IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සිනමා අඹරේ රිදී රේඛාවට වසර 60 යි

    24-Rasa-p3-6   

ශේෂා පලිහක්කාර බොරු කකුල්කාරයකු ලෙස

 

“අයියේ අපේ යාළුවෝ කට්ටියක් හොඳ සිංහල චිත්‍රපටයක් හදන්න හිතලා තියෙනවා. ඒක... මේ දැන් තියෙන කබල් චිත්‍රපටිවලට වඩා වෙනස් සිනමාත්මක එකක්. ඉතින් මට මුලින්ම මතකයට ආවේ ලෙස්ටර්ව. මොකද කියන්නේ.”


1955 වසරේ අප්‍රේල් මාසයේ එක්තරා දිනෙක චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ඔහුගේ ඥති සොහොයුරකු වූ ක්‍රිස්ටෝපර් පීරිස් කීවේය.


එදින උදේ ක්‍රිස්ටෝපර් පීරිස්ගේ මෝටර් රථය එවකට (මොරටුවේ වෙලෝනා කර්මාන්තශාලාව පිහිටි අද ‘කේ-සෝන්’ සුපිරි වෙළඳපොළ තිබෙන තැන) තිබූ රජයේ චිත්‍රපට අංශයේ “නිසාන් හට්” (Nissan Hut) නම් ටකරන් මඩුව අසල නතර කළේය. ලෙස්ටර් හමුවූ ක්‍රිස්ටෝපර් ඉහත කී යෝජනාව කළේය. එවකට දිවයිනේ ප්‍රමුඛ වෙළෙඳ ව්‍යාපාරිකයකුව සිටි ක්‍රිස්ටෝපර් හා ලෙස්ටර්ගේ මේ හමුවීම සිංහල සිනමාවේ නව යුගයක්, නව පෙරළියක් ඇති කරතැයි සිහිනයකින්වත් නොසිතන්නට ඇත.


මෙය සිහිනයක් ද? මායාවක් ද? මේ සිදුවන්නේ ආශ්චාර්යක් ද?” යටි සිතින් ලෙස්ටර් සිතුවේය.

24-Rasa-p3-2

අයිරාංගනී මීදෙණිය

 


මේ වන විට ලෙස්ටර් එංගලන්තයේ ආධුනික චිත්‍රපට දෙක තුනක් (Soliloduy, Farewell to Childhood, sinhala Dance) චිත්‍රපට අධ්‍යක්ෂණය කොට සම්මාන ලබා තිබුණි. ඉන්පසු රජයේ චිත්‍රපට අංශයට “වියළි කලාපය ජය ගැනීම” (Conquest in the Dry Zone) “පරෙස්සම් වන්න, නැතිනම් කනගාටුවන්න” (Be Safe or be sorry) වාර්තා චිත්‍රපට නිර්මාණය කොට තිබුණි.


 “එදා මමත්, ක්‍රිස්ටෝපරුත් ගමන් ගත් මෝටර් රථය නැවතුණේ කොටහේන බ්ලූමැන්ඩල් පාරේ අද උපාලි පුවත්පත් සමාගම පිහිටි භූමි භාගයේ පිහිටි ස්ථානයේය. එහි දී ව්‍යාපාරික ලෝකයේ නම රැන්දූ ආකර්ෂණීය පුරුෂයෙකු වූ සරත් විජේසිංහ මහතා හඳුනාගන්න ලැබුණි. අපේ හමුවීමෙන් පසු කළ කතාබහේ ප්‍රතිඵලය වූයේ එතෙක් ලංකාවේ බිහි නොවූ ස්වාභාව සෞන්දර්යෙන් යුතු, මිනිස් ජීවිතය සත්‍ය ලෙස විවරණය වෙන සිංහල චිත්‍රපටයක් නිපදවීමට විජේසිංහ මහතාගෙන් ස්ථිර ප්‍රතිඥාවක් ලැබීමයි. ලෙස්ටර් කීවේ 1970 ජුලි 24 “සරසවිය” පුවත්පතට “මා රේඛාව මැවූ හැටි” විශේෂාංගයට මා සමඟ එක් වෙමිනි.

