IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


සයිබර් අවකාශයේ බෞද්ධ නියාමනය


අද ලෝකයම තනි යායකි.

භූගෝලීය සීමා අතික්‍රමණය කරමින් සයිබර් අවකාශයේ බැඳි යොත්වලින් බොහෝ දුරකට මුළු මහත් ලොවම එකට ගැට ගැසී ඇත. ඇතැම්හු එකී යොත් තම සියතට ගෙන සබුද්ධික මිනිසාව පවා රූකඩ සේ නටවති.

මේ රූකඩ සංදර්ශනය හේතුවෙන් දහස් ගණන් ජනයෝ කුළල් කති; වෛර කර ගනිති; කාලය කා දමති. මේ අයුරින් නූතන ලෝකයේදී, සයිබර් අවකාශය මානවයාගේ ජීවිතයට, පුද්ගල නිදහසට බාධාවක් වන අයුරින් ද භාවිතා වන ආකාරයට උදාහරණ ඕනෑ තරම්ය.

කල්යත්ම සමාජ ජාල ඔස්සේ සමාජ දේහයට වන හානි වැළැක්වීම උදෙසා නූතන රාජ්‍ය, සිවිල් සමාජ හා සමාජ ජාල ව්‍යාපාර ආයතන විවිධ වූ නියාමන ක්‍රියාවලි හඳුන්වා දී ඇත. වර්තමාන ශ්‍රී ලංකාව තුළද සමාජජාල රජය විසින් වාරණය කරන ලද අවස්ථා කිහිපයක්ම ඇති බව ඔබට මතක ඇත. එසේම මේ ලිපිය ලියැවෙන මොහොත වන විටද සාවද්‍ය තොරතුරු සංසරණය වීම වැළැක්වීම උදෙසා පනතක් නීතිගත කිරීමට අධිකාරීහු උත්සාහ දරමින් සිටිති.

මෙවැනි නීති, භාෂණයේ නිදහස සීමා කිරීමට අවභාවිතා වූ අවස්ථා ද ඇත. කෙසේ වුවද මුල නොනසා ඵලයට පමණක් ප්‍රතිකාර කිරීමෙන් සයිබර් අවකාශයේ සෘණාත්මක බලපෑම් මධ්‍යයේ ශ්‍රී ලංකාව නම් කුඩා රාජ්‍යයට පමණක්, හුදෙකලාව අධිකාරයක් දරමින් පැවතීමට හැකිද යන්න ප්‍රශ්න සහගතය.


නමුත් දෙස්, විදෙස් බොහෝ දෙනෙකු විසින් මානවවාදී දර්ශනයක් ලෙසින් සැලකෙන බෞද්ධ දර්ශනය තුළ භාෂණය, භාෂණයේ නිදහස හා භාෂණය සඳහා පවතින ස්වයංවාරණ පිළිබඳව වඩාත් පුළුල් පැහැදිලි කිරීමක් පවතින බව බොහෝ බෞද්ධයින්ටම අමතකව ගොස් තිබීම කණගාටුවට කරුණකි. මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ බොහෝ බෞද්ධයන්ට අමතකව ගිය නමුත් සියල්ලන් දැන ගැනීමට සුදුසු වන්නා වූ බෞද්ධ දර්ශනයේ හරයාත්මක සංදේශයකි.

බෞද්ධ දර්ශනය තුළ පුද්ගලයෙකුගේ වාචසික සංවරය බිඳී යන අවස්ථා හතරක් පිළිබඳව සඳහනක් ඇත. ධම්මසංගනී අට්ඨකතාවේ 107 පිටුවේ සඳහන් පරිදි එම අවස්ථා නම්:


1.මුසාවාද
2.පිසුණාවාචා
3.පරුෂවාචාචා
4.සම්ඵප්ප්‍රලාප
යන අවස්ථා හතර වේ.


