නැවතත් සර්ව පාක්ෂික සමුළුවක් පිළිබඳ අදහස් සාකච්ඡාවට බඳුන් වෙමින් තිබේ. මෙරට සර්ව පාක්ෂික සමුළු පිළිබඳ ඉතිහාසය පරීක්ෂා කරන විට ආර්ථිකය සම්බන්ධ අර්බුදයකට විසඳුම් සෙවීම පිණිස සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ පළමුවරට බව අපගේ මතකයයි. මෙයට පෙර ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන්ගේ පාලන සමයන්හි වාර ගණනාවක් සර්ව පාක්ෂික සමුළු කැඳවා ඇතත් ඒ සියලුම සර්ව පාක්ෂික සමුළුවලින් විසඳුම් සොයන්නට තැත් කළේ උතුරේ පැවති සිවිල් යුද්ධයටයි. කොටි ත්‍රස්තවාදය පිළිගත් පාර්ශ්ව වෙත දේශපාලන විසඳුමක් ප්‍රදානය කරන්නට එකී සර්ව පාක්ෂික සමුළුවලින් ප්‍රයත්නයක් දැරිණි. එහෙත් ඒ කිසිදු උත්සාහයක් යහපත් නිමාවක් කරා එළැඹියේ නැත.
කලින් පැවති සර්ව පාක්ෂික සමුළු අසාර්ථක වූවාය කියා මෙවර කැඳවන්නට යන සමුළුව ගැන පූර්ව අසුබවාදය පැතිරවීම යුක්තිසහගත නොවේ. එදා උතුරේ අර්බුදයට දේශපාලන විසඳුමක් සොයාගැනීම පිණිස කැඳවන ලද සමුළු අසාර්ථකවීමට මූලික හේතුවක් වූයේ ඇතැම් දේශපාලන නායකයන් උත්සන්න වූ ආවේගශීලීත්වයෙන් යුතුව උතුරේ අර්බුදය විග්‍රහ කරන්නට යාම ය.
ජන වර්ග දෙකක් අතර සංවේදී ප්‍රශ්නයක් වීම නිසා තත්ත්වය තවත් බරපතළ විය. එහෙත් මෙවර කැඳවන සර්ව පාක්ෂික සමුළුවේ අරුත දැනට රට ගිලගෙන ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ප්‍රවේශයක් සකස් කිරීමයි. ඒ සඳහා මැතිසබය නියෝජනය කරන සියලු පිළිගත් දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බව ප්‍රකාශිත ය.
ඒ අතර රටේ හටගෙන ඇති ආර්ථිකමය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගෙන් සමන්විත ආර්ථික සභාවක් ස්ථාපිත කළ බවද පසුගිය සතියේ ප්‍රකාශ විය. එහෙත් මෙම ආර්ථික සභාවට සිදුකර ඇති පත්වීම් දෙස බලන විට එහි සාමාජිකයන්ගෙන් පවත්නා අර්බුදයට විසඳුමක් අපේක්ෂා කළ හැකිද යන සාධාරණ ප්‍රශ්නය පැන නගී. මන්ද යත් මෙකී ආර්ථික සභාව නියෝජනය කරන සියලුම දේශපාලන භවතුන් රාජ්‍ය පාලනයට ඉතාමත් සක්‍රීය ලෙස සම්බන්ධ කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් වීම නිසා ය.
මේ අය හොඳ දේශපාලනඥයන් වන්නට පුළුවන. එහෙත් ඔවුන් අතර ප්‍රාමාණික ආර්ථික දැනුමැත්තන් කී දෙනෙක් සිටිත්දැයි අපට සාධාරණ ප්‍රශ්නයක් මතු වේ. ඒ නිසා කැබිනට් සාමාජිකයන්ගෙන් සමන්විත ආර්ථික සභාවෙන් ආර්ථික අර්බුදය විසඳීමට ලැබෙන පිටුබලය කුමක්ද යන්න ප්‍රශ්න සහගත ය. ඔවුන්ට කැබිනට්ටුවේ දී විසඳීමට නොහැකි වූ ප්‍රශ්න වෙනම සභාවක් ලෙස රැස්වී විසඳන්නේ කෙසේදැයි අපට නම් නොවැටහේ.
රටක ජාතික අර්බුදයක් පවත්නා විට පක්ෂ භේදය අමතක කොට පොදුවේ රට වෙනුවෙන් එකාවන්ව ක්‍රියා කිරීමට රටේ ඕනෑම පුරවැසියකුට යුතුකමක් මෙන්ම වගකීමක් ද ඇත. එම වගකීම් සියලු දේශපාලන පක්ෂවලට ද සමාන්තරව බෙදී යයි. එනයින් බලන කල සර්ව පාක්ෂික සමුළුවක් තුළින් පවත්නා අර්බුදයෙන් මිදීමට තැත් කිරීම යහපත් ප්‍රයත්නයක් වශයෙන් හඳුන්වා දිය යුතු ය. ඒ සඳහා වන යෝජනාව මෙවර රජය වෙත ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාව අනුව ලබන 23 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුව රැස්වන බව දැනට ප්‍රකාශ වී ඇත.