24-Rasa-p3-3

ආනන්ද වීරකෝන් සහ සෝමපාල ධර්මප්‍රිය

 


කවුද මේ සරත් විජේසිංහ?
1956 බලයට පත් බණ්ඩාරනායක රජයේ ජනසතු සේවා හා නාවික කටයුතු භාර ඇමතිවරයා වූ ඔහු උපාලි විජයවර්ධන මහතාගේ මාමණ්ඩියයි. කඹුරුපිටියේ විශාල ධනවතකු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදීමට අර්ථපතිත්වය දැරූ එක් පුද්ගලයෙකි ඔහු. 

24-Rasa-p3-8
සරත් විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් ඇරඹි “චිත්‍ර ලංකා” සමාගම මගින් ‘රේඛාව’ ඇරඹීය. මේ සමාගමේ සෙසු සාමාජිකයන් වූයේ රාජනීතිඥ එච්.ඩබ්ලිව්. ජයවර්ධන (ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සොහොයුරා), දිවයිනේ අපරාධ නීතිය පිළිබඳ විශාරදයකු වූ රාජනීතිඥ ජෝර්ජ් චිට්ටි, දේශපාලන කාටූන් චිත්‍ර ශිල්පී ඕබි්‍ර කොලට්, ඩග්ලස් ප්‍රනාන්දු හා ක්‍රිස්ටෝෆර් පීරිස්ය.


අලුතින් “චිත්‍ර ලංකා” චිත්‍රපට සමාගම නිර්මාණය කරන චිත්‍රපටයට කතාව ලෙස්ටර් තෝරා ගත්තේ Observer pictorial එකට ලියූ කෙටිකතාවකි. එය කොලට්ගේ චිත්‍ර සමඟ පළකර තිබුණි. එහෙත් The Line Of Destiny නම් මේ කතාව ඔහු රචනය කළේ චිත්‍රපටය සඳහාමය. එය රේඛාව නමින් සිංහලයට පෙරළිණි.


“මට ලොකුම අඩුපාඩුව තිබණේ හොඳ දෙබස් රචකයකු තෝරා ගැනීම. රජයේ චිත්‍රපට අංශයේ සිටි සුරේන්‍ද්‍ර එස්. වෙඩික්කාර, ගුවන් විදුලියේ වැඩ කරන නාට්‍ය රචකයකු වූ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා ගැන රෙකමදාරුවක් කළේය. කේ.ඒ.බඞ්ලිව්. (පසුව චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වුණ) ගුවන් විදුලියට රචනය කළ “ජීවිත සහතිකය” නම් රහස් පරීක්ෂක කතාව ඇසූ මම ඔහු රේඛාවේ දෙබස් ලිවීමට තෝරා ගත්තා. චිත්‍රපටයේ රඟපෑ ඩී.ආර්. නානායක්කාරත් ඔහුට උදව් කළා.


රජයේ චිත්‍රපට අංශයේ හිටිය කැමරා ශිල්පී විලී බ්ලේක් හා සංස්කරණ ශිල්පී ටයිටස් තොටවත්ත හා මම ද හොඳ චිත්‍රපටයක් හැදීමේ ආශාවෙන් පසු වුණේ. අපි තිදෙනාම හිතුවක්කාරයෝ. අලුත් දෙයක් සොයන අය. අපේ රැකියා පරදුවට තබා “හොද සිංහල චිත්‍රපටයක්” කිරීමේ අදිටනින් 1955 සැප්තැම්බර් 01 වෙනිදා රජයේ චිත්‍රපට අංශයෙන් අස් වුණා. ඒ කාලයේ මම පදිංචිව සිටියේ මොරටුව ලුනාවේ කළපුව අසල නිවසක. ඒ දවස්වල මට මොරිස් මයිනර් රථයක් තිබුණා. මේ රථය බැලීමට අවට සිටි පුංචි ළමයෙකු නිතර ආවා ගියා. ඔහුට විමසිලිමත් දෑසක් තිබුණා. ඔහු වයස 14ක් පමණ ඇති. මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ ඉගෙන ගත්තේ. ‘රේඛාවේ’ එන ප්‍රධාන ළමා නළුවාට මම ඔහු තෝරා ගත්තා. ඔහු චිත්‍රපටයේ සේන. අනිත් ළමා චරිතය අනුලා. 12 හැවිරිදි මර්ටල් ප්‍රනාන්දු 1953 තිර ගතවූ ‘පුදුම ලේලි’ චිත්‍රපටයේ රඟපා තිබුණා. ඇය කොම්පඤ්ඤවීදියේ හෝලි රොසරි පාසලේ 6 වැනි පන්තියේ ඉගෙන ගත්තේ. ලෙස්ටර් අතීත කතාව හෙළි කළේය.