ඔබ බෞද්ධ දර්ශනය හා පුනර්භවය විශ්වාස කරන අයෙකු නම් මෙකී වාචසික සංවරය බිඳී යන අවස්ථා හතර දස අකුසල කර්ම හෙවත් පුද්ගලයෙකුගේ ප්‍රතිසන්ධියේදී අකුසල විපාක ගෙන දීමට සමත් කර්ම හතරක් ලෙසින් අර්ථ ගන්වා ගැනීමට බාධාවක් නැත. එසේ වුවද ප්‍රතිසන්ධිය හා පුනර්භවය විශ්වාස නොකරන, වෙනත් ආගමික විශ්වාස ඇති හෝ නිරාගමික යැයි තමන්ව හදුනා ගන්නා අයෙකුට වුවද තමන් ජීවත් වන සුළු කාලය තුළ යහපත් පුද්ගලයෙකු ලෙසින් ජීවත්වීමට මෙකී බෞද්ධ මාර්ගෝපදේශනය අතිශයෙන්ම වැදගත් වන බව පැහැදිලි වනු ඇත. එනිසා මෙවන් කරුණු සවිතරාත්මකව ඔබ සැමට දැන ගන්නා පිණිස මවිසින් සම සිතින් සිතින් කරනු ලැබේ.

ධම්මසංගනී අටුවාවට අනුව මුසාවාදය යනු ගැටුම් ඇති කිරීමේ අරමුණෙන් සිදු කරනු ලබන අරුත් සුන් වාග් ප්‍රයෝගය හා කාය ප්‍රයෝගයයි. එනම් බොරු කීමය.


“මුසාති විසංවාදන පුරෙක්ඛාරස්ස අත්ථභඤ්ජකො වචීපයොගො කායප්පයෝගෝ වා; විසංවාදනාධිප්පා යෙන පරස්ස පරං විසංවාදකා කායවචී පයොග සමුට්ඨාපිකා චේතනා මුසාවාදෝ"  - (ධම්මසංගනී අට්ඨකථා 109)

දුටු දෙයක් නොදුටු බව කීම, නුදුටු දේ දුටු බව කීම, ඇසූ දේ නෑසුණු බව කීම හා නෑසූ දේ ඇසූ දේ ලෙස පැවසීම මෙම අකුසල කර්ම ගණයට වැටේ. එසේම කීම පමණක් නොව බොරු ලිවීමද මෙම අකුසල කර්මයට අයත් වේ. තවද බොරු කියන්නෙකුට ඕනෑම අකුසලයක් කළ හැකි බවට බුදුන් දෙසා ඇත. මන්ද අපරාදධ කරුවෙකුට මනුෂ්‍ය ඝාතනයක් කොට එය සිදු නොකළ බවට පැවසිය හැකිය. එය මුසාවාදයකි. නමුත් එය අදාළ පුද්ගලයාගේ හිතේ කැකෑරෙමින් සිතට වද දෙමින් පැවතීම අවසන් කළ හැකිද?

එසේම තම ගිණුමේ පරිශීලකයින් හා දර්ශන වාර වැඩි කර ගැනීම සඳහා අසත්‍ය ප්‍රචාර පතුරවන්නෝ සයිබර් අවකාශයේ බොහෝ වෙති. එවන් සයිබර් අවකාශයක් තුළ සමාජජාල පරිශීලනය කරන ඔබගේ ඩිජිටල් තීරයේ උඩපහල යන, අසත්‍ය සංදේශ කොපමණ සංඛ්‍යාවකට ඔබ සම්මාදන් වුණේද යන්න පිළිබඳව විමසා බලන්න. එයින් කොපමණ සංදේශවලට ඔබ මුළා වී ඇත්දැයි සිතන්න. “එයින් ඔබට යහපතක් අත් වී ද? අනෙකාට යහපතක් අත් වී ද?”, යන්න ඔබ ඔබේ සිතින් විමසා බලන්න.

දෙවැන්න පිසුණාවාචාවයි. අත්ථසාලිනී නම් අටුවාවේ සඳහන් වන පරිදි, එක් අයෙකු කෙරෙහි ප්‍රියතාවයක්ද, අනෙකා කෙරෙහි අප්‍රියභාවයකුත් ඇති කරවන්නා වූ භාෂණය පිසුණාවාචාවයි. සරල බසින්ම පවසනවා නම් පිසුණාවාචාව යනු කේලාම් බස් කීමය.


