IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


සරසවි ආචාර්ය සටනේ මුල-මැද අග

සටන් බිම උණුසුම්ය. ප‍්‍රාණවත්ය. තෙමසක් කල් ඉක්ම ගියද සටන් බිම හැර නොයා සිටීමේ ධෛර්යය ඔවුන් සතුය. ඒ අවලාද මුගුරින් නොනැවතී පහර කමින්ය. ගිනි මද්දහනේ ගිනියම් හිරු රැුස් යටත් නා කපනා අනෝරා මහ වැසි යටත් දුවිල්ලත් දාහයත් පිරුණු වීදි මතත් ඔවුහු සටන් කළහ. රටක අනාගත බුද්ධිය තනන සිය දැනුම මව්බිමට දෑසක්ව පළඳවන ඔවුහු සටන් කළහ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට තෙමසක් කල් ඉක්ම ගොස් තිබේ. මෙම තෙමසක කාලය පුරා සරසවි බිම පාළුවෙන් පිරී තිබිණි. දේශන ශාලා හුදකලා බවේ ගිලී තිබිණි. එහෙත් ජවාධික සරසවි ඇඳුරෝ සටන් කළහ. පීත්ත පටියක් සේ දිවෙන ගාලූ-කොළඹ මහ පාරේත් අගනුවර වීදි මතත් කැම්බල් පිටියේත් ඔවුන්ගේ ගැඹුරු හඬ රැව් දුන්නේය. රටක අනාගත බුද්ධිය තනන ප‍්‍රඥාවන්ත මිනිසුන්ගේ අරගලය තව දුරටත් නොසලකා හැරිය නොහැක. සටනට තෙමසක් කල් ඉක්ම ගොසිනි. ”විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප වැඩි කරනු.”

 