24-Rasa-p3-7
ලෙස්ටර් වාර්තා චිත්‍රපටයක රඟපෑ Time Of Ceylon පත්‍රයේ කාන්තා පිටුව සංස්කරණය කළ පත්‍ර කාලාවේදිනියක් වූ අයිරාංගණී මීදෙණිය, ඉංග්‍රීසි වේදිකාවේ වින්සන්ට් සේරසිංහ, වේදිකාවේ හා සිනමාවේ පළපුරුදු ඩී.ආර්. නානායක්කාර, එන්.ආර්. ඩයස්, නෝනා සුබෙයිදා, මාෂල් පෙරේරා, රෝම්ලස් ද සිල්වා සෙසු චරිත සඳහා තෝරා ගත්හ. චිත්‍රපටයේ පෙම්වතා ලෙස “පොඩි පුතා” චිත්‍රපටයේ රඟපෑ ආනන්ද වීරකෝන් ද තෝරා ගත්තේය. එම චිත්‍රපටයේ පාල් මාපා ගුණරත්න, ශේෂා පලිහක්කාර, සුනිලා ජයන්ති, චන්ද්‍රා ඉලංගරත්න (වයමන්) ද රඟපෑහ.


“දවසක් රජයේ චිත්‍රපට අංශයේ වැඩ කළ තරුණයෙක් තම නැගණිය රඟපෑමට ආස බව නිතර නිතර මට මතක් කරනවා. හඟුරන්කෙත පදිංචිව සිටි ඇය මහනුවර යහපත් එfඬ්රාගේ කන්‍යාරාමයේ ඉගෙන ගත් ඬේසි මල්ලිකා පිලපිටිය. චිත්‍රපටයේ පෙම්වතිය ලෙස රඟපෑමට ඇය තෝරා ගත්තා. මල්ලිකා පිලපිටිය නමින් හඳුන්වා දුන් ඇය ටෙලි නාට්‍ය හා චිත්‍රපට නළු රොෂාන් පිලපිටියගේ මව. චිත්‍රපට නිෂ්පාදන කළමනාකරුවකු වූ ප්‍රේමනාත් මොරායස් මට දෙහිවල තරුණයෙක් එව්වේ රෙකමදාරු ලිපියක් සහිතව. ගාමිණී ෆොන්සේකා නම් පසු කලෙක විශිෂ්ට නළුවකු හා චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වූ ඔහු රේඛාවේ සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළ අතර ඔහුගේ මුල්ම චිත්‍රපටයක පෙනී සිටීම ද රේඛාවෙන් අවස්ථාව උදා වුණා.” ලෙස්ටර් කීවේය.


චිත්‍රපටයේ වැඩ කටයුතු කරද්දී දිනක් ගාමිණීගේ කකුල අසල තිබූ බැටරියක් වැදීම නිසා ඔහුගේ පාදයේ තුවාලයක් ඇතිවිය. දින කිහිපයක් වේදනාවෙන් පසු වූ ඔහුට රැවුල කැපීමට ද අතපසු විය. ඔහුගේ මුහුණේ තැනින් තැන වැඩුණු රැවුල් ගස් තිබුණි. විවේකයන් ලද මොහොතක අසල පොල් ගසක එල්ලූ පුංචි කණ්ණාඩි කෑල්ලක් ඉදිරියේ ගාමිණී රැවුල බෑමට සූදානම් විය. 