"යායවාචාය-යස්සනං වාචං භාසති තස්ස හදයෙ අත්තනෝ පියභාවං පරස්සච පියසුඤ්ඤභාවං කරොති සා පිසුණාවාචා"  - (අත්ථසාලිනී අටුවා 109)

වර්තමාන සමාජ ජාල තුළ කේලාම් බහුලය. එක් ජනවර්ගයක් තවත් ජනවර්ගයක් වෙත ඇති විශ්වාසය සහ ගෞරවය නිශේධනය වන ලෙසින්, ඔවුන්ගේ අනන්‍යතාව කෙරෙහි සමාජ පිළිකුළක් ඇති වන ලෙසින් දහස් ගණන් ප්‍රචාර දිනයකට නිකුත් කරනු ලැබේ. එයින් ප්‍රහාරයට ලක් වන පාර්ශවය දුකට පත් වන අතර ප්‍රහාරකයාගේ පාර්ශවය ද්වේශ සහගත ලෙසින්, සිරුරේ ලේ ධාතුව නිකරුණේ පුළුස්සා දමමින් දවස ගෙවයි. එයින් ප්‍රයෝජනයක් ඇතිද යන්න විමසා බලන්න.

බෞද්ධ දර්ශනය අනුව පුද්ගලයෙකු වැළකිය යුතු තෙවනි වාචසික අකුසලය පරුසාවාචාවයි. අර්ථසාලිනී අටුවාව එය වීවරණය කරනු ලබන්නේ, "යම් වචනයකින් තමාද, අනුන්වද පරුෂ බවට හා රළු බවට පත් කෙරේද, යම් වචනයක්, කනට  සැපයක්  නොගෙන එන්නේද, හෘදයංගම නොවන්නේද එවන් වදන් පරුෂාවාචා වන බවයි.


“යාපන අත්තානම්පි පරම්පි ඵරුසං කරෝති. යාවාචා සයම්පි ඵරුසා නෙව කණ්ණසුඛා, න හදයංගමා අයං ඵරුසාවාචා නාම" - (අත්ථසාලිනී)

මේ අනුව සමාජ ජාලවල සරන ශරීරයේ ලේ ධාතුව කුපිත කරන්නා වූ භාවතීශ සංදේශ පරුෂාවාචා හෙවත් පරුෂවදන් ලෙස සැලකිය හැකිය. පිහි තුඩකට වඩා තියුණු වදන් යොදා පුද්ගලයෙකුට, විශේෂයෙන්ම කාන්තාවන් හට හෝ යම් වාර්ගික කණ්ඩායමක් එල්ල කොට ක්‍රියාත්මක පුද්ගල ගිණුම් හා කණ්ඩායම් මුහුණුපොතින් වාරණය කර තිබීම මෙම පරුෂාවාචාහි දරුණු බව මනාව පසක් කරයි.

ඇතැම්හු මිහිරි බසින් රුදුරු වදන් තෙපළති! ඒ සමාජජාල වාරණවලින් රිංගා යාමටය. නමුත් බුදුවදන එය නොවේ. එනිසා මුදු වදනින් පැවසුවද චේතනාව ප්‍රචණ්ඩකාරී නම් පරුෂ වචනය පරුෂවචනයමය.

අර්ථසාලිනී අටුවාවට අනුව "පරුෂ වූ චේතනාවම, එම චේතනාවෙන් යුක්තව පවසන වචනයම පරුෂ වචනය ය," යන මැයින් දක්වා ඇත.


"පරස්ස මම්මච්ඡේදක කායවචීප්පයෝග සමුට්ඨාපිකා එකන්ත ඵරුසචේතනා ඵරුසාවාචා"  - (අත්ථසාලිනී 110)

බුද්ධ වචනය අනුව අවසාන වාචසික අකුසලය වන්නේ සම්ඵප්‍රලාපයයි. අර්ථසාලිනී අටුවාවට අනුව, “සම්ඵ” යනු හිත සුව විනාශ කරන්නා වූ වදන්ය.  “ප්‍රලාපය” යනු දෙඩවීමය. ඒ අනුව සිතෙහි සුව විනාශ කරන්නා වූ වදන් පැවසීම සම්ප්‍රප්පලාපය වන්නේය. සද්ධම්මෝපායනය යන ග්‍රන්ථය එය තවදුරටත් විග්‍රහ කර ඇත්තේ මෙලෙසය.


