IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සුනිල් මාධව එදා!!!

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ චිත්‍ර කලාව ඉගෙන ගත් ශිෂ්‍යාවක් කවියටත් කවි ලිවීමටත් ආදරය කළාය. එහෙත් ඒවා පත්‍රයක පළ කර ගැනීමට දන්නා හඳුනන කිසිවකු සිටියේ නැත. මේ අතර ලක්දිව පත්‍රයේ කවි පිටුව කරන්නේ රෝහිත භාෂණ නම් තරුණ කවියා බව ඇය දැන ගත්තාය. රාජගිරියේ පදිංචිව සිටි ඇය දිනක් බොරැල්ල හන්දියෙන් බැස එහි පිහිටි සුපර් මාර්කට් එකේ උඩු මහලේ පිහිටි ලක්දිව කාර්යාලයට ගියේ පද්‍ය සංකල්පනා කිහිපයක්ද රැගෙනය. මේ 1990 දී පමණය. ඇය භාෂණගේ මේසය ඉදිරිපිට ඇති පුටුවේ හිඳ ගත්තාය. ඇගේ වම් පැත්තේ තිබූ කාමරයක සිටියේ ඇගේ පරමාදර්ශී කවියා වූ සුනිල් මාධව ප්‍රේමතිලකය. ඔහු තමා දෙස විටින් විට බලනු ඇගේ නෙත් අගින් දුටුවාය.

මේ අතර සුනිල් මාධවයි. ප්‍රවීණ ලේඛකයකු වූ හෙන්රි වර්ණකුලසූරියයි මහනුවර ගමනක් ගිය අවස්ථාවක හැන්දෑවේ නිසංසලේ සිටියදී කතාවක සාකච්ඡාවේ මාතෘකාව වූයේ විවාහය යි.

‘සුනිල් අයියා විවාහයක් කර ගත්තොත් නරකද?’ හෙන්රි ඇසීය.

‘අපේ පත්තරේට කවි අරන් භාෂණ ගාවට එන කෙල්ල මනෝරා. ඒ වගේ කෙල්ලෙක් ලැබුණොත් බඳිනවා’

සුනිලුන්ගේ සිත බැඳගත් මනෝරා දිනක් ලක්දිව කාර්යාලයට ගිය සිද්ධියක් අපට කියා තිබුණේය.

‘ලක්දිව පත්තර කන්තෝරුව තිබුණේ බොරැල්ල සුපර් මාකට් එකේ උඩ තට්ටුවේ. ලක්දිව පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ ඩලස් අලහප්පෙරුම අයියා (අද මාධ්‍ය ඇමැති) මට කිව්වා නංගි උඩ තට්ටුවේ සාප්පුවක අලුතින් ආව කමිස වගයක් තියෙනවා. ඔයා හොඳ ෂර්ට් එකක් තෝරලා දෙන්න. ඔයා ආට්ස් කෙනෙක් නේ කියලා. අපි සාප්පුවට ගියා. මම හොඳ කමිසයක් තෝරලා දුන්නා.

‘අපි සුනිල්ටත් කමිසයක් තෝරා ගමු.’ ඩලස් අයියා කිව්වා.

මම පසුදාත් ලක්දිව පත්‍ර කාර්යාලයට ගියා. මම තෝරල දුන්න කමිසය සුනිල් අයියා ඇඳගෙන ඉන්නවා. මම එයාට තෝරල දුන්නේ ඩබල් පොකට් තියෙන රතු පාටට හුරු එයාට ගැලපෙන කමිසයක්. මම භාෂිත එනතුරු සැටියක වාඩිවෙලා හිටියා. සුනිල් අයියා ඩලස් අයියා එක්ක කතා කර හිටියා. ඩලස් අයියාට කමිස තෝරා දීමෙන් කළේ මාත් සුනිල් අයියාත් එක් කිරීමට උපක්‍රමයක් බව මට අවබෝධ වුණා.

ටික වේලාවකින් ඔන්න මම ඉඳගෙන හිටිය සැටියෙ ඉඳ ගත්තා. අපි කවි ගැන කතා කළා.

