  කියද්දී සමෘද්ධිකාරයෝ හම ගහනවා වගේ කතා කියද්දීත් මොරගොඩලත් ඡන්ද අඩු කරන්න කුමන්ත‍්‍රණය කරද්දී මෙතුමා තව ඡන්ද විසිතුන් දාහක් ගත්තා නම් ඡුන්දය දෙවැනිවර ගණින්න වෙනවා. තව එක්ලක්ෂ විසිහය දහසක් ලැබුණානම් අනිවාර්යෙන්ම ජනාධිපති වෙනවා. එතුමා අපේ පක්ෂයට ගත්ත ඡන්ද  සංඛ්‍යාව අපට අමතක කරන්න බෑ. අද ඊයේ දිහා බැලූවමත් මෙතුමා පැරදුනා පැරදුනා කියලා කිව්වට  තමන් නියෝජනය කරන දිස්ත‍්‍රික්කයේ මහනගර සභාව දිනා ගන්න පුළුවන් වෙච්ච එකම දිස්ත‍්‍රික් නායකයා තමයි රනිල් වික‍්‍රමසිංහ. කොළඹ මහ නගර සභාව ජනාධිපතිවරයා ඡන්ද දවසට කලින් දවසෙත් ගෙන්ගෙට යනකොට ගෝඨාභය රාජපක්ෂලා නාමල් රාජපක්ෂලා අපට ඡන්දය නොදුන්නොත් උඹලගේ ගෙවල් කඩනවා කියද්දිත් කොළඹ දිනා ගන්න රනිල් වික‍්‍රමසිංහට පුළුවන් වුණා. නමුත් කොළඹ දිනා ගනිද්දී සජිත් පේ‍්‍රමදාස මහත්තයාගේ ආසනය සියයට 25ටත් අඩු තත්ත්වයට වැටුණා. රනිල්ට වඩා ඡන්ද ගන්න පුළුවන් කියලා කියන අය දැන් කරලා පෙන්වන්න.

 


ප‍්‍රශ්නය: බස්නාහිර පළාත් මහ ඇමැති අපේක්ෂකත්වයට කොළඹ දිස්ත‍්‍රික්කයේ ආණ්ඩු පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ගේන්න සාකච්ඡා කරනවා කියලා ආරංචියක් පැතිර යනවා?
පිළිතුර:
එහෙම සාකච්ඡා යනවා. ඇත්ත වශයෙන්ම එක්කෙනෙක් දෙන්නෙක් නොවෙයි අද විශාල පිරිසක් ඉන්නවා. විශාල ප‍්‍රශ්නයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තියෙනවා. ඒ පක්ෂය තියෙන්නේ මහා ගිනි කන්දක් උඩ. හැබැයි බලය නිසා තාවකාලිකව ඒක යටපත් කරගෙන හිටියත් පුපුරලා යන දවස වැඩි දවසක නෑ. බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාගේ අභාවය දවසේ මම ඇස් දෙකෙන්ම දැක්කා. බැසිල් රාජපක්ෂලා, නාමල් රාජපක්ෂලා  ඔක්කොම බර්ටිව පරද්දන්න කටයුතු කළ හැටි මතක තියෙන ජනතාව ඒ මහ ඇමැතිටවත් එන්න දුන්නේ නෑ. මහ ඇමැතිගේ සහෝදරයන්ට අන්තිමට යන්න වුණා. අද ශ්‍රී ලංකාකාරයන්ට තැනක් නෑ. ශ්‍රී ලංකා එකේ දේශපාලන ඉතිහාසය දන්න අය නෑ. බර්ටි දිසානායක හිටපු මහ ඇමැතිතුමාගේ අවමගුලට ජනාධිපතිතුමා එවපු ශෝක ප‍්‍රකාශය කියවන්න කෙනෙක් හිටියේ නෑ. ඒක එක පැත්තකින් කියවපු නැති එකත් හොඳයි. මොකද ඒ ශෝක ප‍්‍රකාශය ලියලා තියෙන්නේ රටේ ඉතිහාසයවත් පක්ෂයේ ඉතිහාසයවත් බර්ටිගේ ඉතිහාසයවත් දන්නේ නැති කෙනෙක්. ඒකේ තියනවා 1995දී පැවැත්වූ පළාත් සභා මැතිවරණයක් ගැන. මේ වෙනකොට අපි ආණ්ඩුවකුත් හදල ඉවරයි. සුනාමියේදී සමාජසේවා ඇමැති විදියට බර්ටි විශාල සේවයක් කළා කියලා. ඒ වෙනකොට එතුමා පාර්ලිමේන්තුවේත් නෑ. 1999 එතුමා කැබිනට් ඇමැතිකමත් අත හැරලා පළාත් සභාවට ගියා. ජනාධිපතිතුමා හෝ පවුලේ කෙනෙක් අවසන් කටයුතු කරන වේලාවේ හිටියෙත් නෑ. ඒකයි මම කියන්නේ ඇතුලේ ගින්දර කොයි වෙලාවේ පුපුරලා යයිද දන්නේ නෑ.

 


ප‍්‍රශ්නය -  මේ ආණ්ඩුව පරද්දලා එජාප ආණ්ඩුවක් ගේන්න පුළුවන් කියලා ඔබ හිතනවද?
පිළිතුර - 
අනිවාර්යෙන්ම ඔව්. එය කළ යුතුයි. අද මේ රටේ තියෙන තත්ත්වයක් එක්ක හෙට මේ රටේ සිදුවන මහා ආර්ථික කඩා වැටීම් ඉදිරිපිට පරිපාලන අවුල් ඉදිරිපිට වංචාව දුෂණය, හොරකම සම්පූර්ණයෙන්ම රජකරන තත්ත්වය යටතේ නීතියේ ආධිපත්‍ය නැත්තටම නැතිවෙලා තියෙන මොහොතක ජාත්‍යන්තර වශයෙන් හුදකලා වෙලා සුඩානයක් බවට ලංකාව පත්වෙමින් තිබෙන මොහොතක මේ රජයට නම් ඉදිරියට යන්න ඉඩ දෙන්නම බෑ. මෙය පරාජය කළ යුතුයි. ඒ වෙනුවෙන් පුළුල් බලවේගයක් හදන්න  ඕනෑ. ඒ වෙනුවෙන් අපි අද මහන්සි වෙනවා.