"නිර්ත්ට්ථක කථා යාහි - රාග දෝසාභි වඩ්ධතී
තං රත්තස්ස අකාලෙන - භාසනා සම්පස්සඤ්ඤිතා"  - (සද්ධම්මෝපායනය 68)

"රාග දේවේශ දෙක වඩනා - යම් නිරර්ථක කතාවක් ඇත්ද, ඒ නිරර්ථක කථාව - එහි ඇලුනහු හට ප්‍රකාශ කිරීම සම්ඵප්‍රලාප නම් වේ."

අද්‍යතන සමාජජාලවල වැඩියෙන්ම සරන්නේ එවන් පුවත්ය. ශ්‍රී ලංකාවේ Google සෙවුම් යන්ත්‍රය භාවිතා කර වැඩිම ගණනක් සෙවීම් කර ඇති පද පහ අතර “ගොසිප්” යන වචනය ද ඇත. තවද, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවි විස්ස අතර “ගොසිප්” වෙබ් අඩවි කිහිපයක්ම වේ. ඉහත නිර්වචනය අනුව ඒ සියල්ල ඕපාදූපයන් ලෙස සැලකිය හැකිය. තවත් අයෙකු කෙරෙහි වෛරයක්, වාර්ගික හෝ සමාජ කණ්ඩායම් පිළිබඳ අනිසි බියක් හෝ අපහාසයක් එවන් වදන්වලින් මනුසිත් තුළ වඩවයි. එයින් සිතේ සහනය බිඳ වැටේ. නමුත් මෙවන් වාගාලප ඔස්සේ අයෙකුට වරුවකට හෝ තරුවක් විය හැකිය. නමුත් ඒ සතුට තාවකාලිකය: හානිය දිගුකාලීනය.

මෙය වනාහි බෞද්ධ දර්ශනය තුළ භාෂණය හා ප්‍රකාශනය පිළිබඳව වන නියාමනයයි. බුදුන්වහන්සේ ජීවමාන අවධියේ සයිබර් අවකාශයක් නිර්මාණය වී නොතිබුණද  පුද්ගලයෙකුගේ භාෂණය හේතුවෙන් සිදු විය හැකි පුද්ගල හා සමාජීය හානිකර තත්ත්ව පාලනය උදෙසා මෙම මාර්ගෝපදේශනය අතිශයෙන්ම වැදගත් වී ඇති බව පෙනී යයි. ඒ මාර්ගෝපදේශය අදටත් වලංගුය. මන්ද අද්‍යතනයේ සමාජජාලා පර්යේෂකයන් විසින්ද සමාජජාල අවභාවිත කිරීම් වර්ගීකරණය කරන විටදී මෙකී බෞද්ධ මාර්ගෝපදේශ හා සමාන ප්‍රවේශයක් ගෙන ඇති හෙයිනි.

යුනෙස්කෝ සංවිධානය විසින් මේ පිළිබඳව ලෝක මාධ්‍යවේදීන් වෙත නිකුත් කර ඇති ඩිජිටල් අත්පොතෙහි ව්‍යාජ පුවත් හෙවත් ‘Fake News’ යන ප්‍රධාන මාතෘකාව යටතේ සමාජජාලහි ව්‍යාප්ත වන තොරතුරු ප්‍රධාන කොටස් තුනකට බෙදා ඇත. ඒ කොටස් තුන නම්,


1. Disinformation
2. Misinformation
3. Malinformation
යන කොටස් තුනයි. ඔවුන්ගේ එම වර්ගීකරණයට අනුව

‘Disinformation’ යන්නෙහි නිර්වචනය වන්නේ, “පුද්ගලයෙකුට, සමාජ කණ්ඩායමකට, සංවිධානයකට හෝ රාජ්‍යයකට හානි පැමිණවීමේ අදහසින් චේතනාන්විතව අසත්‍ය තොරතුරු”ය.