‘සුනිල් අයියා දන්නේ නැතිව ඇති ඔයා සංස්කරණය කරපු දිවයිනේ 8 වැනි පිටුවට කවි ලිව්වාය. ඒව පළ වුණා.  මම එතකොට කවි ලිව්වේ මනෝරා ප්‍රශානි තෙල්මා නමින්. එතකොට මම පාසලේ උසස් පෙළ ඉගෙන ගන්නවා.

‘ඔයා වගේ කී දෙනෙකුගේ හොඳ කවි 8 පිටුවේ පළ වෙලා ඇද්ද?.’

ටික වේලාවක් ගියා. භාෂණ මඳ හිනාවක්ද දාගෙන ඩලස් අයියා ගාවට ගිහින් කතාව.

‘මනෝරා නංගි අපි දෙන්න විවාහ වෙමුද’

මට ඉන්න තැනත් අමතක වුණා. මොකක්ද සිද්ධ වෙන්න යන්නේ.

මට හා කැමතියි කියවුණා. සුනිල් අයියගෙ මුහුණේ සිනා මල් පිරිලා. 1992 අපි විවාහ වුණා.

ඒ සුනිල් මාධව ප්‍රේමතිලකගේ ප්‍රේම කතාවයි.

මනෝරා කලක් ලේක් හවුස් හි නවයුගය සඟරාවේ සහකාර කතුවරියක් ලෙස කටයුතු කොට දැනට අරුණ පත්‍රයේ මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කරන්නීය.

සුනිල් මාධවගේ පත්‍ර කලා ජීවිතයේ මුල්ට හැරවුම් ලක්ෂ්‍යය වූයේ ඔහු සිළුමිණ සංස්කරණය කළ හදවත ඇඳි ගී කවි පිටුවය. නිසඳැස් කවි ජනප්‍රිය වූ එකල ලංකාවේ ප්‍රථම කවි පිටුව එය විය. එකල සිළුමිණ පත්‍රයේ සුනිල්ගේ මේසය වටා නිතර නිතර ගැවසුණු අය අතර දයාසේන ගුණසිංහ, සුනන්ද මහේන්ද්‍ර ඔගස්ටස් විනයාගරත්නම්, නාමෙල් වීරමුණි, ධම්ම ජාගොඩ ඇතුළු පිරිසක් වූහ.

දිනක් සිළුමිණ චිත්‍ර ශිල්පියා වූ තලංගම ජයසිංහ සුනිල් ළඟට ආවේය.

‘මචං උඹෙ කවි පිටුවේ කවියක් දා ගන්න නාවලපිටිය පැත්තේ කොල්ලෙක් ඇවිත් ඉන්නවා. පොඩ්ඩක් කතා කරනවද?’

‘එන්න කියපං මචං කවිය හොඳ නම් දාන්නම්’

තරුණයාගේ කවිය හොඳ නිසා සුනිල් එය පළ කර දුන්නේය. ආර්.ආර්. සමරකෝන්ගේ නම මුල් වරට පළ වුණේ එදාය. රත්නපුරේ සිට සුනිල්ගේ කවි පිටුවට කවි එවූ තරුණයෙක් විය. සුනිල් ඒ කවි පළ කළා පමණක් නොව ඔහුට තමා හමුවීමට එන ලෙස කියා තැපැල්පතක් යැවීය. ඔහු පැමිණියේ තව කවි ටිකක් ලියා ගෙනය. ඒ පරාක්‍රම කොඩිතුවක්කු ය.

තම ජීවිත අත්දැකීම් ලියූ සුනිල් වරක් මෙසේ ලියා තිබුණි.

‘දිනක් බැලූ බැල්මට සුන්දර යැයි කියා සිතෙනා පුද්ගලයෙක් සිනාසෙමින් මා වෙත ආවේය.

‘සුනිල් මාත් කවියක් ලිව්වා. ඔයාගේ පිටුවට හොඳනම් දාන්න’

ඔහු කවිය අතට දුන්නේය. මේ මිනිසා මගේ ජීවිතය තරමක් දුරට හෝ වෙනස් කළ කෙනෙකි. ඔහු මහගම සේකරය. ප්‍රීති ප්‍රීති ජීවිතේ යන කවියට හැඩ වැඩ දමන්නට මාත් ජේම්ස් බාස් උන්නැහේ මොන තරම් ඊයම් කැලි කැපුවේ දැයි මට කිව නොහැකි විය.

