IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සත්‍යයට පිටුපෑමේ විපාකය

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුව පෙබරවාරි 20 වැනිදා (ඊයේ) කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ වූ අතර එය 22 වැනිදා දක්වා පැවැත්වේ. මෙම සමුළුවට ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 44ක නියෝජිතයන් සහභාගී වන අතර රටවල් 22කින් අමාත්‍ය මට්ටමේ නියෝජිතයෝ සහභාගී වෙති. පෙබරවාරි මාසයේ මැද වනවිට එම මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ අතර මේ වසරේ ජනවාරියේ සිට මාස එකහමාරක කාලය තුළ සංචාරක ව්‍යාපාරයේ ආදායම රුපියල් කෝටි 700ක් විය.

කටුනායක ගුවන්තොටුපොළ විදේශීය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබෙන ආකාරය පිළිබඳවත් දෙහිවල සත්වෝද්‍යානය දේශීය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති ආකාරය පිළිබඳවත් තොරතුරු මේ සතියේ ජනමාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ තිබුණි. ඒ අතරම ශ්‍රීපාදය වන්දනාවට පැමිණෙන පිරිස්වලින් ප්‍රදේශය ඉඩ මදිවන තරමට පිරී ගොස් ඇති ආකාරයත් වන්දනා කිරීම සඳහා පෝලිම්වල පැය දෙක තුනක කාලය ගෙවීමට සිදුව ඇති ආකාරයත් මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ තිබුණි.

මෙවර නිදහස් දින විශේෂ අමුත්තා ලෙස ශ්‍රී ලංකාවට පැමිණි තායි අගමැතිවරයාගේ ප්‍රකාශයක්ද මෙහිදී සිහියට නැගේ. වසර ගණනාවක් නවතා දමා තිබූ තායි ගුවන් සේවයේ ගමන් වාර ටික දිනකින් යළි ආරම්භ කරන බව එතුමා ප්‍රකාශ කළේය. මේ සතියේ ශ්‍රී ලංකාවට පැමිණි  ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen. Miri Regev) මහත්මිය ඊශ්‍රායල ගුවන් සේවයේ ගමන් වාරද නොබෝ දිනකින් ආරම්භ කරන බව ප්‍රකාශ කර තිබුණි. පසුගිය මාස කිහිපය තුළ ලොව ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් රැසක් ශ්‍රී ලංකාවට  ගුවන් ගමන් වාර ආරම්භ කළ අතර තවත් සමාගම් රැසක් ඒ සඳහා ඉල්ලු‍ම් කර තිබේ. පසුගිය සතිය තුළ ඊශ්‍රායල, ඉරාන සහ අමෙරිකානු රාජ්‍ය නියෝජිතයෝද ශ්‍රී ලංකාවට නිල සංචාර සඳහා පැමිණ සිටියහ.

මේ වෙනස්කම් සිදුව ඇත්තේ මීට වසර එකහමාරකට පෙර 2022 වසරේ ජූලි 9 වැනි දින වනවිට ගිනිගනිමින් තිබූ රටේය. මේ සියල්ල ගොඩනැගීමට හැකි වූයේ, රනිල් වික්‍රමසිංහ මහතා එම අර්බුද සමයේ රටේ ජනාධිපති ධූරය භාරගැනීමත්, වහාම රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැගීමත්, රට මුහුණ පා සිටි මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස IMF සංවිධානයෙන් ණය ලබාගැනීම සඳහා වූ ගිවිසුමකට එළඹීමත් නිසාය.

IMF යෑමත් බෙරේ බැදගත්තා වගේය. බෙරේ බැදගත්තා නම් ගහන්නට සිදුවේ. ගිවිසගත් ණය මුදලේ දෙවැනි වාරිකය නිකුත් කිරීමට පෙර IMF හි ශ්‍රී ලංකා ප්‍රධානියා සෑහෙන කලක් ශ්‍රී ලංකාවේ ගත කරමින් රට යන හැටි ගැනත්, ගිවිසගත් කොන්දේසි ශ්‍රී ලංකාව විසින් ඉටුකරනු ලබන ආකාරය පිළිබඳවත් නිරීක්ෂණයක යෙදුණේය. ඒ ජනාවාරි 11 සිට 19 දක්වාය. ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය පිළිබඳව පැහැදීමකින් සිටින බවත් රට හොඳ තත්වයකට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාවේ IMF ප්‍රධානියා එම චාරිකාව අවසානයේදී ප්‍රකාශ කළේය.

