IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


සජබ දෙදරුම් කෑ මුදල් සිද්ධිය

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, දින සියයක් පැරැණි ජාතික ජන බලවේගය රජයට බලපා ඇති ගැටලුවලට වඩා බරපතළ අර්බුදයක ගිලී සිටියි.

එම පක්ෂය මුහුණ පා ඇති දුක්ඛිත තත්වයන්ට බලපා ඇති කරුණක් වන්නේ ධනවත් ව්‍යාපාරිකයන් සඳහා ජාතික ලැයිස්තුවේ ස්ථාන ලබා දෙන බවට පොරොන්දු වෙමින් පක්ෂයේ උපදේශකයකු විසින් රුපියල් මිලියන ගණනක් උපයනු ලැබ ඇති බවට එල්ල වන ප්‍රබල චෝදනාය. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ධනවත් සහල් වෙළෙන්දෙකු මන්ත්‍රී ආසනයක් ලබාගැනීම සඳහා රුපියල් මිලියන 500 ක් ගෙවූ බවට චෝදනා එල්ල කර තිබුණි. ආසනයක් ලබාගැනීමට අපොහොසත් වූ විට ඔහුගේ කතාව එළියට කාන්දු විය. ඔහුගේ නම සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුළත්ව තිබුණි. පසුව ඔහු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට මේ බව පැමිණිලි කළේය. ඔහු කෙටියෙන් පෙන්වා දුන්නේ තමා සතුව එවැනි මුදල් නොමැති නිසා, මේ ගැන කිසිදු අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවය. ඔහු ව්‍යාපාරිකයාට උපදෙස් දී ඇත්තේ මුදල් ආපසු ලබාදෙන ලෙස මුදල් ලබා දුන් පුද්ගලයා ගෙන් ඉල්ලීමක් කරන ලෙසය.

පාර්ලිමේන්තු ආසනයක් ලබාගැනීම සඳහා මුදල් ලබාදීම සම්බන්ධයෙන් පැමිණිලි කරන තවත් අයකු වන්නේ කළුතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයෙකි. කෙසේ වෙතත්, ගෙවන ලද මුදල නිශ්චිතව නොදක්වන ඔහු පවසන්නේ එය “විශාල මුදලක්” බවය. මෙම මන්ත්‍රී අපේක්ෂකයා මීට පෙර යහපාලන රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු සමග සමීපව සම්බන්ධ වී සිටියේය. ඔහු වරක් වෛද්‍ය ක්ෂේත්‍රය සමඟ කටයුතු කරන රාජ්‍ය ආයතනයක ප්‍රධානියා ලෙස සේවය කළේය. මන්ත්‍රීවරුන්වීම සඳහා මුදල් ගෙවීම් පිළිබඳ පළමු කතාව මතු වූයේ මෙම ව්‍යාපාරිකයාගෙනි.

පක්ෂයට එවැනි අරමුදල් ලැබී ඇති බවට වන චෝදනාව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රතික්ෂේප කරයි. “මා දන්නා තරමින්, ජාතික ලැයිස්තුවේ අප ඉදිරිපත් කළ නම් 29 න් කිසිදු නමක් සඳහා අපගේ නායකයාට හෝ මට එවැනි අරමුදල් ලැබී නැහැ” යැයි ඔහු පවසයි. ඔහු ඇත්ත වශයෙන්ම අදහස් දැක්වූයේ පක්ෂයට විධිමත් ලෙස ලැබෙන අරමුදල් පිළිබඳවය. මතුව ඇති චෝදනා වන්නේ පක්ෂය සම්බන්ධ මතභේදයක කේන්ද්‍රස්ථානය වී සිටින පක්ෂ සහකරුවකුගේ සාක්කුවලට මුදල් යාම පිළිබඳවය. දැන්, සමගි ජන බලවේගයේ බලගතු පිරිසක් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යවමින් මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටීමට සූදානමින් සිටිති.