"Gamini dont shave, ශබ්දය ඇසී ගාමිණී පිටුපස බැලීය. ඒ හඬ ලෙස්ටර්ගේය. 

 

24-Rasa-p3-4

මංගල දැක්ම දා නළු නිළියන් සුගතදාස මහතා සමග

 


“අද ගන්න තියෙන්නේ සේනගෙන් බෙහෙත් ගන්න එන ලෙඞ්ඩුන්ගෙ සීන් එකක්. ඔයා දිහා බැලුවාම පෙනෙන්නෙ හරියටම ලෙඩෙක් වගෙ. ඔයත් අද ඒ සීන් එකේ රඟපානවා.”


රේඛාවේ ලෙඩුන් අතර ලෙඩෙක් විදිහට මුල් වරට රඟපාමින් ගාමිණී නළුවකු වීමට නියත විවරණ ලැබුවේ එදාය.


චිත්‍ර ලංකා සමාගම විසින් එංගලන්තයෙන් ගෙන්වන ලද ‘එරිෆෙලෙක්ස්’ කැමරාවක් රැගෙන ස්ටේෂන් වැගන් රියක ආම්පන්න පටවා මහ දවල්, කට්ට අවුවේ රේඛාවට අවශ්‍ය එළිමහන් දර්ශනවලට සුදුසු ස්ථාන සොයාගිය මේ පිරිසට එවකට සිනමාවේ නියුතු අය අවඥාවෙන් සිනාසුණහ.


“මොකටද? ඔච්චර අව්වේ පිච්චෙන්නෙ. එළිමහන් දර්ශන ටික මගේ නව ජීවන චිත්‍රාගාරයේ මම මවල දෙන්නම් කෝ.” යයි සිරිසේන විමලවීර ලෙස්ටර්ට කීය. ඔහු එසේ යෝජනා කළේ හුදු කරුණාවෙනි.


“නෑ මාස්ටර් අපි චිත්‍රාගාරයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා මේ චිත්‍රපටය කරන්නේ” ලෙස්ටර් පවසා ඇත.


“ඒක තමුසෙලාගේ වැඩක්. මම එක පොරොන්දුවක් දෙන්නම්. මගේ චිත්‍රාගාරය තමුසෙලාට ඕනෑ වෙලාවක විවෘතයි. මාත් කලාත්මක වැඩවලට කැමතියි.” විමලවීර මාස්ටර් කීවේය.


“අපි චිත්‍රපටයට අවශ්‍ය දර්ශන සොයමින් බණ්ඩාරවෙල, කැලණිය, අලව්ව, වෑවල ප්‍රදේශවලට ගියා. සරත් විජේසිංහ මහතාගේ නවතම මර්සිඩීස් බෙන්ස් රථයේ ගමන් කරමින් අපි ගිය ගමන හරිම රසවත්. මේ රථයේ පුංචි මත්පැන් බාර් එකක් (Mini Bar) තිබුණා. අපි ජොනීවෝකර් බ්ලැක් ලේබල් විස්කි සප්පායම් වෙමින් ගිය ඒ ගමන කිසිදා අමතක වන්නේ නෑ.

24-Rasa-p3-1

සෝමපාල ධර්මප්‍රිය සහ මර්ටල් ප්‍රනාන්දු

 


මේ චිත්‍රපටයට ගීත කිහිපයක් ඇතුළත් කිරීමට සිතූ මම සංගීත අධ්‍යක්‍ෂණය සඳහා සුනිල් ශාන්ත තෝරා ගැනීමට සිතුවා. මේ අදහස මම මිතුරෙකු මගින් සුනිල්ට යෝජනා කළා. සුනිල් හිතුවක්කාර, ආඩම්බරකාරයෙක්. අපේ යෝජනාව ඔහු ප්‍රතික්‍ෂේප කළේ “ඔය කසිකබල් චිත්‍රපටවලට මාව ගාව ගන්න එපා” කියලා. අපි මේ වෙලාවේ මර්සලීන් ජයකොඩි පියතුමාගේ පිහිට පැතුවා.


