IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සප්තකන්‍යාවේ ගුවන්යානා අනතුරේ මතකය

දිනය 1974 දෙසැම්බර් 04දායි. වේලාව රාත‍්‍රී දහය පසුවිය. සමනල කදුවැටිය පාමුල මස්කෙළිය, නල්ලතන්නිය, නොර්වුඞ් ආදී ප‍්‍රදේශවල ජනතාවගෙන් වැඩි දෙනෙක් නින්දේ පසුවූහ. එදා අද මෙන් විදුලි ආලෝකය නිවෙස්වලට නොතිබුණු නිසා ප‍්‍රදේශය පුරා පැතිර තිබුණේ ඝන අන්ධකාරයකි. බොහෝ නිවාසවල අදුර මැකුවේ කුප්පි ලාම්පු එළියෙනි. අද මෙන් රූපවාහිනී සේවාවන් නොතිබූ නිසා සෑම නිවසකම පාහේ රාත‍්‍රී නවයෙන් පසු ජනයා නින්දට යාම පුරුද්දක් කරගෙන තිබුණි. නින්දේ පසුවූ බොහෝ දෙනෙකු එකවරම ජීවිතයේ නොඇසූ මහා ශබ්දයකින් තිගැස්සී අවදිවූහ.  ඒ  හඬ ඇසී මොහොතකින් පසු මහා පිපිරුම් ශබ්දයකුත් ඔවුන්ට ඇසෙන්නට ගතවූයේ නිමේෂයකි. ලංකාවේ විදුලි උත්පාදනය කරන ප‍්‍රධාන බලාගාරවලට ජලය සැපයූ මාඋස්සාකැලේ සහ කාසල්රි ජලාශ පිහිටා ඇත්තේ ද මේ අවට ප‍්‍රදේශයේය. ලක්ෂපාන හා පොල්පිටිය විදුලිබලාගාර දෙක පිහිටා ඇත්තේද ඒවාට ජලය ගෙනයන උමං මාර්ගයද පිහිටා ඇත්තේද මේ ප‍්‍රදේශයේය. සිදුවූ සිදුවීමෙන් ප‍්‍රදේශයේ වෙසෙන වතුවල ජීවත් වූ දෙමළ ජනතාව මෙන්ම සිංහල ජනතාවත් තුෂ්නිම්භූතවය. තොරතුරක් දැන අසාගන්නට අද මෙන් සන්නිවේදන පහසුකමක් නැත. මේ අතර මස්කෙලියේ සිට පොල්පිටිය විදුලි බලාගාරය හරහා අවිස්සාවේල්ල ගිනිගත්හේන මාර්ගයට යාමට ඇති පාරේ වම් පැත්තේ පිහිටි අංචිමලේ කන්දේ කොටසක් ගිනිගන්නා අයුරු සමහරුන්ට දිස්විය. මොහොතකට පෙර ඇසුනු හඬත් ගින්නත් අතර යම් සම්බන්‍ධයක් ඇතැයි සිතූ වැඩි දෙනෙක් ගින්න ඇවිලෙන දෙසට දුව එන්නට වූහ. එහෙත් කඳුහෙල්, ගිරිශිඛර පසුකර ඒම පහසු නැත. ‘‘එක පාරටම හෝ ගාලා ශබ්දයක් ආවා.  එළියට බැහැලා බලනකොට පුංචි එළි ටිකක් හරහට එනවා වගේ දැක්ක. ඒක අංචිමලේ කන්දේ හැපිලා ගිනිගත්තා’’ සිද්ධිය ඇසින් දුටුවෝ කියන්නට වූහ. මේ ශ‍්‍රීලංකා ඉතිහාසයේ වාර්තා වූ පළමු ගුවන්යානා අනතුර  සම්බන්‍ධව පළමු තොරතුරු වාර්තාවූ අන්දමයි. ඉන්දුනීසියානු රජයට අයත් ගරුඩා ගුවන් සේවයේ ඞී.සී. 8 වර්ගයට අයත් ගුවන් යානාවක් මෙලෙස මස්කෙළියේ අංචිමලේ කන්දේ හැපී අනතුරට ලක්වීමෙන් 191 දෙනෙක් ජීවිතක්‍ෂයට පත්වූහ. මේ ගුවන් අනතුර සම්බන්‍ධ මුල්ම තොරතුර එදා කොළඹට දී තිබුණේ එවකට හැටන් තැපැල් කාර්යාලයේ දුරකතන ක‍්‍රියාකරු ලෙස සේවය කළ මල්දෙණිය නම් මහත්මයකු විසින් බව අනතුර සම්බන්‍ධයෙන් 1975 ජූනි 16 දින නිකුත් කෙරුණු වාර්තා වේ දැක්වේ. අංචිමලේ යනුවෙන් අදහස් කරන්නේ කඳුපහ යන අදහස බව බොහෝ දෙනෙක් කියති. සැබැවින්ම එහි එකම ස්වරූපයේ කඳුපහක් තිබේ. ශ‍්‍රීපාද මලූවේ සිට උතුරු දෙස බලද්දී උතුරට මෙම කඳු කිහිපය පැතිර ගොස් තිබේ. කන්දේ නැගෙනහිර බෑවුම නුවරඑළිය දිස්ත‍්‍රික්කයේය. බටහිර බෑවුම කෑගල්ල දිස්ත‍්‍රික්කයේය. කෑගල්ල දිස්ත‍්‍රික්කයේත් පොල්ගස්වත්ත, නුරිය, මාලිබොඩ ආදී ගම් වලට මේ අංචිමලේ කඳුවැටියේ බටහිර බෑවුම ළ`ගය. ‘‘අංචිමලේ’’ කඳුවලට කියන තවත් නමකි ‘‘සප්තකන්‍යා’’. කන්‍යාවන් හත්දෙනෙකුගේ ස්වරූපයක් දිස්වීම නිසා ඊට ‘‘සප්තකන්‍යා’’ යැයිද ව්‍යවහාර කරති. සන්නිවේදන පහසුකම් නොතිබූ නිසා ගුවන්යානයේ කඩාවැටීම ගැන සිද්ධිය වූ දිනයේ රාත‍්‍රියේ දැනගත්තේ අනතුර පෙනෙන නොපෙනෙන දුරක සිටි පිරිස් පමණකි. කන්දෙන් බටහිර පැත්තේ සිටි අයට ශබ්දය ඇසුනද ඒ ශබ්දය කුමක්ද යන්න ගැන නිසි තොරතුරක් නොවීය. උඩමාලිබොඩ පදිංචි එම්.ජී. නන්‍දසේන මහතා සිද්ධිය වූ වකවානුවේ අවුරුදු විසි අටක හොඳ ජව සම්පන්න ඉලංදාරියෙකි. ගමේ නිෂ්පාදනය කරන කිතුල් හකුරු දැරණියගල නගරය හරහා දෙහි ඕවිටට ගෙනවිත් එතැනින් කොටියාකුඹුරට ගෙනගොස් විකිණීම ඔහුගේ රැුකියාව විය. මෙලෙස එකතුකරගත් හකුරු තොගයක් කර තබාගෙන මාලිබොඩ දක්වා පැමිණ දැරණියගලට යන්නට වාහනයක් එනතුරු කඩමණ්ඩියේ නැවතී සිටිද්දී 1976 දෙසැම්බර් 05දා උදේ කඬේක ක‍්‍රියාත්මක කර තිබූ ගුවන්විදුලි යන්ත‍්‍රයක ප‍්‍රවෘත්ති විකාශයෙන් කියැවුණේ අංජිමලේ කන්දේ ගුවන් යානයක් හැපී ඇති පුවතයි. ඒ පුවත ඇසීමෙන් පසු කඩමණ්ඩියේ සිටි බොහෝ දෙනෙක් ඊට අලූතින් තොරතුරු එකතු කරන්නට වූහ. ‘‘මට ඇහුණා අමුතු ශබ්දයක්. එළියට බැහැලා බැලූවා හොයාගන්න බැරිවුණා. එකත් එකටම ඒ ඇහිලා තිබුණේ මේ ප්ලේන් එක හැපෙන ශබ්දේ වෙන්න  ඕනෑ’’ කඩමණ්ඩියේ කෙනෙක් කීවේය. එදා අද මෙන් ගුවන් විදුලි නාලිකා ගණනාවක් තිබුණේ නැත. තිබුණේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළද සේවය සහ ස්වදේශීය සේවය පමණකි. මේ  සේවාවන් දෙකත් ප‍්‍රවෘත්ති විකාශයේදී ඒකාබද්ධ කෙරෙන නිසා ඉන් ලැබෙන තොරතුරුවලින් ගම්වැසියන්ට සෑහීමකට පත්වන්නට සිදුවිණි. මේ අතර නන්‍දසේන මහතාගේ හිත ගුවන් අනතුර බලන්නට යන්නටය. නමුත් බඩවියත රකින රස්සාව අතරමග නවතා දැමියද නොහැකිය. ඔහු කොටියාකුඹුරට ගොස් හැන්දෑවේ ආපසු ගමට ආවේ අනතුර බලන්නට යන සිතිනි. එවකට විසි දෙවන වියේ පසුවූ ගුරුවරයෙකුවූ ඥානරත්න, තමන්ගේ සම වයසේ පසුවූ ආරියරත්න දැනට ජීවතුන් අතර නැති රණසිංහ යන තිදෙනා සමග නන්‍දසේන