නායකයා ලෙස තම භූමිකාව සම්බන්ධයෙන් පක්ෂය තුළ විවේචන රැසකට ලක්ව සිටින ප්‍රේමදාසට, මෙම ගැටලුවට මුහුණු දීමට සිදුවූයේ නරක වේලාවේදීය. පසුගිය බ්‍රහස්පතින්දා සවස පක්ෂයේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදක ආයතනය වන පක්ෂයේ ක්‍රියාකාරී කමිටුවේ පැය තුනහමාරක රැස්වීමක් පැවැත්වෙමින් තිබුණි.

මුලින්ම ගැටලුව මතු කළේ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරියයි. අවසන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණේ කවදාදැයි ඔහු විමසීය. සභාපතිත්වය දැරූ ප්‍රේමදාස, තරමක් අපහසුතාවට පත්වූ ආකාරයෙන් පිළිතුරු දෙමින් පැවැසුවේ “අන්තිමට තිබ්බේ ගිය අවුරුද්දේ මාර්තු මාසයේදී. ඒක මගේ වරදක්; මට සමාවෙන්න. මම ඒ රැස්වීම් පැවැත්විය යුතුව තිබුණා” යනුවෙනි. ඊළඟ ප්‍රශ්නය වූයේ පක්ෂයේ තීරණ ගැනීමේ ආයතනයක් (එනම් කෘත්‍යාධිකාරී මණ්ඩලය හෝ කළමනාකරණ කමිටුව) විසින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට තීරණයක් ගත්තේද යන්නයි. ඒ සමගම යම් නිහඬතාවක් පැවතුණි. ප්‍රේමදාස මහතාගේ සහායට පැමිණියේ මහ ලේකම් මද්දුම බණ්ඩාරය. නායකයා වශයෙන් ප්‍රේමදාස මහතා එම තීරණය ගෙන ඇත්තේ යහපත් විශ්වාසයකින් සහ පක්ෂයේ යහපත සඳහා වන බැවින් ඔහුට එරෙහිව චෝදනා කිරීම සාධාරණ නොවන බව ඔහු පැවැසීය.

සමගි ජන බලවේගයේ නීතිඥ බල මණ්ඩලය නියෝජනය කළ ජයසූරිය, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීමෙන් ඉවත් කරන ලද අයගෙන් කෙනෙකි. සජබ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් කලක් එක්සත් ජාතික පක්ෂයේ සිටි දේශපාලනඥයකු තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔහු නායක ප්‍රේමදාස ගැන කෝපයට පත්ව සිටියේය. පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල මත පදනම්ව, සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු තනතුරු පහක් ලැබුණි. මුලදී, ප්‍රේමදාස විසින් මහ ලේකම් මද්දුම බණ්ඩාර මහතා නම් කළ අතර, අනෙක් තනතුරු හතර සති ගණනක් හිස්ව තැබීය. කවුරුන් නම් කළ යුතුද යන්න පිළිබඳව ඔහු උභතෝකෝටිකයකට මුහුණ දී සිටි අතර, මෙම ප්‍රමාදය පිළිබඳව පක්ෂ සාමාජිකයෝ ව්‍යාකූල වූහ.

මෙම පියවර පිටුපස ඇති හේතු අනාවරණය වූයේ, ඉතිරි පුරප්පාඩු පිරවීමේදී තම පක්ෂයේ අපේක්ෂකයා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් ජාතික ලැයිස්තුවට පත් කරන ලෙසට සජබ නායකයට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් කොළඹ දිස්ත්‍රික් අධිකරණයට යාමෙන් අනතුරුවය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකයා සමගි ජන බලවේගය වෙනුවෙන් ප්‍රේමදාස සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුමක් උපුටා දක්වා තිබුණි. ප්‍රේමදාස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස සමඟ පමණක් නොව සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සමග ද අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇති බව ඉක්මනින්ම පෙනී ගියේය. එතෙක්, සමගි ජන බලවේගයේ බොහෝ දෙනෙක් මෙම අවබෝධතා ගිවිසුම් ගැන නොදැන සිටියහ. එපමණක් නොව, පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු ඇමතූ රැලිවලට ප්‍රේමදාස පවසා තිබුණේ තමා කිසිවකු සමග කිසිදු ගනුදෙනුවක් අත්සන් කර නොමැති බවයි. මේ අනුව, ප්‍රේමදාස අවසානයේ නිසාම් කාරියප්පර්, මුතු මොහොමඩ් ඉස්මයිල් (සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය) සහ මනෝ ගනේෂන් (ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ) ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙසින් නම් කළේය. දෙවැන්නා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ නමුත් පරාජයට පත් විය.