“සුනිල්ට මම ගීත ලිව්වට එයා අහංකාර අමුතු මිනිහෙක්. මුදල්වලට යට වෙන්නෙත් නෑ. උදව් ඉල්ලන්න ගිහින් මාවත් එළව ගනීද දන්නේ නෑ.” ජයකොඩි පියතුමා කීව්වා.


මගේ වදේට ජයකොඩි පියතුමා මාත් එක්ක සුනිල්ව බලන්න ජාඇළ ගෙදරට ගියා. සුනිල් අකමැත්තෙන් කතා කළේ. පස්සේ මෙහෙම කිව්වා.


“ෆාදර්, ඔය තරම් කියන නිසා මම වැඬේ බාර ගන්නම්. හැබැයි මගේ කොන්දේසි තුනක් තියෙනවා.”


“ඕනෑම කොන්දේසියකට අපි එකඟයි.” මට ඉබේම කියවුණා.


“මම ගීතවල තනු හදල දෙන්නම්. හැබැයි ඒවා ඉන්දියාවේ පටිගත කරන්න ඕනෑ. මට ඉන්දියාවට යන්න බෑ. කාට හරි කියලා සිංදුවලට සංගීතය යොදන්න. මගේ ගෝලයෙක් ඉන්නවා අයිවෝ ඩෙනිස් කියල. එයා ඒවට උදව් කරයි. අන්තිම ඉල්ලීම මේ ගීත ඔක්කොම ලියන්න ඕනෑ ෆාදර් ජයකොඩි.” 


සුනිල් කිව්ව විදිහට සංගීතඥ බී.එස්. පෙරේරා සුනිල්ගේ තනුවලට සංගීතය සංයෝජනය කළා. සිසිර සේනාරත්න, ඉන්ද්‍රානි විජේබණ්ඩාර, ලතා, තිලකසිරි ප්‍රනාන්දු, අයිවෝ ඩෙනිස් ගීත ගැයුවා. චිත්‍රපටයේ එන “අනුරාපුර, පොළොන්නරුව”, “සීගිරි ළඳකගේ මල් වට්ටියෙ ලා”, “ඕලු නෙළුම් නෙරිය රඟාලා”, “සුදු සඳ එළියේ”, “වෙසක් කැකුළු අතු අග හිද නටන විලාසේ”, “මිණි මුතු පසට යට වෙනවා යට වෙනවා” ගීත එදා අතිශයින් ජනප්‍රිය වුණා. වෙළෙඳ තැටිත් රාශියක් අලෙවි වුණා.” ලෙස්ටර් කීය.


චිත්‍රපටයේ මුල්ම දර්ශනය වූයේ ශේෂා පලිහක්කාර බොරු කකුල්කාරයකු මෙන් විරිදු කියමින් රිළවා කරේ තියාගෙන යන අවස්ථාවය. ඔහුගේ පිටුපසින් ළමුන් පිරිසක් ගමන් ගනී. මීට පෙර කිසි දිනෙක බොරු කකුලෙන් නොගිය ශේෂාට පුහුණුවක් දීමට පැමිණි තැනැත්තා කීවේ, මෙය අමාරු වැඩක්. අඩුම වශයෙන් මාස 6ක්වත් පුහුණු වීමක් ලබා දිය යුතු බවයි. දක්‍ෂ නැටුම් ශිල්පියකු වූ ශේෂා ‘මාතලන්’ චිත්‍රපටයේ රඟපාන විට කඩු හරඹද, කරණම් ද දැන සිටියේය. පොල් ගස් දෙකක් යාකොට ඇද තිබූ කඹයක ආධාරයෙන් ශේෂා පුහුණුව ලැබ එදිනම හවස ඔහු ඇවිදිනු දුටු පුහුණුකරු මවිතයට පත් වී ඇත. ශේෂාට අමාරු කාර්ය වී ඇත්තේ ඔහුගේ කරපිට නැග සිටි රිළවා මෙල්ල කර ගැනීමය. රිළවා අයිතිකාරයාට ඇරෙන්න ඌ කිසිවකුට මෙල්ල කර ගත හැකි නොවීය. මේ නිසා රිළවා ශේෂාගේ අත සපා කෑවේය.