‘Misinformation’ යනු, “අසත්‍ය නමුත් හානි පැමිනවීමේ අදහසින් තොරව ප්‍රචාරය කරන අසත්‍ය වන තොරතුරු”ය.

‘Malinformation’ යනු, “පුද්ගලයෙකුට, සමාජ කණ්ඩායමකට, සංවිධානයකට හෝ රාජ්‍යයකට හානි පැමිණවීමේ අදහසින් යුතුව සත්‍ය පසුබිමක් මත පදනම් වූ තොරතුරු”ය.


මේ නිර්වචන සැකසීමේදී මෙයට දායක වූ විද්වතුන් අදාළ තොරතුරුවල නිර්මාපකයාගේ අරමුණ හෙවත් චේතනාවට වැඩි අවධානයක් දී ඇති බව පෙනී යයි. බුදුන්වහන්සේද එලෙසින්ම පෙරකී භාෂණයේදී පුද්ගයෙකු වැළකිය යුතු චතුර්වාග් අකුසල කර්ම  නිර්වචනය කරන ලද්දේද චේතනාව පදනම් කර ගෙනය. එය මෙසේ සඳහන් කර ඇත.


"චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්ම කරොති කායෙන වාචාය මනසා"   -  (නිබ්බේධික සූත්‍රය)

"මහණෙනි මම චේතනාවම කර්මය බවට වදාරමි. චේතනාව මුල් කොට ගෙන කයින්, වචනයෙන් හා මනසින් කර්මය සිදු වේ."

නූතන මිනිසා සමාජජාල නියාමන පරාමිතීන් සහ වාචසික සංවරය පිළිබඳව ඇති බෞද්ධ විග්‍රහය එක හා සමාන ප්‍රවේශයක් ගෙන ඇති බව පෙනී යන්නේ එනිසාය. එබැවින් මෙම බෞද්ධ දාර්ශනික විග්‍රහ කෙනෙකුට හිතළුවක් යැයි සිතා මග හැර යා නොහැකිය.

එසේම යුනෙස්කෝව විසින් ප්‍රකාශිත, ගෝලීය වශයෙන් උපයුක්ත මෙම පාරිභාෂික යෙදුම් අප සමාජයට කොතරම් ආගන්තුකද කියනවා නම් එකී වදන් සඳහා සර්ව සම්මත සිංහල හෝ ද්‍රවිඩ පාරිභාෂික පද පවා සොයා ගැනීමට අපහසුය. එසේ වුවද අප බෞද්ධ සමාජය තුළ, දහම් පාසල් හා පාසල් පෙළ පොත්වල භාෂණය පිළිබඳව වන බෞද්ධ නිර්වචන ලෙස හැඳින්විය හැකි මෙම කරුණු ඇතුළත්ය. එකී නිර්වචන බටහිරින් ඉදිරිපත් කරන ලද සමාජජාල නියාමන පරාමිතීන්ට වඩා ශක්තිමත්ය; ඉතා පුළුල් වපසරියක් තුළ වාචසික සංවරය පවත්වා ගත යුත්තේ කෙසේද යන්න මනාව නිර්වචනයට ලක් කොට ඇත. මේ හේතුවෙන් සමාජජාල නියාමනය සඳහා පරාමිතීන් සකසන සමාජ විද්‍යාඥයින් හා තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥයින් මෙකී බෞද්ධ දාර්ශණික ප්‍රවේශය තම අධ්‍යයනය සඳහා විෂය කරගන්නේ නම් මැනවි.