හවුල්කාර පක්ෂ තුනේ නියෝජිතයන් නම් කිරීමට අමතරව, ප්‍රේමදාස ජාතික ලැයිස්තුවේ ඉතිරි ස්ථානය සඳහා වරක් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකුව සිටි අයෙකුද නම් කළේය. නොවැම්බර් මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය අපේක්ෂක කණ්ඩායමට නායකත්වය දීමට නියමිතව තිබූ, එහෙත් පසුව ඉන් ඉවත්වීමට එකඟ වීමෙන් පසුව මෙය සිදු විය. මෙම පියවර නිසා සමගි ජන බලවේගයේ ඉහළම තරගකරුවෝ කිහිප දෙනෙක්ම කලකිරීමට පත්වුහ. කළුතර දිස්ත්‍රික්කයට තරග නොකිරීම සඳහා පෙළඹවූ සමගි ජන බලවේගයේ සභාපති ඉමිතියාස් බාකීර් මාකර්, මහානායක හිමිවරුන් විසින් නිර්දේශ කරන ලද හිටපු කැබිනට් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ නමුත් පරාජයට පත් වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන අය ඔවුන් අතර වූහ.

ප්‍රේමදාස හවුල්කාර පක්ෂ තුනක් සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම් සම්බන්ධයෙන් උපුල් ජයසූරිය ගැටලුවක් මතු කළ අතර, පසුව එය සාකච්ඡාවක් දක්වා දීර්ඝ විය. ඊට යහපාලන රජයේ හිටපු අමාත්‍යවරයකු වූ කබීර් හෂීම් ද මැදිහත් විය. ඔහු ප්‍රකාශ කළේ, “මම රවුෆ් (හකීම්) ට කිව්වා ඒක කළේ නැහැ කියලා.” එහිදී ඔහු ව්‍යංගයෙන් අදහස් කළේ ජාතික ලැයිස්තු ප්‍රශ්නය සම්බන්ධයෙන් අධිකරණයට යාමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකයා ගත් තීරණය සහ ඔහුගේ පක්ෂයේ අපේක්ෂකයා පත් කරන ලෙසට ඉල්ලා සිටීමයි. “අපේ පක්ෂය කිසිදු අනුමැතියක් ලබා දී නැහැ. ඒ නිසා එය වැරදියි” යනුවෙන් තමා හකීම්ට පැවසූ බව කබීර් හෂීම් පැවසීය.

එම ප්‍රකාශවලින් ප්‍රේමදාස යහපත් නායකයකු ලෙස පිළිබිඹු නොවීය. එක් අතකින්, ඔහු තමාගේම පක්ෂය තුළ ඇති උපකරණ ක්‍රියාත්මකවීම නොසලකා හැර ඇත. වෙනත් වචන වලින් කිවහොත්, සමගි ජන බලවේගය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වී නොමැත. අනෙක් අතට, අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සහ ඊට ප්‍රතිවිරුද්ධව හිමිකම් පෑම සම්බන්ධයෙන් තමා විසින්ම තීරණය කිරීමෙන්, ඔහු ප්‍රධාන නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සමග සාකච්ඡා නොකර හෝ කිසිදු උපදේශනයකින් තොරව තම පක්ෂය පවත්වාගෙන යන බව පෙන්නුම් කළේය. ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාස, ජනාධිපති ධුර කාලය තුළ “වන් මෑන් ෂෝ” එකක් පැවැත්වීමේ විකට නාමය ලබාගත්තේය. එය නැවත වරක් සිදුවන බවක් පෙනෙන්නට තිබේ. තත්වය තවත් නරක අතට හැරවූයේ ඔහු “පිටස්තරයකුට” තමා වෙනුවෙන් තීරණ ගැනීමට ඉඩ දෙන බවට එල්ල වූ චෝදනා ය.