මහතා උදේ පාන්දරම අංචිමලේ පැත්තට යන්නට පිටත්වූහ. මුලින්ම විසිහතර ගමට ගිය පිරිස මුරුක්කුවත්තේ බිල්ඩිං සයිඞ් පැත්තෙන් අනතුර වූ ප‍්‍රදේශයට ළ`ගා වූහ. ‘‘ඒ හරියට යනකොට හැම තැනම මිනිස්සු. හමුදාව, පොලිසිය හැම තැනකම. සමහර මිනිස්සු අතට අහුවෙන දේවල් අරගෙන පොලිසියට, හමුදාවට මුවාවෙවී යනවා දැක්කා. හමුදාවෙන් පොලීසියෙන් ඒ හරියට යන්න නොදී මිනිස්සු පන්නනවා. ඒ හින්දා අපි හතරදෙනා අංචිමලේ කන්ද පාමුලින් ඉස්සරහට ගියා. ඒ යද්දි අපි දැක්කා කන්දෙන් කොටසක් පිච්චිලා.’’ ‘‘ඉස්සරහට යනකොට හැම තැනකම වාගේ කුකුල් පිහිටු විසිරිලා. ටික ටික ඉස්සරහට යද්දී ‘‘ටං....ටං...’’ගාන ශබ්ද හැම පැත්තෙන්ම ඇහෙන්න පටන් ගත්තා. හරියට කම්මලක් ළග ඉන්නවා වගේ. අපි තව ටිකක් ළං වුණා. ගස්වල සූට්කේස්වල කෑලි, රෙදිකෑලි වගේ දේවල් රැු`දිලා. තවත් ඉස්සරහට ගියා. එහෙම යනකොට අපිට පෙනුනා මිනිස්සුන්ගේ අත්පා තැන් තැන්වල ගස් මුදුන්වල, අතු පතර රැදිලා තියනවා. ඒ පැත්තම අමුතු තෙල් ගදක් තිබුණේ. බෙලි කැඩුණු මළ සිරුරුත් ගස්වල රැු`දිලා තිබුණා. සෙන්ට් කුප්පි ආදිය, සුට්කේස්, ළමයින්ගේ සෙල්ලබඩු ආදිය හැම තැනම විසිරිලා.’’ ‘‘ඒ හරියට යන මිනිස්සු පන්නන නිසා අපි පොලිසියට, හමුදාවට, සහන සේවකයන්ට මුවාවෙවී තවත් හැතැක්ම භාගයක් විතර ඉස්සරහට ගියා. අපේ අදහස වුණේ කන්ද දිගේ උඩට නගින එක. ඒක ටිකක් අමාරු වැඩක්. ඒ වුණාට අපි කොල්ලො නිසා කන්ද දිගේ උඩහට නගින්න පටන් ගත්තා. ගස්වල මුල් අල්ලගෙන, වැල්වල එල්ලිලා එහෙම නගින කොට පහළ බැලූවම මිනිස්සු පිරිලා. තැන්තැන් වල මළමිනී උස්සගෙන යන අය දැක්කා.’’ ‘‘අපි පැය දෙක තුනක් විතර එහෙම උඩට නැග්ගා. එක එක්කෙනා ටිකක් දුරින් ගියේ. උඩින්ම හිටිය කෙනාගේ කකුළ වැදිලා වෙන්න ඇති රාත්තල් දෙකක දෙක හමාරක ගලක් ගැලවුනා. ඒ ගල ගල්මුල්වල වැදි වැදි පහළට ආවා. අපිත් එක්ක ගිය අය අර පහළට එන ගල මගාරින්න උත්සාහ කළා. ඥානරත්න හිටියේ අපිට ටිකක් පහළින්. එයා එක අතකින් එල්ලිලා හිටියේ. අනික් අතට ගල ඇවිත් හැපුණා. හැබැයි ගල ගල්මුල්වල රැදි රැදි පහළට ආපු නිසා වේගය බාලවෙලා ආවේ. නමුත් ඒ ගල වැදිලා ඥානරත්නට ටිකක් අමාරු වුණා. ක්ලාන්තය වගේ හැදුණා.’’ ‘‘අපි සියලූ දෙනාම පහළට ඇවිත් ඥානරත්නව අල්ලාගත්තා. මුල්වල එල්ලි එල්ලි පහළට ගත්තා. තව ඉහළට යන ගමන නවත්වලා ආපසු එන්න පිටත්වුණා. අපිට සමහර තැන්වලදි ගස් අතරින් පහළ හොදට පෙනුනා. හෙලිකොප්ටරක් ආවා දැක්කා. සුදු මහත්තුරුත් පහළ ඉන්නවා දැක්කා. සීමාවක් කියන්න බෑ ‘‘ටල්..... ටල්....’’ ශබ්දය තමයි හැම තැනින්ම ඇහුණේ. පහළට එන කොට අපි දැක්කා ගල පාමුල ප්ලේන් එකක ලොකු කොටස් වැටිලා තියනවා. අර ජනෙල් වගේ කොටස් එහෙම දැක්කා. කැලෑපාරවල් වලින් ආපු මිනිස්සු මේ වැටිලා තිබුන ගුවන් යානයේ වයර් කැල්ලක්වත් මතක් වෙන්න කියලා ගෙනිච්චා. අපේ ගමෙත් බොහෝ ගෙවල්වල ඒවාගේ කෑලි ඇති. නමුත් තවමත් බයට කියන්නේ නෑ.’’ නන්දසේන මහතා කීවේය. මේ ගුවන් යානය පිටත්ව තිබුණේ සවුදි අරාබියේ ජෙඩා නුවරින්. මක්කම වන්දනාවේ ගිය පිරිසක් එහි සිටි බව කියති. ගුවන් යානයේ නියමුවා වූයේ නෙදර්ලන්ත ජාතික හෙන්ඩි‍්‍රක් ලාර්මේ (Hendrik Lamme)ය. පනස් නව වැනි වියේ පසුවූ ඔහු ගුවන් පැය 26770ක් ගුවනේ ගතකළ අත්දැකීම් බහුල අයෙක් විය. 1952 වර්ෂයේ ඔහු ගුවන් නියමුවෙක් ලෙස සේවයට බැඳී තිබුණි. අනතුරට පත් ඞී.සී. 8 වර්ගයේ ගුවන්යානා පැය 4000ට වැඩි කාලයක් පදවා සිටි අත්දැකීම් බහුල නියමුවෙකි. සහාය ගුවන් නියමුවාද නෙදර්ලන්ත ජාතිකයෙකි. රොබට් බ්ලොම්ස්මා (Robert Blomsma) නම්වූ තිස් තුන්වන වියේ පසුවූ ඔහු ගුවන් පැය 2480ක පියාසර කාලයක අත්දැකීම් ඇත්තෙකි. මගීන් 182 සහ කාර්ය මණ්ඩලයේ නව දෙනෙකු සමග එද්දී මේ අනතුර සිදුව තිබුණේ කටුනායක ගුවන් තොටුපලට නාවික සැතපුම් හතළිහක් තිබියදීය. ගුවන් යානය කඩා වැටීම සම්බන්‍ධයෙන් අවට ජනතාවගේ විවිධ අදහස් තිබේ. සමහරු පවසන්නේ සිරිපා මලූවට ඉහළින් පියාසර කිරීම නිසා මේ අනතුර සිදුවන්නට ඇති බවයි. කෙසේ නමුත් ගුවන් තොටුපළින් ලද උපදෙස් නිවැරදිව ශ‍්‍රවනය නොවීමේ ප‍්‍රතිඵලයක් හැටියට ගුවන්යානය පහළට ගැනීම නිසා අංජිමලේ කන්දේ මුලින් යානයේ තටුවක් වැදී ඇතිල්ලී ඉදිරියට ගොස් ඊළ`ග කන්දේ යානයේ මුහුණත වැදී මෙම අනතුර සිදුවූ බව ඒ සම්බන්‍ධව සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් කියැවිණි. යානයේ කළු පෙට්ටියද පසුව සොයා ගැණුනි. විනාශවූ යානයේ කළුපෙට්ටිය යානයේ තටුව වැදීම නිසා වූ ගලේ සීරීම ගුවන් යානා අනතුර සම්බන්‍ධව එකල පුවත්පත්වල පළවූ ඡායාරූප (ඡායාරූප අන්තර්ජාලයෙනි) එම්.ජී. නන්‍දසේන



අදහස් (0)

සප්තකන්‍යාවේ ගුවන්යානා අනතුරේ මතකය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1035 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4537 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 409 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1678 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site