එදා පාසල් ශිෂ්‍යයන් වූ අපි සුනිල්ගේ හදවත ඇඳී ගී පිටුව කියවීමට පුල පුලා සිටියෙමු. ඒ පිටුවට තලංගම ජයසිංහ අඳින ලද නිර්මාණාත්මක චිත්‍ර ද මට ආස්වාදයක් විය.

සුනිල්ගේ කවිකම මතුවන්නේ ආනන්දයේ ජනතා පත්‍රයෙනි. සිබිල් වෙත්තසිංහ සංස්කරණය කළ ජනතා කුමාර මණ්ඩපයට පොඩි නංගී ගැන ලියූ කවියකිනි. ඒ පසුකලෙක ආනන්දය නම් විද්‍යාලයීය සඟරාව සංස්කරණය කළේ සුනිල් හා දයාවංශ ජයකොඩි (ප්‍රකට පොත් ප්‍රකාශක) විසිනි. කොළඹ ආනන්දයට ඒමට පෙර හොරණ තක්ෂිලා විදුහලටත් කොට්ටාවේ ආනන්ද විදුහලටත් මහරගම විද්‍යාකර විද්‍යාලයටත් ගියේය. එහෙත් කොළඹ ආනන්දයේ දී ලත් අත්දැකීමක් මෙසේ ලියා තිබුණි.

‘මට අතීතය මතක් වන විට හිතට දැනෙන්නේ සිහින් සෝබර ආස්වාදයකි. එකල ආනන්ද බෝඩිමේ සිටි ගුරුවරු සියල්ලෝම මා කරදරකාරයකු බව තේරුම් ගෙන සිටියහ. අපට බුද්ධාගම ඉගැන්වීමට පැමිණි කොටගම වාචිස්සර හාමුදුරුවන්ට (පසුව මහාචාර්ය) අප ගරු කළේ බුදු හාමුදුරුවන්ට මෙන්ය. උන්වහන්සේද අඩි හයක් පමණ උස ඉතාම ප්‍රිය මනාප ස්වාමීන් වහන්සේ නමකි. පන්තියේ අන්තිම පුටු පේළියේ සිටි මම උන්වහන්සේ උගන්වන අවස්ථාවලදී මොකක්දෝ ශබ්දයක් කොට විහිළුවක් කළෙමි. හාමුදුරුවෝ හෙමිහිට මා අසලට පැමිණි අතර ලෝකයේ තියෙන වේගවත්ම කම්මුල් පහර මට ගැසූහ. මා හතරගාතයෙන් බිම ඇද වැටිණ. හාමුදුරුවන්ගේ දෑතින්ම මා ඔසොවා ගන්නා විට උන්වහන්සේ ගේ දෑසින් වැටී කම්මුල දිගේ ගලා ආ කඳුළු මම දුටුවෙමි. මොනතරම් සංවේදී සැබෑ මනුෂ්‍යයෙක්ද?

සරසවිය පුවත්පත ආරම්භ කර ඇත්තේ 1963-04-10 සුනිල් මාධව ලේක් හවුස් ආයතනයට ගොස් දින කීපයකට පසුවලු. තාත්තා මීමන ප්‍රේමතිලක නැකතට ප්‍රථම ලිපිය සකස් කරද්දී විමලසිරි පෙරේරාත් කාර්තේලිස් බාස් උන්නැහේත් දෙපැත්තෙන් සිටගෙන සිටින ඡායාරූපයක් සුනිල්ගේ ගෙදර එල්ලා තිබුණි. සරසවිය පත්‍රයට සුනිල් මුලින්ම ලියා ඇත්තේ කුරුල්ලන් ගැන පුංචි ලිපියකි. එදා පත්‍රය නැකතට මුද්‍රණය කරන උදාවෙත්ම සිළුමිණ පුවත්පතේ කර්තෘ මීමන ප්‍රේමතිලකගේ කාර්යාල සහායක පියසේන දුව ගෙන ඇවිත් අන්න ලොක්කා බබාට (ලේක්හවුස් ඇතැම් සේවකයන් සුනිල් අමතා ඇත්තේ ඒ නමින්ය). එන්න කියනවා. ලොක්කා කීවේ ලේක් හවුසියේ කර්තෘ මණ්‍ඩල අධ්‍යක්ෂ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාටය. මේ අවස්ථාව සුනිල් තමා විසින් ලියූ නොනිමි ජීවිත කතාව කෘතියේ මෙසේ සඳහන් කරයි.