ජනාධිපතිවරයාගේ චීන සංචාරය

පසුගිය සතියේ සිදුවු අනෙකුත් ප්‍රධාන සිදුවීම් අතර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන සංචාරය ද වේ. මෙම සංචාරයේ කැපී පෙනෙන සිදුවීම වූයේ චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම විසින් හම්බන්තොට පිරිපහදුවක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක් ආයෝජනය කරන බවට බීජිං රජය කළ නිවේදනයයි. එය ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජනය ලෙස විස්තර කර ඇත. ඔවුන් සඳහන් කිරීමට අපොහොසත් වූයේ 2023 වසරේදීද හම්බන්තොට පිරිපහදුවක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක් අනුමත කළ බවට බීජිං රජය ප්‍රකාශ කළ බවයි. රොයිටර් පුවත් ඒජන්සිය එවකට මේ කාරණය වාර්තා කළේ මෙසේය.

“කොළඹ, 2023 නොවැම්බර් 27 (රොයිටර්) - ඩොලර් බිලියන 4.5 ක පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේ සිනොපෙක් විසින් කරන ලද යෝජනාවක් ශ්‍රී ලංකාව සඳුදා අනුමත කළ බව එහි බලශක්ති අමාත්‍යවරයා පැවසීය. එය පසුගිය වසරේ ඇති වූ ආර්ථික අර්බුදයකින් පසු දිවයිනේ විශාලතම තනි ආයෝජනය බවට පත්විය.

“රටේ දකුණේ හම්බන්තොට ප්‍රදේශයේ අපනයන කේන්ද්‍ර කරගත් පිරිපහදුව ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර ව්‍යාපෘති විස්තර අවසන් කිරීමට සහ රජය සමග ගිවිසුමක් අත්සන් කිරීමට රජය සතු පිරිපහදුවට කැබිනට් අනුමැතිය අවසර ලබා දී තිබේ.

“චීන රජයට අයත් චීන ඛනිජ තෙල් හා රසායනික සංස්ථාවට  (SINOPEC) කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා අද කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී” යැයි අමාත්‍ය කාංචන විජේසේකර X සමාජ මාධ්‍ය වේදිකාවේ හරහා පවසා ඇත.

“ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා චීනය වන අතර, එහි සමාගම් ඉන්දියාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ දිවයිනේ අධිවේගී මාර්ග, මුහුදු සහ ගුවන්තොටුපළ සහ අනෙකුත් යටිතල පහසුකම් ව්‍යාපෘති ඉදිකර ඇත.

“මෙම ආයෝජනය, ධාරිතාව අනුව ලෝකයේ ඉහළම පිරිපහදුකරු සහ විශාලතම ඛනිජ රසායනික නිෂ්පාදකයකු වන සිනොපෙක් සඳහා, චීනයේ දේශසීමාවෙන් ඔබ්බට ව්‍යාප්ත කිරීමේ දිගුකාලීන උත්සාහයක ඉදිරි ගමනක් සනිටුහන් කරනු ඇත. සමාගමට සෞදි අරාබියේ පිරිපහදු වත්කම් සහ රුසියාවේ ඛනිජ රසායනික නිෂ්පාදන පහසුකම්ද ඇත”