මේ රිළවා, අයිතිකරු සමඟ දර්ශන තලයට ගෙන ආවේ බග් ෆියට් වැගන් රථයකිනි. ඌ අරක්කු බී පුරුදු සතෙකි. අරක්කු ඉල්ලා ඌ අයිතිකරුට කරදර කළේය. ඒ සේරටම වඩා ඌ රථයේ කැත කිරීම නිසා ඒවා සුද්ද පවිත්‍ර කිරීම සැමට කරදරයක් විය. 


රේඛාවේ සියලුම දර්ශන කැමරා ගත කළේ එළිමහනේය. ඒ නිසා කැමරාවෙන් රූප ගත කරන විටම ටේප් රැකෝඩරයක් එකවර ක්‍රියාත්මක වීමෙන් ඒ ඒ ශබ්ද එවෙලේම පටිගත කිරීමටත් උත්සාහ කර ඇත. එහෙත් බාහිර ශබ්ද නිසා එය කෙසේවත් පටිගත කර ගැනීමට නොහැකි විය. අනික් ශබ්ද කෙසේ වෙතත් කපුටන්ගේ ශබ්දය ඔවුනට ඉමහත් කරදරයක් විය. මේ නිසා දර්ශනයක් රූපගත කරන අවස්ථාවකම කපුටන් එළවීම සඳහා රුපියල් 400ක පමණ රතිඤ්ඤා පිපිරවීමට ඔවුනට සිදු විය.


චිත්‍රපටයේ එන අවසාන දර්ශනය රූපගත කොට ඇත්තේ ජේ.ආර්. ජයවර්ධන මහතාට අයිති කැලණියේ මානෙල් වත්තේ කලා අධ්‍යක්‍ෂ ටයිටස් තොටවත්ත නිර්මාණය කළ ගෙවල් කිහිපයක් සහිත වට පිටාවකය. ගිනි නිවන හමුදාවේ උපකරණවල උපකාරයෙන් කැලණි ගඟෙන් ගත් ජලයෙන් කෘතිම වැස්සක් මවා ඇත.


“අපිට රේඛාවේ පසුබිම් සංගීතය පටිගත කිරීමට පිහිට වූයේ සිරිසේන විමලවීර මාස්ටර්ය. ඔහුගේ කිරිබත්ගොඩ නව ජීවන චිත්‍රාගාරයේ දී පසුබිම් සංගීතය මෙහෙය වූයේ දක්‍ෂ සිතාර් වාදකයකුව සිටි කේ.ඒ. දයාරත්නයි. ඔහු මට හඳුන්වා දුන්නේ මගේ ඥාතියකු වූ දක්‍ෂ සංගීතඥයකු වූද සදානන්ද පට්ටිආරච්චියි. එදා සිදු වූ බලාපොරොත්තු නොවූ සිදුවීමක් මට කිසිදා අමතක වන්නේ නැහැ. සිංහල චිත්‍රපටයක පසුබිම් සංගීතය මෙහෙයවන ආකාරය දැක බලා ගැනීමට ඉන්දියානු පත්‍ර කලාවේදිනියක වූ කොබිතා සර්කාර් (Kobita Sarkar) හිටි හැටියේම කඩා වැදුණා නව ජීවන චිත්‍රාගාරයට.


“මට ආරංචි වුණා, ලංකාවේ අසාමාන්‍ය සිංහල චිත්‍රපටයක් ඔබ කරනවා කියලා. අපිට මේ චිත්‍රපටයේ පසුබිම් සංගීතය මෙහෙයවන ආකාරය බලන්න අවසර දෙනවද?” ඇය මගෙන් ඇසුවා. මම ඇයට අවසර දුන්නා. 


ඉන්දියාවට ගිය කොබිතා සර්කාර් ‘රේඛාව’ ගැන විශේෂ ලිපියක් Illustrated Weekly of India ෂබාස් සඟරාවට ලිව්වා. ලෙස්ටර් අපට කීය.