නැකතට විශාල රොටරි යන්ත්‍රයේ බොත්තම තදවිය. එය කවුරුන් කළා දැයි මා දුටුවේ නැත. මහ හඬක් නගමින් යන්ත්‍රය ක්‍රියාත්මක වී සරසවිය පත්තරය එළියට ආවේය. කිරිබත් පිඟාන අතේ තබාගෙන එස්මන්ඩ් වික්‍රමසිංහ මා ළඟට පැමිණියේය.

කන්න පළමුවෙනි කිරිබත් කෑල්ල. මම කිසිවක් අදහාගත නොහැකිව කිරිබත් කෑල්ලක් අතට ගත්තෙමි.

‘හී ඉස් ද නෙක්ස්ට් මෑන්’ (ඔහු තමයි ඊළඟ මිනිහා) එස්මන්ඩ් ලේක් හවුස් සභාපති රංජිත් විජයවර්ධන මහතාට කීවේය. තාත්තාගේ මුහුණේ මහත් ආඩම්බරයක් ඇති වූ බව මම දුටුවෙමි. එහෙත් මා තවත් මීමන ප්‍රේමතිලක කෙනෙකු වූයේ නැත.

සරසවිය පත්‍රය රංජිත් විජයවර්ධන මහතාගේ අදහසක ප්‍රතිඵලයක් බව මීමන ප්‍රේමතිලක විසින් ලියූ මගේ ප්‍රේමය කලාව හා ජීවිතය පොතේ සඳහන් වෙයි.

සුනිල් සිළුමිණට අනුයුක්ත කොට පියා විසින් බාරදී ඇත්තේ විශේෂාංග කර්තෘ බෙනඩික්ට් දොඩම්පෙගමටය. ‘බෙන් මෙන්න කොල්ල උඹට බාරයි’ කියාය. එකල සිළුමිණ පත්‍රයේ වෙ.වි. අභයගුණවර්ධන, එච්.කේ. මහින්දදාස. ඩී.එෆ්. කාරියකරවන තලංගම ජයසිංහ නිමල් පෙරේරා අබේවර්ධන වැනි වැඩිහිටි පත්‍ර කලාවේදීන්ද පසු කලෙක ඩයස් ගුණරත්න (මහාචාර්ය) පර්සි ජයකාන්ත, පී.බී. ඉලංගසිංහ රාජා පෙරේරා ද සුනිල්ගේ මිතුරෝ වූහ. ගාමිණී වින්ස්ටන් වොලී පෙරේරා වර්ණන් ෆොන්සේකා, හෙක්ටර් සුමතිපාල මිතුරෝ වූ බව සුනිල් කියා තිබුණි.

සුනිල් ආනන්දයේ අපට ඉහළ සිට පාසලින් අස්වී ලේක්හවුසියට ගියේය. ඔහු සොහොයුරු සරත් ප්‍රේමතිලක හිටපු ක්‍රීඩා කර්තෘ අප සමකාලීන පන්ති සගයන් වුවද කතා බහ කිරීමට පෙරම පාසල හැර ලේක් හවුසියට බැඳුණි. සරත් ඒ කාලේ සිකුරු තරුව චිත්‍රපටයේ පුණ්‍යා හීන්දෙණියගේ සොහොයුරා මෙන් රඟපෑම අපට ආස්වාදයක් දනවන කරුණක් විය. පසු කලෙක සරත් තම අයියා ගැන කී කතා අපට විශ්වාස කිරීමට පවා නොහැකි ලෙස මා විස්මයට පත් කළේය.

තම අයියා පාසල් යන කාලේ දුම්බීමට අකමැති දුම් බොන අයටත් විරෝධය පා ඇති බවත් දිනක් බස් එකේ ආසන ළඟ සිටි මගියෙක් දෙස පිළිකුලෙන් බලා ගෙදර ඇවිත් අම්මේ මේ බලන්න මගේ ෂර්ට් එක සිගරට් ගඳයි. මගේ ගාව බස් එකේ සිටි යකෙක් සිගරට් බිව්වේ නෑ කෑවා. කියා ඇති බවය. බියර් එකක්වත් නොබිවූ ජැන්ඩිය ඇඳ පැළඳ චිත්‍රපට නළුවකු ලෙස ඇවිද්ද අයියාගේ හදිසි වෙනස තමාට තේරුම් ගැනීමට බැරි බව සරත් කීවේය.

ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි අපි (රංජිත් ලාල් හා මමත් පන්ති සගයන්) ලංකාවේ පාසල් සිසුන් නිපදවන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය වූ නිම්වළල්ල සඳහා මගේ යෝජනාවක් අනුව චිත්‍රපට කතාවක් ලියා දෙන සුනිල් මාධව සොයා 1968 වසරේ ලේක් හවුසියට ගියෙමු. ඒ අවස්ථාව සුනිල් තම නොනිමි ජීවිත කතාව කෘතියේ මෙසේ සඳහන් කරයි.

තාත්තාගේ මරණයෙන් ටික කලකට පසු ආනන්ද විදුහලේ ශිෂ්‍යයන් පිරිසක් මා හමුවීමට ලේක් හවුසියට පැමිණියෝය. ඒ පණිවිඩය මට කීවේ ගේට්ටුවේ සිටි කල්දේරාය.

සුනිල් මහත්තයා ඔයාගේ ඉස්කෝලෙ ළමයි ටිකක් ඔයාව හම්බවෙන්න ඇවිත් ඉන්නවා.

ආනන්දයට වගේම මම හිටපු ආනන්දනීයයන්ටත් එහි ඉගෙන ගන්නා සිසුන්ටත් මම ආදරය කරමි.

මම පහළට ගිය විට දිග සැටියේ ඉඳගෙන සිරි තරුණයෝ තිදෙනෙක් මා දුටු මොහොතේම නැගිට ඔවුන්ගේ දෑත් දිගුකොට මගේ අත්දෙක අල්ලා ගත්තා. තවම හරියට රැවුලවත් නැති පොඩි කොල්ලෝ කිසිවක් කතා කිරීමට පෙර මා ඔවුන් සමග කැන්ටිමට ගොස් දිවුල් කිරි බිව් හැටි අද මෙන් මට මතකය.

සුනිල් මම රංජිත් කුමාර මේ රංජිත් ලාල් මේ ඩිල්මා ජයරත්න. අපි ආවේ ලොකු වැඩක් ගැන කතා කරන්න.

මොකක්ද බන් ලොකු වැඩක් කිව්වෙ.

‘ඔයාට මතක ද ඒ කාලෙ වෙර කියලා කෙටි චිත්‍රපටයක් හැදුව. ඒක කළෙත් අපි මේ රංජිත් ලාල් තමයි අධ්‍යක්ෂ. අපි තව චිත්‍රපටයක් කරන්න තීරණය කරලා තියෙනවා. ඒක කෙටි චිත්‍රපටයක් නෙවෙයි.

නියමයි මචං නියමයි. මාත් චිත්‍රපටවලට ආසයි. හොඳ චිත්‍රපට බලලා තියෙනවා. සිනමාව ගැන පොත් පතුත් කියවලා තියෙනවා. ඉතින් උඹලට මගෙන් කෙරෙන්න ඕනේ මොකක්ද ඕන දෙයක් කියපල්ලා. ආනන්දේ කොල්ලන්ට උදව්වක් කරන්න ලැබීමත් වාසනාවක්.

ඔවුහු එකිනෙකාගේ මුහුණ බලමින් සිනාසෙන්නට පටන් ගත්හ.

නැහැ සුනිල් අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම උදව්වක් නෙවෙයි. ඔයත් මේකට සම්බන්ධ වෙන්න ඕනෑ. මම පුදුමයෙන් ඔවුන් ඔවුන් දෙස බැලුවෙමි.

ඉන්පසු කිහිපවරක් අපි හමුවුණෙමු. එහෙත් අප කළේ දිවුල්කිරි බොමින් නොවේ. තම ජීවිතයේ අත්දැකීම් ගැන රංජිත් කුමාර ලියූ පොතේ ඒ ගැන සඳහන් කර තිබිණි.

අපිට බියර් බොන්න පුරුදු කළේ සුනිල් තමයි.