නවතම වර්ධනයත් සමග පිළිතුරක් සොයාගත යුතු ප්‍රශ්නය වන්නේ චීන ආධාරවල සැලකිය යුතු හිඟයක් දකින්ට ලැබීමයි. එය බීජිං රජය ද පැහැදිලි කර නොමැත. විශාලතම ආයෝජනය ලෙස විස්තර කරන ලද ශ්‍රී ලංකාවට ලබා දුන් නවතම ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක් නම්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පරිපාලනය යටතේ පැහැදිලි වන පරිදි, මීට පෙර ලබා දුන් මුදල ඇමරිකානු ඩොලර් බිලියන 4.5 කි. සැලකිය යුතු කාරණය වන්නේ මෙම ආයෝජනයේ ඇමරිකානු ඩොලර් මිලියන 800 ක හිඟයක් පැවැතීමයි. මෙය සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව චීන රජයෙන් කිසිදු පැහැදිලි කිරීමක් ලැබී නොමැත. ජනාධිපති දිසානායකගේ සංචාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ සියලුම මාධ්‍ය වෙත වාර්තා කිරීමේ වගකීම පැවරී ඇති එකම ශ්‍රී ලංකා රජයේ නිලධාරියාටවත් එය පැහැදිලි කිරීමට නොහැකි වී තිබේ, ඒ සමහර විට අද්දැකීම් අඩුකම නිසා විය හැකිය. කොළඹට ඡායාරූප යැවීම හැරුණු විට ඔහුගේ ප්‍රධාන වාර්තාකරණය වන්නේ කෙටි පණිවුඩ කට්ටලයක් යැවීම පමණි. ඔහු විචාරකයෙකුගේ සහ සම්මුඛ පරීක්ෂකවරයකුගේ භූමිකාව ද ඉටු කළේය.

මේ ගැන අදහස් දක්වමින් රජයේ නිලධාරියකු පැවසුවේ මෙම සංචාරයට මාධ්‍ය රැගෙන නොගියේ වියදම් අඩු කර, වියදම් අවම මට්ටමක තබා ගැනීමට අවශ්‍ය නිසා බවයි. පෙර පරිපාලනයන් එසේ කර ඇති බව පැවසූ විට, ඔහු පිළිතුරු දුන්නේ, “අපි වෙනස් වීමට කැමතියි” යනුවෙනි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කලක් ලේකම්වරයකු වූ චරිත හේරත්, “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත්තේ, “මේ වගේ කාරණාවලදී වෙනස් වීමට උත්සාහ කිරීම හාස්‍යජනකයි. ඔවුන්ට වෙනස් වීමට අවශ්‍ය යැයි පවසමින් ගාලු මුවදොර පිටියේ කැබිනට් රැස්වීම් පවත්වන්න බැහැ. ඔහු (ජනාධිපති) තවදුරටත් අනුර සහෝදරයා නොවේ. ඔහු අපේ ජනාධිපති. ඔහු වෙනත් රටකට යන විට ඔහු කරන්නේ කුමක්ද, ඔහු අඳින්නේ කුමක්ද සහ ඔහු තමා ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න ජනතාව දැන ගැනීමට කැමතියි. මේ සියල්ල වැදගත්. ඒවා නිවැරැදිව කළහොත් එය ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ආඩම්බර හැඟීමක් ලබා දෙනවා. ජාතිය සහ එහි නායකයා සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් ඔවුන් මෙම ඊනියා නිර්ධන පන්ති මානසිකත්වයෙන් ඉවත් විය යුතුය. අපට විහිළුවක් විය නොහැකියි” යනුවෙනි.

 

සහල් අර්බුදය සහ මාධ්‍යට සම්බන්ධ ගැටලු

පාරිභෝගිකයන්ට නාඩු සහ රතු සහල් ලබාදීමට නොහැකිවීම සම්බන්ධයෙන් රජයටද අපහසුතාවකට මුහුණදීමට සිදුව ඇත. මෙම තත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අයහපත් පාලනයයි. නත්තල් සහ නව අවුරුදු සමයේදී වෙ​ෙළඳපොළේ ප්‍රමාණවත් තොග ඇති බව සහතික කිරීමට රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. ගොවියන් සඳහා සහතික කළ මිල යෝජනා ක්‍රමය යටතේ මිල වැඩි කිරීමට සහ ඒ සමගම වෙ​ෙළඳපොළේ සහල්වල උපරිම සිල්ලර මිල වැඩි කිරීමට රජය දැන් සලකා බලමින් සිටී. අප්‍රේල් මාසයේ අවුරුදු සමයේදී ප්‍රමාණවත් තොග ඇති බව සහතික කිරීම විශාල වගකීමක් වනු ඇත.