සරසවි සටන

”දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6ක් වෙන් කරනු.” අරගලය පණ ගැන්වුණේ ඒ සටන් පාඨ ද්විත්වයෙනි. ඒ ඉකුත් ජූලි 4 වැනිදාය. එදා මෙදා තුර සිදු වූයේ කුමක්ද? සිදු වෙමින් පැවති එකම දෙය සමාජයේ පතුළ බිඳගෙන හෙළා පැන්න අසහනය වාන් දැමීම පමණෙකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන ඇරැඹි දෙතුන් දිනකින්ම සරසවි පද්ධතියම වසා දැමිණි. ඇල්මෙන් අකුරු කරන්නට පැමිණි සරසවි මානව මානවිකාවෝ නිවෙස් බලා ගියහ. ඔවුන් අසහනයෙනි. ඔවුන්ගේ මවුපියෝ ද අසහනයෙන් මිරිකී සිටිති. 2011 වසරේ පැවැති අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සරසවි කඩඉම තරණය කළ ශිෂ්‍ය ප‍්‍රජාව තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් දෙගඩියාවෙන් සිටිති. දෙගිඩියාවෙන් අනතුරුව උපදින්නේ අසහනයමය. ඔවුන්ගේ දෙමාපියෝ ද ඒ අසහනයේ ගොදුරු බවට පත්ව සිටිති. 2012 වසරේ උසස් පෙළ විභාගයට ලියූ උත්තර පත‍්‍ර විභාග දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසෙමින් තිබේ. ඒ ශිෂ්‍ය පරම්පරාව සිය ඉරණම කුමක්දැයි නොදැන දෙමාපියන් සමග අසහනයේ පත්ලටම වැටී සිටිති. සටනේ වෙනස් කළ නොහැකි අඳුරු ඉරණම් ඒවාය. එහෙත් සටන නොනැවතී ඉදිරියට ඇදෙමින් තිබිණි. ”විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීම පියවර හතරකින් කි‍්‍රයාත්මක කිරීමට රජය පොරොන්දු වුණා. ඒත් රජය මේ වන විටත් කි‍්‍රයාත්මක කරලා තියෙන්නේ එක් පියවරක් පමණයි. වර්ජනය හැර වෙනත් උත්තරයක් නැහැ” විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සටනට මුල පුරමින් එසේ කීවේය. අධ්‍යාපන ක්ෂේත‍්‍රය වෙනුවෙන් අයවැයෙන් වෙන් කරන මුදල් ප‍්‍රමාණය ඉහළ නැංවීම, නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම, අධ්‍යාපනය හෝ විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳව ගන්නා වැදගත් තීන්දු තීරණවලදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහාය ලබා ගැනීම ආදී ඉල්ලීම් සටනේ ප‍්‍රකාශිත ඉල්ලීම් අතර විය. රජයේ ප‍්‍රතිචාරය එළිදැක්වුණේ මඩකලපුවේදීය. ඒ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ගෙනි. ”විශ්වවිද්‍යාල ආචාර්ය - වරුන්ගේ වැටුප් සැලකියයුතු මට්ටමින් වැඩි කර ඇති හෙයින් තවත් වැටුප් වැඩිවීමක් ලබාදිය නොහැක.” ඒ එස්.බී.ගේ ස්ථාවරය විය. සටන ඇවිලී ගියේය. එයට කලින් දා එනම් ජූලි 3 වැනිදා රාති‍්‍රයේ විශේෂ සාකච්ඡුාවක් විය. ඒ සරසවි ඇඳුරන් හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අතරය. ”ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීම අධ්‍යයනය කරන්න දවස් 8ක් දෙන්න.” ජනාධිපති ලේකම් ඉල්ලා සිටියේය. සරසවි ඇඳුරෝ නැගිට ගියහ. පසුදා නියමිත පරිදි සටන ආරම්භ විය. පළාත් සභා ති‍්‍රත්වයක මැතිවරණ උණුසුමින් රට පිරී යමින් තිබිණි. විශ්වවිද්‍යාල ඇදුරු සටන ඒ මාතෘකා යට නොවැදගත් මාතෘකාවක් බවට පත් විය. නොසලකා හැරීම් එමට විය. සටන නව වටයකින් පෙරට ගත  යුතු විය. අත්සන් දසලක්ෂයක් එකතු කිරීමේ ව්‍යාපාරය බිහි වූයේ ඒ අනුවය. අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත කර ගැනීම සඳහා බලධාරීන්ට බලපෑම් කිරීමේ අරමුණෙන් මෙම අත්සන් දසලක්ෂය එකතු කිරීමේ ව්‍යාපාරය ආරම්භ විය. සරසවි ඇදුරෝ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටත් පුරහල ඉදිරිපිටත්, ඈත ගම්දනව්වලත් ඇවිද යමින් අත්සන් එකතු කළහ. බලධාරීන්ගේ ප‍්‍රතිචාරය සටන් නතර කිරීමේ දිශාවට නොව සටන් අවුළුවා තබන දිශාවටම ගමන් කරවන්නක් විය. ”සියයට 14ක් වන ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ආදායමෙන් සියයට 6ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලෙස ඉල්ලීම හාස්‍යයකි.” එසේ ප‍්‍රකාශ කළේ ක්ෂිතිජයටත් එහා ලෝකය දකින සරසවි සිසුවකු බිහි කිරීම අරමුණ යැයි කී එස්.බී. දිසානායකය. ඔහු එසේ ප‍්‍රකාශ කළේ ද පාර්ලිමේන්තුවේදීය. වර්ජිත සරසවි ඇදුරන්ට වැටුප් නොගෙවන බව රජය නිවේදනය කළේ ඔය අතරවාරයේදීය. වැටුප් ඉදිරිපිට පිට කොඳු බිඳ ගනීවි යැයි සිතා එසේ තීරණයක් ගත්තද සරසවි ඇදුරෝ සටන් බිම හැර නොයා සිටීමේ ස්ථාවරය තුළ තව තවත් ශක්තිමත් වූහ. සටන මහ පාරට රැගෙන ඒම හැර අන් විකල්පයක් නොවීය. ඒ අනුව සරසවි ඇදුරන්ගේ සටන්කාමී ශිෂ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඔදවත් හඬ විහාරමහදේවි එළිමහන් රඟමඬලේ සිට අගනුවර අහස දෙවනත් කිරීමට පටන් ගත්තේය. ඒ අගෝස්තු 15 වැනිදාය. මේ වන විට සරසවි පද්ධතියම වසා දමා තිබුණ ද සිය ආදරණීය ගුරුවරුන්ගේ සටනට ධෛර්යය හා ශක්තිය රැගෙන එමින් සරසවි ශිෂ්‍යයෝ මෙම රැලියට සහභාගි වූහ. සරසවි ආචාර්යවරුන්ගේ සටන නොසලකා හැරිය නොහැකි බලසම්පන්න සටනක් බවට පරිවර්තනය වී ගියේ එසේය. එහි ප‍්‍රතිඵල ඉක්මනින්ම ආවේය. එය පැහැදිලි වූයේ ඇමැති බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡාවක් ලැබීමෙනි. ඒ අගෝස්තු 21 වැනිදාය. සටන සමනයට