(පිටු 52 සහ 53)

එදා සුනිල් ලියූ නිම් වළල්ල චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට සුදුසු අමරසිරි කලන්සූරිය බව කීවේය. එහෙත් අධ්‍යක්ෂවරයා කලංසූරිය තෝරාගත්තේ වෙනත් චරිතයක් සඳහාය.

නිම්වළල්ල 1970 නොවැම්බර් 18 වැනිදා සිට සිලෝන් තියටරස් සිනමා ශාලාවල තිරගත විය. චිත්‍රපටය බලා දිනමිණ පත්‍රයට විචාරයක් ලිව්වේ ප්‍රධාන කර්තෘ එස්. සුබසිංහ මහතාය. ඔහු ජනතා හා සිළුමිණ පත්‍රවල පනහ දශකයේ විචාර ලියූ විචාරකයෙකි. සුබසිංහ මහතාද ආදි ආනන්දයකු නිසා මේ විචාරය ඔහු විසින්ම ලියන්න හිතුවා විය හැකිය. එහි කොටසකි මේ.

අධ්‍යක්ෂක රංජිත් ලාල් කතා රචක සුනිල් මාධව ප්‍රේමතිලක කලා අධ්‍යක්ෂ රංජිත් කුමාර සහ කැමරා මෙහෙය වූ ඩිල්මන් ජයරත්න අතරින් මගේ මනසෙහි මැවී පෙනෙන්නේ ලාබාල ගැටවරයන් හතර දෙනෙකු මෙන් නොව ජීවිතය ගැන පුළුල් අත්දැකීම් ලත් විවේක බුද්ධියක් හා අවබෝධඥානයෙන් යුතුව සානුකම්පිතව සමාජ ප්‍රශ්න දෙස බලන වෘද්ධයන් හතර දෙනකු ලෙසය.

‘සුනිල් මාධව ප්‍රේමතිලක ගැන අපි කොතෙකුත් කතා අසා තිබුණි.

‘සුනිල් උඹට හුස්ම ගන්නා පෑනක් දුන්නේ කවුරුන්දැයි කවදා හෝ දවසක අපට කියාපන්.’

‘උඹේ පෑනේ තීන්ත ඉවර වුණ දාක උඹට ලියන්නට අපි ලේ දෙන්නම්.

කුමන පැත්තකින් බැලුවත් සුනිල් අයියා ගැන මට කියන්න තියෙන්නේ එකම වාක්‍යයයි. මට ජීවිතයේ හමුවූ සුන්දරම මිනිහා ඔහුය.

මේ බස් ඇසූ සුනිල් මාධව මෙසේ කියා තිබුණි.

සමු ගැනීමට පෙර නුඹලාට එක දෙයක් කියන්නම්. කිරි දරුවකුගේ ඉකි බිඳුමත්, විමුක්තිකාමියෙකුගේ සටන් පාඨයත් අවන්හලක කන්දොස්කිරියාවත් මට ගෙන දුන්නේ එකම සුන්දරත්වයකි. එය චයිකොවිස්කිගේ සංගීත රාවයකි. මායාකොවිස්කිගේ ගීතයකි.

රායිගේ සිනමා පටයකි. ඉතින් මිත්‍රවරුනි නුඹලාට ස්තුතියි. මගේ කාර්යය මා කරන්නම්. වඩාත් සාධාරණ වූ වඩාත් යුක්තිගරුක වූ සමාජයක් බිහිවුණ දාක අපි නැවත හමුවෙමු.

(*** රංජිත් කුමාර)



අදහස් (1)

සුනිල් මාධව එදා!!!

මැක්ස් Saturday, 26 February 2022 10:02 AM

තම පැරණි සගයන් පිළිබද ඒ. ඩී. රන්ජිත් කුමාර මහතා ලියන ලිපිවල තිබෙන සුපුරුදු රස නම් නැහැ. තම අත්දැකීම්වලට වඩා වෙනත් අය විසින් ලියූ පොත්පත් සහ පුවත්පත් රචනාවලින් ලිපියට අවශ්‍ය කරුණු කාරණා ලබා ගත නිසා දැයි නොදනිමි.

:       1       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 320 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 945 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1430 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 224 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 440 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 608 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site