තවත් පෙර නොවූ විරූ වර්ධනයක් වන්නේ ජාතික ජන බලවේගය රජය සාම්ප්‍රදායික නොවන ක්‍රමවේද හරහා මාධ්‍ය ගෙන එන පීඩනයයි. පළමුව, ජනවාරි 17 වැනි දින ඩේලි නිවුස් පුවත්පතේ “සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව කරන ලද අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා විසින් සී.අයි.ඩී. යට පැමිණිල්ලක් ගොනු කරයි“ යන සිරස්තලය යටතේ ප්‍රවෘත්ති වාර්තාවක් පළ විය. එම වාර්තාවේ සඳහන් වන්නේ, “සෞඛ්‍ය අමාත්‍යාංශයට, එහි ආයතනවලට සහ නිලධාරීන්ට එරෙහිව එල්ල කර ඇති අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් පූර්ණ පරිමාණ පරීක්ෂණයක් ඉල්ලා ‘රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.” යනුවෙනි.

“පැමිණිල්ල ගොනු කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය මනුජ් සී. වීරසිංහ මහතා පැවසුවේ බදාදා (15) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ගොනු කළ බවත්, මෑත සතිවල මාධ්‍ය විසින් කරන ලද නිරන්තර හා නොනවතින අසත්‍ය චෝදනා හරහා රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සෞඛ්‍ය සේවා නිලධාරීන් විසින් කළමනාකරණය කරනු ලබන ඖෂධ සැපයුම් ජාලය ඉලක්ක කර ගෙන ඇති බවත්ය.

“සෞඛ්‍ය සේවා සහ එහි නිලධාරීන්ට එරෙහිව මාධ්‍ය විසින් කරන ලද මෙම අඛණ්ඩ අසත්‍ය ප්‍රකාශ නිසා සෞඛ්‍ය සේවා අංශය තුළ තීරණ ගැනීම සහ මෙහෙයුම් කඩාකප්පල් කර ඇති බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලේ ප්‍රතිඵලය වන්නේ මාධ්‍ය සහ සෞඛ්‍ය සේවා අංශය පිළිබඳ වාර්තා කිරීම සඳහා වගකිව යුතු අය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකිරීමයි. පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පෙර, මාධ්‍ය හා සෞඛ්‍ය සේවා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ අනුමැතිය ලැබී ඇත්දැයි නිශ්චිත නැත. කෙසේ වෙතත්, එය ඉතා බරපතල කාරණයක් වන අතර, අදාළ අයට හිතකර නොවන ලෙස අපහසුතාවයට පත්වන කරුණු වාර්තා කිරීමෙන් මාධ්‍ය නිහඬ කිරීම සඳහා කරන ලද ද්‍රෝහී අභ්‍යාසයක් ලෙස එය පෙනෙන්නට තිබේ. වෛද්‍ය වීරසිංහ කියූ දෑ නිවැරැදිව උපුටා දක්වා තිබේ නම්, ඔහු චෝදනා කරන්නේ, “සෞඛ්‍ය සේවා සහ එහි නිලධාරීන්ට එරෙහිව මාධ්‍ය විසින් කරන ලද අසත්‍ය ප්‍රකාශ තීරණ ගැනීම සහ මෙහෙයුම් කඩාකප්පල් කර ඇති බවයි”. ඔහු සමස්ත සෞඛ්‍ය අංශයේම තීරණ ගැනීමේ ක්‍රියාවලිය සහ මෙහෙයුම් වෙනුවෙන් කතා කිරීමේ වගකීම භාරගෙන ඇත. ඔහු එය තනිවම පවසනවාද, නැතහොත් ඉහළ අධිකාරියක් වෙනුවෙන් ගිරවකු ලෙස ඒවා කියමින් සිටිනවාද? පිළිතුර ඕනෑවට වඩා පැහැදිලි බව පෙනෙන්නට තිබේ.