‘චිත්‍ර ලංකා’ සමාගමේ සභාපති සරත් විජේසිංහ මහතා පූර්ණ කාලීනව දේශපාලනයට යොමු වීම හේතුවෙන් පැමිණි අලුත් සභාපති ‘රේඛාවට’ මුදල් යෙදවීමට අදිමදි කිරීම නිසා ලෙස්ටර් බැරෑරුම් තත්ත්වයකට පත්විය. සිලෝන් තියටර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සර් චිත්තම්පලම් ඒ. ගාඞ්නර් මහතාගෙන් ලෙස්ටර් උපකාර ඉල්ලීය. ඔවුන් සංස්කරණය කර තිබූ රීල් 6කින් යුතු දළ මුද්‍රණ පිටපත නැරඹීමට ඔහු එකඟ වී ඇත. ලෙස්ටර් මේ අවස්ථාව “දේව හාස්කමක්” කොට සලකයි. 


“අපේ දෛවය කොයි අත පෙරළේදැයි විසඳෙන්නේ සර් ගාඩිනර්ගේ කැමැත්ත මතයි. එක් උදෑසනක සර් ගාඩිනර් තම බිරිඳ සමග රීගල් සිනමාහලට පැමිණ විශේෂ කුටියකට (Box) ගියා. විලී, ටයිටස් හා මා පහළ මාලයේ අසුන් ගත්තා. එය අඳුරු සිහින් පොද සහිත මලානික උදෑසනක්. සර් ගාඩිනර් පහළ බැස, “කරුණාකර මගේ කාර්යාලයට එන්න” මෘදු හඬින් කීවා.


“මම චිත්‍රලංකා සමාගමටත්, ඔබේ උත්සාහයත් සලකා උදව්වක් කරන්නම්” ඔහු සිනා සෙමින් චෙක් පොත පෙරළුවේය. රුපියල් 25,000 චෙක්පත මා අත තැබීය.


‘රේඛාව’ චිත්‍රපටය 1956 දෙසැම්බර් 28 වෙනිදා සිලෝන් තියටර්ස් සමාගමේ සිනමාහල්වල තිරගත විය. එදිනම මංගල දර්ශනයට රීගල් සිනමාහලේදී අග්‍රාමාත්‍ය ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාත්, කොළඹ නගරාධිපති වී.ඒ. සුගතදාස මහතාත් සහභාගි වූහ.


“මාස පහළොවක් තිස්සේ මහන්සි වී හැදූ ‘රේඛාව’ මම එල්පින්ස්ටන් සිනමාහලේ බැලුවේ නරඹන්නන් වැඩිපුර චිත්‍රපට නරඹන ගැලරියේ සිටයි. චිත්‍රපටය බලලා එළියට එන ප්‍රේක්‍ෂකයන් සමග ගැටි ගැටී මම එළියට ආවේ ඔවුන්ගේ අදහස් දැන ගන්න අදහසින්.”


මොන ජරාවක්දැයි, එක් ප්‍රේක්‍ෂකයෙක් අනෙකාට කිව්වා.


“අපරාදේ, මේකට දුන්න සල්ලිවලින් කපුටන්ට ආප්ප අරන් දුන්නා නම් මීට වැඩිය හොඳයි.” තව ප්‍රේක්‍ෂකයෙක් හැමෝටම ඇහෙන්න කිව්වා.
ලෙස්ටර් මේ සියල්ල අපට කිව්වේ බඩ අල්ලාගෙන සිනාසෙමිනි.