පත් කර ගැනීමේ අවංක අභිලාෂයක් ඇමැති බැසිල් පෙන්නුම් කළේය. සරසවි ඇදුරන් වෙතින් ද පළ වූයේ තෘප්තිමත් මුහුණකි. ඔවුහු යම් එකඟතාවකට පැමිණියහ. ඒ පැමිණි එකඟතාවන් කි‍්‍රයාත්මක කිරීමේ යාන්ත‍්‍රණයක් සකස් කර ගැනීමේ දෙවැනි සාකච්ඡාව ඊට පසුදාම ලැබිණි. ඒ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සමගය. ඇමැති බැසිල් සමග ඇති කරගත් එකඟතාවන් කි‍්‍රයාත්මක කිරීමේ යාන්ත‍්‍රණයක් සකස් කිරීම වෙනුවට යම් යම් සංශෝධන මෙහිදී ඉදිරිපත් විය. ප‍්‍රතිඵලය වූයේ සාකච්ඡුාව කඩාකප්පල්වීමය. හයිඞ් පිටියේ රැලිය එයට කදිම නිදසුනකි. අග නගරයේ ස්ථාන දෙකකින් ආරම්භ වූ විරෝධතා පෙළපාලි දෙකකින් ඔවුහු හයිඞ් පිටියට පැමිණියහ. හයිඞ් පිටියේ ප‍්‍රධාන දොරටුව අසලදී සරසවි ශිෂ්‍යයෝ අත්පොළසන් දී සටන් කරන ගුරුවරුන්ට සිය සහාය පුද කළහ. එ.ජා.ප.යේ මහලේකම් තිස්ස අත්තනායක, කබීර් හෂීම්, මංගල සරමවීර, රවී කරුනානායක යන මන්තී‍්‍රවරුද ජ.වි.පෙ. විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති යන මන්තී‍්‍රවරු ද විවිධ දේශපාලන පක්ෂවලට අයත් නියෝජිතයෝ ද, වෘත්තීය සමිති නියෝජිතයෝ ද මෙහිදී පැමිණ සිටියහ. ”රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු” සටනේ ප‍්‍රධාන සටන් පාඨය බවට පත් වූයේ මෙම රැලියේ දීය. එහෙත් ප‍්‍රශ්නවලට විසඳුම් නොලැබිණි. ”දරුවන් ගැන සිතා උසස් පෙළ උත්තර පත‍්‍ර බලන්න එන්නැයි” ඇමැති එස්.බී. ආයාචනා කළේ මේ මොහොතේදීය.”එක එක්කෙනාට කතා කරන්න එපා. ආචාර්ය සමිති සම්මේලනයෙන් ඉල්ලීමක් කරන්න.” ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කීවේය. සටන ඇදී ගියේ ඔය විදියටය. සරසවි ආචාර්යවරුන්ගේ සටනට සහාය දීමේ  උද්ඝෝෂණයක් සැප්තැම්බර් මස 19 වැනිදා කොළඹදී පැවැත්විණි. ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙනි. හුදකලාවීම තරම් සටනකට අත්විය හැකි නරකම නපුරක් තවත් නොමැති බව දන්නා සරසවි ශිෂ්‍යයෝ අගනුවර වීදි දෙවනත් කරමින් උද්ඝෝෂණය කළහ. තැකීමක් නැත, බලධාරීහු නිහඬවම සිටියහ. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට තෝරා ගැනීමට තිබුණේ වඩාත් දුෂ්කර හා අභියෝග සම්පන්න මාවතමය. එහි අකීකරු කොන්දේසි එමටය. එහෙත් තත්ත්වයන් විසින් බල කර සිටියේ ඒ මාවතේම ගමන් කිරීමටය. ඓතිහාසික රෝහණ දේශයේ ගාලූ නගර මධ්‍යයේ සිට අගනුවර දක්වා පා ගමනක් සංවිධානය වූයේ ඒ අනුවය. මත ගැටුම් නොතිබුණාම නොවේ. න්‍යායික මතවාද හරස් වෙමින් තිබිණි. ”රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු” සටන් පාඨය වැරදියි. එය ”නිදහස් අධ්‍යපනය විය යුතුයි” අන්තරය කීවේය. එහෙත් ආචාර්යවරු සටන් පාඨය වෙනස් නොකළහ. ”මතවාදී එකඟත්වයෙන් තොර පුද්ගලයන් සමග සන්ධාන එපා. සටන් පාඨයට හිටගත යුත්තේ අවංකවමයි” අන්තරය කීවේය. ඔවුන් එසේ කීවේ එ.ජා.ප.යත්, ජ.වි.පෙ.ත් සරසවි ඇදුරු පා ගමනට සහාය දීමට ඉදිරිපත් වන බවට නිවේදනය කිරීමත් සමගය. එහෙත් ඒ විරෝධය ද නොතකා හැරිණි. අන්තරය තීරණයක් ගත්තේය. ඔවුහු සිය ගුරුවරුන්ගේ පා ගමනින් වෙන් වූහ. ඒ වෙනුවට නුවර සිට කොළඹට පා ගමනක් සංවිධානය කළහ. කොළ, රතු, දම් ආදී සියලූ වර්ණයන්ගෙන් සමන්විතව ගුරුවරු ගාල්ලේ සිට කොළඹට පා ගමනින් පැමිණියහ. රටේ පැණසර බුද්ධි සම්පතට මෙසේ පාරටපැමිණ සටන් කිරීමට සිදුවීම සම්බන්ධ සංවේගය කරපින්නාගෙන මග දෙපස මහ ජනයා රැස් වී සිටියහ. අන්තරය නුවර සිට පැමිණෙමින් සිටියේය. එකම අරමුණක්! සටන් බිම් දෙකක්! එහෙත් අධ්‍යාත්මික බැඳීම් මගින් සටන් බිම් එක්තැන් කරමින් තිබිණි. විසල් ගිරිහෙල් මුදුන් පවා තිගැස්සී ගියේය. මතක බණපද කියන මල් සුළඟක් සේ ඒ පාළු සෝබර පුවත රට පුරා පැතිරී ගියේය. ”සරසවි ශිෂ්‍යයෝ දෙන්නෙක් රිය අනතුරකින් මරුට” අන්තරයේ පා ගමන සංවිධානය කරමින් සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පිඨයේ සිව්වැනි වසර ශිෂ්‍ය ජානක බණ්ඩාර ඒකනායක සිසුවාත් රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පළමු වැනි වසර ශිෂ්‍ය සිසිත පි‍්‍රයංකර ශිෂ්‍යයාත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සිදුවූ අනතුරකින් අකාලයේ මරු වසඟයට පත් වූහ. ”මෙය මිනීමැරුමක්” ශිෂ්‍යයෝ චෝදනා කළහ. ගාල්ලේ සිට පැමිණ ආචාර්යවරුන් නුවර සිට පැමිණි ශිෂ්‍යයෝත් කොළඹ හයිඞ් පිටියේදී හමුවූයේ මියගිය සිසුන් දෙදෙනාගේ මතකයන්හි බර සිතේ දරාගෙනය. සියල්ලෙන් ඉක්බිති ආරංචියක් පැතිර ගියේය. ඒ ඉකුත් 4 වැනිදාය. සටනට හරියටම තෙමසක් පිරෙන දාය. ඒ ආරංචියෙන් කියැවුණේ 6 වැනිදා සෙනසුරාදා ආචාර්ය සංගමය හා ඇමැති බැසිල් රාජපක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව 8 වැනිදා සඳුදා මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුක්දර සමග සාකච්ඡාවකින් පසුව වර්ජනය අවසන් වනු ඇති බවය. බැසිල් සමග සාකච්ඡාව සාර්ථක විය. පී.බී. සමග සාකච්ඡාව ද සාර්ථක බව කියැවිණි. සටන අවසන් විය.
සටහන  - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