පළමුවෙන්ම, මාධ්‍ය විසින් වැරැදි හෝ නොමඟ යවන සුලු වාර්තා පළ කර තිබේ නම්, සෞඛ්‍ය සේවා අංශයේ සිටින අයට ප්‍රකාශයක් හරහා එය පහසුවෙන් මාධ්‍යයට පෙන්වා දීමට හැකියාව ඇත. අදාළ මාධ්‍ය ආයතන ඔවුන්ගේ පැමිණිලි නොඇසූ ආකාරයෙන් සිටින්නේ නම්, ඔවුන්ට රටේ නීති හරහා මාධ්‍ය සමඟ කටයුතු කළ හැකිය. ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහය ලත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට හෝ පුවත්පත් පැමිණිලි කොමිසමට පවා පැමිණිලි කළ හැකිය. වැරැදි වාර්තා නිවැරැදි කිරීම සහතික කිරීම සඳහා යාන්ත්‍රණ දෙවැන්න සතුව ඇත. මේවාට අමතරව, ඔවුන්ට සියලුම මාධ්‍ය වෙත විධිමත් ප්‍රකාශයක් නිකුත් කළ හැකිය.

එසේනම් මෙම පෙර නොවූ විරූ පියවර ගන්නේ ඇයි? සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය අල්ලස්, දූෂණ සහ දරුණු අපයෝජන සිදුවී ඇති එක් ක්ෂේත්‍රයක් බව වෛද්‍ය වීරසිංහ අමතක කර ඇත. නැතහොත් ඒ කාරණය පහසුවෙන් නොසලකා හැර ඇත. ඒවා හෙළිදරව් කර ඇත්තේ මාධ්‍යයයි. හිටපු කැබිනට් අමාත්‍යවරයකු පවා මුදල් ඉපයීම සඳහා සෞඛ්‍ය සේවා පද්ධතිය අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා එල්ල වී තිබේ. සෞඛ්‍ය සේවා අංශයේ නිලධාරීන්ද එම අමාත්‍යවරයා සමග අත්වැල් බැඳගෙන සිටි බවට චෝදනා එල්ල වී තිබීම රහසක් නොවේ. අධිකරණ නඩුවක් විභාග වෙමින් පවතින බැවින් මම චෝදනා එල්ල වී ඇතැයි කියමි. කනගාටුවට කරුණක් නම්, ජාතික ජන බලවේගයේ රජයේ සමහර අමාත්‍යවරුන් සහ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමෙන් මාධ්‍ය නිහඬ කළ හැකි යැයි විශ්වාස කරන බව පෙනෙන්නට තිබීමයි.

දේශපාලනඥයකු විධිමත් නිල උත්සවයකට පැයක් ප්‍රමාද වී පැමිණි බව “සන්ඩේ ටයිම්ස්” පුවත්පත වාර්තා කළ විට, ජාතික ජන බලවේගයය රජයේ ඉහළම දේශපාලනඥයෙක් කුමන්ත්‍රණයක් ඇති බවට පැමිණිලි කළේය. තත්වය තවත් නරක අතට හැරවූයේ ප්‍රදානය ලබාදුන් සත්කාරක රට ගැන සඳහන් කිරීම වෙනුවට, ප්‍රතිවාදී රටක් ගැන සඳහන් කිරීමත් සමගය. “කුමන්ත්‍රණය” දේශපාලනඥයාගේ කර මත පැටැවී ඇත. එවිට “කුමන්ත්‍රණයක්” වී ඇත්තේ එයයි. දැන්, චෝදනාව සෞඛ්‍ය සේවා අංශය “අස්ථාවර කිරීම” ගැනය. මෙම ද්‍රෝහී ව්‍යායාමයට ඔහුගේ අනුමැතිය තිබුණාද නැද්ද යන්න ගැන වගකිව යුතු අමාත්‍යවරයා පැවසිය යුතුය. මාධ්‍ය මගින් කෙරෙන හෙළිදරව් කිරීම් පැහැදිලිවම සිත් රිදවන අතර, වඩාත් බලගතු නිලධාරීන් කිහිප දෙනකු සිතන්නේ පිළිතුර වන්නේ සී.අයි.ඩී. පරීක්ෂණයක් බවයි. ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණ අතරතුර ජාතික ජන බලවේගයේ නායකයින් කතා කළ වටිනාකම් දැන් ඔවුහුම විනාශ කරමින් සිටිති. අවම වශයෙන් කිවහොත්, එය ජනාධිපති අනුර කුමාර දිසානායකට කරන අපහාසයකි.