එවන් පර්යේෂණය සිදු කරන්නෙකුට බුදුන්වහන්සේ මෙකී වාචසික සංවරය පවත්වා ගැනීමට අදාළව කරන ලද විග්‍රහයේ දාර්ශනික පදනම කුමක්දැයි ප්‍රශ්න කළ හැකිය. එය ඉතාම සාධාරණ ශාස්ත්‍රාලීය සංශයකි. නමුත් ඒ සඳහාත් බුදුන්වහන්සේ අපූරු විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. ඒ කාලාම සූත්‍රය මගිනි. එය බුදුදහමෙන් ප්‍රකට වන නිදහස් චින්තනය හා නිදහස් චින්තයේ නියාමනයන් විග්‍රහ කොට ඇත. අංගුත්තර නිකායේ තිකනිපාතයේ, මහාවග්ග පාලියේ ඇතුළත් වන මෙම කාලාම සූත්‍රය උන්වහන්සේ දේශනා කරන ලද්දේ බහුශ්‍රැත, නමුත් සත්‍යයෙන් අසත්‍ය වෙන් කොට ගත නොහැකිව සිටි කේසපුත්තක නම් ග්‍රාමයක වාසය කරන ලද කාලාමයන් නම් පිරිසකටය. මේ හේතුවෙන් මෙම දේශනාව අද්‍යතනයේ ශාස්ත්‍රඥයින් හට පරිශීලනයට  බාධාවක් නොවන බව පසක් කළ යුතුය.

මෙම දේශනාව අනුව යමෙක් යම් දෙයක් සත්‍ය හා නිවැරදි වන්නේ මන්දැයි නිර්ණය කළ යුත්තේ කෙසේදැ'යි මනාව විග්‍රහ කරයි. භාෂණයටද එය අදාළ වේ.

ඒ අනුව, වෙනත් අයෙකු කියනු ඇසීමෙන්, පාරම්පරික විශ්වාසයක් හේතුවෙන්, මෙය මෙසේ විය හැකිය යන උපකල්පනය මතින්, තම ආගමික ග්‍රන්ථවල පවතින බැවින්, තර්කානුකූල බැවින්, න්‍යායානුකූල හෙයින්, මේ කාරණය යහපතැයි කල්පනා කිරීම තුළින්, කරුණු ඉදිරිපත් කරන ස්වභාවයේ පවතින්නා වූ තාර්කික ස්වභාවය, තම නුවණින් පිළිගත් දෘෂ්ටිවාදයට අනුකූල ලෙසින්, යම් පැවිද්දෙක් පවසන හෙයින්, යම් කරුණක් පවස පුද්ගලයා යහපත් අයෙකු බව පෙනී යන හෙයින්, අදාළ පුද්ගලයා තම ගුරුතුමා වන හෙයින් හෝ යමක් නිවැරදිය යන්න පිළිගැනීම නොකළ යුතු බව දක්වා ඇත.


එථ තුම්හෙ, කාලාමා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන , මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති.” - කාලාම සූත්‍රය

මේ අනුව සමාජජාලවල සරන පුද්ගල කේන්ද්‍රීය සංදේශ ස්වයං වාරණයට ලක් කරන්නේ කෙසේද යන්න පිලිබඳ මූලික මාර්ගෝපදේශය ලබා දේ.

ඉන් අනතුරුව අයෙක් නැගිය හැකි පැනය වන්නේ, "එසේ නම් යම් සංදේශයක සත්‍යතාව වටහා ගන්නේ කෙසේද?" යන්නයි. ඒ සඳහා බුදුන්වහන්සේ ලබා දී ඇති පිළිතුර මෙසේය:


යදා තුම්හෙ, කාලාමා, අත්තනාව ජානෙය්‍යාථ - ‘ඉමෙ ධම්මා අකුසලා, ඉමෙ ධම්මා සාවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤුගරහිතා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තී’’’ති, අථ තුම්හෙ, කාලාමා, පජහෙය්‍යාථ. - කාලාම සූත්‍රය

"යමක් අකුසලයක් වන්නේද, වැරදි සහගත වන්නේද, නුවණැත්තන් ගරහයිද, තමා කෙරෙහි අවැඩක් වන්නේද, එවන් ධර්මය පිළිනොපදින්න"යි, උන්වහන්සේ වදාළ සේක.