යට කී ලෙස මෙම සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වන්නේ විවිධ පක්ෂ නියෝජනය කරන දේශපාලන නායකයෝ ය. ඔවුන්ට ආර්ථික අර්බුදයේ රස්නය දැනෙන බව සහතික ය. එහෙත් වත්මන් මැතිසබයේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා වැනි ආර්ථික විශාරදයන් නැත. එනිසා මෙකී අර්බුදය ප්‍රායෝගිකව විසදා ගත යුතු ආකාරය පිළිබඳව දේශපාලනඥයන් සතු දැනුමට විශේෂඥ දැනුමත් මිශ්‍ර විය යුතු බව මෙහිදී සඳහන් කරනු වටී. මුදල් අමාත්‍යවරයා මහා භාණ්ඩාගාරය, මහ බැංකුව ආදී ආයතනවලට පමණක් අර්බුදය භාර දී සෙසු පාර්ශ්ව පසෙකට වී සිටිය යුතු නැති තරමට ගැටලුව මෝරා ගොසිනි.
පවත්නා ආර්ථික අර්බුදය හේතුකොටගෙන ඉන්ධන, විදුලි බලය, ගෑස් ආදී බලශක්ති ක්ෂේත්‍රය සහමුලින් අවුලට පත්ව තිබේ. ජනතාව මහ මඟ පීඩා විඳිති. කිරිපිටි, සිමෙන්ති, බෙහෙත් වර්ග පමණක් නොව ආපන ශාලාවල විකිණෙන කෑම පාර්සලයටත් පවත්නා අර්බුදයෙන් පහර වැදී ඇත. ඩොලර් හිඟය මේ සියල්ලට මුල යැයි රජය සහ මහ බැංකුව නිතර ප්‍රකාශ කරයි.
එහෙත් පසුගිය කාලයේ ඩොලර් අර්බුදය නිරාකරණයට රජයෙන් ඇතැම් පියවර ගැනුණේ බොහෝ ප්‍රමාදවීමෙන් පසුව ය. රුපියල අවප්‍රමාණය කිරීම ඊට හොඳම උදාහරණයයි. ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමේ කතාවද තවමත් පවතින්නේ කඹ අදින මට්ටමේ ය. ජනතාවගේ නහයට උඩින් ජලය ගලාගෙන යද්දීත් මෙකී තීරණාත්මක කාරණා ගැන වගකිව යුතු බලධරයන් කඹ අදී නම් සිදුවන්නේ පවත්නා අර්බුදය ව්‍යාකූල තත්ත්වයට පත්ව ජනතාව අන්ත අසරණභාවයට පත්වීම පමණි.
දැනටමත් අප වෙත වාර්තා වන ආකාරයට රජයේ ඇතැම් ප්‍රතිපත්ති සහ තීරණ ගැන මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය අතර ඇත්තේ පරස්පර විරෝධී මත ප්‍රකාශනය. එම තත්ත්වය මේ මොහොතේ රට තවත් අගාධයට යන්නට දැඩිව බලපාන බව නොකියා සිටිය නොහැකි ය. බලධරයන් තමන් ගන්නා තීරණය මතම උද්දච්ච ලෙස තහවුරු වී නොසිට රටට වඩාත් යහපත් දේ කරන්නට දැන්වත් ඉටාගත යුතු ය.
එහෙත් මෙහිදී දේශපාලන පක්ෂ දැනගත යුතු කරුණක් ද ඇත. ඒ මෙම සමුළුවේ දී ගන්නා වූ තීරණ කෙරෙහි සියලු පක්ෂ එක ලෙසට කැපවීමයි. සමුළුවේ තීරණ සම්බන්ධයෙන් දේශපාලන බොර දියේ මාළු බාන්නට යාම නොකළ යුත්තකි. ජනතාවට වාසිදායක තීන්දුවල ගෞරවය තමන් සතුකර ගන්නට යාමත් ජනතාවට අවාසිදායක තීන්දුවල අගෞරවය සෙසු පක්ෂ මත පැටවීමටත් කිසිවකු උත්සාහ නොකළ යුතු ය. එවන් පටු අරමුණ පෙරදැරිව ක්‍රියා කළහොත් සර්ව පාක්ෂික සමුළුව තවත් කතා සාප්පුවක් පමණක් බවට පත්ව රට අගාධයේ පතුලට ම තල්ලු වන බව පමණක් සඳහන් කරනු වටී.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සර්ව පාක්ෂික සමුළුව කතා සාප්පුවක් කරනු එපා