සරසවි ආචාර්ය සටනේ මුල-මැද අග

නන්දේ Friday, 19 October 2012 12:26 AM

උගත් මෝඩයින්. අනේ පවු නේද? (නි)

:       0       0

ගුණරත්න Sunday, 14 October 2012 09:14 PM

මියගිය දරු දෙපළගේ ජීවිත? එහි පාඩුව එම පවුල් වලටයි. (නි)

:       0       0

සහන් Wednesday, 17 October 2012 09:44 AM

අනේ කොල්ලනේ උඹලා නොදනුවත්වම කෑ ගසා ජීවිත අහිමි කරගත්තේ අචාර්යවරුන්ගේ බඩගෝස්තරය සදහා නොවෙද? 6% ක් පෙන්වා නුඹලා මුලා කරගෙන නුඹලාගෙ හඩ අවදි කර නුඹලා උසිගැන්නුවා වුවත් රජය අවධානය යොමුකළේ ඔවුන් ඉල්ලා සිටි වෑටුප් වෑඩි කිරිම් ගෑන පමණි. (නි)

:       0       0

ලලිත් Tuesday, 16 October 2012 04:04 PM

ගින්නක් හටගත්තේය. එය‍ට පිදුරු දමමින් සිටියා මිස ප්‍රශ්නය විසදීමට කිසිම පියවරක් නොගති. අවසානයේ පිදුරු සහ දර අවසන්වීමෙන් ගින්න නිවුනා මිස කිසිවකුත් එය නිවා දැමීමට පියවරක් ගත්තේ නැත. අළු යට හිනි තවමත් එසේමය. එබැවින් යලි කොයි මොහොතක හෝ මේ ගින්න නො ඇවිලේ යයි කාට නම් කිව හැකිද? (ස)

:       0       0

එන්.ජයසුන්දර Thursday, 18 October 2012 03:57 PM

මේ සේරම පඩි වැඩි වෙනකල් විතරයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 173 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 645 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 168 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 157 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 358 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 682 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site