මුලින්ම විදේශ රටක චිත්‍රපට උළෙලක තිර ගත වූ ප්‍රථම චිත්‍රපටය ‘රේඛාව’ය. ඕස්ටේ්‍රලියාවේ පැවති ආසියානු චිත්‍රපට උළෙලේ එය තිරගත කර වූයේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලංකා ශිෂ්‍ය සංගමය විසිනි. 1958 එඩින්බරෝ චිත්‍රපට උළෙල, 1958 ස්ටැෆර්ඞ් චිත්‍රපට උළෙල ලංකාව නියෝජනය කරමින් ‘රේඛාව’ තිරගත වී ඇත. රේඛාව ප්‍රංශය, පෝලන්තය, ඉතාලිය යන රටවල රූපවාහිනී සඳහා විකාශනය වී ඇත. එක රටකින් ඩොලර් 2000ක් පමණ මුදලක් ලැබී ඇත. එකල ඇමෙරිකන් ඩොලරයක මිල රුපියල් 6කි. රේඛාව තිර ගත වී මාස හතරකින් පමණ පසු ‘ලංකාදීප’ පත්‍රය සංවිධානය කළ දීපශිඛා චිත්‍රපට තරගයෙන් රේඛාවට සම්මාන 2ක් හිමි වී ඇත. හොඳම චිත්‍රපටය ලෙස ‘රේඛාව’ත්, (මේ සම්මානය ලෙස්ටර් ලබාගෙන ඇත) හොඳම නිළිය ලෙස රේඛාවේ කතරිනාහාමි ලෙස රඟපෑ අයිරාංගනී මීදෙණිය ද මේ සම්මානය ලබා ගත්හ. මේ අනුව ‘රේඛාව’ මුලින් පුදා ඇත්තේ “ලංකාදීප” පත්‍රයයි. 


හැට වසරකට පෙර රේඛාවට රංගනයෙන් දායක වූ සෝමපාල ධර්මප්‍රිය, මර්ටල් ප්‍රනාන්දු, ශේෂා පලිහක්කාර, ඩී.ආර්. නානායක්කාර, ඇන්.ආර් ඩයස්, නෝනා සුබෙයිදා, වින්සන්ට් සේරසිංහ, දොස්තර ලෙස රඟපෑ පාල් මාපා ගුණරත්න, රොම්ලස් ද සිල්වා, මාෂල් පෙරේරා, චන්ද්‍රා ඉලංගරත්න (වයමන්) ද, කැමරා ශිල්පී විලී බ්ලේක් ද, සංස්කරණ ශිල්පී ටයිටස් තොටවත්ත ද, ගී තනු නිර්මාණය කළ සුනිල් සාන්ත ද, ගීත සඳහා සංගීතය මෙහෙයවූ බී.එස්. පෙරේරා ද, ගීත රචනය කළ මර්සලීන් ජයකොඩි පියතුමා ද, පසුබිම් සංගීතය මෙහෙයවූ විශාරද කේ.ඒ දයාරත්න ද, සහාය අධ්‍යක්‍ෂවරුන් වූ විජය අබයදේව හා ගාමිණී ෆොන්සේකා ද, ගී ගායනා කළ තිලකසිරි ප්‍රනාන්දු, සිසිර සේනාරත්න ද අද අප අතර නැත.

m



අදහස් (0)

සිනමා අඹරේ රිදී රේඛාවට වසර 60 යි

මංජුල Tuesday, 27 December 2016 09:10 AM

එදා දවස මොනතරම් සුන්දරද? "රේඛාව" වගේම හොඳ ලිපියක් (නි)

:       0       0

රුෂාන් Thursday, 29 December 2016 03:31 AM

දැන් හැදෙන චිත්‍රපට දිහා බැලුවම මේ චිත්‍රපටිය මොනතරම් අගනා නිර්මාණයක්ද කියල හිතෙනවා. (නි)

:       0       0

රත්න Wednesday, 28 December 2016 09:37 AM

ලේඛක තුමාටත් රේඛාවට දායක වූ සැමට ස්තුතියි. අගනා ලිපියකි. (බ)

:       0       0

නිමල් රාජපක්ෂ Thursday, 29 December 2016 10:58 PM

1986 වගේ කාලෙක මට ශේෂා මහනුවරදී හමුවුණා. ඒ වනවිට ඔහු පදිංචි වෙලා හිටියේ වත්තේගම. මට පුදුම හිතුන මේ මොනතරම් වටිනා මිනිහෙක්ද කියලා. හරිම සරල ගති ඇති මනුස්සකමින් පිරි චරිතයක් (නි)

:       0       0

යෙනුර Wednesday, 28 December 2016 07:08 PM

හොඳ ලිපියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 69 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 399 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1024 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1512 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 245 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 455 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site