ලබන සතියේ නැවතත් IMF කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. ඔවුන් සති තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ශ්‍රී ලංකාව විසින් IMF කොන්දේසි සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාපිළිවෙතත් ඒ යටතේ රටේ ආර්ථිකයේ හැසිරීම පිළිබඳවත් කරුණු නිරීක්ෂණය කරනු ඇත. සියල්ල තවදුරටත් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග මත තීරණය වනු ඇත. ගිවිසුමේ ප්‍රගතිය සඳහා දැන් ඉටු කළයුතු ප්‍රධානම කරුණ වන්නේ ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ආයතන, පුද්ගලයන් සහ රටවල් සමග ණය ප්‍රතිව්‍යූහකරණය පිළිබඳ එකඟතා ඇතිකර ගැනීමයි.

බංකොළොත් බවින් සම්පූර්ණයෙන් අත්මිදීමට රටට හැකි වන්නේ එම ක්‍රියාදාමය සම්පූර්ණ කරගැනීමෙන් පසුවය. එක අතකින් රටේ උද්ධමන අනුපාතය, මුදල් සැපයුම, රජයේ වියදම්, අයවැය හිඟය ආදිය පිළිබඳව අනුගමනය කිරීමට බැඳී සිටින කොන්දේසි වේ. අනෙක් අතින් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ණය ලබා දී ඇති ආයතන, රටවල් සහ පුද්ගලයන් එකඟ කරවාගත යුතුය. මේ සියල්ල අතර පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් තුළ බිංදුවෙනුත් පහළට ගොස් තිබූ ආර්ථික වර්ධනය ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා කටයුතු කළ යුතුව ඇත.

කෝවිඩ් වසංගතය ව්‍යාප්ත වී ටික කලක් ගත වනවිට රටේ විදේශ ණය පියවීම සඳහාත් රටට අවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් භාණ්ඩ ගෙන්වා ගැනීම සඳහාත් ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ නැති බව පැහැදිලි විය. එම අවස්ථාවේ දී රටේ බහුතරයක් දේශපාලනඥයන්, පක්ෂ, ආර්ථික විද්‍යාඥයන් සහ විද්වතුන් ඉල්ලා සිටියේ ණය ගෙවීම නවතා දමා එම මුදල් මහජනතාවගේ අවශ්‍යතා සඳහා යොදන ලෙසය. වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ඉල්ලු‍ම්කරන ලෙසය. ණය ගෙවීම නැවැත්වීමට සහ IMF වෙත යෑම පිළිබඳ එදා බොහෝ දෙනකු කැමැත්තක් දැක්වූ බව පෙනේ. රටට ගෙන්විය යුතු බොහෝ දේ තිබිය දී රජය ණය ගෙවන බවට සඳහන් ප්‍රකාශ ඇතැම් සංවිධාන විසින් නිකුත් කරනු ලැබූ අවස්ථා ද තිබුණි.

එසේ බොහෝ දෙනකු ඉල්ලා සිටි පරිදි රනිල් වික්‍රමසිංහ රජය IMF වෙත ගොස් ණය ඉල්ලු‍ම් කළේය. විස්තීරණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාවට මුදල් ලබාදීමට නම් IMF විසින් දක්වන ලද කොන්දේසිවලට අනුකූලව කටයුතු කරන බවට එම සවිධානය සමග ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ ආකාරයට රජය එකඟතා ඇතිකර ගැනීම හේතුවෙන් ඉක්මනින් එම ණය මුදල අනුමත කරවාගෙන එහි දෙවැනි වාරිකය ද ලබා ගැනීමට හැකි වී තිබේ. ඒ දක්වා වූ ගමනක් යෑමට ශ්‍රී ලංකාවට ඉතා කෙටි කලක් තුළදී හැකිවීම හේතුවෙන් සමහර ප්‍රශ්න ඔඩු දුවන තත්වයකට පත්වීම වළක්වාගෙන කිසියම් ආකාරයක ස්ථාවරභාවයක් ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ.

එසේ වුවද බොහෝ දෙනකු වටහා ගෙන නැති කරුණක් වන්නේ IMF සමග ගිවිසගෙන ඇති  කොන්දේසි ඉටු කිරීමේ ඉතා සුළු ප්‍රමාදයක් නිසා හෝ ගිවිසුමේ එකඟතාවලට අනුකූලව කටයුතු නොකිරීම නිසා හෝ ක්ෂණයකින් ගිවිසුම අහෝසිවන තත්වයක් ඇති වී රට නැවත වරක් විශාල අර්බුදයකට බඳුන් වීමට ඇති ඉඩ කඩ වැඩි බවය. කොවිඩ් ව්‍යසනය නිසාත්, විදේශ භාණ්ඩ මිලදී ගැනීමට ඩොලර් නොමැති වීම නිසාත් ඇති වූ පෝලිම්වල අවසන් ප්‍රතිඵලය වූයේ අරගලය නමින් හැඳින්වූ විරෝධතාව උත්සන්න තත්වයකට පත්වීමයි. එම අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත් කර රට භාර ගන්නා ලෙස දේශපාලන නායකයන් කිහිප දෙනකුගෙන්ම ඉල්ලා සිටි නමුත් ඒ එක් අයකුවත් එම අවස්ථාවේ දී රටට නායකත්වය දීමට ඉදිරිපත් වූයේ නැත. රටේ දේශපාලන පක්ෂවලට හා එහි නායකයන්ට අභියෝගවලට මුහුණදීමට ඇති නොහැකියාව පිළිබඳ ජීවමාන සාක්ෂි එම අවස්ථාවේදී රටට නිරාවරණය විය.