අවසාන වශයෙන් අයෙක්ට අකුසලය යනු කුමක්ද, වැරද්ද යනු කුමක්ද, නුවණැත්තන් ගරහන්නේ කුමන පදනමක සිටද, අවැඩක් සිද්ධ වනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන දාර්ශනික ප්‍රශ්න නැගිය හැකිය. ඒ සඳහාද බුදුන් වහන්සේ මෙම සූත්‍ර දේශනාව තුළ තම පිළිතුර සපයා ඇත. ඒ අනුව උන්වහන්සේ දේශනා කොට ඇත්තේ, ලෝභය හෙවත් මසුරුකම, ද්වේශය හෙවත් වෛරය, මෝහය හෙවත් මුලාව යන අකුසල මූල තුනට මූලිකව යම් ක්‍රියාවක් කරයි නම්, කියයි නම් එවන් කර්ම අකුසල කර්ම හෙවත් වැරදි ක්‍රියා වන බවයි. එසේම මෙම අකුසල මූලවලට යටත්ව යමෙක් කෙරන ක්‍රියාවෙන් ඒම පුද්ගලයාට යහපතක් වෙන්නේද යන්න සිතා බලන ලෙස එදා බුදුන් වහන්සේ කාලාමයන්ගෙන් අසා ඇත. ඒ පැනය. පැනයක් ලෙසම බුද්ධිමත් ඔබ ඉදිරියේ තැබීමට කැමැත්තෙමි.


එසේම අයෙක් ප්‍රතිසන්ධිය හා පුනර්භවය විශ්වාස නොකරන්නේ වී නමුත් පෙරකී අකුසල මූල වලින් සිදු කරන කර්ම හේතුවෙන් මෙලොවදී එම පුද්ගලයාට සිදුවන අවැඩ සිහි කොට වරදින් වැළකෙන ලෙසට බුදුන්වහන්සේ දේශනා කොට ඇති සේක.


උදාහරණ ලෙස විවිධ ආහාරපානවල පවතින පෝෂණය හා ගුණදායකභාවය ප්‍රවර්ධනය කිරීමට සන්නාම තානාපතිවරුන් පත් කරගැනීම ගනිමු. ඒ සඳහා එම පුද්ගලයන්ට ඉතා විශාල මූල්‍යමය අගයක් ලැබේ. නමුත් ඔවුන් සහ එම සමාගම් සිදු කරන්නේ ව්‍යාජ ප්‍රචාර නම්, ආහාර ලෙසින් පුද්ගල සිරුරට අහිතකර ආහාරපාන ලබා දෙන්නේ නම්, නීතියෙන් ගැලවුණද එම පුද්ගලයින්ට තම හෘද සාක්ෂියෙන් ගැලවිය හැකිද? ඔවුන්ට සිදු වන සමාජ අපකීරිතියෙන් මිදිය හැකිද? ඒ සියල්ල මෙලොවදී පුද්ගලයෙකුට විඳින්නට සිදුවන පීඩාවන්ය. අනෙක් පසින් නීතියෙන් දණ්ඩණය ලක්වීම හෝ හෘද සාක්ෂිය විසින් දණ්ඩණයට ලක් වේ' ය යන බිය පුද්ගල සිත තුළ ජනිත වේ. එයද පීඩාකාරිය. එනිසා තමාට අහිතක් සිදුවන වැරදි ක්‍රියා හෙවත් අකුසල කර්මවල නොනියලෙන ලෙසට බුදුන් වහන්සේ දේශනා කර ඇත. එනිසා සමාජජාල වල මෙන්ම සාමාන්‍ය ජීවිතය තුළද භාෂණය තුළ පුද්ගලයින් භාෂණයේදී මෙකී ස්වයංවාරණයට ලක්වීම පෞද්ගලික හා සමාජීය යහපතට හේතු වේ. එසේම අද්‍යතනයේ පවතින සමාජජාල පරාමිතීන්හි නිර්වචනවල පවතින අඩුලුහුඩුකම්ද අවම කර ගත හැකි වේ.