ජාතික ජන බලවේග රජයට ඇති වාසිය නම් සමගි ජන බලවේගය මුහුණ දී ඇති අර්බුදය සහ විපක්ෂයේ භූමිකාව ක්‍රියාකාරීව ඉටු කිරීමට ඔවුන්ට ඇති නොහැකියාවයි. ජනතා විමුක්ති පෙරමුණ රජයට ඇති අවාසිය පැමිණෙන්නේ එහි සභාපතිවරුන් වැඩි දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු වී දශක ගණනාවක් තිස්සේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් අවඥාවෙන් පසෙකට දැමූ විටය. රාජ්‍ය පාලනය එවැනි පහත් මට්ටමකට වැටී ඇත. මාධ්‍යයට දොස් පැවරීම භූමරංගයක් වනු ඇත.

(*** “සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ  දේශපාලන විශ්ලේෂක විසිනි)



අදහස් (0)

සජබ දෙදරුම් කෑ මුදල් සිද්ධිය

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

වාහන ආනයනයේදී ආර්ථිකය
2025 ජනවාරි මස 22 199 1

2019 සිට ශ්‍රී ලංකාවට රථ වාහන ආනයනය කිරීම තහනම් කර තිබුණද අදියර කීපයක් යටතේ වාහන ගෙන්වීමට කටයුතු කරන බව රජය මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන මස පළමු වැනිදා


සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ
2025 ජනවාරි මස 21 40 0

නූතන සිංහල කවියේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ මහගම සේකර කවියාගේ 49 වැනි අනුස්මරණය පසුගිය 14 වැනිදාට යෙදී තිබිණ. මහගම සේකර පෞද්ගලික ජීවිතයේත් නි


සජබ දෙදරුම් කෑ මුදල් සිද්ධිය
2025 ජනවාරි මස 21 148 0

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, දින සියයක් පැරැණි ජාතික ජන බලවේගය රජයට බලපා ඇති ගැටලුවලට වඩා බරපතළ අර්බුදයක ගිලී සිටියි.


අයුක්තියට හිස නොනැමූ මාධ්‍යවේදියා
2025 ජනවාරි මස 21 47 0

“ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත. ජනමාධ්‍යවේදීන්ගේ සංකල්ප දැනුම තිබෙන්නේ දිළිඳු තත්වයකය. වෘත්තීය අභිමානයක් ඇත්තේම


ප්‍රවාහනය යුගයට ගැලපේද?
2025 ජනවාරි මස 21 41 0

පොදු ප්‍රවාහනය යනුවෙන් හැඳින්වෙන්නේ රටක සංචලතා (mobility) අවශ්‍යතා පොදුවේ සපයනු ලබන ක්‍රමයකට ය. සරලව කිවහොත් පොදුවේ ලබා දෙන ප්‍රවාහන සේවා මෙයින් අදහස් වේ. එ


කොළඹ රැකියා කළ ඉන්දියානුවන් එළවන්න කළ සටනක්
2025 ජනවාරි මස 20 1993 2

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘එට්කා වෙළෙඳ ගිවිසුමට ඇතැමුන් විරෝධය පාන්නේ එම ගිවිසුම මගින් ඉන්දියාවේ ශ්‍රමිකයන්ටත් මෙරට රැක


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 458 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 623 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 344 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site