ආර්ථික හෝ සමාජ ව්‍යසනවලට මුහුණ දී සිටින අනෙක් රටවල තත්වය පරීක්ෂා කිරීමේ දී පැහැදිලි වන්නේ ජාතික ව්‍යසනයකදී වාදභේද අතහැර සියලු‍ දෙනාම එකතු වී කටයුතු කිරීමට කොන්දේසි විරහිතව එකඟවීමයි. එහෙත් අගමැතිකම භාරගෙන, ජන ජීවිතය අවුල් කිරීමට උත්සාහ කරන කණ්ඩායම් මර්දනය කර, යළි සිවිල් පරිපාලනය පිහිටුවා, මහජනතාවගේ එදිනෙදා අවශ්‍යතා ඉටුවන ආකාරයට පැවැති තත්වය සමනය කර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර එකඟතාවලට පැමිණ, ණය මුදල ලබා ගන්නා තුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් හැර වෙනත් එකදු දේශපාලන පක්ෂයක් හෝ රජයට සහයෝගය දැක්වූ බවක් නොපෙනේ.

ජාතික ව්‍යසනයකදී එකතු වී කටයුතු කිරීමේ උතුම් ගුණාංගයට අනුකූල වීම සඳහා කිසිදු දේශපාලන පක්ෂයක් හෝ කිසිදු දේශපාලන නායකයකු ඉදිරිපත් වූයේ නැත. එවැනි තත්වයක් තුළ දී පවා රාජ්‍ය නිලධාරීන්ගේ සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සහාය ලබා ගනිමින් කිසිවකුත් බලාපොරොත්තු නොවන ආකාරයේ කෙටි කාලයක් තුළ දී ශ්‍රී ලාංකිකයන්ට ජීවත්වීමේ අයිතිය හිමිකර දුන්නේය. ඉදිරියේදී සුඛිත මුදිත ජාතියක් ගොඩනගන බවට මහජනතාව ඉදිරියේ විවිධ දර්ශන මවා පාන්නේ අඩුම තරමින් කෙටි කලකට හෝ රටේ නායකත්වය දැරීමේ අභියෝගය භාර ගැනීමට ඉදිරිපත් නොවූ පිරිස්ය. තමන්ට බැරි වුවද එම අභියෝගය භාරගෙන රට ගලවා ගැනීමට ඉදිරිපත් වූ නායකයාට නාමික මට්ටමකින් හෝ සහාය දීමට ඉදිරිපත් නොවූ අයය.

ඉන්ධන, ගෑස් සහ ඖෂධ පෝලිම්වල සිටි ආකාරය හෝ දවසින් වැඩිපුර කාලයක් ලයිට් කපා තිබූ යුගය පිළිබඳව හෝ දැන් කිසිවකුට මතක ඇති බවක් නොපෙනේ. එසේ වුවද අමතක නොකළ යුතු කරුණ වන්නේ කුඩා මට්ටමේ හෝ සිදුවීමකින් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වීමට ඉඩ ඇති බවය.

අද සමහර දේශපාලන පක්ෂ සහ සමහර සංවිධාන කටයුතු කරනුයේ තමන් සම්බන්ධ වී සිටින දේශපාලන පක්ෂය බලයට පත්කිරීමට මිස රට ගොඩනගන මගට පිවිසීමක් පිළිබඳව සිතමින් නොවන බව පෙනේ. ඒ පිළිබඳව කල්පනා කරන බවක් ද නොපෙනේ. දොස්තරලාට ගෙවන පඩිය කම්කරුවන්ට ද  හිමිවිය යුතුයැයි ප්‍රකාශ කරන වෘත්තීය සමිති ව්‍යාපාරයක් රටේ තිබේ. එම ඉල්ලීම් දිනා ගැනීමට කවර හෝ ක්‍රියාමාර්ගයකට පිවිසීමට ඔවුන් මැලිකමක් දක්වන්නේ නැත. කෝවිඩ්වලින් පසු රටේ පාසල් පද්ධතිය පෙර පැවැති තත්වයට ගෙන ඒමට හැකියාවක් ලැබී නැත. එසේ වුවද කවර ප්‍රයත්නයකින් හෝ තම අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ගුරුවරුන් වර්ජවනලට පෙළඹවීමට ඇතැම් වෘත්තීය සමිති නායකයෝ සූදානම් වෙති.