 

 

 



අදහස් (0)

සජිත් ගැන මට මහා දුකක් දැනෙනවා

ද සිල්වා බෙර්ලින් Tuesday, 08 October 2013 04:21 PM

සජිත්ව පලාත් සභාවට ඇරියම පාර්ලිමේන්තුවේදී හදිසියට කතාවක් වත් කරන්නේ කවුද ? දැන් දයාසිරිත් නැති නිසා , සජිත් ට ලංකාවේ කොහෙන් ඉල්ලුවත් ඡන්ද ලැබෙනවා , මට දුක ඔබ තුමා රතුපස්වල ජනතාවට හමුදාව වෙඩි තබපු එකට උඩ පැන්නට තමන්ගේ ගමට ආපු යු.එන්.පී කාරයොන්ට පොලුවලින් ගහල වෙඩි තියල එලවා දැමීමට තරම් තත්වයකට වැටිලා.(නදී)

:       0       0

දිසානායක Monday, 07 October 2013 11:06 PM

සජිත් ගැන නෙමෙයි ඔහේ වගේ හරකෙක් ගැන තමයි මට නම් දුක (නදී)

:       0       0

සමී Wednesday, 09 October 2013 09:54 AM

මටත් දැනෙනවා (නි)

:       0       0

දොඩන්ගොඩ Thursday, 10 October 2013 01:41 PM

අගමැති කමත් හම්බ උනේ නැති උනත් . ගුවන් තොටුපොළ ඇමති කමත් නොගත්තානම් . තාම සුර සැප විඳිමින් මෙම රජයේ සිටිමින් තවම රනිල් වික්‍රමසිංහ මහතාට වල කපනවා (අපි නොදන්නා මොනරතැන්න ) (දිල්)

:       0       0

සඳරුවන් Thursday, 10 October 2013 06:29 PM

ඉස්සර මංගල දැන් අවමංගල ?(දිල්)

:       0       0

මුණසිංහ Sunday, 13 October 2013 07:10 AM

මංගල, ඔබට පුලුවන් නම් ඉදිරි මැතිවරණයකදී මාතර ආසනය දිනලා පෙන්වන්න. (නි)

:       0       0

ලාරා Sunday, 06 October 2013 03:28 PM

අගමැතිකම ඉල්ලලා රණ්ඩු කලේ නැත්නම් අදත් රජ සැප ?.(නදී)

:       0       0

සෝම Friday, 18 October 2013 08:32 PM

මම 1958 වැලිමඩින් එජාපෙ කෙනෙක්. සජිත් නායකයා වුණොත් මම එජාපෙන් ඉවත් වෙනවා (නි)

:       0       0

ලසන්ත Sunday, 06 October 2013 04:19 PM

මංගලට තියෙන්නේ සජිත් ව මහ ඇමති අපේක්ෂක කරන්න නෙමේ මංගලට මහ ඇමති අපේක්ෂක වෙලා වැඩ පෙන්නන්න. .(නදී)

:       0       0

ගුණපාල Wednesday, 09 October 2013 12:06 AM

සජිත් ගැන ඇතිවුණ දුක මොකක්ද කියන එකයි හිතාගන්න බැරි. (නි).

:       0       0

ශාරුක් Thursday, 11 September 2014 11:40 AM

රටේ මිනිසුන්ට දොස්කියලා වැඩක් නැහැ (නි)

:       0       0

දිනේෂ් Sunday, 06 October 2013 05:35 PM

උඩ පැනල පැනල කඩා ගන්න බැරි උනාම නරියත් කිව්වලු මිදී තිත්තයි කියලා. .(නදී)

:       0       0

නයනා Monday, 07 October 2013 01:26 AM

අනේ පවු! (නි)

:       0       0

නිමල් Monday, 07 October 2013 02:03 AM

මටත්... (නි)

:       0       0

නීල් කොස්තා Wednesday, 09 October 2013 01:57 AM

මෙයා ගැන මුළු රටම දන්නවා (අ)

:       0       0

ශ්‍රී Monday, 07 October 2013 02:21 AM

සජිත් ප්‍රේමදාස මහත්මයාව නායකත්වයට ගෙන්න උත්සාහයක් ගන්න එක තමයි මේ වෙලාවේ පක්ෂය වෙනුවෙන් කළයුතු එකම දෙය. එය තේරුම් ගන්න (නි)

:       0       0

නීල් Thursday, 10 October 2013 10:01 PM

මට හිතෙන දේ ලියන්න බැහැ (නි)

:       0       0

වාසල Monday, 07 October 2013 12:35 PM

මෙතුමා අපේ රටේ දේශපාලන ඉතිහාසයේ එක්තරා හැරවුම් ලක්ෂයක්, (ස)

:       0       0

ලලිත් අෙපාන්සු Sunday, 06 October 2013 08:01 PM

මත ගැටුමි මත පවතින තේරුම් නොගත් ගැටලුකාරී තත්ත්වයක් බව පේනවා මේවා . විසදා සමතයකට පත්කරගැනීම දෙපාර්ශවය සතු කාර්යයක්..(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5399 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 764 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1330 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 118 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 205 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 273 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site