අනික් පසින් සමාජජාල නියාමනය කිරීම සඳහා ප්‍රතිපත්ති නිර්මාණය කරනු ලබන ප්‍රතිපත්ති සම්පාදකයින් හටත් බෞද්ධ දර්ශනය තුළ පවතින මෙම මාර්ගෝපදේශන වලින් අතිශයෙන්ම වැදගත් සංදේශයක් ලබා දේ. රටක ජනතාව තුළ කායික හා වාචසික සංවරය හෙවත් විනය ගිලිහී ඇත්නම් එයට ප්‍රතිකර්ම වශයෙන් සමාජජාල නියාමනය කිරීමෙන් ඒ ගැටලුව විසඳිය නොහැක. එයින් සිදුවන්නේ ජනතාව අතර සිටින සයිබර් අපරාධකරුන්ට තවත් කූඨ උපාය මාර්ග ඔස්සේ තම පිඹුරුපත් සැකසීමය ඔවුන්ව දිරිමත් කිරීමය. මන්ද තොරතුරු තාක්ෂණය යනු දිනෙන් දින දියුණුවන අදිසි සමාජ වපසරියකි.

එය හා සාපේක්ෂව රටක ප්‍රතිපත්ති සම්පාදනයේ වේගය මන්දගාමීය. උදාහරණ ලෙස 2019 දී සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ සමාජ වෙබ් අඩවි වාරණයට ලක් කළද, අතථ්‍ය පෞද්ගලික ජාල (Virtual Private Networks -VPN) ඔස්සේ අප රටේ පරිශීලකයෝ සමාජජාල භාවිත කළහ. එයින්ම සමාජජාල නියාමනයට නීතියේ පවතින අසමත් බව පෙනී යයි.

මේ හේතුවෙන් රජය කළ යුත්තේ ජනතාව දැඩි ද්වේෂසහගතභාවයට, මසුරුබවට හෝ මුලාවට පත්වන හේතු නසා දැමීමය. ජනතාවගේ ආර්ථික සුබසිද්ධිය, වාර්ගික සහජීවනය, නීතියේ ආධිපත්‍ය හා සමාජ සාධාරණත්වය පාලකයාට ලබා දිය හැකි නම් සමාජජාල ඔස්සේ සිදුවන  සාවද්‍ය හා වෛරී ප්‍රකාශන නියාමනයට ලක් කළ හැකිය. එසේ නොමැතිව හේතුව නොනසා ඵලයට ප්‍රතිකර්ම යෙදීමට යාම තුළින් පවතින අර්බුදය තීව්‍ර වීම මිස අඩුවීමක් සිදු නොවේ. බෞද්ධ දර්ශනයේ පවතින හේතුඵලවාදී න්‍යාය යනු එයයි.


විශේෂ ස්තූතිය: පුනර්භවය හා නිර්වාණය යන ග්‍රන්ථය රචිත හෙණ්ඩියගල සීලරතන ස්වාමීන්වහන්සේ වෙත හා ලිපිය සංස්කරණය කළ ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන්වහන්සේ වෙත!!

සැකසුම - # පරපුර සමඟින් කසුන් සංකල්ප

 



අදහස් (0)

සයිබර් අවකාශයේ බෞද්ධ නියාමනය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෝක බලවතා කමලාද? ට්‍රම්ප්ද?
2024 නොවැම්බර් මස 04 890 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණ සටන පවතින්නේ, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍ර


යුගයට ගැළපෙන දේශපාලනය
2024 නොවැම්බර් මස 04 226 0

තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද


අඩි 7000 උස නැග්රැක් ගමට පොදු පහසුකම් නෑ
2024 නොවැම්බර් මස 03 3661 0

ලංකාවේ අති දුෂ්කර ගමනාන්තයක පවතින වතු ජනාවාස ගම්මානයක වැසියන් වන නැග්රැක් ගමේ ජනපදිකයන් වෙත පොදු පහසුකම් නොමැති බව ඔවුහු පවසති.


සසුනඹර එකලු කළ පොඩි හාමුදුරුවෝ
2024 නොවැම්බර් මස 02 221 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අද (02) සහ හෙට (03) ගංගාරාම


උඩ යන යට යන කොමිෂන් සභා
2024 නොවැම්බර් මස 02 157 0

පස් වසරක පෙර පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති කිරීමට පිවිතුරු හෙළි උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී


වසර 138ක් සපුරන කොළඹ ආනන්දය
2024 නොවැම්බර් මස 01 578 1

කොළඹ ආනන්ද විද්‍යාලයේ 138 වැනි සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 පෙබරවාරි මස 08 වැනිදා මරදානේ ධර්මෝපකාරී සමාගම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site