මහජනතාවට අවශ්‍ය වී ඇත්තේ අවුරුදු එකහමාරකට පමණ පෙර අත්විඳි ඒ අර්බුදයට සහ දැඩි පීඩනයට නැවත ගොදුරුවීමට නොවන බවත් රට තුළ සාමය පවත්වා ගනිමින් තම ජීවිත සාමාන්‍ය තත්වයකට පත්කර ගැනීමට සහ අනාගතයේදී සමෘද්ධිමත් ජීවිතයක් ඇතිකර ගැනීම  පිළිබඳ බලාපොරොත්තු සම්පූර්ණ කරගැනීමට බව බොහෝ දේශපාලන පක්ෂවලට, නායකයන්ට සහ වෘත්තීය සමිති ඇතුළු ඇතැම් සංවිධානවලට වැටහීමක් නොමැති බවද පෙනී යයි.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර

 



අදහස් (2)

සත්‍යයට පිටුපෑමේ විපාකය

චන්දිම Wednesday, 21 February 2024 05:38 PM

මෙතුමා මේ ඇවිත් අමුතුවෙන් කරපු දේවල් නෙමෙයි මේ. කොහෝමටත් ඉස්සර ඉඳන්ම ලංකාවට සංචාරකයෝ ආවා. කොවිඩ් කාලේත් ආවා. ගෝඨාභයගේ කාලේ දිගටම හොරකම කෙරීගෙන ගියා. වටේ හිටපු කට්ටිය හතර වරම් ගැහුවා. කබ්රාල්ලා ආටිගලලා ඇතුළු කට්ටිය රට ප්‍රපාතයටම තල්ලු කරන් ගියා. ගෝඨාභය තමන්ගේම සහෝදරයින්ගේ ගහන පදයට නටන රූකඩයක් වුණා. පොඩි දරුවෙකුට පවා තේරෙන දේවල් ඔහුට තේරුණේ නැහැ. ලණු කාලා පිස්සුම කරන්න ගත්තා. ඒකයි රට වේගයෙන්ම කඩා වැටුණේ. අනික එදා නායකකම වෙන මිනිහෙක් ගත්තා නම් ඔහුට ඔය පා'ලිමේන්තුවේ කට්ටිය දැන් මෙතුමාට දෙන සහාය දේවිද? ඒකත් පොඩ්ඩක් හිතන්න. දැන් මෙතුමා ඇවිත් හොරකම්, දූෂණ, කළ අය ඔක්කෝම තියා බාගයක්වත් ඇල්ලුවාද? අල්ලන්න පුළුවන්ද? එතකොට වෙන මිනිහෙක් ආවා නම් වෙන්නෙත් මෙතුමා වගේ හොරුන්ව නොදැක්කා වගේ අහක බලාගෙන ඉන්න නෙමෙයිද? මතක තියාගන්න තාම ඉන්නේ අපායේ ඉන්ටවල් කාළේ. ණය ගෙවන්න වෙනකොට මෙහෙම ජොලියක් තියෙයිද? දැන් ඔබ වහෙන් ඔරෝ කියන විදියට ඉදිරියේදීත් මෙතුමාට දුන්නොත් කරගෙන යන කණ්ඩායම හොඳ වැඩ කාරයෝ ටිකක්ද ඉන්නේ? අපිට නම් පෙන්නේ නිකම් පිස්සු දොඩවන විකටයෝ ටිකක් විතරයි...

:       19       74

sam Wednesday, 21 February 2024 08:01 PM

ලෝකයේ බොහෝරටවල නොතිබෙන කලගුනික තත්වයක් ලංකාවේ ඇත. වෙනත් රටවල කාලගුණික තත්වය වෙනස්වීමට මාස ගණනක් ගතවේ ( ශිත, සරත්, වසන්තය) එසේ උවත් ලංකාවේ කාලගුණික වෙනස්වීම් පය කිහිපයක් ඇතුළත් සහ බෝගද ඇත. එමනිසා ලංකාවට පැමිණ තිබෙනාවූ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වන පිරිසට එය දැකගැනීමට සහ විදගැනීමට අවස්ථාවක් ලබාදීම ඔවුනට පමණක් නොව සංචාරක කර්මනත්යටද වැදගත්වනු ඇත. විශේෂයෙන් අධික සහිත රටවල සහ මැදපෙරදිග වැනි උණුසුම් රටවල පිරිසට අවස්ථාවක් ලබාදීම හැකිනම් එය ලංකාවට ප්‍රයෝජනවත් වේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 132 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 473 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 137 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 133 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 314 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 602 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site